5799. සර්වසංහාරක ගන්ධයෙක් නම් නැති. පිරිසුදු පුවඟු මල් සුවඳ හමයි. මේ ධූර්තස්ත්‍රී බොරු කියයි. මැහැල්ල සැබෑවක් කිවු.
සත්දරු පැනය.
5800. රාජශ්‍රෙෂ්ඨය, ඔබ පියා පුතුට වඩා උතුම් ය යි හඟින්නහු නම් ඔබගේ අශ්වතරයාට වඩා මේ කොටළුවා ම උතුම් වන්නේ ය. අශ්වතරයාගේ පියා කොටළුවා වන බැවිනි.
ගද්‍රභ පැනය.
එකුන්විසි පැන නිමි.
5801. මහෞෂධ පණ්ඩිතය, තොරණ අගැ වසන මේ කටුසු තෙමේ පෙරැ මෙසේ මාන ඇත්තේ නො වෙයි. කිනම් කරුණෙකින් කටුසු තෙමේ (මානයෙන්) තද වූයේ දැ යි දනුව.
5802. පෙරැ නො ලද විරූ අඩ මස්සක් ලැබ මේ බොහොඬා විදේහයෙහි මිථීලාපුර අගරජු ඉක්මවා සිතයි.
කකණ්ටක පැනය.
5803. යම් ස්ත්‍රියක් අතිශය රූප සම්පත් ඇත්තී ද ආචාර ශීලයෙන් යුක්ත වන්නී ද වෙයි. එබඳු ස්ත්‍රියක යම් පුරුෂයෙක් නො පතයි නම් මහෞෂධය, මෙය තෙපි හදහන්නහු ද?
5804. මහරජ, මම එය හදහමි, පුරුෂයා භාග්‍ය නැත්තෙකි. ශ්‍රීකාන්තාවත් කාලකණ්ණියාත් කිසි කලෙකත් එක් නො වන්නාහ.
සිරිකාලකණ්ණි පැනය.
5805. මේ ලොවැ කිසි කලෙකත් සත් පියවරෙකුදු එක් වැ කළ ගමන් නැති පසමිතුරු දෙදෙනෙක් පෙරැ නො වූ විරූ ලෙසින් එක් වැ හැසිරෙත් නම් ඊට හේතු කවරේ ද?
5806. ඉදින්, අද පෙරබත් කාලයෙහි මේ පැනයට පිළිතුරු සපයන්නට අසමත් වන්නහු නම් තොප සියලු දෙන ම රටින් නෙරපන්නෙමි. නුවණ නැත්තන්ගෙන් මට ප්‍රයෝජනයක් නැත්තේ ය.
5807. මහාජනයා රැස් වූ කල්හි මහත් වූ ජන කෝලාහල ඇති කලැ විසිරුණු සිත් ඇත්තමෝ නොයෙක් සිතිවිලි ඇත්තමෝ මේ පැනයට පිළිතුරු සපයන්නට නො පොහොසතුම්හ.
5808. මහරජ, පණ්ඩිතයෝ ඒකාග්‍ර වූ චිත්තයෙන් යුක්ත වැ එකිනෙකා රහොගත වැ විවේකයෙහි සිටියාහු අරුත් සලකා නිශ්චය කොට කියන්නට සමත් වන්නාහ.
5809. (සේනක) රජ ඇමති පුතුනට එළුමස ප්‍රිය මනාප වෙයි. ඔහු ශුනක මස් නො බුදිත්. එතෙකුදුවත් එළුවාගේත් ශුනඛයාගේත් මිත්‍රභාවය වන්නේය.
5810. (පුක්කුස) අසු පිටැ ඇතිරීමෙහි සුවය සලකා එළුවාගේ සම නහන්නාහ. බලු සම එසේ නො අතුරත්. එකලැ ශුනකයාගේ හා එළුවාගේ මිත්‍රභාවය වන්නේ ය.
5811. (කාවින්ද) එළුවා ඇඹරීගිය අං ඇත්තෙකි. ශුනකයාට විපාණයෝ නැත්තාහ. එළුවා තණ කන්නේ ය. බල්ලා මස් බුදින්නේ ය. එතෙකුදුවත් එළුවාගේත් බල්ලාගේත් මිත්‍රභාවය වන්නේ ය.
5812. (දෙවින්ද) එළුවා තණ හා කොළ කන්නේ ය. බල්ලා තණ හා කොළ නො කන්නේ ය. බල්ලා සාවුන් බළලුන් කයි. එතෙකුදුවත් එළුවාගේත් බල්ලාගේත් මිත්‍රභාවය වන්නේය.
5813. (මහෞෂධ) අඩඅටපා හෙවත් සිවුපා ඇති අට කුරින් යුත් එළුවා මස් ගෙනෙන වේලෙහි නො පෙනී සිට බල්ලාට මස් ගෙනෙයි. බල්ලා එළුවාට තණ ගෙනෙ යි.
5814. ප්‍රාසාදයෙහි මතුමහලැ සිටි වේදේහරජ ඔවුනොවුන්ගේ අහර හුවමාරුව දුටුයේ වන, නරේන්ද්‍ර තෙමේ බල්ලාගේත් එළුවාගේත් මිත්‍රභාවය ප්‍රත්‍යක්ෂයෙන් දිටී.
5815. (වේදේහ රජ) නුවණැත්තෝ ගැඹුරු බවට ගිය සියුම් අරුත් දැනැ සුභාෂිතයෙන් පවසත් ද. මෙබඳු පඬිවරයෝ යම්බඳු වූ මාගේ කුලයෙහි වෙසෙත් ද මට ඒකාන්තයෙන් වූයේ මහත් ලාභයෙකි.
5816. සුභාෂිතයෙන් ඉතා සතුටු වූයෙම් පණ්ඬිතයන් වූ තොපට වෙළඹුන් යෙදූ රියක් ද සශ්‍රීක වූ ග්‍රාමයක් ද බැගින් දෙමි.
ද්වාදශ නිපාතයෙහි මෙණ්ඩක ප්‍රශ්නය යි.
5817. සේනකය, “ප්‍රඥාවෙන් යුක්ත සම්පත්තියෙන් තොර වූයේ ද සම්පත්තියෙන් යුක්ත ප්‍රඥාවෙන් තොර වූයේ ද යන මොවුන් දෙදෙනා අතුරෙන් නුවණැත්තෝ කවරකු උතුම් කොට සලකන්නාහු දැ” යි මෙහි අරුත් පුළුවුස්මි.
5818. (සේනක) මහරජ, නුවණ ඇත්තෝ ද නුවණ නැත්තෝ ද සිප් හැදෑරුවෝ ද නො හැදෑරුවෝ ද සුජාතිමත්හු ද හීනජාති ඇති සම්පත් ඇත්තාගේ මෙහෙකරුවෝ වෙත්. මේ කරුණ දැක මම නුවණැත්තේ හීනය යි ද සම්පත්තියෙන් යුක්ත වූයේ ම උතුම් යයි ද කියමි.
5819. මහාප්‍රාඥ වූ සියලු ධර්ම දක්නා වූ මහෞෂධය, තොප පිළිවිසිමි. අඥාන වූ එහෙත් සම්පත් ඇත්තා වූ ද ප්‍රඥාවෙන් යුක්ත වූ එහෙත් අල්පභෝග ඇත්තා වූ ද දෙදෙන අතුරෙන් කවරෙක් වඩා උතුමැ යි නුවණැත්තෝ කියත් ද?
5820. (මහෞෂධ) මෙලෝ සම්පත් මැ උතුමැ යි සලකන බාලයා පව්කම් කරයි. මෙලොව දක්නා වූ පරලොව නො දක්නා වූ අඥානයා දෙලොවින් මැ පැරැදෙයි. මේ කාරණය දැකැ නුවණැත්තේ ශ්‍රෙෂ්ඨ යැයි ද යශසින් යුක්ත වූ ඥානයෙන් හීන වූයේ ශ්‍රෙෂ්ඨ නො වේ යැ යි ද මම කියමි.
5821. (සේනක) මේ සිප්සතර භෝගයන් නො එළවයි. (එයින්) ඥාතීහු ද නො වෙත්. ශරීරාවකාශයෙක් ද නො වේ. කෙළතොලු වැ සුව විඳිනා ගෝරිමන්ද සිටාණන් බැලුව මැනැව. ශ්‍රී තොමෝ ඔහු සේවනය කරයි. මේ දැකැ නුවණැත්තේ ශ්‍රෙෂ්ඨ නො වේ. අඥාන වූ සම්පත් ඇත්තා මැ උතුමැ යි කියමි.
5822. (මහෞෂධ) අල්ප ප්‍රාඥයා ඉසුරු සුවය ලැබ එහි ඇලේ. දුඃඛ ස්පර්ශයෙන් අතිශය මුලාවට පැමිණේ. ආගන්තුක සුව දුකින් පහස්නා ලද්දේ අව්වෙහි ලූ මසකු සෙයින් සැලේ. මම මේ කරුණ දැක නුවණැත්තේ ම උතුම් වේ. ඉසුරුමත් බාලයා උතුම් නො වේ ය යි කියමි.
5823. (සේනක) වනයෙහි මිහිරි ඵලයන්ගෙන් යුක්ත වූ වෘක්ෂය හාත්පසැ යම්සේ පක්ෂීහු හැසිරෙත් ද එසේ මැ ආඪ්‍ය වූ ධනයෙන් හා භෝගයෙන් යුක්ත පුද්ගලයා ද ධනය නිසා බොහෝ දෙන සේවනය කරති. මේ කරුණ දැකැ මම ප්‍රඥා ඇත්තේ හීන ය. යශස් ඇත්තේ මැ උතුමැ යි කියමි.
5824. (මහෞෂධ) බලවත් වූ බාලයා යහපත් නො වේ. හේ සැහැසිකමින් ධනය ලබයි. වලප්නා වූ මැ ඒ මෝඩයා (නිරය පාලයෝ) මහානිරයට පමුණුවත්. මම මේ කරුණ දැකැ නුවණැත්තේ මැ උතුම් වෙයි. ඉසුරුමත් බාලයා උතුම් නො වේ ය යි කියමි.
5825. (සේනක) යම් කිසි කුඩා නදීහු මහගඟ කරා ගලා බසිද් ද ඒ සියල්ලෝ පෙරැ නම් ගොත් හැරැ දමත්. (ගඟ යන වහරටම යෙති ) ගඟ මුහුදට වදනා කල ද පෙර නම නො පැනෙයි, (මුහුද යන නම ලබයි). ඒකාන්තයෙන් ලෝ වැස්සෝ සම්පත්තිය මැ පිහිට කොට ඇත්තාහ. මම මේ කරුණ දැකැ නුවණැත්තේ නිහීන ය. සම්පත් ඇත්තේ මැ උතුමැයි කියමි.
5826 - 5827. (මහෞෂධ) තෙපි යම් මේ මහාසාගරයක් ගැන කීහු ද එයට අප්‍රමාණ කාලයක් මුළුල්ලේ නදීහු ගලා බසිත්. ඒ සාගරය නිරතුරු මහත් වූ රළවේග ඇත්තේ ය. එහෙත් මහ සයුර වෙරළ නො ඉක්මව යි. එබැවින් බාලයාගේ කථාවෝ ප්‍රාඥයා නො ඉක්මවති. කිසි කලෙකත් සම්පත්තිය ප්‍රඥාව ඉක්මවා නො යයි. මම මේ කරුණ දැකැ ප්‍රාඥයා මැ උතුම් වෙයි. ඉසුරුමත් බාලයා උතුම් නො වේ ය යි කියමි.
5828. (සේනක) කායාදීන්හි සංයමයක් නැත්තේ ද ඉසුරුමත් තැනැත්තේ අධිකරණයෙහි සිටියේ මෙරමාගේ අර්ථය ප්‍රකාශ කෙරෙයි, (ඒ විනිශ්චය මණ්ඩලයෙන්) ඥාතිමධ්‍යයෙහි ඔහුගේ මැ වචනය පිළිගැනෙයි. එය සම්පත්තිය මැ කරවයි. ප්‍රඥාව නො වේ. මම මේ කරුණ දැකැ නුවණැත්තේ හීන ය. යශස් ඇත්තේ මැ උතුම් වන්නේ ය යි කියමි.
5829. (මහෞෂධ) මන්දප්‍රාඥ බාලයා තමා හෝ මෙරමා හෝ උදෙසා මුසවා කියයි. සබා මැදැ නින්දා ලබන හේ පරලොවැ දුගතිගාමී වෙයි. මම මේ කරුණ දැකැ නුවණැත්තේ මැ උතුම් වන්නේ ය. ඉසුරුමත් බාලයා උතුම් නො වන්නේ ය යි කියමි.
5830. (සේනක) සහල් නැළියක් පමණකුදු නැති නිර්ධන දිළිඳු මහනුවණැත්තේ ඉදින් යම් අර්ථයක් කියන්නවුන් ඔහුගේ ඒ වචනය නෑයන් මැද නො නැඟෙන්නේ ය. ශ්‍රිය ද නුවණැත්තාට නො වේ. මම මේ කරුණ දැකැ නුවණැත්තේ නිහීන ය. ඉසුරුමත් තැනැත්තේ මැ උතුම් වන්නේ ය යි කියමි.
5831. (මහෞෂධ) තමාගේ හෝ මෙරමාගේ හෝ ප්‍රයෝජනය උදෙසා නුවණැත්තේ බොරු නො කියයි. හේ සභාමධ්‍යයෙහි පූජිත වෙයි. පරලොවැ ද සුගතිගාමී වෙයි. මම මේ කරුණ දැකැ නුවණැත්තේ මැ උතුම් වන්නේ ය. ඉසුරුමත් බාලයා උතුම් නො වන්නේ ය යි කියමි.
5832. (සේනක) හස්තිගවාශ්වයෝ ද මාණික්‍ය කුණ්ඩලාභරණයෝ ද සමෘද්ධිමත් කුලයන්හි කාන්තාවෝ ද ඉසුරුමත් නොවූ සියල්ලෝ ද ඉසුරුමත් තැනැත්තාට ම උපභෝග පිණිස පවත්නාහ. (නිර්ධන නුවණැත්තා පිණිස නො පවතිත්.) මම මේ කරුණ දැකැ ප්‍රාඥයා නිහීන ය. ඉසුරුමත් තැනැත්තේ මැ උතුම් වන්නේ යයි කියමි.
5833. (මහෞෂධ) අසංවිහිත කර්මාන්ත ඇති දුෂ්ටමන්ත්‍රණයෙන් යුත් මන්ත්‍රීන් ඇති දුෂ්ප්‍රාඥ බාලයා උරගයකු දිරුණු සැව හරනා සේ ශ්‍රී තොමෝ අත් හරින්නී ය. මම මේ කරුණ දැකැ නුවණැත්තේ ම උතුම් වන්නේ ය. ඉසුරුමත් බාලයා උතුම් නො වන්නේ ය යි කියමි.
5834. (සේනක) ස්වාමීනි, පණ්ඩිත වූ අපි පස් දෙන සියල්ලෝ ම බදැඳිලි වැ ඔබ වෙතැ එළැඹියෙමු. භූතයන්ට අධිපති වූ ශක්‍රදිව්‍යරාජයා සේ ඔබ අප මැඬැ ඉසුරුමත් වැ සිටින්නහු ය. මේ කරුණ දැකැ මම ප්‍රාඥයා හීන ය. ඉසුරුමත් තැනැත්තේ මැ උතුම් වන්නේ ය යි කියමි.
5835. (මහෞෂධ) නුවණ ඇත්තන් විසින් කළයුතු යමක් උපන් කලැ ඉසුරුමත් බාල තෙමේ නුවණැත්තාගේ ගැත්තකු සේ වෙයි. නුවණැත්තේ දක්ෂ ලෙසින් යමක් සංවිධානය කෙරේ ද එහි ලා මුග්ධයා මහත් සේ මුළාවට පැමිණෙයි. මම මේ කරුණ දැකැ නුවණ ඇත්තේ මැ උතුම් වන්නේ ය. ඉසුරුමත් බාලයා උතුම් නො වන්නේ ය යි කියමි.
5836. ඒකාන්තයෙන් සත්පුරුෂයන් විසින් නුවණ මැ පසස්නා ලද්දේ ය. සම්පත්හි අන්ධබාල මනුෂ්‍යයෝ ඇලුණාහු වෙති. එහෙයින් ශ්‍රී තොමෝ ඔවුන් කැමැති වෙයි. බුද්ධිමතුන්ගේ ඥානය අසමාන වන්නේ ය. ශ්‍රී තොමෝ කවර කලෙකත් ප්‍රඥා ඇත්තහු ඉක්ම නො යයි.
5837. (වේදේහ රජ) නිවැරැදි සේ ධර්මය දක්නා වූ මහෞෂධ පණ්ඩිතය, අපි යමක් විචාළමෝ නම් ඒ අපට කීවහු ය. ප්‍රශ්න විසැඳීම පිළිබඳ තුටු වූ මම ගවයන් දහසක් ද හස්තිරාජයකු ද ආජානෙය සෛන්ධවයන් යෙදූ මේ රිය දසය ද ගම්වර සොළසක් ද තොපට දෙමි.
විංගති නිපාතයෙහි සිරිමන්ද ප්‍රශ්නය යි.
5838. යම් තැනෙක අත්සුණු සල්පිලක් ඇද්ද ඉන් ඔබ්බෙහි කැඳ සල්පිලක් ඇද්ද ඉනුත් ඔබැ සුපිපි කොබෝලීල ගසෙක් ඇත්තේ ය. එතැන් සිට යම් අතෙකින් අනුභව කරම් ද ඒ අතැ මඟ යන්නට කියමි. යම් අතෙකින් අනුභව නො කරම් ද එ මඟැ යන්නට නො කියමි. මේ යවමැදුම්ගමැ අප ගෙට මඟ ය. මේ සැඟැවුණු මඟ දැනගන්නෙහි ය.
ඡන්නපථප්‍රශ්නය යි.
5839. යමෙක් අත් පා වලින් ද ගසයි මුහුණට ද අනියි, එහෙත් මෙසේ කරන්නා වූ හේ ප්‍රියයෙක් ද වන්නේ ය. මහරජ, මෙයින් කවරකු දක්නෙහි ද?
5840. කවරෙක් නම් ඇවිළැගත් ගිනි ඇති කල්හි ගිනි සොයමින් ඇවිදින්නේ රැයෙහි කණ මැදිරියකු දැකැ ගිනි ය යි සිතා ද.
5841. හෙතෙම වැරැදි හැඟීමෙන් ඒ කණමැදිරියා මතැ ගොම වැරැටි හා තණකොළ රැස් කොට පිඹින්නේ නමුදු ගිනි දල්වන්නට අසමත් වන්නේ ද?
5842. එසෙයින් අඥානයා අනුපායයෙන් අර්ථය නො ලබන්නේ ය. ගවඅඟින් කිරි දොවන්නේ කිරි නො ලබන්නාක් මෙනි.
5843. මනුෂ්‍යයෝ අමිත්‍රයනට නිග්‍රහයෙන් ද මිත්‍රයනට සංග්‍රහයෙන් ද විවිධොපක්‍රමයන්ගෙන් අර්ථ සිද්ධියට පැමිණෙත්.
5844. සේනා ප්‍රධානීන්ගේ සිත් ගැනීමෙන් ද හිතවතුන්ගේ උපක්‍රමයෙන් ද පෘථිවි පාලකයෝ මුළු පොළොව තමන් සතුකර ගනිත්.
ඛජ්ජොපණක ප්‍රශ්නය යි.
5845. (ඇමැති) සේනකයන් කීවේ සැබෑවක් මැ ය. මහත් වූ නුවණැති ඔබ මඳ ව්‍යඤ්ජනයෙන් යුක්ත යවබත අනුභව කරන්නාහු ය. ශ්‍රී තොමෝ එසේම යැ, (ශ්‍රේෂ්ඨ වන්නී ය.) තොපගේ ධෛර්ය්‍යයත් ස්මෘතියත් පරිහානියට පත් තොප නො රක්නේ ය.
5846. සැපත දුකින් මුහුකුරුවන්නා වූ කල් නොකල් විමසා අභිප්‍රාය සඟවන්නා වූ තැනැත්තා අර්ථයේ ද්වාරයන් විවෘත කරන්නේ ය. ඒනිසා මම යවබතින් තුස්නෙමි.
5847. (මහෞෂධ) වීර්ය්‍යය කිරීමට සුදුසු කල් දැනැ නුවණින් අර්ථය මුහුකුරුවා සිංහ විජෘම්භණයෙන් විජෘම්භණය කරන්නෙමි. ඒ සමෘද්ධියෙන් යුක්ත වූ මා නැවැත දක්නෙහි ය.
5848.(වේදේහරජ) සැපයට පත්වූ අසමත් ඇතැම්හු පාපයන් නො කරත්. නුවණමඳ ඇතැම්හු පරොපවාද බියෙන් පව් නො කරත්. අතිශයින් දක්ෂ වූ විපුලාර්ත්ථ චින්තී වූ තෙපි කවර හෙයින් මට දුක් ඇති නො කරන්නහු ද?
5849. (මහෞෂධ) ආත්ම සුඛ හේතුයෙන් නැණවත්හු පාපයන් නො කරත්. සාධුජනයෝ දුකින් පෙළුණෝ ද සැපතින් පිරිහුණෝ ද ඡන්දයෙන් හෝ ද්වේෂයෙන් හෝ ධර්මය අත් නො හරිත්.
5850. (වේදේහරජ) මෘදු වූ හෝ දරුණු වූ හෝ යම් උපක්‍රමයෙකින් දීන වූ තමා නඟා සිටුවන්නේ ය. පසු වැ ධර්මයෙහි හැසිරෙන්නේ ය.
5851. (මහෞෂධ) යම් රුකෙක සෙවණැ හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේ ද එම ගසැ අත්තක් හෝ නො බිඳින්නේ ය. (බිඳින්නේ නම්) හේ මිත්‍රද්‍රෝහී පවිටෙක් වන්නේ ය.
5852. යම් කෙනකුන් වෙතින් පුරුෂ තෙමේ ධර්මය දැනගන්නේ ද යම් සත්පුරුෂ කෙනෙක් ඔහුගේ සැක දුරු කෙරෙත් ද ඒකාන්තයෙන් හේ ඔහුට පිහිට ද සරණ ද වන්නේ ය. නුවණැත්තේ ඔහු සමඟ පවත්නා මිත්‍රභාවය නො නසන්නේ ය.
5853. කම්සැප සෙවුනා වූ අලස ගිහියා යහපත් නො වේ. සංයමයෙන් තොර පැවිද්දා ද යහපත් නො වේ. නො විමසා ක්‍රියා කරන රජ යහපත් නො වේ. යම් පණ්ඩිතයෙක් ක්‍රෝධ කරන සුලු නම් හෙ ද යහපත් නො වේ.
5854. මහරජ, ක්ෂත්‍රිය තෙමේ විමසා ක්‍රියා කරන්නේ ය. නො විමසා ක්‍රියා කිරීම යහපත් නො වේ. විමසා ක්‍රියා කරන්නාගේ යශස ද කීර්තිය ද වැඩේ.
භූරි ප්‍රශ්නය යි.
5855. යමෙක් අත් පා වලින් ගසයි ද, මුහුණටත් අනියි ද, මහරජ, හේ ඒකාන්තයෙන් ප්‍රියයෙක් ද වෙයි. ඒ කවරකු ලෙස දක්නෙහි ද?
5856. යමකුට රිසිසේ අක්‍රෝශ කරයි ද, (එහෙත් ආක්‍රෝශ වශයෙන් කියූ) ඒ කාරණයාගේ ඊම නො කැමැති වෙයි ද මහරජ, හේ ඒකාන්තයෙන් ප්‍රිය වන්නේ ය. ඒ කවරකු ලෙස දක්නෙහි ද?
5857. යමෙක් මුසායෙන් ගටා බෙණෙයි ද බොරුයෙන් චෝදනා කෙරෙයි ද මහරජ, හේ ඒකාන්තයෙන් ප්‍රිය වන්නේ ය. ඒ කවරකු ලෙස දක්නෙහි ද?
5858. ඇතැමෙක් ආහාරපාන හා වස්ත්‍ර ශයනාසනයන් ද රැගෙන යත්. එහෙත් එසේ ගෙන යන්නා වූ ඔව්හු ඒකාන්තයෙන් ප්‍රිය වෙත්. මහරජ, ඒ කවරුන් ලෙස දක්නෙහි ද?
දෙවතා පුච්ඡිත ප්‍රශ්නයෝ යි.
5859. මෙහි පැමිණි පඤ්ච පණ්ඩිතවරුනි, මට වැටැහෙන එක් ප්‍රශ්නයෙක් ඇත. එය අසවු. නින්දා කටයුතු වූ හෝ ප්‍රශංසා කටයුතු වූ හෝ රහස කවරකුට හෙළි කළ යුත්තේදැ යි වේදේහ රජ පිළිවිසී.
5860. මහරජ, ඔබ මැ අපට එය ප්‍රකාශ කරනු මැනව. ඔබ අපගේ ස්වාමියා ද, බර උසුලන්නා ද වෙති. පඬිවරු පස්දෙන ඔබගේ අදහස හා කැමැත්ත විමසා පිළිතුරු කියන්නාහයි සේනක කීය.
5861. (වේදේහ රජ) යම් ස්ත්‍රියක් ආචාර ශීලයෙන් යුක්ත ද අනුන් වසඟයෙහි නො පවතී ද ස්වාමියාගේ කැමැත්ත අනුව වසන්නේ ද, ප්‍රිය මනාප වන්නී ද එබඳු බිරිඳට නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස කියැ යුත්තේ ය.
5862. (සේනක) යමෙක් දුකට පත් ආතුරයාට සරණ වැ පිහිට වැ උපකාරී වැ පවතී ද එ බඳු මිත්‍රයාට නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය.
5863. (පුක්කුස) ඉදින් යමකුට ජ්‍යෙෂ්ඨ හෝ මධ්‍යම හෝ කණිෂ්ඨ හෝ සොහොයුරෙක් වේ ද හෙ ද ශීලයෙහි මනා වැ පිහිටියේ ස්ථිර සිතැත්තේ නම් එවැනි සොහොවුරාට නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය.
5864. (කාවින්ද) ඉදින් යමෙක් පියා ගේ සිතට අනුව ක්‍රියා කරන්නේ ද මහත් ප්‍රඥායෙන් යුක්ත වූයේ පියාට අනුජාත වේ ද එ බඳු පුතුට නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය.
5865. (දෙවින්ද) දෙපා ඇත්තනට නායක මහරජ, යම් මවක් ස්නෙහයෙන්, ප්‍රිය උපදවමින් සිය පුතු පෝෂණය කරන්නී ද එ බඳු මවට නින්දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය.
5866. (මහෞෂධ) සැඟැවියැ යුතු දේ සැඟැවීම මැ යහපත් වන්නේ ය. රහස හෙළි කිරීම පැසසිය යුතු නොවේ. නුවණැත්තේ කාර්ය්‍ය සිද්ධිය නොවී නම් (කාර්ය්‍ය සිද්ධිය තෙක්) රහස දරන්නේ ය. සිද්ධ වූ අර්ථ ඇත්තේ රිසි සේ කියන්නේ ය.
5867. මහරජ ඔබේ සිත් පෙරැළියට හේතු කවරේ ද? කවර හෙයින් ඔබෙන් වචනයක් නො අසම් ද? කුමක් සිතමින් දොම්නස් වූයෙහි ද? දේවයිනි, මාගෙන් වූ යම් අපරාධයෙක් හෝ ඇත් දැයි උඳුම්බරාදේවි විචාළාය.
5868. මහාප්‍රාඥ වූ මහෞෂධ පණ්ඩිත මැරිය යුතුය යි මා විසින් වධයට අණ කරන ලද්දේ ය. ඒ ගැන සිතමින් දොම්නස් වූයෙම් වෙමි. දේවිය, ඔබ කළ අපරාධයෙක් නැත යි රජතෙමේ කීය.
5869. මහාප්‍රාඥය, ඊයේ ගියා වූ තෙපි දැන් එන්නහු ය. කුමක් අසා තොපගේ සිත කුමකට සැක කෙරේ ද? කවරෙක් තොපට කුමක් කීයේ ද? ඒකාන්තයෙන් ඒ වචනය මට කියව, එය අසන්නෙමි යි වේදේහ රජ මහෞෂධ පඬිතුමාගෙන් පිළිවිසී.
5870. (මහෞෂධ) මහරජ, මහෞෂධ පණ්ඩිත මැරිය යුතු යැ යි ඉදින් ඔබ විසින් සේනකාදීන් සමග මන්ත්‍රණය කරන ලද ද. රැයෙහි හුදෙකලා වූයේ බිරිඳට එය කීහ. ඔබ විසින් හෙළිකළ ඒ රහස මා විසින් අසන ලද්දේ ය.
5871. සේනක තෙමේ සල් උයනැ සිටැ යම් ලාමක වූ පාප කර්මයක් කළේ ද, එය මිත්‍රයකුට කීයේ ය. ඒ හෙළි කළ රහස මා විසින් අසන ලදී.
5872. මහරජ, ඔබගේ පුක්කුස නම් වූ රාජපුරුෂයාට රජුන් විසින් නො ළං වියයුතු රෝගයෙක් උපන. හේ රහසිගත වැ සෝවුරාට කීයේ ය. එසේ රහස හෙළි කිරීම මා විසින් අසන ලදී.
5873. කාවින්දයා නරදේව නම් යකකු විසින් ස්පර්ශ කරන ලද්දේ ය. මේ ආබාධය නො සරුප් සබා ඇත්තේ ය. හේ එය රහසිගත වැ පුත්‍රයාට කීයේ ය. එසේ රහස හෙළි කිරීම මා විසින් අසන ලදී.
5874. සක්දෙව්රජ ඔබගේ මී මුත්තණුවනට මහඟු අෂ්ටවඞ්ක නම් මාණික්‍ය රත්නයක් දුන්නේ ය. ඒ මිණි රුවන දැන් දෙවින්දයා අතට පත්වැ ඇත. හේ එය මවට රහසේ කීය. රහස හෙළි කිරීම මා විසින් අසන ලදී.
5875. සැඟැවිය යුත්ත සැඟැවීම මැ මැනැවි. රහස හෙළි කිරීම ප්‍රශස්ත නොවේ. නුවණැත්තේ කාර්ය්‍ය නිෂ්පත්තිය නොවූ රහස දරන්නේ ය. කාර්ය්‍ය සංසිද්ධියෙන් ඉක්බිති වැ රිසිසේ කියන්නේ ය.
5876. සැඟැවිය යුත්ත හෙළි නො කටයුත්තේ ය. එද නිධානයක් සේ ආරක්ෂා කළ යුතු ය. නුවණැත්තහු විසින් රහස් හෙළි කිරීම උචිත නොවේ.
5877. නුවණැත්තා ස්ත්‍රියට ද හතුරාට ද යමෙක් ආමිෂ හේතුයෙන් පෙළඹේ නම් ඔහුට ද කෛරාටික සිතැත්තාට ද (රහස් හෙළි නො කරන්නේ ය.)
5878. යම් මිනිසෙක් අනුන් විසින් නො දත යුතු රහසක් (යමකුට) කීයේ නම් රහස් හෙළිවේ ය යන බියෙන් හෝ ඔහුගේ දාසයකු සෙයින් සියල්ල ඉවසයි.
5879. මන්ත්‍රණය කළවුන් අතරැ යම් තාක් දෙනා ඔහුගේ රහස් දනිත් ද, ඔහුට එපමණ තැති ගැනුම් ඇති වේ. එනිසා රහස නො හළ යුත්තේ ය. හෙළි නො කළ යුත්තේ ය.
5880. රහස දවල් කාලයෙහි විවේක වැ කියැ යුත්තේ ය. රැයෙහි සීමාව ඉක්ම වූ වචන (හඬ නගා ) නො කියන්නේ ය. අසලැ සිටින්නෝ ඒකාන්තයෙන් මන්ත්‍රණය ශ්‍රවණය කරන්නාහ. එයින් මන්ත්‍රණය භේදයට පැමිණෙයි.
පඤ්චපණ්ඩිත ප්‍රශ්නය යි.
5881. මහෞෂධ පණ්ඩිතය, පඤ්චාල දේශවාසී බ්‍රහ්මදත්ත රජ සියලු බළ සෙනඟ සමග ආයේ ය. ඒ මේ පඤ්චාල රජු සතු සේනාව අපමණ ය.
5882. ඒ සේනා තොමෝ පිටින් ගෙනා දැව ඇති වඩු සේනාවෙන් යුක්ත ය, පාබළ සෙනගින් යුක්තය, සකල සංග්‍රාමොපායයන්හි දක්ෂය. සතුරන් හිස් සිඳලීමෙහි දක්ෂය, දශවිධ ශබ්දයෙන් හා බෙර සක් හඬින් ද ප්‍රබෝධවත් ය.
5883. ලෝහවිද්‍යාවෙන් නිර්මිත වූ කවච ආදියෙන් හා ආභරණයන්ගෙන් බබළන්නීය. ධජ පතාකයන්ගෙන් ද වමින් නැඟිය යුතු ඇතුන් හා අසුන්ගෙන් ද විවිධ ශිල්පීන්ගෙන් ද යුක්ත වූවාය. අති දක්ෂ යෝධයන්ගෙන් මනාව පිහිටියා ය.
5884. මෙ මැ සේනාවෙහි මහාප්‍රාඥ වූ රහස් මන්ත්‍රණ ඇති දශ පණ්ඩිත කෙනෙක් වෙති. රජුගේ මව ද එකොළොස්වැන්නී වූවා පඤ්චාලසේනාවට අනුශාසනා කරයි.
5885. තව ද රටවල් පැහැර ගැන්මෙන් පෙළුණු පඤ්චාලීනට යටත් වූ යසස් ඇති එක්සියයක් රජදරුවෝ ද මෙහි බ්‍රහ්මදත්ත රජුට අනුගත වැ සිටිත්.
5886. යමක් කියන්නාහු නම් එය කරන්නා වූ රජුට නො කැමැත්තෙන් නමුදු ප්‍රිය වචන කියන්නා වූ නො කැමැත්තෙන් යටත්වූවෝ ද පඤ්චාලරජු අනුව යති.
5887. ඒ (සිවුරඟ) සේනාවෙන් මිථිලා පුරය ත්‍රිසන්ධියෙකින් වටකරන ලද්දේ ය. විදේහයන්ගේ රාජධානිය හාත්පසින් කණිනු ලැබේ.
5888. මස්තකයෙහි තාරකා පහළ වූවාක් සෙයින් (දඬු වැට පහන් ගෙන) හාත්පසින් වටකරන ලදය. මහෞෂධයෙනි කෙසේ මිදීම වන්නේ දැයි දනුව. මෙසේ වේදෙහ රජ පිළිවිසි.
5889. දේවයන් වහන්ස, පා දිගු කළ මැනව. කාමයන් අනුභව කළ මැනව. සිත් අලවා වෙසෙනු මැනව. පඤ්චාලීය සේනාව හැර දමා බ්‍රහ්මදත්තරජ පලායන්නේ ය යි මහෞෂධ පඬිතෙමේ කීය.
5890. (කේවට්ට) සමඟිය කැමැති (බ්‍රහ්මදත්ත) රජ තෙමේ ඔබ වහන්සේට රත්නයන් (පඬුරු කොටැ) එවන්නේ ය. පඤ්චාල නගරයේ සිට මිහිරි වූ ප්‍රියවචන ඇති දූතයෝ ද එත්වා.
5891. යම් බසක් සතුට ඇති කෙරේ ද එ බඳු මෘදු වචන මැ තෙපලත්වා. පඤ්චාලයෝ ද විදේහයෝ ද යන දෙ පස එකමුතු වෙත්වා. (සමගි වෙත්වා.)
5892. (වේදේහරජ) කෙසේ ද කේවට්ටය, මහොසධයන් හා සමඟිය වී ද, කිම තෙපි කමා කරනු ලැබූහු ද, කිම මහොසධයෝ තුටු වූහු ද? (තොරතුරු) මට කියව.
5893. මහරජ, හේ අනාර්‍ය්‍යස්වරූප ඇති පුරුෂයෙකි. සතුටු කථා නැත්තෙකි. උඩඟු වූවෙකි. අපණ්ඩිතස්වාභව ඇත්තේ ය. ගොළුවකු සේද බිහිරකු සේද කිසිත් නො තෙපළේ ය යි කේවට්ට කීය.
5894. රජ මෙසේ සිතයි. ඒකාන්තයෙන් මේ මන්ත්‍රපදය දක්නට ඉතා අපහසුය. නරවීරයා (මහෞෂධ) විසින් මෙහි යථාර්තය දක්නා ලද්දේ ය. ඒ එසේමැ යි. මා ගත වෙවුල යි. සියරට හැර කවරෙක් නම් තෙමේ මැ මෙරමා අතට පත්වන්නේ ද?
5895. (රජ) නුවණින් ඉතා උතුම් තැනට පත් යම් පණ්ඩිත කෙනෙක් වෙත් ද ඒ අප සදෙනාගේ ම අදහස සම වෙයි. මහෞෂධය, (පඤ්චාල නුවරට) යාම හෝ නො යාම හෝ මෙහි සිටීම හෝ පිළිබඳ වැ තෙපි දු අදහසක් ප්‍රකාශ කරව.
5896. (මහෞෂධ) මහරජ, චූළනීබ්‍රහ්මදත්ත රජ මහත් බල ඇත්තෙක, මහත් අනුභාව ඇත්තෙකැ යි දන්නෙහි. වැද්දකු දඩ මුවකු කරණ කොටගෙන අල්ලාගත් මුවකු මෙන් බ්‍රහ්මදත්තරජ ද ඔබ මරනු රිසි වෙයි.
5897. යම් සේ මත්ස්‍යයෙක් මසින් වැසුණු වක් වූ බිළිය ගිලීද, ඇමට ගිජු ඒ මත්ස්‍ය තෙමේ තමාගේ මරණය නො දකීද,
5898. එසේ මැ මහරජ, කාමයෙහි ගිජු වූ ඔබ ද මත්ස්‍යයා තමාගේ මරණය නො දන්නා සේ චූළනීරජුගේ දුව (පිළිබඳ කාරණය) නො දන්නාහු ය.
5899. ඉදින් ඔබ පඤ්චාල නුවරට යන්නහු නම් වහා සිය දිවි හරනහු ය. ගම්දොර මගටවන් මුවකු සේ මහත් බියට පැමිණෙන්නහු ය.
5900. (රජ) යම් කෙනෙක් මඞ්ගලාර්ථයන් පිළිබඳවැ තා සමඟ කථා කළෝ ද ඒ අපි මැ මෝඩ කෙළතොල්ලෝ වෙමු. නඟුල් කෙළවර ගෙනැ වැඩුනා වූ තෝ කෙසේ නම් අන්‍ය (කේවට්ටාදි) පණ්ඩිතයන් සේ උත්තමාර්ථයන් දන්නෙහි ද?
5901. යමෙක් මගේ රත්නලාභයට අන්තරාය පිණිස කථා කරයි ද ඒ මොහු ගෙලෙන් ගෙනැ මගේ රටින් නෙරවු.
5902. ඉක්බිති හෙතෙම (මහෞෂධ පණ්ඩිත) වේදේහ රජු වෙතින් ඉවත් වැ ගොස් පණිවුඩකරු වූ මාඪර නම් ගිරා පණ්ඩිතයන් ඇමති ය:
5903. යහළු රන්වන් පියාපත් ඇත්ත, මෙහි එව. මට එක් මෙහෙවරක් කරන්නෙහි ය. පඤ්චාල රජුට යහන් බලන එක් සැළලිහිණියක් ඇත.
5904. ඕ තොමෝ සියල්ලෙහි දක්ෂ වන්නී ය. ඇය රහසින් විචාරව. රජුත් කේවට්ටයාත් අතරැ (වන) සියලු මන්ත්‍රණ ඕ දන්නී ය.
5905. ස්වර්ණවර්ණ පක්ෂ පත්‍ර ඇති මාඪර නම් ගිරා පණ්ඩිතයා ද එසේ ය යි පිළිගෙන ශාරිකාව වෙතැ ගියේ ය.
5906. ගිරා පණ්ඩිතයා ද එතැනින් පිටත් වැ ගොස් ඉක්බිති රන් මැදිරියේ වෙසෙන මිහිරි සේ බෙණෙන ශාරිකාව ඇමතී ය:
5907. රන් මැදිරියේ වෙසෙන්නිය, තිගේ සුව කෙසේ ද? වෛශ්‍ය කුලයෙහි උපන්න, කිම නිරෝග වැ වෙසෙන්නී ද? රන් මැදිරියේ වෙසෙන තී මී මුසු විලඳ ලබන්නී ද?
5908. (සැළලිහිණිය) යහළු, මම සුවසේ ද නිරෝග වැ ද වෙසෙමි. තවද, ගිරා පණ්ඩිතය, මට විලඳ හා මී ද ලැබේ.
5909. යහළු, තෙපි කොහි සිට පැමිණ සිටින්නහු ද, කවුරුන් විසින් එවන ලද්දහු ද, මින් පෙරැ තෙපි දක්නා ලද හෝ අසන ලද හෝ නො වෙමි.
5910. (ගිරාපණ්ඩිත) මම සිවිරජුගේ ප්‍රාසාදයෙහි ශයන පාලකයා වීමි. ඒ දැහැමි රජ බැඳුම්හි සිටියවුන් බැඳුමින් මිදී ය.
5911. පියබස් බෙණෙන එක් සැළලිහිණියක් මට බිරිඳ වූවා ය. මා රන්මැදිරියේ බලා සිටිය දී ම ඕ උකුස්සකු විසින් මරණ ලද්දී ය.
5912. ඈ පිළිබඳ කාමයෙන් මත්වූයෙමි. තී සමීපයට ආයෙමි. ඉදින් අවසර ලබන්නෙමි නම් අපි දෙදෙන එක් වැ වසමු.
5913. (සැළලිහිණිය) ගිරවා ගිරවියක ද, සැළලිහිණියා සැළලිහිණියක ද කැමැති වන්නේ ය. ගිරවකු හා සැළලිහිණියක අතරැ කෙබඳු සංවාසයෙක් ද?
5914. කාමියෙක් යමක කැමැත්තේ නම් ඇය සැඩොලක වුව ද කැමැති වන්නේ ය. තවද කාම සේවනයෙහිදී සියල්ලෝ මැ සම වන්නෝ ය. අසමානයෝ නැත්තාහ යි ගිරා පණ්ඬිත කීය.
5915. සිවි රජුගේ මවු තොමෝ ජම්බාවතී නම් සැඩොලක් වූවා ය. ඕ කෘෂ්ණගොත්‍රයේ උපන් වාසුදේව රජුගේ ප්‍රිය බිරිඳ ද අගමෙහෙසිය ද වූවා ය.
5916. පෙරැ රථාවතී නම් කිඳුරියක් වූවා ය. ඕ තොමෝ වච්ඡ නම් තවුසකු කැමැති කරවාගත්තා ය.මනුෂ්‍යයෙක් තිරිසනක සමග වාසය කළේ ය. කාමයෙහි අසමානබවක් නැත.
5917. මිහිරිබස් ඇති ශාරිකාව, එසේ නම් මම යන්නෙමි. මේ සියල්ල තී හැර දැමීමට කරුණු ය. තෝ මා ඉක්මවා සිතන්නෙහි.
5918. (සැළලිහිණිය) ගිරා පණ්ඩිතය, ඉක්මන් තැනැත්තාට ශ්‍රී තොමෝ දුරු වන්නී ය. එ නිසා රජු දක්නා තෙක් මෙහි රැඳෙව. මිහිඟු බෙර හඬ අසන්නෙහි ය. රජුගේ අනුභාව දක්නෙහි ය.
5919. (ගිරාපණ්ඩිත) පඤ්චාලරජුගේ, ඔසධීතාරකාව සේ රුසිරින් වොරඳනා දූකුමරිය වේදේහරජුට දෙන්නේ ය යන මහත් ඝෝෂාවක් පසල්දනවුවල දී අසන ලද්දේය. ඒ විවාහය සිදුවන්නේ ද?
5920. (සැළලිහිණිය) මාඪරය, යම් සේ වේදේහ රජු හා පඤ්චාලරජුගේ මෙන් තොපගේ පසමිතුරන් අතරැ හෝ එබදු විවාහයෙක් නො වේවා.
5921. පඤ්චාලරජ වේදේහ රජු මෙහි ගෙන්වා නසන්නේ ය. වේදේහරජු සමග මිතුරු බවක් නම් නො වන්නේ ය.
5922. (ගිරාපණ්ඩිත) ශාරිකා සමීපයෙහි විසීමට මා අවස්ථාව ලදැ යි සිවිරජුට හා මෙහෙසියට දන්වා එනතෙක් සත් රැයකට මට අවසර දෙව.
5923. එසේ නම් ම විසින් අනුමත කළ තොප සත් රැයකින් (ආපසු) මා වෙත නො පැමිණියහොත් මගේ මළගමට පැමිණෙන්නට ලැබෙන්නේ යැ යි සිතනු යි ශාරිකා කීය.
5924. ඉක්බිති මාඪර නම් ගිරා පණ්ඩිත තෙමේ එතැනින් පිටත් වැ ගොස් ශාරිකාවගේ වචනය මහෞෂධ පණ්ඩිතයනට කීයේ ය.
5925. යමකුගේ ගෘහයෙහි සම්පත්තීන් අනුභව කරන්නේ නම් සත්පුරුෂතෙමේ ඔහුගේ මැ අර්ථය උදෙසා ක්‍රියා කරන්නේ ය.
5926. මහරජ, එසේනම් මම පළමු කොට යශස් ඇති වේදේහ රජුට (ඔබට) නිවෙස් තැනීමට පඤ්චාලරජුගේ රමණීය පුරවරයට යන්නෙමි.
5927. මහරජ, ඉසුරුමත් වේදේහයනට නිවෙස් මවා යම් දිනෙක ඔබට පණිවුඩයක් එවන්නෙම් ද එකලැ එහි පැමිණෙනු මැනැවි.
5928. ඉසුරුමත් වේදේහ රජුට නිවෙස් තැනීමට මහෞෂධ පඬිතුමා පළමුව පඤ්චාල රජුගේ රමණීය පුරවරයට ගියේ ය.
5929. වේදේහරජුට නිවෙස් සාදා ඉක්බිති වැ “මහරජ ඔබට නිවෙස් මැවීමි. පැමිණෙනු මැනැවැ” යි (මිථිලාධිපති වේදේහ රජුට ) පණිවුඩකරුවකු යැවී ය.
5930. ඉක්බිති වේදේහ රජ තෙමේ සිවුරඟ සෙනඟ සමග අප්‍රමාණ වූ අශ්වාදී සේනාවන් ඇති සමෘද්ධිමත් කම්පිල්ලිය නගරය දක්නා පිණිස පිටත්විය.
5931. ඉක්බිති වේදේහරජ එහි ගොස් “මහරජ ඔබගේ පා වැඳුමට ආයෙමි” යි බඹදත්රජුට හසුන් යැවී ය.
5932. සකල ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් ශෝභමාන වූ කන්‍යාව (ඔබ දියණිය) රනින් සරසා දැසිදස් සමූහයා විසින් පෙරටු කරන ලදුවැ මගේ බිරිඳ ලෙස දැන් එවුව මැනැව.
5933. වේදේහය, ඔබේ පැමිණීම ශුභ සම්ප්‍රාප්තියෙකි. තව ද නපුරු කොටැ ඊමෙක් ද නොවේ. නැකැත් පමණක් විමසව. රනින් සැරැසූ දියණිය දැසි දස් ගණයා පෙරටු කොටැ ඔබට දෙන්නෙමි.
5934. ඉක්බිති වේදේහ රජ නකත් විචාළේ ය. නකත් විචාරා බ්‍රහ්මදත්ත රජුට හසුන් යැවී ය.
5935. සකල ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් ශෝභමාන වූ කන්‍යාව රනින් සරසා දැසි දස්සන් පෙරටු කොටැ මගේ බිරිඳ ලෙසින් දැන් එවනු මැනැයි දූතයන් යැවී.
5936. සකල ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් ශෝභමාන වූ කන්‍යාව රනින් සරසා දැසි දස්සන් පෙරටු කොට ඔබට බිරිඳ ලෙසින් දෙන්නෙමි යි චූළනී රජ දැන්වී.
5937. (වේදේහරජ) ඇත් අස් රිය පාබළ සේනාවෝ රැස්ව සිටිත්. දැල් වූ විලක්කු ද බැබළේ. පණ්ඩිතවරු මේ කිමෙකැ යි සිතන්නාහු ද?
5938. සන්නාහ සන්නද්ධ ඇත් අස් රිය පා බළ සේනාවෝ රැස් වැ සිටිත්. දැල්වූ විලක්කු ද බැබළේ. පණ්ඩිතවරු “මොහු කුමක් කරන්නාහු දැ” යි දනිත් ද?
5939. (මහෞෂධ) මහරජ, මහත් බල ඇති චූළනී රජ තෙමෙ ඔබ යා නොදී රකියි. ප්‍රකෝප වූ බ්‍රහ්මදත්තරජ උදාසන ඔබ නසන්නේ ය.
5940. (වේදේහරජ) මා හද සැලෙයි. මුව ද වියැළෙන්නේ ය. ගිනි වැදුනකු අවුවේ ලූ සෙයින් නිවීමට නො පැමිණෙන්නෙමි.
5941. කඹුරන්ගේ උදුන යම් සේ ඇතුළ දවයි ද පිටත නො දවයි ද, එසේ මා ඇතුළුහද දැවෙයි. පිටත නො දැවෙයි.
5942. (මහෞෂධ) මහරජ, ප්‍රමාදයට පැමිණ මගේ වචන ඉක්මැවූයේ භින්න මන්ත්‍ර ඇත්තෙහි ය. ඔබ හා මන්ත්‍රණය කළ පණ්ඩිත ජනයෝ ම ඔබ රකිත්වා.
5943. අභිවෘද්ධිය කැමැති හිතවත් ඇමැතියාගේ වචන නො පිළිගෙන තමා පිණැවීමෙහි මැ ඇලුණු ඔබ මළපුඬුවැ වැටුණු මුවකු වැනිය.
5944. යම් සේ මත්ස්‍යයෙක් මසින් වැසුණු වක් වූ බිළිය නො දැක ඇමෙහි ගිජු වැ තමනට පැමිණෙන මරණය නො දක්නේ ද.
5945. මහරජ, එසේ මැ ඔබ ද චූළනී රජුගේ දුව පිළිබඳ කාමයෙන් මුළා වූවාහු ඇම ගිලි මසු මෙන් තම මරණය නො දන්නාහ.
5946. ඉදින් පඤ්චාල නුවරට යන්නෙහි නම් වහා සිය දිවි හරනෙහි ය. වීථියට පිළිපන් මෘගයකු සේ මහත් බියට පැමිණෙන්නෙහි ය.
5947. මහරජ, අනාර්‍ය්‍යස්වරූප පුරුෂ තෙමේ ඇකයෙහි වූ සර්පයකු දෂ්ට කරන්නා සේ විපත් පමුණුවන්නේ ය. නුවණැත්තේ ඔහු හා මිත්‍රත්වයක් නො කරන්නේ ය. අසත්පුරුෂයා හා එක්වීම ඒකාන්තයෙන් දුකකි.
5948. මහරජ, යම් හෙයකින් මේ තෙමේ සිල්වතෙක උගතෙකැ යි දන්නේ ද, එ බඳු පුද්ගලයා සමග නුවණැත්තේ මිත්‍ර වන්නේ ය. සත්පුරුෂයා හා එක්වීම ඒකාන්තයෙන් සුව එළවන්නේ ය.
5949. මහරජ, යම් උතුම් මඞ්ගලාර්ත්ථයක් මා සමඟ කී ඔබ මැ කෙළ තොලු වෙති. නඟුල් කෙළවර ගත් මම කෙසේ සෙස්සන් සේ මඞ්ගලාර්ත්ථයන් දන්නෙම් ද?
5950. යමෙක් මාගේ රත්නලාභයට අන්තරාය පිණිස කථා කරයි ද ඒ මොහු ගෙලෙන් ගෙනැ මාගේ විජිතයෙන් නෙරවු.
5951. (වේදේහරජ) මහෞෂධ පණ්ඩිතය, නුවණැත්තෝ අතීතය නමැති හුලින් නො විදිත්. කිම, දැඩි වැ බැඳි අසකුට කෙවිටෙන් අණින්නාක් මෙන් මා පෙළන්නෙහි ද?
5952. ඉදින් මට මිදීමක් දක්නෙහි නම් හෝ බියෙන් තොර වීමට යමක් දන්නෙහි නම් හෝ ඉන් මට අනුශාසනා කරව. අතීතයෙන් පහරදීමෙන් ඇති (ප්‍රයෝජනය) කිම?
5953. (මහෞෂධ) මෙයින් මිදීමට මිනිසකු විසින් කළ හැකි දේ ඉක් මැ ගියේ ය. මෙය අභිභවනය කිරීමට නො හැක්ක. ඔබ මිදැවීමට නොහැක්කෙමි. මහරජ, (මෙයින් මිදීමට) ඔබ මැ මඟක් දනුව.
5954. සෘද්ධිමත් වූ යශස් ඇත්තා වූ ආකාශචාරී හස්තීහු ඇත්තාහ. යමකුට එබඳු හස්තීහු වෙත් නම් ඔහු හෝ ගෙනැ යන්නා හ.
5955. සෘද්ධිමත් වූ යශස් ඇත්තා වූ ආකාශචාරී අශ්වයෝ ඇත්තාහ. යමකුට එ බඳු අශ්වයෝ වෙත් නම් ඔහු හෝ රැගෙන යන්නාහ.
5956. සෘද්ධිමත් වූ යශස් ඇත්තා වූ ආකාශචාරී පක්ෂීහු ඇත්තාහ. යමකුට එබඳු පක්ෂීහු වෙත් නම් ඔහු හෝ රැගෙන යන්නාහ.
5957. සෘද්ධිමත් වූ යශස් ඇත්තා වූ ආකාශචාරී යක්ෂයෝ ඇත්තාහ. යමකුට එබඳු යක්ෂයෝ වෙත් නම් ඔහු හෝ රැගෙන යන්නාහ.
5958. මහරජ, මිනිසුන් විසින් කළ හැකි කාර්ය්‍යයෝ ඉක්ම ගියහ. මෙම කාර්ය්‍යය දුෂ්කර ද අභිභවනය කිරීමට අපහසු ද වෙයි. අහසින් ගෙනැ ගොස් මිදැවීමට ද මම අපොහොසත්මි.
5959. (සේනක) මහසයුරට වැටී තෙරක් නො දක්නා වූ පිහිටක් මිනිසෙක් යම් තැනක (දිවයිනක්) ලබන්නේ නම් එතැන අපමණ සුවයක් විඳින්නේ ය.
5960. මහෞෂධ පණ්ඩිතය, එ නිසා අපට ද රජුට ද පිහිට තෙපිය. මන්ත්‍රීන් අතරැ තෙපි මැ ශ්‍රේෂ්ඨ වන්නහු ය. අප දුකින් මිදෙවුව මැන.
5961. මිනිසුන් විසින් කළ හැකි කාර්ය්‍යයෝ ඉක්ම ගියහ. මේ බිය දුෂ්කර වූවක් ද අභිභවනය කිරීමට අපහසු වූවක් ද වන්නේ ය. මෙයින් මුදන්නට මම නො පොහොසත්මි. සේනකය, තෙපි මැ මඟක් දනුව.
5962. (වේදේහරජ) මගේ මේ වචනය අසව. මේ මහත් බිය බලව. දැන් සේනකයන් විචාරමි. මෙහිලා තෝ කවරක් සිතන්නෙහි ද?
5963. (සේනක) “බ්‍රහ්මදත්ත රජ අපට බොහෝ කලක් දුක් දී නො මරාවා” යි දොර පටන් ගෙට ගිනි දල්වමු. ආයුධ ගනිමු. ඔවුනොවුන් වධ කොට ගෙනැ වහා දිවි අත් හරිමු.
5964. (රජ) මගේ මේ වචනය අසව. මේ මහත් බිය බලව. දැන් පුක්කුසයන් විචාරමි. මෙහි ලා තෝ කුමක් සිතන්නෙහි ද?
5965. (පුක්කුස) බ්‍රහ්මදත්ත රජ අපට බොහෝ කලක් දුක් දී නො මරාවා යි විස කා මියෙමු. වහා දිවි අත් හරිමු.
5966. (රජ) මගේ මේ වචනය අසව. මේ මහත් බිය බලව. දැන් කාවින්දයන් විචාරමි. මෙහි ලා තෝ කුමක් සිතන්නෙහි ද?
5967. (කාවින්ද) බ්‍රහ්මදත්ත රජ අපට බොහෝ කලක් දුක් දී නො මරාවා යි රැහැනෙන් බැඳී මියෙමු. ප්‍රපාතයට හෝ පනිමු.
5968. (රජ) මගේ මේ වචනය අසව. මේ මහත් බිය බලව. දැන් දෙවින්දයන් විචාරමි. මෙහිලා තෝ කුමක් සිතන්නෙහි ද?
5969. (දෙවින්ද) දොර පටන් ගෙට ගිනි හෝ දල්වමු. ආයුධ ගෙනැ ඔවුනොවුන් වධ කොටැ වහා දිවි අත් හරිමු. මහොසධය අපට සුවසේ මිදීමට නම් නො හැක්කේ ය.
5970. (රජ වැලපෙහි) යම් සේ කෙසෙල් ගස්හි හරය සොයන්නේ ඒ නො ලබයි ද, එසේ ගැලවීමට උපායක් සොයන අපි ප්‍රශ්නයට පිළිතුරක් මොවුන්ගෙන් නො ලද්දෙමු.
5971. යම් සේ හිඹුල් ගස්හි හර සොයන්නේ ඒ නො ලබයි ද එසේ ගැලවීමට උපාය සොයන අපි ප්‍රශ්නයට පිළිතුරක් මොවුන්ගෙන් නො ලද්දෙමු.
5972. දිය නැති මහවනය ඇතුනට සෙයින් අඥාන දුෂ්ඨ මනුෂ්‍යයන් සමීපයෙහි අපගේ වාසය ඒකාන්තයෙන් නො සුදුසු පෙදෙසකැ විසීමකි.
5973. මගේ හදවත වෙවුලයි. මුඛය ද වියැළෙයි. ගිනි වැදුනකු අවුවේ හෙලූ කලෙක සේ සැනැසීමක් නො ලබමි.
5974. කඹුරන්ගේ උදුන යම් සේ ඇතුළ දවයි ද පිටත නො දවයි ද, එසේ මැ මාගේ හදවත ද ඇතුළ දැවේ. පිටත නො දැවේ.
5975. ඉක්බිති මහාප්‍රාඥ වූ අර්ථදර්ශී මහෞෂධ පණ්ඩිත තෙමේ දුකට පත් වේදෙහරජු දැක මේ වචනය කීය.
5976. මහරජ බිය නො වනු මැන. රාජශ්‍රෙෂ්ඨය, බිය නො වනු මැන. රාහු ගිලගත් චන්ද්‍රයා සේ මම ඔබ මුදවන්නෙමි.
5977. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රෙෂ්ඨය, බිය නො වනු මැන. රාහු ගිලගත් සූර්ය්‍යයා සේ මම ඔබ මුදවන්නෙමි.
5978. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රෙෂ්ඨය, බිය නො වනු මැන. මඩෙහි ගිලුණු ඇතකු සේ මම ඔබ මුදවන්නෙමි.
5979. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රෙෂ්ඨය, බිය නො වනු මැන. පේළාවෙකැ බැඳුණු නාගයෙකු සේ මම ඔබ මුදවන්නෙමි.
5980. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රෙෂ්ඨය, බිය නො වනු මැන. පඤ්ජරයෙහි බද්ධ පක්ෂියකු සේ මම ඔබ මුදවන්නෙමි.
5981. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රෙෂ්ඨය, බිය නො වනු මැන. දැලට හසු වූ මසුන් සේ මම ඔබ මුදවන්නෙමි.
5982. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රෙෂ්ඨය, බිය නො වනු මැන. බලවාහන සහිතවම මම ඔබ මුදවන්නෙමි.
5983. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රෙෂ්ඨය, බිය නො වනු මැන. කැටෙකින් කපුටු රළක් සේ පඤ්චාල සේනාව පල වා හරින්නෙමි.
5984. යම් ඇමැතියෙක් දුකට පත් රජු දුකින් නො මුදන්නේ නම් එ බඳු ඇමැතියා කුමටද? ඔහුගේ නුවණ කුමටද?
5985. මාණවකයෙනි, එව, නැඟිටිවු, උමං දොර විවර කරවු. ඇමැතියන් සමග වේදෙහ රජ උමඟින් ගමන් කරන්නේ ය.
5986. මහෞෂධ පණ්ඩිතයන්ගේ බස් ඇසූ අනුචර ජනයෝ උමන් දොර ද යතුරු යෙදූ දොර කවුළු ද විවර කළහ.
5987. සේනකයා ඉදිරියෙහි ද මහෞෂධ පණ්ඩිත තෙමේ පසු පස්හි ද ඇමැති ජනයා පිරිවරන ලද වේදේහ රජ මැද ද යෙත්.
5988. උමඟින් නික්මුණු වේදේහ රජ නැවට නැංගේ ය. මහෞෂධ පණ්ඩිත තෙමේ නැවට නැඟි රජුට අනුශාසනා කළේ ය.
5989. දේවයන් වහන්ස, මේ ඔබේ මයිලණුවන්ගේ පුත් ය. මහරජ, මේ ඔබේ නැන්දණිය යි. යම්සේ මව කෙරෙහි පවත්නේ ද එසේ නැන්දණිය කෙරෙහි ද පවතුව.
5990. මහරජ, යම්සේ එක මව කුසැ උපන් සොහොයුරා කෙරෙහි පවත්නේ ද එසේ මේ පඤ්චාලචණ්ඩ කුමරුට ද ආදර කළයුත්තේ ය.
5991. මහරජ, මෝ තොප විසින් අතිශයින් රුචි කරනු ලබන පඤ්චාලචණ්ඩි රජකුමරිය යි. ඕ තොමෝ තොපගේ බිරිඳ යි. ඇය සමඟ කැමැති සේ පවතිනු මැනැවි.
5992. මහෞෂධ පණ්ඩිතය, වහා නැවු නැඟෙව. කුමක් නිසා ඉවුරැ සිටිනෙහි ද, අපි ඉතා අපහසුවෙන් මිදුණමෝ වම්හ. දැන් වහා පලායම්හ.
5993. මහරජ, මම සේනාවට නායක වෙමි. සේනාව හැර පියා මම් පමණක් මුදවන්නෙම් නම් ඒ සත්පුරුෂ දහම නො වෙයි.
5994. මහරජ, තොපගේ සේනාව ඒ නගරයෙහි හැර දමන ලද්දේ ය. මහරජ, බඹදත්රජු විසින් දෙනු ලබන ඒ සේනාව රැගෙන එන්නෙමි.
5995. පණ්ඩිතය, මඳසෙනඟ ඇති තෙපි මහසෙනඟ ඇත්තාට කෙසේ විරුද්ධ වැ සිටිනවු ද? බලවතා විසින් දුර්වලයා පෙළනු ලබන්නේ මැ ය.
5996. මඳසෙනඟ ඇති නුවණැත්තා මහා සේනා ඇති අඥානයා ජයගනී. උදාහිරු අඳුර දුරු කරන්නාක් මෙන් නුවණැති රජ අනුවණ රජු ජයග්‍රහණය කරයි.
5997. සේනකය, නුවණැත්තන් හා වාසය ඒකාන්තයෙන් සුව ගෙනැ දෙන්නේ ය. පඤ්ජරයෙහි බැඳුණු පක්ෂීන් සේ ද දැලෙහි බැඳුණු මසුන් සේ ද සතුරන් අතට පත් අප මහෞෂධ පණ්ඩිතතෙමේ මුදවාලිය.
5998. මහරජ, එය එසේ මැ ය. නුවණැත්තෝ ඒකාන්තයෙන් සුව ගෙනැ දෙන්නෝ ය. මැදිරියෙහි බැඳුණු පක්ෂීන් සේ ද දැල්හි බැඳුණු මසුන් සේ ද සතුරන්ගේ අතට පත් අප මහෞෂධ පණ්ඩිතතෙමේ මුදවා ලීයැ.
5999. මහත් බල ඇති චූළනීබ්‍රහ්මදත්ත රජ මුළු රෑ රකවල් කොටැ අරුණලු නැඟෙන කලැ උපකාරී නුවරට එළැඹියේ ය.
6000. මහාබල ඇති පඤ්චාලදේශවාසී බ්‍රහ්මදත්ත රජ සැට අවුරුද්දෙන් මද නැඟී හිඳුනා වූ බලවත් හස්තියකු පිටට පැන නැඟී සිය සෙනඟට මෙසේ කී යැ.
6001. මැණික් ඔබා කරන ලද සන්නාහයෙන් සන්නද්ධ වූ රජ බොහෝ යුද්ධශිල්පයන්හි දක්ෂ වූ අතින් දුනුහී ගෙන රැස් වූ පණිවිඩකාර යෝධයන්ට පළමු කොට පැවසී යැ.
6002. ඇතුන් නැඟෙන්නා වූ ද අසුන් නැඟෙන්නා වූ ද රිය නැඟෙන්නා වූ ද පයින් ගමන් කරන්නා වූ මහ සෙනඟ ද රැස් වූ අතිදක්ෂ වාළවෙධී ධනුර්ධරයන් ද (ඇමැතී ය.)
6003. බලවත් වූ සැට හවුරුද්දෙන් මද නැඟී හිඳුනා වූ දළ ඇති හස්තීන් මෙහෙයවවු. වේදේහ රජු විසින් නිර්මාණය කරවන ලද නගරය ඇත්තු මඩිත්වා.
6004. දුනුවෙයින් මුදාහළ, නියන් බඳු මුවඇති සුදු පැහැති තියුණු අග ඇති ඇට විදුනා (ශරයෝ) මතුමත්තෙහි (හී වර්ෂා සෙයින්) වැටෙත්වා.
6005. සන්නාහයෙන් සැරැසුණු, විසිතුරු දඬුවලින් යුත් ආයුධ අතින් ගත්, ඇතුන් ඉදිරියට වුව පනින්නා වූ නො සැලෙනසුලු මහත් බල ඇති තරුණ යෝධයෝ ඇතුන් වෙතැ එකතුවෙත්වා.
6006. තෙලින් මුවහත් කළ ගිනිසිළු සේ ප්‍රභාස්වර වූ අඩයටි සියක්රැසින් යුත් (ඔසධී) තාරකා සෙයින් බබළමින් සිටිවා.
6007. ආයුධ බලයෙන් යුත්, යුද්ධ සැට්ට හා අඟු පළඳනා දරන්නා වූ සංග්‍රාමයන්හි නො පසු බස්නා වූ මෙ වැනි යෝධයන් වෙතින් කෙසේ නම් වේදේහයා මිදෙන්නේ ද? ඉදින් පක්ෂියකු සේ අහසින් ගමන් කළ ද නො මිදෙන්නේ මැ ය.
6008. එක් එක් කෙනකු වෙන වෙන මැ තෝරා ගන්නාලද සියල්ල තිස්නව දහසක් වූ මාගේ යෝධයන්ට සම වූවන් මේ මුළු පොළොවෙහි ඇවිද බැලුව ද නො දක්මි.
6009. සැට හවුරුද්දෙන් මඳ නැඟී හිඳුනා වූ මනා වැ සරසන ලද බලවත් දළ ඇතුන් මතැ රන්වන් කුමාරවරු බබළත්.
6010. නඳුනුයනැ දෙව්පුතුන් සේ රන්වන් හඳනා පොරෝනා වෙන් හා ස්වර්ණවර්ණාලංකාරයෙන් විභූෂිත යෝධයෝ ඇතුන් පිටැ බබළත්.
6011. පෙටියන් බඩ පෑ සමාන වර්ණ ඇති තෙලෙහි මුවහත් තබන ලද ප්‍රභාස්වර වූ, නුවණැති මිනිසුන් විසින් නිමවන ලද මනා වැ මුවහත් කරන ලද සම වූ ධාරා (මුවහත) ඇති-
6012. මලකඩින් තොර හිරු රැස් සේ බබළන්නා වූ ඉතා පිරිසුදු යකඩින් නිමැවුණු දැඩි වූ වහා පහර දෙන යෝධයන් විසින් ගන්නා ලද-
6013. රන් කම් කළ මිටින් යුත් ලෙහෙවන් කොපු දරන අසිපත්හු ඔබ මොබ පෙරළෙන්නාහු වැසි වළාකුළු අතරැ විදුලිය සේ බබළත්.
6014. දැරූ සන්නාහ ඇති ශූර වූ කඩු පලිස් දැරීමෙහි අතිදක්ෂ වූ ඇත්කඳ වුව දෙකඩ කිරීමෙහි සමත් කඩු ශිල්පයෙහි හික්මුණු පතාක නම් අහසෙහි කරනම් ගසන යෝධයෝ ඇත්තාහ.
6015. මෙ බඳු යෝධයන් විසින් පිරිවරන ලද තට මෙයින් මිදීමෙක් නම් නැත්තේ ය. යම් ක්‍රමයෙකින් තෝ මිථිලා පුරයට යන්නෙහි නම් එ වැනි රාජානුභාවයෙක් නො දක්නෙමි.
6016. (මහරජ), කිම වහ වහා උතුම් ඇතු මෙහෙයවන්නෙහි? ප්‍රීතිමත් ස්වභාවයෙන් පෙරට එන්නෙහි, ආත්මාර්ථය සිද්ධ වී ය යි සිතන්නෙහි ද?
6017. (මහරජ), චාපසංඛ්‍යාත දුන්න දමාපුව මැනව. හී හකුළාපුව මැනව. වෛඩූර්ය්‍යමාණික්‍යයෙන් අලඞ්කෘත සන්නාහය තැබුව මැනව.
6018. ප්‍රසන්න මුඛ වර්ණ ඇත්තෙහි. මඳ සිනා පෙරදැරි කොටැ බෙණෙන්නෙහි. මරණාසන්නයෙහි වනාහි එවැනි වර්ණසම්පත්තියෙක් වේ.
6019. මහරජ, තොපගේ ගර්ජනාව හිස් ය. ක්ෂත්‍රීයය, තෙපි භින්නමන්ත්‍රණ ඇති වූවහු ය. කොටළුවකුට ජාති සෛන්ධවයකු අල්වාපියනු නො පිළිවන් සේ තොප විසිනුදු වේදේහ රජ අල්වාපියනු නො හැක්කේ ම ය.
6020. වෙදේහ රජ ඊයේ ඇමැතිවරුන් හා පිරිවර ජනයන් සමඟ ගඟ තරණය කළේ ය. ඔහු ලුහුබඳින්නේ හංස රාජයකු ලුහුබැඳ යන කවුඩකු මෙන් බිමැ හෙන්නේ ය.
6021. මෘගාධම සිවල්ලු රාත්‍රිකාලයෙහි සුපුෂ්පිත කෑල වෘක්ෂයක් (සඳරැසින්) දැක මස්වැදැලි ය යි සිතන්නෝ පිරිවරා සිටියහ.
6022. හිරු නැඟැ රැය පහන් වූ කලැ සුපිපි කෑල ගස දැකැ ශෘගාලයෝ සුන් වූ ආසා ඇත්තෝ වූහ.
6023. මහරජ, එසෙයින් තෙපි දු වේදේහ රජු පිරිවරා සිටැ කෑලගස වටා සිටි සිවලුන් සේ සුන් වූ ආසා ඇත්තෝ වැ යන්නාහුය.
6024. යමෙක් මා අතට පත් පසමිතුරු වේදේහයා මිදුයේ ද ඒ මොහුගේ අත් පා කන් නාසා ද සිඳිවු.
6025. යමෙක් මා අතට පත් පසමිතුරු වේදේහයා මිදුයේ ද ඒ මොහුගේ ඇඟ මස් පිසිය යුතු (මෘගාදීන්ගේ) මසක් මෙන් කපා හුලැ ඇනැ පිසත්වා.
6026. යම් සේ වෘෂභයකුගේ හෝ සිංහයකුගේ හෝ ව්‍යාඝ්‍රයකුගේ හෝ සම නඟා හුල් ගසා බිමැ අතුරනු ලබන්නේ වෙයි ද,
6027. එසේ මැ යමෙක් මා අතපත් පසමිතුරු වේදේහයා මුදා හළේ ද, ඒ මොහු බිමැ වතුරුවා සැතින් විදවන්නෙමි.
6028. ඉදින් මාගේ අත්පා හෝ කන්නාසා හෝ සිඳින්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩ කුමරාගේ ද එසේ සිඳවන්නේ ය.
6029. ඉදින් මාගේ අත්පා හෝ කන්නාසා හෝ සිඳවන්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩි කුමරියගේ ද එසේ සිඳවන්නේ ය.
6030. ඉදින් මාගේ අත්පා හෝ කන්නාසා හෝ සිඳින්නෙහි නම් වෙදේහ රජ නන්දා දෙවියගේ ද එසේ සිඳවන්නේ ය.
6031. ඉදින් මාගේ අත්පා හෝ කන්නාසා හෝ සිඳින්නෙහි නම් වේදේහ රජ ඔබගේ පුත්‍රදාරාවන්ගේ ද එසේ සිඳවන්නේ ය.
6032. ඉදින් මාගේ මස් කපා හුලැ ඇන පිසන්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩි කුමරාගේ ද එසේ පිසවන්නේ ය.
6033. ඉදින් මාගේ මස් කපා හෙලා හුලැ ඇන පිසන්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩ කුමරියගේ ද එසේ පිසවන්නේ ය.
6034. ඉදින් මාගේ මස් කපා හෙලා හුලැ ඇන පිසන්නෙහි නම් වේදේහ රජ නන්දා දේවියගේ ද එසේ පිසවන්නේ ය.
6035. ඉදින් මෘගාදීන්ගේ පිසියයුතු මසක් සෙයින් මාගේ මස් කපා හුලැ ඇන පිසන්නෙහි නම් වේදේහ රජ ඔබගේ පුත්‍රදාරාවන්ගේ ද එසේ පිසවන්නේ ය.
6036. ඉදින් මා බිමැ වතුරුවා හුල් ගසා විදින්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩ කුමාරයාට ද එසේ විදවන්නේ ය.
6037. ඉදින් මා බිමැ වතුරුවා හුල් ගසා විදින්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩි කුමරියටද එසේ විදවන්නේ ය.
6038. ඉදින් මා බිමැ වතුරුවා හුල් ගසා විදින්නෙහි නම් වේදේහ රජ නන්දා දෙවියට ද එසේ විදවන්නේ ය.
6039. ඉදින් මා බිමැ වතුරුවා හුල් ගසා විදින්නෙහි නම් වෙදේහ රජ ඔබගේ පුත්‍රදාරාවනටද එසේ විදුවන්නේ ය. වෙදේහ රජු මාහා මෙසේ රහසින් මණ්ත්‍රණය කරන ලද්දේය.
6040. යම්සේ සම්කරුවන්ගේ සැතින් මනා වැ නිමවන ලද සියයක් පටින් කළ හෙයින් පලසත නම් සන්නාහය ශරයන් වළකා ශරීරාරක්ෂාවට පැමිණේ ද?
6041. එසේ මැ වේදේහ රජුගේ දුක් දුරුකොටැ සැප එළවන්නෙමි. පලසත සන්නාහය හී වළකන්නා සේ මාගේ නුවණින් තොපගේ නුවණ වළකන්නෙමි.
6042. මහරජ, එසේ නම් ඔබගේ සිස් වූ අන්තඃපුරය බලව. ක්ෂත්‍රියය, ඔබගේ දේවිය ද, කුමරා ද, මවු බිසව ද උමඟින් හැරැගෙනැ ගොස් වේදෙහ රජුට පවරනලදහ.
6043. එසේ නම් මාගේ අන්තඃපුරයට ගොස් මොහුගේ බස් සැබෑ හෝ බොරු හෝ වේ දැයි සොයා බලව.
6044. මහරජ, මහෞෂධයන් කී දේ සැබෑම ය. සිස් වූ මුළු ඇතොවුර කපුටන් එක් වූ මුහුදු තෙරැ ගමක් මෙනි.
6045. මහරජ, ස්වර්ණ ඵලකයක් වැනි ශ්‍රොණියෙන් යුක්ත වූ හංසධෙනුවක සේ මිහිරි තෙපුල් තෙපලන සියලු අඟපසඟින් ශෝභමාන වූ නන්දා දේවී තෙල උමඟින් ගියා ය.
6046. මහරජ, කසීසළු හඳනා, රනින් මොනවට කළ මෙවුල්දම් පළදනා, ස්වර්ණවර්ණ වූ, සියල් අඟපසඟින් ශෝභමාන වූ නන්දා දේවී මේ උමඟින් ගෙන යන ලද්දීය.
6047. (ඕ නන්දා දේවී තොමෝ) රත්පෑ පා ඇත්තී ය. පඤ්ච කල්‍යාණයෙන් යුක්ත වන්නී ය. රන්මිණිමෙවුල් ඇත්තී ය. පරෙවියනට බඳු ඇස් ඇත්තී ය. බිඹුපල වැනි තොල් ඇත්තීය. මනාසිරුරින් හා කෘශ වූ මධ්‍යප්‍රදේශයෙන් ද යුක්ත වන්නී ය.
6048. මනා වැ හටගත් නාග ලතාවකට බඳු ලෙලෙන ගාත්‍රා ඇත්තී ය. සිහින් වූ රන්පෝරුවකට බඳු මධ්‍යප්‍රදේශ ඇත්තී ය. දික් වූ, නිල් වූ, අක්බමරු කේශ කලාප ඇත්තී ය.
6049. ඕ තොමෝ සුජාත මුව පෙල්ලක බඳු ය. හිමවත් කලැ ගිනිසිළුවකට සමාන වන්නී ය. ගිරිදුර්ගයෙකින් ගලා බස්නා කුඩා නළ කොළ සමූහයෙන් ගැවසීගත් නදියක් බඳු රොමරාජී ඇත්තී ය.
6050. ඇත් සොඬෙක අයුරින් පිහිටි ඌරු යුග්මයෙන් ශෝභමාන වූවා ය. පඤ්ච කල්‍යාණ ඇත්තී ය. ප්‍රථම වසසැ සිටියා ය. තිඹිරි එල වැනි පියයුරු ඇති ස්ත්‍රීන් අතුරෙන් පළමු වැන්නී ය. නො උස් නො මිටි වූවා ය. ලොම් නැත්තී ද බොහෝ ලොම් ඇත්තී ද, නො වූවා ය.
6051. මහරජ, මෙ වැනි නන්දා දේවියගේ මරණින් ඔබ තුටු වන්නාහු නම් මම ද නන්දාදේවි ද යමරජු වෙත යන්නෙමු.
6052. යමෙක් මා අතට පත් පසමිතුරු වේදේහයා මිදුයේ වේ ද, ඒ ඔබ දිව්‍ය මායමක් දන්නාහු ද? ඇසට ඉන්ද්‍රජාලයක් කළාහු ද?
6053. මහරජ, මේ ලෝකයේ නුවණැත්තෝ දිව්‍ය මායම් හදාරත්. ඒ පණ්ඩිත මන්ත්‍රී ජනයෝ තමා විපතින් මුදා ගනිත්.
6054. උමං බිඳීමෙහි දක්ෂ තරුණ යෝදයෝ මට ඇත්තා හ. ඔවුන් විසින් කරන ලද උමඟින් වේදේහ රජ මිථිලා පුරයට ගියේ ය.
6055. ආලෝකවත් වැ සිටින උමඟ මනා වැ නිම කොටැ ඇත්තේ ය. ඇත්, අස්, රිය, පාබල සෙනඟ පිළිරූ සිතියම් ලෙසින් තනවා ඇත්තේ ය. මහරජ, එසේ නම් මනා වැ නිම වූ උමඟ බලනු මැන.
6056. මහෞෂධය, ඔබ වැනි පණ්ඩිත ජනයෝ යම් ගෙයෙකැ හෝ රටෙකැ හෝ වෙසෙත් නම් ඒ විදේහ වැස්සනට ද වූයේ මහත් ලාභයෙකි.
6057. වෘත්තීය ද ගම් බිම් ආදිය හා බත් වැටුප ද දෙගුණ කොටැ දෙන්නෙමි. අනිත් බොහෝ සම්පත් ද දෙන්නෙමි. කාමයන් අනුභව කරව, රමණය කරව, විදේහ පුරයට පෙරළා නො යා. විදේහ කුමක් කරන්නේ ද?
6058. මහරජ, යමෙක් ධන හේතුයෙන් තම ස්වාමියා හරනේ නම් හේ තමා හා මෙරමා යන දෙදෙනා විසින් ම ගැරැහිය යුත්තෙක් වේ. වේදේහ රජුගේ දිවි ඇතිතෙක් අනෙකකුගේ සේවකයෙක් නො වන්නෙමි.
6059. මහරජ, යමෙක් ධන හේතුයෙන් ස්වකීය ස්වාමියා හරනේ නම් හේ තමා හා මෙරමා යන දෙදෙනා විසින් ම ගර්හා ලැබිය යුත්තෙක් වේ. වේදේහ රජු වසනා තාක් අන් විජිතයෙකැ නො වසන්නෙමි.
6060. මහෞෂධය, ඔබට රන් නිෂ්ක දහසක් ද, කසී රටෙහි ගම් අසූවක් ද, දාසීන් සාරසියයක් ද, බිරියන් සියයක් ද දෙමි. සියලු සෙනග ගෙනැ සුවසේ යව.
6061. ඇතුනට හා අසුනට යම් පමණ දෑ අවශ්‍ය වේ ද, එය ද්විගුණ කොට පොහෝනා පමණ දෙත්වා. රථ සේනාවන් හා පාබළ සේනාවන් ආහාර පානයෙන් සතුටු කරත්වා.
6062. මහෞෂධ පණ්ඩිතය, ඇත් අස් රිය පාබළ සේනාවන් ගෙනැ යව. මිථිලා පුරයට ගිය තොප ඒ වේදේහ රජ දකීවා.
6063. ඇත්, අස්, රිය, පාබළ යන අතිවිශාල වූ භයානක චතුරඞ්ගිනී සේනාවක් පෙනේ. පණ්ඩිතවරු ඒ කුමකැ යි සිතන්නාහු ද?
6064. මහරජ, ඔබගේ සිත තුටු කරන උතුමා පෙරළා එනු පෙනේ. සියලු සෙනඟ ගෙනැ මහෞෂධ පඬිතුමා මෙහි සුවසේ පැමිණියේ ය.
6065. යම්සේ සතරදෙනෙක් මළ මිනිසකු ඔසොවා ගෙනැ ගොස් අමුසොහොනැ හැරැ දමා එත් ද, එසෙයින් අපි දු තොප කම්පිල්ලිය රටෙහි හැරැ දමා මෙහි ආවෙමු.
6066. එසේ ඇති කලැ කවර ක්‍රමයෙකින්, කවර හේතු යෙකින්, කෙවර අර්ථයෙකින් සතුරන්ගෙන් තම දිවි මුදා ගත්තහු ද?
6067. මහරජ, ඔවුන්ගේ අර්ථය මාගේ අර්ථයෙන් ද ඔවුන්ගේ මන්ත්‍රණය මාගේ මන්ත්‍රණයෙන් ද පිරිවැරූවෙමි. එ මතු නොව දඹදිව පිරිවැරූ සයුර සේ එක් සියක් රජුන් පිරිවරනලද එරජු ද පිරිවරන්නෙමි.
6068. රන් නිෂ්ක දහසක් ද, කසී රටෙහි ගම් අසූවක් ද දැස්සන් සාරසියයක් ද, බිරියන් සියයක් ද මට දෙන ලද ය. සියලු සේනා කොටස් ගෙනැ සුවසේ මෙහි ආවෙමි.
6069. සේනකය, නුවණැත්තන් හා වාසය ඒකාන්තයෙන් සුව ගෙනැ දෙන්නේ ය. මැදිරියෙකැ බැඳුණු කුරුල්ලන් සේ ද දැලෙහි හසු වූ මසුන් සේ ද සතුරන්ගේ අතට පත් අප මහෞෂධ පණ්ඩිත තෙම මුදාලීය.
6070. මහරජ, එය එසේ මැ යැ. පණ්ඩිතයන් හා වාසය ඒකාන්තයෙන් සුව ගෙනැ දෙන්නේ ය. මැදිරියෙක්හි බැඳුණු කුරුල්ලන් සේ ද, දැලෙක බැඳුණු මසුන් සේ ද සතුරන්ගේ අතට පත් අප මහෞෂධ පණ්ඩිත තෙම මිදීය.
6071. සියලු වීණාද බෙර ද පණා බෙර ද වාදනය කරවු. මාගධසඞ්ඛයෝ නාද කෙරෙත්වා. මහබෙර මිහිරි ලෙස නදදේවා.
6072. ඇතොවුරැ කාන්තාවෝ ද, කුමාරවරු ද, වෛශ්‍යයෝ ද, බමුණෝ ද බොහෝ වූ ආහාර පාන පණ්ඩිතයන් වෙතැ එළැවූහ.
6073. ඇත්, අස්, රිය, පාබළ සේනාවෝ ද, පණ්ඩිතයනට බොහෝ වූ ආහාර පාන එළැවූහ.
6074. රැස් වූ දනවුවැස්සෝ රැස්වූ නියම්ගම් වැස්සෝ (ඔහු) පණ්ඩිතයනට බොහෝ වූ ආහාර පාන ද එළැවූහ.
6075. පණ්ඩිතයන් ආ කලැ දැකැ බොහෝ ජනයෝ සතුටට පත්වූහ. පණ්ඩිතයන් මියුළු නුවරට පැමිණි කලැ පිළී හිස සිසෑරීම ද පැවැත්විණි.
මහාඋම්මග්ගකාණ්ඩය යි.
6076. ඉදින් තොප සත්දෙන මහත් වූ ගැඹුරු දියෙකැ ගමන් ගන්නා කලැ මිනිස් බිලි අපේක්ෂායෙන් එක් දිය රකුසෙක් නැව ගන්නේ නම් අනුපිළිවෙළින් දිය රකුසාට කෙසේ කවුරුන් දී තමා මුදන්නෙහි ද?
6077. පළමුව වැදූ මව දෙන්නෙමි. (දෙවනුව) නන්දා දේවිය දී ( තුන්වැනිව ) මලණුවන් ද, ඉක්බිති යහළුවාද දී පස්වැනිව කේවට්ට බමුණා දෙන්නෙමි. සවැනිව මම තමන් ද දෙන්නෙමි. මහෞෂධ පණ්ඩිතයන් නො දෙන්නෙමි.
6078. (තලතා දේවී) තොපගේ මව තොප පෝෂණය කළා ය. බොහෝ කල් අනුකම්පා ඇත්තී ය. ඡම්හී නම් බ්‍රාහ්මණයා තොප කෙරෙහි කිපුණු කලැ නුවණැති අර්ථදර්ශී මවු තොමෝ අන්‍යයකු ඉදිරිපත් කොටැ තොප වධයෙන් මිදුවා ය.
6079. එසේ ප්‍රාණය දුන් ළෙහි හොවා හැදූ දසමසක් කුසැ දැරූ මෑණියන් කිනම් දොසෙකින් දිය රකුසාට දෙන්නහු ද?
6080. තරුණ කතක සේ නො පැළඳිය යුතු ආභරණ පළඳින්නී ය. දොරටුපල්ලන් හා සෙබළුන් හා සමඟ බොහෝ කොටැ මහහඬින් සිනාසෙන්නී ය.
6081. තවද අසල්වැසි රජුනට (මා කී ලෙස හඟවා) තොමෝ මැ දූතයන් යවන්නී ය. මම ඒ දෝෂය හේතු කොට ගෙන දියරකුසාට මව බිලිකොටැ දෙන්නෙමි.
6082 - 6083. ස්ත්‍රී සමූහයාට නායක වූ අතිශයින් ප්‍රියවාදී වූ ළදරු කල පටන් අනුව ගියා වූ සිල්වත් වූ සෙවනැල්ල සේ අත් නොහැර පවත්නා වූ ක්‍රොධ නො කරනසුලු නුවණැති පණ්ඩිත වූ අර්ථදර්ශී වූ උබ්‍බරිය (නන්දා දේවිය) කවර දෝෂයක් නිසා දියරකුසාට දෙන්නහු ද?
6084. කාමසම්භෝගයෙහි ඇලුණු කෙලෙස් වසඟයටපත් මගෙන් ඕ තොමෝ මගේ දරුවනට අයත් නො ඉල්විය යුතු ධනය ඉල්ලන්නී ය.
6085. ඒ මම අතිශයින් ඇලුණෙම් බොහෝ කුදුමහත් ධනය දෙන්නෙමි. නො දියයුතුදේ දී පසුව දොම්නසින් ශෝක කරමි. ඒ දෝෂය නිසා උබ්බරිය දියරකුසාට දෙන්නෙමි.
6086. යමකු විසින් තොපගේ ජනපද වැසියෝ වඩනා ලද්දෝ ද, බැහැර සිටි තෙපි රජයට පමුණුවන ලද්දහු ද, බැහැරි රාජ්‍යයන් ගෙන් බොහෝ ධනය පැහැර ගෙනෙන ලද්දේ ද,
6087. ධනුර්ධරයනට අග්‍ර වූ, ශුර වූ, තීක්ෂණමන්ත්‍රී නම් ඒ සහෝදරයා කවර දෝෂයක් නිසා දියරකුසාට දෙන්නහු ද?
6088. මා විසින් ජනපද වැසියෝ වඩන ලද්දෝ ය. මොහු රජගෙට ගෙනෙන ලදහ. බොහෝ වූ ධනය පර දෙසින් ගෙනෙන ලද්දේ ය.
6089. මම ධනුර්ධරයනට උතුම්ය, ශූරයෙමි. තියුණු නුවණ ඇත්තෙමි, මා විසින් මේ රජ සුඛිත කරන ලද්දේ ය යි ඒ තරුණ තෙම මා ඉක්මවා හඟියි.
6090. ආර්‍ය්‍යාවනි, හෙතෙම පෙරැ සේ මට උපස්ථානයට ද නො එයි, ඒ දෝෂය හේතුකර ගෙනැ සහෝදරයා දිය රකුසාට දෙන්නෙමි.
6091 - 6092. තෙපි ද, මේ ධනුශෙඛර කුමාරයා ද යන දෙදෙන ම එක්මැ රැයෙක මේ නගරයෙහි මැ උපන් පඤ්චාලයෝ ය. සම වයස්හි යහළුවෝ වූහ. හේ ජනපද චාරිකායෙහි නොහැර පසුගමන් කෙළේ යැ, තොප හා සමාන සුව දුක් ඇත්තේ යැ. දිවා රාත්‍රී උත්සාහවත් වැ සියලු කටයුත්තෙහි නිරත ය. කවර දෝෂයෙකින් යහළුවා දිය රකුසාට දෙන්නෙහිද?
6093. ආර්‍ය්‍යාවනි, මේ තෙම කුඩා කලැ මා සමග හැසිරෙන කල්හි මහහඬින් සිනාසුනේ යැ, අද ද පෙරැ සේ මා සමග සීමා ඉක්මවා මහහඬින් සිනාසෙයි.
6094. ආර්‍ය්‍යාවනි, නන්දා දේවිය සමග රහොගත වැ මන්ත්‍රණයෙහි යෙදෙන විටද කලින් නො දන්වා නො විමසා ඇතුළු ගබට ද පිවිසෙයි.
6095. වාරය ලදුයෙමි. කළ අවකාශ ඇත්තෙමි යි ලජ්ජා නැති ආදර නැති යහළුවා ඒ දෝෂයෙන් මම දියරකුසාට දෙන්නෙමි.
6096. සියලු නිමිත්තෙහි දක්ෂවූ සතුන්ගේ හඬ දන්නා වූ උගත් ආගම ඇති චන්ද්‍ර සූර්ය්‍ය ග්‍රහණ උල්කාපාත දික්දාහ ආදි උත්පාතයන් හා ස්වප්නයන්හි ඉෂ්ටානිෂ්ට ඵල දැනීමෙහි යෙදුණු ගෙන් පිටවීමෙහි හා ගෘහප්‍රවේශයෙහි ද ශුභාශුභ කීමෙහි දක්ෂ වූ,
6097. භූමියෙහි හා අන්තරීක්ෂයෙහි ද ගුණදොස් කීමට සමර්ථ වූ නක්ෂත්‍රපදයෙහි ඵලාඵල දැන්මෙහි දක්ෂ වූ පුරෝහිත බමුණා කවර දෝෂයක් නිසා දියරකුසාට දෙන්නෙහි ද?
6098. ආර්‍ය්‍යාවනි, මේ තැනැත්තා පිරිස් මැද ද මා දෙසැ ඇස දල්වා බලයි. එනිසා රෞද්‍ර වූ බැම නැගීම් ඇති බ්‍රාහ්මණයා මම දිය රකුසාට දෙන්නෙමි.
6099. ඇමතියන් විසින් පිරිවරනලද තෙපි සමුදුර සිසාරා ඇති මහා සාගරයට කුණ්ඩලාභරණ වූ සකලවිධ සම්පත්තීන් දරන පෘථිවියෙහි වාස කරන්නහු ය.
6100. සතර මහාසාගරය හිම්කොට ඇති මහරටක් ඇත්තහු යැ, දිනූ සඞ්ග්‍රාම ඇත්තහු යැ, මහාබල ඇත්තහු යැ, මුළුලොවට අසහාය රජ වව. ඔබගේ කීර්තිය මහත් බවට ගියේය.
6101. පැළඳි මිණිකොඬොල් ඇති දිව්‍යකන්‍යාවන් හා සමාන විවිධ ජනපදයනට අයත් යහපත් ස්ත්‍රීහු සොළොස් දහසක් වෙති.
6102. මහරජ, මෙසේ සුඛිතයන්ගේ සර්වාඞ්ග සම්පූර්ණ වූ සකලවිධ කාමයන්ගෙන් සමෘද්ධියට පත් ජීවිතය දීර්ඝ වූයේ ද ප්‍රිය යැ යි පණ්ඩිතයෝ කියත්.
6103. එසේ ඇති කලැ, ඔබ කිනම් කරුණක් නිසා කුමක් හේතුකැර ගෙන පණ්ඩිතයන් රකිමින් හළ නොහැකි ජීවිතය හැරැපියන්නහු ද?
6104. ආර්‍ය්‍යාවනි, මහෞෂධ පණ්ඩිත තෙම යම් දවසක මා වෙත පැමිණියේ ද එතැන් පටන් ඒ නුවණැත්තාගේ කුඩා වූ වරදකුදු නො දනිමි.
6105. ඉදින් කිසි කලෙකැ මාගේ මරණය ප්‍රථමයෙන් සිද්ධ වේ ද, මහෞෂධ පණ්ඩිත තෙම මාගේ දරුමුණුබුරන් සුවපත් කරන්නේ ය.
6106. අනාගත වර්තමාන සකලාර්ථයන් මනාව දකී. නිරපරාධී ක්‍රියා ඇති තැනැත්තා දිය රකුසාට නො දෙමි.
6107. පඤ්චාලරට වැසියනි, චූලනී රජුගේ මේ වචන අසත්වා. මහෞෂධ පණ්ඩිතයන් රකිමින් හළ නොහැකි තම දිවි හරියි.
6108. පඤ්චාල රජ මවගේ ද, බිරිඳගේ ද, සොහොයුරාගේ ද, යහළුවාගේ ද, පුරෝහිත බ්‍රාහ්මණයාගේ ද, තමාගේ ද යන සදෙනාගේ දිවි පණ්ඩිතයන් සඳහා හැරැයෙයි.
6109. සූක්ෂම වූ ප්‍රඥා තොමෝ මෙසේ මහත් අර්ථ ඇත්තී ය. යහපත් චින්තා ඇත්තී ය. මෙලොව හිත පිණිස ද, පරලෝ සුව පිණිස ද පවත්නී ය.
උදකරාක්ෂස ප්‍රශ්නය යි.
6110. උත්පලවර්ණා තොමෝ එකලැ භෙරී පරිබ්‍රාජිකාව වූවා ය. සුද්ධෝදන රජ පියා විය. මායා බිසව මව ද බිම්බා දේවී අමරා දේවී ද වූවා ය.
6111. ආනන්ද ස්ථවිර සුව පොතක විය. ශාරීපුත්‍ර ස්ථවිර චූලනී බ්‍රහ්මදත්ත රජ විය. මහෞෂධ පණ්ඩිත තෙම මෙකලැ ලෝකස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ය යි මෙසේ ජාතකය දරවු.
නවවැනි මහාඋම්මග්ග ජාතක යි.