එහි ‘ආවට්ට’ හාරය කවරෙ යත්: “එකම්හි පදට්ඨානෙ” යන නිර්දේශ ගාථාව යැ.
1. ආරම්භධාතු සංඛ්‍යාත වීර්‍ය්‍යය කරවු, කෞෂිද්‍යයෙන් නික්මයන නිෂ්ක්‍රමධාතු සංඛ්‍යාත වීර්‍ය්‍යය කරවු, ශමථ විදර්ශනා සංඛ්‍යාත බුද්ධශාසනයෙහි යුක්තප්‍රයුක්ත වවු, බලසම්පන්න ඇත්රජෙක් බටදඬින් කළ ගෙයක් ඇසිල්ලෙකින් වනසන්නාක් මෙන් මරහුගේ කාමාදි ක්ලේශසේනාව විද්ධ්වංසන කරව’ යි.
“ආරභථ නික්ඛමථ” යනු: (වීර්‍ය්‍යාරම්භයෙහි යොදවන හෙයින්) වීර්‍ය්‍යයට පදට්ඨාන (ආසන්න කාරණ) යි. “යුඤ්ජථ බුද්ධසාසනෙ” යනු: සමාධියට පදට්ඨාන යි. “ධූනාථ මච්චූනො සෙනං නළාගාරංව කුඤ්ජරො” යනු: ප්‍රඥාවට පදට්ඨාන යි. “ආරභථ නික්ඛමථ” යනු: වීරියින්ද්‍රියට පදට්ඨාන යි. “යුඤ්ජථ බුද්ධසාසනෙ” යනු: සමාධීන්ද්‍රියට පදට්ඨාන යි. “ධූනාථ මච්චූනො සෙනං නළාගාරංව කුඤ්ජරො” යනු: පඤ්ඤින්ද්‍රියට පදට්ඨාන යි. මෙ කියනලද වීර්‍ය්‍යාදීන්ගේ පදට්ඨානයෝ “ආරභථ නික්ඛමථ” යනාදි දේශනාව යි. (වීර්‍ය්‍යාරම්භවස්තු ආදීහු නො වෙතී සේ යි.)
(මෙසේ පදට්ඨාන වශයෙන් අර්ථනිර්ධාරණය කොට දැන් එය සභාගවිසභාග වශයෙන් ආවර්තන කරන්නට තත් භූමි දක්වති.) භාවනායෝගයෙහි නොයෙදෙන නො මූකළනුවණැති සත්ත්වයන්ගේ මතු අවබෝධය පිණිස ද යෝගයෙහි යෙදෙන මූකළනුවණැති සත්ත්වයන්ගේ ඉහාත්මයෙහි අවබෝධය පිණිස ද මේ දේශනාරම්භය වේ. එහි යම් කෙනෙක් භාවනායෝගයෙහි නො යෙදෙත් ද, ඔහු ප්‍රමාදමූලක ව නො යෙදෙත්. ඒ ප්‍රමාදය: තණ්හාමූලක යැ අවිජ්ජාමූලක යැයි දෙවැදෑරුම් වෙයි. එහි අවිද්‍යාමූලක ප්‍රමාදය: (පඤ්චස්කන්ධයාගේ ස්වලක්ෂණ සාමාන්‍යලක්ෂණ ප්‍රතිච්ඡාදන කරන) යම් සම්මෝහයකින් වැසුණේ පඤ්චස්කන්ධය උදයව්‍යයස්වභාව ඇතැ’ යි (‘ඉතිරූපං’ යනාදීන් පැවති) ඥාන ප්‍රවෘත්තිකාරණය නො දනී ද, මේ අවිජ්ජාමූලක ප්‍රමාද යි. යම් තණ්හාමූලක ප්‍රමාදයෙක් ඇද්ද එය ත්‍රිවිධ යැ: නූපන් භෝගයන්ගේ ඉපදීම පිණිස (උපාය) පර්යේෂණ කරනුයේ ප්‍රමාදයට පැමිණෙයි. උපන් භෝගයන්ගේ ආරක්ෂාව නිමිති කොට ද පරිභෝගය නිමිති කොට ද ප්‍රමාදයට පැමිණෙයි. ලොවැ මේ චතුර්විධ ප්‍රමාදය යි. අවිද්‍යායෙන් ඒකවිධ යැ, තෘෂ්ණායෙන් ත්‍රිවිධ යි. එහි අවිද්‍යාවට නාමකාය පදට්ඨාන (ආසන්නකාරණ) යැ, තෘෂ්ණාවට රූපකාය පදට්ඨාන යි. එ කවර හෙයින යත්: රූපධර්මයන් කෙරෙහි (තෘෂ්ණාවශයෙන්) අභිනිවේශය ද, අරූපභවධර්මයන් කෙරෙහි (ඵස්සාදීන්ගේ අතිසුඛමස්වභාව හෙයින් ද සන්තති ආදි ඝනවිනිර්භෝගය දුෂ්කර හෙයින් ද) සම්මෝහය ද වෙයි, එහෙයිනි. එහි රූපකාය රූපස්කන්ධ යැ නාමකාය සතර අරූපීස්කන්ධයෝ යි. මේ පඤ්චස්කන්ධයෝ කවර උපදානයෙකින් සඋපාදන වෙති යත්: තෘෂ්ණායෙන් ද අවිද්‍යායෙන් ද උපාදාන සහිත වෙත්. එහි තෘෂ්ණාව කාමූපාදාන ද සීලබ්බතූපාදාන දැයි උපාදාන දෙකකි. අවිද්‍යාව දිට්ඨුපාදානය ද අත්තවාදූපාදානය දැයි උපාදන දෙකකි. මේ සතර උපාදනයෙන් සඋපාදාන වූ යම් ස්කන්ධ කෙනෙක් වෙත් ද, මේ දුක්ඛ යැ, යම් සතර උපාදානයෝ වෙත් ද මේ සමූදය යැ, පඤ්චස්කන්ධයෝ දුක්ඛයි. භාග්‍යවතුන් වහන්සේ ඒ දුක්ඛ සමුදය දෙදෙනාගේ පරිඥානය පිණිස ද ප්‍රහාණය පිණිස ද දහම් දෙසන සේක. දුක්ඛයාගේ පරිඥානය පිණිස යැ සමූදයාගේ ප්‍රහාණය පිණිස යි.
එහි තෘෂ්ණාමූලක වූ යම් ත්‍රිවිධ ප්‍රමාදයෙක් නූපන් භෝගයන්ගේ ඉපදීම පිණිස උපාය සොයා ද, උපන් භෝගයන්ගේ ආරක්ෂාවත් පරිභෝගනිමිත්තත් කෙරේ ද, ඒ ප්‍රමාදයාගේ (ආස්වාදාදිය) මොනොවට දැනීමෙන් ස්වකීය චිත්තසන්තානය රැකීමෙන් ප්‍රමාදයට ප්‍රතිපක්ෂවශයෙන් හැකිළීමෙක් වේ ද, මේ සමථය යි, ඒ සමථය කිසෙයින් වේ යැ යත්: යම් කලෙක වස්තුකාමක්ලේශකාමයන්ගේ ආස්වාදය ද ආස්වාදමාත්‍රයෙන් ආදීනවය ද ආදීනවයෙන් නිස්සරණය ද නිස්සරණයෙන් (කාමයන්ගේ) ලාමකබව ද කෙලෙසිලිබව ද විශුද්ධවීම ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද දැනගනී. ඒ යථොක්ත ශමථය ඇති කල්හි යම් වීමංසා සංඛ්‍යාත ප්‍රඥාවක් විමසීමක් ඇද්ද මේ විදර්ශනා යි. ශමථය ද විදර්ශනාව ද යන ධර්මයෝ දෙදෙන භාවනායෙන් පිරීමට යෙත්. මේ ධර්ම දෙක වැඩෙන කල්හි තෘෂ්ණාව ද අවිද්‍යාව ද ධර්මයෝ දෙදෙන ප්‍රහීණ වෙති. මේ තණ්හා අවිජ්ජා ධර්මදෙක ප්‍රහීණ කල්හි සතර උපාදානයෝ නිරුද්ධ වෙත්. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරෝධය වෙයි, ජාතිනිරෝධයෙන් ජරාමරණය ද සෝකපරිදේවදුක්ඛදොමනස්සුපායාසයෝ ද නිරුද්ධ වෙත්. මෙසේ තෙල (සුඛය හා) අමිශ්‍ර වු දුඃඛරාශිහුගේ නිරෝධය වේ. මෙසේ පූර්ව වූ දුක්ඛය ද සමූදය ද යන සත්‍ය දෙක යැ, ශමථයත් විදර්ශනාවත් මාර්ග යැ, භවනිරෝධය නිර්වාණයි. මේ චතුස්සත්‍යයෝ යි. එයින් වදාළහ, බුදුහු - “ආරභථ නික්ඛමථ” යී.
2. යම්සේ භූමිගත අවයව සංඛ්‍යාත මූලය සිඳීම් ආදියෙන් උපද්‍රව රහිත කල්හි එහෙයින් ම දැඩිව සිටි කල්හි සිඳිනලද්දාහු වූ ද වෘක්ෂය වටාලා වැඩේ ද, එසෙයින් ම තණ්හානුසය සංඛ්‍යාත ආත්මභාව වෘක්ෂයාගේ මූලය මාර්ගඥානපරශුයෙන් නොසුන් කල්හි මේ පඤ්චස්කන්ධදුඃඛය පුනපුනා උපදී.
මේ තෘෂ්ණානුශය කවර තෘෂ්ණාවකගේ යැ යත්: භවතෘෂ්ණාවගේ යි. තෙල භවතෘෂ්ණධර්මයට යමෙක් ප්‍රත්‍යය වේ ද, මේ අවිද්‍යාව යි. ඒ එසේ මැ ය, අවිද්‍යා ප්‍රත්‍යයෙන් භවතෘෂ්ණාව වේ. තණ්හාව ද අවිද්‍යාව ද යන මේ දෙක ක්ලේශයෝ යි. ඔහු සතර උපදානයෝ වෙති. ඒ සතර උපාදානයෙන් සඋපාදාන වූ යම් ස්කන්ධ කෙනෙක් ඇද්ද මේ දුක්ඛ යැ, සතර උපාදාන කෙනෙක් ඇද්ද මේ සමුදය යි. පඤ්චස්කන්ධයෝ දුක යි. බුදුහු දුක්ඛ සමූදය දෙදෙනාගේ පරිඥාව පිණිස ද ප්‍රහාණය පිණිස ද දහම් දෙසන සේක. දුක්ඛයාගේ පරිඥානය පිණිස යැ සමූදයාගේ ප්‍රහාණය පිණිස යි. යම් දහමකින් තණ්හානුසය නසා ද මේ සමථ යැ, යමකින් තණ්හානුසයට ප්‍රත්‍යය වූ අවිද්‍යාව වළහා ද, මේ විපස්සනා යි. ශමථය ද විදර්ශනාව ද යන මේ ධර්මයෝ දෙදෙන භාවනායෙන් සම්පූර්ණ වීමට යෙති. එහි ශමථයාගේ ඵලය රාගවිරාග චේතෝවිමුත්ති යැ, විදර්ශනාවගේ ඵලය අවිද්‍යාවිරාග ප්‍රඥාවිමුත්ති යි. මෙසේ පූර්ව වූ දුක්ඛය ද සමුදය ද යන සත්‍යයෝ දෙදෙන යැ, ශමථයත් විදර්ශනාවත් මග්ග යැ, විමුත්තීහු දෙදෙන නිරෝධ යි. මේ චතුස්සත්‍යයෝ වෙත්. එයින් වදාළහ, බුදුහු: “යථාපි මූලෙ අනුපද්දවෙ” යී.
3. සියලු අකුශලය නො ඉපදවීම ද, චාතුර්භූමක කුශලයාගේ ප්‍රතිලාභය ද, (රහත් මඟින්) ස්වකීය චිත්තසන්තානය පවිත්‍ර කිරීම ද යන තෙල සියලු බුදුවරයන්ගේ අනුශාසනා යි.
“සබ්බපාප” නම්: කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය යන තුන් දුශ්චරිතයෝ යි. ඔහු දශඅකුශල කර්මපථයෝ යැ: පාණාතිපාත යැ අදින්නාදාන යැ කාමෙසු මිච්ඡාචාර යැ මුසාවාද යැ පිසුනාවාචා යැ ඵරුසාවාචා යැ සම්ඵප්පලාප යැ අභිජ්ඣා යැ ව්‍යාපාද යැ මිච්ඡාදිට්ඨි යි. ඔහු චේතනා කර්මය ද චේතසික කර්මය දැයි කර්මයෝ දෙදෙනෙක් වෙති. එහි යම් පාණාතිපාතයෙක් පිසුනාවාචායෙක් ඵරුසාවාචායෙක් ඇද්ද, මේ දෝසසමුට්ඨාන යැ, යම් අදින්නාදානයෙක් කාමෙසුමිච්ඡාචාරයෙක් මුසාවාදයෙක් ඇද්ද, මේ ලෝභසමුට්ඨාන යැ, යම් සම්ඵප්පලාපයෙක් වේ ද මේ මෝහ සමුට්ඨාන යි. මේ සත් කරුණ චේතනාකර්ම යැ, යම් අභිධ්‍යායක් ඇද්ද මේ ලෝභ අකුශලමූල යැ, යම් ව්‍යාපාදයෙක් ඇද්ද දෝසඅකුශලමූල යැ, යම් මිත්ථ්‍යාදෘෂ්ටියක් ඇද්ද මේ මිත්ථ්‍යාමාර්ග යි. මේ තුන් කරුණ චෙතසික කර්ම යි. එයින් කීහ: “චෙතනාකම්මං චෙතසිකං කම්මං” යී.
අකුශලමූලය ප්‍රයෝගයට යනුයේ සිවුවැදැරුම් අගතියට යෙයි: ඡන්දයෙන් දෝසයෙන් භයින් මෝහයෙනි. එහි ඡන්දහේතුයෙන් යම් අගතියකට යේ ද මේ ලෝභසමුට්ඨාන යැ, දෝසයෙන් යම් අගතියකට යේ ද මේ දෝසසමූට්ඨාන යැ, භයින් ද මෝහයෙන් ද යම් අගතියකට යේ ද මේ මෝහසමුට්ඨාන යි. ඔවුන් කෙරෙහි ලෝභය අසුභභාවනායෙන් ප්‍රහීණ වෙයි, ද්වේශය මෙත්තාභාවනායෙන් ප්‍රහීණ වෙයි, මෝහය පඤ්ඤාභාවනායෙන් ප්‍රහීණ වේ. එසේ මැ ලෝභය උපේක්ෂායෙන් ප්‍රහීණ වෙයි, ද්වේශය මෙත්තායෙන් ද කරුණායෙන් ද ප්‍රහීණ වෙයි, මෝහය මුදිතායෙන් ප්‍රහාණයට අභ්‍යස්තයට යේ. එයින් වදාළහ, බුදුහු: “සබ්බපාපස්ස අකරණං” යී.
“සබ්බපාප” නම්: මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාසංකල්ප යැ මිථ්‍යාවාක් යැ මිථ්‍යාකර්මාන්ත යැ මිථ්‍යාආජීව යැ මිථ්‍යාව්‍යායාම යැ මිථ්‍යාස්මෘති යැ මිත්ථ්‍යාසමාධි යැ යන අටවැදෑරුම් මිච්ඡත්තයෝ යි. මේ ‘සබ්බපාප’ යයි කියනු ලැබේ. මේ අටවැදෑරුම් මිථ්‍යාත්වයන්ගේ යම් අක්‍රියාවක් අකරණයක් අනධ්‍යාචාරයෙක් (නො ඉපදවීමෙක්) ඇද්ද මේ “සබ්බපාපස්ස අකරණං” යයි කියනු ලැබේ. අෂ්ට මිථ්‍යාත්වයන් ප්‍රහීණ කල්හි අෂ්ට සම්‍යක්ත්වයෝ සම්පාදනය වෙති. අටවැදෑරුම් සම්‍යක්ත්වයෙන්ගේ යම් ක්‍රියාවක් කරණයක් අධ්‍යාචාරයෙක් (ඉපදවීමෙක්) වේ ද මේ “කුසලස්ස උපසම්පදා” යී කියනු ලැබේ. “සචිත්තපරියෝදපනං” යී අතීත මාර්ගයාගේ භාවනාක්‍රියාව දක්වනසේක. චිත්තය පවිත්‍ර කළ කල්හි පඤ්චස්කන්ධයෝ පරියෝදපනය කළාහු වෙත්. ඒ එසේ මැ යැ: බුදුහු මෙසේ වදාළහ: “මහණෙනි, චේතෝවිසුද්ධිය සඳහා තථාගතයන් කෙරෙහි බඹසර වසන්නේය” යි. ඒ එසේ මැ යැ: නීවරණප්‍රහාණය ද අනුශය සමුද්ඝාතය දැයි පරියෝදපනය දෙවැදැරුම් වෙයි. දර්ශනභූමි ද භාවනාභූමි දැයි පරියෝදපනභූමි ද දෙකකි. එහි යමක් ප්‍රතිවේධ සංඛ්‍යාත පරිඥාභි සමයෙන් පරියෝදපනය කෙරේ ද මේ දුක්ඛ යැ, යමක්හු කෙරෙන් පිරිසිදුකෙරේ ද මේ සමූදය යැ, යමක් කරණ කොට පරියෝදපනය කෙරේ ද මේ මාර්ග යැ, යමක් පරියෝදපිත ද මේ නිරෝධ යි. මේ චතුස්සත්‍යයෝ යි, එයින් වදාළහ. බුදුහු: “සබ්බපාපස්ස අකරණං” යී.
4. දානාදි කුශලධර්ම තෙමේ ඒකාන්තයෙන් ඒ ධර්මයෙහි හැසිරෙන පුඟුල්හු (දිට්ඨධම්මික සම්පරායික අනර්ථයෙන්) රක්නේය, වැසිකලැ මහත් වු ඡත්‍රය එය ධරන්නහු යම්සේ රකීද එමෙනි, ධර්මය මොනොවට පරිචිත කල්හි තෙල අනුසස් වෙයි, ධර්මචාරී පුද්ගල අපායාදි දුගතියට නොයේ යයි.
ධර්මය නම්: ඉන්ද්‍රියසංවර යැ මාර්ග යැයි ද්විවිධ යැ, දුර්ගති නම් ද්විවිධ යැ: දේවමනුෂ්‍යයන්ගේ හෝ උපනිධි කොට සතර අපායයෝ දුර්ගති යැ, නිර්වාණය හෝ උපනිධි කොට සියලු උපප්‍රාප්තීහු දුර්ගති යැ. එහි සංවරසීලයෙහි යම් අඛණ්ඩකාරීබවක් ඇද්ද මේ සංවරශීලධර්මය මොනොවට ආචීර්ණ වූයේ සතර අපායෙන් රකී. බුදුහු මෙසේ වදාළහ: “මහණෙනි, සිල්වත්හට දේවගතිය ද මනුෂ්‍යගතිය දැයි මේ ගති දෙකක් වෙති” යී
තවද මෙසේ ඇත: නාලන්දානිගමයෙහි අසිබන්ධක පුත්‍ර වූ ගාමිණී භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “වහන්ස පශ්චාද්භූමි වැසි බ්‍රාහ්මණයෝ කමඬලු ඇත්තාහු සෙවෙල්මාලා ඇත්තාහු උදයසවස ජලාවගාහ කරන්නාහු ගිනි පුදන්නාහු, ඔහු මළහු කලුරියපළහු උඩලොවට යවති, මොනවට යවති, (පිරිවරා සිට භවත, බඹලොවට යවයි කියමින්) ස්වර්ගයට යවති, වහන්ස භාග්‍යයතුන් වහන්සේ වැලිත් යම් පරිදි සියලු ලෝවැසි තෙමේ කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්ගලෝකයට පිළිසඳ විසින් පැමිණේ නම්, එසේ කරන්නට පොහොසත් සේක් දැ” යි.
ග්‍රාමිණි එසේ නම් මෙ කරුණෙහි ලා තොප මැ පුළුවුස්මි, තොපට යම්සේ හැගේ නම් එසෙයින් එය ප්‍රකාශ කරව, ග්‍රාමණි ඒ කිමැයි හඟනාව, මෙ ලොවැ පුරුෂයෙක් ප්‍රාණවධ කරනුයේ අයිනාදන් ගන්නේ කාමයෙහි මිසහසර ඇතියේ මුසවා කියනුයේ පිසුනුබස් ඇතියේ පරොස්බස් ඇතියේ සිස් වදන් කියනුයේ අභිධ්‍යා බහුල කොට ඇතියේ ව්‍යාපාද සිත් ඇතියේ මිසදිටු ඇතියේ වේ ද, මහාජනසමූහයා තෙලපුඟුල්හු වෙත එක්වගෙන ‘මේ පුරුෂ කාබුන් මරණින් මතු සුගති ස්වර්ගලෝකයට පැමිණේව’ යි අයදනේ නම් පසස්නේ නම් ඇඳිලිබැඳ සිසාරායන්නේ නම්, ග්‍රාමණි ඒ කිමැයි හඟනාව, කිම ඒ පුරුෂ මහාජනසමූහයා අයදනාහෙයින් වේවයි පසස්නා හෙයින් වේව’ යි බඳැඳිලි වැ සිසාරායන හෙයින් වේවයි කාබුන් මරණින් මතු සුගති ස්වර්ගලෝකයට පැමිණෙන්නේ දැ’ යි.
වහන්ස තෙල නො වේ මැ ය. ග්‍රාමණී යම්සේ පුරුෂයෙක් මහත් වු ගනසෙලක් ගැඹුරු දියවිලෙක්හි බහාලන්නේ ද, මහාජනසමූහයා තෙල ශෛලය වෙත එක්වගෙන ‘භවත් ශෛලය උඩ නැගෙව භවත් ශෛලය ඉල්පෙව භවත් ශෛලය ගොඩට පිහිනව’ යි අයදනේ නම් පසන්නේ නම් බඳැඳිලිව සිසාර යන්නේ නම්, ග්‍රාමණි ඒ කිමැයි හඟනාව, කිම ඒ මහත් ගනසෙල මහාජනසමූහයා අයදනාහෙයින් වේවයි පසස්නාහෙයින් වේවයි ඇඳිලිබැඳ සිසාර යනහෙයින් වේවයි උඩට නැඟෙන්නේ හෝ ඉල්පෙන්නේ හෝ ගොඩට පිහිනන්නේ හෝ වේ දැ’ යි. වහන්ස තෙල නොවේ මැ ය. එසෙයින් ම ග්‍රාමිණි ඒ පුරුෂ ප්‍රාණවධ කරනුයේ ... මිසදුටු වූයේ වෙයි, එතෙකුදු වත් මහාජනසමූහයා ඔහු සමීපයට රැස්වගෙන ‘මේ පුරුෂ කාබුන් මරණින් මතු සුගති ස්වර්ගලෝකයට පැමිණේව’ යි අයදනේ නම් නමුදු පසස්නේ නමුදු සිසාරා ඇවිදුනේ නමුදු වැලි ඒ පුරුෂ කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වු නිරයට (පිළිසඳ විසින්) පැමිණෙන්නේය.
ග්‍රාමිණි ඒ කිමැයි හඟනාව, මෙලොවැ පුරුෂයෙක් ප්‍රාණවධයෙන් වැළැකියේ ... සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වන්නේ ය. මහාජනසමූහයා තුලුහු වෙත රැස්වෙන “මේ පුරුෂ කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වු නිරයට පැමිණේව' යි අයදනේ යැ පසස්නේ යැ බදැඳිලිව සිසාරා ඇවිදුනේ යැ, ග්‍රාමිණි ඒ කිමැයි හඟනාව, කිම ඒ පුරුෂ මහාජනසමූහයා අයදනාහෙයින් වේවයි පසස්නාහෙයින් වේවයි බදැඳිලිව සිසාරා යන හෙයින් වේවයි කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වූ නිරයට පැමිණෙන්නේ දැ? යි. වහන්ස, තෙල නොවේ මැ ය. ග්‍රාමිණි යම් පරිදි පුරුෂයෙක් ගිතෙල් කළයක් හෝ තෙල් කළයක් හෝ ගැඹුරු දියවිලකට බස්වා බිඳිනේ නම්, එහි යම් කැටක් හෝ කැබිලිති හෝ වූ නම් එය යටට බස්නේ ය. එහි යම් ගිතෙලක් හෝ තෙලක් හෝ වී නම් එය උඩට යනු වන්නේ ය, මහාජනසමූහයා තෙල සප්පිතෙලය වෙත රැස්වගෙන ‘භවත් සප්පිතෙලය දියෙහි ගැලෙව, භවත් සප්පිතෙලය මැනැවින් ගැලෙව, භවත් සප්පිතෙලය යටට යව’ යි අයදනේ නම් පසස්නේ නම් බදැඳිලිව සිසාරායන්නේ නම්, ඒ කිමැයි හඟනාව ග්‍රාමිණි කිම ඒ සප්පිතෙලය මහාජනසමූහයාගේ ආයාචනා හේතුයෙන් වේවයි පසස්නා හේතුයෙන් වේවයි බඳැඳිලිව සිසාරායන හෙයින් වේවයි දියෙහි ගැලෙන්නේ හෝ මැනැවින් ගැලෙන්නේ හෝ යටට හෝ යන්නේ දැ’ යි. වහන්ස, තෙල නොවේ මැ ය. එසෙයින් මැ ග්‍රාමිණි ඒ පුරුෂ ප්‍රාණඝාතයෙන් වෙන්වුයේ ... සම්‍යග්දෘෂ්ටි ඇතියේ වෙයි, එහෙත් මහාජනසමූහයා ඔහු වෙත රැස්ව සිට ‘මේ පුරුෂ කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වු නිරයට පැමිණේව’ යි අයදනේ නමුදු පසස්නේ නමුදු බඳැඳිලිව සිසාරා ඇවිදුනේ නමුදු වැලි ඒ පුරුෂ කාබුන් මරණින් මතු සුගති ස්වර්ගලෝකයට පැමිණෙන්නේය” මෙසේ ශීලසංවර සංඛ්‍යාත කුශලධර්මය මොනොවට පරිචිත වුයේ සතර අපායෙන් රකී.
ඒ දෙවැරුම් ධර්මයන් කෙරෙහි ආර්‍ය්‍යමාර්ගධර්මයාගේ යම් තියුණුබවක් අධිමාත්‍ර බවක් ඇද්ද මේ මාර්ගධර්මය සූචීර්ණ වුයේ සකල උපප්‍රාප්තිභවයෙන් රකී. බුදුහු මෙසේ වදාළහ:
5. (යම් හෙයෙකින් අරක්ෂිත සිත් ඇතියේ මාරවශීව සසර මැ වෙසේ ද) එහෙයින් සතිසංවරයෙන් රක්නාලද සිත් ඇතිවන්නේ යැ, නෙක්ඛම්මාදි සම්‍යක්සඞ්කල්ප ගෝචර කොට ඇතිවන්නේ යැ, (කම්මස්සකතා යථාභූතඤාණ ලක්ෂණ) සම්‍යග්දෘෂ්ටිය පෙරටු කොට ඇතියේ (පඤ්චස්කන්ධයෙහි සමපනස් වැදැරුම්) උදයව්‍යය දැන (හඞ්ගානු පස්සනාදි වශයෙන් විදසුන් වඩා) රහත් මගින් ථිනමිද්ධය නැසූ ක්ෂීණාස්‍රව මහණ සියලු දුර්ගති දුරු කරන්නේ යි.
එහි තෘෂ්ණාව ද අවිද්‍යාව ද දුර්ගතීන් ට හේතු යැ, ඔහු සතර උපදානයෝ වෙති, ඒ සතර උපදානයෙන් සඋපාදානවු යම් ස්කන්ධ කෙකෙනෙක් ද ඇද්ද, මේ දුක යැ, සතර උපදානයෝ සමූදය යැ, පඤ්චස්කන්ධයෝ දුක්ඛ යි. බුදුහු ඒ දුක්ඛ සමුදය දෙදෙනාගේ පරිඥාව ද ප්‍රහාණය ද සඳහා දහම් දෙසනසේක. දුඃඛයාගේ පරිඥාව පිණිස යැ, සමුදයාගේ ප්‍රහාණය පිණිසයි. එහි තෘෂ්ණාවට රූපී පඤ්චෙන්ද්‍රියයෝ පදට්ඨාන යැ, අවිද්‍යාවට මන ඉන්ද්‍රිය පදට්ඨාන යි. රූපි පඤ්චෙන්ද්‍රියයන් රක්නේ සමාධිය වඩයි. තෘෂ්ණාව ද නිගනී. මන ඉන්ද්‍රිය රක්නේ විදර්ශනාව වඩයි, අවිද්‍යාව ද නිගනී. තෘෂ්ණානිග්‍රහයෙන් කාමූපාදානය ද සීලබ්බතූපාදානය ද යන උපාදානයෝ දෙදෙන ප්‍රහීණ වෙති, අවිද්‍යා නිග්‍රහයෙන් දිට්ඨූපාදානය ද අත්තවාදූපාදානය ද යන උපදානයෝ දෙදෙන ප්‍රහීණ වෙත්. සතර උපදානයන් ප්‍රහීණ කල්හි ශමථය ද විදර්ශනාව ද යන ධර්මයෝ දෙදෙන භාවනායෙන් පාරිපුරියට යෙත්. මේ ‘බ්‍රහ්මචරිය’ යි කියනු ලැබේ. එහි බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඵලය: ශ්‍රොතාපත්තිඵල සකෘදාගාමිඵල අනාගාමිඵල අර්භත්ව අග්‍රඵල යන සතර ශ්‍රාමණ්‍ය ඵලයෝ යැ. මේ සතර බ්‍රහ්මචර්‍ය්‍යඵලයෝ යි. මෙසේ දුඃඛය ද සමූදය ද යන පළමු කී සත්‍යයෝ දෙදෙන යැ, ශමථය ද විදර්ශනාව ද බ්‍රහ්මචර්‍ය්‍යය ද මාර්ග යැ, බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඵලයෝ ද තදාලම්බන වූ අසඞ්ඛතධාතුව ද නිරෝධයි. මේ චතුස්සත්‍යයෝ යි. එයින් වදාළහ: “ධම්මෝ හවෙ රක්ඛති” යී. ඒ දේශනායෙහි ප්‍රතිවේධයෙන් යමක් රකී ද මේ දුඃඛ යැ, යමක්හු කෙරෙන් රකී ද මේ සමුදය යැ, යමක් කරණකොට රකී ද මේ මාර්ග යැ, යමක් රකී ද මේ නිරෝධ යි. මේ චතුස්සත්‍යයෝ යි. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායනස්ථවිරයන් වහන්සේ: “එකම්හි පදට්ඨානෙ” යනාදිය.
ආවට්ටහාරය යොදනලදී.