ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » මහා නිද්දේස පාළි » කාමසූත්‍රනිර්දේශය

1. කාමසූත්‍රනිර්දේශය

1 - 1.

“වස්තුකාමය කැමැති වන සත්ත්වයාහට ඉදින් ඒ කාමය සමෘද්ධ වේ නම්, එකල්හි සත්ත්ව තෙමේ කැමැති වස්තුව ලැබ එකාන්තයෙන් සතුටු සිත් ඇත්තේ වේ.”

කාමං කාමයමානස්ස - ‘කාමා’ යනු විස්තර විසින් වස්තුකාමයෝ යැ, ක්ලෙශකාමයෝ යැ යි කාමයෝ දෙදෙනෙක් වෙති. වස්තුකාමයෝ කවරහ?යත්: මන වඩන රූපයෝ යැ, මන වඩන ශබ්දයෝ යැ, මන වඩන ගන්ධයෝ යැ, මන වඩන රසයෝ යැ, මන වඩන ස්පර්‍ශයෝ යැ, අතුරුණු යැ, පොරෝන යැ, දැසිදස්හු යැ, එළු බැටෙළු යැ, හූරු කුකුළු යැ, ඇත් අස් ගව වෙළඹහු යැ, කෙත් යැ, වතු යැ, කහවණු යැ, රන් යැ, ගම් නියම්ගම් රජදහන්හු යැ, රට යැ, දනවු යැ, කොෂ යැ, කොටුගෙ යැ, යම් කිසි ඇලුම් කට යුතු වස්තු යැ (යන මොහු) වස්තුකාමයෝ යැ.

තව ද, අතීතකාමයෝ යැ, අනාගතකාමයෝ යැ, වර්‍තමානකාමයෝ යැ, ආද්ධ්‍යාත්මිකකාමයෝ යැ, බාහිරකාමයෝ යැ, අද්ධ්‍යාත්මබාහ්‍යකාමයෝ යැ, හීනකාමයෝ යැ, මධ්‍යමකාමයෝ යැ, ප්‍රණීතකාමයෝ යැ, සතර අපායයෙහි වූ කාමයෝ යැ, මිනිස්ලොවැ වූ කාමයෝ යැ, දෙව්ලොවැ වූ කාමයෝ යැ, එළඹ සිටි කාමයෝ යැ, (අරමුණු මවා රමණය කරන) නිර්මිතකාමයෝ යැ, පර නිර්මිත කාමයෝ යැ, අනිර්මිත (=පියෙවින් පිළියෙල වූ) කාමයෝ යැ, (මේ මාගේ යැ යි) පිළිගත් කාමයෝ යැ, (එසෙයින්) නො පිළිගත් කාමයෝ යැ, (තෘෂ්ණාවශයෙන්) මේ මාගේ යැ යි ගත් කාමයෝ යැ, (එසේ නො ගත්) අමමායිත කාමයෝ යැ, සියලු මැ කාමාවචරධර්‍මයෝ යැ, සියලු මැ රූපාවචරධර්‍මයෝ යැ, සියලු මැ අරූපාවචරධර්‍මයෝ යැ, තෘෂ්ණාවට කාරණ වූ තෘෂ්ණාවට අරමුණු වූ (ධර්‍මයෝ) ප්‍රාර්ථනා කළ යුතු අර්ථයෙන් ඇලීමට යොග්‍යාර්ථයෙන් (කුලමදාදි) මද ඉපදවිය යුතු අර්ථයෙන් කාමයෝ යි. මොහු වස්තුකාමයෝ යැ යි කියනු ලැබෙත්.

ක්ලේශකාමයෝ කවරහ? යත්: ඡන්දය කාම යැ, රාගය කාම යැ, ඡන්දරාගය කාම යැ, සඞ්කල්පය කාම යැ, රාගය කාම යැ, සඞ්කල්පරාගය කාම යැ, පඤ්චකාමගුණයෙහි යම් කාමසඞ්ඛ්‍යාත ඡන්දයෙක්, කාමරාගයෙක්, කාමනන්දියෙක්, කාමතෘෂ්ණායෙක්, කාමස්නෙහයෙක්, කාමපරිදාහයෙක්, කාමමූර්ඡායෙක්, කාමයන්හි ඇතුළු වීමෙක්, කාමසඞ්ඛ්‍යාත ඔඝයෙක්, කාමයොගයෙක්, කාමොපාදානයෙක්, කාමච්ඡන්දනීවරණයෙක් වේ ද -

1. කාමය, තා ගේ මුල දිටිමි. කාමය, තෝ සඞ්කල්පය හේතු කොට ගෙන උපදනෙහි. (දැන් මම) තා නො පතමි. කාමය, මෙසෙයින් තෝ නූපදනෙහි යැ යි.

මොහු ක්ලේශකාමයෝය යි කියනු ලැබෙත්.

කාමයමානස්ස - කැමැති වන, ආශංසනය කරන, ආස්වාදනය කරන, ප්‍රාර්ථනා කරන, ලබනු කැමති වන, තෘෂ්ණායෙන් තෘප්තිය උපදවන ඔහුට නු යි ‘කාමං කාමයමානස්ස’ යනු වේ.

තස්ස චෙතං සමිජ්ඣති- ‘තස්ස චෙ’ යනු: ක්ෂත්‍රිය වූ හෝ බ්‍රාහ්මණ වූ හෝ වෛශ්‍ය වූ හෝ ශුද්‍ර වූ හෝ ගිහි වූ හෝ පැවිදි වූ හෝ දෙවි වූ හෝ මිනිස් වූ හෝ ඔහුට යැ. ‘තං’ යි වස්තුකාමයෝ කියනු ලැබෙති. මන වඩන රූපයෝ යැ, ශබ්දයෝ යැ, ගන්ධයෝ යැ, රසයෝ යැ, ස්පර්‍ශයෝ යි. සමිජ්ඣති යනු: නිපැදෙයි, මොනවට නිපැදෙයි, ලැබෙයි, පිළිලැබෙයි, පැමිණෙයි, විඳී නු යි ‘තස්ස චෙ තං සමිජ්ඣති’ යනු වේ.

අද්ධා පීතිමනො හොති- අද්ධා යනු: ඒකාන්තවචන යැ, නිස්සංශය වචන යැ, නිසැකවචන යැ, අද්වෛධවචන යැ, නොදෙහිත් වචන යැ, නියොගවචන යැ, අවිරුද්ධවචන යැ, සනිටුහන් වචනයෙකි. මේ ‘අද්ධා’ යනු වේ. පීති යනු පඤ්චකාමගුණප්‍රතිසංයුක්ත වූ යම් ප්‍රීතියෙක්, ප්‍රාමොද්‍යයෙක්, ආමොදනයෙක්, ප්‍රමොදනයෙක්, හර්‍ෂයෙක්, ප්‍රහර්‍ෂයෙක් (=හටුපහටු ආකාරයෙක්), ප්‍රීතිධනයෙක්, සතුටෙක්, ඔද වැඩිබවෙක්, සතුටුසිත් ඇති බවෙක්, චිත්තයාගේ පැතුරුණුබවෙක් වේ ද එය යි. මනො යනු: යම් සිතෙක්, මනසෙක්, මානසයෙක්, හෘදයයෙක්, පණ්ඩර වූ භවාඞ්ගසිතෙක්, මනසෙක්, ‘මන’සඞ්ඛ්‍යාත ආයතනයෙක්, මනින්ද්‍රියයෙක්, විඥානයෙක්, විඥානස්කන්ධයෙක්, තදනුරූප වූ (හෙවත් ඒ ස්පර්‍ශාදිය උපදවන) මනොවිඥානධාතුයෙක් වේ ද, මෙය ‘මන” යැ යි කියනු ලැබේ. මේ මනස මේ ප්‍රීතිය හා සහගත වූයේ, සමග උපන්නේ, සංඍෂ්ට වූයේ, සම්ප්‍රයුක්ත වූයේ, එක් වැ උපන්නේ, එක් වැ නිරුද්ධ වනුයේ, (හදවත් විසින්) ඒකවස්තුක වූයේ, එක් අරමුණෙහි වූයේ වේ. පීතිමනො හොති - ප්‍රීති සහිත සිත් ඇතියේ වෙයි. තුටුසිත් ඇතියේ, හටුසිත් ඇතියේ, පහටුසිත් ඇතියේ, අත්තමන වූයේ, ඔද වැඩි සිත් ඇතියේ, මුදිත වූ සිත් ඇතියේ, ප්‍රමුදිත වූ සිත් ඇතියේ වේ නු යි ‘අද්ධා පීතිමනො හොති’ යනු වේ.

ලද්ධා මච්චො යදිච්ඡති - ලද්ධා යනු: ලැබ, පැමිණ, විඳ, ප්‍රතිලාභ කොට; මච්චො යනු: සත්ත්ව තෙම, නර තෙම, මානවයා, පුරුෂයා, පුද්ගලයා, ජීවයා, (ච්‍යුතියෙන් ජාතියට යන්නේ නු යි) ජාගු තෙම, ජන්තු තෙම, (ඉන්දසඞ්ඛ්‍යාත කර්‍මයෙන් යේ නු යි) ඉන්දගු තෙම, මනුජ තෙමේ යි. යදිච්ඡති යනු: රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ස්ප්‍රෂ්ටව්‍යයක් හෝ යම් කිසිවක් කැමැති වේ නු යි, යමක් ආස්වාද කෙරේ නු යි, යමක් ප්‍රාර්ථනා කෙරේ නු යි, යමක් (තෘෂ්ණාවශයෙන්) ලබනු කැමැති වේ නු යි, ‍යමෙක (තෘෂ්ණාවශයෙන්) ගුණ කියා නු යි ‘ලද්ධා මච්චො යදච්ඡති’ යනුවේ.

එයින් වදාළහ බුදුහු:

“කාමං කාමයමානස්ස -පෙ- ලද්ධා මච්චො යදිච්ඡති” යි.

1 – 2.

“ඒ වස්තුකාමයන් කැමැති වන්නා වූ උපන් තෘෂ්ණා ඇති ඒ පුද්ගලයාගේ ඒ කාමයෝ ඉදින් පිරිහෙත් නම්, එකල්හි හෙතෙම විෂ පෙවූ ශල්‍යයෙකින් (=ඊතලයෙකින්) විදුනා ලද්දකු සෙයින් පෙළනු ලැබේ.”

තස්ස චෙ කාමයානස්ස - තස්ස චෙ යනු: ඒ ක්ෂත්‍රියයාගේ හෝ බ්‍රාහ්මණයාගේ හෝ වෛශ්‍යයාගේ හෝ ශුද්‍රයාගේ හෝ ගෘහස්ථයාගේ හෝ ප්‍රව්‍රජිතයාගේ හෝ දෙවියාගේ හෝ මිනිසාගේ හෝ යැ. කාමයානස්ස යනු: කාමවස්තූන් කැමැති වන්නහුගේ, ඉවසන්නහු (=ආස්වාදනය කරන්නහු)ගේ, ප්‍රාර්ථනා කරන්නහුගේ, ලබනු කැමැති වන්නහුගේ, තෘෂ්ණා වශයෙන් ගුණ කියන්නහුගේ; නොහොත් කාමතෘෂ්ණාව විසින් යවනු ලැබෙයි, පමුණුවනු ලැබෙයි, වහනය කරනු ලැබෙයි, ගෙනයනු ලැබෙයි; යම් සේ ඇත්යානයෙකින් හෝ අස්යානයෙකින් හෝ ගවයානයෙකින් හෝ බැටෙළුයානයෙකින් හෝ මැඬයානයෙකින් හෝ ඔටුයානයෙකින් හෝ කොටළුයානයෙකින් හෝ යවනු ලැබේ ද, පමුණුවනු ලැබේ ද, වහනය කරනු ලැබේ ද, ගෙන යනු ලැබේ ද, එසෙයින් ම කාමතෘෂ්ණාව විසින් යවනු ලැබෙයි, පමුණුවනු ලැබෙයි, වහනය කරනු ලැබෙයි, ගෙන යනු ලැබේ නුයි ‘තස්ස චෙ කාමයානස්ස’ යනු වේ.

ඡන්දජාතස්ස ජන්තුනො - ඡන්ද නම්: පස්කම්ගුණයෙහි යම් කාම සඞ්ඛ්‍යාත ඡන්දයෙක්, කාමතෘෂ්ණායෙක්, කාම‍ස්නෙහයෙක්, කාමපරිදාහයෙක්, කාමමූර්ච්ඡායෙක්, කාමයන්හි බැසගැනීමෙක්, කාමසංඛ්‍යාත ඔඝයෙක්, කාමයොගයෙක්, කාමොපාදානයෙක්, කාමච්ඡන්දනීවරණයෙක් වේ ද, ඔහුට ඒ කාමච්ඡන්දය තෙමේ උපන්නේ, මොනොවට උපන්නේ, නිපන්නේ, වෙසෙසින් නිපන්නේ, පහළ වූයේ වේ. ජන්තුනො යනු: සත්ත්වයාගේ නරයාගේ, මානවයාගේ, පුරුෂයාගේ, පුද්ගලයාගේ, ජීවයාගේ, ච්‍යුතියෙන් ජාතියට යන්නහුගේ, ජන්තුහු ගේ, කර්‍මයෙන් යන්නහු ගේ, මිනිසාගේ, නු යි ‘ඡන්දජාතස්ස ජන්තුනො’ යනු වේ.

තෙ කාමා පරිහායන්ති - වස්තුකාමාදි ඒ කාමයෝ හෝ පිරිහෙති, ඒ පුද්ගල තෙමේ හෝ කාමයන් කෙරෙන් පිරිහේ. කිසෙයින් ඒ කාමයෝ පිරිහෙති? යත්: ඔහු ජීවත් වැ සිටිය දී මැ ඒ (කාමසඞ්ඛ්‍යාත) භොගයන් රජදරුවෝ හෝ හැරගනිති. සොරු හෝ පැහැරැගනිති. ගින්න හෝ දවයි. (ඔඝ ආදි) උදකය හෝ මුහුදට ගෙන යයි. අමනාප වූ දායාදයෝ (=නොහිමියෝ) හෝ හැරැගනිති. නිධාන කොට තබන ලදුයේ හෝ නො ලැබෙයි. දුෂ්ප්‍රයුක්ත වූ (=වරදවා යොදන ලද කෘෂිවණිගාදි) කර්‍මාන්තයෝ හෝ බිදීයෙති. කුලයෙහි ඒ භෝගයන් විසුරුවන, නසන, විධවංසනය කරන, කුලඅඟුරෙක් (=කුලඝාතකයෙක්) හෝ උපදී. අනිත්‍යතාව මැ අටවැනි කොට ඇත. මෙසේ ඒ කාමයෝ හෙති, පිරිහෙති, හාත්පසින් වැනැසෙති, වැගිරෙති, අතුරුදහන් වෙති, සුණුවිසුණු වැ යෙත්.

කිසෙයින් හෙතෙම කාමයන් කෙරෙන් පිරිහෙයි? යත්: ඒ භොගයන් තිබියැ දී මැ හෙතෙම ච්‍යුත වෙයි, මැරෙයි, අතුරුදන් වෙයි, වැනැසේ. මෙසෙයින් හෙතෙම කාමයන් කෙරෙන් හෙයි, පිරිහෙයි, හාත්පසින් වැනැසෙයි, ගිලිහෙයි, අතුරුදහන් වෙයි, සුණුවිසුණු වේ.

1. “සොරු ද රජදරුවෝ ද (භොගයන්) පැහැරගනිති. ගින්න දවයි. උදකාදියෙන් නැසෙයි. යළි (ශෙෂ වූ) භොගයන් සහිත ශරීරය මරණය සමග හැරැපියයි.

2. පණ්ඩිතපුරුෂ තෙමේ තෙල භෝගයන්ගේ විනාශය දැන වළඳනුයේ ද දෙනුයේ ද වෙයි. සම්පත් වූ ලෙසින් දී වළදා අනින්දිත වූයේ දෙව්ලොවට පැ‍මිණේ.”

තෙ කාමා පරිහායන්තී සල්ලවිද්ධොව රුප්පති - යම් සේ ලොහොමුවා හීයෙකින් හෝ ඇටමුවා හීයෙකින් හෝ දළමුවා හීයෙකින් හෝ සිඟුමුවා හීයෙකින් හෝ දඬුමුවා හීයෙකින් හෝ විදුනා ලදුයේ විසිරේ ද (=විකාරයට පැමිණේ ද), සැලේ ද (=කිපේ ද), ගැටේ ද, පෙළේ ද, පෙ‍ළන ලදුයේ හටගත් දොම්නස් ඇතියේ වේ ද, එසෙයින් ම වස්තුකාමයන්ගේ විපරිණාමයෙන් වූ අන්‍යථාත්වයෙන් සෝකපරිදෙව දුක්ඛදෝමනස්සුපායාසයෝ උපදිත්. හෙතෙම කාමශල්‍යයෙන් ද ශෝකශල්‍යයෙන් ද විදුනා ලදුයේ විසිරෙයි, සැලෙයි, ගැටෙයි, පෙළෙයි. පෙළන ලදුයේ හටගත් දොම්නස් ඇතියේ වේ නු යි “සල්ලවිද්ධොව රුප්පති” යනු වේ. එයින් වදාළහ බුදුහු:

“තස්ස චෙ කාමයානස්ස -පෙ- සල්ලවිද්ධොව රුප්පති” යි.

1 – 3.

“යමෙක් වස්තුකාමක්ලේශකාමයන් (එහි ඡන්දරාගය විෂ්කම්භණයෙන් හෝ සමුච්ඡෙදයෙන් හෝ) තමාගේ පයින් සර්පයකුගේ හිස මෙන් දුරු කෙරේ ද, ඒ මහණ ලොව්හි විසත්තිකා සඞ්ඛ්‍යාත වූ මේ තෘෂ්ණාව ස්මෘතිමත් වැ ඉක්මවයි.”

යො කාමෙ පරිවජ්ජෙති - යො - යම් කිසි, යම් බඳු වූ, යමෙකින් යුක්ත වූ, යම්සේ සිටි, යම් ප්‍රකාර වූ, යම් තනතුරකට පැමිණි, යම් ධර්‍මයෙකින් යුක්ත වූ ක්ෂත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ යි. කාමෙ පරිවජ්ජෙති- කාමයෝ නම්: විස්තර විසින් කාමයෝ දෙදෙනෙක් වෙති: වස්තුකාමයෝ ද, ක්ලෙශකාමයෝ දැ යි... මොහු වස්තු කාමයෝ යැ යි කියනු ලැබෙත්... මොහු ක්ලෙශකාමයෝ යැ යි කියනු ලැබෙත්.

කාමෙ පරිවජ්ජෙති - දෙකරුණෙකින් කාමයන් දුරු කෙරෙයි: විෂ්කම්භණ විසින් හෝ සමුච්ඡෙද විසින් හෝ යැ. කෙසේ විෂ්කම්භණ විසින් කාමයන් පරිවර්ජන කෙරේ ද ? යත්: ‘අල්පාස්වාද වන බැවින් කාමයෝ ඇටසැකිල්ලක් වැන්නැ’යි නුවණැසින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි; බහුසාධාරණ වන බැවින් ‘කාමයෝ මාංසපෙශි වැන්නහ’යි නුවණැසින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි; ‘දහනකෘත්‍යසම්පාදක වන (=හස්තාදිය දවන) බැවින් කාමයෝ තෘණොල්කා (=තණහුලක්) වැන්නහ’යි නුවණින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්ජන කෙරෙයි. ‘මහාපරිදාහකර වන බැවින් කාමයෝ අඞ්ගාරකර්ෂු (=අඟුරුවළ) වැන්නහ’යි නුවණින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්ජන කෙරෙයි. ‘ඉත්වර වැ (=නො පැමිණ හෝ අල්ප වැ එළඹ) සිටි වන බැවින් කාමයෝ ස්වප්නයක් වැන්නහ’යි නුවණින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්ජන කෙරෙයි. ‘තාවත්කාලික වන බැවින් කාම පිරුළුයෙන් අළ දැයක් වැන්නැ’යි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි. ‘සම්භඤ්ජනපරිභඤ්ජනකර වන බැවින් කාම වෘක්ෂඵල වැන්නැ'යි නුවණින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්ජන කෙරෙයි. ‘අධිකුට්ටනා*ර්ථයෙන් (=සිඳුනා බැවින්) කාම අසිසූනා (කඩුව හා මස්ලොඹුව) වැන්නැ’යි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි. ‘විනිවිදුනා බැවින් කාමයෝ සැත්හුලක් වැන්නහ’යි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි. ‘සප්‍රතිභයාර්ථයෙන් කාමයෝ සර්පශීර්‍ෂ වැන්නහ’යි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්ජන කෙරෙයි. ‘මහාහිතාපකර වන බැවින් කාමයෝ වහනිස්කන්ධ වැන්නහ’යි නුවණැසින් දක්නේ කාමයන් පරිවර්ජන කෙරේ.

බුද්ධානුස්මෘතිය වඩනුයේ ද විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්ජන කෙරෙයි. ධර්‍මානුස්මෘතිය වඩනුයේ ද... සඞ්ඝානුස්මෘතිය වඩනුයේ ද... ශීලානුස්මෘතිය වඩනුයේ ද... ත්‍යාගානුස්මෘතිය වඩනුයේ ද... දෙවතානුස්මෘතිය වඩනුයේ ද... ආනාපානස්මෘතිය වඩනුයේ ද... මරණානුස්මෘතිය වඩනුයේ ද... කායගතානුස්මෘතිය වඩනුයේ ද... උපශමානුස්මෘතිය වඩනුයේ ද විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි; ප්‍රථමධ්‍යානය වඩනුයේ ද විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි. ද්විතීයධ්‍යානය වඩනුයේ ද... තෘතීයධ්‍යානය වඩනුයේ ද... චතුර්ථධ්‍යානය වඩනුයේ ද... ආකාසානඤ්චායතනසමාපත්තිය වඩනුයේ ද... විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය වඩනුයේ ද... ආකිඤ්චාඤ්ඤායතනසමාපත්තිය වඩනුයේ ද... නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය වඩනුයේ ද විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්‍ජන කෙරෙයි. මෙසේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්‍ජන කෙරේ.

කෙසේ සමුච්ඡෙද විසින් කාමයන් පරිවර්‍ජන කෙරෙයි ? යත්: ස්‍රොතාපත්තිමාර්‍ගය වඩනුයේ ද අපායගමනීය වූ කාමයන් සමුච්ඡෙද හෙයින් පරිවර්‍ජන කෙරෙයි: සකෘදාගාමිමාර්‍ගය වඩනුයේ ද ඖදාරික වූ කාමයන් සමුච්ඡෙද හෙයින් දුරු කෙරෙයි; අනාගාමීමාර්‍ගය වඩනුයේ ද අණුසහගත වූ කාමයන් සමුච්ඡෙද හෙයින් දුරු කෙරෙයි, අර්‍හත්ත්වමාර්‍ගය වඩනුයේ ද සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශෙෂ කොට නිරවශෙෂ කොට සමුච්ඡෙදවශයෙන් කාමයන් පරිවර්‍ජන කෙරෙයි. මෙසෙයින් සමුච්ඡෙද හෙයින් කාමයන් දුරු කෙරේ.

යො කාමෙ පරිවජ්ජෙති සප්පස්සෙව පදා සිරො - ‘සප්ප’ යී නාගයා කියනු ලැබෙයි. කවර හෙයෙකින් සර්ප නම් වී ද ? යත්: සංසර්‍පණ කෙරෙමින් යේ නු යි සර්ප යැ, වක්‍රවක්‍ර වැ යේ නු යි භුජග යැ; උරයෙන් (ළෙන්) යේ නුයි උරග යැ; නැමූ ශීර්‍ෂ ඇති වැ යේ නු යි;= පන්නග යැ; සිරසින් හොවී නු යි සිරිංසප යැ; බිලයෙහි හොවී නු යි;= බිලාශය යැ; ගුහායෙහි හොවී නු යි; ගුහාශය යැ; දංෂ්ට්‍රා ඔහුට ආයුධ නු යි දංෂ්ට්‍රායුධ යැ; විෂ ඔහුගේ ඝොර නු යි ඝොරවිෂ යැ; ජිහ්වා ඔහුගේ ද්වවිධ නු යි ද්විජිහ්ව යැ, දෙදිවින් රස විඳීනු යි ද්විරසඥ යැ. යම් සේ ජීවත් වනු කැමැති නො මැරෙනු කැමැති සුව කැමැති දුඃඛප්‍රතිකූල වූ පුරුෂයෙක් පයින් සර්පශීර්‍ෂය හරනේ ද, වෙසෙසින් හරනේ ද, හාත්පසින් හරනේ ද, දුරින් දුරු කෙරේ ද, එසෙයින් ම සුව කැමැති වූයේ දුඃඛප්‍රතිකූල වූයේ කාමයන් හරනේ යැ, වෙසෙසින් හරනේ යැ, හාත්පසින් හරනේ යැ, දුරින් දුරු කෙරේ නු යි සප්පස්සෙව පදා සිරො යනු වේ.

සො‘මං විසත්තිකං ලොකෙ සතො සමතිවත්තතී - ‘සො’ යනු: යමෙක් කාමයන් පරිවර්‍ජන කෙරේ නම් හේ ය. ‘විසත්තිකා’ යි තෘෂ්ණා කියැවෙයි. යම් රාගයෙක් සංරාගයෙක් (පුනපුනා පමුණුවන හෙයින්) අනුනයයෙක් අනුරොධයෙක් නන්දියෙක් නන්දිරාගයෙක්, චිත්තයාගේ සංරාගයෙක් (අරමුණු කැමැති වන) ඊප්සායෙක් (බොල් කෙලෙස් බැවින් මුසපත් කරන) මූර්ඡායෙක් අධ්‍යවසානයෙක්, ගෙධයෙක් පරිගෙධයෙක් (අරමුණෙහි ලැගෙන හෙයින්) සඞ්ගයෙක් (ගැලෙන හෙයින්) පඞ්කයෙක් (ඒ ඒ භවයට ආකර්‍ෂණ කරන) එජාවෙක් (රවටන හෙයින්) මායාවෙක් (සසරවට උපදවන හෙයින්) ජනිකායෙක් (දුක හා සංයොග කරමින් උපදවන හෙයින්) සංජනනියෙක් (=ච්‍යුති ප්‍රතිසන්ධි විසින් භවයෙහි) මැසීමෙක් ජාලිනියෙක් (සරිත් සදෘශ ව ආකර්‍ෂණ කරන හෙයින්) නදියෙක් වෙසෙසින් ඇලීමෙක් (බඳනා හෙයින්) හුයෙක් (විස්තෘත වන හෙයින්) විසතායෙක් ආයූහනියෙක් (සහාය වන හෙයින්) ද්විතීයායෙක් ප්‍රණිධියෙක් භවනෙත්තියෙක් (සමුත්ථාපන - ගහන හෙයින්) වනයෙක් (බලවද්භාවයෙන්) වනථයෙක් සන්ථවයෙක් ස්නෙහයෙක් අපෙක්ෂායෙක් ප්‍රතිබන්ධුයෙක් ආශායෙක් ආශංසායෙක් ආශංසිත බවෙක්, රූපයෙහි ආශායෙක් ශබ්දාශායෙක් ගන්ධාශායෙක් රසාශායෙක් ස්පර්‍ශාශායෙක් ධනාශායෙක් පුත්‍රාශායෙක් ජීවිතාශායෙක්, (ජල්පන කරන හෙයින්) ජල්පායෙක් ප්‍රජල්පායෙක් අභිජල්පායෙක් ජල්පනයෙක් ජල්පිතබවෙක් ලොලුප බවෙක් ලොලුපාකාරයෙක් ලොලුපායිත බවෙක්, නඟුට සලන බවෙක් මධුර අරමුණු කැමැති වන බවෙක්, අධර්‍මරාගයෙක් විෂමලොභයෙක් නිකාන්තියෙක් නිකාමනයෙක් ප්‍රාර්ථනායෙක් පිහායෙක් සම්ප්‍රාර්ථනායෙක්, කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක්, රූපතෘෂ්ණායෙක් අරූපතෘෂ්ණායෙක් නිරොධතෘෂ්ණායෙක්, ශබ්දතෘෂ්ණායෙක් ගන්ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් ස්පර්‍ශතෘෂ්ණායෙක් ධර්‍මතෘෂ්ණායෙක්, ඔඝයෙක් යොගයෙක් ග්‍රන්ථයෙක් උපාදානයෙක් ආවරණයෙක් නීවරණයෙක් (කුසල් දහම් වසන හෙයින්) ඡදනයෙක් බන්ධනයෙක් උපක්ලෙශයෙක් අනුශයයෙක් (උපදනා කුසලවාරය ගන්නා) පරියුට්ඨානයෙක් (පරිවෙෂ්ටන කරන හෙයින්) ලතායෙක් (විවිධ වස්තු කැමැති වන හෙයින්) විවිධ වීප්සායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාශයෙක් මාරබඩිශයෙක් මාරවිෂයයෙක්, තෘෂ්ණානදියෙක් තෘෂ්ණාසඞ්ඛ්‍යාත ජාලයෙක් තෘෂ්ණා සඞ්ඛ්‍යාත ගර්දුල (=ශුනකබන්ධන) යෙක් තෘෂ්ණාසමුද්‍රයෙක්, අභිධ්‍යායෙක් ලොභ අකුශලමූලයෙක් වේ නම් එය යි.

විසත්තිකා - කවරහෙයෙකින් (තෘෂ්ණා තොමෝ) විසත්තිකා නම් වූ ද? යත්: විසෘත වන හෙයින් විසත්තිකා යැ; විශාල වන හෙයින් විසත්තිකා යැ; විඍෂ්ට වන හෙයින් විසත්තිකා යැ; විශෙෂයෙන් සහ්‍ය (=සහනය කළ හැකි) වන හෙයින් විසත්තිකා යැ; වෙසෙසින් සිත හකුළුවන හෙයින් හෝ දුඃඛවිෂය එළවන හෙයින් විසත්තිකා යැ; (අනිත්‍යාදිය) විසංවාදන කරන හෙයින් විසත්තිකා යැ; විෂමූල හෙයින් විසත්තිකා යැ; විෂඵල හෙයින් විසත්තිකා යැ; විෂපරිභොග හෙයින් = විසත්තිකා යැ. යළි විශාල වූ ඒ තෘෂ්ණා තොමෝ රූපයෙහි ශබ්දයෙහි ගන්ධයෙහි රසයෙහි ස්පර්‍ශයෙහි, කුලයා කෙරෙහි, ගණයා කෙරෙහි ආවාසයෙහි ලාභයෙහි යශස්හි ප්‍රශංසායෙහි සුඛයෙහි, චීවරයෙහි පිණ්ඩපාතයෙහි ශයනාසනයෙහි ග්ලානප්‍රත්‍යයයෙහි, කාමධාතුයෙහි රූපධාතුයෙහි අරූපධාතුයෙහි, කාමභවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි සංඥාභවයෙහි අසංඥාභවයෙහි නෛවසංඥානාසංඥාභවයෙහි එකස්කන්ධභවයෙහි චතුඃස්කන්ධභවයෙහි පඤ්චස්කන්ධභවයෙහි, අතීතකාලයෙහි අනාගතකාලයෙහි පුත්‍යුපන්නකාලයෙහි, දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍යධර්‍මයන්හි විඍත විස්තෘත නු යි ‘විසත්තිකා’ නමු.

ලොකෙ - අපායලොකයෙහි මනුෂ්‍යලොකයෙහි දෙවලොකයෙහි ස්කන්ධලොකයෙහි ධාතුලොකයෙහි ආයතනලොකයෙහි යැ.

සතො - සතර කරුණෙකින් ස්මෘති ඇතියේ: රූපකායයෙහි කායානුදර්‍ශනාස්මෘතිප්‍රස්ථානය (=කය අනිත්‍යාදි විසින් පුනපුනා දක්නා සීවටන්) වඩනුයේ ස්මෘති ඇතියේ යැ. වෙදනායෙහි - චිත්තයෙහි - ධර්‍මයන්හි ධර්‍මානුදර්‍ශනාස්මෘතිප්‍රස්ථානය වඩනුයේ ස්මෘති ඇතියේ යි. අනෙකුදු සතර කරුණෙකින් ස්මෘති ඇතියේ: මුෂිතස්මෘතිය දුර ලීමෙන් ස්මෘති ඇතියේ, ස්මෘතියෙන් කර්‍තව්‍ය වූ ධර්‍මයන් (=සතර මාර්‍ගයන්) වඩන ලද හෙයින් ස්මෘති ඇතියේ (කාමච්ඡන්දාදි) ස්මෘතිප්‍රතිපක්ෂධර්‍මයන් නැසූ හෙයින් ස්මෘති ඇතියේ, ස්මෘතිනිමිත්ත වූ (කායාදි) ධර්‍මයන් නො නට හෙයින් ස්මෘතිමත් වූයේ යැ. අන්‍ය වූ ද සතර කරුණෙකින් ස්මෘති ඇතියේ: ස්මෘතියෙන් සමන්විත වන හෙයින් ස්මෘතිමත් වූයේ, ස්මෘතිවශීභාවයට පැමිණි හෙයින් ස්මෘතිමත් වූයේ, ස්මෘතියෙහි ප්‍රගුණ බැවින් ස්මෘතිමත් වූයේ, ස්මෘතියෙන් අපරිවර්‍තතිත වන (=නො පසුබස්නා) බැවින් ස්මෘතිමත් වූයේ. අන්‍ය වූ ද සතර කරුණෙකින් ස්මෘතිමත් වූයේ: සත්ත්ව (=ස්වභාවයෙන් විද්‍යමාන) වන බැවින් ස්මෘතිමත් වූයේ, ශාන්ත (=නිවුණ වන) බැවින් ස්මෘතිමත් වූයේ, කෙලෙස් සන්හිඳුවන ලද බැවින් ස්මෘතිමත් වූයේ, සත්පුරුෂධර්‍මයන්ගෙන් සමන්විත වන බැවින් ස්මෘතිමත් වූයේ. බුද්ධානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, ධර්‍මානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, සඞ්ඝානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, ශීලානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ ත්‍යාගානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, දෙවතානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, ආනාපානස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, මරණානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, කායගතස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, උපශමානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ යි. යම් සිහියෙක් නැවත නැවත සිහි කිරීමෙක් අභිමුඛ ව මෙන් සිහි කිරීමෙක් සිහියක් සිහි කරන අයුරක් (ශ්‍රැතය) ධරන බවෙක් (අරමුණෙහි) බැසගන්නා බවෙක් (චිරකෘත භාෂිතයන්) ප්‍රමොෂ (=විස්මෘත) නොවන බවෙක් ස්මෘතියෙක් ස්මෘතීන්ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්බොධ්‍යඞ්ගයෙක් එකායනමාර්‍ගයෙක් වේ ද, මෝ ස්මෘති නමැයි කියනු ලැබේ. මේ ස්මෘතියෙන් උපෙත වූයේ සමුපෙත වූයේ උපගත වූයේ සමුපගත වූයේ නොවෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්වාගත වූයේ වෙයි. හේ ස්මෘතිමත් වූයේ ය යි කියනු ලැබේ. සො‘මං විසත්තිකං ලොකෙ සතො සමතිවත්තති - මේ විසත්තිකා තොමෝ ස්කන්ධලොකයෙහි මැ වෙයි. ස්කන්ධලොකයෙහි මැ පවත්නා වූ මේ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ස්මෘතිමත් වූයේ (කාමයන් දුරු කෙරෙමින්) තරණය කෙරෙයි. (ක්ලෙශයන් දුරු කෙරෙමින්) උත්තරණය කෙරෙයි. (ඔවුන්ගේ ප්‍රතිෂ්ඨාහෙතුව සිඳිමින්) ප්‍රතරණය කෙරෙයි. (සසර ඉක්මවමින්) සමතික්‍රමණය කෙරෙයි, (ප්‍රතිසන්ධියට අභව්‍යොත්පත්තික කෙරෙමින්) ඉක්මවා නු යි “සො‘මං විසත්තිකං ලොකෙ සතො සමතිවත්තති” යනු වේ.

එයින් වදාළහ බුදුහු:

“යො කාමෙ පරිවජ්ජෙති -පෙ- සතො සමතිවත්තති” යී.

1 - 4.

“යම් මිනිසෙක් හැල් ආදි කෙත් හෝ ගෙවතු ආදි වතු හෝ අමුරන් හෝ ගවයන් අසුන් හෝ දසුන් කම්කරු පුරුෂයන් හෝ නෑයන් හෝ අන් බොහෝ කාමයනු දු පුනපුනා ප්‍රාර්ථනා කෙරේ නම්”

ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා - ‘ඛෙත්ත’ නම්: හැල්කෙත යැ, වීකෙත යැ, මුංකෙත යැ, මෑකෙත යැ, යවකෙත යැ, තිරිඟුකෙත යැ, තලකෙත යි.

වත්ථු නම්: ගෙවතු යැ, කොටුවතු යැ, ගේ පෙරටුයෙහි වතු යැ, අරම්වතු යැ, වෙහෙරවතු යි. හිරඤ්ඤ නම්: කහවුණු හිරණ්‍ය යැ යි කියනු ලැබේ නු යි (මෙසේ) “ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා” යනු වේ.

ගවාස්සං දාසපොරිසං - ‘ගවා’ යී ගවයෝ (=ගෙරිහු) කියනු ලැබෙත්. අස්සා යී එළු ආදි සිවුපාහු කියනු ලැබෙත්. දාසා යනු: දාසයෝ සතර දෙනෙකි: (ඇතුළුගෙයි දාසියගේ කුසෙහි උපන්) අන්තර්දාසයා යැ, ධනයෙන් විකොට ගත් දාසයා යැ, තෙමේ මැ හෝ දස්බවට පැමිණියේ යැ, කරමරානීත (=බැඳ ලා ගැනීමෙන්) නො කැමැත්තෙන් දාසබවට පැමිණියේ යි.

1. “ඇතැම් කෙනෙක් ඇතුළත්හි උපන් දාසයෝ වෙත් මැ ය. ධනයෙන් විකිණිගත් දාසයෝ ද වෙති. තව ද ඇතැම් කෙනෙක් තුමූ ම දාසබවට පැමිණෙති. බියෙන් මඩනා ලද්දාහු ද දාසයෝ වෙත්.”

පුරිසා යනු: පුරුෂයෝ තිදෙනෙකි: බැළයෝ යැ, කම්කරුවෝ යැ, ඇසුරු කොට ජීවත් වන්නාහු යැ යි “ගවාස්සං දාසපොරිසං” යනු වේ.

ථියො බන්ධූ පුථූ කාමෙ - ‘ථියො’ යී ස්ත්‍රීපරිග්‍රහය කියනු ලැබෙයි. බන්ධූ යනු: සතර බන්ධූ කෙනෙකි: මවුපිය දෙපස ඥාති වු බාන්ධවයෝ ද බන්ධූහු යැ. සමානගොත්‍ර ඇති බාන්ධවයෝ ද බන්ධූහු යැ. (එක් ඇදුරුකුලයෙහි උගත් මන්ත්‍ර ඇති) මන්ත්‍රබාන්ධවයෝ ද බන්ධූහු යැ. (එක් වැ උගත් ශිල්ප ඇති) ශිල්පබාන්ධවයෝ ද බන්ධූහු යි. පුථූ කාමෙ යනු: බොහෝ කාමයන්; මොහු යැ පුථුකාමයෝ: මන වඩන රූපයෝ යැ... මන වඩන ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ යි යි “ථියො බන්ධූ පුථූ කාමෙ” යනු වේ.

යො නරො අනුගිජ්ඣති - ‘යො’ යනු: යමෙක් යම්බදු වූයෙක්, (නවකම් ආදි) යමෙකින් යුක්ත වූයෙක්, යම්සේ සිටියෙක්, යම් ප්‍රකාර වූයෙක්, යම් තනතුරකට පැමිණියෙක්, යම් ධර්‍මයෙකින් යුක්ත වූයෙක්, ක්ෂත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ යැ. නරො යනු: සත්ත්වයෙක්, නරයෙක්, මානවයෙක්, පුරුෂයෙක්, පුද්ගලයෙක්, ජීවයෙක්, ජාතියට පැමිණෙනුයෙක්, ජන්තුයෙක්, කර්‍මයෙන් යනුයෙක්, මනුජයෙක් යැ. අනුගිජ්ඣති - ක්ලෙශකාමයෙන් වස්තුකාමයන්හි ගිජු වෙයි, පුනපුනා පතයි, හාත්පසින් ගිජු වේ නු යි “යො නරො අනුගිජ්ඣති” යනු වේ.

එයින් වදාළහ බුදුහු:

“ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා -පෙ- යො නරො අනුගිජ්ඣති” යි.

1 – 5.

“අබල වූ කෙලෙස්හු ඒ මිනිසා මැඩ ගනිති. යළි ප්‍රකට අප්‍රකට උපද්‍රවයෝ ඒ කාමගිද්ධයා මඩිති. එහෙයින් සිදුරු වූ නැවකට ජලය වදනා සෙයින් ජාත්‍යාදි දුක ඔහු අනුව යේ”

අබලා නං බලියන්ති - අබලා යනු: කෙලෙස්හු, අබලයෝ යැ, දුබලයෝ යැ, අල්පබලයෝ යැ, අල්පශක්ති ඇතියෝ යැ, හීනයෝ යැ, නිහීනයෝ යැ, පරිහීනයෝ යැ, අවමත(අවඥාත)යෝ යැ, ලාමකයෝ යැ, ප්‍රත්‍යයහීනයෝ යැ, පරිත්තයෝ යි. ඒ කෙලෙස්හු ඒ පුද්ගලයා සහනය කෙරෙති (-මඩිති), හාත්පසින් මඩිති, අභිභවනය කෙරෙති, යටපත් කෙරෙති, හාත්පසින් අල්වාගනිති, මර්දනය කෙරෙත් නුයි මෙසෙයින් ද අබලයෝ ඔහු මඩිති. නොහොත් ශ්‍රද්ධාබල වීර්‍ය්‍යබල ස්මෘතිබල සමාධිබල ප්‍රඥාබල හිරිබල ඔත්තපබල යමක් හට නැද්ද, (එහෙයින්) අබල වූ දුබල වූ අල්පබල වූ අල්පශක්ති වූ හීන වූ නිහීන වූ පරිහීන වූ අවමත වූ ලාමක වූ ප්‍රත්‍යයහීන වූ පරිත්ත වූ ඒ පුද්ගලයා ඒ ක්ලෙශයෝ සහනය කෙරෙති, හාත්පසින් මඩිති, අභිභවනය කෙරෙති, යටපත් කෙරෙති, හාත්පසින් ගනිනි, මිරිකත් නුයි මෙසෙයින් ද “අබලයෝ ඔහු මඩිත්”.

මද්දන්තෙ නං පරිස්සයා - පරිස්සයා යනු: පරිශ්‍රය (උපද්‍රවයෝ) දෙදෙනෙකැ: ප්‍රකටපරිශ්‍රය යැ, ප්‍රතිච්ඡන්නපරිශ්‍රය යැයි. ප්‍රකට උපද්‍රවයෝ කවරහ? යත්: සිහ යැ, වග යැ, දිවි යැ, වලස් යැ, තරස් යැ, කොක්නා යැ, මියු යැ, ඇත් යැ, සප් යැ, නුහුසු යැ, පත්තෑ යැ, කළ සොරකම් ඇති හෝ කළ සොරකම් නැති හෝ සොරු හෝ සැහැසියෝ යැ; චක්ෂුරොග යැ ශ්‍රොත්‍රරොග යැ ඝ්‍රාණරොග යැ ජිහ්වාරොග යැ කායරොග යැ ශීර්‍ෂරොග යැ කර්‍ණරොග යැ මුඛරොග යැ දන්තරොග යැ කාශ යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජ්වර යැ කුක්ෂිරොග යැ මූර්ඡා යැ රක්තාතීසාර යැ ආමශුල යැ විසූචිකා යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කිලාසකුෂ්ට යැ ක්ෂය යැ අපස්මාර යැ දද යැ කැසි යැ කස් යැ ව්‍රණ යැ විතච්ඡිකා (-තලරොග) යැ රක්තපිත්ත යැ මධුමෙහ යැ අර්‍ශස් යැ පොළ යැ භගන්දරා යැ පිතින් නැඟි ආබාධ යැ සෙමින් නැඟි ආබාධ යැ වයින් නැඟි ආබාධ යැ සාන්නිපාතික ආබාධ යැ ඍතුපරිණාමයෙන් උපන් ආබාධ යැ විෂම වූ ඊර්‍ය්‍යාපථයෙන් නැඟි ආබාධ යැ උපක්‍රමයෙන් උපන් ආබාධ යැ කර්‍මවිපාකයෙන් උපන් ආබාධ යැ ශීත යැ උෂ්ණ යැ ජිඝත්සා යැ පිපාසා යැ උච්චාර යැ ප්‍රස්‍රාව යැ, මැසි - මදුරු - වා - අවි - දික්දැ යන මොවුන්ගේ පහසින් උපන් පීඩා යැ යන මේ හෝ යි. මොහු ප්‍රකට උපද්‍රවයෝ යැයි කියනු ලැබෙත්.

ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ කවරහ? යත්: කායදුශුචරිත යැ වාග්දුශ්චරිත යැ මනොදුශ්චරිත යැ, කාමච්ඡන්දනීවරණ යැ ව්‍යාපාදනීවරණ යැ ථීනමිද්ධ නීවරණ යැ උද්ධච්චකුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යැ, රාග යැ ද්වෙෂ යැ මොහ යැ ක්‍රොධ යැ උපනාහ යැ ම්‍රක්ෂ (මෙරමා ගුණ මැකීම්) යැ පලාස (යුගග්‍රාහ) යැ ඊර්ෂ්‍යා යැ මාත්සර්‍ය්‍ය යැ මායා (ස්වදොෂ ගුහන) යැ සාඨෙය්‍ය (අසද් ගුණ ප්‍රකාශ) යැ (ඔවා නො ගන්නා) ස්තම්භ යැ සංරම්භ යැ මාන යැ අතිමාන යැ මද යැ ප්‍රමාද යැ, සියලු ක්ලෙශයෝ යැ සියලු දුශ්චරිතයෝ යැ සියලු දරථයෝ යැ සියලු (ක්ලෙශ) පරිදාහයෝ යැ සියලු (ක්ලෙශ) සන්තාපයෝ යැ සියලු අකුශලාභිසංස්කාරයෝ යැ යන මොහු ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ යැයි කියනු ලැබෙත්. ‍

පරිස්සයා යනු කවරහෙයින් පරිස්සය වෙති? යත්: පරිසහනය කෙරෙත් නුයි ‘පරිස්සය’ නම් වෙති, පරිහානයට වැටෙත් නුයි ‘පරිස්සය’ නම් වෙති, එහි ආසය ඇත්තාහු නුයි - පරිස්සය නම් වෙත්.

කෙසේ ‘පරිසහනය කෙරෙත්’ නුයි ‘පරිස්සය’ නම් වෙති ? යත්: ඒ උපද්‍රවයෝ ඒ පුඟුල්හු සහනය කෙරෙති, පරිසහනය කෙරෙති, මැඩගෙන සිටිති, හාත්පසින් අල්වාගනිති, මිරිකාගනිත්. මෙසේ පරිසහනය කෙරෙත් නුයි ‘පරිස්සය’ නම් වෙත්.

කෙසේ ‘පරිහානයට වැටෙත්’ නුයි ‘පරිස්සය’ නම් වෙති ? යත්: ඒ උපද්‍රවයෝ කුශලධර්‍මයන්ගේ අන්තරාය පිණිස පරිහානය (හැරීම) පිණිස පවතිත්. කවර කුශලධර්‍මයන්ගේ ද යත්: සම්‍යක්ප්‍රතිපත් යැ අනුලොමප්‍රතිපත් යැ අප්‍රත්‍යනීකප්‍රතිපත් යැ අවිරුද්ධප්‍රතිපත් යැ අන්වර්ථ (අර්ථානුගත) ප්‍රතිපත් යැ ධර්‍මානුධර්‍මප්‍රතිපත් යැ ශීලයෙහි පරිපූරකාරිත්ව යැ ඉන්ද්‍රියයන්හි ගුප්තද්වාරතා යැ භොජනයෙහි මාත්‍රඥතා යැ ජාගර්‍ය්‍යානුයොග යැ ස්මෘතිසම්ප්‍රඥාන යැ චතුර්විධ ස්මෘතිප්‍රස්ථානයන්ගේ භාවනානුයොග යැ චතුර්විධ ඍද්ධිපාදයන්ගේ භාවනානුයොග යැ පඤ්චෙන්ද්‍රියයන්ගේ භාවනානුයොග යැ පඤ්චබලයන්ගේ භාවනානුයොග යැ සප්තබොධ්‍යඞ්ගයන්ගේ භාවනානුයොග යැ ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ගයාගේ භාවනානුයොග යැ යන මේ කුශලධර්‍මයන්ගේ අන්තරාය පිණිස පරිහානය පිණිස වැටෙත්. මෙසේ පරිහානයට වැටෙත් නුයි ‘පරිස්සය’ නම් වෙත්.

කෙසේ ‘එහි ආසය ඇත්තාහු’ නුයි ‘පරිස්සය’ නම් වෙති ? යත්: ඒ ඇත්බැව්හි තෙල ලාමක අකුශලධර්‍මයෝ ආත්මභාවය ඇසිරි කොට උපදිත්. යම්සේ බිලය ඇසුරු කරන ප්‍රාණීහු බිලයෙහි හොවිත් ද, දිය ඇසුරු කරන ප්‍රාණීහු දියෙහි හොවිත් ද, වනය ඇසුරු කරන ප්‍රාණීහු වෙනෙහි හොවිත් ද, රුක ඇසුරු කරන ප්‍රාණීහු රුක්හි හොවිත් ද, එසෙයින් ම අත්බැව ඇසුරු කරන තෙල ලාමක අකුශලධර්‍මයෝ ඒ අත්බැව්හි උපදිත්. මෙසෙයිනුදු තත්‍රාසය (එහි ආසය) ඇත්තාහු නුයි පරිස්සය නම් වෙත්.

මේ වදාරන ලද මැයි බුදුන් විසින්:

“මහණෙනි, සන්තෙවාසික වූ සාචරියක වූ මහණ දුකසේ නො සුවසේ වෙසෙයි. මහණෙනි, කෙසේ නම් සාන්තෙවාසික වූ සාචරියක වූ මහණ දුකසේ නො සුවසේ වෙසෙයි ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණක් හට ඇසින් රූපයක් දැක සරසංකල්ප (-අරමුණුවල හැසිරෙන හෙයින් සංකල්පනය කටයුතු) වූ සංයොජනයන්ට හිත වූ ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදිත් ද, ඒ අකුශලධර්‍මයෝ ඔහුගේ සිත තුළ වෙසෙති. සන්තානයට පිවිස වෙසෙති. එහෙයින් ‘සාන්තෙවාසික’ යයි කියනු ලැබේ. යම් හෙයකින් ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහු හසුරුවත් ද, ඔහු කෙරෙහි පවතිත් ද, එහෙයින් ‘සාචරියක’ යයි කියනු ලැබේ. තවද මහණෙනි, මහණක් හට කනින් ශබ්දයක් අසා... නාසයෙන් ගඳක් අසා... දිවින් රසයක් විඳ... කයින් පහසක් පැහැස... සිතින් දහමක් දැන නානලම්බනයෙහි හැසිරීම් වශයෙන් පරිකල්පිත වූ සංයොජනීය වූ යම් ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදිත් ද, ඒ ලාමක අකුශල ධර්‍මයෝ ඔහුගේ සිත තුළ වෙසෙති. ඔහුගේ සන්තානයට පිවිස වෙසෙති. එහෙයින් ‘සාන්තෙවාසික’ යයි කියනු ලැබේ. යම් හෙයකින් ඒ ලාමක අකුශල ධර්‍මයෝ ඔහු හසුරුවත් ද, ඔහු කෙරෙහි පවතිත් ද, එහෙයින් ‘සාචරියක’ යයි කියනු ලැබේ. මෙසෙයින් මහණෙනි, මහණ තෙමේ සාන්තෙවාසික වූයේ සාචරියක වූයේ දුකසේ වෙසෙයි, සුවසේ නො වෙසේ යයි. මෙසේත් තත්‍රාසය වෙත් නුයි උපද්‍රව නම් වෙත්.

මේ වදාරන ලද මැයි බුදුන් විසින්:

“මහණෙනි, ඇතුළත මලයෝ ඇතුළත අමිත්‍රයෝ ඇතුළත සතුරෝ ඇතුළත වධකයෝ ඇතුළත පසමිතුරෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක් ද ? යත්: මහණෙනි, ලොභය ඇතුළත මලයෙක, ඇතුළත අමිත්‍රයෙක, ඇතුළත සතුරෙක, ඇතුළත වධකයෙක, ඇතුළත පසමිතුරෙකි. මහණෙනි, ද්වෙෂය... මහණෙනි, මොහය ඇතුළත මලයෙක, ඇතුළත අමිත්‍රයෙක, ඇතුළත සතුරෙක, ඇතුළත වධකයෙක, ඇතුළත පසමිතුරෙකි. මහණෙනි, මොහු තිදෙන ඇතුළත මලයෝ යැ, ඇතුළත අමිත්‍රයෝ යැ, ඇතුළත සතුරෝ යැ, ඇතුළත වධකයෝ යැ, ඇතුළත පසමිතුරෝ’යි.

1 – 2. ලොභය අනර්ථ උපදවන්නේ යැ. ලොභය සිත චලනය කරන්නේ යැ. හේ ඇතුළත (සිත්හි මැ) උපන් භයහෙතුයෙක. ඒ භය බාල මහාජන තෙමේ නො දනී. ලොභී වූයේ (ලෞකිකලොකොත්තර) අර්ථය නො දනී. (අර්ථයට හෙතු වූ) ධර්‍මය නො දකී. යම් කලෙක්හි ලොභය තෙම මිනිසා මැඩගනී ද එකල්හි බහල වූ අන්ධකාරය වේ.

3 – 4. ද්වෙෂය අනර්ථජනක යැ, ද්වෙෂය සිත චලනය කෙරෙයි. හේ සිත්හි උපන් භය කාරණයෙක. බාලජන තෙමේ එය අවබොධ නො කෙරෙයි. කිපියේ අර්ථය නො දනී. ධර්‍මය නො දකී. ක්‍රොධය මිනිසා යටපත් කරන කල්හි බහල වූ අන්ධකාරය වේ.

5 – 6. මොහය අනර්ථ උපදවයි. මොහය සිත කලඹයි. හේ සිත තුළ උපදනා භය කාරණයෙක. බාලජන තෙමේ එය අවබොධ නො කෙරෙයි. මුළා වූයේ අර්ථය නො දනී. ධර්‍මය නො දකී. මොහය මිනිසා මැඩගන්නා කල්හි බහල වූ අන්ධකාරය වේ.

මෙසේත් ‘තත්‍රාසය වෙත්’ නුයි උපද්‍රව නම් වෙත්.

මේ වදාරන ලද මැයි බුදුන් විසින්:

“මහරජ, පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනා ධර්‍මයෝ තිදෙනෙක් අහිත පිණිස දුක් පිණිස අසුඛවිහරණය පිණිස උපදිති. කවර තිදෙනෙක් ද? යත්: මහරජ, ලොභධර්‍මය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනේ අහිතයට දුකට නො සුවවිහරණයට උපදී. මහරජ, ද්වෙෂධර්‍මය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනේ අහිතයට දුකට නො සුවවිහරණයට උපදී. මහරජ, මොහධර්‍මය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනේ අහිතයට දුකට නො සුවවිහරණයට උපදී. මහරජ, මේ ධර්‍මයෝ තිදෙන පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනාහු අහිත පිණිස දුක් පිණිස අඵාසුවිහරණය පිණිස උපදිත්.

7. ලොභය ද්වෙෂය හා මොහය ද ස්වසන්තානයෙහි උපන්නාහු ස්වකීය ඵලය ත්වක්සාර (හුණගසක්) මෙන් පව්සිත් ඇති පුරුෂයා නසත්. මෙසෙයිනු දු තත්‍රාසය නුයි උපද්‍රව නම් වෙත්.

වදාරන ලද මැයි මේ බුදුන් විසින්:

8. රාගය ද ද්වෙෂය ද කුශලධර්‍මයෙහි උත්කණ්ඨාව ද පස්කම්හි ඇලීම හා ලොමහර්‍ෂය ද මේ ආත්මභාවය නිදාන කොට ඇත්තාහුය. මේ අත්බැවින් උපන්නාහුය. ලාමක වූ මනොවිතර්කයෝ මේ අත්බැවින් ඉපද, කුඩාදරුවන් දිග හුයකින් පය බැඳ හරන ලද කවුඩකු සෙයින් සිත (බැඳ භවයෙහි) හැර පියත්.

මේ පරිද්දෙන් ද තත්‍රාසය නුයි - ‘පරිස්සය (-උපද්‍රව)’ නම් වෙත්.

මද්ද‍න්තෙ නං පරිස්සයා - ඒ උපද්‍රවයෝ ඒ පුඟුල්හු සහනය කෙරෙති, පරිසහනය කෙරෙති, අභිභවනය කෙරෙති, යටපත් කෙරෙති, හාත්පසින් අල්වාගනිති, මිරිකත් නුයි ‘මද්ද‍න්තෙ නං පරිස්සයා’ යනු වේ.

තතො නං දුක්ඛමන්වෙති - තතො යනු: ඒ උපද්‍රව හෙතු කොට ගෙන ඒ පුද්ගලයා කරා දුක එයි, සමීපයට යයි, පැමිණියේ වෙයි. ජාතිදුක අනුව එයි, ළඟට යයි, පැමිණියේ වෙයි. ජරාදුක... ව්‍යාධි දුක... මරණදුක... සොක - පරිදෙව - දුක්ඛ - දොමනස්ස - උපායාස දුක අනුව එයි, සමීපයට යයි, පැමිණියේ වෙයි. නිරය දුක... තිරිසන්යොනියෙහි දුක... ප්‍රෙතවිෂයෙහි දුක... මිනිස්ලොවැ (වධබන්ධනාදි) දුක... ගර්භාවක්‍රාන්තිමුලක දුක... ගර්භස්ථිතිමූලක දුක... ගර්භව්‍යුත්ථානමූලක දුක... උපන්නහු පිළිදග්නා දුක... උපන්නහු පරා අයත්බැව්හි දුක... ආත්මොපක්‍රම දුක... පරොපක්‍රම දුක අනුව එයි... දුඃඛදුඃඛය... සංස්කාර දුඃඛය... විපරිණාම දුඃඛය... චක්ෂුරොග ශ්‍රොතරොග ඝ්‍රාණරොග ජිහ්වාරොග කායරොග ශීර්‍ෂරොග කර්‍ණරොග මුඛරොග දන්තරොග කාස ශ්වාස පීනස දාහ ජ්වර කුක්ෂිරොග මූර්‍ජා ප්‍රස්කන්දිකා ශූල විසූචිකා කුෂ්ට ගණ්ඩ කිලාස ක්ෂය අපස්මාර දද්‍රැ කණ්ඩුති කච්ඡු රඛසා විතච්ඡිකා රක්තපිත්ත මධුමෙ‍හ අර්‍ශස් පිඩකා භගන්දර පිත්තජරොග ශෙලෂ්මජරොග සාන්නිපාතිකාබාධ ඍතුපරිණාමජආබාධ විෂමපරිහාරජආබාධ ඖපක්‍රමිකආබාධ කර්‍මවිපාකජආබාධ, ශීතොෂ්ණ ජිඝත්සා පිපාසා උච්චාර ප්‍රස්‍රාව, මැසි - මදුරු - වා - අව් දිග් දෑ පහසින් වූ දුක... මාතෘමරණයෙන් වූ දුක... පිතෘමරණ දුක... භ්‍රාතෘමරණ දුක... භගනීමරණ දුක... පුත්‍රමරණ දුක... ධීතෘමරණ දුක... ඥාතිව්‍යසනයෙන් වූ දුක... භොගව්‍යසන දුක... රොගව්‍යසන දුක... ශීලව්‍යසන දුක... දෘෂ්ටිව්‍යසන දුක අනුව එයි, සමීපයට යයි, පැමිණේ නුයි ‘තතො නං දුක්ඛමන්වෙති’ යනු වේ.

නාවං භින්නමිවොදකං - යම් සේ බිඳුණු නැවට ඒ ඒ සිදුරෙන් දිය පිවිසේ ද, පිටුපසින් ද යටින් ද දෙපසින් ද ජලය පිවිසේ ද, එසෙයින් ම ඒ ඒ උපද්‍රවයෙන් ඒ පුද්ගලයා කරා දුක පිවිසෙයි, අනුව යෙයි, පැමිණේ. ජාතිදුක පිවිසෙයි... දෘෂ්ටිව්‍යසනයෙන් වූ දුක පිවිසෙයි, අනුව යෙයි, පැමිණේ නුයි ‘නාවං භින්නමිවොදකං’ යනු වේ.

එයින් වදාළහ, බුදුහු:

“අබලානං බලියන්ති-පෙ- නාවං භින්නමිවොදකං”යි.

1 – 6.

එහෙයින් සත්ත්ව තෙමේ සියලු කල්හි සිහි ඇති වැ කාමයන් දුරු කරන්නේ යැ. මෙසේ ඒ කාමයන් දුරුකොට බිඳුණු නැව දිය ඉස පරතෙර යන්නකු සෙයින් චතුරොඝය තරණය කරන්නේ යි.

තස්මා ජන්තු සදා සතො - එහෙයින් එකරුණෙන් ඒ හෙතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් කාමයන්හි තෙල ආදීනව දක්නේ නුයි තස්මා: ජන්තු සත්ත්ව - නර-මානව-පුරුෂ-පුද්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්දගු - මනුජ තෙම; සදා - සියලු දවස්හි, සියලු කල්හි, දවසක් පාසා, අවිච්ඡන්න ව, නිරතුරු, අව්‍යාකීර්‍ණ ව, පිළිවෙළින් එක් ව, රළවැළක් මෙන් අවිරල ව, නො සිඳැ, එක් ව, ස්පෘෂ්ට ව, පෙරබතැ, පසුබතැ, පෙරයම්හි, මැදියම්හි, පසුයම්හි, අවපසැ, පුරපසැ, වසන්හි, හමත්හි, ගිමන්හි, පෙරවියෙහි, මැදිවියෙහි, පසුවියෙහි; සතො යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ, කයෙහි කායානුපස්සනා සීවටන් වඩමින් සිහි ඇතියේ, වෙදනාවන්හි... චිත්තයෙහි... ධර්‍මයන්හි ධම්මානුපස්සනා සීවටන් වඩමින් සිහි ඇතියේ; අන්‍ය වූ ද සතර කාරණයකින් සිහි ඇතියේ...*හෙතෙම ස්මෘතිමත් වූයේ සිහි ඇතියේ යයි කියනු ලැබේ නුයි ‘තස්මා ජන්තු සදා සතො’ යනු වේ.

කාමානි පරිවජ්ජයෙ - කාමා යනු: විස්තර හෙයින් වස්තුකාමයෝ ද ක්ලෙශකාමයෝ දැයි කාමයෝ දෙදෙනෙක් වෙති. (වස්තුකාමයෝ නම් මනාපිකරූපාදීහු)... මොහු වස්තුකාමයෝ යැයි කියනු ලැබෙත්. (ක්ලෙශකාමයෝ නම් ඡන්දකාමාදීහු)... මොහු ක්ලෙශකාමයෝ යැයි කියනු ලැබෙත්. කාමානි පරිවජ්ජයෙ - දෙ කරුණෙකින් කාමයන් දුරු කරන්නේ ය: විෂ්කම්භණ හෙයින් හෝ සමුච්ඡෙද හෙයිනැ. කිසෙයින් විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කරන්නේ ද යත්: අස්ථිකඞ්කාලයක් (ඇටසැකිල්ලක්) වැන්නැ කාමයෝ අල්පාස්වාද හෙයිනැයි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කරන්නේ යැ. මාංසපෙශියක් වැන්නැ කාමයෝ බහුසාධාරණ වන බැවිනැයි දක්නේ කාමයන් විෂ්කම්භණ හෙයින් දුරු කරන්නේ යැ. තෘණොල්කාවක් (තණහුලක්) වැන්නැ කාමයෝ අනුදහන (දහනකිස සපයන) බැවිනැයි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කරන්නේ යැ... නෛවසංඥානාසංඥායතන සමාපත්ති වඩනුයේ ද විෂ්කම්භණ විසින් කාමයන් දුරු කරන්නේ යැ. මෙපරිද්දෙන් විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කරන්නේ යි. (සෝවාන් මඟ වඩමින් අපායගමනීය කාමයන් සමුච්ඡෙද හෙයින් දුරු කරන්නේ යැ)... මෙසෙයින් සමුච්ඡෙද හෙයින් කාමයන් දුරු කරන්නේ නුයි ‘කාමානි පරිවජ්ජයෛ’ යනු වේ.

තෙ පහාය තරෙ ඔඝං - තෙ යනු: වස්තුකාමයන් පරිජානනය කොට ක්ලෙශකාමයන් පහාය - (හැර) දුරු කොට විනොදනය කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා, කාමච්ඡන්දනීවරණය හැර දුරු කොට විනොදනය කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා, ව්‍යාපාද නීවරණය... ථීනමිද්ධනීවරණය... උද්ධච්චකුක්කුච්චනීවරණය... විචිකිච්ඡානීවරණය... අනභාවයට පමුණුවා, කාමොඝය භවොඝය දෘෂ්ට්‍යොඝය අවිද්‍යොඝය තරණය කරන්නේය, උත්තරණය, ප්‍රතරණය, සමතික්‍රමණය කරන්නේය ඉක්මවන්නේ නුයි ‘තෙ පහාය තරෙ ඔඝං’ යනු වේ.

නාවං සිත්වාවපාරගූ - යම්සේ බර වූ බඩු පුරවන ලද නැවක් දිය ඉස, ඉවත් කොට, හැරදමා, සැහැල්ලු වූ නැවින් ශීඝ්‍ර වැ වහා නිදුකින් මැ පරතෙරට යන්නේ ද, එසෙයින් වස්තුකාමයන් තීරණප්‍රඥාවෙන් දැන ක්ලෙශකාමයන් (ප්‍රහාණ පරිඥාවෙන්) පරිත්‍යාග කොට හැරදමා විනොදනය කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා, කාමච්ඡන්දනීවරණය - ව්‍යාපාද නීවරණය - ථීනමිද්ධනීවරණය - උද්ධච්චකුක්කුච්චනීවරණය - විචිකිච්ඡානීවරණය පරිත්‍යාග කොට, හැරදමා, විනොදනය කොට, විගතාන්ත කොට, අනභාවයට පමුණුවා, ශීඝ්‍ර වැ වහා නිදුකින් මැ පරතෙරට යන්නේ යැ. අමෘත වූ නිර්‍වාණය ‘පාර’ යයි කියනු ලැබේ. යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්ෂය කිරීමෙක් ක්ලෙශවිරාගයෙක් දුඃඛනිරොධයෙක් වේ ද, ඒ නිර්‍වාණයයි. ‘පාරං ගච්ඡෙය්‍ය’ යනු: (ඒ නිර්‍වාණ සඞ්ඛ්‍යාත වූ) පාරය අධිගම කරන්නේ යැ, පාරය (දුභතො වුට්ඨාන මාර්‍ගඥානයෙන්) ස්පර්‍ශ කරන්නේ යැ, (ප්‍රත්‍යවෙක්ෂාඥානයෙන්) පාරය ප්‍රත්‍යක්ෂ කරන්නේ යි. පාරාගු යනු: යමෙක් පාරයට යනු කැමැති වූයේ නම් හෙ ද ‘පාරගූ’ නමැ, යමෙක් පාරයට යේ නම් හෙ ද ‘පාරගු’ නමැ, යමෙක් පාරයට ගියේ නම් හෙ ද ‘පාරගූ’ නමි.

මේ වදාළේ මැනු භගවත්හු විසින්:

“තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්‍රහ්මණො” යී මහණෙනි, තෙල රහත් හට අධිවචනයෙකි (නමෙකි.) හේ ‘අභිඤ්ඤාපාරගු’ යැ, ‘පරිඤ්ඤාපාරගු’ යැ, ‘පහාණපාරගු’ යැ, ‘භාවනාපාරගු’ යැ, ‘සච්ඡිකිරියාපාරගු’ යැ, ‘සමාපත්ති පාරගු’ ද වේ. සියලු (පඤ්චස්කන්ධාදී) ධර්‍මයන්ගේ අභිඥා (-ඥාතපරිඥා) වෙන් නිර්‍වාණපාරයට ගියේ වෙයි, සියලු (ජාත්‍යාදි) දුඃඛයන් ගේ තීරණපරිඥාවෙන් පාරයට ගියේ වෙයි, (කායදුශ්චරිතාදි) සියලු ක්ලෙශයන්ගේ ප්‍රහාණපරිඥාවෙන් පාරයට ගියේ වෙයි, (ස්‍රොතාපත්‍යාදි) සතර ආර්‍ය්‍යමාර්‍ගයන්ගේ භාවනායෙන් පාරයට ගියේ වෙයි, එල - නිර්‍වාණ- වශයෙන් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් නිර්‍වාණයාගේ පාරයට ගියේ වෙයි, (අෂ්ටවිධ රූපාරූප) සියලු සමාපත්තින්ගේ සමාපත්තියෙන් පාරයට ගියේ වේ. හෙතෙම ආර්‍ය්‍ය (-උත්තම හෝ නිරේදොෂ) ශිලයෙහි වශීභාවයට අවසානයට (-නිෂ්ටාවට) පැමිණියේ, ආර්‍ය්‍යසමාධියෙහි වශීභාවයට අවසානයට පැමිණියේ, ආර්‍ය්‍යප්‍රඥායෙහි වශීභාවයට අවසානයට පැමිණියේ ආර්‍ය්‍යවිමුක්තියෙහි වශීභාවයට අවසානයට පැමිණියේ; හෙතෙම (මාර්‍ගයෙන්) පාරයට ගියේ, (ඵලයෙන්) පාරයට පැමිණියේ, (මාර්‍ගයෙන් සංස්කාරලොකයෙහි) අන්තයට ගියේ, (ඵලයෙන්) අන්තයට පැමිණියේ, (මාර්‍ගයෙන් සංස්කාරයන්ගේ) කොටි - කෙළවරට ගියේ, ඵලයෙක් කෙළවරට පැමිණියේ, (මාර්‍ගයෙන් ආයතනාදි ලොක) පර්‍ය්‍යන්තයට ගියේ පර්‍ය්‍යන්තයට පැමිණියේ, (මාර්‍ගයෙන් අවසානයට ගියේ, (ඵලයෙන්) අවසානයට පැමිණියේ, ත්‍රාණයට ගියේ ත්‍රාණප්‍රාප්ත වූයේ, ලෙනයට ගියේ ලෙනප්‍රාප්ත වූයේ, සරණ - ප්‍රතිෂ්ඨාවට ගියේ සරණප්‍රාප්ත වූයේ, අභයගත - අභයප්‍රාප්ත වූයේ, අච්‍යුතිගත - අච්‍යුතිප්‍රාප්ත වූයේ, අමෘතගත - අමෘතප්‍රාප්ත වූයේ, (මාර්‍ගයෙන්) නිර්‍වාණගත වූයේ (ඵලයෙන්) නිර්‍වාණප්‍රාප්ත වූයේ; හෙතෙම (දශවිධ ආර්‍ය්‍යවාසය) වැස නිමවූයේ, (ශීලය හා සමාධියෙහි) චීර්‍ණවශී වූයේ, සසර අදන්මඟ ඉක්මවූයේ, (පෙර නො ගිය විරූ) නිවන් දෙසට ගියේ, (අනුපාදිශෙෂ නිර්‍වාණකොටියට පැමිණ සිටියේ, රක්ෂිත බ්‍රහ්මචරියවාස ඇත්තේ, උත්තම සම්‍යග්දෘෂ්ටියට පැමිණියේ, භාවිතමාර්‍ග ඇත්තේ, ප්‍රහීණ ක්ලෙශ ඇත්තේ, ප්‍රතිවෙධ කළ (අර්‍හත්ඵලසඞ්ඛ්‍යාත) අකොප්‍යය ඇත්තේ, සාක්ෂාත්කෘත නිරොධ ඇත්තේ වෙයි.

ඔහු විසින් දුක පරිඥාත යැ, සමුදය ප්‍රහීණ යැ, මාර්‍ගය භාවිත යැ, නිරොධය සාක්ෂාත්කෘත යි. (ස්වලක්ෂණාවබොධයෙන්) අභිඥාතව්‍යය - දතයුත්ත අභිඥත යැ, (සාමාන්‍ය ලක්ෂණාවබොධයෙන්) පරිඥාතව්‍යය හාත්පසින් දතයුත්ත පරිඥාත යැ, ප්‍රහාතව්‍යය ප්‍රහිණ යැ, භාවිතව්‍යය භාවිත යැ, සාක්ෂාත්කර්‍තව්‍යය සාක්ෂාත්කෘත යි.

හෙතෙම නගන ලද (උත්ක්ෂිප්ත) අවිද්‍යාපරිඝය ඇත්තේ යැ, සංකීර්‍ණ (විසුරුවන ලද) කර්‍මාභිසංස්කාරපරිඛා ඇත්තේ යැ, උදුරන ලද තෘෂ්ණා එෂිකා ඇත්තේ යැ, (ඔරම්භාගිය සංයොජන සඞ්ඛ්‍යාත) අර්‍ගල රහිත යැ, ආර්‍ය්‍ය (නික්ලෙශ) යැ, හෙළන ලද මානධ්වජ ඇත්තේ යැ, තබන ලද ස්කන්ධාදි භාර ඇත්තේ යැ, (චතුර්විධ යොගයෙන්) විසංයුක්ත යැ, (කාමච්ඡන්දාදි) පඤ්චාඞ්ගවිප්‍රහීණ යැ, ෂඩඞ්ගොපෙක්ෂාවෙන් සමන්විත යැ, (ස්මෘතිසඞ්ඛ්‍යාත) එකාරක්ෂා ඇත්තේ යැ, (ප්‍රතිසෙවනාදි) චතුර්විධ අපශ්‍රයන ඇත්තේ යැ, බැහැර කළ ප්‍රත්‍යෙකසත්‍ය ඇත්තේ යැ, මොනවට හරන ලද සියලු එෂණා (-සෙවීම්) ඇත්තේ යැ, අනාවිලසංකල්ප ඇත්තේ ය, සන්හිඳුණු කායසංස්කාර ඇත්තේ යැ, සුවිමුක්තචිත්ත යැ, සිවිමුක්තප්‍රාඥ යැ, පරිපූර්‍ණ යැ, වුසූ බඹසරවස් ඇත්තේ යැ, උත්තමපුරුෂ යැ, පරමපුරුෂ යැ, පරමප්‍රාප්තියට පැමිණියේ යි.

හෙතෙම (කුශලාකුශලවිපාකය) රැස් නො කෙරෙයි. (ඵලයෙහි සිටි හෙයින් විපාක) විධ්වංශනය නො කෙරෙයි. කෙලෙසුන් නසා සිටියේ වෙයි. (අවිද්‍යමාන හෙයින් කෙලෙසුන්) නො මැ දුරු කෙරෙයි. (තෘෂ්ණා - මාන දෘෂ්ටි විසින්) උපාදානය නො කෙරෙයි. (කෙලෙසුන්) දුරු කොට සිටියේ වෙයි. (තෘෂ්ණාවශයෙන්) නො මැ සීවනය (-බැදීම) කෙරෙයි. (මානවශයෙන්) උත්කර්‍ෂණය නො කෙරෙයි. තෘෂ්ණාබන්ධනය දුරු කොට සිටියේ වෙයි. (අවිද්‍යමාන හෙයින් කෙලෙස්ගිනි) නො මැ නිවයි. නො ද දල්වයි. විධූපනය කොට (-නිවා) සිටියේ වේ. අශෛක්ෂ වූ ශීලස්කන්ධයෙන් සමන්විත බැවින් සිටියේ අශෛක්ෂ වූ සමාධිස්කන්ධයෙන්... අශෛක්ෂ වූ ප්‍රඥාස්කන්ධයෙන්... අශෛක්ෂ වූ විමුක්තිස්කන්ධයෙන්... අශෛක්ෂ වූ විමුක්තිඥානදර්‍ශනස්කන්ධයෙන් සමන්විත බැවින් සිටියේ, චතුස්සත්‍යය ප්‍රතිවෙධ කොට සිටියේ, තෘෂ්ණාව ඉක්මවා සිටියේ, කෙලෙස්ගිනි ගෙවා සිටියේ, නැවත සංසාරයෙහි ගමන් නැති බැවින් සිටියේ, නයග්‍රහණයෙන් ගෙන සිටියේ, විමුක්තිප්‍රතිසෙවනභාවයෙන් සිටියේ, මෛත්‍රීපාරිශුද්ධියෙන් සිටියේ, කරුණා - මුදිතා - උපෙක්ෂාපාරිශුද්ධියෙන් සිටියේ, අත්‍යන්තපාරිශුද්ධියෙන් සිටියේ, අතම්මයතා (-තෘෂ්ණා - දෘෂ්ටි මානාභාව) පාරිශුද්ධියෙන් සිටියේ, සර්‍වක්ලෙශවිමුක්තභාවයෙන් සිටියේ, (යථාලාභාදි) සන්තුෂ්ටභාවයෙහි සිටියේ, ස්කන්ධපර්‍ය්‍යන්තයෙහි සිටියේ, ධාතුපර්‍ය්‍යන්තයෙහි සිටියේ, ආයතනපර්‍ය්‍යන්තයෙහි සිටියේ, ගතිපර්‍ය්‍යන්තයෙහි සිටියේ, උත්පත්තිපර්‍ය්‍යන්තයෙහි සිටියේ, ප්‍රතිසන්ධිපර්‍ය්‍යන්තයෙහි සිටියේ, සංසාරපර්‍ය්‍යන්තයෙහි සිටියේ, වෘත්තපර්‍ය්‍යන්තයෙහි සිටියේ, අන්තිමභවයෙහි සිටියේ, අන්තිම ශරීරයෙහි සිටියේ, අන්තිමදෙහධර වූයේ, ආරකාදිභාවයෙන් අර්හත් වූයේ වේ.

1. ඒ රහත්හුගේ මේ පශ්චිම කොටිය (කෙළවර) වෙයි. මේ අන්තිම ශරීරය වෙයි. ජාතිමරණසංසාරය, පුනර්භවය ඔහුට නැත්තේ යි. ‘නාවං සිත්වාව පාරගු’ යනු වේ.

එයින් වදාළහ බුදුහු:

“තස්මා ජන්තු සදා සතො -පෙ- නාවං සිත්වාව පාරගු” යනු.

පළමුවැනි කාමසූත්‍ර නිර්‍දෙශය සමාප්ත යි.