ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 11. සක්‌ක සංයුත්‌තය » 1. සුවීර වර්ගය

11.1.2. සුසීමසුත්තං

11.1.2. සුසීම සූත්‍රය

248. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:

248. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

භූතපුබ්බං භික්ඛවෙ අසුරා දෙවෙ අභියංසු. අථ ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්‍දො සුසීමං7 දෙවපුත්තං ආමන්තෙසි: එතෙ තාත සුසීම, අසුරා දෙවෙ අභියන්ති. ගච්ඡ තාත සුසීම, අසුරෙ පච්චුය්‍යාහීති. එවං භද්දන්තවාති ඛො භික්ඛවෙ සුසීමො දෙවපුත්තො සක්කස්ස දෙවානමින්‍දස්ස පටිස්සුත්‍වා පමාදං ආපාදෙසි.

මහණෙනි, පෙර වූවක් කියමි: අසුරයෝ දෙවියන් අභිමුඛවැ ගියහ. මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ සුසීම දෙව්පුත් ඇමතී ය: “පුත, සුසීම, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති. පුත, සුසීම යා. අසුරයන් බලා නැඟ යා”යි. මහණෙනි, සුසීම දෙව්පුත් තෙමේ ‘එසේ ය. මුඹට මැනැවෙක් වේවා’යි සක්දෙව්රජුහට පිළිවදන් දී (ගමන) පමා කළේ ය.

දුතියම්පි ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො සුසීමං දෙවපුත්තං ආමන්තෙසි -පෙ- දුතියම්පි පමාදං ආපාදෙසි.

දෙවන වට දු සක්දෙව්රජ සුසීම දෙව්පුත් ඇමතී ය. ... දෙවන වට දු පමා කළේ ය.

තතියම්පි ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො සුසීමං දෙවපුත්තං ආමන්තෙසි -පෙ-තතියම්පි පමාදං ආපාදෙසි. අථ ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො සුසීමං දෙවපුත්තං ගාථාය අජ්ඣභාසි:

මහණෙනි, තෙවන වට දු සක්දෙව්රජ සුසීම දෙව්පුත් ඇමතී ය. තෙවන වට දු පමා කළේ ය. මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ සුසීම දෙව්පුතුහට ගාථායෙන් කී ය.

අනුට්ඨහං අවායමං සුඛං යත්රාධිගච්ඡති,
සුසීම තත්ථ ගච්ඡාහි මඤ්ච තත්ථෙව පාපයාති.

(කායික වීර්ය්‍ය වශයෙන්) නො නැගී සිටුනේ (චෛතසික වීර්ය්‍ය වශයෙන්) වෑයම් නො කරණුයේ යම් තැනෙක්හි සුඛයට පැමිණේ ද, සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.

[සුසීමො:]

[සුසීම:]

අලසස්ස අනුට්ඨාතා න ච කිච්චානි කාරයෙ,
සබ්බකාමසමිද්ධස්ස තම්මෙ සක්ක වරං දිසාති.

උත්ථානවීර්ය්‍ය නැත්තේ අලස වන්නේ ය. කිසි කිසක් නො ද කරන්නේය. (එබන්දෙක්) සියලු කාමයෙන් සමෘද්ධයෙක් වන්නේ නම් ඒ උත්තමස්ථානය මට කියනු මැනවි යි.

[සක්කො:]

[සක්දෙවිඳු:]

යත්ථාලසො අනුට්ඨාතා අච්චන්තං සුඛමෙධති,
සුසීම තත්ථ ගච්ඡාහි මඤ්ච තත්ථෙව පාපයාති.

උත්ථානවීර්ය්‍ය නැත්තා වූ අලස පුද්ගලයෙක් යම් තැනෙක ඒකාන්ත සුඛයට පැමිණේ ද, නොහොත් අතිශයින් සැපසේ වැඩේ ද, සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.

[සුසීමො:]

[සුසීම:]

අකම්මුනා දෙවසෙට්ඨ සක්ක වින්දෙමු යං සුඛං,
අසොකං අනුපායාසං තම්මෙ සක්ක වරං දිසාති.

ශක්‍ර දේවේන්ද්‍රය, කර්ම නොකිරීමෙන් යම් සැපතක් ලබමෝ ද, ශක්‍රදේවේන්ද්‍රය, ශෝක නැති දැඩි ආයාස නැති ඒ උතුම් මග කියනු මැනවි.

[සක්කො:]

[සක්දෙවිඳු:]

සචෙ අත්ථි අකම්මෙන කොචි ක්වචි න ජීවති,
නිබ්බාණස්ස හි සො මග්ගො සුසීම තත්ථ ගච්ඡාහි
මඤ්ච තත්ථෙව පාපයාති.

කිසි පුද්ගලයෙක් කිසි තැනෙක්හි ජිවත් නො වේ ද, (කෘෂිවණික් ආදි) කර්ම නොකිරීමෙන් පැමිණිය යුතු එබඳු තැනෙක් ඉදින් ඇත් ද, ඒ මග නිර්වාණයාගේ (මග) ම ය. සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.

සො හි නාම භික්ඛවෙ සක්කො දෙවානමින්දො සකං පුඤ්ඤඵලං උපජීවමානො දෙවානං තාවතිංසානං ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙන්තො උට්ඨානවීරියස්ස වණ්ණවාදී භවිස්සති. ඉධ ඛො තං භික්ඛවෙ සොභෙථ, යං තුම්හෙ එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතා සමානා උට්ඨහෙය්යාථ ඝටෙය්යාථ වායමෙය්යාථ අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායාති.

මහණෙනි, ඒ සක්දෙව්රජ නම් සිය පින්පල නිසා ජීවත් වන්නේ තව්තිසාවැසි දෙවියන් පිළිබඳ ඉසුරු බව හා අධිපති බව ඇති රජය කරන්නේ උත්ථානවීර්ය්‍ය පිළිබඳ ගුණ කියන්නෙක් වෙයි. මහණෙනි, තෙපි මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි පැවිදි වූවහු ම මේ සස්නෙහි නො පැමිණි ගුණයකට පැමිණීම පිණිස ද, අවබෝධ නො කළ දහමක් අවබෝධ කිරීම පිණිස ද, පසක් නොකළ දහමක් පසක් කිරීම පිණිස ද, යම් වීර්ය්‍යයෙකින් උත්සහා කරන්නහු ද, ඝටනය කරන්නහු ද, වෑයම් කරන්නහු ද, මේ සස්නෙහි ලා ඒ වීර්ය්‍ය හොබනේ ය.