1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට නො දුරු (ලෙහෙණුනට අහර දුන් තැන වූ බැවින්) කලන්දකනිවාප නම් වූ වෙළුවනයෙහි වැඩවසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් මහණුනට සෙනසුන් නො පනවන ලද්දේ වෙයි. ඒ මහණහු ද රුක්මුලෙහි ද පර්‍වතයෙහි ද කඳුරැළියෙහි ද ගල්ලෙන්හි ද සොහොනෙහි ද වනපෙතෙහි ද එළිමහනෙහි ද පිදුරුගොඩෙහි දැ යි ඒ ඒ තැන වෙසෙත්. ඔහු දුටුවන් පහදවන්නා වූ ඉදිරි බැලීමෙන් ද දෙපස බැලීමෙන් ද අත් පා නැමීමෙන් ද අත් පා දිගහැරීමෙන් ද උපලක්ෂිත වැ බිමට හෙලූ ඇස් ඇත්තාහු මනා ඉරියව්වෙන් යුක්ත වූවාහු කල් තබා ම වනයෙන් ද රුක්මුලින් ද පර්වතයෙන් ද කඳුරෙන් ද ගල් ලෙනින් ද සොහොනින් ද වනපෙතින් එළිමහන් පෙදෙසින් ද පිදුරුගොඩින් ද යන ඒ ඒ තැනින් නික්මයෙත්.
2. එ සමයෙහි වනාහි රජගහ නුවර (ප්‍රධාන) සිටු තෙම කල් තබා ම (සිය) උයනට ගියේ ය. රජගහ නුවර සිටු තෙම දුටුවන් පහදවන ඉදිරි බැලීමෙන් දෙපස බැලීමෙන් අත්පා හැකිළැවීමෙන් අත්පා දිග හැරීමෙන් උපලක්ෂිත වැ බිමට හෙලූ ඇස් ඇති වැ මනා ඉරියව්වෙන් යුතු වැ කල් තබා ම වනයෙන් ද රුක්මුලින් ද පර්වතයෙන් ද කඳුරෙන් ද ගල්ලෙනින් ද සොහොනින් ද වනපෙතින් ද එළිමහනෙන් ද පිදුරුගොඩින් දැ යි ඒ ඒ තැනින් නික්මැ වඩනා මහණුන් දුටුයේ ම ය. දැකීමෙන් ඔහු ගේ සිත පැහැදිණ. එ කලැ රජගහ සිටු ඒ මහණුන් කරා එළැඹියේ ය. එළැඹැ “වහන්ස, මා විහාරයන් කැරැවූවොත් ඒ මගේ විහාරයන්හි වසන්නහු ද” යි මෙ බස් කී ය.
3. “ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් විහාරයෝ නො අනුදන්නා ලදුහ” යි (ඒ මහණහු කීහ. ) “වහන්ස, එසේ වී නම් භාග්‍යවතුන් වහන්සේ පිළිවිස මට දන්වන්නැ” යි සිටු කී ය.
“එසේ ය, ගැහැවියැ” යි කියා ම ඒ මහණහු රජගහ සිටුහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක උන්හ. පසෙක උන්නාවූ ම ඒ මහණහු “වහන්ස, රජගහසිටු තෙම විහාර කරවනු කැමැත්තේ ය. වහන්ස, (මෙහි) කෙසේ පිළිපැදියයුතු දැ” යි. මෙය කීහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කතා කොට මහණුන් අමතා, “මහණෙනි, විහාරය ද ගුරුළු පියාපත් වැනි සෙවෙනි ඇති ගෙය ද දික් පහය ද සඳලු සහිත ගෙය ද ගුහාව ද යන ලෙන් පස අනුදනිමි” යි වදාළසේක.
ඉක්බිති ඒ මහණහු රජගහසිටු කරා එළැඹියාහ. එළඹ සිටුහු බණවා, “ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් විහාරයෝ අනුදන්නා ලදූහ. යමක් සඳහා අප විචාළෙහි ද, එයට දැන් කාලයැ යි දැනගන්නැ” යි කීහ. එකල්හි රජගහසිටු තෙම එක් දවසින් ම වෙහෙර සැටක් පිහිටුවී ය.
4. එ කල්හි රජගහසිටු ඒ සැට වෙහෙර නිමවා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හිඳගත්තේ ය. රජගහ සිටු පසෙක හුන්නේ ම “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික් සඟන හා සෙට දවසට මගේ බත ඉවසන සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේට මෙ සේ කී ය. භාග්‍යවතුන් වහන්සේ නිහඬ බැවින් (එය) ඉවසූ සේක. ඉක්බිති රජගහසිටු තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගී ඔබ වැඳ පැදකුණු කොට නික්මියේ ය.
ඉක්බිති රජගහසිටු එ රැය ඇවෑමෙන් ප්‍රණීත ඛාද්‍ය භොජ්‍ය පිළියෙළ කරවා “වහන්ස, දැන් වඩනට කාලය ය. බත පිළියෙළ කරවා නිමැවිණැ'යි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වාලී ය. එ කලැ භාග්‍යවතුන් වහන්සේ (ඒ) පෙරවරු සෙමෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන රජගහසිටුහු ගෙය වෙත වැඩිසේක. වැඩ, පැනැවුණු අස්නෙහි බික්සඟන හා හුන්සේක. එ කලැ රජගහ සිටු බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍ය භොජ්‍යයෙන් සියතින් සතපා පවරවා වළඳා අවසන් වූ පාත්‍රයෙන් ඉවතට ගත් අතැති භාග්‍යවතුන් වහන්සේට එක් පසෙක හිඳ ගත්තේ ය. (එසේ) එක් පසෙක හුන් රජගහ සිටු තෙම “වහන්ස, පින්කැමැති සගසුව පතන මා විසින් මේ වෙහෙර සැටෙක් කැරැවිණ. වහන්ස, ඒ සැට වෙහෙරෙහි මම් කෙසේ පිළිපදිම් දැ” යි භාග්‍යවතුන් වහන්සේට මෙ බස් කී ය.
“ගැහැවියෙනි, එසේ වී නම් තෙපි සැම වෙහෙර පැමිණි නොපැමිණි සිවුදිගැ වැසි සඟනට පිහිටුවවු (පිරිනමවු)” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“එසේ ය, වහන්සැ” යි රජගහ සිටු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ වෙහෙර සැට පැමිණි නොපැමිණි සතර දික් වැසි සඟනට පිරිනැමී ය.
5. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ සිටුහට මේ ගාථාවලින් අනුමෝදනා කැර වදාළසේක.
(ගාථාවල අදහස:)
“විහාරය ශීතය ද උෂ්ණය ද නසයි. එයින් අන්‍ය වූ චණ්ඩ මෘගයන් ද බඩගා යන සතුන් ද මැසිමදුරුවන් ද ශීත සුළං ද වැසි ද බැහැරැ කෙරෙයි.
එයින් අන්‍ය වූ හටගත් නපුරු අවුසුළං ද දුරු වෙයි. සංඝයාට විහාර කරවා දීම එකලා වැ හිඳිනු පිණිස ද ධ්‍යාන කිරීමටත් විවසුන් වැඩීමටත් පහසුව පිණිස ද වූ අග්‍ර එකෙකැ යි බුදුරජුන් විසින් වැණින.
එහෙයින් ම නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ, සිත්කළු විහාරයන් කරවන්නේ ය, එහි ඇසූ පිරූතන් ඇති භික්‍ෂූන් වස්වන්නේ ය.
ඔවුනට ද නිසි වූ ආහාර ද පාන ද වස්ත්‍ර ශයනාසන ද ඍජුගුණ ඇති ඒ භික්‍ෂූන් විෂයයෙහි වෙසෙසින් පහන් සිතින් පිරිනමන්නේ ය.
හෙ තෙම මෙහි දී යම් දහමක් දැනගෙන ආස්‍රව රහිත ව පිරිනිවෙන්නේ ද එසේ වූ සියලු දුක් දුරැ ලන දහමක් ඒ හික්‍ෂූහු ඔහුට දෙසන්නාහ යනු යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහසිටුහට මේ ගාථාවලින් අනුමොදනා යොට හුනස්නෙන් නැඟී නික්මිසේක.
6. “භාග්‍යවතුන් වහන්සේ විසින් විහාර අනුදන්නා ලද්දේ ලැ” යි මිනිස්සු ඇසුහ. ඔහු සකසා විහාර කරවත්. ඒ විහාරයෝ දොරපළු නැත්තාහු වෙත්. සර්පයෝ ද ගෝනුස්සෝ ද පත්තෑයෝ ද පිවිසෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, දොරපළුව අනුදනිමි” යි (භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.)
බිත්තියෙහි සිදුරක් කොට වැලින් ද රැහැනින් ද දොරපළුව බඳිත්. මීයන් විසින් ද වේයන් විසින් ද වැලුත් රැහැනුත් කනු ලැබෙත්. කන ලද බැඳුම් ඇති දොරපළු වැටේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, දොරබාව ද වටෙවුලීය ද උතුරුලීය ද අනුදනිමි” යි (භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.)
කවුළු (දොරපළු) නො පැහැසෙති භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, අදිනා රැහැන ලන සිදුර ද අනුදනිමි” යි (වදාළ සේක.)
දොරපළු නො වැසෙත් භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, අඟුල් වැටිය (දොරපොල්ල) ද අගුල් කණුව ද යතුර ද තරංකය ද අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි මහණහු දොරපළුව අරින්නට නො හැකි වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, කෙසිසිදුර ද ලොහොමුවා යතුර ද ලීමුවා යතුර අංමුවා යතුර ද යන යතුරු තුන ද අනුදනිමි” යි (වදාළ සේක.)
යම් විහාර විවෘත කොට පිවිසෙත් ද ඒ විහාරයෝ නො රැකුණාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, යතුරු ඉද්ද අනුදනිමි” යි (වදාළසේක.)
7. එසමයෙහි විහාරයෝ තණ සෙවෙණි ඇත්තෝ වූහ. ශීත කාලයෙහි ශීත ද උෂ්ණ කාලයෙහි උෂ්ණ ද වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ඝන දඩු යොදා ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට අනුදනිමි” යි වදාළසේක.
8. එසමයෙහි විහාරයෝ වාකවුළු නැත්තාහු ඇසට අහිත ද දුගඳ ද වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ස්තූපයන්හි සතරැස් කොටුව සෙයින් සිදුරු සිටින සේ ගඩොළින් කළ වාකවුළුව ද, දැල් වාකවුළුව ද කූරු වාකවුළුව ද යන තුන් වාකවුළු අනුදනිමි”යි වදාළසේක.
වාකවුළු අතරින් ලෙහෙන්නු ද වවුලෝ ද පිවිසෙත් භාග්‍යවතුන් වහන්සේට මෙම පවත් සැලකළාහ.
“මහණෙනි, රෙදි වෙළා කළ පාපිස්නක් (බඳින්නට) අනුදනිමි” යි වදාළසේක. - රෙදි පාපිස්න අතුරෙන් ද ලෙහෙන්නුත් වවුලෝත් පිවිසෙත් ...
“මහණෙනි, වාකවුළු වසන්නට දොරපළුවක් ද එහි බඳින්නට බිස්සක් ද අනුදනිමි” යි වදාළසේක.
9. එ සමයෙහි මහණහු බිමැ නිදත්. සිරුරු ද සිවුරු ද පසින් වැකුණාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, තණඇතිරියක් අනුදනිමි”යි වදාළසේක.
තණඇතිරිය මීයන් ද වේයන් ද විසින් කනුලැබේ.
“මහණෙනි, පිළක් අනුදනිමි” යි වදාළසේක.
පිළෙහි ගාත්‍රයෝ පෙළෙත්.
“මහණෙනි, බිදලමඤ්චකය (වේවැල් ඇඳ) අනුදනිමි” යි වදාළ සේක.
10. එසමයෙහි වනාහි සඬ්යාට සොහොනෙක දමන ලද මසාරකයක් (පා විද අටනීන් පිවිස්වා කළ ඇඳෙක්) ලැබිණ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, මසාරක ඇඳපා විද එහි අටනි බහා කළ ඇඳ අනුදනිමි” යි වදාළසේක.
මසාරක පුටුවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙපවන් සැලකළාහ.
“මහණෙනි, මසාරක පුටුව අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි සඞ්ඝයාට බුන්‍දිකාබද්ධ (විට්ටම් විද එහි පා යොදා තනන ලද) ඇඳෙක් ලැබිණ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, බුන්‍දිකාබද්ධ ඇඳ අනුදනිමි” යි වදාළසේක. බුන්‍දිකාබද්ධ (විට්ටම් විද එහි පා ඇතුල් කොට තනන ලද) පුටුවෙක් ලැබිණ. ...
“මහණෙනි, බුන්‍දිකාබද්ධ පුටුව අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි සඞ්ඝයාට සොහොනෙක දමාපියන ලද කකුළු පා ඇඳෙක් (කකුළුවන්ගේ බඳු වක් පා ඇති ඇඳෙක්) ලැබුණේය. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළහ.
“මහණෙනි, කකුළු පා ඇඳ අනුදනිමි” යි වදාළ සේක. කකුළු පා පුටුවෙක් උපන ...
“මහණෙනි, කකුළුපා පුටුව අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි සඬ්ඝයාට සොහොනෙක දමාපියන ලද ආහච්චපාදක අටනි විද එහි ඇඳපා බහා ඇණ ලා කළ ඇඳෙක් ලැබුණේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ආහච්චපාදක ඇඳ අනුදනිමි” යි වදාළසේක. ආහච්චපාදක අටනි විද එහි පුටුවක් උපන්නේ වේ....
“මහණෙනි, ආහච්චපාදක පුටුව අනුදනිමි” යි වදාළසේක.
11. එ සමයෙහි සඬ්ඝයාට සතරැස් පුටුවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, සතරැස් පුටුව අනුදනිමි” යි වදාළසේක.
උස් වූ සතරැස් පුටුවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, උස් සතරැස් පුටුව අනුදනිමි” යි වදාළසේක.
සප්තාඞ්ගයෙක් (කවිච්චියෙක්) උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, කවිච්චිය අනුදනිමි” යි වදාළසේක.
උස් කවිච්චියෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, උස් කවිච්චිය අනුදනිමි” යි වදාළසේක.
භද්‍රපීඨයක් (වේ වැල් මුවා පුටුවෙක්) උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, වේවැල්මුවා පුටුව අනුදනිමි” යි වදාළසේක.
පීඨිකාවෙක් (රෙදිකඩක් බැඳි පුටුවෙක්) උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, රෙදිකඩ බන් පුටුව අනුදනිමි” යි වදාළසේක.
පුවරුපා පුටුවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, පුවරු පා පුටුව අනුදනිමි” යි වදාළසේක.
ඇඹුල්වැටි පුටුවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ඇඹුල්වැටි පුටුව අනුදනිමි” යි වදාළසේක.
පුවරුවෙක් (බංකුවෙක්) උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, පුවරුව අනුදනිමි” යි වදාළසේක.
කොස්සෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, කොස්ස අනුදනිමි” යි වදාළසේක.
පිදුරුවලින් තැනු අස්නෙක් ලැබුණේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, පිදුරුපුටුව අනුදනිමි” යි වදාළසේක.
12. එ සමයෙහි සවැගි මහණහු උස් ඇඳෙහි වැදහෙත්. මිනිස්සු විහාරචාරිකායෙහි ඇවිදුනාහු (ඔවුන්) දැක ලාමක කොට සිතත්, නො ගුණ කියත්, කාමභෝගී ගිහියන් බඳුහ” යි දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, උස් ඇඳෙහි නො වැදහියැයුතු. යමෙක් වැදහෙන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි එක්තරා මහණෙක් මිටි හැඳෙක හෝනේ සපකු විසින් ඩස්නා ලද්දේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත්සැලකළහ.
“මහණෙනි, ඇඳ පිළිපා අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි සැවැගි මහණහු උස්වූ ඇඳපිළිපා පරිභෝග කරත්. ඇඳපිළිපා සහිත ව පෙරැළි වැටෙත්. ....
“මහණෙනි, උස් ඇඳ පිළිපා නො දැරියයුතු. යමෙක් දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, අටඟුලක් පරම කොටැති ඇඳපිළිපා අනුදනිමි” යි වදාළසේක.
13. එ සමයෙහි සඬ්ඝයාට නූල් ලැබුණේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ඇඳ වියන්නට අනුදනිමි” යි වදාළසේක.
ඇඳ වියල්හු බොහෝ නූල් ගනිත්. (ඇදවියල්වලට ම බොහෝ නූල් වියදම් වේ).
“මහණෙනි, වියල් විද අට පා දූ පුවරුවක් සේ වියන්නට අනුදනිමි” යි වදාළසේක.
රෙදිකඩෙක් උපන්නේ වෙයි.
“මහණෙනි, බිමැ අතුරන ඇතිරියක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
පුලුන් උපන්නේ වේ.
“මහණෙනි, අවුල් හැර කොට්ටයක් කරන්නට අනුදනිමි. රුක් පුලුන් වැල් පුලුන් තණබට ආදියෙන් ලැබෙන පුලුන් යැ යි තුන් වගයෙකි” යි වදාළසේක.
එ සමයෙහි සවැගි මහණෝ කයින් අඩක් පමණ දික් වූ කොට්ට දරත්. මිනිස්සු විහාරවාරිකාවේ ඇවිදුනාහු ‘කාමභෝගී ගිහියන් බන්දහ’ යි එය දැක ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, අඩකයක් පමණ දික් වූ කොට්ට නො දැරියයුතු, යමෙක් දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, හිසට සුදුසු පමණ වූ කොට්ටය අනුදනිමි” යි වදාළසේක.
14. එ සමයෙහි රජගහනුවර ගිරග්ගසමජ්ජ උත්සවය වෙයි. මිනිස්සු මහඇමැතියන් සඳහා ලොම් මෙට්ට (ලොම් පුරවා කළ මෙට්ට), රෙදි මෙට්ට, වැහැරිමෙට්ට තණ මෙට්ට යන (බොහෝ) මෙට්ට පිළියෙළ කරත්, සමජ්ජය අවසන් වූ කල්හි උර ගලවා ගෙනයත්. මහණහු සමද්‍යස්ථානයෙහි (උළෙල පැවැති තැනැ) හැරදමන ලද බොහෝ ලොම් ද රෙදි ද වැහැරි ද තණ ද කොළ ද දුටුහ. දැක භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ලොම් මෙට්ටය, රෙදි මෙට්ටය, වැහැරි මෙට්ටය, තෘණ මෙට්ටය, කොළ මෙට්ටය යන මෙට්ට පස අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි සඞ්ඝයාට සෙනසුන් පිරිකර වශයෙන් වූ වස්තුයෙක් උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, මෙට්ටය වසාලන්නට (මෙට්ට උරයක් වශයෙන් යොදන්නට) අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි මහණහු ඇඳමෙට්ටය පුටුවෙහි අතුරත්, පුටු මෙට්ටය ඇඳෙහි අතුරත්, මෙට්ට බිඳීයේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළඹාහ.
“මහණෙනි, මෙට්ට (ගුදිරි) යෙදු ඇඳ ද මෙට්ට ලූ පුටුව ද අනුදනිමි” යි වදාළසේක.
යටට රෙදි ඇතිරියක් නො දමා මෙට්ට එළත් යට පැත්තෙන් පැළෙත්.....
“මහණෙනි, යටට රෙදි ඇතිරියක් ලා අතුරා මෙට්ටය වසන්නට අනුදනිමි” යි වදාළසේක.
උරය ගලවාගෙන යෙත්......
“මහණෙනි, කහ ආදි පැහැයෙකින් බින්දු ඉසින්නට අනුදනිමි” යි වදාළසේක.
ගෙනයෙත් ම ය.....
“මහණෙනි, භත්තිකර්‍මය (කසටින් ලකුණු කිරීම) අනුදනිමි” යි වදාළ සේක.
ගෙනයෙත් ම ය.....
“මහණෙනි, භස්තභක්තිය (පසඟල් සලකුණ) අනුදනිමි” යි වදාළ සේක.
15. එ සමයෙහි තොටුවන්ගේ යහන්හු සුදුපැහැ වෙත්. බිම කළු පැහැ කැරුණේ ය. - බිත්ති ගුරු පිරියම් කැරුණේ ය. බොහෝ මිනිස්සු වැදහෝනා අපේක්‍ෂා ඇත්තෝ එහි යෙත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, වෙහෙරෙහි සුදුපැහැ කළුපැහැ ගුරුපැහැ පිරියම් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි රළු බිත්තියෙහි සුදු පැහැ නො රැඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, දහවියා පිඩු දී අත්ලෙන් තුනී කොට සුදු පැහැ හෙළන්නට (රඳවන්නට) අනුදනිමි” යි වදාළසේක.
සුදු පැහැය එකට නොබැඳෙන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, සියුම් මැටි දී අත්ලෙන් තුනී කොට සුදුපැහැය හෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
සුදුපැහැය එකට නො බැඳෙන්නේ වෙයි.
“මහණෙනි, මැලියම ද පිටිකැඳ ද අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි රළු බිත්තියෙහි ගුරු පිරියම් නො බැඳේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, දහවියා පිඩු දි අත්ලෙන් මැද ගුරු පැහැ හෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
ගුරු පැහැය එකට නො බැඳෙන්නේ වෙයි. ....
“මහණෙනි, කුඩු මුසු මැටි ගා අත්ලෙන් මැද ගුරු පැහැ හෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
ගුරු පැහැය එකට බැඳී නො සිටුනේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි අබ පිටි ද ඉටිතෙල (ඉටිදියර) ද අනුදනිමි” යි වදාළසේක.
(තැන තැන බින්දු වශයෙන්) උස්ව නැගී සිටියේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, රෙදි කඩෙකින් පිස පසුදුරන්නට අනුදනිමි” යි වදාළ සේක.
16. එ සමයෙහි රළු බිමැ කළුපැහැ නො රැඳෙයි. ... “මහණෙනි, දහවියා පිඩු දී අත්ලෙන් තුනී කොට (මැද) කළු පැහැ හෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
කළුපැහැය එකට නො බැඳෙන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, ගැඩවිල් පස් දී අත්ලෙන් මැද කළු පැහැය හෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
කළුපැහැය එකට බැඳී සිටුනේ නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, මැලියම් ද (නෙල්ලි ආදියේ) කසට ද අනුදනිමි” යි වදාළසේක.
17. එ සමයෙහි සවැගි මහණෝ විහාරයෙහි ස්ත්‍රී රූප ද පුරුෂ රූප ද යන ප්‍රතිභාන චිත්‍ර කරවත්. මිනිස්සු විහාරචාරිකායෙහි ඇවිදුනාහු (ඒවා) දැක ‘කාමභෝගී ගිහියන් බඳුවහ' යි පහත් කොට සිතත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ස්ත්‍රීරූප ද පුරුෂ රූප ද යන ප්‍රතිභානවිත්‍ර නො කැරැවියයුතු. යමෙක් කරවන්නේ නම් දුකුළා ඇවැත් වන්නේය.
“මහණෙනි, මල්කම් ලියකම් මුවරදත් පස්වණක් පැහැකිරීම අනුදනිමි” යි වදාළසේක.
18. එ සමයෙහි වනාහි විහාරයෝ මිටි බිම් ඇත්තාහු වෙත්, (එහෙයින්) දියෙන් වැසීයෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, උස්බිම ඇතියක් කරන්නට (පස් ආදිය ගොඩ ගසා බිම උස් කරන්නට) අනුදනිමි” යි වදාළසේක.
පස්රැස (බැම්ම) බිඳී වැටෙයි.....
“මහණෙනි, ගඩොල් බැම්ම ද ගල් බැම්ම ද දඬු බැම්ම දැ යි තුන් බැඳුම් බඳින්නට අනුදනිමි” යි වදාළසේක.
(විහාරයට) නඟින්නාහු පෙළෙත්.....
“මහණෙනි, ගඩොළු හිණිපෙත ගල් හිණිපෙත දඬු හිණිපෙත යන තුන් හිණිපෙත අනුදනිමි” යි වදාළසේක.
නඟින්නාහු ඇදීවැටෙත්. ...
“මහණෙනි, අත්වැලක් අනුදනිමි” යි වදාළසේක.
19. එ සමයෙහි විහාරයෝ එකාඞ්ගන (දිගටම එළිමහන් ව මිනිසුන්ගෙන් පිරුණාහු) වෙත්. මහණහු වැදහෙන්නට ලජ්ජිත වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, තිරයක් අනුදනිමි” යි වදාළසේක.
තිරය ඔසවා බලත්....
“මහණෙනි, අඩබිත්තිය අනුදනිමි” යි වදාළසේක.
අඩබිත්තියට උඩින් බලත්.....
“මහණෙනි, සිව්රැස්ගබ, නැළිගබ (පලලට වඩා දෙගුණයක් තුන්ගුණයක් දික් වූ ගබ), සඳලුගබ (උඩතට්ටුව කුළුගෙයක් බඳු හෝ මුදුන් පියස්සක් ඇති ගබ) යන ගබ් (කාමර) තුන අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි මහණහු කුඩා වෙහෙරේ මැද ගබ් තනත් උපචාරයෙක් (වටින් ඉඩෙක්) නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, කුඩා වෙහෙරැ එක් පසෙකැ ද මහා වෙහෙරැ මැද ද ගබ් (කාමර) තනන්නට අනුදනිමි” යි වදාළසේක.
20. එ සමයෙහි විහාරයේ බිත්ති මුල දිරයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, කුලුඬ්ක පාදකය ( ලී විද කණු සිටුවා කළ බිත්තිපාදය ) අනුදනිමි” යි වදාළසේක.
විහාරයේ බිත්තිය තෙමෙයි....
“මහණෙනි, රකවල් පැලැල්ලක් ද (වසුගොම අළු මැටි එකට අනා තැනු) බදාම ද අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි තණපියස්සෙන් සර්පයෙක් එක්තරා මහණකුගේ උරහිස මත වැටුණේ ය. හේ බියපත් ව කෑගැසී ය. මහණහු වෙතට දිවැගොස් ඒ මහණහට “ඇවැත්නි, තෙපි කවර හෙයින් කෑගැසුවෝ දැ” යි ඇසූහ. එවිට ඒ මහණ මහණුනට (තමාට වූ දෑ) සැලකළේය. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, උඩුවියනක් අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
21. එ සමයෙහි මහණහු ඇඳපාහි ද පුටුපාහි ද ථවිකාවන් එල්ලත්. මීයන් විසින් ද වේයන් විසින් ද කනු ලැබෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, භිත්තිඛීලය (බිත්තියෙහි ගසන ලද උල) ද නාගදන්තකය ද අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි මහණහු ඇදෙහි ද පුටුවෙහි ද සිවුරු තබත්. සිවුර ඉරෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, වෙහෙරෙහි සිවුර වනන වස්දණඩ ද සිවුර වනන ලනුව ද අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි විහාරයේ පිල් නැත්තාහු (එහෙයින් ම) වටා යා හැකි ඉඩක් නැත්තාහු වෙත්.
“මහණෙනි, පිල ද (දොරට ඉදිරියෙන් දෙපස බිත්ති බැඳ කළ) ආලින්දය ද වට මාලය ද (පිලක් නැති විහාරයට) පිටතට පැන්නු වහල ද අනුදනිමි” යි වදාළසේක.
පිල්හු ආවරණයක් නැත්තාහු වෙත්. මහණහු වැදහෝනට මැලි වෙත් ...
“මහණෙනි, අකුලන පැලැල්ලක් ද ඔසොවන පැලැල්ලක් ද අනුදනිමි” යි වදාළ සේක.
22. එ සමයෙහි මහණහු එළිමහනෙහි බත්කිස කරන්නාහු සීතයෙන් ද උෂ්ණයෙන් ද වෙහෙසෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, උවටන් හලක් අනුදනිමි” යි වදාළසේක.
උවටන්හල මිටි බිමක් ඇත්තේ වේ. වතුරට යට වේ...
“මහණෙනි, උවටන්හල උස්බිම් ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
බැම්ම ඇදී වැටෙයි.
“මහණෙනි, ගඩොළු බැම්ම, ගල්බැම්ම දඩුබැම්ම යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළසේක.
නඟින්නාහු වෙහෙසෙත්.....
“මහණෙනි, ගඩොළුහිණ, ගල්හිණ, දඬුහිණ යනු තුන් හිණිපෙත් අනුදනිමි” යි වදාළසේක.
නඟින්නාහු ඇදී වැටෙත්.....
“මහණෙනි, අත්වැල අනුදනිමි” යි වදාළසේක.
උවටන් හලෙහි තණරොඩු වැටෙයි....
“මහණෙනි, ලී අතුරා ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට සුදුපැහැ කළුපැහැ ගුරුපිරියම් මල්කම් ලියකම් මුවරදත් පස්වණක් පැහැකිරීම සිවුරු වනන හුණදණ්ඩ සිවුරු වනන රැහැන අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි මහණහු එලිමහනෙහි බිමැ සිවුරු වනත්, සිවුරු පස් වැකුණේ වේ.
“මහණෙනි, එලිමහනෙහි සිවුරු වනන උණදණ්ඩ සිවුරු වනන ලණුව අනුදනිමි” යි වදාළසේක.
පැන් අව්වෙන් තැවෙයි.
“මහණෙනි, පැන්හලක් ද පැන් තබන මඩුවක් ද අනුදනිමි” යි වදාළසේක.
පැන්හල මිටි බිමක් ඇත්තේ වෙයි. වතුරෙන් යට වෙයි.....
“මහණෙනි, (පැන්හල) උස්බිම ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
බැම්ම කැඩී වැටෙයි....
මහණෙනි, ගඩොළු බැම්ම ගල්බැම්ම දඩුබැම්ම යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළසේක.
නැඟෙන්නාහු පෙළෙත්.
“මහණෙනි, ගඩොළුහිණ, ගල්හිණ, දඬුහිණ යන තුන් හිණිපෙත් අනුදනිමි” යි වදාළසේක.
නැඟෙන්නාහු ඇදවැටෙත්.
“මහණෙනි, අත්වැල අනුදනිමි” යි වදාළ සේක. පැන්හලෙහි තණ රොඩු වැටෙයි.....
“මහණෙනි, ලී අතුරා ඇතුළත පිටත බදාම ගසා සුදුපැහැ කළු පැහැ ගුරුපිරියම් මල්කම් ලියකම් මුවරදත් පස්වනක් පැහැ කරන්නට අනුදනිමි. සිවුරු වනන හුණදණඩ ද සිවුරු වනන ලනුව ද අනුදනිමි” යි වදාළසේක.
පැන් බඳුනෙක් නැත ...
“මහණෙනි, පැන්සක ද පැන්කොරහ ද අනුදනිමි” යි වදාළසේක.
23. එ සමයෙහි විහාරයෝ (පවුරු ආදියක්) වටා නො ලන ලද්දාහු වෙත් ...
“මහණෙනි, ගඩොළුපවුර ගල්පවුර දඬුපවුර යන තුන් පවුරු අනුදනිමි” යි වදාළසේක.
(විහාරයට) කොටුවෙක් නො වෙයි.
“මහණෙනි, කොටුවක් අනුදනිමි” යි වදාළසේක.
කොටුව මිටිබිමැත්තේ වෙයි. වතුරෙන් යටවෙයි ...
“මහණෙනි, කොටුව උස්බිම ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
කොටුවට දොරපළුවෙක් නො වෙයි.
“මහණෙනි, දොරපළුව ද දොරබාව ද වටෙවුලීය ද උතුරුලිය ද දොරපොල්ල ද අගුළුකණුව ද යතුරුලිය ද තරංකය ද කෙසිසිදුර ද රැහැන බහාලන සිදුර ද අදනා රැහැන ද අනුදනිමි” යි වදාළ සේක.
කොටුවෙහි තණරොඩු වැටෙයි ...
“මහණෙනි, දඬු අතුරා ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට (එහි) සුදුපැහැ කළුපැහැ ගුරුපිරියම් මල්කම් ලියකම් මුවරදත් පංචවර්ණය යන මෙයින් පැහැපත් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
24. එ සමයෙහි පිරිවෙන (පවුරට ඇතුළත වෙහෙර අවට බිම් පෙදෙස) මඩ සහිත වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ....
“මහණෙනි, බොරළු විසුරුවන්නට අනුදනිමි” යි වදාළසේක.
එය නො පිරිමැසේ.
“මහණෙනි, ගල්පුවරු බහාලන්නට අනුදනිමි” යි වදාළසේක.
දිය රැඳි සිටී.
“මහණෙනි, සොරොව්වක් අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි මහණහු පිරිවෙනෙහි (පවුරටත් වෙහෙරටත් අතර බිම් පෙදෙසෙහි) ඒ ඒ තැන ලිප් තනත්, පිරිවෙන කසළ සහිත වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, එක් පසෙක ගිනිහලක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
ගිනිහල පහත් බිමක් ඇත්තේ වෙයි. වතුරෙන් යටවෙයි.
“මහණෙනි, උස්බිම ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
බැම්ම කැඩී වැටෙයි...
“මහණෙනි, ගඩොළුබැම්ම ගල්බැම්ම දඩුබැම්ම යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළසේක.
නැඟෙන්නාහු පෙළෙත්...
“මහණෙනි, ගඩොළුහිණ ගල්හිණ දඬුහිණ යන තුන් හිණිපෙත් අනුදනිමි” යි වදාළසේක.
නැඟෙන්නාහු ඇදීවැටෙත්...
“මහණෙනි, අත්වැල අනුදනිමි” යි වදාළසේක.
ගිනිහලට දොරපළුවෙක් නැත.
“මහණෙනි, දොරපළුව දොරබාව වටෙවුලීය උතුරුලීය දොර පොල්ල අගුළුකණුව යතුරුලීය තරංකය කෙසිසිදුර රැහැන්සිදුර අදනා රැහැන යන මේ දෑ අනුදනිමි” යි වදාළසේක.
ගිනිහලෙහි තණරොඩු වැටේ.
“මහණෙනි, ඝනදඬු යොදා පියස්ස සාදා ඇතුළත , පිටත බදාම ආලේප කරන්නට සුදුපැහැ කළුපැහැ ගුරුපිරියම මල්කම් ලියකම් මෝරුදැති සිතුවම් පස්පැහැති වර්ණ යෙදීම සිවුරු උණදණ්ඩ සිවුරුවනන ලනුව යන මේ දෑ අනුදනිමි” යි වදාළසේක.
25. එ සමයෙහි ආරාමය (විහාර වත්ත) නො පිරිකෙවුණේ (වටාලූ ආවරණයක් නැත්තේ) වෙයි. එළුවෝ ද ගවයෝ ද මල්පැල පෙළත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, හුණවැට ද වැටකේවැට ද අගල ද යන ඇවුරුම් තුන අනුදනිමි” යි වදාළසේක.
ආරාම කොටුවක් නො වෙයි. පළමු සේ ම එළුවෝ ද ගවයෝ ද මල්පැල පෙළත් ...
“මහණෙනි, කොටුව ද හිඳිකඩ ද දෙබෑ දොරපළු ද තොරණ ද රෝද කඩුල්ල ද අනුදනිමි” යි වදාළසේක.
දොර කොටුවෙහි තණරොඩු වැටෙයි ....
“මහණෙනි, ඝනදඩු අතුරා ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට ද එහි සුදුපැහැ කළුපැහැ ගුරුපිරියම් මල්කම් ලියකම් මුවරදත් සටහන් පස්වනක් පැහැ සිත්තම් කරන්නට ද අනුදනිමි” යි වදාළසේක.
අරම මඩ සහිත වේ. ... “මහණෙනි, බොරළු විසුරුවන්නට අනුදනිමි” යි වදාළසේක.
එයින් තෘප්ත නො වෙත්...
“මහණෙනි, ගල්පුවරු අතුරන්නට අනුදනිමි” යි වදාළසේක.
දිය රැඳෙයි. ...
“මහණෙනි, සොරොව්ව අනුදනිමි” යි වදාළසේක.
26. එ සමයෙහි වනාහි මගධේශ්වර වූ සෙනිය බිම්බිසාර රජ තෙම සංඝයාගේ ප්‍රයෝජන පිණිස සුදුහුණු ද මැටි ද මිශ්‍ර කොට තැනු බදාම ආලේපය ඇති ප්‍රාසාදයක් කරවනු කැමැත්තේ වෙයි. එ කල මහණුනට “භාග්‍යවතුන් වහන්සේ විසින් කවර සෙවෙනියෙක් අනුදන්නා ලද ද, කවර සෙවෙනියෙක් නො අනුදන්නා ලද දැ” යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, උළුසෙවිල්ල ද ගල්පුවරු සෙවිල්ල ද හුණුබදාම සෙවිල්ල ද තණසෙවිල්ල ද කොළසෙවිල්ල ද යන සෙවෙනි පස අනුදනිමි” යි වදාළසේක.
පළමු බණවර යි.
27. එ සමයෙහි අනේපිඬු සිටු තෙම රජගහ නුවර සිටුහට සුහුරුබඩු වෙයි. එ කලැ කිසි කටයුත්තෙකින් රජගහ නුවර ගියේ ය. එ සෙමෙහි වූ කලි රජගහ සිටුහු විසින් සෙට දවසට බුදුපාමොක් මහසඟ නිමැතුණේ වෙයි. ඉක්බිති රජගහසිටු තෙම “එසේ නම් සගයෙනි, කලින් ම නැඟී සිට කැඳ පිසවු, බත් පිසවු, සූප පිළියෙල කරවු, අවුළුපත් පිළියෙල කරවු” ය යි දාසයනට ද කම්කරුවනට ද අණ කෙළේය.
එ විට අනේපිඬු සිටුහට, “පෙර දවස්හි වූ කලි මෙ ගැහැවි මා ආ විට සියලු කටයුතු තබා මා හා ම (පිය බස් බෙණෙමින්) සතුටු වෙයි. මෙ තෙම දැන් කලබල අයුරු ඇත්තේ දාසයන් ද කම්කරුවන් ද බණවා, “එසේ වී නම්, සගයෙනි, කලින් ම නැඟී සිට කැඳ පිසවු, බත් පිසවු, සූප පිළියෙල කරවු, අවුළුපත් පිළියෙල කරවු” යැ යි ඇණැවී ය. කිමෙක් ද මේ ගැහැවිහුගේ ගෙට ආවාහයෙක් හෝ වන්නේ ද? (මෙ ගෙයින්) විවාහයෙක් හෝ වන්නේ ද? මහා යඥයෙක් හෝ එළැඹ සිටියේ ද? බල සෙන් සහිත මගධේශ්වර සෙනිය බිම්බිසාර රජ සෙට දවසට නිමතන ලදුයේ හෝ වේ දැ” යි මේ සිත විය.
ඉක්බිති රජගහ සිටු දාසයන් ද කම්කරුවන් ද අණවා අනේපිඬු සිටු වෙත ආයේ ය. අවුත් අනේපිඬු සිටු හා සතුටු විය. සතුටු ව පසෙක ඉඳ ගත්තේ ය. (එසේ) පසෙක හිඳගත් රජගහ සිටුහට අනේපිඬු සිටු තෙම මෙ බස් පැවැසී ය: ගැහැවියනි, පෙර දවස්හි මා ආකල්හි තෙපි සියලු කටයුතු තබා මා හා ම (පිළිසඳර කතා කොට) සතුටු වහු, ඒ තෙපි දැන් කලබල වූ අයුරු ඇත්තහු දාසයන් ද කම්කරුවන් ද බණවා “එසේ වී නම් සගයෙනි, කලින් ම නැගී සිට කැඳ පිසවු, බත් පිසවු, සූප පිළියෙල කරවුඅවුළුපත් පිළියෙල කරවු යැ” යි අණ කළා හු ය. කිමෙක් ද ගැහැවියනි, තොපගේ ආවාහයෙක් හෝ වන්නේ ද? විවාහයෙක් හෝ වන්නේ ද? මහායඥයෙක් හෝ එළැඹැ සිටියේ ද? බලසෙන් සහිත මගධේශ්වර සෙනිය බිම්බිසාර රජ සෙට දවසට නිමතන ලද්දේ හෝ වේද” යනු ය.
“ගැහැවියෙනි, මගේ ගෙහි ආවාහයෙක් හෝ නො වන්නේ ය. විවාහයෙක් හෝ නො වන්නේ ය. බලසෙන් සහිත මගධේශ්වර සෙනිය බිම්බිසාර රජ හෝ සෙට නිමතන ලද්දේ නො වෙයි. වැලි දු මහායාගයෙක් එළැඹ සිටියේ ය. සෙට දවසට බුද්ධප්‍රමුඛ සංඝ තෙමේ නිමතන ලද්දේ වේ” යැ යි රජගහ සිටු කී ය.
28. “ගැහැවියනි, ‘බුද්ධ’ යැ’යි කියවු දැ” යි අනේපිඬු සිටු කී ය.
“එසේ ය, ගැහැවියනි, ‘බුද්ධ’ යැ යි කියමි” යි රජගහසිටු කීය.
“ගැහැවියනි, ‘බුද්ධ’යැ යි කියවු දැ” යි දෙවෙනි වරත් අනේපිඬු සිටු කී ය.
“එසේ ය, ගැහැවියනි, ‘බුද්ධ’ යැ යි කියමි” යි දෙවෙනි වරත් රජගහසිටු කී ය.
“ගැහැවියනි, ‘බුද්ධ’යැ යි කියවු දැ” යි තෙවෙනි වර ද අනේපිඬු සිටු කී ය.
“එසේ ය. ගැහැවියනි, ‘බුද්ධ’යැ යි කියමි” යි තෙවෙනි වරත් රජගහසිටු කී ය.
“ගැහැවියනි, ලොවැ මේ ‘බුද්ධ’ යන ශබ්දය පවා දුර්ලභ ය. ගැහැවියනි, ඒ භගවත් අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දක්නට එළැඹෙන්නට මෙ වේලේ හැකි දැ” යි අනේපිඬු සිටු කී ය.
“ගැහැවියනි, ඒ භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දකින්නට එළැඹෙන්නට මේ නො කල් ය. සෙට ඒ භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දක්නට සුදුසු කල්හි ඔබ උන්වහන්සේ කරා යන්නැ” යි රජගහසිටු කී ය.
ඉක්බිති අනේපිඬු සිටු සෙට මම් ඒ භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දකින්නට යන්නෙමි” යි බුදුරජුන් අරමුණු කොට පැවැති සිහියෙන් යුතු ව වැදහෙව රෑ තුන් යලක් ම පහන් වූයේ වනැ යි හඟිනුයේ නැගී සිටියේ ය. ඉක්බිති අනේපිඬු සිටු ශීතවනද්වාරය කරා එළඹියේ ය. අමනුෂ්‍යයෝ දොර විවරකළහ. ඉක්බිති අනේපිඬු සිටු නුවරින් නික්මුණු වේලෙහි එළිය නැතිවිය. අඳුර පහළ විය. බිය ද තැතිගැන්ම ද ලොමුදහගහැන්ම ද උපන. යළි එතැනින් ම පෙරළා යනු කැමැති විය. එ විට සීවක යක් තෙම නොපෙනී සිටියේ.
“ඇත්තු සියදහසෙක් ද අස්සු සියදහසෙක් ද මහඟු අසුන් යෙදු රිය සියදහසක් ද පළන් මිණි කොඩොල් ඇති කන්‍යාවෝ සිය දහසෙක් ද යන මොහු එක් පදව්‍යතිහාරයෙක (පිය වරෙක) සොළොස්වන කලාව ද නො අගිත් ය” යි.
“ගැහැවිය ඉදිරියට යන්න, ගැහැවිය, ඉදිරියට යන්න. ඉදිරියට යෑම උතුමි, පෙරළා යෑම උතුම් නො වේ” යැ යි හඬක් ඇස්වී ය,
එ කල අනේපිඬු සිටුහට අඳුර නැතිවිය, එළිය පහළ විය. යම් බියෙක් තැතිගැන්මෙක් ලොමුදහගහැන්මෙක් වී ද එය සන්හිඳිණ.
දෙවෙනි වර ද... තෙවෙනි වර ද අනේපිඬු සිටුහට එළිය අතුරුදහන් විය. අඳුර ඇති විය. බිය ද තැතිගැන්ම ද ලොමුදහ ගැන්ම ද ඇති විය. යළි එතැනින් ම පෙරළා යනු කැමැති විය. තෙවෙනි වර ද සීවක යක් තෙම නොපෙනී සිටියේ “ඇත්තු සිය දහසක් ද... පෙරළා යෑම උතුම් නොවේ යැ” යි හඬ ඇස්වී ය.
තෙවෙනි වර ද අනේපිඬු සිටුහට අඳුර අතුරුදහන් විය. එළිය පහළ විය. යම් බියෙක් තැතිගැන්මෙක් ලොමුදහගහැන්මෙක් වී ද එය සන්හිඳිණ. ඉක්බිති අනේපිඬු සිටු තෙම ශීතවනය කරා ගියේ ය. එ සමයෙහි වූ කලි භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම්හි නැඟී සිට එළිමහනේ සක්මන් කරන සේක. භාග්‍යවතුන් වහන්සේ දුරින් ම එන අනේපිඬු සිටුහු දුටුයේක. දැක සක්මන් මළුවෙන් බැස පැනැවුණු අස්නෙහි වැඩහුන්සේක.
29. භාග්‍යවතුන් වහන්සේ අස්නැ වැඩ හිඳ ‘සුදත්තය, මෙහි එව’ යි අනේපිඬු සිටුහට අඬගසා වදාළසේක. එවිට අනේපිඬු සිටු තෙම ‘භාග්‍යවතුන් වහන්සේ නමින් (නම කියා) මා අමතන සේකැ’ යි තුටුපහටු වූයේ ඔද වැඩීගිය සිතැත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ ඔබ පාමුල වැටී හිස නමා වැඳ, “වහන්ස, කිමෙක් ද, භාග්‍යවතුන් වහන්සේ සුවසේ සැතැපුණු සේක් දෝ” යි කී ය.
“යමෙක් කාමයන්හි නො ඇලෙයි ද කෙලෙස් තැවුම් නැතියෙන් සිසිල් වූයේ වේ ද, ක්ලේශොපධි රහිත වේ ද කෙලෙස් පිරිනිවනින් පිරිනිවි ඒ බාහිතපාපී පුද්ගල තෙමේ හැම කල්හි එකාන්තයෙන් සුවසේ ශයනය කෙරෙයි.
හෙ තෙම සියලු ආසක්තීන් (තෘෂ්ණාවන්) සිඳ සිතෙහි කෙලෙස් රිදුම් පහකොට සන්සුන් වූයේ සිතේ සන්සිඳීමට පැමිණ සුවසේ සැතැපේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුහට 'දානකථා, ශීලකථා ස්වර්ගකථා කාමයන්ගේ ආදීනව, කාමයන්ගේ ලාමක බව, කාමයන්ගේ කිලිටි බව, කාමයන්ගෙන් නික්මීමේ අනුසස් ද යන අනුපූර්‍ව කථාව (දානාදි පිළිවෙළින් කියන ධර්මකථාව) පැවැසූ සේක. යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුහු (කෙලෙස් යටපත් වීමෙන්) නීරෝග සිතැත්තහු, මොලොක් සිතැත්තහු කාමච්ඡන්දදි නීවරණ යටපත්ව ගිය සිතැත්තහු ඔදවැඩි සිතැත්තහු, පහන් සිතැත්තහු දත්සේක් ද, එ කල්හි දුක ද දුඃඛසමුදය ද නිරොධය ද මාර්ගය ද යන බුදුවරුන්ගේ යම් සාමුක්කංසික දේශනාවෙක් වේ ද එය පැවැසූසේක. පහ වූ කළු බව ඇති පිරිසිදු වස්ත්‍රයෙක් යම්සේ මනාකොට ම රඳන් උරා ගන්නේ ද, එසේ ම අනේපිඬු සිටුහට එ අස්නෙහි දී ම ‘යම් කිසිවෙක් ප්‍රත්‍යයෙන් හටගන්නාසුලු ද ඒ සියල්ල නැසෙන සුලුයැ’ යි කෙලෙස් රජසින් තොර, පහවු කෙලෙස් මලැති, දහම් ඇස (සොවන් මඟ නුවණ) පහළ විය.
30. ඉක්බිත්තෙන් අනේපිඬු සිටු තෙම, දුටු ආර්‍ය්‍යසත්‍යධර්ම ඇත්තේ නුවණින් පැමිණි ආර්‍ය්‍යසත්‍යධර්ම ඇත්තේ, දන්නා ලද ආර්‍ය්‍යසත්‍යධර්ම ඇත්තේ නුවණින් බැසගත් ආර්‍ය්‍යසත්‍යධර්ම ඇත්තේ, තරණය කළ සැක ඇත්තේ, පහවු කථඞ්කථා (සැක) ඇත්තේ, ශාස්තෘ ශාසනයෙහි විශාරද බවට පැමිණියේ පරප්‍රත්‍යය නැත්තෙක් වූයේ භාග්‍යවතුන් වහන්සේට මෙ බස් පැවැසී ය: “වහන්ස, අභිකාන්ත ය. වහන්ස, අභිකාන්තය. වහන්ස, යටිකුරු කොට තබන ලද්දක් යම්සේ උඩුකුරු කරන්නේ ද වැසුණු දැයක් විවෘත කරන්නේ ද මංමුළාවූවකුට මඟ කියන්නේ ද ඇසැතියන් රූප දකිති යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ ද එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පවසන ලද්දේ ය. වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය ද සංඝයා ද සරණ යමි. අදින් ඉදිරියට මා දිවිහිම් කොට සරණ ගිය උවසකු කොට භාග්‍යවතුන් වහන්සේ මා සලකනසේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට දවසට සංඝයා සහිත ව මාගේ බත ඉවසන සේක්වා” යනු ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් එය ඉවසූසෙක, ඉක්බිති අනේපිඬු සිටු තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මැගියේ ය.
රජගහ සිටු තෙම අනේපිඬු සිටුහු විසින් සෙට දවසට බුදුපාමොක් සංඝයා නිමතන ලද්දේ ලැයි ඇසී ය. ඉක්බිති රජගහ සිටු “ගැහැවියනි, ඔබ විසින් සෙට දිනට බුදුපාමොක් සඟ නිමැතිණි ල.' ඔබ අමුත්තෝ වෙති. ගැහැවියනි, ඔබ බුදුපාමොක් සඟනට බත් පිළියෙළ කරන්නාහු ද, එසේ වූ වියදම ඔබට දෙමි” යි අනේපිඬු සිටුහට කි ය. “කම් නැත, ගැහැවියනි, යමෙකින් බුදුපාමොක් සඟනට බත් කරන්නෙම් ද, එයට වියදම මට ඇතැ” යි අනේපිඬු සිටු කී ය.
31. රජගහපුර නියම්ගම් දෙටු තෙමේ ද “අනේපිඬු සිටුහු විසින් සෙට දවසට බුදුපාමොක් සඟ නිමැතිණැ” යි ඇසුයේ ම ය. ඉක්බිති රජගහපුර නිගමාධිපති තෙම අනේපිඬු සිටුහට “ගැහැවියනි, ඔබ විසින් සෙට දවසට බුදුපාමොක් සඟ නිමතන ලද්දේ ල. ඔබ අමුත්තෝ වෙති. ගැහැවියනි, බුදුපාමොක් සඟනට බත පිළියෙළ කරනුවට වියදම ඔබට දෙමි” යි කී ය. “ආර්‍ය්‍යයෙනි, අනාවශ්‍යක ය. බුදුපාමොක් සඟනට බත පිළියෙළ කරවන්නට මට වියදම ඇතැ” යි අනේපිඬු සිටු කී ය.
මගධේශ්වර සෙනිය බිම්බිසාර රජ ද “අනේපිඬු සිටුහු විසින් හෙට දවසට බුදුපාමොක් සඟ නිමතන ලද්දේ ල” යි ඇසී ය. ඉක්බිති මගධේශ්වර සෙනිය බිම්බිසාර රජ “ගැහැවියනි, තොප විසින් සෙට දවසට බුදුපාමොක් මහසඟ නිමතන ලද්දේ ල. තෙපි අමුත්තෝ වෙති. බුදුපාමොක් සඟනට බත් පිළියෙළ කරනුවට යන වියදම තොපට දෙමි” යි අනේපිඬු සිටුහට කී ය. “දේවයිනි, ආවශ්‍යක නො වේ. බුදුපාමොක් සඟනට බත් පිළියෙළ කරනුවට වියදම මට ඇතැ” යි අනේපිඬු සිටු කී ය.
32. ඉන් පසු අනේපිඬු සිටු තෙම ඒ රැය ඇවෑමෙන් රජගහ සිටුහුගේ ගෙහි ප්‍රණීත ඛාද්‍ය භොජ්‍ය පිළියෙළ කරවා “වහන්ස, දැන් කාලය ය. බත් පිළියෙළ කොට නිමැවැ” යි භාග්‍යවතුන් වහන්සේට කාලය දන්වා යැවී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ පෙරවරු සෙමෙහි හැද පෙරෙවැ පාසිවුරු ගෙන රජගහ සිටුහුගේ ගෙය කරා එළැඹි සේක. එළැඹ ප්‍රඥප්ත අස්නෙහි බික් සඟන හා වැඩහුන් සේක.
ඉක්බිති අනේපිඬු සිටු බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍ය භොජ්‍යයෙන් සියතින් සතපා පවරවා භාග්‍යවතුන් වහන්සේ බොජුන් වැළැඳු පාත්‍රයෙන් ඉවතට ගත් අතැති නියාව සලකා භාග්‍යවතුන් වහන්සේට එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන්නාවූ ම අනේපිඬුසිටු තෙම “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා සැවැත්නුවර වස්වසනුවට මා කරන අයදුම ඉවසන සේක් වා” යි කීයේ ය.
“ගැහැවියනි, තථාගතවරු ශුන්‍යාගාරයෙහි විසීම රිසි කෙරෙත්” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“භාග්‍යවතුන් වහන්ස, මට වැටහිණ. සුගතයන් වහන්ස, මට දැනිණැ” යි සිටු කී ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුහට දැහැමි කථායෙන් කරුණු දක්වා කරුණු ගන්වා එහි උත්සාහවත් කොට එයින් සතුටු කොට හුනස්නෙන් නැඟී වැඩි සේක.
33. එ සමයෙහි වූකලි අනේපිඬු සිටු බොහෝ මිතුරන් ඇත්තේ බොහෝ යහළුවන් ඇත්තේ සෙස්සන් විසින් පිළිගතයුතු වචන ඇත්තේ වෙයි. එකල්හි අනේපිඬු සිටු රජගහනුවර ඒ කටයුතු නිමවා සැවැත්නුවර බලා නික්මිණ. ඉක්බිති අනේපිඬු සිටු මඟ අතරු (ගම් නියම් ගම්හි වූ) මිනිසුන් බණවා “ආර්‍ය්‍යයෙනි, ආරාම කරවු විහාර පිහිටුවවු. දන් පිළියෙළ කරවු බුදුරජුහු ලොව උපන්හ. ඒ භගවත්හු මා විසින් නිමැතුණාහු මෙ මඟින් වඩනාහ” යි කී ය.
ඉක්බිති අනේපිඬු සිටු සැවැත් ගොස්, 'යමක් ගමට ඉතාදුරත් ඉතා ළඟත් නොවන්නේ ද යැමට ඊමට පහසු ද (බුදුන් වදනට බණ අසනුවට ය.) කැමැති මිනිසුන් විසින් එළඹියැ හැකි වේ ද දහවල් ජනාකීර්ණ නො වේ ද, රෑ නිහඬ ද (නුවරැ හැසිරෙන රථ ආදියේ හඬ නො ඇසෙනුයෙන්) ඝෝෂ රහිත ද ගැවැසෙන ජනයා ගේ ශරීරවාතයෙන් විරහිත ද, මිනිසුන් හුදෙකලා කරන භාවනාදි ක්‍රියාවනට සුදුසු ද විවේකයට යොග්‍ය ද එසේ වූ කවර නම් තැනෙක භාග්‍යවතුන් වහන්සේ විසියයුතු වන්නේ දැ'යි සැවැත් නුවර හාත්පස පිරික්සා බැලී ය.
අනේපිඬු සිටු තෙම ගමට ඉතා දුරැ නොවූ ඉතා ළඟ ද නො වූ ගමනාගමනයට පහසු වූ, (බුදුරජුන් දැකීම් ආදිය) කැමැති කැමැති මිනිසුන් විසින් එළඹියැ හැකි වූ දහවල් ජනාකීර්‍ණ නොවූ, රාත්‍රියෙහි නිහඬ වූ නගර ඝොෂ රහිත වූ, ජනවාත විරහිත වූ, මිනිසුන්ගේ හුදෙකලාව කරන ක්‍රියාවනට යොග්‍ය වූ විවේක වාසයට සුදුසු වූ ජෙතරාජකුමාරයාගේ උයන දුටුයේ ය. දැක ජෙතරාජකුමාරයා කරා එළැඹියේ ය. එළැඹ “ආර්‍ය්‍යයෙනි, ආරාමයක් කරන්නට උයන මට දුනමැනැවැ” යි කීයේ ය.
“කහවණු සුලසින් ඇතිරීමෙනුදු උයන නො දිය හැක්කැ” යි ජේත රාජකුමාර කී ය.
“ආර්‍ය්‍යපුත්‍රය, ආරාමය (මා විසින්) ගන්නා ලදැ” යි සිටු කී ය.
“ගැහැවියෙනි, ආරාමය නො ගන්නා ලදැ” යි කුමර කී ය.
“ආරාමය ගන්නා ලද ද? නො ගන්නා ලද දැ” යි විනිශ්චයකාර මහඇමැත්තන් විචාළාහ.
“ආර්‍ය්‍යපුත්‍රයෙනි, යම් හෙයෙකින් ඔබ විසින් අගය නියම කොට කියන ලද ද, එහෙයින් (සිටුහු විසින්) ආරාමය ගන්නා ලද්දේ යැ” යි ඇමැත්තෝ කීහ.
34. එයින් පසු අනේපිඬු සිටු ගැල්වලින් මසුරන් අදවා ජේතවනය, (මසුරන්) සුලසින් සුලස ඇතිරැවී ය. එක් වරක් ගෙනෙන ලද මසුරන් දොරකොටුව සමීපයේ ස්වල්ප අවකාශයකට ප්‍රමාණ නො වෙයි. (මඳවෙයි) . . . එකල්හි අනේපිඬු සිටු මිනිසුන් බණවා “සගයෙනි, මසුරන් ගෙනෙවු. මේ අවකාශය අතුරා වසාලන්නෙමි” යි ඇණවී ය.
එවිට ජේතරාජකුමාරයාට “යම්හෙයකින් මේ ගැහැවි තෙම ඒ සා මහත් මසුරන් රැසක් පරිත්‍යාග කරන්නේ ද එ හෙයින් මෙ සුළු කාරියෙක් නො වන්නේ යැ” යි මේ සිත විය. ඉක්බිති හෙතෙම අනේපිඬු සිටුහට “ගැහැවියනි, අවශ්‍ය නැත. ඒ අවකාශය නො අතුරවන්න. ඒ අවකාශය මට දෙන්න. එය මගේ දානය වන්නේයැ” යි කී ය.
එවිට අනේපිඬු “මේ ජේතරාජකුමාර තෙම (මහ ජනයා විසින්) වෙසෙසින් දන්නා ලද ප්‍රකට මිනිසෙකි. මෙබඳු ප්‍රකට මිනිසුන් මෙ සස්නෙහි පැහැදීම මහත් වැඩ සිදුකරන්නේ වේ” යැ යි සිතා ඒ අවකාශ ප්‍රදේශය ජේතරාජකුමාරයාට දුන්නේ ය. එයින් පසු ජේතරාජකුමාර , තෙම එ ඉඩම් කැබැල්ලෙහි දොරටු පහයක් තැනැවී ය.
ඉක්බිත්තෙන් අනේපිඬු සිටු ජේතවනයෙහි විහාරයන් කැරැවිය. පිරිවෙන් කැරැවිය, දොරටු කැරැවිය, උවටන්හල් කැරැවිය, ගිනිහල් කැරැවිය, කැපකිළි කැරැවිය. වැසිකිළි කැරැවිය, කෙසකිළි කැරැවිය. සක්මන්මළු කැරැවිය, සක්මන් හල් කැරැවිය. ළින් කැරැවිය, ළින්හල් කැරැවිය, ජෙන්තාකගෘහ කැරැවිය, ජෙන්තාකගතෘහශාලා කැරැවීය. පොකුණු කැරැවිය මඩු කැරැවිය.
35. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කැමැති තාක් කල් වැඩසිට විසල් මහනුවරට පිටත් වූයේක. පිළිවෙළින් සැරිසරා වඩනාසේක් විසල් පුරයට සම්ප්‍රාප්ත වූයේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ විසල් පුරැ මහවෙහෙනහි කුළාරහල් වෙහෙරැ වසනසේක. එකල මිනිස්සු සකසා නවාම් කෙරෙත්. යම් මහණ කෙනෙක් නවාම් ඉවසත් නම් ඔවුනට ද සිවුරු පිඩුපා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් සකසා උවටන් කෙරෙත්.
එ කල එක්තරා දිළිඳු රෙදිවියන්නකුට “යම්සේ මේ මිනිස්සු සකසා නවාම් කෙරෙත් ද එහෙයින් මෙය සුළු කාරියෙක් නො වියයුතු, නවාමක් කළොත් යෙහෙකැ” යි මේ සිත විය.
එයින් පසු ඒ දිළිඳු රෙදිවියන්නා තෙමේ ම මැටි මැඩ ගඩොළු තනා බිත්තියක් නැංවිය. අදක්‍ෂ වූ ඔහු විසින් තනන ලද, වක් වූ බිත්තිය කැඩී වැටිණ. දෙවැනි වරද ... තුන්වැනි වරද ඒ දිළිඳු රෙදි වියන්නා තෙමේ ම මැටි මැඩ ගඩොළු තනා බිත්තියෙක් නැංවිය. අදක්‍ෂ වූ ඔහු විසින් තනන ලද වක් වූ බිත්තිය කැඩී වැටිණ.
එකලැ එ දිළිඳු රෙදිවියන්නා “යම් කෙනෙක් මේ ශාක්‍යපුත්‍රික මහණුනට සිවුරු පිඬුපා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර දෙත් ද ඔවුනට මොහු අවවාද කරත්, අනුශාසනා කරත්, ඔවුන්ගේ නවාම් ද ඉටත්. මම් වූ කලි දිළින්දෙක්මි. කිසිවෙක් මට අවවාද හෝ අනුශාසනා හෝ නො කෙරෙයි. නවාම් හෝ නො ඉටුයැ යි ලාමක කොට සිතයි. නින්දා කෙරෙයි. දොස් පතුරුවයි.
36. භික්ෂුහු පහත් කොට සිතන නින්දා කරන දොස් පතුරුවන ඒ දිළිඳු රෙදිවියන්නා ගේ කථාව ඇසූහ. ඉක්බිති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. එ විට භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා කොට භික්ෂුන් අමතා මෙසේ වදාළසේක.
“මහණෙනි, නවාම් දෙන්නට අනුදනිමි. මහණෙනි, නවකැමි මහණ තෙම කෙසේ නම් විහාරය වහා නිමාවට යන්නේ දැ” යි උත්සාහවත් බවට පැමිණෙන්නේ ය. කැඩුණු බිඳුණු තැන් ප්‍රකෘතිමත් කරන්නේ ය. මහණෙනි, මෙසේ දියැයුතු ය. පළමු කොට මහණුන්ගෙන් (මහණෙක්) ඉල්ලියැයුතු. පළමු කොට මහණුන් යැද ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සංඝයා මෙසේ දැන්වියයුතු:
“සංස තෙමේ මගේ වචනය අසාවා ඉදින් සංසයාට සුදුසු කල් ඇති කර්‍මයෙක් වැ වැටහේ නම්, සංඝ තෙමේ මෙ නම් ගැහැවියාගේ විහාරය මෙ නම් මහණහට නවකර්‍මය පිණිස දෙන්නේ ය” මේ දැනුම් දීමයි.
වහන්ස, සඬ්ඝ තෙමේ මෙ නම් ගැහැවියාගේ විහාරය මෙ නම් මහණහට නවකර්‍මය පිණිස දෙයි. මෙනම් ගැහැවියා ගේ විහාරය මෙ නම් මහණහුට නවකම් පිණිස දීම යම් ආයුෂ්මතකුහට රිසියෙන්නේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙන්නේ නම් හේ කියාවා.
සංඝයා විසින් මෙ නම් ගැහැවියාගේ විහාරය මෙ නම් මහණහට නවකම් සඳහා දෙන ලද්දේ ය. සංඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ සලකමි” යනු යි.
37. එකලැ භාග්‍යවතුන් වහන්සේ විසල්පුරැ කැමැති තාක් කල් වැස සැවැත් නුවර බලා සැරිසරා වැඩිසේක. එ සමයෙහි සවැගි මහණුන්ගේ අතැවැසි මහණහු බුදුපාමොක් සඟනට පෙරාතු ව පෙරාතු ව ගොස් “මෙය අපේ උපාධ්‍යායනට වන්නේ ය. මෙය අපේ ඇදුරනට වන්නේ ය. මෙය අපට වන්නේ යැ” යි කියා විහාරයන් අත්කැරැ ගනිත්, යහන් අත් කැරැගනිත්.
එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ බුදුපාමොක් සඟනට පිටුපසින් පිටුපසින් වැඩ (කලදී සවැගි මහණුන් විසින්) විහාරයන් අත්කැරැ ගන්නා ලද කල්හි යහන් අත්කැරැ ගන්නා ලද කල්හි සැතපෙන්නට යහනක් නො ලබනුයේ එක්තරා රුක්මුලෙක වැඩහුන්හ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම්හි නැගීසිට කැස්ස සේක. ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ ද කැස්සහ. “මෙහි කවරෙක් දැ” යි භාග්‍යවතුන් වහන්සේ ඇසූසේක. “වහන්ස, මම ශාරිපුත්‍රයෙමි” යි කීහ.
“ශාරිපුත්‍රයෙනි, තෙපි කවරහෙයින් මෙහි හුන්නු දැ” යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත්සේක.
එකල්හි සැරියුත් තෙරණුවෝ මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි බික්සඟන රැස් කරවා, “මහණෙනි, සවැගි මහණුන්ගේ අතැවැසි මහණහු පෙරාතු ව පෙරාතු ව ගොස් ‘මෙය අප උපාධ්‍යයනට වන්නේය. මෙය අප ඇදුරනට වන්නේ ය. මෙය අපට වන්නේ යැ’ යි විහාරයන් අත් කැරැ ගනිත් ල, යහන් අත් කැරැ ගනිත් ල. ඒ සැබෑ දැ” යි අසා වදාළසේක. “සැබැව භාග්‍යවතුන් වහන්සැ” යි හික්ෂූහු කීහ.
“මහණෙනි, ඒ හිස් පුරුෂයෝ කෙසේ නම් බුදුපාමොක් සඟනට පෙරාතුව පෙරාතුව ගොස් ‘මෙය අපේ උපාධ්‍යයනට වන්නේ ය. මෙය අපේ ඇදුරනට වන්නේ ය. මෙය අපට වන්නේ යැ’යි විහාරයන් අත්කැරැගන්නාහු ද, යහන් අත්කැරැ ගන්නාහුද, මහණෙනි, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස ද පහන් වූවන්ගේ බොහෝවීම පිණිස ද නො වන්නේ ය. වැලි දු මහණෙනි, එය නො පහන් වූවන්ගේ නො පහන් බව පිණිස ද පහන් වූ ඇතැම් කෙනකුන්ගේ වෙනස් බව පිණිස ද වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ ගැරැහු සේක. ගරහා දැහැමි කථා කොට භික්ෂුන් බණවා “මහණෙනි, අග්‍රාසනය, අග්‍රෝදකය අග්‍රභෝජනය (ස්ථවිර පිණ්ඩය) ලබන්නට කවරෙක් සුදුසු දැ” යි අසා වදාළ සේක.
38. “භාග්‍යවතුන් වහන්ස, යමෙක් කැත් කුලයෙන් පැවිදි වූයේ ද, හේ අග්‍රාසනය අග්‍රොදකය අග්‍රභෝජනය (ස්ථවිර පිණ්ඩය) ලබනුවට සුදුසු වේ යැ” යි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් බමුණු කුලයෙන් පැවිදි වූයේ ද හේ අග්‍රාසනය අග්‍රොදකය අග්‍රභෝජනය ලබන්නට සුදුසු වේ යැ” යි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ගැහැවි කුලයෙන් නික්ම පැවිදි වූයේ ද හේ අග්‍රාසනය අග්‍රොදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු වේ” යැයි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් සූත්‍රාන්තධර ද හේ අග්‍රාසනය අග්‍රොදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු වේ යැ” යි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් විනයධර ද හේ අග්‍රාසනය අග්‍රොදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු වේ යැ” යි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ධර්‍මකථික ද හේ අග්‍රාසනය අග්‍රොදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ප්‍රථමධ්‍යානලාභී ද හේ අග්‍රාසනය අග්‍රොදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ'යි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ද්විතීය ධ්‍යානලාභී ද ... තෘතිය ධ්‍යානලාභී ද ... චතුර්ථ ධ්‍යානලාභී ද, හේ අග්‍රාසනය අග්‍රොදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් සොවාන් ද හේ අග්‍රාසනය අග්‍රොදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් සකෘදාගාමී ද... අනාගාමී ද... යමෙක් රහත් ද හේ අග්‍රාසනය අග්‍රොදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ත්‍රිවිද්‍යා ලාභී ද හේ අග්‍රාසනය අග්‍රොදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
“භාග්‍යවතුන් වහන්ස, යමෙක් ෂඩ්භිඥ ද හේ අග්‍රාසනය අග්‍රොදකය අග්‍රභෝජනය ලබනුවට සුදුසු යැ” යි සමහර මහණහු කීහ.
39. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙය වදාළ සේක. “මහණෙනි, පෙර වූවක් කියමි. මහණෙනි, පෙර හිමවත පාර්ශවයෙහි මහනුගරුකෙක් විය. වටුවෙක් ද වඳුරෙක් ද ඇතෙක් ද යන තුන් යහළු කෙනෙක් එය ඇසුරු කොට විසූහ. ඔහු උනුනට ගරුසරු නැති ව යටත් පැවතුම් නැති ව සභාග පැවැතුම් නැති ව වෙසෙත්. මහණෙනි, එකල්හි ඒ යහළුවනට “ අප අතුරෙන් යමෙක් උත්පත්තියෙන් ඉතා මහලු ද ඔහු දැනගත හෙන්නමෝ නම්, ගරු කරන්නමෝ නම් බුහුමන් කරන්නමෝ නම් පුදන්නමෝ නම්, ඔහුගේ අවවාදයෙහිත් පිහිටන්නමෝ නම් ඉතා යෙහෙකැ” යි මේ සිත විය.
මහණෙනි, එයින් පසු වටුවා ද වඳුරා ද ඇතු බණවා “යහළුව, තෙපි පැරැණි ම වූ කුමක් සිහි කරවු දැ” යි විචාළාහ.
“යහළුවනි, මම් යම් කලෙක පැටියෙක් වීම් ද එ කල්හි මම් මේ නුගරුක මාගේ කලවා අතුරෙහි කොට ඉක්මෙමි, මුදුන් දලුව මගේ බඩ ස්පර්ශ කෙරෙයි. යහළුවනි, මම මේ පැරැණි ම දැය සිහි කරමි” යි ඇතා කීය.
“මහණෙනි, ඉක්බිති වටුවා ද ඇතා ද වඳුරා බණවා “යහළුව, තෙපි පැරැණිම වූ කුමක් සිහි කරවු දැ” යි ඇසූහ.
යහළුවනි, යම් කලෙක මම් පැටියෙක් වීම් ද, එකලහැ මම් බිම හිඳ මේ නුගයේ මුදුන් දලුව කමි. යහළුවනි, මම් මේ පැරැණි ම දැය සිහි කරමි” යි වඳුරා කී ය.
මහණෙනි, ඉක්බිති වඳුරාත් ඇතාත් වටුවා බණවා “යහළුව, තෙපි පැරැණි ම වූ කුමක් සිහි කරවු දැ” යි පුළුවුත්හ.
“යහළුවනි, අසෝ තන්හි මහනුගයෙක් විය. මම් එයින් ගෙඩියක් කා මෙ තැන වසුරු පහකෙළෙමි. එයින් මේ නුගය ඇති විය. යහළුවනි, එදාත් මම් උපතින් ඉතා වැඩුණෙක් ව උනිමි” යි වටුවා කී ය.
මහණෙනි, එ කල්හි වඳුරා ද ඇතා ද වටුවා බණවා “යහළුව, තෙපි උපතින් අප දෙදෙනාට ම වඩා මහලු ය, අපි ඒ තොපට සත්කාර කරන්නමු, ගෞරව කරන්නමු, බුහුමන් කරන්නමු, පුදන්නමු, තොපගේ අවවාදයෙහි ද අපි පිහිටන්නමු” යි කීහ.
මහණෙනි, එයින් පසු වටුවා වඳුරා ද ඇතු ද පන්සිල්හි පිහිටුවිය. තෙමේ ද පන්සිල් ගෙන පවතියි. ඔහු උනුනට ගෞරව සහිත ව යටත් පැවැතුම් සහිත ව සභාග පැවැතුම් සහිත ව වැස කාබුන් මරණින් මතු සුවයට ස්ථාන වූ සගලොවට ගියාහ. මහණෙනි, මෙය තෛත්තිරිය බ්‍රහමචර්ය නම් විය.
දහම්හි දක්ෂ වූ (දහම් දන්නා) යම් කෙනෙක් වැඩිමහල්ලාට යටත් ව පවතිත් ද ඔහු මෙ අත්බව්හි පැසසුම් ලබන්නෝ ද පරලොව්හි සුගතිය ඇත්තෝ ද වෙති.
මහණෙනි, තිරිසන්ගිය ප්‍රාණීහු වූ ඔහු පවා උනුනට ගෞරව ඇත්තෝ ව යටත් පැවැතුම් ඇත්තෝ ව සභාග පැවැතුම් ඇත්තෝ ව වුසූහ. මහණෙනි, මෙසේ වූ ස්වාඛ්‍යාත ශාසනයෙහි පැවිදි වූ තෙපි උනුනට ගෞරව නැති ව යටත් පැවැතුම් නැති ව සභාග පැවැතුම් නැති ව වසන්නහු ය යන යමෙක් ඇද්ද, මෙහි ලා එය හොබ නේ ද? මහණෙනි, මෙය නො පහන් අයගේ පැහැදීම පිණිස ද පහන් අයගේ බොහෝ වීම පිණිස ද නො වන්නේ ය. වැළිදු මහණෙනි, එය නො පහන් වූවන්ගේ නො පැහැදීම පිණිස ද පහන් වූ සමහර කෙනකුන්ගේ වෙනස් වීම පිණිස ද වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා (වැඩිමහලු තෙරුනට ගෞරව නො කිරීමට) ගරහා දැහැමි කතා කොට භික්ෂුන් බණවා, “මහණෙනි, මහලු පිළිවෙළින් වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ප්‍රිය වචන යෙන් කථාකිරීම ප්‍රථමාසනය ප්‍රථමඋදකය ප්‍රථම භෝජනය සංඝස්ථවිර තෙරහට පිරිනැමීම අනුදනිමි. එහෙත් සඟසතු කොට පිදු දෑ වැඩිමහලු පිළිවෙළින් නො ඉසිලියැයුතු. යමෙක් උසුලන්නේ ද දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
40. මහණෙනි, මේ දස දෙන නො වැන්දයුත්තෝ ය. පළමුවෙන් උපසපන් වූවහු විසින් පසුව උපසපන් වූයේ නො වැන්දයුතු; උපසපන් නො වූයේ ද උපසපන් වූවහු විසින් නො වැන්ද යුතු; වඩා මහලු වූ ද අධර්‍මවාදී නානාසංවාසක උපසපන් මහණ තෙමේ නො වැන්දයුතු; හික්ෂූහු විසින් මාගම නො වැන්දයුතු, පණ්ඩකයා නො වැන්දයුතු; පිරිවෙස් පුරන මහණ නො වැන්දයුතු; මූලායපටිකස්සනාවට සුදුසු ව සිටින මහණ නො වැන්දයුතු; මානතට සුදුසු ව සිටින මහණ නො වැන්දයුතු; මානත පුරන මහණ නො වැන්දයුතු; අබ්භානයට සුදුසු මහණ නො වැන්දයුතු. මහණෙනි, මේ දස දෙන උපසපන්හු විසින් නො වැන්ද යුත්තෝ ය.
මහණෙනි, මේ තිදෙන වැන්දයුත්තෝ ය: පසුව උපසපන් මහණහු විසින් තමාට පළමුවෙන් උපසපන් වූ මහණ වැන්දයුතු. නානාසංවාසක වූව ද උපසපුයෙන් වැඩි මහලු ධර්‍මවාදී මහණ තෙම වැන්දයුතු. මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මහණ බමුණන් සහිත දෙව්මිනිසුන් සහිත ප්‍රජාව ඇති ලොව්හි තථාගත අර්හත් සම්‍යක්සම්බුද්ධ තෙමේ වැන්දයුතු ය. මහණෙනි, මොහු වැන්දයුතු තුන් දෙනා ය.
41. එ සමයෙහි මිනිස්සු සඞ්ඝයා උදෙසා මණඩප පිළියෙළ කරත්, ඇතිරි පිළියෙළ කරදෙත්, අවකාශ ස්ථාන පිළියෙළ කරදෙත්, සවැගි මහණුන්ගේ අතැවැසි මහණෝ “භාග්‍යවතුන් වහන්සේ විසින් සඟසතු කරන ලද දැය ම මහලු පිළිවෙළින් පරිභෝග කරන්නට අනුදන්නා ලදි. කෙනකු උදෙසා කරන ලද දැය මහලු පිළිවෙළින් පරිභෝග කරන්නට අනුදන්නා ලද්දේ නො වේ” යැයි කියා බුදුපාමොක් සඟනට පෙරාතු ව පෙරාතු ව ගොස් ‘මෙය අපේ උපාධ්‍යායනට වන්නේ ය. මෙය අපේ ආචාර්‍ය්‍යයනට වන්නේය,
මෙය අපට වන්නේ යැ’ යි කියා මණ්ඩප ද ඇතිරි ද අවකාශ ස්ථාන ද අත්කරගනිත්.
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ බුදුපාමොක් සඟන පසු පස්සෙන් වැඩ, මණඩපයන් ඇතිරි අවකාශස්ථාන (සවැගියන්ගේ අතැවැස්සන් විසින්) අත් කැරැගන්නා ලද කල්හි ඉඩක් නො ලබන්නෝ එක්තරා රුක්මුලෙක හුන්නෝ ය. එකල භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම්හි නැඟීසිට කැස්සසේක. සැරියුත් තෙරණුවෝ ද, කැස්සාහ. “මෙහි කවරෙක් දැ” යි භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම් ශාරිපුත්‍රයෙමි” යි තෙරණුවෝ වදාළාහ. “ශාරිපුත්‍රයෙනි, තෙපි කවර හෙයින් මෙහි හුන්නහු දැ” යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත්සේක.
එ කල්හි සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙ නිදානයෙහි මෙ කරුණෙහි බික්සඟන රැස් කරවා “මහණෙනි, සවැගි මහණුන්ගේ අතැවැසි මහණහු 'උදෙසා කරන ලද දෑ නො ව සඟ සතු කරන ලද දෑ ම වැඩිමහලු පිළිවෙළින් පරිභෝග කරන්නට භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලදහ’ යි කියා බුදුපාමොක් සඟනට පෙරාතු ව පෙරාතු ව ගොස් “මෙය අප උපාධ්‍යායයන් වහන්සේට වන්නේ ය, මෙය අප ආචාර්‍ය්‍යයන් වහන්සේට වන්නේ ය, මෙය අපට වන්නේ යැ” කියා මණ්ඩපයන් අත්කැරැ ගනිත් ල, ඇතිරි අත් කැරැ ගනිත් ල, අවකාශස්ථාන අත් කැරැ ගනිත් ල, ඒ සැබැද'යි අසාවදාළසේක. “සැබැව, භාග්‍යවතුන් වහන්සැ” යි භික්ෂූහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ගරහා දැහැමි කථා කොට භික්ෂූන් අමතා “මහණෙනි, උදෙසා කරන ලද්ද ද වැඩිමහලු පිළිවෙළින් පරිභෝග කිරීම ප්‍රතිබාහනය නො කළයුතු, යමෙක් ප්‍රතිබාහනය කරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
42. එ සමයෙහි මිනිස්සු ඇතුළුගමැ බත්හලෙහි දික්සඟළා පුටුය, පළඟය කොඳුපලසය, විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම් මුවා සුදු ඇතිරිය, පුළුන් ඇතිරිය, එළුලොම්මුවා ඝන පුප්ඇතිරිය, සිංහරූපාදියෙන් විසිතුරු එළුලොම්මුවා ඇතිරිය, එක් පිටෙහි ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, දෙපිටැ ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, රන්කම් කොට තිහිරි හුයින් කළ පසතුරුණ, රන්කම් කළ තිහිරි පසතුරුණ, ලොම්මුවා පලස, නිළියන් සොළොස් දෙනකුන් හට නටන්නට තරම් ඉඩ ඇති එළුලොම්මුවා මහඇතිරිය, ඇතුන් පිට අතුරන ඇතිරිය, අසුන් පිට අතුරන ඇතිරිය, රියතුළ අතුරන ඇතිරිය, අඳුන්දිවිසමින් කළ පසතුරුණ, කෙසෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, රතු උඩුවියන් සහිත වූ යහනය, ඉස්දෙර පාමුල රතු කොට්ට ඇති යහනය යන මෙසේ වූ උසසුන් මහසුන් පනවත්. මහණහු කුකුස් කරන්නාහු එහි නො හිඳිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, දික්සඟළා පුටුව ද පළඟ ද පුළුන් ඇතිරිය ද හැර සෙසු ගෘහී විකෘතයන්හි (ගිහියන් පැනැවූ අසුන්හි) වැදැහෙන්නට නොව ඉඳගන්නට අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි මිනිස්සු ඇතුළු ගම බොජුන් හලෙහි පුළුන් බහා යොදා පිළියෙළ කළ ඇඳන් ද පුටු ද පනවත්. මහණහු කුකුස් කෙරෙත්, එහි නො හිඳිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, ගිහීන් පිළියෙළ කළ ඇඳ පුටු ආදියේ වැදහොන්නට නොව ඉඳගන්නට අනුදනිමි” යි වදාළසේක.
43. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ගම් නියම්ගම් පිළිවෙළින් සැරිසරා වඩනාසේක්, සැවැත්නුවර ජෙතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරමැ වසනසේක. එ කලැ (එක් දිනක්) අනේපිඬු සිටු තෙම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ ඔබ වැඳ පසෙකැ හිඳගත්තේ ය. හේ එකත් පසෙක හුන්නේ “වහන්ස භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සඞ්ඝයා සහිත ව සෙට දවසට මාගේ බත ඉවසනසේක්ව” යි කී ය. භාග්‍යවතුන් වහන්සේ නිහඬ බැවින් එය ඉවසූසේක.
ඉක්බිති අනේපිඬු සිටු තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගීසිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මැගියේ ය. ඉක්බිති අනේපිඬු සිටු එ රැය ඇවෑමෙන් ප්‍රණිත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙළ කරවා “ වහන්ස, දැන් වඩනට කාලය ය බත පිළියෙළ කොට නිමැවිණැ” යි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වා යැවීය.
භාග්‍යවතුන් වහන්සේ ද ඒ පෙරවරු සෙමෙහි හැඳපෙරෙවැ පා සිවුරු ගෙන අනේපිඬු සිටුහුගේ ගෙය වෙතට එළැඹිසේක. එළැඹ පනවා තුබුණු අසුන්හි බික්සඟන හා වැඩැහුන්සේක. එ කල අනේපිඬු සිටු බුදුපාමොක් බික්සඟන ප්‍රණීත වූ බාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සතප්වා පවරවා භාග්‍යවතුන් වහන්සේ බොජුන් වළදා නිමවා පාත්‍රයෙන් ඉවතට ගත් අතැති නියා දැක ඔබට එකත් පසැ හිඳගත්තේ ය. එසේ හුන්නේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මම ජේතවනය පිළිබඳ වැ කෙසේ නම් පිළිපදිම් දැ” යි ඇසූයේ ය.
“එසේ වී නම් ගැහැවිය පැමිණි නො පැමිණි සිවුදිගට අයත් බික්සඟනට පිහිටුවන්නැ (පිරිනමන්නැ)” 'යි භාග්‍යවතුන්වහන්සේ වදාළසේක.
“එසේ ය, වහන්සැ” යි කියා අනේපිඬු සිටු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දි ජේතවනය සිවු දිගට අයත් එහි පැමිණි නො පැමිණි (සියලු) බික්සඟන සතු කොට පිරිනැමී ය.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුහට මේ ගාථාවලින් අනුමෝදනා කළසේක.
44. විහාරය වූ කලි ශීතය ද උෂ්ණය ද එයින් අන්‍ය වූ චණ්ඩමෘගයන් ද සර්පයන් ද මැසිමදුරුවන් ද සිසිල්සුළං ද වැසි ද වළහයි.
එයින් අන්‍ය වූ හටගත් දැඩි අවු සුළං ද (විහාරය කරණ කොට ගෙන) වැළැකෙයි. විවික්ත වැ විසීම පිණිස ද දෘෂ්ටධර්‍ම සුඛවිහරණය පිණිස ද ධ්‍යාන වඩනු පිණිස ද විවසුන් වඩනු පිණිස ද විහාරය (යොග්‍ය ස්ථාන වේ).
එහෙයින් සංඝයාට විහාර පිළියෙළ කොට දිම අග්‍ර පිනෙකැ යි හැම බුදුවරයක්හු විසින් වර්ණිත ය. එ බැවින් නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ,
සිත්කලු විහාරයන් කරන්නේ ය. එහි බොහෝ ඇසූ පිරූ තන් ඇති භික්ෂුන් වස්වන්නේ ය. ඍජු ගුණ ඇති ඔවුන් කෙරෙහි වෙසෙසින් පහන් වූ සිතින් යුතු ව ඒ භික්ෂුනට ආහාර ද පාන ද වස්තු ද ශයනාසන ද දෙන්නේ ය.
ඒ (දායක) තෙම යම් දහමක් දැන ගෙන ආස්‍රව රහිත වූයේ මෙ අත්බව්හිදී කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙන්නේ ද (රහත් බවට පැමිණෙන්නේ ද) - එසේ වූ සියලු සසර දුක් දුරැලන දහමක් ඒ භික්ෂුහු ඔහුට දෙසන්නාහ.
භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවලින් අනේපිඬු සිටුහට අනුමෝදනා බණ වදාරා හුනස්නෙන් නැගී නික්මවැඩිසේක.
45. එ සමයෙහි වනාහි ආජිවක ශ්‍රාවක වූ එක්තරා මහඇමැත්තකුගේ සඞ්ඝයාට පිරිනැමෙන බතෙක් වෙයි. ආයුෂ්මත් ශාක්‍යපුත්‍ර උපනන්දයෝ හැමට පසු ව අවුත් සමීපයෙහි හුන් අඩාළ බොජුන් ඇති (වළදා නො නිමි) භික්‍ෂූ නමක් නැගිටුවූහ. බොජුන්හල කලබල සහිත විය. එකල්හි ඒ මහඇමැත්තා “කෙසේ නම් ශාක්‍යපුත්‍රිය ශ්‍රමණයෝ පසු වැ අවුත් බොජුන්වළඳා නොනිමි භික්‍ෂූන් නැගිටුවන්නාහු ද, එයින් බොජුන්හල කලබල සහිත විය. අන් තැනෙක හිඳ රිසිතාක් වළඳන්නට නො හැකි දැ” යි පහත් කොට සිතයි, දොස් නඟයි, නුගුණ පතුරුවයි. භික්‍ෂූහු පහත් කොට සිතන දොස් නගන නුගුණ පතුරුවන ඒ ඇමැත්තාගේ වචනය ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද... ඔහු (ද) “කෙසේ නම් ආයුෂ්මත් ශාක්‍යපුත්‍ර උපනන්දයෝ පසු ව අවුත් බොජුන් වළදා නො නිමි සමීපයෙහි හුන් හික්‍ෂුනමක් නැඟුටුවන්නෝ ද, එයින් බොජුන්හල කලබල සහිත වී” යැ යි පහත් කොට සිතත්, දොස් කියත්, නුගුණ පතුරුවත්. එ කල ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“සැබෑද උපනන්දයෙනි, තෙපි පසුව අවුත් බොජුන් වළඳා නොනිමි මහණක්හු නඟාසිටුවූහු ද (එයින්) බොජුන්හල කලබල සහිත වී දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
“සැබැව, වහන්සැ” යි (උපනන්ද තෙරණුවෝ කීහ.)
“හිස් පුරුෂය තෝ පසුව අවුත් සමීපයේ හුන් වළඳා නො නිමි (සමීපයෙහි වළඳමින් හුන්) මහණක්හු කෙසේ නැඟුටුවූයෙහි ද? බොජුන්හල (එයින්) කලබල සහිත වූයේ ය. හිස් පුරුෂය, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ ... නො වේ” ය යි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙසෙසින් ගැරැහුසේක. ගරහා දැහැමි කථා කොට,
“මහණෙනි, අඩාළ බොජුන් ඇති (වළදා නොනිමි) මහණ නො නඟා සිටුවියැයුතු. යමෙක් ඔහු නඟා සිටුවන්නේ නම්, ඔහුට, දුකුළා ඇවැත් වන්නේ ය. ඉදින් (ඇවැත නොතකා) නඟා සිටුවන්නේ නම්, මෙ තෙම පවරන ලදුයේ ද වන්නේ ය. ‘වඩින්න, පැන් ගෙනෙන්නැ’යි වැඩිමාලු මහණ තෙම කියැයුතු (වැඩිමහල් මහණහට කියැ යුතු). එසේත් මෙය ලබන්නේ නම් ඒ මැනැවි, ඉදින් නො ලබන්නේ නම් මනාසේ බත්තුළු ගිලැ වැඩිමහලු මහණහට අස්න දියැයුතු, මහණෙනි, මම් කිසි කරුණෙකිනුත් වැඩිමහලු මහණහට ආසනය ප්‍රතිබාහන කළයුතු යැයි නො කියමි. යමෙක් ප්‍රතිබාහනය කරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
46. එ සමයෙහි සවැගි මහණහු ගිලන් භික්ෂූන් නගාසිටුවත්. “ඇවැත්නි, නැගී සිටින්නට නො හැක්කම්හ ගිලනුම්හ” යි ගිලන් මහණහු මෙසේ කියත්. ‘අපි ආයුෂ්මතුන් නගාසිටුවම්හ’ යි කියා ඔහු ගිලන් මහනුන් අල්ලා නඟාසිටුවා (එසේ) නැගී සිටියවුන් අතහරිත්. ගිලන් මහණහු ක්ලාන්ත ව වැටෙත් භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ගිලනා නො නැගිටුවියයුතු, යමෙක් නැගුටුවන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි සවැගි මහණහු “අපි ගිලනුම්හ, නො නගාසිටුවිය යුත්තම්හ” යි කියා (සුව පහසු දෙන) මනායහන් අවුරාගෙන සැතපෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ගිලනාහට සුදුසු යහනක් දෙන්නට අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි සවැගි මහණෝ ස්වල්පමාත්‍ර ආබාධයෙනුත් සෙනසුන් පිළිබහත් (අන්කෙනකුට එය පරිභෝග කරන්නට නො දෙත්). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, අල්පමාත්‍ර ආබාධයෙකින් සෙනසුන් නො පිළිබැහිය යුතු. යමෙක් පිළිබහන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
47. එ සමයෙහි සතොළොස්වැගි මහණෝ ‘අපි මෙහි වස් වසන්නම්හ’ යි කියා පිටිසරබද මහවෙහෙරක් පිළිසකර කෙරෙත්. සවැගි මහණෝ වෙහෙර පිළිසකර කරන සතොළොස්වැගි මහණුන් දුටුහ. දැක, ‘ඇවැත්නි, මේ සතොළොස්වැගි මහණහු එක්තරා වෙහෙරක් පිළිසකර කෙරෙත්. අපි දැන් උන් නගාසිටුවම්හ’ යි කීහ. ඔවුන් අතුරෙන් සමහරු ‘ඇවැත්නි, පිළිසකර කොට නිමවන තෙක් බලාපොරොත්තුවවු, පිළිසකර කොට නිමි කල්හි නගාසිටුවන්නම්හ’ යි කීහ. එ කල්හි සවැගි මහණහු සතොළොස්වැගි මහණුන් බණවා ‘ඇවැත්නි, නැගීසිටිවු (ඉවත්වවු) විහාරය අපට පැමිණේ යැ'යි කීහ.
“ඇවැත්නි, කල් තබා ම කියැයුතු වූයේ නො වේ ද? (එසේ කියන ලද නම්) අපි අන් වෙහෙරක් පිළිසකර කරන්නවෝ වේ දැ” යි ඔහු කීහ.
“ඇවැත්නි, විහාරය සඟසතු නො වේ දැ?” යි සවැගියෝ ඇසූහ:
“එසේ ය. ඇවැත්නි විහාරය සඟසතුයැ” යි ඔහු කීහ.
“ඇවැත්නි, නැගිටින්න (ඉවත්වන්න) විහාරය අපට පැමිණේයැ” යි සවැගියෝ කීහ.
“ඇවැත්නි, විහාරය මහත් ය, තෙපිත් වසවු. අපිත් වසන්නමු” යි සතොළොස්වැගියෝ කීහ. එවිට සවැගි මහණෝ කුපිත ව නො සතුටු වැ, “ඇවැත්නි, නැගීසිටිවු” යැ යි කියා බෙල්ලෙන් අල්ලා නික්මවත් (පිටතට ඇද දමත්.) ඔහු නික්මවනු ලබන්නාහු හඬත්. “ඇවැත්නි, තෙපි කුමට හඬවු දැ” යි භික්ෂුහු අසත්.
“ඇවැත්නි, මේ සවැගි මහණෝ කිපුණාහු නො සතුටු වූවාහු අප සඟසතු වෙහෙරින් නෙරපත්” යැ යි ඔහු කීහ.
“යම් මහණ කෙනෙක් අල්පෙච්ඡද... ඔහු සවැගි මහණහු කුපිතව නො සතුටු ව කෙසේ නම් භික්ෂුන් සඟසතු වෙහෙරින් නෙරපන්නාහු දැ” යි ලාමක කොට සිතත්, දොස් නගත්, අගුණ පතුරුවත්.
එ කල්හි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ ... “මහණෙනි, සවැගි මහණහු කුපිත ව නො සතුටු ව මහණුන් සඟසතු වෙහෙරින් නෙරපන්නාහු ද? ඒ සැබෑ ද?” භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක. “සැබැව භාග්‍යවතුන් වහන්සැ” යි මහණහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගරහා දැහැමි කථා කොට හික්ෂුන් බණවා,
“මහණෙනි, මහණකු කිපී නො සතුටු ව මහණෙක් සඟ සතු වෙහෙරින් නො ම නෙරැපියගැයුතු. යමෙක් නෙරැපන්නේ වී නම් ඔහුට ධර්‍මය වූ පරිදි (විනයනීතිය පරිදි) දඩුවම් කැරැවියැයුතුය. මහණෙනි, සෙනසුන් ගන්වන්නට අනුදනිමි” යි වදාළසේක.
48. එ කල්හි මහණුනට 'කවරකු විසින් සෙනසුන් ගැන්විය යුතු දැ?’ යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ වග දැන්වූහ.
“මහණෙනි, අඬ්ග පසෙකින් සමන්විත මහණක්හු සෙනසුන් ගන්වන්නකු කොට සම්මත කරන්නට අනුදනිමි. යමෙක් ඡන්දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද බියෙන් අගතියට නො යන්නේ ද මුළායෙන් අගතියට නො යන්නේ ද ගත් නොගත් සෙනසුන් දන්නේ ද මේ ඒ අඬ්ග පස ය. මහණෙනි, ඒ මහණ මෙසේ සම්මත කටයුතු ය.
පළමු කොට (සෙනාසන ගාහාපක බව පිළිගනු පිණිස) මහණෙක් යැදියයුතු යැද, වියත් ප්‍රබල මහණක්හු විසින් සඬ්ඝ තෙමේ මෙසේ දැන්වියැයුතු:
“වහන්ස, සඬ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඬ්ඝයාට පැමිණි කල් ඇත්තේ වී නම්, සඬ්ඝ තෙමේ මෙනම් මහණහු සෙනසුන් ගන්වන්නකු කොට සම්මත කෙරේවා. මේ ඥප්තිය යැ.
වහන්ස, සඬ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඬ්ඝ තෙමේ මෙනම් මහණහු සෙනසුන් ගන්වන්නකු කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට මෙ නම් මහණහට සෙනසුන් ගන්වන සම්මතිය (දීම) රිසියෙන්නේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙන්නේ නම් හේ කියාවා.
සඬ්ඝයා විසින් මෙ නම් මහණ සෙනසුන් ගන්වන්නකු කොට සම්මත විය. සඞ්ඝයාට (එය) රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යැ.
එ කල්හි සෙනසුන් ගන්වන මහණුනට “කෙසේ නම් සෙනසුන් ගැන්වියැ යුතු දැ?” යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, පළමු කොට මහණුන් ගණන් කරන්නට, මහණුන් ගැණ යහන් ගණින්නට, යහන් ගැණ යහන් පිරිසෙයින් (යහන් ගණනට) යහන් ගන්වන්නට අනුදනිමි” යි වදාළ සේක.
යහන් ගණනින් යහන් ගන්වන්නාහු යහන් ඉතිරි කළාහ.
“මහණෙනි, විහාර ගණනින් සෙනසුන් ගන්වන්නට අනුදනිමි” යි වදාළසේක.
විහාර ගණනින් සෙනසුන් ගන්වන්නාහු විහාරයක් ඉතිරි කළහ. ...
“මහණෙනි, පිරිවෙන් ගණනින් සෙනසුන් ගන්වන්නට අනුදනිමි” යි වදාළසේක.
පිරිවෙන් ගණනින් සෙනසුන් ගන්වන්නාහු පිරිවෙනක් ඉතිරි කළාහ.
“මහණෙනි, නැවත තව කොටසක් ද දෙන්නට අනුදනිමි. එ අතිරේක කොටස ගත් කලැ අන් මහණෙක් ආයේ වී නම් නො කැමැත්තෙන් (ඔහුට) ඒ අනුභාගය (සෙනසුන් කොටස) - නොදියැ යුතු යැ” වදාළසේක.
49. එ සමයෙහි වනාහි භික්ෂුහු උපචාර සීමායෙන් පිටත සිටියා හට සෙනසුන් ගන්වත් භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, උපචාර සීමාවෙන් පිටත සිටි මහණහට සෙනසුන් නො ගැන්වියැයුතු. යමෙක් ගන්වන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ” ය.
එ සමයෙහි මහණහු සෙනසුන් ගන්වා සියලු කාලයෙහි අන් මහණුනට පිළිබහත් (එන්නට නො දෙත්). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
“මහණෙනි, සෙනසුන් ගන්වා (තමනට පවරවා ගෙන) සියලු කල්හි ප්‍රතිබාහනය (අන් මහණුනට එන්නට නො දී ඔවුන් බැහැර කිරීම සෙනස්න අත්නෑර තමන් සතු කොටගෙන තැබීම) නො කළයුතු. යමෙක් ප්‍රතිබාහනය කරන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, වස් තුන් මස තමා ඉන්නා සෙනස්න පිළිබහන්නට (අන් අයට අත් කරගන්නට නොදී තමා සතුව ම පවත්වන්නට ද ඍතු කාලයෙහි [සෙසු මාස්හි] නො පිළිබහන්නට [තමා සතු කොට ගෙන ම තබා නොගන්නට] අන් මහණුන් එය පරිහරණය කරන්නට ආවෝත් ඔවුන් නො වළක් වන්නට) අනුදනිමි” යි වදාළසේක.
එ කල්හි “සෙනසුන් ගැන්වීම් කීයෙක් දැ?” යි භික්ෂුනට මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:)
“මහණෙනි, පුරිමකය, පශ්චිමකය , අන්තරාමුක්තකයැ යි සෙනසුන් ගැන්වීම් තුනෙක, ඇසළ පුණුපසොළොස්වක ගියාට පසු දින පළමු සෙනසුන් ගැන්වීම කළයුතු, ඇසළ පුණුපසොළොස්වක ගතව මසක් ගිය කලැ පැසිම් සෙනසුන් ගැන්වීම කළයුතු. වස් පවාරණය ගත වූ කලැ (ඉතිරි අටමාසය සඳහා ද) එයින් මතු වස් විසීම් පිණිස අන්තරාමුක්තක සෙනසුන් ගැන්වීම කළයුතු, මහණෙනි, මේ සෙනසුන් ගැන්වීම් තුන යැ”.
දෙවෙනි බණවර නිමියේ යි.
50. එ සමයෙහි ශාක්‍යපුත්‍ර වූ උපනන්ද තෙරණුවෝ සැවැත්හි සෙනසුන් ගෙන, එක්තරා කුඩා ගමෙක ආවාසයකට ගියේ ය. එහි ද සෙනස්නක් ලැබ ගත්තේ ය. එ කලැ ඒ මහණුනට, “ඇවැත්නි, මේ ශාක්‍යපුත්‍ර උපනන්ද තෙරණුවෝ අරගල කරන්නෙකි, කලහ කරන්නෙකි, විවාද කරන්නෙකි, කතාබහෙන් ආරාවුල් උපදවන්නෙකි, සඬ්ඝයා අතර, නඩු ඇති කරන්නෙකි. මෙ තෙම මෙහි වස් වසන්නේ වී නම්, අපි හැම දෙනා ම පහසු සේ නො වසන්නමු. එබැවින් ඔහු විචාරමු” යි මෙ සිත විය.
ඉක්බිත්තෙන් ඒ මහණහු ශාක්‍යපුත්‍ර උපනන්ද තෙරුනට, “ඇවැත් උපනන්දයෙනි, ඔබ විසින් සැවැත්හි සෙනස්නෙක් ගන්නා ලද්දේ නොවේ දැ?” යි කීහ.
“එසේ ය. ඇවැත්නි” යි උපනන්ද තෙරණුවෝ කීහ.
“ඇවැත් උපනන්‍දයෙනි, කිමෙක් ද? එක් කෙනෙක් ම වූ ඔබ සෙනසුන් දෙකක් පිළිබහන් කෙරෙත් ද (තමනට වෙන් කොට ගෙන සෙස්සන් එයින් වළක්වත් ද)?”
“ඇවැත්නි, දැන් මෙහි සෙනස්න මුදමි. (අත්හරිමි). එහි සෙනස්න ගනිමි” යි තෙරණුවෝ කීහ.
යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද ලද දැයින් සතුටු වන්නෝ ද ලජ්ජිහු ද, කුකුස් කරන්නෝ ද, ශික්‍ෂා රකිනුයෙහි කැමැත්තෝ ද, ඔහු “කෙසේ නම් ශාක්‍යපුත්‍ර උපනන්ද තෙරණුවෝ එක් කෙනෙක් වැ සෙනසුන් දෙකක් පිළිබහන්නෝ දැ” යි පහත් කොට සිතත්, දොස් නගත්, නො ගුණ පතුරවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ... මේ නිදානයෙහි මෙ කරුණෙහි බික්සඟන රැස් කරවා, ශාක්‍ය පුත්‍ර උපනන්‍දයන් බණවා, “උපනන්‍දයෙනි, තෙපි එක් කෙනෙක් වැ සෙනසුන් දෙකක් පිළිබහවු ද? සැබෑ දැ?” යි අසා වදාළසේක.
“සැබැව භාග්‍යවතුන් වහන්සැ” යි ඔබ කීහ.
“හිස් මිනිස, තෝ එකෙක් වැ කෙසේ නම් සෙනසුන් දෙකක් පිළිබහයි ද හිස්මිනිස, තා විසින් එහි (සෙනස්නක්) ගන්නා ලද්දේ මෙහි (සෙනස්න) මුදන ලද්දේ ය. මෙහි (සෙනස්න) ගන්නා ලද්දේ එහි (සෙනස්න) මුදන ලද්දේ ය. හිස්මිනිස, මෙසේ ම තෝ දෙ තන්හි ම පරිබාහිර වූයෙහි (සෙනස්නක් නැත්තෙක් වූයෙහි). හිස්මිනිස, මෙය සස්න කෙරෙහි පහන් නො වූවන්ගේ පැහැදීම පිණිස ද පහන් වූවන්ගේ වැඩීම පිණිස ද නො වේ. වැලි නො පහන් වූවන්ගේ නො පැහැදීම පිණිස ද පහන් වූ සමහර කෙනෙකුන්ගේ වෙනස් බව පිණිස ද වේ” යැ යි වෙසෙසින් ගැරැහුසේක. ගරහා දැහැමි කතා කොට, මහණුන් බණවා, “මහණෙනි, එක් මහණක්හු විසින් සෙනසුන් දෙකක් නො පිළිබැහියයුතු (තමාට වෙන් කොට නො ගතයුතු). යමෙක් පිළිබහන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
51. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට නොයෙක් කරුණින් විනය කථාව වදාරනසේක. විනයයේ ගුණ වණන සේක. විණය බණ ඉගැන්මෙහි ගුණ වදාරනසේක. ආදර්ශ කොට උපාලි තෙරුන්ගේ ගුණ වදාරනසේක: “භාග්‍යවතුන් වහන්සේ වූ කලී නොයෙක් කරුණින් විනය කථාව වදාරනසේක. විනයයේ ගුණ වදාරනසේක. විනය බණ ඉගැන්මෙහි ගුණ වදාරන සේක. ආදර්ශ කොට කොට උපාලි තෙරුන්ගේ ගුණ වදාරන සේක. ඇවැත්නි, අපි උපාලි තෙරුන් වෙත විනය පුහුණු කරම්හ” යි භික්‍ෂූනට මේ සිත විය. ඒ බොහෝ ස්ථවිර භික්‍ෂූහු ද නවක භික්‍ෂූහු ද මධ්‍යයම භික්‍ෂූහු ද උපාලි තෙරුන් වෙත විනය බණ උගනිත්. උපාලි තෙරණුවෝ තමනට වඩා මහලු තෙරුනට ගෞරවයෙන් සිටියාහු ම (සිට ගෙන ම) බණ උදෙසයි (උගන්වයි), ස්ථවිර (වැඩි මහලු) භික්‍ෂූහු ද සිටගත්තාහු ම ධර්‍මගෞරවයෙන් (විනය) උදෙසවාගනිත් (කියවා ගනිත්), එහි ස්ථවිර භික්‍ෂූහු ද උපාලි තෙරණුවෝ ද (බොහෝ වේලා) (සිටගත් වන ම සිටියාහු) වෙහෙසට පැමිණෙත්.
භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, උදෙසන (බණ උගන්වන) නවක මහණහු විසින් ධර්‍මගෞරවයෙන් සමාන අස්නෙක හෝ වඩා උස් අස්නෙක හෝ ඉඳින්නට ද, උදෙස්වන (ඉගෙනගන්නා) ස්ථවිර භික්‍ෂූහු විසින් ධර්‍මගෞරවයෙන් සමාන අස්නෙක හෝ (උගන්වන තෙරුන්ගේ අස්නට) වඩා මිටි අස්නෙක හෝ හිඳින්නට ද අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
එ සමයෙහි වනාහි බොහෝ භික්ෂුහු උපාලි තෙරුන් සමීපයෙහි සිටගත්තාහු ම උදෙසීම බලාපොරොත්තු වන්නාහු වෙහෙසෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, සමානාසනිකයන් සමග හිඳගන්නට අනුදනිමි” යි වදාළසේක.
එ කල්හි භික්‍ෂූනට “කොපමණෙකින් සමානාසනිකයෙක් වන්නේ දැ?” යි මෙ සිත විය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, තුන් වසක් අතර ඇති (තමාට වඩා වස් එකක් හෝ දෙකක් වැඩි හෝ අඩු) මහණකු හා එක් අස්නෙහි ඉඳගන්නට අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි බොහෝ සමානාසනික මහණහු එක් ඇඳෙක හිඳ ඇඳ බින්දහ. (කඩා දැමූහ). එක් පුටුවෙක හිඳ පුටුව කැඩුහ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, තුන් දෙනකුනට ඇඳ ද තුන් දෙනකුනට පුටුව ද අනුදනිමි” යි වදාළසේක. තුන්දෙනෙක් ද ඇඳෙක හිඳ එය කැඩුහ , පුටුවෙක හිඳ පුටුව කැඩුහ.
“මහණෙනි, දෙදෙනකුනට ඇඳ ද දෙදෙනකුනට පුටුව ද අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි භික්‍ෂුහු සමාසනික නොවන භික්‍ෂුන් හා දික් අස්නෙහි හිඳින්නට කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, පණ්ඩකයා ද මාගම උභතොඛ්‍යංජනකයා ද හැර, (සෙසු) අසමානාසනිකයන් හා එක් දීර්ඝාසනයෙහි ඉඳගන්නට අනුදනිමි” යි වදාළසේක.
එ කල්හි ‘කොතෙකින් පැසිම් අස්න දීර්‍ඝාසනයෙක් වේ ද?’ යි භික්‍ෂූනට මේ සිත විය ...
“යම් අස්නෙක් තුන් දෙනකුනට සෑහෙයි ද, දීර්‍ඝාසනය එ පමණින් පැසිම් අස්න යැ. (තුන් දෙනකුහට පමණක් ඉඳිත හැකි අස්න අඩු ම ප්‍රමාණයේ වූ දික් අස්න යැ) යි වදාළ සේක.
52. එ සමයෙහි මිගාර මාතෘ නම් වූ විශාඛා තොමෝ ආලින්දයක් (ඉස්තෝප්පුවක්) සහිත වූ ඇත්කුඹු සටහන් මත්තෙහි ටැම් බැඳ තැනු ප්‍රාසාදයක් සංඝයා උදෙසා කරවන්නට කැමැත්තී වූවාය. එ කල මහණුනට, “භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූනට කෙබඳු ප්‍රාසාද පරිභෝගයෙක් අනුදන්නා ලද ද? කෙබඳු ප්‍රාසාද පරිහොගයෙක් නො අනුදන්නා ලද දැ?” යි. මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, සියලු ප්‍රාසාද පරිහොගය අනුදනිමි” යි වදාළ සේක.
එ සමයෙහි පසේනදී කොසොල් රජුගේ මිත්තණියෝ කලුරිය කළාහ. ඇගේ කලුරියෙන්, දික්සඟළා පුටු ය, පළඟය, සතරඟුලට වඩා ලොම් ඇති ඇතිරි ය, එළුලොමින් කළ විසිතුරු ඇතිරි ය, එළුලොම් මුවා සුදු ඇතිරි ය, පුළුනෙන් පිරූ ඇතිරි ය, ගනපුප් ඇති එළුලොම් මුවා ඇතිරි ය, සිංහව්‍යාඝ්‍රාදි රූපයෙන් විසිතුරු එළුලොම් මුවා ඇතිරි ය, එක් පැත්තෙක පමණක් ලොම් ඇති එළුලොම්මුවා ඇතිරි ය, දෙ පැත්තේ ම ලොම් ඇති එළු ලොම්මුවා ඇතිරි ය, තිහිරිහුයින් වියූ රන්කසු කම් කළ පසතුරණ, ලොම්මුවා පලස, නිළියන් සොළොස් දෙනෙකුන්ට සිට රඟ පාන්නට තරම් දික් පුළුල ඇති මහ ඇතිරිය, ඇතුන් පිට අතුරන ඇතිරි ය, පිට අතුරන ඇතිරි ය, රියෙහි අතුරන ඇතිරි ය, අඳුන් දිවිසමින් කළ පසතුරුණ, දෙපස රතු කොට්ට තැබූ උඩු වියන් සහිත කෙසෙල් මුව සමින් කළ මහඟු පසතුරුණ යන මේ බොහෝ අකැප බඩු යන බොහෝ නොකැප වී බඩු සංඝයාට උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, දික් සඟළා පුටුවේ පා සිඳ පරිභෝග කරන්නට ද, පළඟෙහි ව්‍යාල රූප බිඳදමා පරිභෝග කරන්නට ද, පුළුන් මෙට්ටය මැහුම් ලිහා කොට්ට කරන්නට ද, ඉතිරි දෑ බුමුතුරුණු කරන්නට ද අනුදනිමි” යි වදාළසේක.
53. එ සමයෙහි සැවැත් නුවරට නොදුරෙහි එක්තරා කුඩා ගමෙක ආවාසයෙක වසන භික්‍ෂුහු ආගන්තුක වූ ද ගමික වූ ද භික්‍ෂුනට සෙනසුන් පනවන්නාහු එයින් පීඩාවට පත් වූහ. එකලැ ඒ භික්‍ෂුනට මේ සිත විය. “ඇවැත්නි, දැන් වනාහි අපි ආගන්තුක වූ ද ගමික වූ ද මහණුනට සෙනසුන් පනවන්නමෝ පීඩාවට පැමිණියම්හ. ඇවැත්නි, එබැවින් අපි සියලු සඟසතු සෙනස්න එක් මහණකුට දෙමු. ඔහු සතු වූ එය පරිභෝග කරන්නමු” යනු යි. ඔහු සියලු සඟසතු සෙනස්න එක් මහණකුට දුන්හ. ආගන්තුක මහණහු ‘ඇවැත්නි, අපට සෙනසුන් පනවන්නැ' යි කීහ.
“ඇවැත්නි සඟ සතු සෙනස්නෙක් නැත. සියල්ල අප විසින් එක් මහණකුට දෙනලදැ” යි (නේවාසික මහණහු) කීහ. “ඇවැත්නි, කිමෙක් ද? තෙපි සඟසතු සෙනස්න එක් කෙනකුට පවරා දුන්නහු දැ?” යි ඔහු ඇසූහ.
“එසේ ය, ඇවැත්නි” යි ඔහු කීහ. අල්පේච්ඡ වූ ... යම් භික්ෂු කෙනෙක් වෙත් ද, ... ඔහු “කෙසේ නම් භික්‍ෂුහු සඟසතු සෙනසුන් එකකුට පවරා දුන්නහු දැ” යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, ඉක්බිති එ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.
“මහණෙනි, මහණහු සඟසතු සෙනස්න (එක් මහණකුට) පවරාදුන්නාහු ද? සැබෑ දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
“එසේ ය භාග්‍යවතුන් වහන්සැ” යි ඔහු කීහ.
“මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ සඟසතු සෙනස්න කෙනකුට පැවැරුවෝ ද? මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස ද ... නො වේ” යැ යි වෙසෙසින් ගැරැහූ සේක. ගරහා දැහැමි කථා කොට මහණුන් බණවා මෙය වදාළසේක:
“මහණෙනි, මේ පස සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ අනෙකකුට (පෞද්ගලික අයිතියට) නො දිය යුතු ය, නො පැවරියයුතු ය. දෙන ලද්දේ ද නො දෙන ලද්දේ වේ. යමෙක් දෙන්නේ නම් තුලැසි ඇවැත් වන්නේ ය. කවර පසෙක් ද යත්: ආරාමය, ආරාම වත්ත, මේ පළමු වන නො දියයුතු දැය ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ නො දියයුතු ය. දෙන ලද්දේ ද නො දෙන ලද්දේ වෙයි. යමෙක් දෙන්නේ නම් තුලැසි ඇවැත් වන්නේ ය.
විහාරය ද විහාර වත්ත ද , දෙවෙනි අවිස්සජ්ජිය වස්තු ය. සඬ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් පුද්ගලයකු සතු කොට නො දියයුතු ය. දෙන ලද්දේ ද නොදෙන ලද්දේ වේ. යමෙක් දෙන්නේ ද තුලැසි ඇවැත් වන්නේ ය.
ඇඳ ද පුටුව ද බිස්ස ද කොට්ටය ද යන මේ තෙවෙනි අවිස්සජ්ජිය වස්තු ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ (පුද්ගලයකු සතු කොට) නො පැවරිය යුතු ය. එසේ දෙන ලද්දේ ද නො දෙන ලද්දේ ම වේ. යමෙක් දෙන්නේ ද, තුලැසි ඇවැත් වන්නේ ය.
ලෙහො සැළි ය, ලොහො පැණ, ලොහො කළ ය, ලොහො කටාරම, වෑය, පොරොව, කෙටේරිය, උදැල්ල, නියන යන මේ සතර වන අවිස්සජ්ජිය වස්තු ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ පුඟුලකු සතු කොට නො දියයුතු ය. යමෙක් එසේ දෙන්නේ ද ඔහුට තුලැසි ඇවැත් වන්නේ ය.
වැල්, හුන, මුදුතණ, බබුස්තණ, සෙසු තෘණවර්ග, මැටි, ලීබඩු, මැටිබඩු, යන මේ පස්වන අවිස්සජ්ජිය වස්තු ය. සඬ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ (පුඟුල් සතු කොට) මහණකුට නො දියයුතු ය. දෙන ලදුයේ ද නො දෙන ලදුයේ වේ. යමෙක් දෙන්නේ ද ඔහුට තුලැසි ඇවැත් වන්නේ ය.
මහණෙනි, මොහු අවිස්සජ්ජිය (පුද්ගලයකු සතු කොට නො දිය යුතු) වස්තු පස් වගය ය. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ (පුඟුල් සතු කොට) නො දියයුතු ය. එසේ දෙන ලද ද නො දෙන ලද්දේ ම වේ. යමෙක් දෙන්නේ ද ඔහුට තුලැසි ඇවැත් වන්නේ ය.
54. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර කැමැති තාක් වැස සැරියුත් මුගලන් දෙනම ද භික්‍ෂුන් පන්සියක් පමණ වූ මහත් මහණ මුළුවක් ද හා කීටාගිරි දනව්වට සැරිසරා වැඩිසේක. අස්සජී පුනබ්බසුක යන මහණහු “භාග්‍යවතුන් වහන්සේ සැරියුත් මුගලන් දෙනම ද පන්සියක් පමණ වූ මහත් මහණ මුළුවක් ද කැටුව කීටාගිරියට වඩිනසේකැ” යි ඇසූහ. “ඇවැත්නි, අපි දැන් සියලු සඟසතු දෑ බෙදා ගනිමු. සැරියුත් මුගලන් දෙදෙනා ලාමක ආශා ඇත්තෝ ය, ලාමක ආශාවනට වශඟ වූවෝ ය. අපි ඔවුනට සෙනසුන් නො පනවමු” යි ඔහු කතිකා කැරැගත්හ. ඔහු මෙසේ කතිකා කොට ගෙන සියලු සඟසතු දෑ බෙදුහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් සැරිසරා වඩනාසේක් කීටාගිරියට පැමිණ වදාළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂුන් බණවා “මහණෙනි, තෙපි යවු අස්සජ්ජි පුනබ්බසුක මහණුන් කරා එළඹ, ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහත් භික්ෂු සඞ්ඝයා ද සැරියුත් මුගලන් දෙ නම ද කැටුව වඩිනා සේක. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට ද හික්ෂු සඞ්ඝයාට ද සැරියුත් මුගලන් දෙනමට ද සෙනසුන් පනවවු යැ’ යි මෙසේ කියවු” යැ යි වදාළසේක.
“එසේ ය වහන්සැ” යි. ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දි අස්සජි පුනබ්බසුක මහණුන් කරා එළැඹියාහ. එළැඹ අස්සජිපුනබ්බසුක මහණුන් බණවා, “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහත් භික්ෂු සඞ්ඝයා ද සැරියුත් මුගලන් දෙනම ද කැටුව වඩනා සේක. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට ද භික්‍ෂු සඞ්ඝයාට ද සැරියුත් මුගලන් දෙනමට ද සෙනසුන් පනවවු” යැ යි කීහ.
“ඇවැත්නි, සඟසතු සෙනසුනෙක් නැත. සියල්ල අප විසින් බෙදා ගන්නා ලද්දේ ය. භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම ස්වාගත ය (වැඩිසේ මැනව). භාග්‍යවතුන් වහන්සේ යම් විහාරයෙක වසන්නට කැමැති වනසේක් ද එහි වසනසේක්වා. සැරියුත් මුගලන් දෙ දෙනා ලාමක ආශා ඇත්තෝ ය. ලාමක ආශාවනට වශඟ වූවෝ ය. අපි ඔවුනට සෙනසුන් නො පනවන්නම්ඟ” යි අස්සජිපුනබ්බසුක දෙදෙනා කීහ.
“කිමෙක් ද ඇවැත්නි, තෙපි සඟසතු සෙනසුන් බෙදාගත්තු දැ?” යි ඔහු විචාළාහ.
“එසේ ය, ඇවැත්නි” යි ඔහු කීහ.
යම් මහණ කෙණෙක් අල්පේච්ඡ ද ... ඔහු ‘කෙසේ නම් අස්සජිපුනබ්බසුක මහණහු සඟසතු සෙනසුන් (තමන් සතු කොට) බෙදා ගත්තාහු ද' යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්.
ඉක්බිති එ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, ... සැබෑ දැ?' යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස සැබෑ යැ” යි ඔහු කීහු,
“මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ සඟසතු සෙනසුන් බෙදා ගන්නාහු ද මහණෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ ... නො වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ ගරහා, දැහැමි කතා කොට, භික්ෂුන් බණවා මෙය වදාළසේක:
“මහණෙනි, මේ වස්තු පස නො බෙදියැ හැකියැ, සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයකු විසින් හෝ නො බෙදියැයුතු ය. බෙදන ලදුයේ ද නො බෙදන ලද්දේ වේ. යමෙක් බෙදන්නේ නම් තුලැසි ඇවැත් වන්නේ ය.
කවර පසෙක් ද යත්: ආරාමය ද ආරාම වත්ත ද යන මේ පළමු වන නො බෙදියැ යුතු දෑ ය. සඬ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ නො බෙදියයුතු ය. බෙදන ලදුයේ ද නො බෙදන ලද්දේ වේ. යමෙක් බෙදුයේ වී නම් තුලැසි ඇවැත් වන්නේ ය.
විහාරය, විහාර වත්ත යන මේ දෙවෙනි නො බෙදියැයුතු දෑ ය. සඬ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයා විසින් හෝ නො බෙදියයුතු ය. බෙදන ලදුයේ ද නො බෙදන ලදුයේ වේ. යමෙක් බෙදුයේ වී නම් තුලැසි ඇවැත් වන්නේ ය.
ඇඳ, පුටු, බිසි, කොට්ට යන මේ තෙවෙනි නො බෙදිය යුතු දෑ ය. ...
ලොහො සැලි, ලොහො පැණ, ලොහො කළ, ලොහො කටාරම්, වෑ පොරෝ කෙටේරි, උදලු නියන් යන මේ සිවුවන නො බෙදියැයුතු දෑ ය. ...
වැල්, හුන, මුදුතණ, බබුස්තණ, සෙසු තෘණ වර්ග, මැටි, ලී බඩු මැටිබඩු යන මේ හැම පස් වන නො බෙදියැයුතු දෑ ය. සඬ්ඝයා හෝ ගණයා හෝ පුද්ගලයා විසින් නො බෙදියැ යුතු ය. බෙදන ලදුයේ ද නො බෙදන ලද්දේ වේ. යමෙක් බෙදන්නේ ද තුලැසි ඇවැත් වන්නේ ය.
“මහණෙනි, මේ නොබෙදියැයුතු දෑ සඞ්ඝ යා හෝ ගණයා හෝ පුද්ගලයා විසින් නො බෙදියැයුතු දෑ පස ය. බෙදන ලද්දාහු ද නො බෙදන ලද්දාහු ම වෙත්. යමෙක් බෙදන්නේ නම් තුලයි ඇවැත් වන්නේ යැ” (යනු යි).
55. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ කීටාගිරියෙහි රිසි තාක් වැස, අළවු නුවර බලා නික්ම වැඩි සේක. පිළිවෙළින් සැරි සරණසේක් අළවු නුවරට පැමිණිසේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ අළවු නුවර සමීපයේ අග්ගාළව චෛත්‍යස්ථානයේ වසන සේක.
එ සමයෙහි අළවු රටැ වැසි මහණහු මේ (මතු සඳහන් වන) පරිදි වූ නවාම් සම්මතිය දෙන්නාහ. මැටි පිඬක් තබන පමණිනුදු නවාම් සම්මතිය දෙත්, බිත්තියැ මැටි ආදියක් ගෑ පමණිනුත් නවාම් සමමතිය දෙත්, දොර තබන පමණිනුත් නවාම් සමමති දෙත්, අගුල් වැටිය කරන (දොරපොලු සවිකරන) පමණිනුත් නවාම් සම්මතිය දෙත්, කළු දොර සවි කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, බිත්ති ආදිය සුදුපැහැ කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, කළුපැහැ කරන පමණිනුත් නවාම් සමමතිය දෙත්, ගුරු පිරියම් කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, සෙවිලි කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, බඳනා පමණිනුත් නවාම් සම්මතිය දෙත්, ගණ්ටිකාවක් තබන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, කැඩුම් බිඳුම් පිළිසකර කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, පිළක් කරන පමණිනුත් නවාම් සම්මතිය දෙත්, විසි වසකට ද නවාම් සම්මතිය දෙත්, තිස් වසකට ද නවාම් සම්මතිය දෙත්, දිවි හිම් කොට ද නවාම් සම්මතිය දෙත්, දරසෑයෙහි දුම් නැගීම ඉම් කොට ද කොට නිමැවූ විහාරය සඳහා නවාම් සම්මතිය දෙත්, යම් මහණ කෙනෙක් අල්පෙචඡ ද ... ඔහු කෙසේ නම් අළවූරට වැසි මහණහු මෙසේ නවකම් සම්මතිය දෙන්නාහු ද මැටිපිඩක් තබන පමණිනුදු නවකර්‍ම සම්මතිය දෙන්නාහු ද ... දරසෑයේ දුම් නැගීම ඉම් කොට ද නිමැවූ විහාරය සඳහා නවකර්‍ම සම්මතිය දෙන්නාහු දැ” යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත් භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, සැබෑ දැ? ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක. “එසේ ය, භාග්‍යවතුන් වහන්සැ” යි මහණහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ... ගැරැහූසේක, ගරහා දැහැමි කතා කොට මහණුන් බණවා මෙය වදාළසේක:
“මහණෙනි, මැටිපිඩු තබන පමණින් නවකර්‍ම සම්මතිය නො දියැයුතු, බිත්තියැ මැටි ආදිය ගානා පමණින් නවකර්‍ම සම්මතිය නො දියයුතු, දොර තබන පමණින් නවකර්‍ම සම්මතිය නො දියැ යුතු, අගුල්වැටිය කරන පමණින් නවකර්‍ම නො දියැයුතු, කවුළු දොර සවි කරන පමණින් නවකර්‍ම සම්මතිය, නො දියයුතු, සුදුපැහැ කරන පමණින් නවකර්‍ම සම්මතිය නො දියැ යුතු, කළුපැහැ කරන පමණින් නවකර්‍ම සම්මතිය නො දියයුතු, ගුරු පිරියම් කරන පමණින් නවකර්‍ම සම්මතිය නො දියැයුතු, සෙවිලි කරන පමණින් නවකර්‍ම සම්මතිය නො දියයුතු, බඳනා පමණින් නවකර්‍ම සම්මතිය නො දියයුතු, ගණ්ඨිකාවක් තබන පමණින් නවකර්‍ම සම්මතිය නො දියයුතු, කැඩුම් බිඳුම් පිළිසකර කරන පමණින් නවකර්‍ම සම්මතිය නො දියයුතු, පිළක් කරන පමණින් නවකර්‍ම සම්මතිය නො දියයුතු, විසි වසකට ද තිස් වසකට ද ... දිවි හිම් කොට නවකර්‍ම සම්මතිය නො දිය යුතු, දර සෑයෙහි දුම් නැගීම ඉම් කොට නිමැවූ විහාරය සඳහා නවකර්‍ම සම්මතිය නො දියැයුතු, යමෙක් දෙන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය.
මහණෙනි, නො කරන ලද්දා වූ අඩාල කළ වැඩ ඇත්තා වූ හෝ විහාරය සඳහා නවකර්‍මය දෙන්නට අනුදනිමි. කුඩා විහාරයෙහි හෝ (කළයුතු ව ඇති) වැඩ බලා සාවුරුද්දකට හෝ පස් හවුරුද්දකට හෝ සුදුසු වූ නවකර්‍ම සම්මතිය දෙන්නට ද, ගුරුළු පියාපත් බඳු සෙවෙණි ඇති වෙහෙරෙක වැඩ බලා වම් සතකට හෝ අටකට සුදුසු වන පරිදි වූ නවකම් සම්මතිය දෙන්නට ද මහත් වෙහෙරෙක හෝ ප්‍රාසාදයෙක හෝ වැඩ බලා වර්‍ෂ දශයක් දොළොසක් කල් පවත්නා පරිදි වූ නවකම් සම්මතිය දෙන්නට ද අනුදනිමි” (යනුයි.)
56. එ සමයෙහි මහණහු සියලු ම විහාරය සඳහා නවකර්‍ම සම්මතිය දෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, සියලු විහාරය සඳහා නවකර්‍ම සම්මතිය නො දිය යුතු. යමෙක් දුන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
එ සමයෙහි මහණහු එක් මහණකුට නවකර්‍ම සම්මති දෙකක් දෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, එක් මහණකුට නවකර්‍ම සම්මති දෙකක් නො දිය යුතු ය. යමෙක් දුන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි මහණහු නවකර්‍මසම්මතිය ගෙන අනෙක් මහණකු එහි වස්වත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, නවකර්‍ම ගෙන අනෙකෙක් නො වැස්වියයුතු, යමෙක් වස්වන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
එ සමයෙහි මහණහු නවකර්‍ම සම්මතිය ගෙන සඟසතු දෑ තමනට වෙන් කොට ගනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, නවකර්‍ම සම්මතිය ගෙන සඟසතු දෑ තමනට වෙන් නො කර ගතයුතු. යමෙක් වෙන් කර ගත්තේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ. මහණෙනි, එක් මනාප ශය්‍යාවක් (ශයන ස්ථානයක්) වෙන් කැර ගන්නට අනුදනිමි” යි වදාළ සේක.
එ සමයෙහි මහණහු විහාර සීමායෙන් බැහැර සිටි මහණහට නවකර්‍ම සම්මතිය දෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළඹාහ.
“මහණෙනි, සීමායෙන් බැහැර සිටි මහණහට නවකර්‍ම සම්මතිය නො දියැයුතු, යමෙක් දුන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි මහණහු නවකර්‍ම සම්මතිය ලබා ගෙන සියලු කාලයෙහි තමනට වෙන් කර ගනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, නවකර්‍ම සම්මතිය ලැබ සියලු කාලයෙහි (ඒ වෙහෙර) තමාට වෙන් කර නො ගතයුතු. යමෙක් එසේ වෙන් කර ගත්තේ වී නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, වැසි තුන් මස මුළුල්ලෙහි (එය) තමනට වෙන් කර ගන්නට ද ඍතු කාලයෙහි (අනිත් මාස නමයෙහි) (එය) තමාට වෙන් කර නො ගන්නට ද අනු දනිමි” යි වදාළසේක.
57. එ සමයෙහි මහණහු නවකම් සම්මතිය ගෙන (එයින්) නික්ම යන්නාහු ද සිවුරු හරින්නාහු ද වෙත්, කලුරිය කරන්නාහු ද වෙත්, 'හෙරණුම්හ' යි ප්‍රතිඥා ද කෙරෙත්, 'ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යන කළම්හ’ යි ද පිළින කෙරෙත්, ‘පරිජි ඇවැත් අවන්මඟ' යි ද පිළින කෙරෙත්, 'උම්මත්තකයම්හ’ යි ද පිළින කෙරෙත්, ‘වික්ෂිප්ත. සිතැත්තම්හ' යි ද පිළින කෙරෙත්, 'වෙදනායෙකින් පෙළුණම්භ' යි ද පිළින කෙරෙත්, ‘ඇවැත නො දැක්මෙහි උත්ක්‍ෂිප්තයම්හ' යි ද පිළින කෙරෙත්, ‘ඇවැතට පිළියම් නො කිරීමෙහි උත්ක්‍ෂිප්තයම්හ’ යි ද පිළින කෙරෙත්, 'ලාමක දෘෂ්ටිය , නො හැරීමෙහි උත්ක්‍ෂිප්තයම්හ’ යි ද පිළින කෙරෙත්, ‘පණ්ඩකයම්හ’ යි ද පිළින කෙරෙත්, 'ථෙය්‍යසංවාසකයම්හ’ යි ද පිළින කෙරෙත්, ‘අන් තොටුවනට බැඳුණම්හ' යි ද පිළින කෙරෙත්, ‘තිරිසන්ගියම්හ’ යි ද පිළින කෙරෙත්, ‘මව නැසූවම්හ’ යි ද පිළින කෙරෙත්, ‘පියා නැසූවම්හ’ යි ද පිළින කෙරෙත්, ‘රහතුන් නැසූවම්හ’ යි ද පිළින කෙරෙත්, ‘මෙහෙණියක දුෂණ කළම්භ' යි ද පිළින කෙරෙත්, ‘සඞ්ඝභෙදය කළම්හ’ යි ද පිළින කෙරෙත්, ‘බුදුරජුන් ඇඟ ලෙහෙ සෙලැවූම්හ’ යි ද පිළින කෙරෙත්, ‘උභතොඛ්‍යංජනකයම්හ’ යි ද පිළින කෙරෙත්.
භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. ... භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:
“මහණෙනි, මෙහි යම් මහණෙක් නවාම් සම්මතිය ලබා ගෙන එයින් බැහැර ව යේ ද, 'සඟ සතු දෑ නො නැසේවා' යි සලකා (නවාම් සම්මතිය) අනෙකකුට දියැයුතු. මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලැබගෙන සිවුරු හරී ද, කලුරිය කෙරේ ද, 'හෙරණෙමි’ යි පිළින කෙරෙයි ද, ‘පැවිදිසික’ අතහළෙකිමි යි පිළින කෙරෙයි ද, ‘පරිජි ඇවැත් අවනෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘උමතුවෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘වික්ෂිප්ත සිතැත්තෙමි’ යි පිළින කෙරෙයි ද, ‘වෙදනාවෙකින් පෙළිණිමි’ යි පිළින කෙරෙයි ද, ‘ඇවැත නො දැක්මෙහි උත්කෂිප්තයෙමි’ යි පිළින කෙරෙයි ද, ‘ඇවැතට පිළියම් නොකිරීමෙහි උත්ක්‍ෂිප්තයෙමි’ යි පිළින කෙරෙයි ද, ‘ලමා දිටු නොහැරීමෙහි උත්ක්‍ෂිප්තයෙමි’ යි. පිළින කෙරෙයි ද, ‘පණ්ඩකයෙමි’ යි පිළින කෙරෙයි ද, ‘ථෙය්‍යසංවාසකයෙමි’ යි පිළින කෙරෙයි ද, ‘අන්තොටුවනට බැඳිණිමි’ යි පිළින කෙරෙයි ද, ‘තිරිසන්ගියෙමි’ යි පිළින කෙරෙයි ද, ‘මව නැසූයෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘පියා නැසූයෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘රහතුන් නැසූයෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘මෙහෙණියක දූෂණ කෙළෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘සඟබේ කළෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘බුදුරජුන් ඇඟැ ලෙහෙ සෙලැවූයෙකිමි’ යි පිළින කෙරෙයි ද, ‘උභතොඛ්‍යංජනකයෙමි’ යි පිළින කෙරෙයි ද, (එසේ කැලැ) 'සඟ සතු දෑ නො නැසේව' යි සලකා නවාම් සම්මතිය අන් මහණකුට දියැයුතු” යි.
මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලැබ ගෙන (කටයුතු දෑ) අඩාල කල්හි එයින් බැහැර වැ යෙයි ද, 'සඟ සතු දෑ නො නැසේ ව” යි සලකා නවාම් සම්මතිය මහණකුට දියයුතු. මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලැබ ගෙන, කටයුතු අඩාළ කල්හි සිවුරු හැර යේ ද, ... කලුරිය කෙරෙයි ද ... උභතොඛ්‍යඤජනකයෙමි යි පිළින කෙරෙයි ද සඟ සතු දෑ නො නැසෙ ව යි අන් මහණකුට නවාම් සම්මතිය දියැයුතු,
“මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලබාගෙන (කටයුතු) අවසන් වූ කල්හි බැහැර වැ යෙයි ද එය ඔහුට ම ය (නැවත අවුත් වස්වසනු කැමැත්තේ නම් එය සඳහා ඒ ආවාසය ඔහුට ම අයත් වෙයි). මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලබාගෙන (එහි වැඩ කටයුතු) අවසන් වූ කල්හි සිවුරු හරී ද, ... කලුරිය කෙරෙයි ද, හෙරණෙමි යි පිළින කෙරෙයි ද, ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කළෙමි යි පිළින කෙරෙයි ද, පරිජි අවන්ම යි පිළින කෙරෙයි ද, සඞ්ඝයා ම එහි ස්වාමි වේ (ඒ ආවාසය සඟසතු වේ).
මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලබාගෙන (වැඩ කටයුතු) අවසන් වූ කල්හි උමතුවෙකිමි යි පිළින කෙරෙයි ද වික්ෂිප්ත සිතැත්තෙමි යි පිළින කෙරෙයි ද, වේදනායෙන් පෙළුණෙකිමි යි පිළින කෙරෙයි ද, ඇවැත නොදැක්මෙහි උඛෙවුනීකම් , කරනු ලදුයෙමි යි පිළින කෙරෙයි ද, ඇවැතට පිළියම් නො කිරීමෙහි උඛෙවුනී කම් කරනු ලදුයෙකිමි යි පිළින කෙරෙයි ද ලමුදිටු බැහැරැ නො කිරීමෙහි උබෙවුනී කම් කරනු ලදුයෙමි යි කෙරෙයි ද, ඒ ආවාසය ඔහුට ම ය.
මහණෙනි, මෙහි මහණෙක් නවාම් සම්මතිය ලබාගෙන (වැඩ කටයුතු) අවසන් වූ කල්හි පණ්ඩකයෙමි යි පිළින කෙරෙයි ද, ථෙය්‍යසංවාසකයෙමි යි පිළින කෙරෙයි ද, අන්තොටුවනට බැඳුණෙමි යි පිළින කෙරෙයි ද, තිරිසන් ගියෙකිමි යි පිළින කෙරෙයි ද, මාතෘඝාතකයෙකිමි යි පිළින කෙරෙයි ද, පිතෘ ඝාතකයෙකිමි යි පිළින කෙරෙයි ද, අර්හද්ඝාතකයෙකිමි යි පිළින කෙරෙයි ද, භික්‍ෂුණි දූෂකයෙකිමි යි පිළින කෙරෙයි ද, සඬග භේදකයෙකිමි යි පිළින කෙරෙයි ද, ලොහිතුප්පාදකයෙකිමි යි පිළින කෙරෙයි ද, උභතොඛ්‍යඤ්ජනයෙකිමි යි පිළින කෙරෙයි ද, සඞ්ඝයා ම ඒ ආවාසයට ස්වාමි යැ. (එය සඟසතු යැ) යි (වදාළසේක).
58. එ සමයෙහි වනාහි මහණහු එක්තරා උපාසකයකු සතු වූ විහාර වශයෙන් පරිභෝග කටයුතු සෙනස්නක් අන් වෙහෙරෙක වෙසෙමින් පරිභෝග කරත්. එ කල්හි ඒ උපාසක තෙම “කෙසේ නම් පින්වතුන් වහන්සේ අන්තැනෙක හිඳ - පරිභෝග කටයුතු සෙනස්න වෙන තැනෙක හිඳ පරිභෝග කරන්නාහු දැ” යි ලාමක කොට සිතයි, නින්දා කෙරෙයි, දොස් පතුරුවයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, අන් තැනෙක හිඳ පරිභොග කටයුතු සෙනස්න වෙන තැනෙක හිඳ පරිභොග කටයුතු නො වේ. යමෙක් එසේ පරිභොග කරන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි මහණහු හිඳ ගන්නා පැදුරු මෙට්ට ආදිය පොහෝ ගෙට ද ගෙන යන්නට කුකුස් කරන්නාහු බිමැ හිඳ ගනිත්. ගාත්‍ර ද සිවුරු ද පස් වැකුණාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, තාවකාලික කොට (ඒ වේලාවේ ප්‍රයෝජනයට පමණක්) ඒවා ගෙනයන්නට අනුදනිමි” යි වදාළසේක.
ඒ සමයෙහි වනාහි සඟසතු මහවෙහෙරෙක් දිරාපත් වෙයි. භික්‍ෂූහු කුකුස් කරන්නාහු, සෙනසුන් පිටතට නො ගෙන යත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ආරක්ෂාව පිණිස (අන් තැනකට) ගෙනයන්නට අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි වනාහි සඞ්ඝයාට සෙනසුන් පිරිකරට ඇතුළත් වැ මහඟු කම්බලයෙක් උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, වැඩීම පිණිස (සම වූ හෝ එයට වඩා ප්‍රයෝජන වූ හෝ දැයක්ම) එය මාරු කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
එසමයෙහි වනාහි සඞ්ඝයාට සෙනසුන් පිරිකරට ඇතුළත්වැ වටිනා වස්තුයෙක් උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළකලහ.
“මහණෙනි, වැඩීම පිණිස (සමවූ හෝ එයට වඩා ප්‍රයෝජනවත් වූ හෝ දැයක් ම) එය මාරු කරන්නට අනුදනිමි” යි වදාළසේක.
59. එ සමයෙහි වනාහි සඞ්ඝයාට වලස් සමෙක් උපන්නේ (ලැබුණේ) වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, පාපිස්නාවක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
චක්කලිකාවෙක් උපන්නේ වෙයි.
“මහණෙනි, පාපිස්නාවක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
රෙදි කඩෙක් උපන්නේ (ලැබුණේ) වෙයි.
“මහණෙනි, පාපිස්නාවක් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
එ සමයෙහි මහණහු නො සෙදු පයින් සෙනසුන් ඇක්මෙත් (පාගත්). සෙනස්න කිලිටි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, නො සේදු පයින් සෙනසුන් නො ඇක්මියයුතු. යමෙක් ඇක්මෙන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි මහණහු තෙත් පයින් සෙනස්න ඇක්මෙත්. සෙනස්න කිලිටි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, තෙත් පයින් සෙනස්න නො ඇක්මිය යුතු(නො පෑගියයුතු), යමෙක් ඇක්මුයේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි මහණහු පාවහන් ඇති වැ සෙනසුන් ඇක්මෙත්. සෙනස්න කිලිටි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළාහ.
“මහණෙනි, පාවහන් ඇති වැ සෙනස්න නො ඇක්මියැ යුතු. යමෙක් ඇක්මෙන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
60. එ සමයෙහි වනාහි භික්‍ෂූහු පිරියම් කළ බිමැ කෙළ ගසත්. පැහැය කෙලෙසෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, පිරියම් කළ බිමැ කෙළ නො ගැසියැයුතු. යමෙක් කෙළ ගසන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, කෙළමලාවක් (පඩික්කමක්) අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි මැසි පා (ඇඳ කකුල්) ද, පුටු පා ද පිරියම් කළ බිම සූරත් (ඇඳ කකුල්වලිනුත් පුටුකකුල්වලිනුත් පිරියම් කළ බිම සීරෙයි). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, රෙදි කඩින් (ඇඳ පුටුවල පා) වෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි වනාහි භික්‍ෂූහු පිරියම් කළ බිත්තියට හේත්තු වෙත්. (එහි) පැහැය කෙලෙසෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, පිරියම් කළ බිත්තියට හේත්තු වියයුතු නො වේ. යමෙක් හේත්තු වන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේය. මහණෙනි, හේත්තු වන්නට පුවරුවක් අනුදනිමි” යි වදාළසේක.
හේත්තු වන පුවරුව යටින් බිම ද උඩින් බිත්තිය සුරයි. (හේත්තු වන පුවරුවෙන් යටින් බිමත්, උඩින් බිත්තියත් සීරෙයි). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, හේත්තු වන පුවරුව යටින් ද උඩින් ද රෙදි කඩින් වෙළන්නට අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි මහණහු දෙවූ පා ඇත්තාහු (ඇඳැ) වැදැහෙන්නට කුකුස් කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ඇතිරියක් එළා වැදැ හෝනට අනුදනිමි” යි වදාළසේක.
61. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ අළවුරටැ කැමැති තාක් කල් වැස රජගහ නුවර බලා නික්මුණුසේක. පිළිවෙළින් සැරිසරන සේක්, රජගහ නුවරට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ එහි රජගහ නුවර කලන්දක නිවාප නම් වූ උණවෙනෙහි වැඩවසන සේක.
62. එ සමයෙහි රජගහ නුවර දුර්භික්‍ෂයෙක් (අහර හිඟයෙක්) වෙයි. මිනිස්සු සියලු සඞ්ඝයාට බොජුන් පිළියෙළ කරන්නට නො හැකි වෙත්. උදෙසා දෙන බත, නිමැතුම් බත, සලා බත, පක්‍ෂයට වරක් දෙන බත, පොහෝදාට දෙන බත, පැළවියට දෙන බත, යන බත් පිළියෙළ කරන්නට කැමැති වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, සඟබත ද, උදෙසා දෙන බත ද, නිමැතුම් බත ද, සලා බත ද, පක්‍ෂයකට වරක් දෙන බත ද, පොහෝ බත ද, පෑළවි බත ද අනුදනිමි” යි වදාළසේක.
63. එ සමයෙහි සවැගි මහණහු අගනා ආහාර තමනට ගෙන නො අගනා ආහාර මහණුනට දෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, යමෙක් ඡන්දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මොහයෙන් අගතියට නො යන්නේ ද, බියෙන් අගතියට නො යන්නේ ද, උදෙසන ලද නො උදෙසන ලද දන්නේ ද, මෙකී අංගපසින් යුක්ත මහණක්හු භත්තුද්දේශකයකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ සම්මතිය ද මෙසේ කළයුතු: පළමු කොට භත්තුද්දේශක සම්මුතිය පිළිගන්නට මහණෙක් යැදියයුතු. (මහණකුගෙන් ඉල්ලීම කළයුතු) යැද ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු ලවා මෙසේ සඬ්ඝයා දැන්වියැයුතු:
'වහන්ස, සඬ්ඝ තෙමේ මගේ වචනය අසාවා. සඞඝ තෙමේ පැමිණි කල් වී නම් මෙ නම් මහණහු භත්තුද්දේශකයකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
වහන්ස, සඬ්ඝ තෙමේ මගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු භත්තුද්දේශකයකු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහුට භත්තුද්දේශක සම්මතිය දීම යම් ආයුෂ්මතකුට රිසියෙයි ද, හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතකුට නො රිසියෙයි ද හේ කියාවා.
මෙ නම් මහණ තෙම භත්තුද්දේශකයකු කොට සඞ්ඝයා විසින් සම්මත වෙයි. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි (සලකමි)” යනු යැ.
ඉක්බිති භත්තුද්දේශක භික‍්ෂුනට ‘කෙසේ නම් බත් උදෙසිය යුතු දැ?’ යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ඉරටුවෙක හෝ පතුරෙක හෝ නම් ලියා ආලෝලනය කොට කොට සොලොවා උදෙසන්නට අනුදනිමි” යි වදාළසේක.
64. එ සමයෙහි වනාහි සඞ්ඝයාට සෙනසුන් පනවන්නෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, යමෙක් ඡන්දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මොහයෙන්, අගතියට නො යන්නේ ද, බියෙන් අගතියට නො යන්නේ ද, පනවන ලද්දත් නො පනවන ලද්දත් දන්නේ ද, මෙ කී අංග පසින් සමන්විත වූ මහණක්හු සෙනසුන් පනවන්නකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ සම්මතිය ද මෙසේ කළ යුතු ය: පළමු කොට මහණ තෙමේ යැදියයුතු. යැද ව්‍යක්ත වූ ප්‍රබල වූ මහණක්හු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැයුතු:
වහන්ස, සඬ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඬ්ඝයාට පැමිණි කල් වී නම් සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු සෙනසුන් පනවන්නකු කොට සම්මත කරන්නේ යැ, මේ ඥප්තිය යැ.
වහන්ස, සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු සෙනසුන් පනවන්නකු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහු සෙනසුන් පනවන්නකු වශයෙන් සම්මත කිරීම යම් ආයුෂ්මතකුට රිසියේ නම් හේ නිහඬවේ වා. යම් ආයුෂ්මතකුහට නො රිසියේ නම් හේ කියාවා.
සඬ්ඝයා විසින් මෙ නම් මහණ තෙම සෙනසුන් පනවන්නෙකැ යි සම්මත විය. (එය) සඬ්ඝයාට රිසියෙයි. එ බැවින් නිහ ඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
65. එ සමයෙහි සඬ්ඝයාට භාණඩාගාරිකයෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, යමෙක් ඡන්දාගතියට නො යන්නේ ද, ද්වේෂාගතියට නො යන්නේ ද, මොහාගතියට නො යන්නේ ද, භයාගතියට නො යන්නේ ද, සුරක්ෂිත කොට තබන ලද නො තබන ලද දැයත් දන්නේ ද, මේ අංග පසින් සමන්විත මහණක්හු භාණ්ඩාගාරිකයකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ සම්මතිය ද මෙසේ කළයුතු ය: පළමු කොට මහණෙක් යැදියැ යුතු. යැද ව්‍යක්ත ප්‍රබල මහණක්හු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැයුතු:
‘වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, ඉදින් සඬ්ඝයාට පැමිණි කල් වී නම්, සඬ්ඝ තෙමේ මෙ නම් ඇති මහණ භාණ්ඩාගාරිකයකු කොට සම්මත කරන්නේ යැ, තෙලඤත්ති යැ.
සඬ්ඝ තෙමේ මගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු භාණ්ඩාගාරිකයක්හු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහු භාණඩාගාරිකයකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙයි ද හේ නිහඬ වේ වා. යම් ආයුෂ්මතක්හට නො රිසියෙයි ද හේ කියාවා.
සඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම භාණ්ඩාගාරිකයැ යි සම්මත ය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එ බැවින් නිහඬ ය, මෙසේ මෙ කරුණ සලකමි' යනු” යි.
66. එ සමයෙහි සඞ්ඝයාට සිවුරු පිළිගන්නෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
“මහණෙනි, යමෙක් ඡන්දාගතියට නො යන්නේ ද, ද්වේෂාගතියට නො යන්නේ ද, මොහාගතියට නො යන්නේ ද, භයාගතියට නො යන්නේ ද, පිළිගත් නොපිළිගත් දැයත් දන්නේ ද, මෙකී අඞ්ග පසින් සමන්විත මහණක්හු සිවුරු පිළිගන්නකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ සම්මතිය ද මෙසේ කළ යුතු: පළමු කොට මහණෙක් යැදියැ යුතු. යැද ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු:
‘සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වී නම් සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු සිවුරු පිළිගන්නකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙනම් මහණහු සිවුරු පිළිගන්නකු කොට සම්මත කෙරෙයි. මෙ නම්, මහණහු සිවුරු පිළිගන්නකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම් හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතක්හට නො රිසියේ නම් හේ කියාවා.
සඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම සිවුරු පිළිගන්නකු කොට සම්මත ය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)’ යනු” ය.
67. එ සමයෙහි වූ කලී සඞ්ඝයාට සිවුරු බෙදන්නෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
“මහණෙනි, යමෙක් ඡන්දාගතියට නො යන්නේ ද ... බෙදූ නො බෙදූ දෑත් දන්නේ ද, මෙ කී අඞ්ග පසින් සමන්විත මහණක්හු චීවර භාජකයකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම ඒ මහණ තෙම සම්මත කළයුතු ය.
පළමු කොට මහණෙක් යැදියයුතු. යැද ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැයුතු:
වහන්ස, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වී නම් සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු සිවුරු බෙදන්නකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු සිවුරු බෙදන්නකු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහු සිවුරු බෙදන්නකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙයි නම් හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතක්හට නො රිසියෙයි නම් හේ කියාවා.
මෙ නම් මහණ තෙම සිවුරු බෙදන්නකු කොට සඞ්ඝයා විසින් සම්මත විය. එ හෙයින් නිහඬ ය. මෙසේ මේ කරුණ දරමි (සලකමි)” යනු යි.
68. එ සමයෙහි සඞ්ඝයාට කැඳ බෙදන්නෙක් (යාගුභාජකයෙක්) නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, යමෙක් ඡන්දාගතියට නො පැමිණෙන්නේ ද, ... බෙදූ නො බෙදූ දැයත් දන්නේ ද, මෙකී අඬ්ග පසින් සමන්විත මහණහු යාගුභාජක කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ මහණ ද මෙසේ සම්මත කළයුතු. පළමු කොට මහණෙක් යැදියයුතු ... සඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම යාගුභාජකයකු වූ කොට සම්මත කරන ලද්දේ ය. සඞ්ඝයාට එය රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
එ සමයෙහි වනාහි සඞ්ඝයාට පලවැළ බෙදන්නෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
“මහණෙනි, යමෙක් ඡන්දාගතියට නො යන්නේ ද ... බෙදන ලද නො බෙදන ලද දැයත් දන්නේ ද, මෙ කී අඞ්ග පසින් සමන්විත මහණක්හු ඵලභාජක කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම එ මහණ සම්මත කළයුතු ය. පළමු කොට මහණෙක් යැදියයුතු ය ... සඞ්ඝයා විසින් මෙ නම් මහණ එලභාජක යැ යි සම්මත ය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනුයි.
69. එ සමයෙහි සඞ්ඝයාට බාද්‍ය (කැවිලි) බෙදන්නෙක් නො වෙයි. ඛාද්‍ය නො බෙදනු ලබන්නේ නැසී යෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:)
“මහණෙනි, යමෙක් ඡන්දාගතියට නො යන්නේ ද ... බෙදූ නො බෙදූ දැය දන්නේ ද, මෙකී අඞ්ගපසින් සමන්විත මහණක්හු ඛාද්‍යභාජක කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම එ මහණ සම්මත කළයුතු: පළමු කොට මහණ තෙම, යැදියයුතු. යැද ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඬහ තෙමේ මෙසේ දැන්වියැයුතු:
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු ඛාද්‍යභොජක කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු ඛාද්‍යභෝජක කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහු ඛාද්‍යභෝජක කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතක්හට නො රිසියේ නම් හේ කියාවා.
සඬ්ඝයා “විසින් මෙ නම් මහණ බාද්‍යභෝජක කොට සම්මත ය. එය සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
70. එ සමයෙහි වූ කලී සඞ්ඝයාගේ භාණඩාගාරයෙහි අල්පමාත්‍ර වූ (කුඩා) පිරිකර උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. (භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:)
මහණෙනි, යමෙක් ඡන්දාගතියට නො යන්නේ ද, ... දුන් නොදුන් දැයත් දන්නේ ද මෙසේ වූ අඬ්ග පසින් සමන්විත මහණක්හු අල්පමාත්‍ර පිරිකර දෙන තැනැත්තකු කොට සම්මත කරන්නට අනුදනිමි.
මහණෙනි, මෙසේ ම සම්මත කළයුතු; පළමු කොට මහණෙක් යැදිය යුතු. යැද ව්‍යක්ත ප්‍රතිබල මහණකු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියයුතු:
වහන්ස සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඬ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝ තෙමේ මෙනම් මහණහු අප්පමත්ත විස්සජ්ජකයකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසා වා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණ අප්පමත්තකවිස්සජ්ජකයකු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණ අප්පමත්තකවිස්සජ්ජකයකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙයි නම් හේ කියා වා.
සඞ්ඝයා විසින් මෙ නම් මහණ අප්පමත්තකවිස්සජ්ජක යැ යි සම්මත ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
“ඒ අල්පමාත්‍රක විසර්ජක මහණහු විසින් (දික් එකක් ද ලුහුඬු එකක් දැ යි සඞ්ඝයා නො විචාරාම) එක් එක් හිදිකටුවක් දිය හැක්ක. එක් පිහියක් දියැ හැක්ක. එක් වහන් සඟළක් දිය හැක්ක. එක් කාබානක් දියැ හැක්ක. එක් අංසබන්‍ධකයක් (අස් බඳනාවක්) දියැ හැක්ක. එක් පෙරහනක් දියැහැක්ක. එක් ඩබරාවක් දියහැ හැක්ක. කුසියක් (සිවුරෙහි දික් නුවාපතක්) දියැ හැක්ක. අඩ කුසියක් (ලුහුඬු නුවා පතක්) දියැ හැක්ක, මඬුල්ලක් (පස්කඩ සිවුරෙහි මහා මණ්ඩලයක්) දියැ හැක්ක. අඩමඬුල්ලක් ( කුඩා මණඩලයක්) දියැ හැක්ක. නුවාවක් දියැහැක්ක. පරිහණ්ඩයක් (ඇතුළු නුවාවක්) දියැ හැක්ක. ඉදින් සඞ්ඝයාට ගිතෙල් හෝ තලතෙල් හෝ මී හෝ සකුරු හෝ වේ නම් එක් වරක් වළඳන්නට දියැහැකි ය. ඉදින් යළිත් වුව මනා වී නම් යළිත් දියැ හැකි යැ” යි වදාළ සේක.
71. එ සමයෙහි සඞ්ඝයාට වැසිසළු ගන්වන්නෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළාහ.
“මහණෙනි, යමෙක් ඡන්දයෙන් අගතියට නො යන්නේ ද, ... ගත් නොගත් දැයත් දන්නේ ද, මෙකී අඬ්ග පසින් සමන්විත මහණක්හු සාටියගාහාපකයකු (වැසි සළු ගන්වන්නකු) කොට සම්මත කරන්නට අනුදනිමි. මෙසේ සම්මත ද කළයුතු ය: පළමු කොට මහණෙක් යැදියැයුතු ය. යැද ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඬගයා මෙසේ දැන්වියයුතු ය:
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් වේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් මහණ සාටිගාහාපකයකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණ සාටියගාහාපකයකු කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට මෙ නම් මහණ සාටියගාහාපකයකු කොට සම්මත, කිරීම රිසියෙයි ද හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම් හේ කියාවා. සඞ්ඝයා විසින් මෙනම් මහණ සාටියගාහාපක යෙකියි සම්මත ය. (එය), සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
එ සමයෙහි වනාහි සඞ්ඝයාට පාත්‍ර ගන්වන්නෙක් නැත. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
“මහණෙනි, යමෙක් ඡන්දාගතියට නො යන්නේ ද ..... ගත් නොගත් දැයත් දන්නේ ද, මෙකී අංග පසින් සමන්විත මහණහු පාත්‍ර ගන්වන්නකු කොට සම්මත කරන්නට අනුදනිමි.
මහණෙනි, මෙසේ ම හේ සම්මත කළයුතු:
පළමු කොට මහණෙක් යැදියැයුතු ... සඞ්ඝයාට රිසියෙයි. මෙසේ මෙ කරුණ දරමි (සලකමි).” යනු යි.
72. එසමයෙහි ආරාමික ප්‍රේෂකයෙක් නැත. ආරාමිකයෝ නො මෙහෙයනු ලබන්නාහු වැඩපල නො කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
“මහණෙනි, යමෙක් ඡන්දාගතියට නො යන්නේ ද ... මෙහෙයන ලද්දනුත් නො මෙහෙයන ලද්දනුත් දන්නේ ද, මෙකී අඞ්ග පසින් සමන්විත මහණක්හු ආරාමික ප්‍රේෂකයකු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම සම්මත කළයුතු ය. ... එ හෙයින් නිහඬ ය. මෙ කරුණ මෙසේ දරමි (සලකමි)” යනුයි.
එ සමයෙහි සඞ්ඝයාට ශ්‍රාමණෙර ප්‍රේෂකයෙක් (හෙරණුන් ඒ ඒ කටයුත්තෙහි මෙහෙයවන්නෙක්) නැත. හෙරණහු නො මෙහෙයනු ලබන්නාහු කිසි කටයුත්තක් නො කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ:)
“මහණෙනි, යමෙක් ඡන්දාගතියට නො යන්නේ ද ද්වේෂයාගතියට නො යන්නේ ද, මොහාගතියට නො යන්නේ ද භයාගතියට නො යන්නේ ද, මෙහෙයන ලද්දනුත් නො මෙහෙයන ලද්දනුත් දන්නේ ද, මෙකී අංග පසින් සමන්විත මහණක්හු ශ්‍රාමණෙර ප්‍රේෂකයක්හු කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම සම්මත කළයුතු ය: පළමු කොට මහණෙක් යැදියැයුතු: යැද ව්‍යක්ත ප්‍රතිබල මහණකු ලවා සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැයුතු ය:
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඬ්ඝයාට පැමිණි කල් වේ නම් සඬ්ඝ තෙමේ මෙ නම් මහණහු ශ්‍රාමණෙර පේෂකයකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් මහණහු ශ්‍රාමණේර ප්‍රේෂකයකු කොට සම්මත කෙරෙයි. මෙ නම් මහණහු ශ්‍රාමණේර ප්‍රේෂකයකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම් හේ නිහඬ වේවා. යමක්හට නො රිසියේ නම් හේ කියාවා.
සඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම ශ්‍රාමණෙර ප්‍රේෂක යැ යි සම්මත ය. (එය) සඬ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සලකමි)” යනු යි.
තෙවනි බණවර යි.
සවැනි ශයනාසනස්කන්‍ධකය නිමියේ යි.