ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » චූල නිද්දේස පාළි » භද්‍රාවුධ සූත්‍ර නිර්දෙශය

12. භද්‍රාවුධ සූත්‍ර නිර්දෙශය

12-1.

(ආයුෂ්මත් භද්‍රාවුධ මෙසේ විචාරයි:) ආලය සඞ්ඛ්‍යාත ඔකය දුරැලූ ෂඩ්විධ තෘෂ්ණාකාය සිඳැලූ, අටලෝ දහම්හි නො සැලෙන, අනාගත ප්‍රාර්ථනා සඞ්ඛ්‍යාත නන්දිය දුරැලූ, චතුරොඝය තරණය කළා වූ, කෙලෙසුන් කෙරෙන් මිදුණු, තෘෂ්ණා-දෘෂ්ටි කල්ප දුරැලූ, ශොභන ප්‍රඥා ඇති බුදුරදුන් වෙසෙසින් අයදිමි. නාග වූ මුඹ වහන්සේ ගේ වදන් අසා (බොහෝ ජනයෝ) මේ පහණසෑයෙන් නික්ම යෙත්.

ඔකං ජහං තණ්හච්ඡිදං අනෙජං - 'ඔකං ජහං' යනු: රූපධාතුයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් අකුසල් සිතට ප්‍රතිෂ්ඨා වූ අභිනිවෙශ වූ අනුශය වූ යම් උපය (තෘෂ්ණා-දෘෂ්ටි) උපාදාන කෙනෙක් වෙත් ද ඔහු භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහාණය කරන ලද්දාහු උසුන් (අවිද්‍යා-තෘෂ්ණා) මුල් ඇත්තාහු (මුල් උදුළ) තල්වත්තක් මෙන් කරන ලද්දාහු ආයතිභවයෙහි නූපදනා සැහැවි ඇත්තාහු අනුඅභාවයට ගියාහ. එයින් බුදුහු ඔකඤ්ජහ නම් වෙත්. වෙදනා ධාතුයෙහි- සංඥාධාතුයෙහි- සංස්කාර ධාතුයෙහි- විඥානධාතුයෙහි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් නන්දියක් යම් තෘෂ්ණාවක් අකුසල්සිතට ප්‍රතිෂ්ඨා වූ අභිනිවෙශ වූ අනුශය වූ යම් උපය උපාදාන කෙනෙක් වෙත් ද ඔහු භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ උසුන් මුල් ඇතියහ මුල් උදුළ තල්වත්තක් මෙන් කරන ලද්දාහු ආයතිභවයෙහි නූපදනා සැහැවි ඇත්තාහු අනු අභාවයට ගියාහ. එයින් බුදුහු 'ඔකඤ්ජහ' නම් වෙත්. තණ්හච්ඡිදං - 'තණ්හා' යනු: රූපතෘෂ්ණා යැ ... ධර්මතෘෂ්ණා යි. ඒ තෘෂ්ණාව භාග්‍යවත් බුදුන් විසින් සිඳින ලද යැ උදුරනලද යැ මොනොවට උදුරනලද යැ සන්හිඳුවන ලද යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධ යැ වටාලා උපදනට නො නිසි කරනලද යැ නුවණගින්නෙන් දවන ලද, එයින් බුදුහු 'තණ්හච්ඡිද' නම් වෙති. 'අනෙජා' යනු: 'එජා' යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලොභ අකුශලමූලයෙක් වේ ද එය යි. ඒ එජා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණ යැ උසුන්මුල් ඇත්තී යැ මුල් උදුළ තල්වත්තක් මෙන් කරන ලද යැ ආයතිභවයෙහි නූපදනා සැහැවී ඇත්තී අනු අභාවයට ගියා යැ. එයින් බුදුහු 'අනෙජ' නම් වෙති. එජාව ප්‍රහීණ බැවින් 'අනෙජ' යි. බුදුහු ලාභයෙහිදු නො සැලෙති අලාභයෙහි දු නො සැලෙති යසස්හිදු නො සැලෙති අයසස්හි දු නො සැලෙති ප්‍රශංසායෙහිදු නො සැලෙති නින්දායෙහි දු නො සැලෙති සුවයෙහිදු නො සැලෙති දුක්හිදු නො සැලෙති චලනය නො වෙති කම්පනය නො වෙති ප්‍රකම්පනය නො වෙති සම්ප්‍රකම්පනය නො වෙත්. එයින් බුදුහු ‘අනෙජ’ නම් වෙත් නුයි 'ඔකං ජහං තණ්හච්ඡිදං අනෙජං' යනු වේ. ඉච්චායස්මා භද්‍රා වුධො...

නන්දිං ජහං ඔඝතිණ්ණං විමුත්තං - 'නන්දි' යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලොභ අකුශලමූලයෙක් වේ ද එයයි. ඒ නන්දිය ඒ තෘෂ්ණාව භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණ යැ උසුන් මුල් ඇත්ති යැ මුල් උදුළ තාලවාස්තුවක් මෙන් කරන ලද්දී ආයතිභවයෙහි නූපදනා පියවි ඇත්තී අනු අභාවයට ගියා යැ. එයින් බුදුහු 'නන්දිඤ්ජහ' නම් වෙත්. ඔඝතිණ්ණං යනු: බුදුහු කාමොඝය තරණය කළහ භවෝඝය තරණය කළහ දෘෂ්ටි-ඔඝය තරණය කළහ අවිද්‍යා-ඔඝය තරණය කළහ හැම සංස්කාරපථය තරණය කළහ උත්තරණය කළහ නිස්තරණය කළහ ඉක්මගියහ මොනොවට ඉක්ම ගියහ වෙසෙසින් ඉක්ම සිටියහ උන් වහන්සේ වැස නිමවූ දශආර්‍ය්‍යවාස ඇත්තාහු පුහුණු කළ ශිලාදී චරණ ඇත්තාහු .. (ක්ෂය කළ) ජාතිමරණසංසාරය ඇත්තාහු යැ. උන්වහන්සේට පුනර්භවයෙක් නැත් නුයි 'නන්දිං ජහං ඔඝතිණ්ණං' යනු වේ. විමුත්තං යනු: භාග්‍යවතුන් විසින් රාගයෙන් සිත මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යි, ද්වේෂයෙන් සිත-මෝහයෙන් සිත ... හැම අකුශලාභිසංස්කාරයන් කෙරෙන් සිත මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත නු යි 'නන්දිං ජහං ඔඝතිණ්ණං විමුත්තං' යනු වේ.

කප්පං ජහං අභියාචෙ සුමෙධං - 'කප්ප' යනු: කල්ප දෙකෙකි: තෘෂ්ණාකල්පය ද දෘෂ්ටිකල්පය දැ යි ... මේ තෘෂ්ණා කල්ප යැ .. මේ දෘෂ්ටිකල්ප යි. භාග්‍යවත් බුදුන් විසින් තෘෂ්ණා කල්පය ප්‍රහීණ යැ දෘෂ්ටිකල්පය දුරලන ලද, තෘෂ්ණාකල්පය ප්‍රහාණය කළ වන බැවින් දෘෂ්ටිකල්පය දුරලන ලද වන බැවින් එහෙයින් බුදුහු 'කප්පං ජහං' නම් වෙත්. අභියාචෙ යනු: යදිමි, වෙසෙසින් යදිමි, අධ්‍යෙෂණ කෙරෙමි, ආස්වාද කරෙමි, ප්‍රාර්ථනා කෙරෙමි, ඉස්නෙමි, ජල්පනය කෙරෙමි, අභිජල්පනය කෙරෙම්. සුමෙධං යනු: 'මෙධා' යි ප්‍රඥාව කියනු ලැබෙයි: යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමොහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එය යි. බුදුහු මේ මෙධා සඞ්ඛ්‍යාත ප්‍රඥායෙන් යුක්ත වූවාහු සමුපෙත වූවාහු එළැඹ සිටියාහු අතිශයින් එළැඹ සිටියාහු නො වෙන් වූවාහු පරිපූර්ණ වූවාහු සමන්වාගත වූවාහු වෙති, එයින් බුදුහු 'සුමෙධ' නම් වෙත් නුයි 'කප්පං ජහං අභියාචෙ සුමෙධං' යනු වේ.

සුත්‍වාන නාගස්ස අපනමිස්සන්ති ඉතො - 'නාගස්ස' යනු: බුදුහු නාගයහ: පව් නොකෙරෙත් නුයි නාගයහ (අගතියට) නො යෙත් නුයි නාගයහ (පුහුන් කෙලෙසුන් කරා) නො පැමිණෙත් නුයි නාගයහ ... මෙසෙයින් බුදුහු පෙරළා (පුහුන් කෙලෙසුන් කරා) නො පැමිණෙත් නුයි 'නාග' නම් වෙත්. සුත්‍වාන නාගස්ස අපනමිස්සන්ති ඉතො - මුඹ වහන්සේ ගේ වචනය වාඞ්මාර්ගය දේශනාව අනුශාසනාව අසා ශ්‍රවණය කොට ඉගෙන විමසා සලකා මෙයින්, අපනමිස්සන්ති - යෙති නික්ම යෙති දසනු දසට යෙත් නුයි 'සුත්‍වාන නාගස්ස අපනමිස්සන්ති ඉතො' යනු වේ.

එයින් කී යැ එ බමුණු:

“ඔකඤ්ජහං තණහච්ඡිදං -පෙ- අපනමිස්සන්ති ඉතො” යි.

12-2.

වීරයන් වහන්ස, මුඹ වහන්සේගේ වදන් කැමැති වූ නානාජනයෝ අඞ්ගාදි ජනපදයෙන් රැස්වූහු යැ, මුඹ වහන්සේ ඔවුන්ට දහම් දෙසුව මැනැවැ, යම් හෙයෙකින් තෙල දහම් මුඹ වහන්සේ විසින් දන්නා ලද ද එහෙයිනි.

නානා ජනා ජනපදෙහි සඞ්ගතා - 'නානා ජනා' යනු: ක්ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මනුෂ්‍යයෝ ද, ජනපදෙහි සඞ්ගතා - අඟු රටින් ද මගද රටින් ද කලිඟු රටින් ද කසී රටින් ද කොසොල් රටින් ද වැදෑරටින් ද, මල්‍ය රටින් ද චෙතිය රටින් ද වත්ස රටින් ද කුරුරටින් ද පඤ්චාල රටින් ද මත්ස්‍ය ජනපදයෙන් ද සූරසේන ජනපදයෙන් ද අස්සක රටින් ද අවන්ති රටින් ද යොන් රටින් ද කාම්බොජ රටින් ද, සඞ්ගතා යනු: එක් වූවාහු රැස්වූවාහු මුළු වූවාහු එක්රැස් වූවාහු නු යි 'නානා ජනා ජනපදෙහි සඞ්ගතා' යනු වේ.

තව වීර වාක්‍යං අභිකඞ්ඛමානා - 'වීර' යනු: බුදුහු වීරයහ වීර්‍ය්‍යවත් නුයි වීරයහ ප්‍රභූවූවාහු නුයි වීරයහ විවිධගුණ වහනය කෙරෙත් නුයි වීරයහ සමර්ත්ථ සිත් ඇත්තාහු නුයි වීරයහ ... විගතලොමහර්ෂ ඇත්තාහු නුයි වීරයහ.

1. මෙලොව්හි හැම පාපයන්ගෙන් වෙන් වූයේ (එහෙයින් මැ) නිරෑදුක් ඉක්මසිටී, වීර්‍ය්‍යයට නිවාස වූ, ඒ ක්ෂීණාස්‍රව තෙම වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. එබඳු වූයේ ප්‍රධන්වීර්‍ය්‍ය ඇත්තේ යැ වීර යැ (නිර්විකාර බැවින්) තාදී යැ යි කියනු ලැබේ.

තව වීර වාක්‍යං අභිකඞ්ඛමානා - මුඹ වහන්සේ ගේ වචනය වාඞ්මාර්ගය දේශනාව අනුශාසනාව, අභිකඞ්ඛමානා - කැමැති වන්නාහු ඉස්නාහු ආස්වාද කරන්නාහු ප්‍රාර්ථනා කරන්නාහු රුස්නාහු අභිජල්පනය කරන්නාහු නුයි 'තව වීර වාක්‍යං අභිකඞ්ඛමානා' යනු වේ.

තෙසං තුවං සාධු වියාකරොහි - 'තෙසං' යනු: ඒ ක්ෂත්‍රියයන්ගේ බ්‍රාහ්මණයන්ගේ වෛශ්‍යයන් ගේ ශුද්‍රයන් ගේ ගිහියන් ගේ පැවිද්දන්ගේ දෙවියන්ගේ මිනිසුන්ගේ, 'තුවං' යි භාග්‍යවතුන් (සඳහා) බෙණෙයි. සාධු වියාකරොහි - මැනැවින් වදාළ මැනැව දෙසනු මැනැව පනවනු මැනැව පිහිටුවනු මැනැව විවරණ කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව ප්‍රකාශ කළ මැනැවැ යි 'තෙසං තුවං සාධු වියාකරොහි' යනු වේ.

තථා හි තෙ විදිතො එස ධම්මො - යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම එපරිද්දෙන් දන්නාලද ද තුලනය කරනලද ද තීරණය කරන ලද ද ප්‍රකට කරන ලද ද විභාවන කරන ලද ද එහෙයිනැ යි.

එයින් කී යැ එ බමුණු:

“නානා ජනා ජනපදෙහි -පෙ- තථා හි තෙ විදිතො එස ධම්මො” යි.

12-3.

(බුදුහු මෙසේ වදාළහ: භද්‍රාවුධය,) අතීතානාගතවර්‍තමානයෙහි වූ හැම ආදානතෘෂ්ණාව (තෘෂ්ණොපාදානය) දුරු කරවු, යම් හෙයකින් ලොවැ (අතීතරූපාදි) යම් යම් වස්තුවක් දැඩි කොට ගනිත් ද එහෙයින් මැ ස්කන්‍ධමාර තෙම සත්ත්‍වයා අනු වැ යේ.

ආදානතණ්හං විනයෙථ සබ්බං - 'ආදානතණ්හා' යි රූපතෘෂ්ණාව කියනු ලැබෙයි .. ආදාන තණ්හා - යි කවර කරුණෙකින් 'ආදානතණ්හා' යි කියනු ලැබේ ද යත්: ඒ තෘෂ්ණායෙන් රූපය ආදානය කෙරෙති උපාදානය කෙරෙති ගනිති පරාමර්ශය කෙරෙති අභිනිවෙශය කෙරෙත්. වෙදනාව- සංඥාව- සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය - ප්‍රතිසන්ධිය - භවය - සංසාරය වර්තය ආදානය උපාදානය ග්‍රහණය පරාමර්ශය අභිනිවෙශය කෙරෙත්. එ කරුණෙන් 'ආදානතණ්හා' යි කියනු ලැබේ. විනයෙථ සබ්බං - සියලු ආදානතෘෂ්ණාව හරනේ යැ වෙසෙසින් හරනේ යැ දුරු කරන්නේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනු අභාවයට පමුණු වන්නේ නුයි 'ආදානතණ්හං විනයෙථ සබ්බං' යනු වේ. භද්‍රාවුධා' ති භගවා......

උද්ධං අධො තිරියඤ්චා'පි මජ්ඣෙ- 'උද්ධං' යි අනාගතය කියනු ලැබෙයි, අධො යි අතීතය කියනු ලැබෙයි, තිරියඤ්චා'පි මජ්ඣෙ යනු වර්තමානය යි. උද්ධං යනු දේවලෝක යැ, අධො යනු නිරයලෝක යැ, තිරියඤ්චා'පි මජ්ඣෙ යනු මනුෂ්‍යලෝක යි. උද්ධං යනු කුශලධර්මයෝ යැ, අධො යනු අකුශලධර්මයෝ යැ, තිරියඤ්චා'පි මජ්ඣෙ යනු අව්‍යාකෘත ධර්මයෝ යි. උද්ධං යනු සුඛවෙදනා යැ, අධො යනු දුඃඛවෙදනා යැ, තිරියඤ්චා'පි මජ්ඣෙ යනු උපෙක්ෂා වෙදනා යි. උද්ධං යනු අරූපධාතු යැ, අධො යනු කාමධාතු යැ, තිරියඤ්චා'පි මජ්ඣෙ යනු රූපධාතු යි. උද්ධං යනු පාදතලයෙන් උඩ යැ, අධො යනු කේශමස්තකයෙන් යට යැ, තිරියඤ්චා'පි මජ්ඣෙ යනු වෙමධ්‍යයෙහි නුයි 'උද්ධං අධො තිරියඤ්චා'පි මජ්ඣෙ' යනු වේ.

යං යං හි ලොකස්මිං උපාදියන්ති- යම් යම් රූපගතයක් වෙදනාගතයක් සංඥාගතයක් සංස්කාරගතයක් විඥානගතයක් ආදානය උපාදානය ග්‍රහණය පරාමර්ශය අභිනිවෙෂය කෙරෙත් ද, ලොකස්මිං යනු: අපායලෝකයෙහි ... ආයතනලෝකයෙහි නුයි 'යං යං හි ලොකස්මිං උපාදියන්ති' යනු වේ.

තෙනෙව මාරො අන්වෙති ජන්තුං- එ මැ (උපාදාන ප්‍රත්‍යයෙන් උපන්) කර්මාභිසංස්කාරයන්ගේ වශයෙන් ප්‍රතිසන්ධික වූ ස්කන්ධමාර ධාතුමාර ආයතනමාර ගතිමාර උපපත්තිමාර ප්‍රතිසන්ධිමාර භවමාර සංසාරමාර වෘත්තමාර තෙමේ අනු වැ යෙයි අනුගමනය කෙරෙයි අනු වැ යන්නේ වේ. ජන්තු යනු: සත්ත්ව- නර- මානව- පුරුෂ- පුද්ගල- ජීව- ජාගු- ජන්තු- ඉන්දගු- (හින්දගු) මනුජයා නුයි 'තෙනෙව මාරො අන්වෙති ජන්තුං' යනු වේ.

එයින් වදාළහ බුදුහු:

“ආදානතණ්හං -පෙ- තෙනෙව මාරො අන්වෙති ජන්තුං” යි.

12-4.

එහෙයින් ස්මෘතිමත් වූ (සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන්) දන්නා වූ මහණ තෙම මේ ප්‍රජාව මෘත්‍යුධෙයයෙහි ඇලිනැ'යි දක්මින් (රූපාදි) ආදානයෙහි ඇලුණු සියලු ලොවැ (රූපාදි) කිසිවක් නො ගන්නේ යැ' යි.

තස්මා පජානං න උපාදියෙථ- 'තස්මා' යනු: එහෙයින් එ කරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් ආදානතෘෂ්ණාව පිළිබඳ වූ තෙල ආදීනවය දක්නේ නුයි 'තස්මා' යනු වේ. පජානං යනු දන්නේ ප්‍රකර්ෂයෙන් දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ ප්‍රතිජානනය කරන්නේ ප්‍රතිවෙධ කරනුයේ, සියලු සංස්කාරයෝ අනිත්‍යහ'යි දන්නේ ප්‍රකර්ෂයෙන් දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ ප්‍රතිජානනය කරන්නේ ප්‍රතිවෙධ කරනුයේ, සියලු සංස්කාරයෝ දුඃඛහ'යි ... යම් කිසි සමුදය ධර්මයෙක් වේ නම් එ හැම නිරුද්ධ වන ස්වභාවය ඇතැ'යි දන්නේ ප්‍රකර්ෂයෙන් දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ ප්‍රතිජානනය කරන්නේ ප්‍රතිවෙධ කරනුයේ, න උපාදියෙථ යනු: රූපය නො ගන්නේ යැ උපාදානය නො කරන්නේ යැ ග්‍රහණය නො කරන්නේ යැ අභිනිවෙශය නො කරන්නේ යැ, වෙදනාව- සංඥාව- සංස්කාරයන්- විඥානය- ගතිය- උපප්‍රාප්තිය- ප්‍රතිසන්ධිය- භවය- සංසාරය- වර්ත්තය- ආදානය නො කරන්නේ යැ උපාදානය- ග්‍රහණය- පරාමර්ශය- අභිනිවෙශය නො කරන්නේ නුයි 'තස්මා පජානං න උපාදියෙථ' යනු වේ.

භික්ඛු සතො කිඤ්චනං සබ්බලොකෙ- 'භික්ඛු' යනු: පෘතග්ජන කල්‍යාණ භික්ෂු හෝ ශෛක්ෂ භික්ෂු හෝ යැ. සතො යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ කයෙහි කායානුපස්සනාව සීවටන් වඩමින් සිහි ඇතියේ... හේ සිහි ඇතියේ යැ යි කියනු ලැබේනුයි 'භික්ඛු සතො' යනු වේ. 'කිඤ්චනං' යනු: කිසි රූපගතයක් වෙදනාගතයක් සංඥාගතයක් සංස්කාරගතයක් විඥානගතයක්. 'සබ්බලොකෙ' යනු: සියලු අපාය ලෝකයෙහු සියලු මනුෂ්‍යලෝකයෙහි සියලු දේවලෝකයෙහි සියලු ස්කන්ධලෝකයෙහි සියලු ධාතුලෝකයෙහි සියලු ආයතනලෝකයෙහි නුයි 'භික්ඛු සතො කිඤ්චනං සබ්බලොකෙ’ යනු වේ.

ආදානසත්තෙ ඉති පෙක්ඛමානො- යම් කෙනෙක් රූපය ආදානය කෙරෙත් ද උපාදානය ග්‍රහණය පරාමර්ශය අභිනිවෙශය කෙරෙත් ද, වෙදනාව- සංඥාව- සංස්කාරයන්- විඥානය- ගතිය- උපප්‍රාප්තිය- ප්‍රතිසන්ධිය- භවය- සංසාරය- වර්තය- ආදානය කෙරෙත් ද, උපාදානය- ග්‍රහණය- පරාමර්ශය- අභිනිවෙශය කෙරෙත් ද ඔහු 'ආදානසත්ත' කියනු ලැබෙත්. ඉති යනු පද සන්ධි යැ ... පදානුපූර්වතා යැ තෙල 'ඉති' යනු. පෙක්ඛමානො- දක්නේ බලනුයේ අවලෝකනය කරනුයේ සිතනුයේ පුනපුනා සිතනුයේ පිරික්සනුයේ නුයි 'ආදාන සත්තෙ ඉති පෙක්ඛමානො’ යනු වේ.

පජං ඉමං මච්චුධෙය්‍යෙ විසත්තං - 'පජා' යනු: සත්ත්වයනට නමෙකි. මච්චුධෙය්‍යෙ යි ක්ලෙශයෝ ද ස්කන්ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙත්. ප්‍රජා තොමෝ මෘත්‍යුධෙයයෙහි මාරධෙයයෙහි මරණධෙයයෙහි ඇලුණී යැ වෙසෙසින් ඇලුණී යැ හාත්පසින් ඇලුණී යැ ලග්න වූ යැ ලග්නිත වූ යැ පරිරොධ වූ යැ යම්සේ භිත්ති ඛිලයෙකැ හෝ නාගදන්තයෙකැ හෝ භාණ්ඩයෙක් සක්ත විසක්ත ආසක්ත ලග්න ලග්නිත පරිරුද්ධ වේ ද එසෙයින් ප්‍රජා තොමෝ මෘත්‍යුධෙයයෙහි මාරධෙයයෙහි මරණධෙයයෙහි සක්ත යැ විසක්ත යැ ආසක්ත යැ ලග්න යැ ලග්නිත යැ පරිරුද්ධ නු යි ‘පජං ඉමං මච්චුධෙය්‍යෙ විසත්තං’ යනු වේ.

එයින් වදාළහ බුදුහු:

“තස්මා පජානං න උපාදියෙථ -පෙ- පජං ඉමං මච්චුධෙය්‍යෙ විසත්තං” යි.

ගාථා පර්‍ය්‍යාවසානය හා සමග ... වහන්ස, බුදුහු මාගේ ශාස්තෘ යැ, මම් ශ්‍රාවකයෙමි’යි.

භද්‍රාවුධ සූත්‍රනිර්දේශය නිමි.