1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර නිසා කලන්‍දකනිවාප නම් වූ වෙළුවනයෙහි වැඩ වසන සේක. එ කල්හි වනාහි සවග මහණහු ස්නානය කරන්නාහු කලවා ද අත්දඬු ද ළය ද පිට දැ යි ශරීරාවයව රුකෙහි උළත්. මිනිස්සු ‘කෙසේ නම් ශාක්‍යපුත්‍රික මහණහු ස්නානය කරන්නාහු මල්ල පොරකාරයන් සේ, සම පැහැපත් කරන නුවරුන් සේ කලවාත් අත්දඬුත් ළයත් පිටත් යන ශරීරාවයව රුකෙහි උළත් දැ' යි ලාමක කොට සිතත්, නොගුණ කියත්, දොස් පතුරුවත්. මහණහු ලාමක කොට සිතන, නොගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචන ඇසූහු ය. ඉක්බිත්තෙන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසංඝයා එක්රැස් කරවා ‘මහණෙනි, සවග මහණහු නාන්නාහු කලවාත් අත්දඬුත් ළයත් පිටත් යන ශරීරාවයව රුකෙහි උළත් දැ යි පුවත සත්‍ය දැ යි අසා වදාළ සේක. ‘භාග්‍යවතුන් වහන්ස, සත්‍ය යැ’යි මහණහු කීහ. භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි, ඒ හිස් පුරුෂයන්ගේ ක්‍රියාව මහණුනට නො නිසි ය, මහණුනට නො අනුලොම් ය, මහණුනට නො සුදුසු ය, අශ්‍රාමණක ය, මහණුනට නො කැප ය, මහණුන් විසින් නො කළ යුත්තෙක. මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ නාන්නාහු කලවාත් අත්දඬුත් ළයත් පිටත් රුකෙහි උළත් ද? මහණෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස ද පහන් වූවන්ගේ ප්‍රසාදය වැඩෙනු පිණිස ද නො වේ. වැලිදු මහණෙනි, මෙය නො පහන් වූවන් ගේ නො පැහැදීම පිණිස ද පැහැදුණු සමහර දෙනාගේ වෙනස් බව පිණිසද පවතී” යැ යි නොයෙක් ලෙසින් ගැරැහු සේක. නොයෙක් ලෙසින් ගරහා, දැහැමි කතා කොට, මහණුන් අමතා,
“මහණෙනි, නාන්නා වූ මහණහු විසින් රුකෙහි ඇඟ නො ඉළියයුතු ය. යම් මහණෙක් ඇඟ (රුකෙහි) උළන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
2. එ සමයෙහි වනාහි සවග මහණහු නාන්නාහු, කලවා ද අත්දඬු ද ළය ද පිට ද යන ශරීරාවයව ටැඹෙහි උළත්. ‘ශාක්‍යපුත්‍රික ශ්‍රමණයෝ නාන්නාහු, මල්ල පොරකාරයන් මෙන් සම පැහැ ගන්වන නියැරියන් මෙන් කෙසේ නම් ටැඹෙහි කලවාත් අත්දඬුත් ළයත් පිටත් යන ශරීරාවයව උළත් දැ’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භික්ෂුහු ලාමක කොට සිතන, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන් ගේ වචන ඇසූහු ය. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළකළාහ. “මහණෙනි ... සැබෑ දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. ‘සැබෑ යැ’ යි භික්‍ෂුහු පැවැසූහ. භාග්‍යවතුන් වහන්සේ ... නොයෙක් කරුණු දක්වා ගැරැහු සේක. නොයෙක් කරුණු දක්වා ගරහා දැහැමි කථා කොට, මහණුන් අමතා,
“මහණෙනි, නාන්නාවූ මහණහු විසින් ටැඹෙහි ඇඟ නො ඉළියැයුතු. යම් මහණෙක් ඇඟ ඉළුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
3. එ සමයෙහි වනාහි සවග මහණහු නාන්නාහු, කලවා ද අත්දඬු ද ළය ද පිට ද බිත්තියෙහි උළත්. 'ශාක්‍යපුත්‍රික ශ්‍රමණයෝ නාන්නාහු, මල්ල පොරකාරයන් මෙන්, සම පැහැ ගන්වන නියැරියන් මෙන්, කෙසේ නම් බිත්තියෙහි කලවාත් අත්දඬුත් ළයත් පිටත් යන ශරීරාවයව උළත් දැ' යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත් ... භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොයෙක් කරුණින් ගැරැහු සේක. ... නොයෙක් කරුණින් ගරහා, දැහැමි කථා කොට, භික්ෂුන් අමතා,
“මහණෙනි, නාන්නාවූ මහණහු විසින් බිත්තියෙහි ඇඟ නො ඉළියැයුතු, යමෙක් (බිත්තියෙහි) ඇඟ ඉළුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
4. එ සමයෙහි වනාහි සවග මහණහු අට්ඨානයෙහි (ගිහියන් සඳහා ඇඟ උළන පුවරු සිටුවා ඇති තොටුපලෙහි) ස්නානය කරත්. මිනිස්සු ... “කෙසේ නම් කාමභෝගී ගිහියන් මෙන් .... පිට ද උළත් දැ” යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භික්‍ෂූහු ලාමක කොට සිතන, නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචන ඇසුහු ය. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, සැබෑ දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “සැබෑ ය වහන්සැ” යි ඔහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ... නොයෙක් ලෙසින් ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට, මහණුන් අමතා,
“මහණෙනි, අට්ඨානයෙහි (ගිහියන් සඳහා පිළියෙල වැ ඇති තොටුපලෙහි) නො නෑ යුතු. යමෙක් නෑයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
5. එ සමයෙහි වනාහි සවග මහණහු ගඳැවු අතින් (නාන තොටැ තබා ඇති ලී මුවා අතින්) ඇඟ උළා නාත්. ‘කාමභෝගී ගිහියන් මෙන් නාති’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ... මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන් අමතා,
“මහණෙනි, ගඳැවු අතින් ඇඟ උළා නො නෑයුතු. යමෙක් නෑයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
6. එ සමයෙහි වනාහි සවග මහණහු කිරිඳිහුයින් (කිරිඳිගල් සුණු ලහයෙන් අනා කළ ගුළි වැටියෙන්) ඇඟ උළා නාත් ...
“මහණෙනි, කිරිඳිහුයින් ඇඟ උළා නො නෑයුතු. යමෙක් නෑයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක
7. එ සමයෙහි වනාහි සවග මහණහු ඇඟින් ඇඟ ගටා පිරියම් කරවත්. මිනිස්සු ‘කාමභොගී ගිහියන් මෙන් යැ’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත් ... භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ඇඟින් ඇඟ ගටා පිරියම් නො කැරැවියයුතු. යමෙක් කැරැවූයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
8. එ සමයෙහි වනාහි සවග මහණහු මල්ලකයෙන් (මුවර දත් සිඳ කෙමියක් මෙන් තැනූ උපකරණයෙන්) ඇඟ උළා නාත්, ‘කාමභොගී ගිහියන් මෙනැ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ... භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකලහ. ...
“මහණෙනි, මල්ලකයෙන් ඇඟ උළා නො නෑ යුතු, යමෙක් නෑයේ වී නම්, දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
9. එ සමයෙහි වනාහි එක්තරා මහණකුට ඇඟ කසන ලෙඩක් වෙයි. ඔහුට මල්ලකයක් නැති වැ පහසුවෙක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ගිලන් මහණහට අකතමල්ලකය (දත් නොසිඳ කළ මල්ලකය) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
10. එ සමයෙහි වනාහි ජරායෙන් දුර්වල වූ එක්තරා මහණෙක් නානුයේ තමාගේ ඇඟ උළා ගන්නට නො හැකි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, රෙදි වැටියෙන් ඇඟ ඉළීම අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
11. එ සමයෙහි මහණහු පිට පිරියම් කරන්නට (එකක්හු අනෙකකු ලවා පිට උළවන්නට) කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
”මහණෙනි, පුථුපාණිකාව (ඔවුනොවුන් අතින් පිට ඉළීම) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
12-19. එ සමයෙහි වනාහි සවග මහණහු වල්ලිකා (මුතුවැල් ආදි කර්ණාභරණ) දරත් ... පමු (එල්බෙන නූල්) පළඳිත් ... ගෙල පළඳනා දරත් ... ඉඟපළඳනා දරත් ... වළලු දරත්... අඟු පළඳනා දරත් ... හස්තාභරණ දරත් ... ඇඟිලි මුදු දරත්. මිනිස්සු ‘කාමභෝගී ගිහියන් බඳුහ'යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ලාමක කොට සිතන, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ කථා භික්‍ෂුහු ඇසුහ. ඉක්බිති ඒ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. ‘මහණෙනි, සවග මහණහු වල්ලිකා දරත් යනු සැබෑ ද ... පමු දරත් යනු සැබෑ ද ... ගෙලපළඳනා දරත් යනු සැබෑ ද ... ඉඟපළඳනා දරත් යනු සැබෑ ද ... වලලු දරත් යනු සැබෑ ද ... හස්තාභරණ දරත් යනු , සැබෑ ද ... ඇඟිලිමුදු දරත් යනු සැබෑ දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. සැබැව භාග්‍යවතුන් වහන්සැ’ යි ඒ මහණහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ නොයෙක් කරුණින් ගරහා, මහණුන් බණවා,
“මහණෙනි, වල්ලිකා නො දැරියයුතු පමු නො දැරියයුතු, ගෙල පලඳනා නො දැරියයුතු, ඉඟ පළඳනා නො දැරියයුතු, වළලු නො දැරියයුතු, ... හස්තාභරණ නො දැරියයුතු, ඇඟිලි මුදු නො දැරියයුතු, යමෙක් දැරුයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
20. එ සමයෙහි වනාහි සවග මහණහු දික් කෙහෙ දරත්. ‘කාමභෝගී ගිහියන් බඳුහ'යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ ...
“මහණෙනි, දික් කෙස් නො දැරියයුතු. යමෙක් දැරුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, දෙමසක් හෝ දෑඟුලක් දික් වූ හෝ කෙහෙ දරනුවට අනුදනිමි" යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.*
21-25. එ සමයෙහි වනාහි සවග මහණහු කොස්සෙන් (බුරුසුවෙන්) කෙස් පීරත් ... පණගායෙන් කෙස් පීරත් ... අත් පණගායෙන් කෙස් පීරත් ...... ඉටිතෙලින් කෙස් මටසිලුටු කොට තබත් ... දිය මුසු තෙලින් කෙස් මටසිලිටි කෙරෙත් ‘කාමභෝගී ගිහියන් මෙනැ' මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ....
“මහණෙනි, කොස්සෙන් කෙහෙ නො පීරියයුතු, පණයායෙන් හිස නො පීරියයුතු, අත් පණායෙන් හිස නො පීරියයුතු. ඉටිතෙලෙන් හිස කෙහෙ මට සිලිටි නො කළ යුතු, දිය මුසු තෙලින් හිස කෙහෙ මට සිලිටි නො කළයුතු. යමෙක් මට සිලිටි කෙළේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
26. එ සමයෙහි වනාහි සවග මහණහු කැටපතෙහි ද දිය බඳුනෙහි ද මුහුණැ සටහන බලත්. මිනිස්සු ‘කාමභෝගි ගිහියන් බඳුහ' යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...
“මහණෙනි, කැට පතෙහි හෝ දිය බඳුනෙහි හෝ මුහුණ සටහන නො බැලිය යුතු, යමෙක් බැලුයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
27. එ සමයෙහි වනාහි එක්තරා මහණකු ගේ මුහුණෙහි වණයෙක් වෙයි. 'ඇවැත්නි, මගේ වණය කෙබඳු එකෙක් දැ' යි මහණුන් විචාළේ ය. ‘ඇවැත්නි, තොපගේ වණය මෙ බඳු එකෙකැ’ යි ඒ මහණහු කීහ. හේ එය නො අදහයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
“මහණෙනි, ආබාධ ප්‍රත්‍යයෙන් (ආබාධයක් ඇති කල්හි) කැටපතෙහි හෝ දියබඳුනෙහි හෝ මුහුණ සටහන බලන්නට අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ අනුදත් සේක.
28. එ සමයෙහි වනාහි සවග මහණහු මුහුණ ආලිප්ත කෙරෙත් (අලෙවු දෙත්), මුහුණු උන්මාර්ජනය කරත් (දියමුසු පිටි මුහුණ උළත්.) ඇඟ පැහැ ගන්වත්. මුහුණ වත්සුණුයෙන් තවරත් මනොසිලායෙන් (තිලක දීම් ආදි විසින්) මුහුණ ලකුණු කෙරෙත්, ඇඟ පැහැ ගන්වත්, මුහුණ පැහැ ගන්වත්, ඇඟ ද මුහුණ ද පැහැ ගන්වත්. “මොහු කාමභෝගී ගිහීන් බඳුහ” යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...
“මහණෙනි, මුහුණ ආලිප්ත නො කළයුතු. මුහුණ උන්මාර්ජිත නො කළයුතු, මුහුණ වත්සුණුයෙන් නො තැවරියයුතු, මනොසිලායෙන් මුහුණ ලකුණු නො කළයුතු, ඇඟ පැහැ නො ගැන්වියයුතු, මුහුණ පැහැ නො ගැන්වියයුතු, ඇඟ ද මුහුණ ද පැහැ නො ගැන්වියයුතු, යමෙක් එය කෙළේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
29. එක් සමයෙක්හි එක්තරා මහණකුට ඇසැ ලෙඩෙක් විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ආබාධප්‍රත්‍යයෙන් (ලෙඩක් ඇති කලැ එයට පිළියම් වශයෙන්) මුහුණ ආලිප්ත කරන්නට (මුහුණ බෙත් ගාන්නට) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
30. එ සමයෙහි රජගහ නුවරැ ගිරග්ගසමජ්ජය (හෙල් මුදුන්හි පැවැත්වෙන උළෙලෙක්) වෙයි. සවග මහණහු ගිරග්ගසමජ්ජය දකිනු පිණිස ගියාහ. "ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ කාමභෝගී ගිහියන් සේ කෙසේ නම් නැටුම් ද ගැයුම් ද වැයුම් ද දක්නා පිණිස යන්නාහු දැ” යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. …
“මහණෙනි, නැටුම් හෝ ගැයුම් හෝ වැයුම් හෝ දක්නා පිණිස නො යායුතු. යමෙක් යන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
31. එ සමයෙහි වනාහි සවග මහණහු දික් වූ ගී හඩින් දහම් ගයත්, "යම්සේ අපි ගයමෝ ද, එසේ ම මේ ශාක්‍යපුත්‍රික ශ්‍රමණයෝ දික් වූ ගී හඩින් දහම් ගයති”යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ලාමක කොට සිතන, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචනය භික්‍ෂුහු ඇසූහ. අල්පෙච්ඡ වූ, ලත් පමණින් සතුටු වූ, ලජජා ඇති, කුකුස් කරන ශික්‍ෂාකාමී වූ, යම් , මහණ කෙනෙක් වෙත් ද ඔහු 'කෙසේ නම් සවග මහණහු දික් වූ ගීහඬින් දහම් ගයන්නාහු දැ' යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. ... ‘මහණෙනි, සැබෑ දැ’ යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. "සැබැව වහන්සැ” යි ඔහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ විවිධ කාරණයෙන් ගරහා, දැහැමි කතා කොට, භික්‍ෂුන් බණවා,
“මහණෙනි, දික් වූ ගීහඬින් දහම් ගයන්නහුගේ (ඒ ගැයීමෙහි) මේ ආදීනව පසෙකි: තෙමේත් ඒ හඬෙහි ඇලෙයි, අන්හු ද ඒ හඬෙහි ඇලෙත්, ගැහැවියෝ ද ලාමක කොට සිතත්, ස්වර ක්‍රියාව (හඬ නැංවීම) පතන මහණහුගේ චිත්ත සමාධිය බිඳී යෙයි, පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙයි. මහණෙනි, දික් වූ ගීහඬින් දහම් නො ගැයියයුතු. යමෙක් ගයන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
එ සමයෙහි වනාහි මහණහු ස්වරභණ්‍යයෙහි (තරංගවෘත්තාදි වෘත්තවලට අනුව කීමෙහි) කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ස්වරභණ්‍යය අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
32. එසමයෙහි වනාහි සවග මහණහු ලොම් පිටතට ඇති පොරෝනාවක් දරත්. ‘කාමභෝගී ගිහියන් බඳුහ' යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ලොම් පිටතට ඇති පොරෝනා, නො දැරියයුතු. යමෙක් දරන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
33. ඒ සමයෙහි වනාහි මගධේශ්වර වූ සේනික බිම්බිසාර රජුගේ අඹ රුක්හු පල දරන්නෝ වෙත්. මගධේශ්වර වූ සේනික බිම්බිසාර රජු විසින් “පහසු සේ ආර්යයෝ අඹ වළඳත්වා” යි අනුදන්නා ලද්දේ වෙයි. සවග මහණහු ළා අඹ (අඹ ගැට) ද නෙළවා කෑහ. ඒ මගධාධිපති සේනික බිම්බිසාර රජුට ද අඹ වුවමනා වෙයි. එ කල්හි මගධේශ්වර සේනික බිම්බිසාර රජ මිනිසුන් බණවා “සගයෙනි, අරමට යවු. ගොස් අඹ ගෙනෙවු” යැ යි ඇණැවී ය. “දේවයන් වහන්ස, එසේ යැ” යි කියා ඒ මිනිස්සු මගධාධිපති සේනික බිම්බිසාර, රජුට පිළිවදන් දී අරමට ගොස්, අරම්පල්ලන් බණවා “සගයෙනි, දේවයන් වහන්සේට අඹ වුවමනා යැ. අඹ දෙවු යැ” යි කීහ. “ආර්යයෙනි, අඹ නැත. භික්‍ෂුහු ළා වූ ම අඹ නෙළවා වැළඳුහ” යි අරම්පල්ලෝ කීහ.
ඉක්බිති ඒ මිනිස්සු මගධාධිපති සේනිය බිම්බිසාර රජුට මෙ පවත් සැලකළාහ. "සගයෙනි, ආර්යයන් විසින් අඹ මොනවට වළඳන ලද්දේ ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ විසින් පමණ දැනීම වණන ලද්දේ යැ” යි රජ කී ය. මිනිස්සු "කෙසේ නම් ශාක්‍යපුත්‍රික ශ්‍රමණයෝ පමණ නො දැන රජුගේ අඹ වළඳන්නාහු ද? යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භික්ෂුහු ලාමක කොට සිතන, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචන ඇසූහ. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, අඹ නො වැළඳියයුතු, යමෙක් වළඳන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
34. එ සමයෙහි වනාහි එක්තරා මුළුවෙක (සමූහයකගේ) සඟ බතෙක් වෙයි. සූපයෙහි (හොද්දෙහි) අඹ පෙති දමන ලදුයේ වෙයි. භික්‍ෂුහු කුකුස් කරන්නාහු නො පිළිගනිත්.
“මහණෙනි, පිළිගනිවු, වළඳවු, මහණෙනි, අඹ පෙති අනුදනිමි” යි වදාළ සේක.
එ සමයෙහි වනාහි එක්තරා මුළුවෙක සඟබතෙක් වෙයි. ඔහු අඹ පෙති කරන්නට පුහුණු නො කළාහ. බොජුන් හලෙහි සම්පුර්ණ වූ අඹ වලින් යුක්ත වැ (අඹ) අතින් ගෙන හැසිරෙත්. භික්‍ෂුහු කුකුස් කරන්නාහු නොපිළිගනිත්.
“මහණෙනි, පිළිගනිවු, වළඳවු. මහණුනට කැප වූ කරුණු පසෙකින් ඵල වළඳන්නට අනුදනිමි. අග්නි පරිවිතය (ගින්නෙන් රත් කරන ලද) ශස්ත්‍ර පරිවිතය (ආයුධයෙකින් කපන ලද), නඛපරිචිතය (නියෙන් සිඳින ලද), අබීජය (බීජ නැති ඵලය), පස්වනු නිබ්බට්ට බීජය (ඉවත් කරන ලද ඇට ඇති ඵලය) යනු ඒ පස් වැදෑරුම් කැප ඵල ය. මහණෙනි, කැප වූ මේ පස් කරුණින් මහණුනට කැප වූ ඵල වළඳන්නට අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
35. එ සමයෙහි වනාහි එක්තරා මහණෙක් සර්පයකු විසින් ඩසිනා ලද්දේ කලුරිය කෙළේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, ඒ මහණ මේ සතර සර්ප රාජකුලයන් මෙත් සිතින් නො ම පැතිර වි ය. මහණෙනි, ඉදින් ඒ මහණ තෙම මේ සතර සර්පරාජකුලයන් මෙත් සිතින් පැතිර වූයේ වී නම්, මහණෙනි, ඒ මහණ සර්පයකු විසින් ඩසින ලදු ව කලුරිය නො කරන්නේ ම ය. කවර සතර සර්පරාජ කුලයෝ ද යත්; විරූපාක්‍ෂ සර්පරාජ කුලය, ඒරාපථ සර්පරාජ කුලය, ඡබ්‍යාපුත්ත සර්පරාජ කුලය, කණ්හාගොතමක සර්පරාජ කුලය යන සතර ය. මහණෙනි, ඒ මහණ මේ සතර සර්පරාජ කුලයන් මෙත් සිතින් නො ම පැතිර විය. මහණෙනි, ඉදින් ඒ මහණ මේ සතර සර්පරාජ කුලයන් මෙත් සිතින් පැතිරවූයේ වී නම්, සර්පයකු විසින් ඩසින ලදු ව නො ම කලුරිය කරන්නේ ය. මහණෙනි, ආත්මගුප්තිය පිණිස, ආත්මාරක්‍ෂාව පිණිස, තමාට ආරක්‍ෂාව සලසාගන්නට මේ සතර සර්පරාජ කුලයන් මෙත් සිතින් පතුරු වන්නට (සතර සර්පරාජකුලයනට මෙත් වඩන්නට) අනුදනිමි. මහණෙනි, එය වූ කලී මෙසේ කළයුතු:
“විරූපාක්‍ෂ කුලයට අයත් සර්පයන් හා මගේ මෙත් සිත වේවා. ඒරාපථ කුලයට අයත් සර්පයන් හා මගේ මෙත් සිත වේවා. ඡබ්‍යාපුත්ත කුලයට අයත් සර්පයන් හා මගේ මෙත් සිත වේවා. කණ්හාගෝතමක කුලයට අයත් සර්පයන් හා මගේ මෙත් සිත වේවා.
අපා සතුන් හා මගේ මෙත් සිත වේවා, දෙපා සතුන් හා මගේ මෙත් සිත වේවා, සිවුපා සතුන් හා මගේ මෙත් සිත වේවා, බුහුපා සතුන් හා මගේ මෙත් සිත වේවා.
අපා සතෙක් මා නො පෙළාවා, දෙපා සතෙක් මා නො පෙළාවා, සිවුපා සතෙක් මා නො පෙළාවා, බුහුපා සතෙක් මා නො පෙළාවා.
සියලු සත්තු, සියලු පණ ඇත්තෝ, සියලු භූතයෝ, මේ සියල්ලෝ යහපත් දෑ ම දකිත්වා. කිසිවකු ද කරා දුකෙක් නො ඒවා.
බුදුරජ තෙම අප්‍රමාණය (පමණ කළ නො හැකි ගුණ ඇත්තේ ය), ධර්‍මය අප්‍රමාණ ය (පමණ කළ නො හැකි ගුණ ඇත්තේ ය), සඬ්ඝයා අප්‍රමාණ ය (පමණ කළ නො හැකි ගුණ ඇත්තේ ය), සරීසෘපයෝ (සර්පයෝ) ප්‍රමාණවත්හ.
සර්පයෝ ය, ගෝනුසුවෝ ය, පත්තෑයෝ ය, දිවිමකුළුවෝ ය, සිකනල්ලු ය, සුහුනෝ ය, මීයෝ ය යන මොහු ප්‍රමාණවත්හ.
මා විසින් ආරක්‍ෂාව කරන ලද්දේ ය, මා විසින් පරිත්‍රාණය කරන ලද්දේ ය. භූතයෝ පෙරළා යෙත්වා.
ඒ මම් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි, (විපස්සී ආදි) සත් සම්මාසම්බුදුරදුනට නමස්කාර කරමි” යනු යි.
36. එ සමයෙහි වනාහි එක් මහණෙක් අනභිරතියෙන් (මහණ දම් පිරීමෙහි නො ඇල්මෙන්) පෙළුණේ තමාගේ පුරුෂ නිමිත්තය සිඳගැලී ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ඒ හිස් පුරුෂයා අනෙකක් සින්ද යුතු කල්හි වෙන එකක් ම සින්දේ ය.”
මහණෙනි, තමාගේ පුරුෂ නිමිත්ත නො සින්දයුතු. යමෙක් සින්දේ වී නම්, ඔහුට තුලැසි ඇවැත් වන්නේ යැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
37. එ සමයෙහි වනාහි රජගහ නුවර සිටුහට මහඟු සඳුන් හරයෙකින් නිපන් සඳුන් ගැටයෙක් ලැබුණේ වෙයි. ඉක්බිති රජ ගහ නුවර සිටුහට ‘මේ සඳුන් ගැටයෙන් පාත්‍රයක් ලියැවීම් නම් ඉතා යෙහෙක. ලියැවීමේ දී නිපන් සඳුන් සුණු ද මගේ පරිභොග වස්තුවෙක් වන්නේ ය. පාත්‍රය ද දාන වස්තුවක් කොට දෙන්නෙමි’ යි මේ සිත විය. ඉක්බිති රජගහ නුවර සිටු තෙම ඒ සඳුන් ගැටයෙන් පාත්‍රයක් ලියවා, සාල්ලෙක තබා හුණ ගසෙක අගැ එල්වා එය හුණ දඬු පරපුරෙක (හුණගසෙන් හුණගස බදධ කොට හුණගස් කිහිපයක් එකට ඈඳා තැනු ගසෙක) “බැඳ යමෙක් රහත් ද ඍද්ධිමත් ද වේ නම් ඔහුට මේ පාත්‍රය දෙන ලද්දේ ය. හේ මෙය ගෙන බසී වා” යි. මෙසේ කීය.
එ කල්හි පූරණකාශ්‍යප රජගහ නුවර සිටුහු කරා එළැඹියේ ය. එළැඹ රජගහ නුවර සිටුහු බණවා, “ගෘහපතිය, මම් රහත් ද සෘද්ධිමත් ද වෙමි. මට පාත්‍රය දෙව" යි කීය. " වහන්ස, ඉදින් ආයුෂ්මතුන් වහන්සේ රහත් ද ඍද්ධිමත් ද වූ සේක් නම් ඔබට පාත්‍රය දෙන ලද්දේ ම ය. එය ගෙන බස්නා සේක් වා” යි සිටු කී ය.
ඉක්බිත්තෙන් මක්ඛලිගොසාල ද, කේසකම්බලී අජිත ද, පකුධ කච්චායන ද, සංජය බෙල්ලට්ඨිපුත්ත ද, නිගණ්ඨ නාතපුත්ත ද යන මොහු එකෙක් වෙන වෙනම රජගහ නුවර සිටු කරා එළැඹියහ. එළඹැ “ගෘහපතිය, මම් වූ කලි රහත් ද සෘද්ධිමත් ද වෙමි. පාත්‍රය මට දෙව” යි කී ය. “වහන්ස, ඉදින් ආයුෂ්මතුන් වහන්සේ රහත්ද ඍද්ධිමත්ද වූ සේක් නම්, ඔබට පාත්‍රය දෙන ලද්දේ ම ය. එය ගෙන බස්නා සේක් වා” යි සිටු කී ය.
එ සමයෙහි වූ කලී ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද ආයුෂ්මත් පිණ්ඩොලභාරද්වාජ තෙරණුවෝ ද යන දෙනම පෙරවරු යෙහි හැඳ පෙරවැ පා සිවුරු ගෙන රජගහ නුවරට පිඩු පිණිස පිවිසියාහ. එ කල්හි ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරුනට “ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ රහත් ද සෘද්ධිමත් ද වෙති. ඇවැත් මහමුගලන් තෙරුනි, වඩිනු මැනැව, තෙල පාත්‍රය ගෙන බසිනු මැනැව තෙල පාත්‍රය ඔබ ගේ යැ” යි කීහ. ආයුෂ්මත් පිණ්ඩෝලහාරද්වාජ තෙරණුවෝත් රහත් ද ඍද්ධිමත් ද වෙති. “ඇවැත් භාරද්වාජයෙනි, වඩින්න, තෙල පාත්‍රය ගෙන බසින්න, තෙල පාත්‍රය ඔබ ගේ යැ” යි මහමුගලන් තෙරණුවෝ වදාළාහ. එකල්හි ආයුෂ්මත් පිණ්ඩෝලභාරදවාජ තෙරණුවෝ අහස් නැග ඒ පාත්‍රය ගෙන තුන් වරක් රජගහ නුවර සිසාරා වැඩියාහ.
එ සමයෙහි වනාහි රජගහ නුවර සිටු තෙම අඹුදරුවන් සහිත වැ "වහන්ස, ආර්‍ය්‍ය වූ භාරද්වාජයන් වහන්සේ මෙහි ම අප ගේ නිවෙසෙහි පිහිටන සේක්වා” යි කියමින් දොහොත් මුදුන් දී නමස්කාර කරනුයේ සිය ගෙහි සිටියේ වෙයි. ඉක්බිත්තෙන් ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ රජගහ නුවර සිටුහු ගේ ගෙහි පිහිටියාහ. එ කල්හි රජගහ නුවර සිටු තෙම ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් ගේ අතින් ඒ පාත්‍රය ගෙන මහඟු ඛාද්‍යයෙන් පුරා, උන්වහන්සේට ම එය පිළිගැන්වී ය. ඉක්බිති ආයුෂ්මත් පිණෙඩාලභාරද්වාජ තෙරණුවෝ ඒ පාත්‍රය ගෙන ආරාමයට වැඩි සේක. "ආර්‍ය්‍ය වූ පිණ්ඩෝලභාරද්වාජයන් වහන්සේ විසින් රජගහ නුවර සිටුහු ගේ පාත්‍රය ගෙන බස්නා ලද සේක් ලැ” යි මිනිස්සු ඇසූහ. ඒ මිනිස්සු ද උස්හඬ ඇත්තාහු, මහහඬ ඇත්තාහු, ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් පිටුපසින් ඔබ අනුව ගියාහ. භාග්‍යවතුන් වහන්සේ (ඔවුන්ගේ) උස්හඬ මහහඬ ඇසූ සේක. අසා ආයුෂ්මත් අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි. ඒ උස් හඬ මහහඬ කවරේ දැ” යි අසා වදාළ සේක.
වහන්ස ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් විසින් රජගහ නුවර සිටුහු ගේ පාත්‍රය ගෙන බස්නා ලද්දේ ය. වහන්ස, මිනිස්සු ආර්‍ය්‍ය වූ පිණ්ඩෝලභාරද්වාජයන් වහන්සේ විසින් රජගහ නුවර සිටුහු ගේ පාත්‍රය ගෙන බස්නා ලද්දේ ල යි මිනිස්සු ඇසූහ. වහන්ස, ඒ මිනිස්සු ද උස්හඬ ඇත්තාහු, මහහඬ ඇත්තාහු, ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජයන් පසු පස්සෙන් ආවාහු වෙත්. භාග්‍යවතුන් වහන්ස, මේ ඒ උස්හඬ ය මහහඬ යැයි අනඳ තෙරණුවෝ සැලකළාහ.
එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මේ කාරණ යෙහි බික්සඟන රැස් කොට, ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් බණවා “භාරද්වාජයෙනි, තොප විසින් රජගහ නුවර සිටුහු ගේ පාත්‍රය බාගෙනෙන ලද්දේ ල, ඒ සැබෑ දැ” යි අසා වදාළ සේක.
“සැබව, භාග්‍යවතුන් වහන්සැ” යි තෙරණුවෝ උත්තර දුන්හ.
“භාරද්වාජයෙනි, නොනිසි දැයෙක, නොඅනුලොම් දැයෙක, නො සුදුසු දැයෙක, මහණුනට නො ගැළැපෙන දැයෙක, නො කැප දැයෙක, නොකටයුතු දැයෙක, භාරද්වාජයෙනි, කෙසේ නම් නොවටනා ලී පාත්‍රයෙක කරුණින් ලී පාත්‍රයක් නිසා ගිහියනට උතුරු මිනිස් දමක් වූ ඉදුපෙළහර දැක්වූහු ද භාරද්වාජයෙනි, මාගමක් නොවටනා මස්සක් පමණවූ මිලයක් නිසා යම්සේ ස්වකීය කෞපීනය දක්වන්නී ද, භාරද්වාජයෙනි, එ පරිද්දෙන් ම තොප විසින් නොවටනා ලී පාත්‍රයෙක කරුණින් ගිහියනට උතුරුමිනිස්දහමක් වූ ඉදුපෙළහර දක්වුනු ලද්දේ ය. භාරද්වාජයෙනි. මෙය නොපහන් අය ගේ පැහැදීම පිණිස ද පහනු අයගේ (පැහැදීම) බොහෝ වීම පිණිස ද නො වේ. භාරද්වාජයෙනි, වැලිදු මෙය නොපහන් අයගේ ද නො පැහැදීම පිණිස ද පහන් වූ ඇතැම් කෙනකු ගේ වෙනස් බව පිණිස ද වේ” යැයි භාග්‍යවතුන් වහන්සේ විවිධ කරුණු දක්වා ගැරැහු සේක.
විවිධ කරුණින් ගරහා දැහැමි කතා කොට මහණුන් බණවා,
“මහණෙනි, ගිහීනට උතුරු මිනිස් දහමක් වූ ඉදුපෙළහර නො දැක්වියයුතු, යමෙක් දැක්වූයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, තෙල ලී පාත්‍රය බිඳිවු, කැබැලි කැබැලි කොටැ භික්‍ෂූනට අඳුන් ගටනු පිණිස දෙවු. මහණෙනි, ලීමුවා පාත්‍රය නො දැරියයුතු යමෙක් දරන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ” යැ යි වදාළ සේක.
38. එ සමයෙහි වනාහි සවග මහණහු රන්මුවා ද රිදී මුවා ද ලොකු කුඩා (නොයෙක් ප්‍රමාණයේ) පාත්‍ර දරත්. ‘කාමභෝගී ගිහියන් බඳුහ'යි මිනිස්සු ලාමක කොට සිතත්, ගරහත්, නො ගුණ පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, රන්මුවා පාත්‍රය නො දැරියයුතු, රිදී මුවා පාත්‍රය නො දැරියයුතු, මිණිමුවා පාත්‍රය නො දැරියයුතු, වෙරළුමිණිමුවා පාත්‍රය නො දැරියයුතු, පළිඟුමුවා පාත්‍රය නො දැරියයුතු, කස්ලොහො මුවා පාත්‍රය නො දැරියයුතු, විදුරුමුවා පාත්‍රය නො දැරියයුතු, කළුඊයම්මුවා පාත්‍රය. නො දැරියයුතු, සුදුඊයම්මුවා පාත්‍රය නො දැරියයුතු, තඹලොහොමුවා පාත්‍රය නො දැරියයුතු, යමෙක් දැරුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, යමුවා පාත්‍රය ද මැටිමුවා පාත්‍රය ද යන පාත්‍රදෙක අනුදනිමි” යි වදාළසේක.
39. එ සමයෙහී පාත්‍රයේ මුල ගැටෙයි. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළහ.
'මහණෙනි, පාමඬුල්ලක් (පාත්‍ර අඩියක්) අනුදනිමි’ යි වදාළසේක.
එ සමයෙහි සවග මහණහු රන්මුවා වූ ද රිදීමුවා වූ දැ යි උස් පහත් (නානාවිධ) පාමඬුලු දරත්, ‘කාමභෝගී ගිහියන් බඳුහ' යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...
‘මහණෙනි උස්පහත් පාමඬුලු නො දැරියයුතු. යමෙක් දරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඊයම්මුවාද සුදු ඊයම්මුවා දැයි පාමඬුලු දෙකක් අනුදනිමි’ යි වදාළසේක.
ඝන වූ පාමඬුලු පාත්‍රයෙහි වැදගෙන නො සිටී. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
‘මහණෙනි, (තුනීබව ගන්වනු පිණිස) මඬුල්ල ලියන්නට අනුදනිමි’ යි වදාළසේක.
රැලි ගැසෙත් (ඇකිලෙත්) ...
‘මහණෙනි මුවර දැති කපන්නට අනුදනිමි’ යි වදාළසේක.
40. එ සමයෙහි සවග මහණහු විසිතුරු වූ භිත්තිකර්ම කළ රූපවලින් ගැවැසී ගත් සිතුවම් කරන ලද පාමඬුලු දරත්. වීථියෙහි ද ඒවා පෙන්වමින් ඇවිදිත්. ‘කාමභෝගී ගිහියන් බඳුහ'යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, භිත්තිකර්ම කළ රූපයෙන් ගැවැසීගත් විසිතුරු පාමඬුලු නො දැරියයුතු. යමෙක් දරන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, පියෙවි පාමඬුලු අනුදනිමි” යි වදාළ සේක.
41. එ සමයෙහි මහණහු දිය සහිත පාත්‍රය තැන්පත් කොට තබත්. පාත්‍රය දූෂ්‍ය වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, දිය සහිත පාත්‍රය තැන්පත් කොට නො තැබිය යුතු. යමෙක් තබන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, තවා (රත් කොට) පාත්‍රය තැන්පත් කොට තබන්නට අනුදනිමි” යි වදාළ සේක.
42. එ සමයෙහි මහණහු දිය සහිත පාත්‍රය. තවත් (රත් කරත්). පාත්‍රය දුගඳ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, දිය සහිත පාත්‍රය. නො තැවියයුතු. යමෙක් තවන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, දිය රහිත කොට තවා පාත්‍රය සුරැකි කොට තබන්නට අනුදනිමි” යි වදාළ සේක.
43. එ සමයෙහි වනාහි මහණහු පාත්‍රය උෂ්ණයෙහි තබත්. පාත්‍රයේ පැහැය දූෂ්‍ය වෙයි, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, උෂ්ණයෙහි පාත්‍රය නො තැබියයුතු. යමෙක් තැබුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, මොහොතක් උෂ්ණයෙහි තවා පාත්‍රය සුරැකි කොට තබන්නට අනුදනිමි” යි වදාළ සේක.
44. එ සමයෙහි වනාහි බොහෝ පාත්‍රයෝ එළිමහනෙහි ආධාරකයක් නැති ව තබන ලද්දාහු වෙත්. පාත්‍රයෝ සුළි සුළඟෙකින් පෙරළී බුන්හ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, පාත්‍රාධාරකයක් අනුදනිමි” යි වදාළ සේක.
45. “එ සමයෙහි වනාහි භික්‍ෂූහු මීඪාන්තයෙහි (පිල් කෙළවරැ) පාත්‍ර තබත්. පාත්‍රය ඇදවැටී බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, පිළ කෙළවර පාත්‍රය නො තැබියයුතු, යමෙක් තැබුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
46. එ සමයෙහි මහණහු පරිභණ්ඩය කෙළවරැ (පිළට පිටත වූ කුඩා පිළැ තුළැ) පාත්‍රය තබත්. පාත්‍රය ඇදවැටී බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට එය සැලකළහ.
“මහණෙනි, පරිහණ්ඩය කෙළවරැ (පිළට පිටතින් කුඩා පිළ තුළැ) පාත්‍රය නො තැබියයුතු, යමෙක් තැබූයේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේයැ” යි වදාළ සේක.
47. එ සමයෙහි වනාහි මහණහු පාත්‍රය බිමැ මුනින් නමා තබත්, පාත්‍රයේ මුවවිට ගැටී ගෙවෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත්සැලකළහ.
“මහණෙනි, තණ ඇතිරියක් අනුදනිමි” යි වදාළ සේක.
තණ ඇතිරිය වේයන් විසින් කනු ලැබෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, (පාත්‍රය තැබීමට) රෙදිකඩක් අනුදනිමි” යි වදාළ සේක.
රෙදිකඩ වේයන් විසින් කනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, පාත්‍රමාලකයක් (පාත්‍රය තබන්නට පිළක්) අනුදනිමි” යි වදාළ සේක.
පාත්‍රමාලකයෙන් ගිලිහී වැටී පාත්‍රය බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, පාත්‍රකණ්ඩොලිකාවක් (පාත්‍රය තබන කූඩයක්) අනුදනිමි” යි වදාළ සේක.
පාත්‍රකණ්ඩෝලිකායෙහි පාත්‍රය ගැටී ගෙවෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, (පාත්‍රය බහාලන්නට) ථවිකයක් (පසුම්බියක්) අනුදනිමි” යි වදාළ සේක
එල්ලා ගන්නට අංසබන්ධකයෙක් (උරේ හිසේ එල්වන පටියෙක්) නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
“මහණෙනි, අංසබන්ධකයක් (උරබඳනාවක්) ද බඳනා හුයක් ද අනුදනිමි” යි වදාළ සේක.
48. එ සමයෙහි මහණහු භිත්තිඛීලයෙහි (බිත්තියෙහි, ගසන ලද උලෙක) ද නාගදන්තකයෙහි ද (බිත්තියෙහි සවි කළ ඇත්දතෙහි) ද පාත්‍රය එල්ලත්. ඇදවැටී පාත්‍රය බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, පාත්‍රය නො එල්ලියයුතු. යමෙක් එල්ලන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
49. එ සමයෙහි වනාහි මහණහු ඇඳෙහි පාත්‍රය තබත්. සිහි මුළා වෙන් ඉඳගන්නාහු වැතිර පාත්‍රය බිඳිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ඇඳෙහි පාත්‍රය නො තැබියයුතු. යමෙක් තබන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
50. එ සමයෙහි මහණහු පුටුවෙහි පාත්‍රය තබත්. සිහි මුළාවෙන් ඉඳගන්නාහු වැතිර පාත්‍රය බිඳිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, පුටුවෙහි පාත්‍රය නො තැබියයුතු, යමෙක් තබන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
51. එ සමයෙහි මහණහු ඇකයෙහි පාත්‍රය තබත්. සිහි නැති ව නැඟී සිටිත්. පාත්‍රය වැටී බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි ඇකයෙහි පාත්‍රය නො තැබියයුතු. යමෙක් තබන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
52. එ සමයෙහි මහණහු ඡත්‍රයෙහි පාත්‍රය තබත්. සුළි හුළඟින් ඡත්‍රය එසැවෙයි. පාත්‍රය වැටී බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ඡත්‍රයෙහි පාත්‍රය නො තැබියයුතු. යමෙක් තබන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
53. එ සමයෙහි මහණහු පාත්‍රය ගත් අතැත්තාහු කවුළුව අරිත්. කවුළුව පෙරැළී ඊමෙන් පාත්‍රය. බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, පාත්‍රය ගත් අතැතියනු විසින් කවුළුව නො ඇරිය යුතු. යමෙක් අරින්නේ ද ඔහුට දුකුළා ඇවැත් වේ” යැ යි වදාළ සේක.
54. එ සමයෙහි මහණහු ලබු කබලෙන් (ලබු කබලක් අතැති වැ) පිඩු පිණිස හැසිරෙත්. මිනිස්සු 'තීර්ථකයන් බඳුහ'යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ලබුකබලෙන් පිඩුසිඟා නො හැසිරිය යුතු. යමෙක් හැසිරෙන්නේ ද ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක
55. එ සමයෙහි මහණහු ඝටිකටාහයෙන් (කළ කබලක් ගෙන) පිඩු පිණිස හැසිරෙත්. ‘තීර්ථකයන් බඳුහ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...
“මහණෙනි, ඝටිකටාහයෙන් (කළ කබලෙහි) පිඩු පිණිස නො හැසිරියයුතු. යමෙක් හැසිරෙන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
56. එ සමයෙහි වනාහි එක්තරා මහණෙක් හැම පිරිකරින් ම පාංශුකූලික වෙයි. (හැම පිරිකරක් ම පාංශුකූල වශයෙන් සොයා ගත් දැයින් සකස් කොට ගෙන දරන්නේ වෙයි.) හෙතෙම මිනීහිස් කබලකින් කළ පාත්‍රයක් දරයි. එක්තරා ස්ත්‍රියක් ඔහු දැක බිය පත් වූවා, 'මට විපතෙක, ඒකාන්තයෙන් මේ පිශාචයෙකැ’ යි කෑගැසූ ය. ‘කෙසේ නම් ශාක්‍යපුත්‍රික ශ්‍රමණයෝ පිසස් පැටියන් සේ මිනීහිසින් කළ පාත්‍රයක් දරත් දැ” යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. ...
“මහණෙනි, මිනීහිසින් කළ පාත්‍රයක් නො දැරියයුතු. යමෙක් දරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
57. එ සමයෙහි වනාහි මහණහු (විකා දැමූ) සප ද ඇට කටු ද ඉඳුල්දිය ද පාත්‍රයෙන් ගෙන ගොස් ඉවත ලත්. ‘මේ ශාක්‍යපුත්‍රික මහණහු යම් පාත්‍රයෙක ම වළඳත් ද එය ම ඔවුන් කුණු දමන බඳුන වේ යැ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. ...
“මහණෙනි, සප හෝ ඇට හෝ ඉඳුල්දිය හෝ පාත්‍රයෙන් ඉවතට ගෙන නො යායුතු. යමෙක් ගෙන යන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, කුණු දමන්නට බඳුනක් අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
58. එ සමයෙහි මහණහු අතින් ඉරා සිවුරු මසත්. සිවුරු විලොම් (විසම) වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, පිහියක් ද පිහියට වැස්මක් ද අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
59. එ සමයෙහි වනාහි සංඝයාට දණ්ඩශස්ත්‍රකයෙක් (මීට සහිත පිහියක්) උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට එපවත් සැල කළහ.
“මහණෙනි, දණ්ඩශස්ත්‍රකය (මිට සහිත පිහිය) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
60. එ සමයෙහි සවග මහණහු රන්මුවා ද රිදීමුවා ද කුදු මහත් පිහියා මිටි දරත්. ‘කාමභෝගී ගිහියන් මෙනැ’ යි මිනිස්සු ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, කුදු මහත් පිහියා මිටි නො දැරියයුතු. යමෙක් දරන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඇටමුවා, දත්මුවා, අංමුවා, බටදඬුමුවා, හුණදඬුමුවා, දඬුමුවා, ලහමුවා, පලමුවා, ලොහොමුවා, සක්නැබමුවා පිහියාමිටි අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
61. එ සමයෙහි වනාහි මහණහු කුකුළු පිහාටුයෙන් ද උන පතුරෙන් කළ කූරෙන් ද සිවුරු මසත්. සිවුරු නොමනා ව මැසුණේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, හිදිකටුව අනුදනිමි” යි (භාග්‍යවතුන් වහන්සේ) වදාළසේක. හිදිකටු මල බැඳුණේ වෙයි.
“මහණෙනි, හිදිකටුකුලාව අනුදනිමි” යි වදාළ සේක. හිදිකටුකුලායෙහි (බහාලන ලද්දාහු) ද මලබැඳුණාහු වෙත්.
“මහණෙනි, රාබිජු සුණුයෙන් පුරවන්නට අනුදනිමි” යි වදාළ සේක.
රාබිජු සුණුයෙන් පුරවන ලද්දාහු ද මල බැඳුණාහු වෙත්.
“මහණෙනි, කහමුසු විළඳ සුණුයෙන් පුරවන්නට අනුදනිමි” යි වදාළ සේක.
කහමුසු විළඳ සුණුයෙන් (පුරාලන ලද්දාහු) ද මල බැඳුණාහු වෙත්.
“මහණෙනි, ගල් කුඩුවලින් පුරවන්නට අනුදනිමි” යි වදාළ සේක. ගල්කුඩුවලින් පුරවන ලද්දාහු ද මල බැඳුණාහු වෙත්.
“මීඉටියෙන් (තවරන්නට) අනුදනිමි” යි වදාළසේක. තවරන ලද මීඉටි ගැළැවී වැටෙයි.
“මහණෙනි, මීඉටි ගෑ රෙදි කඩක් අනුදනිමි” යි වදාළසේක.
62. එ සමයෙහි මහණහු ඒ ඒ තැන හුල් සිටුවා සම්බන්ධ කොට සිවුරු මසත්. සිවුරු විකර්ණ (සම නොවූ) කොන් ඇත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, කඨිනය (සිවුරුහිණ) ද කඨින රැහැන (සිවුරුහිණෙහි බඳනා රැහැන) ද යන දෙකත් ඒවායේ ඒ ඒ තැනැ සිවුර නමා බැඳ මසන්නට අනුදනිමි” යි වදාළසේක.
නො සම තන්හි සිවුරුහිණ තබත්. එය බිඳී වැටෙයි.
“මහණෙනි, නො සමවූ තැන සිවුරුහිණ නො තැබියයුතු. යමෙක් තබන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
සිවුරුහිණ බිමැ තබත්. එය දුලියෙන් බැඳුණේ වෙයි.
“මහණෙනි, තණඇතිරිය අනුදනිමි” යි වදාළ සේක.
කඨිනයේ කොන් දිරයි.
“මහණෙනි, වාටියක් යොදා පිරිබඩ නංවන්නට අනුදනිමි” යි වදාළ සේක.
සිවුරුහිණ නො පොහොනේ වෙයි (මඳ වෙයි).
“මහණෙනි, දණ්ඩකඨිනය ද සිවුරුහිණැ මැදට බඳනා දණ්ඩ ද විදලකය ද (දණ්ඩකඨිනයේ ප්‍රමාණය අනුව) කළාලයේ කොන් දෙක අකුළා දෙපට කිරීම ද,
සලාකාව ද (දෙපට සිවුර මැදට දමන කූර ද) විනන්ධන රජ්ජුව ද,
මහ සිවුරුහිණ හා කුඩා සිවුරුහිණ බඳනා රැහැන ද කුඩා සිවුරුහිණෙහි සිවුර බදනා හුය ද එසේ බැඳ සිවුර මහන්නට ද අනුදනිමි” යි වදාළ සේක.
සූත්‍රානතරිකාවෝ (හු අතරැ පෙදෙස්හු) විසම වෙත්. (සමාන ව නො සිටිත්).
“මහණෙනි, (අතර ප්‍රමාණය හඟවන) කිලිඹුවක් (තල්කොළ කැබැලි ආදි මිම්මක්) අනුදනිමි” යි වදාළ සේක.
හු ඉරි ඇද වේ.
“(සිවුර මසා අවසන් වූ පසු ගළවා දමන) බොරු හු ගැසීම අනුදනිමි” යි වදාළසේක.
63. එ සමයෙහි මහණහු නො දෙවූ පයින් සිවුරුහිණ ඇක්මෙත්. සිවුරුහිණ දුෂ්‍ය වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, නොදෙවූ පයින් යුතු ව, සිවුරුහිණ නො ඇක්මියයුතු. යමෙක් ඇක්මෙන්නේ නම් (පා ගාන්නේ නම් දුකුළා ඇවැත් වන්නේය”.
64. එ සමයෙහි මහණහු තෙත් පයින් සිවුරුහිණ ඇක්මෙත්. සිවුරුහිණ දුෂ්‍ය වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, තෙත් පයින් සිවුරුහිණ නො ඇක්මියැයුතු (පා නො ගැසිය යුතු). යමෙක් ඇක්මෙන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය”.
65. එ සමයෙහි මහණහු පාවහන් ඇත්තාහු සිවුරුහිණ ඇක්මෙත් (පාගත්). සිවුරුහිණ දූෂ්‍ය වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, පාවහන් සහිත වූවහු විසින් සිවුරුහිණ නො ඇක්මියැයුතු, යමෙක් ඇක්මෙන්නේ ද දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
66. එ සමයෙහි මහණහු සිවුරු මහන්නාහු හිදිමුව ඇඟිල්ලෙන් පිළිගනිත්. (ඉදිකටු මූණත ඇඟිල්ලෙන් ගෙන අදිත්) ඇඟිල්ලෝ රිදුම් ඇත්තෝ වෙත් (ඇඟිලි රිදේ). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, පිළිගාව (දිදාලය) අනුදනිමි” යි වදාළසේක.
67. එ සමයෙහි සවග මහණහු රන්මුවා වූ ද රිදීමුවා වූ ද, කුදු මහත් පිළිගාවන් (දිදාල) දරත්. මිනිස්සු , "මොහු කාමභෝගී ගිහීන් බඳුවහ” යි ලාමක කොට සිතත්, නො ගුණ කියත්, දොස් කතා පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, (රන්රිදීමුවා) කුදු මහත් පිළිගා (දිදාල) නො දැරිය යුතු. යමෙක් දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඇටින් කරන ලද, ඇත්දළ ඈ දළින් කරන ලද, අඟින් කරන ලද, ගෙඩිවල ලෙල්ලෙන් කරන ලද, ලෝහයෙන් කරන ලද සක්නැබින් කරන ලද පිළිගාව (දිදාලය) අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
68. එ සමයෙහි හිදිකටු ද පිහියා ද පිළිගාවෝ (දිදාල) ද නැසෙත් (නැති වෙත්). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ඇවිසුම් විතක් (ඉදිකටු කුලා ආදිය තබන කුඩා පෙට්ටියක් හෝ කොපුවක්) අනුදනිමි” යි වදාළසේක.
ඇවිසුම්විතෙහි ඒ හිදිකුලා ආදීහු එකට අවුල්වූවාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, පිළිගාවට (දිදාලයට) පසුම්බියක් අනුදනිමි” යි වදාළසේක.
පිළිගා පසුම්බියට උරබඳනාවෙක් (උරේ එල්ලා ගැනීමට පටියෙක්) නො වෙයි.
“මහණෙනි, උරබඳනාව ද බඳනා හුය ද අනුදනිමි” යි වදාළසේක.
69. එ සමයෙහි මහණහු එළිමහනෙහි (හිඳ සිවුරු මහන්නාහු ශීතයෙන් ද උෂ්ණයෙන් ද පෙළෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, සිවුරුහිණ තබන්නට ශාලාවක් සිවුරුහිණට මඩුවක් අනුදනිමි” යි වදාළසේක.
සිවුරුහිණි හල (කඨින ශාලාව) මිටි බිමක් ඇත්තේ වෙයි. දියෙන් වැසෙයි (දියට යට වෙයි.) භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, සිවුරුහිණිහල උස් බිම් ඇතියක් කරන්නට (එහි බිම උස් කොට නංවන්නට) අනුදනිමි” යි වදාළසේක.
උස් කොට නඟන ලද බිමැ පස් ඇදහැළෙයි.
“මහණෙනි, ගඩොළුයේන් කළ බැඳුම ද ගලින් කළ බැඳුම ද ලීයෙන් කළ බැඳුම දැ යි බැඳුම් තුනක් අනුදනිමි” යි වදාළසේක.
උස් කොට බඳනා ලද බිමට නඟින්නාහු වෙහෙසෙත්.
“මහණෙනි, ගඩොළු හිණ (තරප්පුව) ගල්මුවා හිණ (තරප්පුව) දඬුමුවා හිණ (තරප්පුව) ද යනු තුන් හිණ අනුදනිමි” යි වදාළසේක.
හිණෙහි නඟින්නාහු ඇද වැටෙත්.
“ගරාදි වැටක් අනුදනිමි” යි වදාළ සේක.
කඨින ශාලායෙහි තණරොඩු වැටෙයි. “මහණෙනි, ඝණ දඬු අතුරා පියස්ස තනා ඇතුළතත් පිටතත් සුදු පැහැ වූ හෝ කළු පැහැ වූ හෝ බදාම ආලේප කරන්නට ගුරු පැහැයෙන් පිරියම් හෝ කරන්නට, මාලාකර්‍ම ලතාකර්‍ම කරන්නට මෝර දැති හෝ අඳින්නට දෑහිඟුල් ඈ පස් පැහැයෙන් වණවත් කරන්නට ද අනුදනිමි. සිවුරු වනා තබන්නට දණ්ඩක් ද සිවුරු වනන්නට රැහැනක් ද අනුදනිමි” යි වදාළසේක.
70. එ සමයෙහි මහණහු සිවුරු මසා සිවුරුහිණ එහි ම හැරදමා පිටත් වැ යෙත්, මීයන් විසින් ද වේයන් විසින් ද සිවුරුහිණ කනු ලැබෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, සිවුරුහිණ අකුළා තබන්නට අනුදනිමි” යි වදාළසේක: සිවුරුහිණ බිඳීයයි. “මහණෙනි, දණ්ඩක් ඇතුළැ බහා තද කොට සිවුරුහිණ අකුළා තබන්නට අනුදනිමි” යි වදාළසේක.
සිවුරුහිණ ලිහෙයි. “මහණෙනි, බඳිනා රැහැනක් අනුදනිමි” යි වදාළ සේක.
71. එ සමයෙහි මහණහු බිත්තියෙක ද කණුවෙක ද සිවුරුහිණ ඔසොවා තබා නික්ම යෙත්. ඇද වැටී සිවුරුහිණ බිඳෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, බිත්තියෙහි ගසන ලද හුලෙක හෝ ඇත් දතක් සේ බිත්තියෙහි සවි කළ උපකරණයෙක හෝ සිවුරුහිණ එල්ලා තබන්නට අනුදනිමි” යි වදාළසේක.
72. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කැමැති තාක් කල් වැස විසල්මහනුවරට සැරිසරා වැඩි සේක. එ සමයෙහි මහණහු හිදිකටුව ද පිහිය ද බෙහෙත් ද පාත්‍රයෙන් ගෙන යෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, බෙහෙත් පසුම්බිය අනුදනිමි” යි වදාළසේක. උරබඳනාවෙක් නො වෙයි. “මහණෙනි, උරබඳනාව ද බඳනාහුය ද අනුදනිමි” යි වදාළසේක.
73. එ සමයෙහි එක්තරා මහණෙක් පාවහන් කාබහනින් (පටියෙන්) බැඳ එල්ලා ගෙන ගමට පිඬු පිණිස පිවිසියේය. එක්තරා උපාසකයෙක් එ මහණහට වඳිනුයේ පාවහන් හිසින් ගැටී ය. ඒ මහණ නිස්තෙජස්ක විය. ඉක්බිති ඒ මහණ අරම් ගොස්, මහණුනට මෙ පවත් සැලකෙළේ ය. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, උපාහනථවිකයක්, අනුදනිමි” යි වදාළසේක. උරබඳනායෙක් නො වෙයි. “මහණෙනි, උරබඳනාවක් ද බඳනා හුයක් ද අනුදනිමි” යි වදාළසේක.
74. එ සමයෙහි වනාහි අතර මඟැ ජලය (පෙරා නැති බැවින්) නො කැප වෙයි. පෙරහනෙක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, පෙරහන්කඩ අනුදනිමි” යි වදාළ සේක.
රෙදි කඩ නො පොහොනේ වෙයි. (මදි වෙයි). “මහණෙනි, කිණිසි පෙරහන අනුදනිමි” යි වදාළ සේක. එයට ද රෙදි කඩ මඳවෙයි. භාග්‍යවතුන් වහන්සේට , මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ඩබරාව අනුදනිමි” යි වදාළසේක.
75. එ සමයෙහි දෙමහණහු කෙනෙක් කොසොල් රටැ දික්මඟට පිළිපන්නාහු වෙත්. එක් මහණෙක් අනාචාර කෙරෙයි. (නො මනා ලෙස හැසිරෙයි). දෙවෙනි මහණ එකී මහණහට “ඇවැත්නි, මෙ බඳු දෑ නො කරන්න. මෙය කැප නො වේ යැ” යි කී ය. එ මහණ, වෛර බැන්දේ ය. එ කල්හි ඒ (පළමු) මහණ පවසින් පෙළුණේ වෙර බැඳි මහණහු බණවා, “ඇවැත්නි, ඔබගේ පෙරහන දෙන්න, පැන් බොනු කැමැත්තෙමි” යි කී ය. වෙර බැඳි මහණ එය නො දුන්නේ ය. ඒ පළමු මහණ පවසින් පෙළුණේ කලුරිය කෙළේය. එයින් පසු එ (දෙවෙනි) මහණ අරම් ගොස් මහණුනට මෙ පවත් සැලකෙළේය. “කිමෙක් ද ඇවැත්නි, තෙපි පෙරහණ ඉල්ලනු ලබන්නහු නො දුන්නු දැ?” යි භික්‍ෂුහු ඇසූහ. “එසේ ය, ඇවැත්නි”යි හේ කී ය. අල්පෙචඡ වූ සන්තුෂ්ට වූ ලජ්ජීවූ සුළු වරදෙහි පවා කුකුස් කරන්නාවූ ශික්‍ෂකාමී වූ යම් මහණ කෙනෙක් වෙත් ද ඔහු “කෙසේ නම් මහණෙක් පෙරහන ඉල්ලනු ලබනුයේ නො දෙන්නේ දැ?” යි ලාමක කොට සිතත්, අගුණ බෙණෙත්, නොගුණ පතුරුවත්, ඉක්බිති ඒ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළාහ.
එකලැ භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි බික්සඟන රැස් කරවා, “සැබෑ ද, මහණ තෝ පෙරහන ඉල්ලනු ලබනුයෙහි නො දුන්නෙහි දැ?” යි ඒ මහණහු පුළුවුත්සේක. “භාග්‍යවතුන් වහන්ස සැබවැ” යි එ මහණ පිළිවදන් දුන. “හිස් පුරුෂය, මෙය නොනිසි ය. (මහණහට) නො ගැළැපෙන්නෙකි. නො සුදුස්සෙකි. මහණ කමට නො වටනා එකෙකි. නොකැප එකෙකි. නො කටයුත් තෙකි. කෙසේ නම්, හිස් මිනිස, තෝ පෙරහන ඉල්ලනු ලබනුයෙහි නො දුන්නෙහි ද? හිස් මිනිස, මෙය (සස්නැ) නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස ද පහන් වූවන්ගේ ප්‍රසාද වැඩීම ද පිණිස නොවේ. වැලි, හිස් මිනිස, මෙය නො පහනුන්ගේ නො පැහැදීම පිණිස ද පැහැදුණු ඇතැම් කෙනකුන්ගේ වෙනස් වීම පිණිස ද වේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගැරැහු සේක. ගරහා, දැහැමි කථා කොට, මහණුන් බණවා “මහණෙනි, දිග්මඟ පිළිපන් මහණක්හු විසින් පෙරහන ඉල්ලනු ලබන්නහු විසින් එය නොදියැ යුතු නො වේ. යමෙක් නො දෙන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, මහණහු පෙරහනක් නැතිව දික්මඟ නො යෑ යුතු, යමෙක් එසේ යන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. ඉදින් පෙරහනෙක් හෝ ඩබරාවෙක් හෝ නැති නම්, ‘මෙයින් පෙරහා බොන්නෙමි’ යි සඟළසිවුරු කොන වුව ද ඉටා ගතයුතු” යැ යි වදාළ සේක.
76. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් සැරි සරා වඩනාසේක්, විසල් මහපුරට බටසේක. එහි වූ කලි මහ වෙනෙහි කුළාරහලෙහි වැඩ වසන සේක. එ සමයෙහි වූ කලි මහණහු නව කම් (අළුත්වැඩියා කැරුම්) කෙරෙත් පෙරහන ප්‍රමාණ නො වෙයි (මදි වෙයි). භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, දඬුපෙරහන අනුදනිමි” යි වදාළසේක. දඬුපෙරහන ද ප්‍රමාණ නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි අවස්තරකය (ළිඳ තුළ බහා දිය පෙරා ගන්නා පෙරහනය) අනුදනිමි” යි වදාළසේක.
77. එ සමයෙහි වනාහි මහණහු මදුරුවන් ගෙන් පෙළුණෝ වූහ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. “මහණෙනි, සිවුරු කිළියක් අනුදනිමි” යි වදාළසේක.
78. එ සමයෙහි විසල් මහනුවරැ ප්‍රණීත බත් සම්බන්ධ බත් පිළිවෙළෙක් ඉටන ලද්දේ (නියම කැරැ ගන්නා ලද්දේ) වෙයි. මහණහු ප්‍රණීත බොජුන් වළඳා වැඩුණු සිරුරු ඇත්තාහු බොහෝ ආබාධ ඇත්තෝ වෙත්. එ කල්හි කොමාරභච්ච ජීවක තෙම කිසි කටයුත්තෙකින් විසල් මහනුවරට ගියේ ය. කොමාරභච්ච ජීවක තෙම වැඩීගිය සිරුරු ඇති බොහෝ ආබාධ ඇති මහණුන් දිටී ය. දැක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් කොමාරභච්ච ජීවක තෙම “වහන්ස, දැන් භික්ෂුහු වැඩුණු සිරුරු ඇත්තාහු බොහෝ ආබාධ ඇත්තෝ වෙත්. වහන්ස, අයදිමි. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට සක්මන් මළුව ද ගිනිහල් ගෙය ද අනුදන්නා සේක් වා. මෙසේ භික්‍ෂූහු අල්පාබාධ වන්නාභ”යි මෙ බස් පැවසීය.
එ කල්හි භාග්‍යවතුන් වහන්සේ කොමාරභච්ච ජීවකයාට දැහැමි කතාවෙන් කරුණු දක්වා වදාළ සේක. එය ගැන්වූ සේක. එ උනන්දු කළ සේක. සතුටු කළ සේක. ඉක්බිත්තෙන් කොමාරභච්ච ජීවක තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් කරුණු දක්වන ලද්දේ, එය ගන්වන ලද්දේ, උනන්දු කරන ලද්දේ, සතුටු කරන ලද්දේ, හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට පිටත් වැ ගියේ ය.
එයට පසු භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කරුණෙහි දැහැමි කතා කොට මහණුන් බණවා, “මහණෙනි, සක්මන් මළුව ද ගිනිහල් ගෙය ද අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි වනාහි මහණහු තැන තැන උස් මිටි විෂම වූ සක්මන් මළුයෙහි සක්මන් කරත්. (ඔවුන්ගේ) පාදයෙන් පීඩා සහිත වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි සක්මන් මළුව සම කරන්නට අනුදනිමි” යි වදාළසේක. සක්මන් මළුව පහත් බිමක් ඇත්තේ (පහත්බිමෙහි කරන ලද්දේ) වෙයි. ජලයෙන් වැතිර ගනු ලැබේ. (වතුරට යට වේ). “මහණෙනි, සක්මන්මළුව උස්බිමක් ඇතියක් කරන්නට (පස් ආදිය ගොඩ ගසා උස් කරන්නට) අනුදනිමි” යි වදාළ සේක. පස් ගොඩ ඇදී වැටෙයි. “මහණෙනි, ගඩොළුයෙන් කළ බැම්ම ද ගල් බැම්ම ද ලී රැසින් කළ බැම්ම ද යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළ සේක.
සක්මනට නඟින්නාහු වෙහෙසෙත්, “මහණෙනි, ගඩොළු හිණ, ගල්හිණ, ලිහිණ, යැ යි හිණි (පඩිපෙළ) තුනක් අනුදනිමි” යි වදාළ සේක.
හිණට නැගෙන්නාහු ඇද වැටෙත්. “මහණෙනි, අත්වැල (හෝ ගරාදි වැට) අනුදනිමි” යි වදාළසේක.
79. එ සමයෙහි මහණහු සක්මන් මළුවේ සක්මන් කරන්නාහු ඇද වැටෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, සක්මන් පිළක් අනුදනිමි” යි වදාළ සේක.
80. එ සමයෙහි මහණහු එළිමහනෙහි සක්මන් කරන්නාහු, ශීතයෙන් ද, උෂ්ණයෙන් ද පෙළෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැලකළාහ. “මහණෙනි, සක්මන්හල අනුදනිමි” යි වදාළ සේක.
සක්මන්හලෙහි තණසුණු වැටෙයි. “මහණෙනි, ඝන දඬු අතුරා පියස්ස තනා ඇතුළතත් පිටතත් සුදු පැහැ වූ හෝ කළු පැහැ වූ හෝ බදාම ආලේප කරන්නට, ගුරු පැහැයෙන් පිරියම් හෝ කරන්නට, මාලාකම් ලතාකම් කරන්නට මෝරදැති හෝ අඳින්නට, දෑහිඟුල් ඈ පස් පැහැයෙන් වර්‍ණවත් කරන්නට ද අනුදනිමි. එහි සිවුරු වනා තබන්නට දණ්ඩක් ද සිවුරු වනන්නට රැහැනක් ද අනුදනිමි” යි වදාළසේක.
81. ගිනිහල් ගෙය පහත් බිමක ඇත්තේ වෙයි. දියෙන් වැතිරේ (යට වේ). “මහණෙනි, උස් බිමක් ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළ සේක. බිම උස් කරන්නට ගොඩ ගසන ලද පස් රැස කැඩී වැටෙයි. “මහණෙනි, ගඩොළුයෙන් කළ බැම්ම ද ගලින් කළ බැම්ම ද ලීයෙන් කළ බැම්ම ද යි බැඳුම් තුනක් රැස් කොට බඳින්නට අනුදනිමි” යි වදාළ සේක.
එය නඟින්නාහු වෙහෙසෙත්. “මහණෙනි, ගඩොළු හිණ, ගල් හිණ, දඬු හිණ යන හිණි (පඩිපෙළ) තුන අනුදනිමි” යි වදාළ සේක.
හිණෙහි නැහෙන්නාහු ඇද වැටෙත්. “මහණෙනි, අත්වැල (ගරාදිවැට) අනුදනිමි” යි වදාළසේක.
ගිනිහල්ගෙට කවුළුවෙක් නො වෙයි. “මහණෙනි, කවුළුව ද දොරබාව ද උදුක්ඛලිකාව ද උත්තරපාසකය ද අගුළුවැටිය ද කපිසීසකය ද සූචිකාව ද ඝටිකාව ද කෙසිසිදුර ද අදිනා ලනුව බහාලන සිදුර ද අදිනා ලනුව ද අනුදනිමි” යි වදාළ සේක.
82. ගිනිහල් ගෙයි බිතුපා දිරයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, මණ්ඩලිකාවක් කරන්නට අනුදනිමි” යි වදාළසේක.
ගිනිහල් ගෙට දුම් පිට වන සිදුරෙක් නැත. “මහණෙනි, දුම් පිට වන සිදුරක් (තනන්නට) අනුදනිමි” යි වදාළසේක.
83. එ සමයෙහි වූ කලි මහණහු කුඩා ගිනිහලෙහි මැද උදුන තනත්, එයට උපචාරයෙක් (වටා ඉඩෙක්) නො වෙයි. “මහණෙනි, කුඩා ගිනිහල්ගෙහි එක් පසෙකත් මහත් ගිනිහල් ගෙහි මැදත් උදුන තනන්නට අනුදනිමි” යි වදාළසේක.
ගිනිහල් ගෙහි ගින්න මුහුණ දවයි. “මහණෙනි, මුහුණ අලවන මැටි අනුදනිමි” යි වදාළසේක.
අතෙහි මැටි තෙමත්, “මහණෙනි, මැටි ඔරුවක් අනුදනිමි” යි වදාළසේක.
මැටි දුගඳ වේ. “මහණෙනි, මැට්ටෙහි සුවඳ කවන්නට අනුදනිමි” යි වදාළසේක.
ගිනිහල් ගෙහි ගින්න කය දවයි. “මහණෙනි, ගිනිහල් ගෙය තුළට තලිය ගෙනයන්නට අනුදනිමි” යි වදාළසේක.
තලියෙන් ද පාත්‍රයෙන් ද දිය (ගිනිහල් ගෙයැ) ඇතුළට ගෙන යෙත්, “දිය තබන බඳුනක් ද (දියමලාවක් නෑබිලියක් ද) අනුදනිමි” යි වදාළසේක.
84. තණපියස්ස (පිදුරුපියස්ස) ගිනිහල් ගෙය තණකොළ විසුරුවා ලීමෙන් හැඩි කෙරෙයි. (තණපියස්සේ තණකොළ (පිදුරු) වැටීමෙන් ගිනිහල් ගෙය( බිම හැඩි වෙයි.) “මහණෙනි, ඝන දඬු අතුරා පියස්ස තනා ඇතුළත පිටත බදාම ආලේප කරන්නට අනුදනිමි” යි වදාළසේක.
ගිනිහල් ගෙය මඩ සහිත වෙයි. "ගඩොළු ඇතුරුම ගල් ඇතුරුම දඬු ඇතුරුම යන ඇතුරුම් තුන අනුදනිමි” යි වදාළ සේක. (එහෙත්) මඩ සහිත ම වේ. “මහණෙනි, (බිම) සෝදන්නට අනුදනිමි” යි වදාළසේක.
දිය රැඳී සිටී. “මහණෙනි, දිය පිටව යන්නට සොරොව්වක් අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි මහණහු ගිනිහල් ගෙහි බිමැ හිඳිත්. ගාත්‍රයෝ (ශාරීරායවයෝ) කසත්. “මහණෙනි ගිනිහල් පුටුවක් අනුදනිමි” යි වදාළසේක.
85. එ සමයෙහි ගිනිහල් ගෙය (කිසිවෙකිනුත්) වටින් නො අවුරන ලද්දේ වෙයි. “මහණෙනි, ගඩොළු පවුර, ගල්පවුර, දඬු පවුර (ලීවැට) යන තුන් පවුරු වටා ලන්නට අනුදනිමි” යි වදාළ සේක.
දොරැ කොටුවෙක් නො වෙයි. “මහණෙනි, කොටුවක් අනුදනිමි” යි වදාළ සේක.
කොටුව පහත් බිමක් ඇත්තේ වෙයි. දියෙන් යට වෙයි. “මහණෙනි, උස් බිම් ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
බිම උස් කරන්නට ගොඩ ගැසූ පස ගිලිහී වැටෙයි. “මහණෙනි, ගඩොළු බැම්ම, ගල්බැම්ම, දඬුබැම්ම යන තුන් බැඳුම් ගොඩවල් අනුදනිමි” යි වදාළ සේක.
(දොරැ කොටුවට) නඟින්නාහු වෙහෙසෙත්, “ගඩොළු හිණ ගල් හිණ දඬුහිණ යන හිණි තුන අනුදනිමි” යි වදාළ සේක.
(දොරැ කොටුවට) නඟින්නාහු වැටෙත්. “මහණෙනි, අත්වැල අනුදනිමි” යි වදාළ සේක.
දොරැ කොටුවට කවුළුවෙක් නො වෙයි. “මහණෙනි, කවුළුව, දොරබාව, වටෙවුලීය, උතුරුලීය දොරපොල්ල, අගුළුකණුව, යතුරු ලීය, තරංකය, කෙසි සිදුර, අදිනා ලනුව බහාලන සිදුර, අදනා ලනුව අනුදනිමි” යි වදාළ සේක.
කොටුවෙහි තණසුණු (පිදුරුරොඩු) ගිලිහී වැටෙයි “මහණෙනි, ඝණ ලී අතුරා සුදුපැහැති හෝ කළු පැහැති හෝ බදාම ආලේප කරන්නට ගුරුපිරියම් කරන්නට, (එහි) මාලාකර්‍ම ලතාකර්‍ම මකරදන්තක (මුවරදැති සටහන්) පඤ්චපටිකා (දැහිඟුල් ඈ පස්වණක්පැහැ) කරන්නට ද අනුදනිමි” යි වදාළ සේක.
“(ගිනිගල් ගෙය වටා ලූ පවුරෙන්) ඇතුළත බිම මඩ සහිත වෙයි. කුඩා ගල් කැබැලි (බොරළු) ඉසිරුවන්නට අනුදනිමි” යි වදාළ සේක.
ගල් කැබැලි නො සෑහෙයි, “මහණෙනි, ගල්පුවරු බහා ලන්නට අනුදනිමි” යි වදාළ සේක. (එහෙත්) දිය රැදී සිටි. “මහණෙනි, සොරොව්වක් අනුදනිමි” යි වදාළ සේක.
86. එ සමයෙහි මහණහු තුමූ නග්න වූවාහු නග්න මහණක්හු වඳිත්. නග්නවූවාහු අනෙකකු ලවා නග්න මහණකුට වන්දවත්. නග්න වූවාහු නග්න මහණකුට සිරුරු පිරියම් කරත්, නග්න වූවාහු නග්නමහණකුට සිරුරු පිරියම් කරවත්. නග්න වූවාහු නග්න මහණකුට (ආහාරාදිය) දෙත්. නග්න වූවාහු පිළිගනිත්. නග්න වූවාහු කත්, නග්න වූවාහු බුදිත්, නග්න වූවාහු රස විඳිත්. නග්න වූවාහු බොත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, නග්න වැ නග්නයෙක් නො වැන්ද යුතු, නග්න වැ නග්නයකු වඳිනේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. නග්නයෙක් නග්නයකු ලවා නො වැන්දවියැ යුතු ... තමා නග්න වැ කවරෙක් හෝ නො වැන්ද යුතු ... නග්නයකු ලවා නො වැන්දවියයුතු ... නග්න වූවහු විසින් නග්නයකුහට පිරියම් නො කටයුතු ... නග්න වූවහු විසින් නග්නයකුට පිරියම් නො කැරැවියයුතු ... නග්න වූවහු විසින් නග්නයක්හට (කිසිත්) නො දියැයුතු ... නග්න වැ නො පිළිගතයුතු ... නග්න වැ නො කෑයුතු ... නග්න වැ නො බුදියයුතු ... නග්න වැ රස නො වින්ද යුතු ... නග්න වැ නො පියැ යුතු. යමෙක් බොන්නේ නම්, දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
87. එ සමයෙහි වනාහි මහණහු ගිනිහල්ගෙහි බිම සිවුරු තබත්. සිවුරු පස් තැවරුණේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ගිනිහල්ගෙහි සිවුරු එල්ලා තබන්නට ලීයක්ද සිවුරු රැහැනක් ද අනුදනිමි” යි වදාළ සේක.
වැසි වස්නා කල්හි සිවුරු තෙමෙයි. “මහණෙනි, ගිනිහල් ගෙට සිවුරු තබන්නට ශාලාවක් අනුදනිමි” යි වදාළ සේක.
ගිනිහල්ගෙයි සිවුරු තබන ශාලාව පහත් බිමක් ඇතියේ වෙයි. වතුරට යට වෙයි. “මහණෙනි, උස් බිමක් ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
බිම උස්කරන්නට ගොඩ ගැසූ පස් ගිලිහී වැටීයෙයි. “මහණෙනි ... තුන් බැඳුම් බඳින්නට අනුදනිමි” යි වදාළ සේක. නඟින්නාහු වෙහෙසෙත්. නඟින්නාහු වැටෙත්. “මහණෙනි, අත්වැල අනුදනිමි” යි වදාළ සේක.
ගිනිහල් ගෙහි සිවුරු තබන ශාලායෙහි තණරොඩු ගිලිහී වැටෙයි “මහණෙනි, පියස්ස ඝන ලී යොදා තනා, සුදුපැහැති කොට, කළු පැහැති කොට, ගුරු පිරියම් ඇති කොට හෝ ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට, එහි මාලාකම්, ලතාකම්, මකරදන්තක චිත්‍ර පඤ්චපටිකා හෝ කරන්නට අනුදනිමි ... සිවුරු එල්ලන ලීයක් ද සිවුරු එල්ලන රැහැනක් ද අනුදනිමි “යි වදාළ සේක.
එ සමයෙහි මහණහු නග්න වැ ගිනිහල් ගෙහි ද දියෙහි ද (සිරුරු) පිරියම් කරන්නට කුකුස් කරත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ගිනිහල්ගෙට පිවිසීම නමැති වැස්ම ද දියට බැසීම නමැති වැස්ම ද වස්‍ත්‍රයෙන් ඇඟ වසාගැන්ම නමැති වැස්ම දැ යි තුන් වැසුම් අනුදනිමියි” වදාළ සේක.
88. එ සමයෙහි ගිනිහල්ගෙහි ජලය නැත. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ළිඳක් අනුදනිමි” යි වදාළ සේක.
ළිඳේ ඉවුර කැඩී වැටෙයි. “මහණෙනි, ගඩොළු බැම්ම, ගල් බැම්ම, දඬුබැම්ම, යන බැඳුම් තුන අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
ළිඳ පහත් බිමක් ඇතියේ වෙයි. දියෙන් වැසෙයි. “මහණෙනි, උස් බිම් ඇතියක් කරන්නට (පස් ආදිය ගොඩ ගසා බිම උස්සන්නට) අනුදනිමි” යි වදාළ සේක.
ගොඩ ගැසූ පස් රැස ඇද හැලෙයි ... එයට නඟින්නාහු වෙහෙසෙත් ... නඟින්නාහු වැටෙත්. “මහණෙනි, අත්වැල (ගරාදිවැට) අනුදනිමි” යි වදාළ සේක.
89. එ සමයෙහි මහණහු වැලින් ද කාබහනින් ද (කයැ බඳනා පටියෙන් ද) දිය අදිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, දිය අදනා කඹයක් අනුදනිමි” යි වදාළ සේක.
අත් පෙළෙන්නෝ වේ. “මහණෙනි, තුලාව (ආඬියා) ද කරකටකය ද (අතින් හෝ ගවයන් ලවා හෝ ඈතට ඇදගෙන යෑමෙන් දිය අදනා යන්ත්‍රය ද) චක්‍රවර්තය (ඝටී යන්ත්‍රය) ද අනුදනිමි” යි වදාළ සේක.
බොහෝ බඳුන් බිඳේ. “මහණෙනි, ලොහොමුවා කළය ද දඬුමුවා කළය ද සම් කඩින් කළ භාජනය ද යන තුන් කළ අනුදනිමි” යි වදාළ සේක.
90. එ සමයෙහි මහණහු එළිමහන් බිමෙහි දිය අදනාහු (ශීත සෘතුයෙහි) ශීතයෙන් ද (උෂ්ණ සෘතුයෙහි) උෂ්ණයෙන් ද පෙළෙත්. භාග්‍යවතුන් වහන්සේට , මෙ පවත් සැලකළහ. “මහණෙනි, ළින් හලක් අනුදනිමි' යි වදාළ සේක.
ළින්හලෙහි තණරොඩු වැටෙයි. “මහණෙනි, ඝන දඬු අතුරා පියස්ස තනා ඇතුළතත් පිටතත් බදාම ආලේප කරන්නට, සුදු පැහැ කළු පැහැ කරන්නට, ගුරු පිරියම් කරන්නට, මල්කම් ලියකම් කරන්නට, මුවරදැති හෝ සිතියම් කරන්නට, දෑහිඟුල් ආදියෙන් පස් වණක් පැහැ කරන්නට” අනුදනිමි. සිවුරු වනන දණ්ඩ ද සිවුරු වනන ලනුව ද අනුදනිමි” යි වදාළ සේක.
ළිඳ නො වසන ලද්දේ වේ. තණරොඩු වලින්ද දූවිල්ලෙන් ද වැසෙයි. “මහණෙනි, (ළිඳ වසා තබන්නට) වැස්මක් (පියනක්) අනුදනිමි” යි වදාළ සේක.
ළින්හලෙහි දියබඳුනෙක් නැත. “මහණෙනි, දියඔරුව ද දිය කටාරම ද අනුදනිමි” යි වදාළ සේක.
91. එ සමයෙහි මහණහු අරමෙහි ඒ ඒ තැන නාත්. අරම මඩ සහිත වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, (නාන පිණිස) වළක් අනුදනිමි” යි වදාළ සේක.
නාන වළ වටින් නො හැවුරුණේ වෙයි. මහණහු නාන්නට ලජ්ජිත වෙත්. “මහණෙනි, ගඩොළු පවුර, ගල් පවුර, දඬුපවුර, යන පවුරු තුන අනුදනිමි” යි වදාළ සේක.
නාන වළ මඩ සහිත වෙයි. “මහණෙනි, ගඩොළු ඇතුරුම, ඇතුරුම, ලී ඇතුරුම යන තුන් ඇතුරුම් අනුදනිමි” යි වදාළ සේක.
දිය ගලා නො ගොස් රැඳෙයි. “මහණෙනි, දිය ගලා යනු පිණිස සොරොව්වක් (තනන්නට) අනුදනිමි” යි වදාළ සේක.
92. එ සමයෙහි භික්ෂුන්ගේ සිරුරු ශීතල වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, දිය පිසිනා රෙදි කඩෙකින් පිස දිය ඉවත් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
එ සමයෙහි එක්තරා උවසුවෙක් සඞ්ඝයා සඳහා පොකුණක් කරවනු කැමැත්තේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, පොකුණක් අනුදනිමි” යි වදාළ සේක.
පොකුණේ ඉවුර කැඩී වැටෙයි. “මහණෙනි, ගඩොළු බැම්ම, ගල් බැම්ම, දඬු බැම්ම යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළ සේක.
නඟින්නාහු වෙහෙසෙත්. “මහණෙනි, ගඩොළුහිණ ද ගල් හිණ ද දඬුහිණ ද යන හිණ තුන අනුදනිමි” යි වදාළ සේක.
නඟින්නාහු වැටෙත්. “මහණෙනි, ඇත්වැලක් (ගරාදි වැටක්) අනුදනිමි” යි වදාළ සේක.
පොකුණෙහි දිය පරණ වෙයි. “මහණෙනි, (පිටතින්) දිය ගලා ඊමට ඇළක් ද දිය පිට වීමට සොරොව්වක් ද අනුදනිමි” යි වදාළ සේක.
එ සමයෙහි එක්තරා මහණෙක් සඬ්ඝයාගේ පුයෝජනය පිණිස කැණිමඬල වටා සතරැස් පුවරු ආදිය සවිකොට කළ පියසි සහිත ගිනිහල් ගෙයක් කරන්නට කැමැති වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. “මහණෙනි, කැණිමඬල වටා සතරැස් පුවරු ආදිය තබා කළ පියැසි සහිත ගිනිහල්ගෙය අනුදනිමි” යි වදාළ සේක.
93. එ සමයෙහි සවග මහණහු සාරමසක් හිඳිනා කඩෙන් වෙන් වැ වෙසෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. “මහණෙනි, සාරමසක් හිඳින කඩින් වෙන් වැ නො විසියැ යුතු, යමෙක් (එසේ) එයින් වෙන් වැ වසන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
94, එ සමයෙහි සවග මහණහු මල් විසුළ යහන්හි වැදහොත්. මිනිස්සු විහාර චාරිකායෙහි ඇවිදුනාහු එය දැක “කාමභෝගී ගිහියන් බඳුහ” යි ලාමක කොට සිතත්, නින්දා කෙරෙත්, අගුණ කතා පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, මල් විසුළ යහන්හි නො සැතැපියැ යුතු. යමෙක් එහි සැතැපෙන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
එ සමයෙහි මිනිස්සු සුවඳ දෑ ද මල් ද ගෙන ආරාමයට එත්. මහණහු කුකුස් කරන්නාහු නො පිළිගනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. "මහණනි, සුවඳ දෑ පිළිගෙන කවුළුයෙහි (දොර පළුවෙහි) පසඟුල් දෙන්නට ද මල් පිළිගෙන වෙහෙරෙහි එක් පැත්තෙක තබන්නට ද අනුදනිමි” යි වදාළ සේක.
95. එ සමයෙහි සඩඝයාට නමතකයෙක් (එළුලොමින් කළ නො වියන ලද ඇතිරියක් හෝ සම්කඩක් සේ පරිභෝග කළ යුතු උපකරණයෙක්) උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ බවත් සැලකළහ. “මහණෙනි, නමතකය අනුදනිමි” යි වදාළ සේක.
එ කල්හි මහණුනට ‘නමතකය ඉටියැ යුතු ද නොහොත් විකැපිය යුතු ද’ යි මේ සිත විය. “මහණෙනි, නමතකය නො ඉටියැ යුතු, නො ද විකැපියැ යුතු යැ' යි වදාළ සේක.
එ සමයෙහි සවග මහණහු තමෙන් හෝ රිදියෙන් කළ පේලායෙහි (පෙට්ටියක් වැනි උපකරණයෙක්හි) වළඳත්. මිනිස්සු “මොහු කාමභෝගී ගිහියන් බඳුවහ” යි ලාමක කොට සිතත්, නින්දා කෙරෙත්, අගුණ පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. මහණෙනි, තඹින් හෝ රිදියෙන් කළ පේළායෙහි නො වැළදිය යුතු යැ' යි වදාළ සේක.
96. එ සමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. හේ වළඳනුයේ අතින් පාත්‍රය දරා ගන්නට නො හැකි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, දණ්ඩකාධාරකයක් (ලීයෙන් කළ පාත්‍රාධාරකයක්) අනුදනිමි' යි වදාළ සේක.
97. එ සමයෙහි සවග මහණහු එක් බඳුනෙහි වැළඳීම ද කරත්, එක් තලුතැටියෙහි පැන් පීම ද කෙරෙත්, එක් ඇඳෙහි වැද හෝනාහු ද වෙත්, එක් ඇතිරියක් ඇත්තාහු ද (එක් ඇතිරියෙහි ද) වැදහොත්, (සැතපෙත්) එක් පොරෝනාවක් ඇත්තාහු ද වැදහොත් (සැතපෙත්). ‘කාමභෝගී ගිහියන් බඳුවහ' යි මිනිස්සු ලාමක කොට සිතත්, නින්දා කෙරෙත්, අගුණ පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. “මහණෙනි, එක් බඳුනෙහි නො වැළඳියැ යුතු, එක් තලු තැටියෙහි නො පියැ යුතු, එක් ඇඳෙහි නො වැදැහියැයුතු, එක් ඇතිරියක් ඇත්තවුන් වැ නො වැද හියැයුතු, එක් පොරෝනාවක් ඇත්තවුන් වැ නො වැදැහියැ යුතු, එක් ඇතිරියක් එක් පොරෝනාවක් ඇත්තවුන් වැ නො වැද හියැ යුතු, යමෙක් එසේ වැදහොන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
98. එ සමයෙහි වඩ්ඪ නම් ලිචඡවී තෙම මෙත්තිය භූම්මජක යන භික්‍ෂුදෙනමගේ යහළුවෙක් වෙයි. එ කලැ වඩ්ඪ ලිචඡවී තෙම මෙත්තිය භූම්මජක දෙ නම කරා එළැඹියේ ය. එළැඹ, ‘ආර්යයෙනි, වඳිමි’ යි කීය. මෙසේ කී කල මෙත්තිය භූම්මජක දෙ නම කිසිත් නො කීහ. දෙවෙනි වර ද වඩ්ඪ ලිචඡවී තෙම 'ආර්යයෙනි, වඳිමි’ යි කී ය. දෙවෙනි වර ද මෙත්තිය භූම්මජක දෙ නම කිසිත් නො කීහ. තෙවෙනි වර ද වඩ්ඪ ලිචඡවී තෙම ආර්යයෙනි, වඳිමි’ යි කී ය. තෙවෙනි වර ද ඔහු නිහඬ වූහ. ‘ආර්යයනට මම් කවර වරදක් කෙරෙම් ද? කුමට ආර්යයෝ මට නො දොඩත් දැ?' යි හේ ඇසී ය. “එසේ ම ය, ඇවැත් වඩ්ඪයිනි, මල්ලරාජපුත්‍ර දබ්බයා විසින් පෙළනු ලබන අප නො තකා උදාසීන වුහු” යැ යි ඔහු කීහු.
‘ආර්යයෙනි, මම් කුමක් කරන්නෙම් දැ?’ යි. වඩ්ඪ පුළුවුත.
‘ඉදින් වඩ්ඪයෙනි, තෙපි කැමැති වන්නහු නම්, අද ම භාග්‍යවතුන් වහන්සේ මල්ලපුත්‍ර දබ්බයා මෙ සස්නෙන් පලවා හරින්නේ යැ’ යී ඔහු කීහ.
‘ආර්යයෙනි, මම් කුමක් කරන්නෙම් ද? කුමක් මා වීසින් කරන්නට හැකි දැ?’ යි. වඩ්ඪ පුළුවුත.
“ඇවැත් වඩ්ඪයිනි, තෙපි මෙහි එවු. භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹැ, ‘වහන්ස, යම් දිසාවක් බිය නැති, පීඩා නැති, උවදුරු නැති වියැ යුතු ද, ඒ මේ දිශාව බිය සහිත ද පීඩා සහිත ද උවදුරු සහිත ද වෙයි. යම් දෙසෙක මඳකුත් සුළං නැත් ද එයින් සුළං හැමී ය. ජලය ගිනි ගත්තා බඳු ය. මල්ල පුත්‍ර දබ්බයන් වහන්සේ විසින් මගේ භාර්යාව දුෂිත විය. වහන්ස, මෙය නො නිසි ය, මෙය නො සුදුසු යැ’ යි කියන්නැ” යි ඔහු කීහු,
‘එසේ යැ ආර්යයෙනි’ යි කියා වඩ්ඪ ලිච්ඡවී තෙම මෙත්තිය භූම්මජක මහණුනට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ ඔබ වැඳ පසෙක ඉඳ ගත්තේ ය. පසෙක හුන්නේ ම “වහන්ස, යම් දිශාවක් බිය නැති, පීඩා නැති, උවදුරු නැති වියැ යුතු ද ඒ මේ දිශාව බිය සහිත ද පීඩා සහිත ද උවදුරු සහිත ද වෙයි. යම් දෙසෙක මඳකුත් හුළං නැද්ද, එයින් සුළං හැමී ය. ජලය ගිනි ගත්තා බඳු ය. මල්ලපුත්‍ර දබ්බයන් වහන්සේ විසින් මගේ භාර්යාව දුෂිත විය. වහන්ස, මෙය නො නිසි යැ. මෙය නො සුදුසු යැ” යි භාග්‍යවතුන් වහන්සේට කීය.
එ කලැ භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කරුණෙහි භික්ෂු සඬ්ඝයා රැස් කරවා, ආයුෂ්මත් දබ්බ තෙරුන් බණවා, “දබ්බයිනි, මේ වඩ්ඪ ලිච්ඡවීන් කියන සේ වූ දැයක් තෙපි සිහි කරවු ද?” යි පුළුවුත් සේක.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් සේ මා දන්නා සේක් ද මම් එබඳුයෙමි” යි ආයුෂ්මත් දබ්බ තෙරණුවෝ වදාළාහ.
භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වර ද ... තෙවෙනි වර ද “දබ්බයිනි, මේ වඩ්ඪ ලිච්ඡවීන් කියන සේ වූ දැයක් කළා තෙපි සිහි කරවු දැ?” යි පුළුවුත් සේක.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් සේ මා දන්නා සේක් ද මම් එසේ වෙමි” යි දබ්බ තෙරණුවෝ වදාළාහ.
“දබ්බයෙනි, නුවණැත්තෝ මෙසේ අවුල් නිරවුල් නො කරත්, ඉඳින් තොප විසින් කරන ලද්දේ නම් ‘කරන ල දැ’ යි කියවු. ඉඳින් නො කරන ලද්දේ නම්, ‘නො කරන ල දැ’ යි කියවු” යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“වහන්ස, මම් , යම් දිනෙක (ආර්ය ජාතියෙහි) උපන්නෙම් ද, එ තැන් සිට ස්වප්නාන්තයෙනු දු මෙවුන්දම් සෙවියෙකිමි යි නො දනිමි. නින්දෙන් පිබිද සිටින්නෙම් (එබන්දක් කෙළෙම් යැ) යනු කියනුම කවරේ දැ” යි තෙරණුවෝ වදාළාහ.
එ කල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක: “මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිචඡවී හට පත්තනික්කුජ්ජනය (පාත්‍රය යැටිකුරු කිරීම - ඔහුගේ ගෙයින් භික්‍ෂාව නො පිළිගැන්මේ සම්මතිය) කෙරේවා, ඔහු සංඝයා හා සම්භෝග නැත්තකු කෙරේවා (ඔහු දුන් දැයක් සංඝයා විසින් නො පිළිගත යුතු සේ වූ කෙනකු ලෙස සම්මත කෙරේවා). මහණෙනි, අඞ්ග අටෙකින් සමන්විත උපාසකයාට පත්තනික්කුජ්ජනය කළයුතු. (කවර අටකින් ද යත්:) භික්‍ෂූනට අලාභය පිණිස (ලැබෙන දෑ වළක්වන්නට) උත්සාහ කෙරෙයි ද, භික්‍ෂූනට අනර්ථ පිණිස උත්සාහ කෙරෙයි ද, භික්‍ෂූනට ඔවුන් (වසනා තැන) නො විසීම පිණිස ප්‍රයෝග කෙරෙයි ද, භික්‍ෂූනට ආක්‍රොශ පරිභව කෙරෙයි ද, භික්‍ෂූන් භික්‍ෂූන් කෙරෙන් බිඳුවයි ද, බුදුනට දොස් නගයි ද, ධමීයට දොස් නගයි ද, සඞ්ඝයාට දොස් නගයි ද මේ අඞ්ග අට ය. මහණෙනි, මේ අඞ්ග අටින් සමන්විත උපාසකයාට පත්තනික්කුජ්ජනය කෙරේවා.
තවද මහණෙනි, මෙ මතු කියන පරිද්දෙන් පත්තනික්කුජ්ජනය කළ යුතු: ව්‍යක්ත වූ ප්‍රතිබල වූ භික්‍ෂු නමක් විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වීයැ යුතු:
“සඞ්ඝයා මගේ වචනය අසාවා. වඩ්ඪ ලිචඡවි තෙමේ ආයුෂ්මත් මල්ලපුත්‍ර දබ්බ තෙරුනට අමූලක වූ ශීලවිපතතියෙන් චෝදනා කෙරෙයි. ඉදින් සඞ්ඝයාට සුදුසු කල් වී නම්, සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිච්ඡවීහට පත්තනික්කුජ්ජනය කරන්නේ ය සඞ්ඝයා හා සමෙහාග නැත්තකු කරන්නේ ය.” මේ ඥප්තිය (දැනුම්දීම) යැ.
“වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. වඩ්ඪ ලිච්ඡවී තෙමේ ආයුෂ්මත් මල්ලපුත්‍ර දබ්බ තෙරුනට අමූලක ශීලවිපතතියෙන් චෝදනා කෙරෙයි. සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිච්ඡවීහට පත්තනික්කුජ්ජනය කෙරෙයි. ඔහු සඞ්ඝයා හා සමෙහාග රහිතයක්හු කරයි. වඩ්ඪ ලිච්ඡවියාට පනතනික්කුජජනය කිරීම, ඔහු සඞඝයා හා සමෙහාගය නැත්තක්හු කිරීම යම් ආයුෂ්මතකුට රිසියෙන්නේ නම් හේ නිහඬවේවා. යමකුහට නො රිසියෙන්නේ නම් හේ කියාවා. සඞ්ඝයා විසින් වඩ්ඪ ලිච්ඡවීහට සඞ්ඝයා හා සමෙහාගය නැති පත්තනික්කුජ්ජනය කරන ලද්දේ වෙයි. එය සචහයාට රිසියෙයි, එහෙයින් නිහඬ වෙයි. මෙසේ මෙය දරමි (පිළිගනිමි)” යනු යැ.
99. එ කල්හි වනාහි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පෙරවරු සෙමෙහි හැඳ පෙරෙව ගෙන පාසිවුරු ගෙන වඩ්ඪ ලිවජවීහුගේ ගෙය වෙත එළඹුණාහ. එළැඹ වඩ්ඪ ලිචඡවියා බණවා, “ඇවැත් වඩ්ඪයිනි, සඞ්ඝයා විසින් ඔබට පත්තනික්කුජ්ජනය කරන ලදි. ඔබ , සඞ්ඝයා හා සමෙහාග නැත්තෙක් කරන ලදහ” යි වදාළාහ. එ කල්හි වඩ්ඪ ලිචඡවී තෙම “සඞ්ඝයා විසින් මට පත්තනික්කුජ්ජනය කර්‍මය කරන ලද්දේ ල, සඞ්ඝයා හා සමෙහාග නැතියෙකිම් වෙමි” යි කියා එහි ම මුසපත් වැ වැටිණ. ඉක්බිති වඩ්ඪ ලිචඡවීහුගේ මිත්‍රාමාත්‍යයෝ ද නෑසහලේ නෑයෝ ද වඩ්ඪ ලිචඡවියා බණවා, “ඇවැත් වඩ්ඪයිනි, ශෝක නො කරන්න, නො හඬන්න. අපි භාග්‍යවතුන් වහන්සේ ද භික්‍ෂුසඞ්ඝයා ද පහදවන්නම්හ” යි කීහ.
ඉක්බිත්තෙන් වඩ්ඪ ලිචඡවී තෙම අඹුදරුවන් සහිත වැ, මිත්‍රාමාත්‍යයන් සහිත වැ, නෑසහ ලේ නෑයන් සහිත වැ තෙත් වස්ත්‍ර ඇතියේ තෙත් කෙහෙ ඇතියේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ ඔබ පාමුල හිසින් වැටී වැඳ, භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, යම්බඳු වූ මම් ආර්ය වූ මල්ලපුත්‍ර දබ්බ තෙරුන් වහන්සේට අමූලක වූ ශීලවිපතතියෙන් චෝදනා කෙළෙම් ද, එසේ චෝදනා කළ හැකි පමණට ම මහත් අඥානයකු වූ බැවින්, එ පමණට ම මහත් සේ මුළා වූවකු බැවින්, එ පමණට ම කෞශල්‍ය නැත්තකු වූ බැවින් වරද මා ඉක්මැ ගියේ ය. (මම එ බඳු වරදකට යට වීමි). භාග්‍යවතුන් වහන්සේ ඒ මාගේ වරද මතු එබඳු දැයින් වළකිනු පිණිස වරද වශයෙන් පිළිගන්නා සේක්වා (එය මාගේ වරද යැ යි මා කියන වචනය පිළිගන්නා සේක්වා)” යි. මේ වචන කී ය. “ඇවැත් වඩ්ඪයිනි, යම් බඳු වූ තෙපි යම් හෙයෙකින් මල්ලපුත්‍ර දබ්බයනට අමූලක ශීලවිපතතියෙන් චෝදනා කළහු ද, එහෙයින් ම ඒ වරද එසේ කිරීමට තරම් ම අඥාන වූ මුළා වූ කෞශල්‍ය රහිත වූ තොප ඉක්මැ ගියේ ය. ඇවැත් වඩ්ඪයිනි, යම් හෙයෙකින් ම තෙපි වරද වරද වශයෙන් දැක ධර්‍මය වූ පරිදි (එයට) ප්‍රතිකර්‍ම කරවු ද එහෙයින් අපි තොපගේ ඒ (වරද පිළිගැන්මේ) වචනය පිළිගනිමු. වඩ්ඪයිනි, යමෙක් (තමා කළ) වරද වරද වශයෙන් දැක ධර්‍මය වූ පරිදි එයට පිළියම් කරන්නේ නම්, මත්තෙහි සංවරයට පැමිණෙන්නේ නම්, මෙය ආර්ය විනයයෙහි වැඩීමෙකැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක: “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිචඡවී හට පත්තඋක්කුජ්ජනය කෙරේවා (පත්තනික්කජජ්න කර්‍මය අවලංගු කෙරේ වා) ඔහු සඞ්ඝයා සමෙහාගය ඇත්තකු කෙරේවා. මහණෙනි, අංග අටෙකින් සමන්විත උපාසකයාට පත්තඋක්කුජ්ජන කර්මය කළයුතු. (කවර අඞ්ග අටෙකින් සමන්විතයාට ද යත්:) භික්‍ෂූනට අලාභය පිණිස තැත් නො කෙරේ ද, භික්‍ෂූනට අවැඩ පිණිස ප්‍රයෝග නො කෙරේ ද, භික්‍ෂූන් වසන තැනින් නෙරැපීම පිණිස ප්‍රයෝග නො කෙරේ ද, භික්‍ෂූනට ආක්‍රොශ නො කෙරේ ද පරිභව නො කෙරේ ද, භික්‍ෂූන් භික්‍ෂූන් කෙරෙන් නො බිඳුවා ද, බුදුනට දොස් නො නඟා ද, දහමට දොස් නො නඟා ද, සඟනට දොස් නො නඟා ද, මහණෙනි, මේ අඞ්ග අටින් යුත් උපාසකයාට පත්තඋක්කුජ්ජනය කරන්නට (පත්තනික්කුජ්ජන කර්මයෙන් ඔහු නිදහස් කරන්නට) අනුදනිමි” යනු යි.
මහණෙනි, පත්ත උක්කුජ්ජන ය වනාහි මෙසේ කළයුතු: මහණෙනි, ඒ වඩ්ඪ ලිචඡවීන් විසින් සඞ්ඝයා කරා එළැඹ, උතුරු සළුව සකස් කොට භික්‍ෂුන්ගේ පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා ගෙන “වහන්ස, මට සඞ්ඝ තෙමේ පත්තනික්කුජ්ජන කෙළේ යැ. සඞ්ඝයා හා සමෙහාග නැත්තෙක් (කරන ලද්දෙම්) වෙමි. වහන්ස, ඒ මම් මනාව පවතිමි. ලොම් හෙළමි (යටත් පහත් ව පවතිමි). නිස්තරණය පිණිස (මට පැනවූ දඬුවමින් මිදෙනු පිණිස) කළයුතු දෑ කරමි. සඞ්ඝයා ගෙන් පත්තඋක්කුජ්ජන ය ඉල්ලමි” යි මෙසේ කියැයුතු වන්නේ ය. දෙවෙනි වර ද තෙවෙනි වර ද මෙසේ ම යාච්ඤ කළයුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සංඝ තෙමේ මෙසේ දැන්වියැයුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මා ගේ වචනය අසාවා. සඩඝයා විසින් වඩ්ඪ ලිචඡවීහට පත්තනික්කුජ්ජනය කරන ලද්දේ ය, සඞ්ඝයා හා සමෙහාග නැතියෙක් කරන ලද්දේ ය. හේ මනා වැ පවතී. අනුලොම් වැ (යටත් පහත් වැ-වචනයට අවනත වැ) පවතී: නිස්තරණය පිණිස (පැන වූ දඬුවමින් මිදෙනු පිණිස) කළ යුතු දෑ කෙරෙයි. පත්තඋක්කුජ්ජනය සඞ්ඝයාගෙන් ඉල්ලයි. ඉඳින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ වී නම්, සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිවජවිහට පත්තඋක්කුජ්ජනය කෙරේවා, ඔහු සඞ්ඝයා හා සමෙහාග ඇතියකු කෙරේවා”. මේ ඥප්තිය යැ.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයා විසින් වඩ්ඪ ලිච්ඡවීහට පත්තනික්කුජ්ජනය කරන ලද්දේ ය, හේ සඞ්ඝයා හා සමෙහාගය නැත්තෙක් කරන ලද්දේ ය. හෙ තෙම මනා වැ පවතී. යටත් පහත් වැ පවතී. නිස්තරණය පිණිස පවතී. සඞ්ඝයාගෙන් පත්තඋක්කුජ්ජනය ඉල්ලයි. සඞ්ඝ තෙමේ වඩ්ඪ ලිච්ඡවීහට පත්ත උක්කුජ්ජනය කෙරෙයි. ඔහු සඞ්ඝයා හා සමෙහාග ඇතියකු කෙරෙයි. වඩ්ඪ ලිච්ඡවීහට පත්තුක්කුජ්ජනය කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ නම් හේ නිහඬ වේවා. යමක්හට නො රිසියෙන්නේ නම් හේ කියාවා.
සඞ්ඝයා විසින් වඩ්ඪ ලිච්ඡවීහට පත්තුක්කුජ්ජනය කරන ලද්දේ ය, සඞ්ඝයා හා සමෙහාගය ඇත්තෙක් කරන ලද්දේ ය. (එය) සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඩ ය. මෙ කරුණ මෙසේ දරමි (සලකමි)” යනු යි.
දෙවෙනි බණවර නිමියේ ය.
තුන්වන බණවර
100. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ විසල්පුර කැමැති තාක් වැස, භග්ග රට බලා සැරි සරා වඩින්නට පිටත් වූ සේක. පිළිවෙළින් සැරිසරා, වඩනා සේක්, භග්ග රටට බට සේක. එ කල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භග්ග රට සුංසුමාරගිර නුවරට නො දුරු නො ළං තන්හි වූ භෙසකලා වනයෙහි වැඩ වසන සේක.
එ කලැ වනාහි බෝධි රාජකුමාරයා විසින් කොකනද නම් පහයෙක් කරවන ලද නොබෝ කල් ඇත්තේ, මහණක්හු හෝ බමුණක්හු හෝ මනුෂ්‍ය වූ කිසිවක් හු විසින් වාසය නො කරන ලද වෙයි.
ඉක්බිති බෝධි රාජකුමාර තෙම සඤ්ජිකාපුත්‍ර මාණවකයා බණවා, “සගය, සඤ්ජිකාපුත්‍රය, මෙහි එව. භාග්‍යවතුන් වහන්සේ වෙත යා. ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා හිස නමා වඳුව, ආබාධ නැති බව, නීරෝග බව, හෑල්ලු සිරුර ඇති බව, ශරීර ශක්තිය ඇති බව, සැප විහරණ ඇති බව විචාරව. ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා සෙට දවසට බෝධි රාජකුමාරයාගේ බත ඉවසන සේක් වා’ යි මෙසේත් කියව” යි කීයේ ය.
සඤ්ජිකාපුත්‍ර මාණවක “එසේ ය. පින්වතැ' යි කියා බෝධි රාජකුමාරයාට පිළිවදන් දී, භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ, භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය, සතුටට කරුණු වූ සිතැ රැඳවිය යුතු වූ කථාව නිමවා, එක් පසෙක හිඳ ගත්තේ ය. සඤ්ජිකා පුත්‍ර මාණවක තෙම මෙසේ එක් පසෙක හුන්නේ ම, “බෝධි රාජකුමාර තෙම භවත් ගෞතමයන්ගේ පා හිස නමා වඳී. නිරාබාධ බව, නො ලෙඩ බව, හෑල්ලු සිරුර ඇති බව, සිරුරු බල ඇති බව, සැප විහරණ ඇති බව විචාරයි. ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සභුන් හා සෙට දවසට බෝධි රාජ කුමාරයාගේ බත ඉවසන සේක්වා' යි මෙසේත් කියා” යැයි මේ වචන කී ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් එය ඉවැසූ සේක:
ඉක්බිත්තෙන් සඤ්ජිකාපුත්‍ර මාණවක තෙම භාග්‍යවතුන් වහන්සේ ඒ නිමන්ත්‍රණය ඉවැසූ නියාව දැන, හුනස්නෙන් නැගී බෝධි රාජ කුමාරයා කරා ගියේ ය. ගොස්, “බෝධි රාජකුමාර තෙම භවත් ගෞතමයන්ගේ පා හිස නමා වඳී, නිරාබාධ බව, නො ලෙඩ බව, හෑල්ලු සිරුර ඇති බව, ශරීර ශක්තිය ඇති බව, සැප විහරණ ඇති බව විචාරයි. 'වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා සෙට දවසට බෝධි රාජකුමාරයාගේ බත ඉවසන සේක්වා' යි මෙසේත් කියා යැ යි. අපි භවත්හුගේ ව-චනයෙන් ඒ භවත් ගෞතමයනට මෙසේත් කීම්හ” යි බෝධි රාජකුමාරයාට මෙ බස් පැවසී ය.
101. ඉක්බිති බෝධි රාජකුමාර තෙම ඒ රැය ඇවෑමෙන් ප්‍රණීත ඛාද්‍ය භොජ්‍ය පිළියෙළ කරවා, පැසිම් හිණිපෙත තෙක් කොකනද පහය (බිම) සුදුවතින් වස්වා, සඤ්ජිකාපුත්‍ර මාණවකයා බණවා, “යහළු සඤ්ජිකාපුත්‍ර, එන්න, භාග්‍යවතුන් වහන්සේ කරා යව, ගොස් ‘වහන්ස, බත පිළියෙළ කොට නිමියේ ය, වඩින්නට කාලය යැ’ යි භාග්‍යවතුන් වහන්සේට කාලය දන්වව” යි කී ය. 'එසේ ය, පින්වතැ' යි කියා සඤ්ජිකාපුත්‍ර මාණවක තෙම බෝධි රාජකුමාරයාට පිළිවදන් අස්වා, භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ, 'භවත් ගෞතමයිනි, දැන් වඩින්නට කල් වේ. බත පිළියෙළ කොට නිමියේ යැ’ යි භාග්‍යවතුන් වහන්සේට කාලය දැන්වී ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පෙරවරු සමයෙහි හැඳ පෙරව, පාසිවුරු ගෙන බික් සඟන කැටුව බෝධි රාජකුමාරයාගේ නිවෙස කරා වැඩිසේක. එ වේලෙහි වනාහි බෝධි රාජකුමාර තෙම භාග්‍යවතුන් වහන්සේ වඩිනු බලාපොරොත්තු වනුයේ බිහිදොරටුයෙහි සිටියේ වේ. බෝධි රාජකුමාර තෙම දුරින් ම වඩනා භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක එතැනින් පෙර ගමන් කොට භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ පෙරටු කොට ගෙන කොකනද පහය වෙත එළැඹියේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පැසිම් හිණිපෙත ළඟ වැඩසිටි සේක. එ කල්හි බෝධි රාජකුමාර තෙම ‘වහන්ස, යම් හෙයකින් මෙය මට දික් කලක් හිත වැඩ පිණිස වන්නේ ද එහෙයින් භාග්‍යවතුන් වහන්සේ (මේ) වස්ත්‍රයන් ඇක්මෙනසේක් වා, සුගතයන් වහන්සේ (මේ) වස්ත්‍රයන් ඇක්මෙනසේක් වා' යි කී ය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ නිහඩ වූ සේක. දෙවනු ද ... තෙවනු ද බෝධි රාජකුමාර තෙම, 'යම් හෙයකින් මෙය මට දික් කලක් හිත වැඩ පිණිස වන්නේ ද එ හෙයින් භාග්‍යවතුන් වහන්සේ (මේ) වස්ත්‍රයන් ඇක්මෙන (පාගා වඩිනා) සේක් වා' යි කීයේ ය. එ විට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් දෙස හැරී බැලූසේක. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ බෝධි රාජකුමාරයාට ‘රාජකුමාරය, වස්ත්‍රයන් හකුළාවා, භාග්‍යවතුන් වහන්සේ රෙදි පියවිල්ල නො ඇක්මෙන (නො පාගන) සේක. තථාගතයන් වහන්සේ පශේවිම ජනතාවට අනුකම්පා කරන සේක' යි කීහ.
එකල්හි බෝධි රාජකුමාර තෙම වස්ත්‍ර හකුළවා කොකනද පහයේ උඩු මහල් තලයෙහි අසුන් පැනැවී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කොකනද පහය නැඟ පනවන ලද අසුන්හි බික් සඟන හා වැඩහුන්සේක. ඒ වේලෙහි බෝධි රාජකුමාර තෙම බුදුපාමොක් සඟන ප්‍රණීත ඛාද්‍යයෙන් හොජ්‍යයෙන් සියතින් සතප්වා මොනවට පවරවා (පෙරැත්ත කොට කොට බොජුන් වළඳවා), බොජුන් වළදා අවසන් කළ, පාත්‍රයෙන් ඉවතට ගත් ඇතැති භාග්‍යවතුන් වහන්සේ සමීපයේ එක් පසෙක හිඳ ගත්තේ ය.
එසේ එක් පසෙක හුන් බෝධි රාජකුමාරයාට භාග්‍යවතුන් වහන්සේ ධර්‍මකථායෙන් කරුණු දක්වා, එය මොනොවට ගන්වා, ඒ ගැන්ම තියුණු කොට, එහි ඵල දැක්වීමෙන් සතුටු කොට, හුනස්නෙන් නැගී නික්ම වැඩිසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා කොට භික්‍ෂුන් බණවා, "වස්ත්‍රයෙන් කළ පියවිල්ල (පාවාඩය) නො ඇක්මිය යුතු ය, යම් මහණෙක් ඇක්මෙන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේයැ” යි වදාළ සේක.
102. එ සමයෙහි වනාහි එක්තරා ස්ත්‍රියක් පහ වූ දරුගැබ් ඇත්තී, භික්‍ෂූන් නිමතා වස්ත්‍ර පනවා (බිමට රෙදි එළා) “වහන්ස, වස්ත්‍රය ඇක්මුන මැනැවැ” යි කීවා ය. භික්‍ෂූහු කුකුස් කරන්නාහු නො ඇක්මෙත්.
“වහන්ස, මංගල පිණිස වස්ත්‍රය. ඇක්මෙන්නැ” යි. ඕ කීවා ය. භික්‍ෂූහු කුකුස් කරන්නාහු නො ඇක්මුණාහ.
එකල්හි ඒ ස්ත්‍රී “කෙසේ නම් ආර්යයෝ මංගල පිණිස ඉල්ලනු ලබන්නාහු රෙදි පියැවිල්ල නො ඇක්මෙන්නාහු දැ” යි අවඥා කෙරෙයි, නුගුණ කියයි, දොස් කතා පතුරුවයි. භික්‍ෂූහු අවඥා කරන, නොගුණ කියන, දොස් කතා පතුරුවන ඒ ස්ත්‍රියගේ වචන ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ ... “මහණෙනි, ගෘහස්ථයෝ මාංගලිකයහ මහණෙනි, මංගල පිණිස ගිහියන් විසින් ඉල්ලනු ලබන මහණහු විසින් රෙදි පියැවිල්ල ඇක්මෙන්නට අනුදනිමි” යි වදාළ සේක.
එ සමයෙහි මහණහු දෙවූ පා ඇතියනු විසින් පා තැබිය යුතු කොට එලා ඇති රෙදි ඇතිරිය ඇක්මෙන්නට කුකුස් කෙරෙත් ... “මහණෙනි, දෙවූ පා ඇත්තහු සඳහා එළා ඇති ඇතිරිය ඇක්මෙන්නට අනුදනිමි” යි වදාළ සේක.
103. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භග්ග රට කැමති තාක් වැස සැවැත් නුවර බලා සැරිසරා වඩනට නික්මුණු සේක. පිළිවෙළින් සැරි සරා වඩනාසේක්, සැවැත්නුවරට පැමිණිසේක. එ සමයෙහි වූ කලි භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර ජෙතවන නම් වූ අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි මිගාරමබාතෘ නම් වූ විශාඛා උපාසිකා තොමෝ අතළයක් ද (කටු මතු කොට මැටියෙන් තනන ලද) පාගටනාවක් ද මුස්නක් ද ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළහැඹියා ය. එළැඹ වැඳ පසෙක හුන්නා ය. පසෙක හිඳ “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මගේ මේ අතළය ද පාගටනාව ද මුස්න ද පිළිගන්නා සේක් වා. එය මට දීර්ඝ කාලයක් වැඩ පිණිස සුව පිණිස වන්නේ යැ” යි කීවා ය. භාග්‍යවතුන් වහන්සේ අතළය ද මුස්න ද පිළිගත් සේක. පාගටනාව නො පිළිගත්සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මිගාරමාතෘ නම් වූ විශාඛාවට ධර්මනිඃශ්‍රිත කථායෙන් කරුණු දක්වාවදාළසේක, ඒ කරුණු ගැන්වූ සේක, එහි උනන්දු කළසේක, එහි ලා සතුටු කළ සේක. එයට පසු, විශාඛා මිගාරමාතෘ තොමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ දැහැමි කතායෙන් කරුණු දක්වන ලද්දී, කරුණු ගන්වන ලද්දී, එහි උනන්දු කරන ලද්දී, එහි සතුටු කරන ලද්දී, හුනස්නෙන් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියා ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මෙ කරුණෙහි දැහැමි කථා කොට භික්‍ෂුසඞ්ඝයා බණවා, “මහණෙනි, අතළය ද මුස්න ද අනුදනිමි. මහණෙනි, පාගටනාව පරිහොග නො කළයුතු. යමෙක් පරිහොග කරන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, (පා ගටනු පිණිස) ගල ද කැබැලිති ද මුහුදු පෙණ ද යන තුන් පා ගටනා අනුදනිමි” යි වදාළ සේක.
104. නැවත (එක් දිනක්) මිගාරමාතෘ නම් වූ විශාඛා තොමෝ විජිනිපතක් ද තල්වටක් ද ගෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියා ය. එළැඹ වැඳ පසෙක හිඳ ගත්තා ය. පසෙක හිඳ, “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ විජිනිපත ද තල්වට ද පිළිගන්නාසේක්වා. එය මට දික් කලක් වැඩ පිණිස සුව පිණිස වන්නේ යැ” යි කීවා ය.
භාග්‍යවතුන් වහන්සේ විජිනිපත ද තල්වට1 ද පිළිගත් සේක. ඉක්බිති මිගාරමාතෘ නම් වූ විශාඛාවට දැහැමි කථාවෙන් කරුණු දක්වා වදාළසේක. එකල්හි මිගාරමාතෘ නම් වූ විශාඛා තොමෝ ... පැදකුණු කොට ගියාය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි, තෙල කරුණෙහි දැහැමිකථා වදාරා භික්ෂුන් ඇමතු සේක: “මහණෙනි, විජිනිපත ද තල්වැට ද අනුදනිමි” යි.
105. එ සමයෙහි වනාහි සඞ්ඝයාට මදුරුවිදුනාවෙක්2 උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළාහ. “මහණෙනි, මදුරුවිදුනාව අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
සෙමෙර විදුනාවෙක් උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැලකළාහ. “මහණෙනි, සෙමෙරවිදුනාව නො දැරිය යුතු. යමෙක් දරන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, වැහැරිමුවා විදුනාව ද, සුවඳහොට මුවා විදුනාවද, මොනර පිල්මුවා විදුනාව ද යන තුන් විජිනිපත් අනුදනිමි” යි වදාළ සේක.
106. එ සමයෙහි සඞ්ඝයාට ඡත්‍රයෙක් (කුඩයෙක්) උපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි ඡත්‍රය (කුඩය) අනුදනිමි” යි වදාළ සේක.
එ සමයෙහි සවැගි මහණහු ඔසොවා ගත් කුඩ ඇත්තාහු (කුඩ ඉසැ ලා ගෙන) ඇවිදිත්. එ කල එක්තරා උපාසකයෙක් බොහෝ සිය ගණන් ආජීවික ශ්‍රාවකයන් හා උයනට ගියේ ය. ඒ ආජීවික ශ්‍රාවකයෝ කුඩ ඉසලා ගෙන එන සවැගි මහණුන් දුරින් ම දුටුයේ ය. දැක, ඒ උපාසකයා බණවා “ආර්යය තෙල ඔබ පැවිදි පින්වත්හු ගණක මහාමාත්‍යයන් සේ කුඩ ඉසලා ගත්තාහු එන්නාහ” යි කීහ.
“ආර්යයෙනි, තෙල භික්ෂුහු නො වෙත්, පිරිවැජියෝයැ” යි උපාසක තෙම කී ය.
“භික්ෂුහු ද? භික්ෂුහු නො වෙත් දැ?” යි ඔට්ටු ඇල්ලූහ. එයින් පසු ඒ උපාසක තෙම ළඟට ආවුන් හැඳින “කෙසේ නම් පින්වත්හු කුඩ ඉසලා ගෙන හැවිදින්නාහු දැ” යි අවඥා කෙරෙයි, නොගුණ කියයි, දොස් පතුරුවයි.
භික්‍ෂූහු අවඥා කරන, නොගුණ කියන, දොස් පතුරුවන ඒ උපාසකයා ගේ වචන ඇසූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ... සැබෑ දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. ‘සැබව වහන්සැ' යි ඔහු කීහ.
භාග්‍යවතුන් වහන්සේ ගැරැහු සේක. ගරහා ධර්ම කථා කොට “මහණෙනි, කුඩය නො දැරිය යුතු, යමෙක් දැරුයේ වී නම්, දුකුළා ඇවැත් වන්නේ යැ' යි වදාළ සේක.
107. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. ඔහුට කුඩයක් නැති ව අපහසු වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, ගිලන් මහණහට කුඩය අනුදනිමි” යි වදාළ සේක.
එ සමයෙහි මහණහු 'භාග්‍යවතුන් වහන්සේ විසින් ගිලනාට ම කුඩය අනුදැනිණ, නොගිලනාට නො අනුදැනිණ’ යි කියා ආරාමයෙහි ද, ආරාමොපචාරයෙහි ද කුඩ දරන්නට කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. “මහණෙනි, නොගිලනහු විසින් ද ආරාමයෙහිත් ආරාමොපචාරයෙහිත් කුඩය දරන්නට අනුදනිමි” යි වදාළ සේක.
108. එ සමයෙහි එක්තරා මහණෙක් සාල්ලෙක නෙවා දණඩෙක එල්ලාගෙන නො කල්හි එක්තරා ගම්දොරෙකින් ඉක්මයෙයි. මිනිස්සු 'ආර්යයෙනි, මේ සොරෙක් යෙයි, ඔහුගේ කඩුව දිලිසේ' යැ යි කියා ලුහුබැඳ අල්ලාගෙන හැඳින මුදා හළහ. එ කල්හි ඒ මහණ ආරාමයට ගොස් හිකෂුනට මෙ පවත් සැල කෙළේ ය.
“ඇවැත්නි, තෙපි දණ්ඩසික්කාවක් (දණඩෙක බඳනා ලද සාල්ලක්) දරවු දැ?” යි භික්‍ෂූහු ඇසූහ. “එසේය ඇවැත්නි” යි. හේ කී ය.
යම් මහණ කෙනෙක් අල්පෙච්ඡ ද ලද පමණෙහි සතුටු වෙත් ද ලජජීහු ද සුළු වරදෙහිත් කුකුස් කෙරෙත් ද ශික්‍ෂා කැමත්තෝ ද, ඔහු “කෙසේ නම් මහණ තෙමේ දණ්ඩසිකතාවක් දරන්නේ දැ” යි අවඥා කෙරෙත්, අගුණ කියත්, දොස් පතුරුවත්.
ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණ සැබෑ ද? තෝ දණ්ඩසික්කාවක් දරහි දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“එසේ ය, වහන්සැ” යි එ මහණ කී ය.
භාග්‍යවතුන් වහන්සේ ගැරැහුසේක. ගරහා දැහැමි කතා කොට භික්ෂුන් අමතා, “මහණෙනි, දණ්ඩසික්කාව නො දැරිය යුතු. යමෙක් දැරුයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
109. එ සමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. දණ්ඩක් නැති වැ ඇවිදින්නට නො හැකි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. “මහණෙනි, ගිලන් මහණහට දණ්ඩ සම්මතිය දෙන්නට අනුදනිමි. එය වනාහි මෙසේ දියැ යුතු: ඒ ගිලන් මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට වැඩිමහලු මහණුන් පා වැඳ, උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන්හි තබාගෙන,
“වහන්ස මම් ගිලන්මි, දණ්ඩක් නැති වැ ඇවිදින්නට නො හැක්කෙමි. වහන්ස, ඒ මම් සඞ්ඝයාගෙන් දණ්ඩ සම්මතිය ඉල්ලමි” යි මෙසේ කියැ යුතු වන්නේ ය. දෙවෙනි වර ද ඉල්ලිය යුතු තෙවෙනි වරද ඉල්ලියයුතු. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් මෙසේ සඞ්ඝ තෙමේ දැන්වියයුතු ය.
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ මෙ නම් මහණ ගිලන් යැ. දණ්ඩක් නැති වැ ඇවිදියැ නො හැක්ක. හෙතෙම සඞ්ඝයා ගෙන් දණ්ඩසම්මතිය ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ වී නම් මෙ නම් මහණහට දණ්ඩ සම්මතිය දෙන්නේ ය. මේ ඥප්තිය යැ.
වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. මේ මෙනම් මහණ තෙම ගිලන් ය. දණ්ඩක් නැතිවැ ඇවිදින්නට නො හැකි වෙයි. හේ සඞ්ඝයාගෙන් දණ්ඩසම්මතිය ඉල්ලයි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට දණ්ඩසම්මතිය දෙයි. මෙනම් මහණහට දණ්ඩ සම්මතිය දීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ නම්, හේ නිහඬ වේවා. යමක්හට නො රිසියෙන්නේ නම් හේ කියාවා.
“සඞ්ඝයා විසින් මෙනම් මහණහට දණ්ඩසම්මතිය දෙන ලදි. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි (සිතමි)” යනු යැ.
110. තවද එසමයෙහි එක්තරා මහණෙක් ගිලන්වෙයි. සහල්ලක් නැති වැ පාත්‍රය. පරිහරණ කරන්නට නො හැකි වෙයි. තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේට දන්වාලූහ.
“මහණෙනි, ගිලන් මහණහට සික්කාසම්මතිය දෙන්නට අනුදනිමි. තවද මහණෙනි, මෙසේ දිය යුතුය: ඒ ගිලන් මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට වැඩිමහලු වහන්දෑගේ පා වැඳ උක්කුටික ව හිඳ ඇඳිලි බැඳ මෙසේ කියැ යුතු වෙයි. "වහන්ස මම ගිලන්මි. සහල්ලක් නැතිව පාත්‍රය පරිහරණ කරන්නට නො හැකි වෙමි. වහන්ස, ඒ මම සඞ්ඝයා (වෙතින්) සික්කාසම්මතිය යදිමි” යි. දෙවන වට දු යාච්ඤ කළයුතු ය. තෙවන වට දු යාච්ඤ කළයුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඟහු දැන්වියයුත්තාහ.
“වහන්ස, සඞ්ඝයා මබස් අසන සේක්වා. මේ මෙනම් මහණ ගිලන් වෙයි. සහල්ලක් නැතිවැ පාත්‍රය පරිහරිණ කරන්නට නො හැක්ක. හේ සඞ්ඝයා (වෙත) සික්කාසම්මතිය යදියි. ඉදින් සඟනට පැමිණි කල් වී නම් සඞ්ඝයා මෙනම් මහණහට සික්කාසම්මතිය දෙන්නේය. තෙල ඤත්ති යැ.
“වහන්ස, සඞ්ඝයා මාගේ වචනය අසත්වා. මේ මෙනම් ඇති මහණ ගිලන් වෙයි. සහල්ලකින් වෙන් වැ පාත්‍රය පරිහරණ කරන්නට නො හැක්ක. හේ සඞ්ඝයා (වෙත) සික්කාසම්මතිය යදී, සඞ්ඝයා මෙනම් මහණහට සික්කාසම්මතිය දෙති. යම් ආයුෂ්මත් කෙනකුන්ට තෙල මහණහට සික්කාසම්මති දීම රිසි වේ නම් හේ නිහඬ වන්නේය. යමකුට නො රුස්නේ නම් හේ බණන්නේය. සඞ්ඝයා විසින් මෙනම් මහණහට සික්කාසම්මතිය දෙන ලදු. සඞ්ඝයාට (එය) රුස්නේය. එහෙයින් තුෂ්ණිම්භාවය , වෙයි. තෙල මෙසේ දරමි” යි.
111. එ සමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. දණ්ඩක් නැතිව ඇවිදින්නට නො හැකි වෙයි, සාල්ලක් නැති ව පාත්‍රය පරිහරණය කරන්නට නො හැකි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ගිලන් මහණහට දණ්ඩසික්කාසම්මතිය දෙන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ එය දියැ යුතු: ඒ ගිලන් මහණ සඞ්ඝයා කරා එළැඹ උතුරුසඟ එකස් කොට, වැඩිමහලු භික්ෂුන් ගේ පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුනැ තබා, “වහන්ස, මම් ගිලන්මි. දණ්ඩෙන් තොර වැ හැවිදින්නට නොහැක්කෙමි, සාල්ලක් නැති ව පාත්‍රය පරිහරණය කරන්නට නො හැක්කෙමි. වහන්ස, ඒ මම් සඞ්ඝයාගෙන් දණ්ඩසික්කාසම්මතිය ඉල්ලමි” යි මෙසේ කියැයුතු වන්නේ ය. දෙවෙනි වර ද ඉල්ලියැ යුතු, තෙවෙනි වර ද ඉල්ලියැ යුතු. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ මෙනම් මහණ තෙම ගිලන් යැ. දණ්ඩක් නැති වැ හැවිදින්නට නො හැකි ය, සාල්ලක් නැති ව පාත්‍රය. පරිහරණය කරන්නට නො හැකි ය. හේ සඞ්ඝයා ගෙන් දණ්ඩසික්කාසම්මතිය ඉල්ලයි. ඉඳින් සඞ්ඝයාට පැමිණි කල් ඇතියේ වී නම් සඬස තෙමේ මෙනම් මහණහට දණ්ඩසික්කා සම්මතිය දෙන්නේ ය”. මේ ඥප්තිය (දැන්වීම යැ).
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ මෙනම් මහණ තෙමේ ගිලන් යැ. දණ්ඩක් නැති ව ඇවිදින්නට නො හැකි යැ. සාල්ලක් නැති ව පාත්‍රය පරිහරණය කරන්නට නො හැකිය. හේ සබඝයාගෙන් දණ්ඩසික්කාසම්මතිය ඉල්ලයි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට දණ්ඩසික්කාසම්මතිය දෙයි. මෙනම් මහණහට දණ්ඩසික්කාසම්මතිය දීම යම් ආයුෂ්මතක්හට රිසියේ ද හේ නිහඩ වේවා. යමකුහට නො රිසියේ නම් හේ කියාවා. සඞ්ඝයා විසින් මෙනම් මහණහට දණ්ඩසික්කාසම්මතිය දෙන ලදු, එය සඞ්ඝයාට රිසියෙයි, එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ දරමි (සිතමි)” යනු යැ.
112. එ සමයෙහි වනාහි එක්තරා මහණෙක් වැළැඳූ බොජුන් වමාරන්නේ වෙයි. හේ වමාර වමාරා ගිලියි. “මේ මහණ විකාලයෙහි බොජුන් වළඳා”යහැ යි භික්‍ෂූහු ඔහුට අවඥා කෙරෙත්: අගුණ කියත්; දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, මේ මහණ නොබෝ කල්හි (මෑතදී) ගවයෝනියෙන් වුත විය. මහණෙනි, (පියෙවියෙන්) වමාරන්නාහට ඒ වැමෑරීම අනුදනිමි. මහණෙනි, එතෙකුදු වුවත් මුවදොරින් (උගුරෙන්) පිටත, නික්මවා නැවැත නොගිලියැයුතු. යමෙක් එසේ ගිලින්නේ නම් ඔහුට ධර්‍මය වූ පරිදි (විකාල හොජනය වැළැඳීමට කළයුතු පරිදි) ඔහුට කළයුතු යැ” යි වදාළ සේක.
113. එ සමයෙහි එක්තරා සමූහයකගේ සඟබතෙක් වෙයි. බොජුන් හලෙහි බොහෝ බත්තුළු විසිරිණ. “කෙසේ නම් ශාක්‍යපුත්‍රීය ශුමණයෝ බත් දෙනු ලබන කල්හි සකසා නොපිළි ගන්නාහු ද, එකි එකී බත්හුළෙක් කර්‍ම සියයෙකින් නිමවේ1”යැයි මිනිස්සු අවඥා කරත්, නොගුණ කියත්, දොස් පතුරුවත්. අවඥා කරන, නොගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන් ගේ කථාව භික්‍ෂූහු ඇසුහ. ඉක්බිත්තෙන් භික්‍ෂූහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකළාහ. (හාග්‍යවතුන් වහන්සේ) “මහණෙනි, දෙනු ලබන යමක් වැටෙන්නේ නම්, එය තමන් ම ගෙන පරිභෝග කරන්නට අනුදනිමි. එය දායකයන් විසින් පරිත්‍යක්ත එකෙකැ” යි වදාළසේක.
114. එ සමයෙහි එක්තරා මහණෙක් දික් නියවලින් යුතු ව පිඬු පිණිස හැසිරෙයි. එක්තරා ස්ත්‍රියක් එ මහණ දැක “වහන්ස, එන්න, මෙවුන් දම් සෙවිනු මැනැවැ” යි කීවා ය. මහණ තෙම “බිහිනිය, කම් , නැත. එය (අපට) කැප නො වේ” යැ යි කීය.
“වහන්ස, ඉදින් ඔබ මෙවුන් දම් නො සෙවින්නාහු නම්, දැන් මම සිය නියවලින් සිරුරැ අවයව සූරාගෙන ‘මේ මහණ මට හිරිහැර කෙරේ’ යැ යි හඬ නඟන්නෙමි” යි ඕ කීවාය.
“බිහිනිය, තෝ ම එය දැන ගන්නෙහි”යැ යි මහණ කීය.
එවිට ඒ ස්ත්‍රි තමාගේ නියවලින් ශරීරාවයව සූරා ගෙන “මේ මහණ මට හිරිහැර කෙරේ යැ” යි හඬ නැඟුවාය.
මිනිස්සු එ තැනට දිවගොස් ඒ මහණ අල්ලා ගත්හ. ඒ මිනිස්සු ඒ ස්ත්‍රියගේ නියවල සිවිය ද ලේ ද දුටුවාහ. දැක, "මෙය මේ ස්ත්‍රියගේ ම ක්‍රියාවෙක, මේ මහණ වරදකරු නොවේ”යැ යි කියා එ මහණහු මුදාලුහ.
එකල්හි ඒ මහණ අරමට ගොස් හික්ෂූනට මෙ පවත් දැන්වීය.
“කිමෙක් ද ආයුෂ්මත්නි, තෙපි දික් නිය දරුහු දැ?” යි එ මහණහු පුළුවුත්හ.
“එසේ ය, ඇවැත්නි”යි ඒ මහණ කී ය.
යම් මහණ කෙනෙක් අල්පෙච්ඡ ද ලද පමණින් සතුටු වන්නෝ ද, ලජජීහු ද, කුකුස් කරන්නෝද, ශික්ෂාකාමිහු ද, ඔහු "කෙසේ නම් මහණහු දික් නිය දරන්නාහු දැ'යි අවඥා කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්.
ඉක්බිත්තෙන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
“මහණෙනි, දික් නිය නො දැරිය යුතු. යමෙක් එය දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
115. එ සමයෙහි වනාහි මහණහු නියෙන් ද නිය සිඳිත්, මුවින් ද නිය සිඳිත්, බිත්තියෙහි ද නිය මදිත්, ඇඟිලි රිදුම් සහිත වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, නියසිඳුනාව අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
ලේ සහිත කොට නිය සිඳිත්. ඇඟිලි රිදේ.
“මහණෙනි, මාංශප්‍රමාණයෙන් (නියළඟ මස ඉම් කොට) නිය සිදින්නට අනුදනිමි” යි වදාළසේක.
116. එ සමයෙහි සවැගි මහණහු විසි නිය ඔප මට්ටම් කරවත්. “කාමභෝගී ගිහියන් බඳුහ” යි මිනිස්සු අවඥා කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, විසි නිය ඔප මට්ටම් නො කැරැවිය යුතු. යමෙක් එය කරවන්නේ නම්, දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, (නිය තුළ වූ) මල පමණක් බැහැර කරන්නට අනුදනිමි” යි වදාළසේක.
117. එ සමයෙහි මහණුන්ගේ කෙහෙ දික් වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, භික්ෂුහු උනුන් කෙහෙ බාන්නට හැකි වෙත් ද?” යි අසා වදාළ සේක.
“හැකි වෙත් වහන්සැ”යි භික්ෂූහූ කීහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි ලා දැහැමි කතා කොට භික්‍ෂුන් බණවා, “මහණෙනි, කරකැත්ත ද කරගල ද කරකොපුව ද කරකැත්ත ඔතන රෙදි කඩ ද සියලු කර බඩු (ඉසකේ රවුළු බෑමට ඇවැසි සෙසු උපකරණ) ද අනුදනිමි” යි වදාළසේක.
118. එ සමයෙහි සවැගි මහණහු (කතුරෙන්) රවුළ (අන්දම් තබා) කපවත්, රවුළ වඩවත්, (එළුරැවුළ සේ) දිගු කොට කපවත්, (උඩින් නලළ දෙ කෙළවර ද යැටින් හනු දෙපැත්තේ දැයි සතර කොන් ඉතිරි ව සිටුනා සේ) රවුළ සතරැස් කොට කපවත්, පපුවෙහි ලොම් බාවත්, බඩෙහි ලොම්වැටිය තබා සෙසු තන්හි ලොම් බාවත්, දැළි රවුළ තබත්. සම්බාධ ස්ථානයෙහි, පුරිස්නිමිති පෙදෙස දෙකිසිලි යන තන්හි) ලොම් බාවත්. "කාමභෝගී ගිහියන් බඳුහ” යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්; දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, රවුළ (අන්දම් තබා) නො කැප්විය යුතු, රවුළ නො වැඩිය යුතු, රවුළ (එළුරවුළු සේ) දික් කොට නො කැප්පිය යුතු; රවුළු සතරැස් කොට නො කැප්වියයුතු, පපුවේ ලොම් නො බෑවියයුතු, බඩෙහි ලොම් වැටිය තබා සෙසු තන්හි ලොම් නොබෑවියයුතු, දැළි රවුළු නො තැබියයුතු සම්බාධ ස්ථානයෙහි ලොම් නො බෑවියයුතු. යමෙක් එසේ කෙළේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය.” යනු යැ.
119. එ සමයෙහි එක්තරා මහණකුට සම්බාධස්ථානයෙක වණයෙක් වෙයි. බෙහෙත් එහි නො සිටී (නොරැඳෙයි.) භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ආබාධ ප්‍රත්‍යයයෙන් එ තන්හි ලෙඩක් ඇති කල්හි සම්බාධස්ථානයෙහි ලොම් බාවන්නට අනුදනිමි” යි වදාළ සේක.
120. එ සමයෙහි සවැගි මහණහු කතුරෙන් කෙස් සිඳුවත්. “කාමභෝගී ගිහියන් බඳුහ” යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
“මහණෙනි, කතුරෙන් කෙස් නො සිඳවිය යුතු. යමෙක් සිදැවී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
121. එ සමයෙහි එක්තරා මහණක්හුගේ හිසෙහි වණයෙක් වේ. කරකැත්තෙන් කෙස් බහවන්නට නො හැක්කේය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ආබාධ ප්‍රත්‍යයයෙන් කතුරෙන් කෙහෙ සිඳුවන්නට අනුදනිමි” යි වදාළ සේක.
122. එ සමයෙහි මහණහු දික් නාසිකා ලෝම දරත්, “පිශාච දරුවන් බඳුහ” යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, නැහැයෙහි දික් ලොම් නො දැරියයුතු. යමෙක් දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේය” යි වදාළසේක.
123. එ සමයෙහි මහණහු ගල්කැටින් ද මී ඉටියෙන් ද නැහැ ලොම් ගන්වත් (ගළවවත්.) නාසිකාවෝ රිදෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, අඬුව අනුදනිමි” යි වදාළසේක.
එ සමයෙහි සවැගි මහණහු නරකෙස් ගන්වත් (උදුරවත්) “කාමභෝගී ගිහියන් බඳුවහ” යි මිනිස්සු අවමන් කරත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
“මහණෙනි, නරකෙස් නො ගැන්වියයුතු (නො ඉදිරැවියයුතු) යමෙක් ගන්වන්නේ නම් (උදුරවන්නේ නම්) දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
124. එක් සමයෙක එක්තරා මහණකුගේ කන් කන්මලින් වැසුණේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, කන්මල හරනාව (කන්හැන්ද) අනුදනිමි” යි වදාළ සේක.
එ සමයෙහි සවැගි මහණහු රන්මුවා ද රිදීමුවාද කුදු මහත් කන්හැඳි දරත්. “කාමභෝගී ගිහියන් බඳුවහ” යි මිනිස්සු අවමන් කරත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, රන්මුවා ආදි කුදුමහත් කන්හැඳි නො දැරියයුතු. යමෙක් දරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, “ඇටමුවා දත්මුවා අංමුවා නළමුවා හුනමුවා ලීමුවා ලහමුවා පලමුවා ලොහොමුවා සක්නැබමුවා කන්හැඳි දරන්නට අනුදනිමි” යි වදාළසේක.
125. එ සමයෙහි සවැගි මහණහු බොහෝ ලොහො බඩු කස් බඩු (ඊයම් හා තඹ මිශු කොට තැනු) ලෝහයෙන් කළ (බඩු) රැස් කරති. මිනිස්සු විහාරවාරිකාව කරන්නාහු ඒ දැක, ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ලොහො බඩු වෙළෙන්දන් සේ කෙසේ නම් ලොහො බඩු කස්බඩු රැස් කෙරෙත් දැ? යි අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ලොහොබඩු කස්බඩු නො රැස් කළයුතු. යමෙක් කරන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
එ සමයෙහි මහණහු අඳුන්නළ ද අඳුන් කුරු ද කන්හැඳි ද (වෑ ආදියේ) මිටු ද දැරීමෙහි කුකුස් කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, අඳුන් නළය ද අඳුන් කුර ද කන්හැන්ද ද වෑ ආදියට මිට ද අනුදනිමි” යි වදාළසේක.
126. එ සමයෙහි සවැගි මහණහු චීවර පල්ලත්‍ථිකායෙන් හිඳිත්, සඟළසිවුරේ පත් (වාටි) පලුදු වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
“මහණෙනි, සංඝාටි පල්ලත්‍ථිකායෙන් නො හින්දැයුතු යමෙක් එසේ ඉඳින්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
එ සමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. ඔහුට ආයොගපට නැති වැ පහසු නොවේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, ආයොගපට අනුදනිමි” යි වදාළසේක.
එ කල්හි මහණුනට “ආයොගපට කෙසේ නම් වියැයුතු ද?’ යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, හු ඔතන දණ්ඩ ද වියන දණ්ඩ ද වට ලීය ද නඩාව ද සියලු වියන උපකරණ ද අනුදනිමි” යි වදාළ සේක.
127. එ සමයෙහි එක්තරා මහණෙක් කාබහන නැති ව ගමට පිඩු පිණිස පිවිසියේ ය. වීදියේදී ඔහුගේ හඳනය ගිලිහී වැටුණේ ය. මිනිස්සු ඔල්වර හඬ දුන්හ. ඒ මහණ නිසෙතජසක විය. ඉක්බිති එ මහණ අරම් ගොස් මහණුනට මෙ පවත් සැලකළහ. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, කාබහන නැති ව ගමට නො පිවිසියයුතු. යමෙක් පිවිසෙන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි කාබහන අනුදනිමි” යි වදාළ සේක.
128. එ සමයෙහි සවැගි මහණහු බොහෝ රැහැන් ඇති කාබහන දියබරණ හිසක් බඳු සටහන් ඇති කාබහන මිහිඟු බෙර වැටියක් කොට වෙළු සේ කාබහන හවඩියක් බඳු කොට ගෙතූ කාබහන දැයි කුදු මහත් කාබහන් දරත්. කාමභෝගී ගිහියන් බඳුවහ' යි මිනිස්සු අවමන් කරත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, බොහෝ රැහැන් ඇති කාබහන ද දියබරණ හිස් බඳු සටහන් ඇති කොට වියූ කාබහන ද මිහිඟු බෙරවැටියක් සේ කොට වෙළා සෑදු කාබහන ද හවඩියක් බඳු කාබහන දැ යි යන කුදු මහත් කාබහන් නො දැරියයුතු, යමෙක් දරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, පට්ටිකාව ද සූකරන්තකය ද යන කාබහන දෙක අනුදනිමි” යි වදාළ සේක.
කාබහෙන් දහවලු දිරයි.
“මහණෙනි, මිහිඟු බෙර වැටියක් සේ වෙළා සැදු කාබහන ද හවඩියක් වැනි පටිය ද අනුදනිමි” යි වදාළ සේක.
කාබහනේ කෙළවර දිරයි. “මහණෙනි, වෙළා මුවවිට මැඩීම ද මිහිඟුබෙර වැටියෙක සටහනින් විවීම ද අනුදනිමි” යි වදාළ සේක. කාබහනේ පාසය කෙළවර දිරයි. “මහණෙනි, වීඨය අනුදනිමි” යි වදාළ සේක.
129. එ සමයෙහි සවැගි මහණහු රන්මුවා රීදීමුවා කුදුමහත් වීඨයන් දරත්. මිනිස්සු ‘කාමභෝගී ගිහීන් බඳුවහ'යි අවමන් කරත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, කුදු මහත් වීඨ නො දැරිය යුතු, යමෙක් දරන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඇටවලින් කරන ලද, දත්වලින් කරන ලද, අංවලින් කරන ලද, බටයෙන් කරන ලද, හුනයෙන් කරන ලද, ලීයෙන් කරන ලද, ලාකඩින් කරන ලද, ඵලයෙන් කරන ලද, ලොහොයෙන් කරන ලද, සක්නැබින් කරන ලද, හුයෙන් කරන ලද, වීඨ අනුදනිමි” යි වදාළසේක.
130. එ සමයෙහි අනඳ තෙරණුවෝ හැල්ලු සඟළසිවුරු පොරොවා ගමට පිඩු පිණිස පිවිසියාහ. සුළි සුළඟින් සිවුරු එසැවුණාහ. එ කල්හි අනඳ තෙරණුවෝ අරම් වැඩ මහණුනට මෙ පවත් සැලකළහ. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
“මහණෙනි, ගණ්ඨීකාව ද පාසකය ද අනුදනිමි” යි වදාළ සේක.
එ කල්හි සවැගි මහාණෝ රන්මුවා ද රිදිමුවා ද ගණ්ඨීකාවන් දරත්, ‘කාමභෝගී ගිහින් බඳුවහ’ යි මිනිස්සු අවමන් කරත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, රන්මුවා රිදීමුවා කුදුමහත් ගණ්ඨීකා නො දැරිය යුතු. යමෙක් දරන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ඇටමුවා දත්මුවා අංමුවා නළමුවා හුනමුවා ලීමුවා ලහමුවා පලමුවා ලොහොමුවා සක්නැබමුවා හුමුවා ගණ්ඨීකා අනුදනිමි” යි වදාළසේක.
131. එ සමයෙහි මහණහු ගණ්ඨීකාව ද පාසකය ද සිවුරෙහි පිහිටුවත්, සිවුරු දිරයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
“මහණෙනි, ගණ්ඨීකාඵලකය (ගණ්ඨීය යොදන්නට රෙදි කැබැල්ලක්) ද, පාසකඵලකය (පාසකය තනන්නට රෙදි කැබැල්ලක්) ද අනුදනිමි” යි වදාළසේක.
ගණ්ඨීකාඵලකය ද පාසකඵලකය ද සිවුර කෙළවරැ පිහිටුවත්. සිවුරු කොණ විවෘත වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ.
“මහණෙනි, ගණ්ඨීකාඵලකය සිවුර කෙළවරැ පිහිටුවන්නට ද පාසකඵලකය සතඟුලක් හෝ අටඟුලක් හෝ සිවුර අද්දරින් පහතට බස්වා පිහිටුවන්නට අනුදනිමි” යි වදාළසේක.
132. එ සමයෙහි සවැගි මහණහු හත්‍ථිසොණ්ඩිකාව ද (නැබ මුල සිට ඇත්සොඬක් මෙන් පහතට එල්බෙන සේ හඳනා හැඳීම) ද මච්ජවාළකය (දසාන්ත පාසන්තයන් දෙපසට එල්බෙන සේ හැඳීම) ද චතුකණ්ණය (උඩට හා යටට කොන් සිටින සේ හැඳීම) ද තාලවණ්ටකය (තල්වැටක් මෙන් අඳනය එල්බෙන සේ හැඳීම) ද සතවල්ලිකාව (අඳනය රැළිගන්වා හැඳීම) ද යන ගිහිහැඳුම් හඳිත්. ‘කාමභෝගී ගිහීන් බඳුවහ'යි මිනිස්සු අවමන් කරත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, හත්‍ථිසොණ්ඩිකා මච්ජවාළක චතුකණ්ණක තාලවණ්ටක සතවල්ලික, යන ගිහිහැඳුම් නො හැන්දැයුතු. යමෙක්, හඳින්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
133. එ සමයෙහි සවැගි මහණහු (කම්කරුවන් සේ) කැස බඳිත් (පිට පට ගසත්). 'රජුගේ මුඩුවැටියන් බඳුවහ'යි මිනිස්සු අවමන් කරත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, පිට පට ගසා නො යුතු. යමෙක් හඳින්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි සවැගි මහණහු ගිහීන් සේ සිවුර පොරොවත්. “කාමභෝගී ගිහීන් බඳුවහ” යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ගිහි පෙරැවුම නො පෙරෙවියැයුතු යමෙක් පොරොවන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
134. එ සමයෙහි සවැගි මහණහු දෙකොන් කද ගෙනයත්, ‘රජුගේ වහලුන් මෙනැ’ යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, දෙකොන් කද නො ගෙන යායුතු. යමෙක් ගෙනයන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, එක් කොන් කද ද තඩ ද හිසින් බර ගෙන යෑම ද උරහිසින් බර ගෙනයෑම ද කටියෙන් බර ගෙනයෑම ද බර අතින් එල්ලාගෙන යෑම ද අනුදනිමි” යි වදාළසේක.
135. එ සමයෙහි මහණහු දැහැටි නො කත්. මුව දුගඳ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“මහණෙනි, දැහැටි නො කෑමෙහි මේ දොස් පසෙකි: ඇස් පෙනීම දුබල කෙරෙයි, මුව දුගඳ වේ, රස නහර පිරිසිදු නො වේ, පිත ද සෙම ද බත වෙලාගනී, ඔහුට බත රුචි නො වේ. මහණෙනි, මොහු දැහැටි නො කැමේ දොස් පස” යි.
මහණෙනි, දැහැටි කෑමෙහි මේ අනුසස් පසෙකි: ඇසට හිත වේ, මුව දුගඳ නො වේ, රස නහර පිරිසිදු වෙයි, පිතත් සෙමත් බත වෙළදා නො ගනී, ඔහුට බත රුචි වේ. මහණෙනි, මොහු දැහැටි කැමෙහි අනුසස් පස” යි.
136. එ සමයෙහි සවැගි මහණහු දික් දැහැටි වළඳත්. එයින් ම හෙරණුනට තළත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්නුහ.
“මහණෙනි, දික් දැහැටි නො කෑ යුතු. යමෙක් කන්නේ වී නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, අටඟුලක් පරම කොට ඇති දැහැටි අනුදනිමි. එයින් හෙරණ ද නො ම තැළියයුතු. යමෙක් එසේ තළන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
137. එ සමයෙහි ඉතා කෙටි දැහැට්ටක් කන මහණක්හුගේ උගුරෙහි ලැගුණේ (හිර වූයේ) වේ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ඉතා කෙටි දැහැට්ට නො කෑයුතු. යමෙක් කන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, යටත් පිරිසෙයින් අඟල් සතරක් වූ (අඟල්සතරකට නො අඩු) දැහැට්ට අනුදනිමි” යි වදාළසේක.
138. එ සමයෙහි සවැගි මහණහු කැලෑ ගිනිලත්. ‘කැලෑ දවන්නන් බඳුවහ'යි මිනිස්සු අවමන් කෙරෙත්, නො ගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, කැලෑ නො ගිනිලියැයුතු. යමෙක් ගිනි ලන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි විහාරයෝ තණහඩුයෙන් යුකත වෙත්. ළැව්ගිනි ඇවිළෙන කල්හි විහාරයෝ දැවෙත්. පිළිගිනි (ප්‍රතිවිරුද්ධ ගින්නක්) දෙන්නට, ආරක්‍ෂාව කරන්නට භික්‍ෂුහු කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ළැව්ගිනි ඇවිළෙන කල්හි පිළිගිනි දෙන්නට එයින් ආරක්‍ෂාව කරන්නට අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
139. එ සමයෙහි සවැගි මහණහු රුක් නඟිත්. රුකින් රුකට යෙත්. "වඳුරන් බඳුහ” යි මිනිස්සු අවමන් කෙරෙත්, නොගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, රුකට නො නැඟිය යුතු. යමෙක් නඟින්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි මහණකු කොසොල්රටැ සැවැත් නුවරට යද්දී අතර මඟ දී ඇතෙක් ලුහුබැන්දේ ය. එ කල්හි එ මහණ රුක්මුලක් කරා දිවැ කුකුස් කරන්නේ රුකට නො නැංගේ ය. ඒ ඇතා අන් මඟෙකින් ගියේ ය. ඉක්බිති ඒ මහණ සැවැතට ගොස් මහණුනට මෙ පවත් සැලකෙළේ ය. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, කටයුත්තක් ඇති කල්හි බඹයක් ඉහළට ගස නැගෙන්නට ද, ආපදාවන්හි දී වුව මනා පමණ ඉහළ නඟින්නට ද අනුදනිමි” යි වදාළසේක.
140. එ සමයෙහි මිහිරි වචන ඇති මිහිරි හඬ ඇති බ්‍රාහ්මණ ජාතික වූ යමෙළු ද තෙකුල ද යන නම් ඇති දෙ බැ මහණ කෙනෙක් වෙත්. ඔහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹුණාහ. එළැඹ ඔබ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක උන්නාහු ම "වහන්ස, දැන් භික්‍ෂූහු නානාවිධ නම් ඇත්තාහු, නානාගොත්‍රයෙන් නානා ජාතියෙන් නානා , කුලයෙන් නික්මැ පැවිදිවූවාහු වෙත්. ඔහු ස්වකීය ව්‍යවහාරයෙන් බුද්ධවචනය දුෂිත කෙරෙත්. වහන්ස, එබැවින් අපි බුද්ධවචනය වෛදික භාෂාමය වාචනාමාර්ගයට නඟන්නම්හ”යි කීහ. එ විට භාග්‍යවතුන් වහන්සේ, "හිස් පුරුෂයෙනි, තෙපි ‘වහන්ස, අපි බුද්ධවචනය වෛදික භාෂාමය වාචනාමාර්ගයට නඟම්හ” යි කෙසේ නම් මෙබන්දක් කියවු ද, හිස් පුරුෂයිනි, මෙය නොපහන් වූවන් ගේ පැහැදීම පිණිස ද පැහැදුණවුන් ගේ වැඩීම පිණිස ද නො වේ. වැලිදු මහණෙනි, මෙය නො පැහැදුණවුන් ගේ නොපැහැදීම පිණිස ද පැහැදුණු ඇතැම් කෙනෙකුන් ගේ වෙනස් වීම පිණිස ද වේයැ'යි වෙසෙසින් ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට,
“මහණෙනි, බුදුවදන ඡන්දසට (වෛදිකභාෂාවට) නො නැඟිය යුතු. යමෙක් නඟන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේය. මහණෙනි, මාගධික නිරුක්තියෙන් බුද්ධවචනය පිරිවහන්නට අනුදනිමි” යි වදාළසේක.
141. එ සමයෙහි සවැගි මහණහු ලොකායතශාස්ත්‍රය පිරිවහත්. ‘කාමභෝගී ගිහියන් බඳුහ'යි මිනිස්සු අවමන් කෙරෙත්, කියත්, දොස් පතුරුවත්, එසේ අවමන් කරන, නුගුණ යන, දොස් පතුරුවන මිනිසුන් ගේ කථාව භික්‍ෂුහු ඇසූහ. ඉක්බිත්තෙන් ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, ලෝකායත ශාස්ත්‍රයෙහි සාරයක් දක්නාසුලු තැනැත්තේ මෙ සස්නෙහි වැඩීමට නැඟීමට මහත්බවට පැමිණියැ හෙන්නේ දැ?”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
“වහන්ස, මෙය නොවන්නේ ම යැ” යි හික්ෂුහු පිළිවදන් දුන්හ.
“මහණෙනි, මෙ සස්නෙහි සාරය දක්නාසුලු තැනැත්තේ ලෝකායත ශාස්ත්‍රය පිරිවහන්නේ දැ'යි අසා වදාළසේක.
“මෙය නො වේ ම ය, වහන්සැ” යි මහණහු පිළිවදන් දුන්හ.
“මහණෙනි, ලෝකායත ශාස්ත්‍රය නො පිරිවැහියැයුතු. යමෙක් පිරිවහන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි සවැගි මහණහු තිරශ්චීනවිද්‍යාව කියවත් ... භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, තිරශ්චීනවිද්‍යාව නො කියවිය යුතු. යමෙක් කියවා නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එසමයෙහි වනාහි සවග මහණහු තිරශ්චීන විද්‍යාව පිරිවහති ... භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැලකළාහ.
“මහණෙනි, තිරශ්චීනවිද්‍යාව නො පිරිවැහියැයුතු, යමෙක් පිරිවහා නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි වනාහි සවැගි මහණහු තිරශ්චීනවිද්‍යාව කියවත්, මිනිස්සු ‘කාමභෝගී ගිහියන් වැනියහ’ යි අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, තිරශ්චීනවිද්‍යාව නො කියැවියයුතු. යමෙක් කියවන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
142. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහපිරිසකින් පිරිවැරුණුසේක්, දම් දෙසනසේක්, කිවිසුමක් පහළ කළසේක. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ජීවත් වන සේක්වා, සුගතයන් වහන්සේ ජීවත් වන සේක්වා” යි හික්‍ෂූහු උස්හඬ මහහඬ කළහ. එ හඬින් ධර්‍මකථාව අතරක් ඇත්තේ* විය (හෙවත් නැඟුණු හඬින් ධර්‍මකථා හඬ යටපත් ව වැසීගියේ ය.) එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් බණවා, “මහණෙනි, කිවිසි කල්හි ජීවත් වන්නැයි කී කලැ ඒ කරුණින් ජීවත් වන්නේ ද, නැතහොත් (එය නොකී කල්හි එ කරුණින්) මැරෙන්නේ හෝ වේ දැ” යි අසාවදාළසේක.
“මෙය නො වන්නේ ම ය, වහන්සැ” යි මහණහු කීහ.
“මහණෙනි, ‘කිවිසි කලහැ ජීවත් වන්නැ' යි නො කියැ යුතු. යමෙක් කියන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළසේක.
එ සමයෙහි මිනිස්සු මහණුනට කිවිසි කල්හි, ' වහන්ස, ජීවත් වන්නැ’යි කියත්, භික්‍ෂූහු, කුකුස් කරන්නාහු කිසිත් නො කියත්, “ශාක්‍යපුත්‍රීය මහණහු 'වහන්ස, ජීවත්වන්නැ ' යි කියනු ලබන්නාහු කෙසේ නම් කිසිත් නො කියන්නාහු දැ'යි මිනිස්සු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, ගිහියෝ මංගලයනට ගරු කරන්නෝ වෙත්. 'වහන්ස, ජීවත් වන්නැ'යි කියනු ලබන මහණහු විසින් ‘බොහෝ කල් ජීවත් වන්නැ’ යි කියන්නට අනුදනිමි” යි වදාළසේක.
143. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහපිරිසෙන් පිරිවැරුණුසේක් දම් දෙසමින් වැඩහුන්සේක. මෙහි එක්තරා මහණෙක් ලුහුනු කන ලද්දේ වෙයි. හේ ‘මහණහු (මෙහි ගඳින්) නො පෙළෙත් වා’ යි සිතා එක් පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ එක් පසෙක හුන් මහණහු දුටුයේක. දැක, “මහණෙනි, කවර හෙයින් තෙල මහණ එක් පසෙක හුන්නේ වේ දැ” යි අසාවදාළසේක.
“වහන්ස, තෙල මහණ විසින් ලුහුනු කන ලද්දේ ය. හේ ‘භික්ෂුහු (ලුහුනු ගඳින්) නො පෙළෙත් වා’ යි එක් පසෙක හුන්නේ වේ” යැ යි කීහ.
“මහණෙනි, යමක් කෑමෙන් මෙ බඳු ධර්‍ම කථායෙන් බැහැර ව ඉන්නේ නම් එබඳු දෑ කෑ යුතු දැ” යි ඇසූසේක.
“වහන්ස, මෙය (කෑයුතු) නො වන්නේ”යැ යි භික්ෂුහු කීහ.
“මහණෙනි, ලුහුනු නො කෑයුතු. යමෙක් කන්නේ වී නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ'යි වදාළසේක.
එ සමයෙහි සැරියුත් මහතෙරුනට බඩ රුජාවෙක් වෙයි. එ කලහැ මහමුගලන් තෙරණුවෝ සැරියුත් තෙරුන් කරා එළැඹියහ. එළැඹ ‘ඇවැත් ශාරිපුත්‍රයිනි, පෙරැ ඔබේ බඩරිදුම කිමෙකින් පහසුවේ දැ’යි ඇසූහ.
“ඇවැත්නි, ලුහුනෙනැ” යි සැරියුත් තෙරණුවෝ වදාළහ.
භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, ආබාධප්‍රත්‍යයයෙන් (ආබාධයකට ප්‍රතිකාර වශයෙන්) ලුහුනු වළඳන්නට අනුදනිමි” යි වදාළසේක.
144. එ සමයෙහි මහණහු අරමෙහි (ආවාස වත්තෙහි) ඒ ඒ තැන මූත්‍ර පහකරත්. අරම දූෂ්‍ය වේ. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැලකළාහ.
“මහණෙනි, එක් පැත්තෙක මූත්‍ර පහකරන්නට අනුදනිමි” යි වදාළසේක.
ආරාමය දුගඳ වෙයි. “මහණෙනි, වටන්දෙණ අනුදනිමි” යි වදාළසේක.
දුක්සේ හුන්නාහු (දුකසේ හිඳ) මූත්‍ර පහකෙරෙත්.
“මහණෙනි, ප්‍රස්‍රාවපාදුකාව* අනුදනිමි” යි වදාළසේක. ප්‍රස්‍රාවපාදුකාව ප්‍රකට වෙයි (පිටතට පෙනෙයි). මහණහු එහි හිඳ මූත්‍ර පහකරන්නට ලජ්ජිත වෙත්.
“මහණෙනි, ගඩොළු පවුර ද ගල්පවුර ද, දඬුපවුර ද තුන් පවුරු (බිත්ති තුන) අනුදනිමී”යි වදාළසේක.
වටන්දෙණ නො වසන ලද්දේ දුගඳ වෙයි. “මහණෙනි, පියනක් අනුදනිමි” යි වදාළසේක.
145. එසමයෙහි මහණහු අරමෙහි ඒ ඒ තැන මල පහ කෙරෙත්. අරම දූෂ්‍ය වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, එක් පසෙක මල පහකරන්නට අනුදනිමි” යි වදාළ සේක.
අරම දුගඳ වේ. “මහණෙනි, වසුරුවළක් (මල පහකරන්නට වළක්) අනුදනිමි” යි වදාළසේක.
වසුරුවළැ ගැටිය කැඩී වැටෙයි. “මහණෙනි, ගඩොළුබැම්ම, ගල්බැම්ම, ලීබැම්ම යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළසේක.
වසුරුවළ මිටිබිමක් ඇත්තේ වේ. දියෙන් යටකැරේ-දියට යට වේ.
“මහණෙනි, එය උස්බිමක් ඇතියක් කරන්නට (බිම පස් ආදිය අතුරා උසට නංවන්නට) අනුදනිමි” යි වදාළසේක.
බැම්ම කැඩී හැලෙයි. “මහණෙනි, ගඩොළු බැම්ම ද ගල් බැම්ම ද දඬුබැම්ම ද යන තුන් බැඳුම් අනුදනිමි” යි වදාළසේක.
එයට නඟින්නාහු වෙහෙසෙත්.
“මහණෙනි, ගඩොළු හිණ ගල්හිණ දඬුහිණ යන තුන් හිණ අනුදනිමි” යි වදාළසේක.
එයට නඟින්නාහු වැටෙත්. “මහණෙනි, (එල්බැ යන්නට) අත්වැල අනුදනිමි” යි වදාළසේක. කෙළවරැ හිඳ මල පහකරනුවෝ වැටෙත්.
“මහණෙනි, ලෑලි ආදියක් අතුරා මැද සිදුරක් කොට මල පහකරන්නට අනුදනිමි” යි වදාළසේක.
දුකසේ හුන්නාහු මල පහකෙරෙත්.
“මහණෙනි, වර්චස්පාදුකාව (වළ දෙපස පා තබන ආධාරකය) අනුදනිමි” යි වදාළසේක.
වළෙන් පිටත මූත්‍ර පහකෙරෙති.
“මහණෙනි, වටන් දෙණක් අනුදනිමි” යි වදාළසේක.
පුසන් දණඩෙක් නො වෙයි.
“මහණෙනි, පුසන් දණ්ඩ අනුදනිමි” යි වදාළසේක.
පුසන්දඬු තබන බඳුනෙක් නො වෙයි.
“මහණෙනි, පුසන් දඬු තබන බඳුනක් අනුදනිමි” යි වදාළසේක.
වසුරුවළ නො වසන ලද්දේ දුගඳ වෙයි. “මහණෙනි, පියනක් අනුදනිමි” යි වදාළසේක.
එළිමහනෙහි (වටා ආවරණ නැති තන්හි තැනූ වසුරු වළෙහි) මල පහකරන්නාහු, ශීතයෙනුත් උෂ්ණයෙනුත් පෙළෙත්. “මහණෙනි, වැසිකිළියක් අනුදනිමි” යි වදාළ සේක.
වැසිකිළියට දොර පොහොරුවෙක් නො වෙයි.
“මහණෙනි, දොරපොහොරුව ද දොරබාව ද වටෙවුලීය ද උතුරු ලීය ද දොරපොල්ල ද අගුළුකණුව ද යතුරුදණ්ඩ ද තරංකය ද කෙසිසිදුර ද රැහැන බහාලන සිදුර ද අදින රැහැන ද අනුදනිමි” යි වදාළසේක.
වැසිකිළියෙහි තණරොඩු වැටෙයි.
“මහණෙනි, ඝන දඬු අතුරා පියස්ස තනා ඇතුළත පිටත බදාම ආලිප්ත කරන්නට, සුදුපැහැය කළුපැහැය ගුරුපිරියම මාලා කර්‍ම ලතාකර්‍ම මුවරදැති, සිතියම් (දෑහිඟුල් ඈ විසින්) පස්වනක් පැහැ කරන්නට ද සිවුරු වනන දණ්ඩ ද සිවුරු වනන රැහැන ද අනුදනිමි” යි වදාළසේක.
146. එ සමයෙහි එක් මහණෙක් ජරායෙන් අබල වූයේ මල පහකොට නැගී සිටින්නේ ඇදී වැටුණේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
“මහණෙනි, එල්බැගන්නට රැහැනක් අනුදනිමි” යි වදාළසේක.
වැසිකිළිය වටින් නො වසන ලදුයේ වෙයි.
“මහණෙනි, ගඩොළු බිත්තිය ද ගල් බිත්තිය ද දඬු බිත්තිය ද යන තුන් පවුරු අනුදනිමි” යි වදාළසේක.
දොර කොටුවෙක් නො වෙයි.
“මහණෙනි, දොරකොටුවක් අනුදනිමි” යි වදාළසේක.
කොටුව මිටි බිමක් ඇත්තේ වෙයි ... “මහණෙනි, උස්බිමක් ඇතියක් කරන්නට අනුදනිමි” යි වදාළසේක. බැම්ම කැඩී යයි. … නැඟෙන්නාහු වෙහෙසෙත්. ... “මහණෙනි, සෝපාන තුනක් ... අනුදනිමි” යි වදාළසේක. “මහණෙනි, එල්බගන්නට රැහැනක් අනුදනිමි” යි වදාළසේක.
දොර කොටුවට දොර පළුවෙක් නොවෙයි.
“මහණෙනි, දොරපළුව ද දොරබාව ද වටෙවුලීය ද උතුරුලීය ද දොර පොල්ල ද අගුළුකණුව ද, යතුරුදණ්ඩ ද තරංකය ද කෙසිසිදුර ද අදින රැහැන බහන සිදුර ද, අදනා රැහැන ද අනුදනිමි” යි වදාළසේක.
දොරටුවෙහි තණරොඩු වැගිරෙයි.
“මහණෙනි, ඝන දඬුවලින් පියස්ස තනා ඇතුළත පිටත බදාම අලවන්නට ද සුදුපැහැ කළු පැහැ ගුරුපිරියම් මාලාකර්‍ම ලතාකර්‍ම මෝරුදැති පස්වනක් පැහැය ගන්වන්නට ද අනුදනිමි” යි වදාළසේක.
වැසිකිළිය වටා පවුර ඇතුළත වූ බිම මඩ සහිත වේ.
“මහණෙනි, වැලි ඉස වසාලන්නට අනුදනිමි” යි වදාළසේක.
වැලි ප්‍රමාණවත් නො වේ.
“මහණෙනි, ගල්පුවරු අතුරන්නට අනුදනිමි” යි වදාළසේක.
දිය රැඳී සිටී.
“මහණෙනි, දිය සොරොව්වක් කරන්නට අනුදනිමි” යි. වදාළසේක.
දෙවුනා ජලය පිණිස බඳුනෙක් නො වෙයි.
“මහණෙනි, මලධොවනයට දිය බඳුනෙක් අනුදනිමි” යි වදාළසේක.
දොවුනා දිය ගන්නට සරාවෙක්, නො වෙයි. “මහණෙනි, (මලධෝවනයට දිය බඳුනෙන්) දිය ගන්නා සරාවක් අනුදනිමි” යි වදාළසේක.
දුක්සේ හිඳුනාහු මල දොවිත්.
මහණෙනි, මල දෝනට හිඳිනු පිණිස පාදුකා අනුදනිමි” යි වදාළසේක.
ආචමනපාදුකාවෝ (මලදොවනට හිඳිනා පාදුකාවෝ) පිටතට පෙනෙත්, මහණහු මලදෝනට ලජ්ජිත වෙත්.
“මහණෙනි, ගඩොළුපවුර ද ගල්පවුර ද දඬුපවුර ද යන තුන් පවුරු වටා ලන්නට අනුදනිමි”.
මලදෝනා දිය තබන සැළ නො වැසුණේ වේ. තණ රොඩුයෙන් ද දූවිලියෙන් ද එය වැසෙයි.
“මහණෙනි, පියනක් අනුදනිමි” යි වදාළසේක.
147. එ සමයෙහි සවැගි මහණහු මෙසේ වූ අනාචාර කරත්: මල් පැල සිටුවත්, සිටුවවත්. ඒවාට දිය ඉසිත්, දිය ඉස්වත්. මල්කඩත්, කඩවත්. මල්දම් ගොතත්, ගොතවත්. එක් පසකට නටුව ඇතිසේ මල්දම් තනත්, තනවත්. දෙපසට නටු සිටිනා සේ වූ මල්දම් ද තනත් තනවත්, මල්කැන් ද කරත්, කරවත්. හිද්දෙක අමුනා තනන මල්දම් ද කරත්, කරවත්. කනමතැ පලඳනා මල්දම් ද තනත්, තනවත්. හිසෙහි පලඳනා මල්දම් ද තනත්, තනවත්. මල්හර ද කරත්, කරවත්.
කුලවමියනට කුල දූනට කුල කුමරියනට කුල යෙහෙළියනට කුලදාසීනට එක් පසකට නටු සිටුනා සේ තැනූ මල්දම් ගෙනයත්, යවත්. දෙපසට නටු ඇති මල්දම් ද ගෙන යත්, යවත්. මල් කැන් ද ගෙන යත්, යවත්. හිද්දෙන් අමුනා කළ මල් දම් ගෙනයත්, යවත්. කන මතැ පලඳනා මල්දම් ද ගෙනයත් යවත්, මුදුන් මල් කඩ ද ගෙනයත්, යවත් මල්හර ද ගෙනයත්, යවත්.
කුලවමියන් හා කුලදූන් හා කුල කුමරියන් හා කුලයෙහෙළියන් හා කුලදාසීන් හා එක් බඳුනෙහි වැළඳීම ද කරත්, එක් මලාවෙන් දිය පීම ද කෙරෙත්, එක් අස්නෙහි හිඳීම ද කරත්, එක් ඇඳෙහි නිදීම ද කරත්, එක් ඇතිරියක් ඇත්තෝ ව ද නිදත්, එක් පොරෝනාවක් ඇත්තෝ ව ද නිදත්, එක් ඇතිරියක් එක් පොරෝනාවක් ඇත්තාහු ද නිදත්. විකාලයේ ද බොජුන් වළඳත්, මත්පැන් ද බොත්, මල් ගඳ විලෙවුන් දැරීම ද කරත්, නැටීම ද කරත්, ගැයීම ද කරත්, වැයීම ද කරත්, ලාසා නැටීම ද කරත්, නටන්නියට ද නටත්, නටන්නියට ද ගයත්, නටන්නියට ද වයත්, නටන්නියට ද ලාසා නැටීම කරත්, ගයන්නියට ද නටත්, ගයන්නියට ද ගයත්, ගයන්නියට ද වයත්, ගයන්නියට ද ලාස්‍ය නෘත්‍යය කරත්, වයන්නියට ද නටත්, වයන්නියට ද ගයත්, වයන්නියට ද වයත්, ලාස්‍ය නෘත්‍යය කරන්නියට ද ලාස්‍ය නෘත්‍යය කරත්, නටත් ... ගයත් ... වයත්, අට පා පුවරුවෙහි ද දූ කෙළිත්, දසපාපුවරුවෙහි ද දූ කෙළිත්, ආකාශයෙහි (දූ පුවරු සිතින් සිතා ගෙන) ද දූ කෙළිත්, කට්ටි පැනුම් ක්‍රීඩාව ද කරත්, සත්තිකායෙන් ද කෙළිත්, බලිකායෙන් ද කෙළිත්, ඝටිකායෙන් ද කෙළිත්, ශලාකහස්ත ක්‍රීඩායෙන් ද කෙළිත්, ගුඩයෙන් (පන්දුවෙන්) ද කෙළිත්, කොළනලා පිඹීමෙන් ද කෙළිත්, කුඩානඟුලෙන් ද කෙළිත්, කරනම් පැනීමෙන් ද කෙළිත්, (වාතයෙන් භ්‍රමණය වන) හුළං පතින් ද කෙළිත්, කොළනැළියෙන් මිනීමෙන් ද... කුඩාරියෙන් ද ..... කුඩාදුන්නෙන් ද ... අහසැ අකුරු ඇඳ කියැවීමෙන් ද ... සිතු දෑ කීමෙන් ද ... අංගවිකලයන් සේ ඉරියවු පැවැත්වීමෙන් ද කෙළිත්, හස්ත්‍රිශිල්පයෙහි ද පුහුණු වෙත්, අශ්වශිල්පයෙහි ද ... රථශිල්පයෙහි ද ... ධනුශ්ශිල්පයෙහි ද ... කඩුසිප්හි ද පුහුණු වෙත්, ඇතුට පෙරටු ව ද දිවෙත්, අසුට පෙරටු ව ද ... රියට පෙරටු ව ද දුවත්, ඉදිරියට ද ආපසු ද දුවත්. සීරුසන් දීම ද ... අත්පොළසන් දීම ද ... මල්ල පොර බැදීම ද ... මිටුයෙන් පහර දීම ද කරත්, නැටුම් පොළෙහි සඟළ සිවුර එළා නටන්නියට “නැඟණියනි, මෙහි නටන්නැ” යි ද කියත්. සිය නලළැ ඇඟිල්ල තබා නටන්නිය ගේ නලළැ ද ඇඟිල්ල තබත්. නානාවිධ අනාචාර කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. ... “මහණෙනි, නානාවිධ අනාචාර නො කළයුතු, යමෙක් කරන්නේ වී නම් විනයදහම්හි වූ පරිදි පිළියම් කැරැවියයුතු යැ” යී වදාළසේක.
148. එ සමයෙහි ආයුෂ්මත් උරුවෙල් කසුප් තෙරුන් පැවිදි වූ කල්හි සඞ්ඝයාහට බොහෝ ලොහොමුවා බඩු ද දඬුමුවා බඩු ද මැටිමුවා බඩු ද උපන්නේ වෙයි. ‘කවර නම් ලොහො බඩුවෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලද්දේ ද? කවරෙක් නො අනුදන්නා ලද්දේ ද? කවර දඬුමුවා බඩුවෙක් අනුදන්නා ලද්දේ ද? කවර බඩුවෙක් නො අනුදන්නා ලද්දේ ද? කවර නම් මැටි බඩුවෙක් අනුදන්නා ලද්දේ ද? කවර බඩුවෙක් නො අනුදන්නා ලද්දේ දැ’ යි භික්ෂුනට මේ සිත විය.
භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මෙ කරුණෙහි දැහැමි කතා කොට භික්ෂුන් අමතා මෙසේ වදාළසේක.
“ආයුධ හැර, සියලු ලොහොබඩු ද, දික්සඟළා පුටුවත් ව්‍යඝ්‍රරූපාදිය ඇති පුටුවත් ලීයෙන් කළ පාත්‍රයත් ලීයෙන් කළ මරවැඩිත් හැර සියලු ලීමුවා බඩු ද, පියුම් කෙමියක් මෙන් උඩට නෙරා සිටුනා සේ කළ මැටි පාපිස්නාව ද සියල්ල මැටියෙන් කළ කුටිය ද හැර සෙසු සියලු මැටි බඩු ද අනුදනිමි” (යි වදාළ සේක).
පස්වනු බුද්දකවත්ථුක්ඛනධක යි.