ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » නෙත්තිප්පකරණ » 3. පටිනිද්දේසවාරය » විභඞ්ග

3.1.6. චතුබ්‍යුහහාරවිභඞ්ගය

එහි චතුබ්‍යුහහාරය කවරෙ යත්: “නෙරුත්තමධිප්පායො” යන නිර්දේශ යැ, මේ චතුබ්‍යුහහාරයි. බ්‍යඤ්ජනද්වාරයෙන් සූත්‍ර‍යාගේ නිර්වචනය ද, (දේශකයාණන්ගේ) අදහස ද, දේශනානිදානය (කාරණය) ද, පූර්වාපරානුසන්ධිය ද, සෙවියයුත්තාහ.

එහි නෙරුත්තය කවරෙ යත්: පදයන්හි සංහිත වූ - යෙදුණාවු යම් නිරුත්තියක් ඇද්ද එයයි. යම් හෙයෙකින් ඥෙයධර්මයන්ගේ (එස්ස - වේදනා - බන්ධ - ධාතු - තිස්ස - ඵූස්සාදි) නාමවශයෙන් දැනීම වේ ද එහෙයිනි. ඒ එසේ මැය: යම් කලෙක මහණ ශබ්දාභිධෙය වූ අර්ථයාගේ (නාමප්‍ර‍ඥප්ති විසින් මෙනම් ඇතැ’යි) නාමය දනී ද ස්වභාවධර්මයාගේත් නාමය දනීද, (එකල්හී) ඒ ඒ අර්ථ - ධර්මය ඒ ඒ පරිදි ව්‍යවහාරයට නඟයි - දෙසයි. මේ මහණ පෙළඅරුත්හි නිපුණ යැ, පෙළදහම්හි නිපුණ යැ, (අක්ෂර වාක්‍යසංඛ්‍යාත) ව්‍යඤ්ජනයෙහි නිපුණ යැ, නිර්වචනයෙහි කුශල යැ, (දේශනාව පිළිබඳ) පූර්වාපරයෙහි නිපුණ යැ, ධර්මදේශනායෙහි නිපුණ යැ, අතීතප්‍ර‍ඥප්තියෙහි නිපුණ යැ, අනාගතප්‍ර‍ඥප්තියෙහි නිපුණ යැ, වර්තමානප්‍ර‍ඥප්තියෙහි නිපුණ යැ, ස්ත්‍රීප්‍ර‍ඥප්තියෙහි නිපුණ යැ, පුරුෂප්‍ර‍ඥප්තියෙහි නිපුණ යැ, නපුංසකප්‍ර‍ඥප්තියෙහි නිපුණ යැ, එකවචනයෙහි නිපුණ යැ, අනෙකවචනයෙහි නිපුණ යැයි කියනු ලැබේ. මෙපරිද්දෙන් සියලු මැ ජනපදනිරුත්ති සංඛ්‍යාත සත්වව්‍යවහාරපදයෝ (සූත්‍රයෙහි නිර්වචන වශයෙන්) කියැ යුත්තාහු ය, සියලු ලෝකසංඥාවෝ ද කියැයුත්තාහුය. මේ ‘නිරුත්ති පදසංහිතා’ යි.

(2) එහි අධිප්පාය කවරෙ යත්:

1. දානාදි කුශලධර්ම තෙමේ ඒකාන්තයෙන් ඒ ධර්මයෙහි හැසිරෙන පුඟුල්හු (දිට්ඨධම්මික සම්පරායික අනර්ථයෙන්) රක්නේය, වැසිකලැ මහත් වූ ඡත්‍ර‍ය එය ධරන්නහු යම්සේ රකීද එමෙනි, ධර්මය මොනොවට පරිචිත කල්හි තෙල අනුසස වෙයි. ධර්මචාරී පුද්ගල අපායාදි දුගතියට නොයේ යයි.

මේ දේශනායෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරේ යැ: අපායෙන් මිදෙනු කැමැති යම් කෙනෙක් වෙත් ද, ඔහු ධර්මචාරි වන්නාහ’ යි, මේ තෙල දේශනායෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස යි.

2. ගෘහසන්ධිමූඛයෙහි (හිමියන් හෝ රාජපුරුෂයන් විසින්) ගන්නාලද සොරෙක් සිය සොරකම් හේතුයෙන් යම් පරිදි කම්කටොලින් පෙළනුලැබේ ද (සිරබැඳුම් ආදියෙන්) බඳනාත් ලැබේ ද එසෙයින් මේ සත්ත්වප්‍ර‍ජාව මියැ පරලොව දී සිය පව්කැමින් පෙළනු ලැබේ යයි.

මෙහි ලා භාග්‍යවතූන් වහන්සේගේ අදහස කවරෙ යැ: සිතා කරනලද රැස්කරනලද දුක් වේදනා උපදවන කර්මයන්ගේ අනිෂ්ට වූ අමධුර වූ විපාකය විඳින්නේය’ යි මේ තෙල දේශනායෙහි භාග්‍යවතූන් වහන්සේගේ අදහස යි.

3. යමෙක් සුව කැමැති වු සත්ත්වයන් දඩින් වෙහෙසා ද, තමහට සුව රිසියෙන ඒ හිංසක පුද්ගල පරලොව ගොස් සුව නොලබා යයි.

මෙහිලා භාග්‍යවතූන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් සූඛාර්ථීහු වන්නාහු ද ඔහු පව්කම් නො කරන්නාහයි මේ තෙල දේශනායෙහි භාග්‍යයතුන් වහන්සේගේ අදහස යි.

4. යම් කලෙක පුරුෂ ථිනමිද්ධයෙන් මඩනාලදුයේ බොහෝ කොට අනුභව කරන්නේත් වේද, හුන් සිටි තැන නිදනසුලු වූයේ පෙරැළි පෙරැළි හෝනේ වේ ද, දමු කුඩු ඈ ශුකරනිවාපයෙන් පුස්නාලද මහත් ගම්හූරකු මෙන් වූ ‘දුෂ්ප්‍රාඥ’ පුද්ගල පුනපුනා (පිළිසඳ විසින්) මවුකුසයට පැමිණේ යයි.

මේ දේශනායෙහි භාග්‍යවතූන් වහන්සේගේ අදහස කවරේ යැ: යම් කෙනෙක් ජරාමරණහේතුයෙන් දුක්වන්නාහු ද, ඔහු භෝජනයෙහි මාත්‍ර‍ඥ වූවාහු ඉන්ද්‍රියයන්හි පියු දොර ඇත්තාහු පූර්වරාත්‍රාපරරාත්‍රයෙහි නිදි වැරීමෙහි යෙදුණාහු කුශලධර්මයන්හි විදර්ශක වූවාහු ස්ථවිර නවක මධ්‍යම වු සබ්‍ර‍ම්සරුන් කෙරෙහි සගෞරව වූවාහු ද වන්නාහ’ යි, මේ තෙල දේශනායෙහි භාග්‍යවතූන් වහන්සේගේ අදහසයි.

5. කුශලධර්මයෙහි ස්මෘති අවිප්‍ර‍වාස සඞ්ඛ්‍යාත අප්‍ර‍මාදය නිර්වාණාමෘතයාගේ අධිගමයට කාරණා වෙයි, ස්මෘතිවිප්‍ර‍වාස සඞ්ඛ්‍යාත ප්‍ර‍මාදය (ප්‍ර‍මත්තයා ජාතිය නොඉක්මවූ හෙයින්) මරණයට කාරණ යැ, අප්‍ර‍මත්ත වූවාහු (වහා මාර්ගඵලාධිගම කරන හෙයින්) නොමියන්නාහ, ප්‍ර‍මත්ත වූ යම් කෙනෙක් වෙත් ද ඔහු (ප්‍ර‍මාදමරණයෙන් මළහෙයින්) මළවුන් වැන්නාහ’ යි.

මෙහි ලා භාග්‍යවතූන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් නිවන සොයනු කැමැති වෙත්ද, ඔහු අප්‍ර‍මත්ත ව වාසය කරන්නාහ’ යි. මේ තෙල දේශනායෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස යි. මේ අධිප්පාය යි.

(3) එහි නිදාන කවරෙ යත්: ඒ මෙසේ යැ. ඒ ධනිය ගොපලු භාග්‍යවතුන් වහන්සේට මේ කීයැ:

6. පුතුන් ඇතියේ පුතුන් සමග හෝ පුතුන් කරණකොට සතුටු වෙයි, එසෙයින් ම ගවයන් ඇතියේ ගවයන් කරණකොට සතුටු වෙයි, කාමගුණුපධීන් කරණකොට මිනිසාට සතුට වෙයි, යමෙක් උපධි රහිත වේද හේ නො මැ සතුටු වේ යයි.

බුදුහු මේ වදාළහ:

7. පුතුන් ඇතියේ පුතුන් කරණකොට ශෝක කෙරෙයි, ගවයන් ඇතියේ ගවයන් කරණකොට එසෙයින්ම මැ ශෝක කෙරෙයි, උපධීන් කරණකොට මිනිසාට ශෝකය වෙයි, යමෙක් කාමගුණූපධී රහිත වේද, හේ නො මැ ශෝක කෙරේ යයි.

මේ පුත්ත ගවාදි කීර්තන සංඛ්‍යාත කාරණයෙන් මේ නිදානයෙන් මෙසේ මේ දේශනායෙහි බුදුහු බාහිර වස්තුව ‘උපධි’ යයි කොට වදාළහ’ යි හැ‍‍ගෙයි.

මෙසේත් නිදසුන් වෙයි: පවිටු මාර ගිජුකුළු පවුයෙන් මහත්වු සෙලක් පෙරැළි යැ. බුදුහු මේ වදාළහ:

8. ඉදින් සියලු මැ ගිජුකුළු පව්ව සලන්නෙහි නමුදු උපධීන් කෙරෙන් මොනොවට මිදුණු බුදුවරයන්ගේ කම්පායෙක් නැත්මැයි.

9. අහස පැලේ නමුදු පොළොව සැලේ නමුදු නොහොත් සියලු මැ ප්‍රාණීහු තැති ගන්නාහු නමුදු ඉදින් ශල්‍යයකුදු ළෙහි ගසන්නාහු නමුදු බුදුවරයෝ උපධීන් කෙරෙහි ත්‍රාණ (රැකීමක්) නො කෙරෙත්’ යී.

මේ වස්තු (කාරණ)යෙන් මේ නිදානයෙන් මෙසේ හැගෙයි: මේ දේශනායෙහි ලා බුදුහු කය උපධි කොට වදාළසේක’ යි.

මෙසේත් වදාළහ!

10. අයෝමය වූ ද දැවමුවා ද බබුස්තණමුවා වූ ද යම් බන්ධනයෙක් ඇද්ද ධීරයෝ එය දැඩි බැඳුමෙකැයි නො කියති, මිණිකො‍ඩොල්හිදු අඹුදරුවන් කෙරෙහිදු අධික රාගයෙන් ඇලුණු යම් අපෙක්ෂාවක් ඇද්ද -

මේ වස්තුයෙන් මේ නිදානයෙන් මෙසේ මේ දේශනායෙහි බුදුහු බාහිර වස්තුවිෂයෙහි තෘෂ්ණාව වදාළසේකැ’ යි හැ‍ගෙයි.

මෙසේත් වදාළහ:

11. පහත (සිවු අපාය)ට ඇදලන ලිහිල් වු මිදීමට දුෂ්කර වූ තෙල කාමාපේක්ෂාව දැඩිවු බන්ධනයෙකැ’ යි (බුද්ධාදි) ප්‍රාඥයෝ කියති, කාමාපේක්ෂා නැත්තාහු තෙල බන්ධනය ද සිඳ කම්සුව හැරපියා ගිහිගෙන් නික්මයෙත්, යයි.

මේ වස්තුයෙන් මේ නිදානයෙන් බුදුහු බාහිර වස්තුගත තෘෂ්ණාවගේ ප්‍ර‍හාණය වදාළහ’ යි හැගේ.

මෙසේත් වදාළහ:

12. උපද්‍ර‍වයෙන් ආතුර වු අපවිත්‍ර‍ වූ කුණු වූ දුගඳ ඇති සිරුර ඇසිරිකළ මලය දවරැයෙහි වැගිරෙන (මේ කය) බාලයන් විසින් (තෘෂ්ණා මාන දෘෂ්ටීන්) අභිනන්දිත වේ යයි.

මේ වස්තුයෙන් මේ නිදානයෙන්බුදුහු මේ දේශනායෙහි ලා අධ්‍යාත්මවස්තුගත තෘෂ්ණාවගේ ප්‍ර‍හාණය වදාළසේකැ’ යි හැගේ.

මෙසේත් වදාළහ:

13. සරාකලැ හටගත් කුමුදුමලක් අතින් (සිඳින්නාක්) මෙන් තමාගේ තෘෂ්ණා සංඛ්‍යාත ස්නේහය (රහත්මගින්) සිඳලව (අෂ්ටාඞ්ගික) ශාන්තිමාර්ගය මැ වඩව, සුගතයන් විසින් නිවන (ශාන්ත යයි) දේශිත හෙයිනි.

මේ වස්තුයෙන් මේ නිදානයෙන් මෙහි ලා බුදුහු අධ්‍යාත්මවස්තුගත වූ තෘෂ්ණාවගේ ප්‍ර‍හාණ වදාළසේක’ යි හැගේ. මේ “නිදාන” යි.

(4) ඒ චතුබ්‍යුහයෙහි පුබ්බාපරසන්ධි කවරෙ යත්:

මේ වදාළහ:

14. ක්ලේශකාමයෙන් අන්ධ වූ තෘෂ්ණාජාලයෙන් වෙළුණු තෘෂ්ණා සංඛ්‍යාත අන්ධකාරයෙන් වැසුණු කෙමිනමුවෙහි (බැඳුණු) මසුන් මෙන් ප්‍ර‍මාද නැමැති බන්ධනයෙන් බැඳුණු සත්ත්වයෝ මව්දෙන කරා එන කිරි බොන වස්සකු මෙන් ජරාවට හා මරණයට පුනපුනා පැමිණෙත් යයි.

මේ කාමතෘෂ්ණාව වදාරනලදු. ඒ කාමතෘෂ්ණාව පූර්ව වූ හෝ අපර වූ හෝ කවර දේශනාන්තරයක් සමග යෙදේ ද යත්:

මෙසේත් වදාළහ:

15. රාගයෙන් රක්ත වූයේ (ස්වාර්ථාදි) අර්ථය නො දනී, රාගරක්ත වූයේ ධර්මය නො දකී, යම් කලෙක රාගය තෙමේ මිනිසා සහන (අභිභවන)ය කෙරේද, එකල්හි බහල වූ අන්ධකාරය වේ යයි.

මෙසේ අන්ධතායෙන් ද සඤ්ඡන්නතායෙන් ඒ යට ගයෙහි කී තෘෂ්ණාව ම කියන ලද්දීය. “කාමන්ධා ජාලසඤ්ඡන්නා තණ්හාඡදනඡාදිතා” යී යම් තෘෂ්ණාවකුත් වදාළසේක් ද, “රත්තෝ අත්ථං න ජානාති රත්තෝ අත්ථං න පස්සති” යී යම් තෘෂ්ණාවකුත් වදාළසේක් ද, ක්ලේශපරීයුට්ඨානය දක්වන මේ පදයන්ගෙන් ඒ කාම තෘෂ්ණාව මැ වදාරන ලද්දීය. කාම සංඛ්‍යාත යම් අන්ධකාරයක් ඇද්ද මේ දුක්ඛසමුදය යි, පුනර්භවය ඇතිකරන යම් තෘෂ්ණාවක් ඇද්ද එය යි.

“කාම” යී යමකුත් වදාළසේක් ද, මොහු ක්ලේශකාමයෝ යැ, “ජාලසඤ්ඡන්නා” යී යමකුත් වදාළසේක් ද, ඒ කාමයන්ගේ මැ සමුදාචාරයෙන් පරියුට්ඨානය දක්වනසේක. එහෙයින් ක්ලේශවශයෙන් ද පරියුට්ඨානවශයෙන් ද තෘෂ්ණාව බන්ධන යයි වදාරනලදී. යම් කෙනෙක් තෘෂ්ණාබන්ධන ඇත්තාහු ද ඔහු ජරාමරණයට පුනපුනා එති. භාග්‍යවතුන් විසින් යථානික්ෂිප්ත ගාථාබලයෙන් “ජරාමරණමන්වෙන්ති” යී මේ සංසාර ප්‍ර‍වෘත්ති දක්වන ලද්දීය.

16. යම් ක්ෂීණාස්‍ර‍යක්හට (තෘෂ්ණා දෘෂ්ටි මාන) ප්‍ර‍පඤ්චයෝත් (කාමාදි) අනුශය ධර්මයෝත් නැද්ද, තණ්හාපරියුට්ඨාන සංඛ්‍යාත සන්දානයත් මෝහ සංඛ්‍යාත පළිඝයත් (යමෙක්) ඉක්මැවූයේ ද, තෘෂ්ණා රහිත ව ඉරියව් පවත්වන ඒ ක්ෂීණාස්‍ර‍ය මුනිහු සදෙවක ලෝකයා ද (චරිම නාමරූප නිරෝධයෙන් පසු කොහි උපන්හු දැයි) නො දනී යයී.

‘පපඤ්ච’ නම්: තෘෂ්ණා දෘෂ්ටි මානයෝ ද, ඒ තෘෂ්ණාදීන් විසින් රැස්කරනලද සංස්කාරයෝ ද වෙති. ‘ඨිති’ නම්: අනුශයයෝ යි. ‘සන්දාන’ නම්: තෘෂ්ණාවගේ පර්‍ය්‍යුත්ථාන යැ, සතිස්වැදැරුම් තෘෂ්ණාජාලිනියගේ යම් විචරිතයෝ වෙත් ද ඔහු යි. ‘පළිඝ’ නම්: මෝහයයි. යම් පපඤ්ච සංස්කාර කෙනෙක් වෙත්ද, අනුශය සංඛ්‍යාත යම් ඨිතියක් වේ ද, සන්දාන සංඛ්‍යාත යම් තෘෂ්ණාවිචරිත කෙනෙක් වෙත් ද, මෝහ සංඛ්‍යාත යම් පළිඝයකුත් වේ ද, යමෙක් තෙල සංස්කාරාදි සියල්ල මොනොවට ඉක්මවූයේ ද, මේ ක්ෂීණාස්‍ර‍ව ‘නිත්තණ්හ’ යයි කියනු ලැබේ.

එහි පරියුට්ඨානසඞ්ඛාරයෝ දෘෂ්ටධර්ම (ඉහාත්ම)යෙහි වින්දයුතු විපාක ඇත්තාහු හෝ උපපද්‍ය (අනන්තර) ආත්මභාවයෙහි වින්දයුතු විපාක ඇත්තාහු හෝ අපරාපරිය (අපර අපර) ආත්මභාවයන්හි වින්දයුතු විපාක ඇත්තාහු හෝ වෙති. මෙසේ තෘෂ්ණාව ප්‍ර‍ත්‍යක්ෂ ආත්මභාවයෙහි හෝ අනන්තර හෝ ආත්මභාවයෙහි හෝ අපරාපරිය ආත්මභාවයෙහි හෝ ත්‍රිවිධ විපාකඵලය දෙයි. බුදුහු මෙසේ වදාළහ: “කයින් වචනයෙන් සිතින් ලෝභ හේතුයෙන් කරනලද යම් කර්මයක් ඇද්ද, ඒ කර්මයාගේ විපාකය මේ අත්බැව්හි හෝ අනතුරු අත්බැව්හි හෝ අපරආත්මභාවයක හෝ විඳී” යයී. මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේගේ පූර්වාපරදේශනා හා යෙදෙයි. එහි තණ්හාපරියුට්ඨානය දිට්ඨම්මවේදනීය කර්මයක් හෝ උපපජ්ජවේදනීය කර්මයක් හෝ අපරාපරියවේදනීය කර්මයක් හෝ වෙයි. මෙසේ කර්මය තුන්පරිද්දෙකින් විපාක දෙයි: ඉහාත්මයෙහි හෝ උපපද්‍යආත්මභාවයෙහි හෝ අපරපරියාය ආත්මභාවයෙහි හෝ යි. මෙසේ වදාළහ: “ඉදින් බාල තෙමේ මෙලොවැ ප්‍රාණවධ කරන්නේ වේ ද ... මිසදිටු ඇත්තේ වේ ද, ඒ කර්මයා‍ගේ විපාකය ඉහාත්මයෙහි හෝ උපපද්‍යආත්මයෙහි හෝ අපරපරියාය ආත්මයක හෝ විඳී” යයී. භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාව පූර්වාපරය හා යෙදෙයි. එහි තණ්හාවිචරිතය ප්‍ර‍තිපක්ෂභාවනාබලයෙන් ප්‍ර‍හාණ කළයුතු යැ, (දිට්ඨිගත සම්ප්‍ර‍යුක්ත සතර සිත්හි හා වචිකිඡාසම්ප්‍ර‍යුක්ත සිතෙහි ද) සංස්කාරයෝ දර්ශන (ප්‍ර‍ථම මාර්ගඥාන) බලයෙන් ද, (දර්ශනප්‍ර‍හීණාවශේෂ) සතිස් තෘෂ්ණාවීචරිතයෝ භාවනා බලයෙන් ද ප්‍ර‍හාණය කළයුත්තාහු යයි මෙසේ තෘෂ්ණාව ද තුන් පරිද්දෙකින් ප්‍ර‍හීණ වෙයි. යම් නිෂ්තෘෂ්ණබවක් වේ ද මේ සඋපාදිසේස නිර්වාණධාතු යැ, කරජකය බිඳීමෙන් (යම් නිවනක් ද වේ ද) මේ අනුපාදිසේස නිර්වාණධාතු යි.

තෘෂ්ණාදීන්ගේ අනුප්‍ර‍බන්ධවශයෙන් පැවැත්ම ‘පපඤ්ච’ නමැයි කියනු ලැබේ. මෙ ද වදාළහ බුදුහු: “අතීතානාගතප්‍ර‍ත්‍යුප්පන්න වු චක්ෂුර්විඥානයෙන් දතයුතු රූපය නිසා ප්‍ර‍පඤ්ච (තෘෂ්ණාදීන්ගේ අනුබන්ධප්‍ර‍වෘත්තිය) කෙරේ ය” යි. මෙ ද වදාළහ බුදුහු: “රාධය, අතීත රූපයෙහී අපේක්ෂා රහිත වෙව, අනාගත රූපාලම්බනය නහමක් අභිනන්දනය කර, ප්‍ර‍ත්‍යුප්පන්න රූපයාගේ නිර්වේදය පිණිස නො ඇලීම පිණිස නිරුද්ධ කිරීම පිණිස ත්‍යාගය පිණිස දුරැලීම පිණිස පිළිපද” යී. මේ සූත්‍ර‍ය භාග්‍යවතුන් වහන්සේගේ පූර්වාපරදේශනාව හා යෙදෙයි. (මෙහි) යම් ප්‍ර‍පඤ්චයෙකුත් වේ ද, යම් සංස්කාර කෙනෙක් වෙත් ද, යම් අතීතානාගතප්‍රත්‍යූත්පන්න ධර්මයාගේ අභිනන්දනායෙකුත් වේ ද, මේ දේශනාවචනය සමානාර්ථ වෙයි. එතෙකුදුත් - අන්‍යොන්‍ය (වෙන වෙන) පදයෙන් අන්‍යොන්‍ය අක්ෂරයෙන් අන්‍යොන්‍ය ව්‍යඤ්ජනයෙන් භාග්‍යවතුන් විසින් අපරිමාණ ධර්මදේශනාව වදාරනලදි. මෙසේ සූත්‍රයෙන් සූත්‍රය සංසන්දනා කොට පූර්ව වූ අපර වූ හෝ දේශනාව සමග යොදා සූත්‍රය කරන ලද වේ.

තවද මේ පූර්වාපරසන්ධිය ‘අත්ථසන්ධි බ්‍යඤ්ජනසන්ධි දේසනාසන්ධි නිද්දෙස සන්ධි” යයි චතුර්විධ වෙයි.

එහි (ක්‍රියාකාරකාදීන්ගේ වශයෙන් අර්ථයාගේ සම්බන්ධය දක්වන) අර්ථසන්ධිය: සඞ්කාසනා (සැකෙවින් ප්‍ර‍කාශ කිරීම) යැ පකාසන (පළමු කොට ප්‍ර‍කාශකිරීම) යැ විවරණ (විස්තර කිරීම) යැ විභජනා (විභාග කිරීම) යැ උත්තානීකම්ම (ප්‍රකට කිරීම) යැ පඤ්ඤත්ති (ප්‍ර‍කාරයෙන් ඥාපන) යැ යන ෂට්පදයෝ යි.

(පදයක්) පදාන්තරය සමග සම්බන්ධය දක්වන බ්‍යඤ්ජන සන්ධිය: (අපර්‍ය්‍යවසිත පදයෙහි වර්ණ සංඛ්‍යාත) අක්ඛර යැ (නාමාඛ්‍යාතාදි) පද යැ (වාක්‍ය සංඛ්‍යාත පදසමුදාය ලක්ෂණ) බ්‍යඤ්ජන යැ (වාක්‍යවිභාග ලක්ෂණ වූ) ආකාර යැ (නිර්වචන සංඛ්‍යාත) නිරුත්ති යැ (නිර්වචන විස්තාර සංඛ්‍යාත) නිද්දෙස යැ යන ෂට්පදයෝ යි.

(දේශනාව දේශනාන්තරයක් සමග සංසන්දනය කරන) දේසනාසන්ධිය නම්: “ඵලසමාපත්ති ධ්‍යානයෙන් ධ්‍යාන කරනුයේ (විෂය සංඛ්‍යාත) පෘථීවිය නිශ්‍ර‍ය කොට නො ද ධ්‍යාන කෙරෙයි, එහෙත් හේ (සියලු සංස්කාරයන්ගෙන් නික්මගිය නිවන අරමුණු කොට) ධ්‍යාන කෙරෙයි. ධ්‍යාන කරනුයේ අපාය නිසා නො ද ධ්‍යාන කෙරෙයි, එහෙත් නිවන අරමුණු කොට ධ්‍යාන කෙරෙයි. ධ්‍යාන කරනුයේ තේජස නිසා නො ද ධ්‍යාන කෙරෙයි, එහෙත් නිවන අරමුණු කොට ධ්‍යාන කෙරෙයි. ධ්‍යාන කරනුයේ වායුව නිසා නො ද ධ්‍යාන කෙරෙයි, එහෙත් (නිවන අරමුණු කොට) ධ්‍යාන කෙරෙයි. නො ද ආකාසානඤ්චායතනය නිසා ... නො ද විඤ්ඤාණඤ්චායතනය නිසා ... නො ද ආකිඤ්චඤ්ඤායතනය නිසා ... නො ද නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිසා ... (දිට්ඨධම්ම වූ සත්ත්වසන්තාන සංඛ්‍යාත) මේ ලෝකය නිසා ... ධ්‍යාන කරනුයේ (භවාන්තරසංක්ෂේපයට ගිය සත්ත්වසන්තාන සංඛ්‍යාත) පරලෝකය නිසා නො ද ධ්‍යාන කෙරෙයි, එහෙත් නිවන අරමුණු කොට ධ්‍යාන කෙරෙයි. ඉධලෝක පරලෝක දෙක විනා අනින්ද්‍රිය බද්ධ වූ (සොයා හෝ නො සොයා) ප්‍රාප්ත වූ - ලැබුණු (ලද හෝ නො ලද හෝ) පර්යේෂණ කළ විතර්කණ විචාරණ කළ සිතින් පුනපුනා සිතන ලද යම් රූපායතනයක් ශබ්දායතනයක් ගන්ධ - රස - ස්ප්‍ර‍ෂ්ටව්‍යායතනයක් ධර්මාලම්බන පර්‍ය්‍යාපන්න වූ විඥානයක් ඇද්ද, ධ්‍යාන කරනුයේ එ ද නිශ්‍ර‍ය කොට ධ්‍යාන නො කෙරෙයි. එහෙත් නිවන අරමුණු කොට ධ්‍යාන කෙරෙයි. මේ ක්ෂීණාස්‍ර‍ව තෘෂ්ණා දෘෂ්ටි නිශ්‍ර‍ය රහිත වූ සිතින් යුක්තව ධ්‍යාන කරනුයේ දෙවියන් සහිත මරුන් බඹුන් සහිත ලෝකයෙහි මහණබමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ ප්‍ර‍ජාව විසින් නො දන්නා ලැබෙයි.

පවිටු මාර ගොධික කුලපුත්‍ර‍යාගේ (පිරිනිවීමෙන් පසු) විඥානය සොයනුයේ යම් පරිදි නො දනී ද නො දකී ද, යම් හෙයෙකින් ඒ ගොධික කුලපුත්‍ තෘෂ්ණාප්‍ර‍හාණයෙන් ප්‍ර‍පඤ්චයන් ඉක්මැවූයේ ද, ඔහුට දෘෂ්ටිනිශ්‍ර‍යත් නැද්ද, එහෙයිනි. ගොධික කුලපුත්‍හුගේ යම්සේ ද වක්කලිතෙරුන්ගේ ද එසේ යි. දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍ර‍ජාව විසින් තෘෂ්ණාදෘෂ්ටි නිශ්‍ර‍ය නැතිව ධ්‍යාන කරන්නාහු නො දන්නා ලැබෙත්. මේ ‘දේසනාසන්ධි’ යැ.

එහි නිද්දේසසන්ධි කවරෙ යැ: තෘෂ්ණාදෘෂ්ටීන් නිශ්‍රිත සිත් ඇත්තාහු අකුශල පක්ෂයෙන් (පුග්ගලාධිට්ඨානදේසනායෙහි ලා) දැක්විය යුත්තාහ, අනිශ්‍රිත සිත් ඇත්තාහු කුශල පක්ෂයෙන් දැක්විය යුත්තාහ. නිශ්‍රිත සිත් ඇති පුද්ගලයෝ ක්ලේශයෙන් දැක්විය යුත්තාහ, අනිශ්‍රිත සිත් ඇති පුද්ගලයෝ ව්‍යවදානයෙන් දැක්විය යුත්තාහ. නිශ්‍රිතචිත්තයෝ සංසාරප්‍ර‍වෘත්තියෙන් දැක්විය යුත්තාහ, අනිශ්‍රිතචිත්තයෝ සංසාරනිවෘත්තියෙන් දැක්විය යුත්තාහ. නිශ්‍රිතචිත්තයෝ තෘෂ්ණායෙන්ද අවිද්‍යායෙන්ද දැක්විය යුත්තාහ. අනිශ්‍රිත චිත්තයෝ ශමථයෙන් ද විදර්ශනායෙන් ද දැක්විය යුත්තාහ, නිශ්‍රිත සිත් ඇත්තාහු අහිරික අනොත්තප්ප දෙකින් දැක්විය යුත්තාහ. අනිශ්‍රිතචිත්තයෝ හිරි ඔත්තප්ප දෙකින් දැක්විය යුත්තාහ. නිශ්‍රිතචිත්තයෝ අසති අසම්පජඤ්ඤ දෙකින් දැක්විය යුත්තාහ, අනිශ්‍රිතචිත්තයෝ සති සම්පජ්ජඤ්ඤ දෙකින් දැක්විය යුත්තාහ. නිශ්‍රිතචිත්තයෝ අනුපාය අනුපායමනසිකාර දෙකින් දැක්විය යුත්තාහ, අනිශ්‍රිතචිත්තයෝ උපාය උපායමනසිකාර දෙකින් දැක්විය යුත්තාහ. නිශ්‍රිත සිත් ඇත්තාහු කුසීදභාවයෙන් ද දුර්වචභාවයෙන් ද දැක්විය යුත්තාහ, අනිශ්‍රිත සිත් ඇත්තාහු වීර්‍ය්‍යාරම්භයෙන් ද සුවවභාවයෙන් ද දැක්විය යුත්තාහ. නිශ්‍රිත සිත් ඇත්තාහු අශ්‍ර‍ද්ධායෙන් ද ප්‍ර‍මාදයෙන් ද දැක්විය යුත්තාහ, අනිශ්‍රිත සිත් ඇත්තාහු ශ්‍ර‍ද්ධායෙන් ද අප්‍ර‍මාදයෙන් ද දැක්විය යුත්තාහ. නිශ්‍රිතචිත්තයෝ අසද්ධර්මශ්‍ර‍වණයෙන් ද අසංවරයෙන් ද දැක්විය යුත්තාහ, අනිශ්‍රිතචිත්තයෝ සද්ධර්මශ්‍ර‍වණයෙන් ද සංවරයෙන් ද දැක්විය යුත්තාහ. නිශ්‍රිතචිත්තයෝ අභිධ්‍යායෙන් ද ව්‍යාපාදයෙන් ද දැක්විය යුත්තාහ. අනිශ්‍රිතචිත්තයෝ අනභිධ්‍යායෙන් ද අව්‍යාපාදයෙන් ද දැක්විය යුත්තාහ. නිශ්‍රිත සිත් ඇත්තාහු නීවරණයන්ගෙන් ද සංයෝජනයන්ගෙන් ද දැක්විය යුත්තාහ, අනිශ්‍රිත සිත් ඇත්තාහු රාගවිරාග චේතෝවිමුක්තියෙන් ද අවිජ්ජාරාග පඤ්ඤාවිමුක්තියෙන් ද දැක්විය යුත්තාහ. නිශ්‍රිත සිත් ඇත්තාහු උච්ඡේද දෘෂ්ටියෙන් ද ශාශ්වතදෘෂ්ටියෙන් ද දැක්විය යුත්තාහ, අනිශ්‍රිත සිත් ඇත්තාහු සඋපාදිසේස වූ ද අනුපාදිසේස වූ ද නිර්වාණධාතුයෙන් දැක්විය යුත්තාහ. මේ ‘නිද්දේසසන්ධි’ යී. එයින් වදාළහ - ආයුෂ්මත් මහාකාත්‍යායන මහතෙරණුවෝ: “නෙරුත්තමධිප්පායො” යී.

චතුඛ්‍යුහ හාරය යොදනලදී.