769. ප්‍රතිසංවිදා සතරෙකි: අර්ථප්‍රතිසංවිදාය, ධර්මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අර්ථයෙහි (ප්‍රභේදගත) ඥානය අර්ථ ප්‍රතිසංවිදාය, ධර්මයෙහි (ප්‍රභේදගත) ඥානය ධර්මප්‍රතිසංවිදාය, ඒ අර්ථයෙහි හා ධර්මයෙහි ස්වභාවනිරුක්ති සඞ්ඛ්‍යාතශබ්දයෙහි ප්‍රභේදගත ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සර්වත්‍රඥානයෙහි ප්‍රභේදගත ඥානය ප්‍රතිභානසංවිදා යි.
770. ප්‍රතිසංවිදා සතරෙකි: අර්ථප්‍රතිසංවිදාය, ධර්මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. දුඃඛයෙහි ප්‍රභේදගත ඥානය අර්ථප්‍රතිසංවිදා ය, දුඃඛසමුදයයෙහි ප්‍රභේදගත ඥානය ධර්මප්‍රතිසංවිදාය, දුඃඛනිරෝධයෙහි ප්‍රභේදගත ඥානය අර්ථප්‍රතිසංවිදාය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ප්‍රභේදගත ඥානය ධර්මප්‍රතිසංවිදාය, එහි ස්වභාවනිරුක්ති ශබ්දයෙහි ප්‍රභේදගත ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ඥානයෙහි ප්‍රභේදගත ඥානය ප්‍රතිභාන ප්‍රතිසංවිදා යි.
771. ප්‍රතිසංවිදා සතරෙකි: අර්ථප්‍රතිසංවිදාය, ධර්මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. හේතුයෙහි ප්‍රභේදගත ඥානය ධර්මප්‍රතිසංවිදාය, හේතුඵලයෙහි ප්‍රභේදගත ඥානය අර්ථප්‍රතිසංවිදා ය, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගත ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ඥානයෙහි ප්‍රභේදගත ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
772. ප්‍රතිසංවිදා සතරෙකි: අර්ථප්‍රතිසංවිදාය, ධර්මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. යම් ධර්ම කෙනෙක් හටගත්තාහු, උපන්නාහු, ප්‍රත්‍යයසමවායයෙන් හටගත්තාහු, නිපන්නාහු, වෙසෙසින් නිපන්නාහු, පහළ වූවාහු වෙත් ද, මේ ධර්මයන්හි ප්‍රභේදගතඥානය අර්ථප්‍රතිසංවිදා ය, යම් ධර්ම කෙනෙකුන් කෙරෙන් ඒ ධර්මයෝ හටගත්තාහු, උපන්නාහු, ප්‍රත්‍යයසමවායයෙන් හටගත්තාහු, නිපන්නාහු, වෙසෙසින් නිපන්නාහු, පහළ වූවාහු වෙත් ද, ඒ ධර්මයන්හි ප්‍රභේදගතඥානය ධර්මප්‍රතිසංවිදා ය, එහි ස්වභාවනිරුක්ති ශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ඥානයෙහි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
773. ප්‍රතිසංවිදා සතරෙකි: අර්ථප්‍රතිසංවිදාය, ධර්මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. ජරාමරණයෙහි ප්‍රභේදගතඥානය අර්ථප්‍රතිසංවිදා ය, ජරාමරණ සමුදයෙහි ප්‍රභේදගතඥානය ධර්මප්‍රතිසංවිදා ය, ජරාමරණනිරෝධයෙහි ප්‍රභේදගතඥානය අර්ථප්‍රතිසංවිදා ය, ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ප්‍රභේදගතඥානය ධර්මප්‍රතිසංවිදා ය. එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සියලු තැන්හි ඥානයෙහි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
774. ප්‍රතිසංවිදා සතරෙකි: අර්ථප්‍රතිසංවිදාය, ධර්මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. ජාතියෙහි ප්‍රභේදගතඥානය ... භවයෙහි ප්‍රභේදගතඥානය ... උපාදානයෙහි ප්‍රභේදගතඥානය ... තෘෂ්ණායෙහි ප්‍රභේදගතඥානය ... වේදනායෙහි ප්‍රභේදගතඥානය ... ස්පර්ශයෙහි ප්‍රභේදගතඥානය ... ෂඩායතනයෙහි ප්‍රභේදගතඥානය ... නාමරූපයෙහි ප්‍රභේදගතඥානය ... විඥානයෙහි ප්‍රභේදගතඥානය ... සංස්කාරයන්හි ප්‍රභේදගතඥානය අර්ථප්‍රතිසංවිදා ය, සංස්කාරසමුදයෙහි ප්‍රභේදගතඥානය ධර්මප්‍රතිසංවිදා ය, සංස්කාරනිරෝධයෙහි ප්‍රභේදගතඥානය අර්ථප්‍රතිසංවිදා ය, සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ප්‍රභේදගතඥානය ධර්මප්‍රතිසංවිදා ය, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සියලු තැන්හි ඥානයෙහි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
775. ප්‍රතිසංවිදා සතරෙකි: අර්ථප්‍රතිසංවිදාය, ධර්මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. එහි ‘ධර්මප්‍රතිසංවිදා’ කවර යත්: මෙසස්නෙහි මහණ සූත්ත ය, ගෙය්‍ය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූතධම්ම ය, වෙදල්ල ය යන ධර්මය දනී ද, මේ ‘ධර්මප්‍රතිසංවිදා’ යි කියනු ලැබේ. හෙතෙම ‘මේ ය මේ භාෂිතයාගේ අර්ථය, මේ ය මේ භාෂිතයාගේ අර්ථය’ යි ඒ ඒ භාෂිතයාගේ අර්ථය ම දනී ද, මේ ‘අර්ථප්‍රතිසංවිදා’යි කියනු ලැබේ. එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සියලු තැන්හි ඥානයෙහි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
සූත්‍රාන්තභාජනිය යි.
776. ප්‍රතිසංවිදා සතරෙකි: අර්ථප්‍රතිසංවිදාය, ධර්මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. කුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එ සමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ. මේ ධර්මයෝ කුශලයෝ යි. මේ ධර්මයන්හි ප්‍රභේදගතඥානය ධර්මප්‍රතිසංවිදා ය. ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්ථප්‍රතිසංවිදාය ය. යම් නිරුක්තියකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ‘මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශ කරන්නාහ’ යි යම් ඥානයෙකින් ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
777. ප්‍රතිසංවිදා සතරෙකි: අර්ථප්‍රතිසංවිදාය, ධර්මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. කුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත (කුශල චිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්ෂාසහහගත ඥානසම්ප්‍රයුක්ත ... උපේක්ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත (කුශල චිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්ෂා සහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්ෂා සහගත ඥානවිප්‍රයුක්ත (කුශල චිත්තය) සංස්කාර සහිතවැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂෙපය වේ. මේ ධර්මයෝ කුශලයෝ යි. මේ ධර්මයන්හි ප්‍රභේදගතඥානය ධර්මප්‍රතිසංවිදා ය, ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
778. ප්‍රතිසංවිදා සතරෙකි: අර්ථප්‍රතිසංවිදාය, ධර්මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. කුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවොත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... පඨවිකසිණප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂෙපය වේ. මේ ධර්මයෝ කුශලයෝ යි. මේ ධර්මයන්හි ප්‍රභේදගතඥානය ධර්මප්‍රතිසංවිදා ය, ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
779. ප්‍රතිසංවිදා සතරෙකි: අර්ථප්‍රතිසංවිදාය, ධර්මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. කුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක අරූපභවොත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනසංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂෙපය වේ. මේ ධර්මයෝ කුශලයෝ යි. මේ ධර්මයන්හි ප්‍රභේදගතඥානය ධර්මප්‍රතිසංවිදා ය. ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේ ද එහි ස්වභාවනිරුක්තියෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශකරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
780. ප්‍රතිසංවිදා සතරෙකි: අර්ථප්‍රතිසංවිදාය, ධර්මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. කුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකොත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපදා ඇති, දන්ධාභිඥා වූ, ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂෙපය වේ. මේ ධර්මයෝ කුශලයෝ යි. මේ ධර්මයන්හි ප්‍රභේදගතඥානය ධර්මප්‍රතිසංවිදා ය. ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
781. ප්‍රතිසංවිදා සතරෙකි: අර්ථප්‍රතිසංවිදාය, ධර්මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අකුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්මාලම්බන වේවයි යළි යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස්සහගත දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂෙපය වේ. මේ ධර්මයෝ අකුශලයෝ ය. මේ ධර්මයන්හි ප්‍රභේදගතඥානය ධර්මප්‍රතිසංවිදා ය. ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
782. ප්‍රතිසංවිදා සතරෙකි: අර්ථප්‍රතිසංවිදාය, ධර්මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අකුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත අකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද ... සොම්නස්සහගත දෘෂ්ටිගතවිප්‍රයුක්ත ... සොම්නස්සහගත දෘෂ්ටිගතවිප්‍රයුක්ත (අකුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්ෂාසහගත දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත ... උපේක්ෂාසහගත දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත සංස්කාර සහිත වැ ... උපේක්ෂාසහගත දෘෂ්ටිගතවිප්‍රයුක්ත ... උපේක්ෂාසහගත දෘෂ්ටිගතවිප්‍රයුක්ත සංස්කාර සහිත වැ ... දොම්නස් සහගත ප්‍රතිඝසම්ප්‍රයුක්ත ... දොම්නස්සහගත ප්‍රතිඝසම්ප්‍රයුක්ත සංස්කාර සහිත වැ ... උපේක්ෂාසහගත විචිකිත්සාසම්ප්‍රයුක්ත ... උපේක්ෂාසහගත ඖද්ධත්‍යසම්ප්‍රයුක්ත අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂෙපය වේ. මේ ධර්මයෝ අකුශලයෝ ය. මේ ධර්මයන්හි ප්‍රභේදගතඥානය ධර්මප්‍රතිසංවිදා ය, ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
783. ප්‍රතිසංවිදා තුනෙකි: අර්ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්මය කළ බැවින්, රැස් කළ බැවින් රූපාලම්බන වූ උපේක්ෂාසහගතවිපාකචක්ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චෙතනාව වෙයි, චිත්තය වෙයි, උපේක්ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්ද්‍රිය වෙයි, උපෙක්ෂෙන්ද්‍රිය වෙයි, ජීවිතෙන්ද්‍රිය වේ. එසමයෙහි ප්‍රතීත්‍යසමුප්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්ම කෙනෙක් හෝ වෙත් නම් මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්මයන්හි ප්‍රභේදගතඥානය අර්ථ ප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
784. ප්‍රතිසංවිදා තුනෙකි: අර්ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්මය කළ බැවින්, රැස් කළ බැවින් ශබ්දාලම්බන වූ උපේක්ෂාසහගතවිපාකශ්‍රොත්‍රවිඥානය උපදනේ වේ ද ... ගන්ධාලම්බන වූ උපේක්ෂාසහගතඝ්‍රාණවිඥානය උපදනේ වේ ද ... රසාලම්බන වූ උපේක්ෂාසහගතජිහ්වාවිඥානය උපදනේ වේ ද ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ සුඛසහගතකායවිඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි. වේදනාව වෙයි, සංඥාව වෙයි, චෙතනාව වෙයි, චිත්තය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්ද්‍රිය වෙයි, සුඛෙන්ද්‍රිය වෙයි, ජීවිතෙන්ද්‍රිය වේ. එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතිත්‍යසමුත්පන්න වූ අරූපීධර්ම කෙනෙක් වෙත් නම් මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්මයන්හි ප්‍රභේදගතඥානය අර්ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
785. ප්‍රතිසංවිදා තුනෙකි: අර්ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්මය කළ බැවින්, රැස් කළ බැවින් රූපාලම්බන වේව යි ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්ෂාසහගත වූ විපාකමනොධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්කය වෙයි, විචාරය වෙයි, උපේක්ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්ද්‍රිය වෙයි, උපෙක්ෂෙන්ද්‍රිය වෙයි, ජීවිතෙන්ද්‍රිය වේ. තව ද එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්ම කෙනෙක් වෙත් නම් මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්මයන්හි ප්‍රභේදගතඥානය අර්ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
786. ප්‍රතිසංවිදා තුනෙකි: අර්ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්මය කළ බැවින්, රැස් කළ බැවින් රූපාලම්බන වේවයි ... ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ විපාකමනොවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චෙතනාව වෙයි, චිත්තය වෙයි, විතර්කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්ද්‍රිය වෙයි, සොමනස්සින්ද්‍රිය වෙයි, ජීවිතෙන්ද්‍රිය වේ. තව ද, එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතිත්‍යසමුත්පන්න වූ අරූපීධර්ම කෙනෙක් වෙත් නම් මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්මයන්හි ප්‍රභේදගතඥානය අර්ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
787. ප්‍රතිසංවිදා තුනෙකි: අර්ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්මය කළ බැවින්, රැස් කළ බැවින් රූපාලම්බන වේවයි ... ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්ෂාසහගත වූ විපාකමනොවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චෙතනාව වෙයි, චිත්තය වෙයි, විතර්කය වෙයි, විචාරය වෙයි, උපේක්ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්ද්‍රිය වෙයි, උපෙක්ෂෙන්ද්‍රිය වෙයි, ජීවිතෙන්ද්‍රිය වේ. තව ද, එසමයෙහි ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද අරූපීධර්ම කෙනෙක් වෙත් නම් මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්මයන්හි ප්‍රභේදගතඥානය අර්ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම්, ඒ එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
788. ප්‍රතිසංවිදා තුනෙකි: අර්ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්මය කළ බැවින්, රැස්කළ බැවින් රූපාලම්බන වේවයි ... ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ විපාකමනොවිඥානධාතුව උපදනේ වේ ද, සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ (මනොවිඥානධාතුව) සංස්කාර සහිත වැ ... සොම්නස් සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ ... සොම්නස් සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ (මනොවිඥානධාතුව) සංස්කාර සහිත වැ ... උපේක්ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ ... උපේක්ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ (මනොවිඥානධාතුව) සංස්කාර සහිත ව ... උපේක්ෂාසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ ... උපේක්ෂාසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ මනොවිඥානධාතුව සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ. මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ යි. මේ ධර්මයන්හි ඥානය අර්ථප්‍රතිසංවාදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම්, එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
789. ප්‍රතිසංවිදා තුනෙකි: අර්ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවොත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම ... පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි. ... අවික්ෂෙපය වේ. මේ ධර්මයෝ කුශලයෝ යි. එම රූපාවචරකුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් කාමයන්ගෙන් වෙන්ව මැ ... විපාක වූ පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි. ... අවික්ෂෙපය වේ. මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්මයන්හි ඥානය අර්ථ ප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
790. ප්‍රතිසංවිදා තුනෙකි: අර්ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක අරූපභවොත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි. ... අවික්ෂෙපය වේ. මේ ධර්මයෝ කුශලයෝ යි. එම අරූපාවචර කුශලකර්මය කළ බැවින් රැස්කළ බැවින්, සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... විපාකචතුර්ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි. ... අවික්ෂෙපය වේ. මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්මයන්හි ඥානය අර්ථප්‍රතිසංවිදා ය. යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
791. ප්‍රතිසංවිදා තුනෙකි: අර්ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකොත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි. ... අවික්ෂෙපය වේ. මේ ධර්මයෝ කුශලයෝ ය. එම ලෝකොත්තර කුශලකර්මය කළ බැවින් වැඩූ බැවින්, කාමයන්ගෙන් වෙන් ව මැ ... දුඃඛප්‍රතිපත් ඇති, දන්ධාභිඥ වූ, ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි. ... අවික්ෂෙපය වේ. මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්මයන්හි ඥානය අර්ථප්‍රතිසංවිදා ය. යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
792. ප්‍රතිසංවිදා තුනෙකි: අර්ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක අකුශල කර්මය කළ බැවින්, රැස්කළ බැවින්, රූපාලම්බන වූ, උපේක්ෂාසහගත චක්ෂුර්විඥානය උපදනේ වේ ද ... ශබ්දාලම්බන වූ, උපේක්ෂාසහගත ශ්‍රෝතවිඥානය උපදනේ වේ ද ... ගන්ධාලම්බන වූ, උපේක්ෂාසහගත ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද ... රසාලම්බන වූ උපේක්ෂාසහගත ජිහ්වාවිඥානය උපදනේ වේ ද ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ, දුඃඛසහගත කායවිඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි. වේදනාව වෙයි, සංඥාව වෙයි, චෙතනාව වෙයි, චිත්තය වෙයි, දුඃඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්ද්‍රිය වෙයි, දුඃඛෙන්ද්‍රිය වෙයි, ජීවිතෙන්ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්ම කෙනෙක් ඇද්ද, මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්මයන්හි ඥානය අර්ථප්‍රතිසංවිදා ය. යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ධර්මනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
793. ප්‍රතිසංවිදා තුනෙකි: අර්ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්මයෝ, කවරහ යත්: යම් කලෙක අකුශලකර්මය කළ බැවින්, රැස්කළ බැවින්, රූපාලම්බන වේවයි ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි (යම් යම් අරමුණක් ඇරැබැ) උපේක්ෂාසහගත විපාක වූ මනොධාතුව උපදනේ වේ ද ... රූපාලම්බන වේවයි ... ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් ඇරැබැ උපේක්ෂාසහගත මනොවිඥාන ධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි. වේදනාව වෙයි, සංඥාව වෙයි, චෙතනාව වෙයි, චිත්තය වෙයි, විතර්කය වෙයි, විචාරය වෙයි, උපේක්ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්ද්‍රිය වෙයි, උපෙක්ෂෙන්ද්‍රිය වෙයි, ජීවිතෙන්ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්ම කෙනෙක් ඇද්ද, මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්මයන්හි ඥානය අර්ථප්‍රතිසංවිදා ය. යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ධර්මනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
794. ප්‍රතිසංවිදා තුනෙකි: අර්ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්මයෝ, කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි යම් යම් අරමුණක් හෝ ඇරැබැ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්මවිපාක වූ උපේක්ෂාසහගත ක්‍රියාමනොධාතුව උපදනේ වේ ද එසමයෙහි ස්පර්ශය වෙයි. වේදනාව වෙයි, සංඥාව වෙයි, චෙතනාව වෙයි, චිත්තය වෙයි, විතර්කය වෙයි, විචාරය වෙයි, උපේක්ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්ද්‍රිය වෙයි, උපෙක්ෂෙන්ද්‍රිය වෙයි, ජීවිතෙන්ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතිත්‍යසමුත්පන්න වූ අරූපීධර්ම කෙනෙක් ඇද්ද, මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්මයන්හි ඥානය අර්ථප්‍රතිසංවිදා ය. යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ධර්මනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය. යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
795. ප්‍රතිසංවිදා තුනෙකි: අර්ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්මාලම්බන වේවයි (යම් යම් අරමුණක් හෝ ඇරැබැ) නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්ම විපාක වූ සොම්නස් සහගත වූ ක්‍රියාමනොවිඥානධාතුව උපදනේ වේ ද, රූපාලම්බන වේවයි ... ධර්මාලම්බන වේවයි, යම් යම් අරමුණක් හෝ ඇරැබැ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්මවිපාක වූ උපේක්ෂාසහගත ක්‍රියාමනොවිඥානධාතුව උපදනේ වේ ද, එ සමයෙහි ස්පර්ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චෙතනාව වෙයි, චිත්තය වෙයි, විතර්කය වෙයි, විචාරය වෙයි, උපේක්ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්යෙන්ද්‍රිය වෙයි, සමාධීන්ද්‍රිය වෙයි, මනින්ද්‍රිය වෙයි, උපේක්ෂේන්ද්‍රිය වෙයි, ජීවිතේන්ද්‍රිය වෙයි. තවද, එ සමයෙහි අන්‍ය වූ ද, ප්‍රතිත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්ම කෙනෙක් ඇද්ද, මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්මයන්හි ඥානය අර්ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ධර්මනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයකින් ‘මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
796. ප්‍රතිසංවිදා තුනෙකි: අර්ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක නො ම කුසල් වූ, අකුසල් නො වූ, නො ද කර්මවිපාක වූ, සොමනස්ස සහගත ඥානසම්ප්‍රයුක්ත වූ ක්‍රියාමනොධාතුව උපදනේ වේ ද ... සොමනස්ස සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ සසංස්කාරවැ ... සොමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ ... සොමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ සසංස්කාරවැ ... උපේක්ෂා සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ ... උපේක්ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ සසංස්කාරවැ ... උපේක්ෂාසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ ... උපේක්ෂාසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ සසංස්කාරවැ ... නො ම කුසල් වූ නො ද කර්මවිපාක වූ දෘෂ්ටධර්මසුඛවිහාර වූ ක්‍රියා රූපාවචරධ්‍යානය වඩා ද ... නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්මවිපාක වූ දෘෂ්ටධර්මසුඛවිහාර වූ අරූපාවචරක්‍රියාධ්‍යානය වඩා ද ... සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් චතුර්ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂෙපය වේ. මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්මයන්හි ඥානය අර්ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ධර්මනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයකින් ‘මේ ඥානයෝ මේ අර්ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
797. ප්‍රතිසංවිදා සතරෙකි: අර්ථප්‍රතිසංවිදා ය, ධර්මප්‍රතිසංවිදා ය, නිරුක්තිප්‍රතිසංවිදා ය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. ප්‍රතිසංවිදාවෝ තිදෙනෙක් කාමාවචරකුශල විසින් සතර ඥානසම්ප්‍රයුක්තචිත්තොත්පාදයන්හි ද, ක්‍රියා විසින් සතර ඥානසම්ප්‍රයුක්තචිත්තොත්පාදයන්හි ද උපදිති. අර්ථප්‍රතිසංවිදාව මේ චිත්තොත්පාදයන්හි ද උපදියි. සතර මාර්ගයන්හි ද සතරඵලයන්හි ද උපදී.
අභිධර්මභාජනිය යි.
798. ප්‍රතිසංවිදා සතරෙකි: අර්ථප්‍රතිසංවිදා ය, ධර්මප්‍රතිසංවිදා ය, නිරුක්තිප්‍රතිසංවිදා ය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
799. සතර ප්‍රතිසංවිද්ධර්මයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
800. (සතර ප්‍රතිසංවිද්ධර්මයෝ) කුසල් ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහු ය.
(සතර ප්‍රතිසංවිද්ධර්මයෝ) සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ. අදුක්ඛමසුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය.
ප්‍රතිසංවිද්ධර්මයෝ තිදෙනෙක් විපාකස්වභාවධර්ම ද වන්නාහ. නෛවවිපාකනවිපාකස්වභාවධර්ම ද වන්නාහ. අර්ථප්‍රතිසංවිදාව විපාක ද වන්නේ ය, විපාකස්වභාවධර්ම ද වන්නේ ය, නෛවවිපාකනවිපාකස්වභාවධර්ම ද වන්නේ යි.
ප්‍රතිසංවිද්ධර්මයෝ තිදෙනෙක් අනුපාදින්නොපාදානිය වෙයි. අර්ථප්‍රතිසංවිදාව අනුපාදින්නොපාදානිය ද වන්නේ ය. අනුපාදින්නඅනුපාදානිය ද වන්නේ යි.
ප්‍රතිසංවිද්ධර්මයෝ තිදෙනෙක් අසංක්ලිෂ්ටඅසාංක්ලෙශිකයෝ ය. අර්ථප්‍රතිසංවිදාව අසංක්ලිෂ්ටසාංක්ලෙශිකද වන්නේ ය, අසංක්ලිෂ්ටඅසාංක්ලෙශිකද වන්නේ යි.
ප්‍රතිසංවිද්ධර්මයෝ තිදෙනෙක් සවිතර්කසවිචාරයෝ ය. අර්ථප්‍රතිසංවිදාව සවිතර්ක සවිචාර වන්නේ ය. අවිතර්කවිචාරමාත්‍ර ද වන්නේ ය. අවිතර්කඅවිචාර ද වන්නේ යි.
(සතර ප්‍රතිසංවිදාවෝ) ප්‍රීතිසහගත ද වන්නාහ. සුඛසහගත ද වන්නාහ. උපේක්ෂා සහගත ද වන්නාහු ය.
(සතර ප්‍රතිසංවිදාවෝ) නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.
(සතර ප්‍රතිසංවිදාවෝ) නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෝ යි.
තුන් ප්‍රතිසංවිදාවෝ ආචයගාමීහු ද වන්නාහ. නො ම ආචයගාමී නො ද අපචයගාමීහු ද වන්නාහ. අර්ථප්‍රතිසංවිදාව ආචයගාමී ද වන්නේ ය, අපචයගාමී ද වන්නේ ය, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නේ යි.
තුන් ප්‍රතිසංවිදාවෝ නො ම ශෛක්ෂ නො ද අශෛක්ෂ වෙති. අර්ථප්‍රතිසංවිදාව ශෛක්ෂ ද වන්නේ ය. අශෛක්ෂ ද වන්නේ ය, නො ම ශෛක්ෂ නො ද අශෛක්ෂ ද වන්නේ යි.
තුන් ප්‍රතිසංවිදාවෝ පරිත්තයෝ ය. අර්ථප්‍රතිසංවිදාව පරිත්ත ද වන්නේ ය. අප්‍රමාණ ද වන්නේ යි.
නිරුක්තිප්‍රතිසංවිදාව පරිත්තාලම්බන ය. තුන් ප්‍රතිසංවිදාවෝ පරිත්තාලම්බන ද වන්නාහ, මහද්ගතාලම්බන ද වන්නාහ, අප්‍රමාණාලම්බන ද වන්නාහු ය.
තුන් ප්‍රතිසංවිදාවෝ මධ්‍යමයෝ ය. අර්ථප්‍රතිසංවිදාව මධ්‍යම ද වන්නේ ය. ප්‍රණීත ද වන්නේ යි.
තුන් ප්‍රතිසංවිදාවෝ අනියතයෝ ය. අර්ථප්‍රතිසංවිදාව සම්‍යක්ත්වනියත ද වන්නේ ය. අනියත ද වන්නේ යි.
නිරුක්තිප්‍රතිසංවිදාව මාර්ගාලම්බන යි ද, මාර්ගහේතුකයි ද, මාර්ගාධිපතියි ද නො කිය යුතු ය. අර්ථප්‍රතිසංවිදාව මාර්ගාලම්බන නොවෙ යි. මාර්ගහේතුක ද වන්නේ ය. මාර්ගාධිපති ද වන්නේ ය. මාර්ගහේතුකයි ද, මාර්ගාධිපතියි ද නො කිය යුතු ද වන්නේ යි. ප්‍රතිසංවිදාවෝ දෙදෙනෙක් මාර්ගාලම්බන ද වන්නාහ, මාර්ගහේතුක නොවෙති, මාර්ගාධිපති ද වන්නාහ. මාර්ගාලම්බන යි ද, මාර්ගාධිපති යි ද නො කියයුතු ද වන්නාහු ය.
තුන් ප්‍රතිසංවිදාවෝ උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදීහ යි නො කියයුත්තාහ. අර්ථප්‍රතිසංවිදාව උත්පන්න ද වන්නේ ය, අනුත්පන්න ද වන්නේ ය, උත්පාදී ද වන්නේ යි.
(සතර ප්‍රතිසංවිද්හු) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
නිරුක්තිප්‍රතිසංවිදාව ප්‍රත්‍යුත්පන්නාලම්බන ය. ප්‍රතිසංවිදාවෝ දෙදෙනෙක් අතීතාලම්බන ද වන්නාහ, අනාගතාලම්බන ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නාහ. අර්ථප්‍රතිසංවිදාව අතීතාලම්බන ද වන්නේ ය, අනාගතාලම්බන ද වන්නේ ය, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නේ ය, අතීතාලම්බන යි ද අනාගතාලම්බන යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බන යි ද නො කිය යුතු ද වන්නේ යි.
(සතර ප්‍රතිසංවිද්හු) අධ්‍යාත්ම ද වන්නාහ, බාහ්‍ය ද වන්නාහ, අධ්‍යාත්මබාහ්‍ය ද වන්නාහු ය.
නිරුක්තිප්‍රතිසංවිදාව බාහ්‍යාලම්බන ය. තුන් ප්‍රතිසංවිද්හු අධ්‍යාත්මාලම්බන ද වන්නාහ, බාහ්‍යාලම්බන ද වන්නාහ, ආධ්‍යාත්මබාහ්‍යාලම්බන ද වන්නාහු ය.
(සතර ප්‍රතිසංවිද්හු) අනිදර්ශන අප්‍රතිඝයෝ යි.
801. සතර ප්‍රතිසංවිද්හු හේතුහු ය.
සතර ප්‍රතිසංවිද්හු සහේතුකයෝ ය.
සතර ප්‍රතිසංවිද්හු හේතුසම්ප්‍රයුක්තයෝ ය.
සතර ප්‍රතිසංවිද්හු හේතු ද වූ සහේතුකයෝ ද වෙති.
සතර ප්‍රතිසංවිද්හු හේතු ද වූ හේතුසම්ප්‍රයුක්තයෝ ද වෙති.
සතර ප්‍රතිසංවිද්හු හේතු නො වූ සහේතුකයහ යි ද, හේතු නො වූ අහේතුකයහ යි ද නො කිය යුත්තාහ.
802. (සතර ප්‍රතිසංවිද්හු) සප්‍රත්‍යයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) සඞ්ඛතයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) අනිදර්ශනයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) අප්‍රතිඝයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) අරූපයෝ ය.
තුන් ප්‍රතිසංවිද්හු ලෞකිකයෝ ය. අර්ථප්‍රතිසංවිදාව ලෞකික ද වන්නේ ය, ලෝකොත්තර ද වන්නේ යි.
(සතර ප්‍රතිසංවිද්හු) කිසිවිඥානයෙකින් දතයුත්තාහ. කිසිවිඥානයෙකින් නො දත යුත්තාහු ය.
803. (සතර ප්‍රතිසංවිද්හු) ආස්‍රව නො වෙති.
තුන් ප්‍රතිසංවිද්හු සාස්‍රවයෝ ය, අර්ථප්‍රතිසංවිදාව සාස්‍රව ද වන්නේ ය, අනාස්‍රව ද වන්නේ යි.
(සතර ප්‍රතිසංවිද්හු) ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.
තුන් ප්‍රතිසංවිද්හු ආස්‍රව ද වූ සාස්‍රවහ යි නො කියයුත්තාහ, සාස්‍රව ද වූවාහු නො ද ආස්‍රවයෝ වෙති. අර්ථප්‍රතිසංවිදාව ආස්‍රව ද වූ සාස්‍රව යි නො කියයුතුය. සාස්‍රව ද වූ නො ද ආස්‍රව වන්නේ ය. සාස්‍රව ද වූ නො ද ආස්‍රවයෙකැයි නො කියයුතු ද වන්නේ යි.
(සතර ප්‍රතිසංවිද්හු) ආස්‍රව ද වූවාහු ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
තුන් ප්‍රතිසංවිද්හු ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රවයෝ ය. අර්ථප්‍රතිසංවිදාව ආස්‍රවවිප්‍රයුක්ත සාස්‍රව ද වන්නේ ය. ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රව ද වන්නේ යි.
804. (සතර ප්‍රතිසංවිද්හු) සංයෝජන නො වෙති ... ග්‍රන්ථයෝ නො වෙති ... ඕඝයෝ නො වෙති ... යෝගයෝ නො වෙති ... නීවරණයෝ නො වෙති ... පරාමර්‍ශයෝ නො වෙති ...
805. (සතර ප්‍රතිසංවිද්හු) සාලම්බනයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තයෝ නො වෙති.
(සතර ප්‍රතිසංවිද්හු) චෛතසිකයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසම්ප්‍රයුක්තයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසංසෘෂ්ටයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසමුත්ථානයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසහභූහු ය.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තානුපරිවර්තීහ.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසංසෘෂ්ටසමුත්ථානයහ.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසමුත්ථානසහභූහ.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසංසෘෂ්ටසමුත්ථානානුපරිවර්තීහ.
(සතර ප්‍රතිසංවිද්හු) බාහිරයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) උපාදා නො වෙති.
(සතර ප්‍රතිසංවිද්හු) අනුපාදින්නයෝ යි.
806. (සතර ප්‍රතිසංවිද්හු) උපාදානයෝ නොවෙති ...
(සතර ප්‍රතිසංවිද්හු) ක්ලේශයෝ නො වෙති ...
(සතර ප්‍රතිසංවිද්හු) දර්ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
(සතර ප්‍රතිසංවිද්හු) භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
(සතර ප්‍රතිසංවිද්හු) දර්ශනයෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො වෙති.
(සතර ප්‍රතිසංවිද්හු) භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො වෙත්.
තුන් ප්‍රතිසංවිද්හු සවිතර්කයෝ ය. අර්ථප්‍රතිසංවිදාව සවිතර්ක ද වන්නේ ය, අවිතර්ක ද වන්නේ යි.
තුන් ප්‍රතිසංවිද්හු සවිචාරයෝ ය. අර්ථප්‍රතිසංවිදාව සවිචාර ද වන්නේ ය, අවිචාර ද වන්නේ යි.
(සතර ප්‍රතිසංවිද්හු) සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
(සතර ප්‍රතිසංවිද්හු) ප්‍රීතිසහගත ද වන්නාහ, නො ද ප්‍රීතිසහගත ද වන්නාහු ය.
(සතර ප්‍රතිසංවිද්හු) සුඛසහගත ද වන්නාහ, නො ද සුඛසහගත ද වන්නාහු ය.
(සතර ප්‍රතිසංවිද්හු) උපේක්ෂාසහගත ද වන්නාහ, නො ද උපේක්ෂාසහගත ද වන්නාහු ය.
තුන් ප්‍රතිසංවිද්හු කාමාවචරයෝ ය. අර්ථප්‍රතිසංවිදාව කාමාවචර ද වන්නේ ය. නො ද කාමාවචර ද වන්නේ යි.
(සතර ප්‍රතිසංවිද්හු) රූපාවචර නො වෙති.
(සතර ප්‍රතිසංවිද්හු) අරූපාවචර නො වෙති.
තුන් ප්‍රතිසංවිද්හු පර්‍ය්‍යාපන්නයෝ ය. අර්ථප්‍රතිසංවිදාව පර්‍ය්‍යාපන්න ද වන්නේ ය, අපර්‍ය්‍යාපන්න ද වන්නේ යි.
තුන් ප්‍රතිසංවිද්හු අනෛර්‍ය්‍යාණිකයෝ ය. අර්ථප්‍රතිසංවිදාව නෛර්‍ය්‍යාණික ද වන්නේ ය, අනෛර්‍ය්‍යාණික ද වන්නේ යි.
තුන් ප්‍රතිසංවිද්හු අනියතයෝ ය. අර්ථප්‍රතිසංවිදාව නියත ද වන්නේ ය, අනියත ද වන්නේ යි.
තුන් ප්‍රතිසංවිද්හු සඋත්තරයෝ ය. අර්ථප්‍රතිසංවිදාව සඋත්තර ද වන්නේ ය, අනුත්තර ද වන්නේ යි.
සතර ප්‍රතිසංවිද්හු අරණයෝ යි.
පඤ්හපුච්ඡක යි.
ප්‍රතිසංවිදාවිභඞ්ග නිමි.