ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 1. දේවතා සංයුත්‌තය » 5. ආදිත්ත වර්ගය

1.5.1. ආදිත්තසුත්තං

1.5.1. ආදිත්ත සූත්‍රය

41. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි:

41. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල මනා ඡවිවර්ණ ඇති එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:

ආදිත්තස්මිං අගාරස්මිං යං නීහරති භාජනං,
තං තස්ස හොති අත්ථාය නො ච යං තත්ථ ඩය්හති.

ගෙය ගිනිගත් කල (ගෙහිමියා) යම් භාජනයක් බැහැර කෙරේ ද, එය ඔහුට ප්‍රයෝජනය පිණිස වෙයි. යමක් එහි දැවේ ද, එය (ප්‍රයෝජනය පිණිස) නො වේ.

එවමාදිපිතො1 ලොකො ජරාය මරණෙන ච,
නීහරෙථෙව දානෙන දින්නං හොති සුනීහතං.

මෙසේ ලෝවැසි තෙමේ ජරායෙන් හා මරණයෙන් ද ඇවිළ ගන්නා ලද්දේ ය. (එහෙයින්) දානයෙන් ම බැහැර කරන්නේ ය. දෙන ලද්ද මැනවින් බැහැර කරණ ලද්දේ වෙයි.

දින්නං සුඛඵලං හොති නාදින්නං හොති තං තථා,
චොරා හරන්ති රාජානො අග්ගි ඩහති නස්සති.

දෙනලද්ද සුවපල ඇත්තේ වේ. නො දෙන ලද්ද එසේ නො වේ. ඒ (නුදුන්) දෙය සොරු හැර ගණිත්. රජහු හෝ හැර ගණිත්. ගින්න හෝ දවයි. (තුබූ තැන ම හෝ) නැසෙයි. යලි නො නැසුනු භෝග සහිත ශරීරය මරණයෙන් හැර පියයි.

අථ අන්තෙන ජහති සරීරං සපරිග්ගහං,
එතදඤ්ඤාය මෙධාවී භුඤ්ජෙථ ච දදෙථ ච.
දත්වා ච භුත්වා ච යථානුභාවං අනින්දිතො සග්ගමුපෙති ඨානන්ති.

නුවණැත්තේ මේ කරුණ දැන අනුභව ද කරන්නේ ය. දීම ද කරන්නේ ය. ශක්තිපරිද්දෙන් දී අනුභව ද කොට අනින්දිත වූයේ ස්වර්ගස්ථාන යට පැමිණේ.