මහණෙනි, මම දන්නහුගේ දක්නහුගේ ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නහුගේ නො කියමි. නො දක්නහුගේ නො කියමි. මහණෙනි, කුමක් දන්නහුගේ කුමක් දක්නහුගේ ආස්‍රවක්‍ෂය වේ ද යත්: මහණෙනි, මේ දුකැ යි දන්නහුගේ දක්නහුගේ ආස්‍රවක්‍ෂය වේ. මහණෙනි, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ ආස්‍රවක්‍ෂය වේ. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
මහණෙනි, ඉකුත් කල යම් කිසි අර්හත් සම්මාසම්බුදුවරයෝ තතු සේ අවබොධ කළාහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතු සේ අවබොධ කළාහ. මහණෙනි, මතු කල යම් කිසි අර්හත් සම්මාසම්බුදුවරයෝ තතු සේ අවබොධ කරන්නාහු ද ඒ සියල්ලෝ සිවු අරීසස් තතු සේ අවබොධ කරන්නාහ. මහණෙනි, මෙකල යම් කිසි අර්හත් සම්මා සමබුදුවරයෝ තතු සේ අවබොධ කෙරෙද්ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතු සේ අවබොධ කෙරෙත්. කවර සිවු අරීසස් ද යත්: දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛනිරොධාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛනිරොධගාමිනී ...
මහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍ය සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍යය, ... දුක්ඛනිරොධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය” යි. මහණෙනි, මොහු චතුරාර්‍ය්‍යසත්‍යයෝ යි. මහණෙනි, මේ චතුරාර්‍ය්‍යසත්‍යයන් තතු සේ වෙසෙසින් අවබොධ කළ බැවින් තථාගතයෝ “අර්හත් සම්‍යක්සම්බුද්ධයහ” යී කියනු ලැබෙති. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යී වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරොධගාමිනීපටිපදා” යී වීර්‍ය්‍ය කටයුතු යි.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ‘මේ දුකැ’යි තතුසේ නො දනිද්ද, ‘මේ දුක් හටගැන්මැ’යි තතුසේ නො දනිද්ද, ‘මේ දුක් වැළැක්මැ’ යි තතුසේ නො දනිද්ද, ‘මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ’යි තතුසේ නො දනිද්ද, මහණෙනි, ඒ මේ මහණහු හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණහු ය යි සම්මත නො වෙති. බමුණන් කෙරෙහිත් බමුණෝ ය යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණකමෙහි අරුත හෝ බමුණුකමෙහි අරුත හෝ දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ නො ද වෙසෙත් ...
මහණෙනි, සිවු අරීසස් නොදැනුමෙන් නො පිළිවිදුමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි දිවිණි සැරිසැරිණි. නොහොත් මාගේත් තොපගේත් දිවුම සැරිසැරුම විය. කවර සතරක යත්: මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍යය නොදැන්මෙන් නො පිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි. දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය නොදැනුමෙන් නොපිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි. දුක්ඛනිරොධාර්‍ය්‍යසත්‍යය නොදැන්මෙන් නොපිළිවිදුමෙන් මෙසේ මේ ...