ත්‍රිපිටකය » විනය පිටකය » පාරාජිකපාළිය » 2. පාරාජිකකාණ්ඩය » ප්‍රථමපාරාජිකය

මක්කටී වස්තුව

1. එසමයෙහි එක්තරා මහණෙක් විසල්පුර මහ වෙනෙහි වැඳිරියක ආහාරයෙන් පොළොඹවා ඇය හා මෙවුන්දම් සෙවෙ යි. ඉක්බිති ඒ මහණ තෙමේ පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ පිඬු සඳහා විසල් පුරයට පිවිසියේ ය.

2. එසමයෙහි බොහෝ භික්‍ෂුහු සේනාසනචාරිකාවෙහි හැසිරෙන්නෝ ඒ මහණහුගේ විහාරය වෙත පැමිණියාහු ය. ඒ වැඳිරි එන ඒ භික්‍ෂූන් දුර දී ම දුටුවා ය. දැක ඒ භික්‍ෂූන් වෙත පැමිණියා ය. පැමිණ ඒ භික්‍ෂූන් ඉදිරියෙහි කටිය ද සැලූ ය. නඟුට ද සැලූ ය. කටිය ද නැඟු ය. (මෙවුන් දමට ගැළපෙන සේ) නිමිත්ත ද කළා ය. ඉක්බිති ඒ භික්‍ෂූන්ට මේ සිත විය. “නිසැක ව ම ඒ මහණ මේ වැඳිරිය සමග මෙවුන්දම් සෙවෙයි යනුයි” ඔහු පසෙක සැඟවුනාහු ය. ඉක්බිති ඒ මහණ තෙමේ විසල්පුරයෙහි පිඬු පිණිස හැසිර පිඬු රැගෙණ ආපසු පැමිණියේ ය.

3. ඉක්බිති ඒ වැඳිරි ඒ මහණ වෙත එළඹියා ය. ඒ මහණ තෙමේ ඒ පිණ්ඩපාතය එක් කොටසක් වළඳා එක් කොටසක් ඒ වැඳිරියට දුන. ඒ වැඳිරි එය අනුභව කොට ඒ මහණහට කටිය නැඟූ ය. තෙල මහණ ඒ වැඳිරිය සමග මෙවුන්දම් සෙවෙයි.

4. එකල්හි ඒ භික්‍ෂුහු ඒ මහණහට මෙය කීහු: “ඇවත, භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපදයක් පණවන ලද්දේ නො වේ ද? ඇවත, තෝ කුමක්හෙයින් වැඳිරිය සමග මෙවුන්දම් සෙවෙහි ද?” “ඇවත, සැබව, භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපදයක් පණවන ලද්දේ වේ. හෙ ද මිනිස් මාගම් හා මෙවුන්දම ඇරබ ය. තිරිසන් මාගම් සමග මෙවුන්දම් අරැබ නො වේ” ය යි ඒ මහණ කී ය. “ඇවැත්නි, එයත් එසේ ම නො වේ ද? ඇවැත්නි, නුසුදුස්සෙක. අනුලොම් නුවූවෙක. නො ගැළපෙන්නක. මහණුන්ට අයෝග්‍යයෙක. නො කැපයෙක. නො කටයුත්තෙක. ඇවැත්නි, කෙසේ නම් තෝ මෙසේ මැනැවින් දේශනා කරණ ලද ශාසනයෙහි පැවිදි වී දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු කොට බඹසර හැසිරෙන්නට නො හැකි වූයෙහි ද? ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ලෙසින් විරාගය පිණිස ධර්‍මය දේශනා කරණ ලද්දේ නො වේ ද? සරාගය පිණිස නො දෙසන ලද්දේ නො වේ ද? ... කාම පරිදාහයන්ගේ සංසිඳීම වදාරණ ලද්දේ නො වේ ද? ඇවැත්නි, මෙය නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ පැහැදුනවුන්ගේ වැඩියක් පැහැදීම පිණිස හෝ නො වෙයි. ඇවැත්නි, තව ද මෙය නොපැහැදුනවුන්ගේ නොපැහැදීම පිණිස ද පැහැදුනා වූ ඇතැමුන්ගේ අන්‍යථාත්‍වය පිණිස ද වේ” යනු යි. ඉක්බිති ඒ භික්‍ෂුහු ඒ මහණහට නොයෙක් ලෙසින් ගරහා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාහු ය.

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා “සැබෑ ද මහණ, තෝ වැඳිරියක සමග මෙවුන්දම් සෙවෙහි දැ?” යි ඒ මහණ පුළුවුත් සේක. “සැබව, භාග්‍යවතුන් වහන්ස” යි එ මහණ කී ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගර්හා කළ සේක:

“හිස් පුරුෂය, නුසුදුස්සෙක. අනුලොම් නො වූවෙක. නො ගැළපෙන්නක. මහණුන්ට යෝග්‍ය නුවූවෙක. නො කැපයක. නො කටයුත්තෙක. හිස් පුරුෂය, කෙසේ නම් තෝ මෙසේ මැනවින් දෙසන ලද ශාසනයෙහි පැවිදි වී දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු කොට මගබඹසර හැසිරෙන්නට නො හැකි වූයෙහි ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් ලෙසින් විරාගය පිණිස ධර්‍මය දේශනා කරණ ලද්දේ නො වේ ද? සරාගය පිණිස දහම් නො දෙසන ලද්දේ නො වේ ද? ... කාමපරිදාහයන්ගේ සංසිඳීම කියන ලද්දේ නො වේ ද?

6. හිස් පුරුෂය, දරුණු විෂ ඇති ආශීවිෂයක්හුගේ මුඛයෙහි ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ නම් මැනැවි. වැඳිරියගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, කෘෂ්ණ සර්‍පයක්හුගේ මුඛයෙහි ස්වකීය අඞ්ගජාතය බහා ලන ලද්දේ මැනැවි. වැඳිරියගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, ඇවිලගත්, හාත්පසින් ඇවිලගත්, ගිනිදැල් සහිත වූ අඟුරුවළෙක ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ මැනැවි. වැඳිරියගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහා ලන ලද්දේ නො මැනැවි. ඒ කවර හෙයින? යත්: හිස් පුරුෂය, ඒ හේතුවෙන් මරණයට හෝ පැමිණෙන්නේ ය. මරණය වැනි දුකකට හෝ පැමිණෙන්නේ ය. ඒ හේතුවෙන් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුගති වූ විවස ව පතිත වන්නා වූ නිරයට නො පැමිණෙන්නේ ය. හිස් පුරුෂය, මේ හේතුවෙන් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවස ව පතිත වන නිරයට පැමිණෙන්නේ ය.

7. හිස් පුරුෂය, මෙහි තෝ මෙබඳු වූ සාවද්‍ය කර්‍මයෙහි, ගම්වැසියන්ගේ ස්වභාවයක් වූ, නීචජනයන්ගේ ස්වභාවයක් වූ, ලාමක පුරුෂයන්ගේ ස්වභාවයක් වූ, රාගාදි කෙලෙසින් දූෂිත වූ, දියකිස අවසන් කොට ඇත්තා වූ, රහසේ කටයුතු වූ, දෙදෙනෙකුන් දෙදෙනෙකුන්ගේ සමවැදීමක් වූ, යම් මෙවුන්දම් සෙවීමකට සමවන්නෙහි ද, හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස ද, පැහැදුනවුන්ගේ වැඩියක් පැහැදීම පිණිස ද නො වෙයි. හිස් පුරුෂය, වැලිදු මෙය නොපැහැදුනවුන්ගේ නොපැහැදීම පිණිස ද, පැහැදුනා වූ ඇතැමුන්ගේ අන්‍යථාත්‍වය පිණිස ද වෙයි”.

8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට නොයෙක් ලෙසින් ගරහා දුභර බව්හි ද, දුකසේ පෝෂණය කට හැකි බව්හි ද, මහත් ආශා ඇති බව්හි ද, ලද දෙයකින් සතුටු නො වීමෙහි ද, සමූහයා කෙරෙහි ඇලීමෙහි ද, කුසීත බව්හි ද අගුණ වදාරා, නොයෙක් කරුණින් සුභර බව්හි ද, සුවසේ පෝෂණය කටහැකි බව්හි ද, අපිස් බව්හි ද, සතොස් බව්හි ද, සැහැල්ලු බව්හි ද, සංලේඛයෙහි ද, ප්‍රසාද එළවීමෙහි ද, කෙලෙස් සංසිඳුවීමෙහි ද, විර්‍ය්‍යාරම්භයෙහි ද ගුණ වදාරා, භික්‍ෂූන්ට එතැනට සුදුසු වූ ද, එයට අනුලොම් වූ ද, දැහැමි කථාවක් කොට භික්‍ෂූන් ඇමතූ සේක:

9. “මහණෙනි, එසේ වී නම් සඞ්ඝයාගේ හිත සුව පිණිස, සඞ්ඝයාගේ පහසුව පිණිස, දුශ්ශීල පුද්ගලයන්ට නිග්‍රහය පිණිස, ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස, මෙලොව දී විය හැකි විපත් දුරු කිරීම පිණිස, පරලොව දී වන දුක් නැසීම පිණිස, නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස, පහන් වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස, සද්ධර්‍මයාගේ චිරස්ථිතිය පිණිස, විනයානුග්‍රහය පිණිස, භික්‍ෂූන්ට සිකපදයක් පණවන්නෙමි. මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:

“යම් මහණෙක් යටත් පිරිසෙයින් තිරිසන් ගිය මාගමක් හා ද මෙවුන්දම් සෙවියේ නම්, කෙලෙස් සතුරන් විසින් පරදවන ලද්දේ, සංඝයා හා සමාන සංවාස රහිතයෙක් වේ.”

භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මෙසේත් මේ ශික්‍ෂාපදය පණවන ලද්දේ වෙයි.

(දෙවැනි පැණවීමයි.)

මක්කටී වස්තුව නිමි.