ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » පෙටකොපදෙශ » 6. ෂෂ්ඨ භූමි

6. ෂෂ්ඨ භූමි

6–1. භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය තුන්පරිද්දෙකින් සංග්‍රහයට යෙයි: ස්කන්ධ–ධාතු ආයතනයන්හි යැ.

එහි පඤ්චස්කන්ධයෝ නම් : රූපස්කන්ධ යැ, විඥානස්කන්ධය දක්වා ඇති පස ද රූපායතනයෝ දසයෙකි. : ඇස ද රූපයෝ ද – කය ද ස්ප්‍රෂ්ටව්‍යයෝ ද යන මේ රූපස්කන්ධ යි.

එහි සවැදෑරුම් වෙදනාකාය වෙදනාස්කන්ධය යැ : චක්ඛු සම්ඵස්සජ වෙදනා යැ – මනොසම්ඵස්සජවෙදනාව දක්වා ඇති මේ සැවැදෑරුම් වෙදනා වෙදනාස්කන්ධ යි.

එහි, සැවැදෑරුම් සංඥාකාය සංඥාස්කන්ධ යැ, රූපසංඥාව (ආදිකොට) ධර්මසංඥා දක්වා ඇති මේ ෂට්සංඥාකාය සංඥාස්කන්ධ යි.

එහි සවැදෑරුම් චෙතනාකාය සංස්කාරස්කන්ධ යැ: රූප සඤ්චෙතනා (ආදි කොට) ධර්මසඤ්චෙතනා දක්වා මොහු සදෙන චෙතනාකාය යැ, මේ සංස්කාරස්කන්ධ යි.

එහි සවැදෑරුම් විඥානකාය විඥානස්කන්ධ යැ, චක්ඛුවිඤ්ඤාණය (ආදි කොට) මනො විඤ්ඤාණය දක්වා මොහු සදෙන විඥානකාය යැ. මේ විඥානස්කන්ධ යි.

ඒ පඤ්චස්කන්ධයන්ගේ, පරිඤ්ඤා කවර යැ: අනිත්‍ය යැ දුඃඛ යැ සංඥා යැ අනාත්ම යැ යන මොහු යි. මේ ස්කන්ධයන්ගේ තෙල අනිත්‍යාදි වශයෙන් දැනීම 'පරිඤ්ඤා' නම් වී.

එහි ස්කන්ධාර්ථය කවරෙ යත්: සමූහභාවය ස්කන්ධාර්ථ යැ පුඤ්ජභාවය ස්කන්ධාර්ථ යැ රාශිභාවය ස්කන්ධාර්ථ යැ. ඒ මෙසේ යැ: ද්‍රව්‍යස්කන්ධ යැ වනස්කන්ධ යැ දාරුස්කන්ධ යැ අග්නිස්කන්ධය යැ උදකස්කන්ධ යැ වායුස්කන්ධ යැ යනු මෙනි. මෙසේ ස්කන්ධයන්හි සියල්ල සංග්‍රහ වූ ස්කන්ධාර්ථය මෙසේ දතයුතු.

6–2. එහි අටළොස් ධාතු කෙනෙක් වෙති: චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු යැ ... මනොධාතු ධම්මධාතු මනොවිඤ්ඤාණධාතු යැ යන මොහු අටළොස් ධාතූහු යි. ඔවුන්ගේ අනිත්‍යාදි වශයෙන් දැනීම අනිත්‍ය යැ දුඃඛ යැ සංඥා යැ අනාත්ම යැ යන මොහු යි. මේ තෙල ධාතූන්ගේ පරිඤ්ඤා නම් වී.

එහි ධාතු අර්ථය කවරෙ යත්: කියනු ලැබේ. අවයවාර්ථය ධාතුඅර්ථ යි. අවයව නම්: චක්ෂුහුගේ ප්‍රසාදය වූ චක්ෂුර්ධාතු යැ. චක්ෂුරාදි පඤ්ඤධාතූන්හි (අවයව) මෙසෙයින් දතයුතු. යළි රාගයාගේ ව්‍යවච්ඡේදාර්ථය ධාතුඅර්ථ යි. එසේ මැයැ පිරිසිඳුනා ලද්දී චක්ඛුධාතු යැ, පඤ්චධාතූන්හි මැ එපරිදි වෙයි. යළි ... ප්‍රකෘති අර්ථයෙන් ධාතු අර්ථය කියනු ලැබේ. ඒ මෙසේ යැ: පියවින් මේ පුරුෂ පිත ප්‍රකෘති කොට ඇත්තේ යැ. සෙම්හික යැ වාතිය යැ සන්නිපාතික යැ යනු යි. මෙබඳු පියවි ඇතියේ චක්ඛුධාතු යැ. (චක්ඛු–රූපාදි) දසධාතුන්ගේ සියලු ඉන්දද්‍රියයන්හි ද ... විසභාගාර්ථය ධාතු අර්ථ යි."

6–3. එහි ද්වාදශ–ආයතනයෝ කවරහ: ආධ්‍යාත්මික ආයතන සයෙක, බාහිරායතන සයෙකි. චක්ෂුරායතනය (ආදිකොට) මනායතනය දක්වා ආධ්‍යාත්මික යැ. රූපායතනය (ආදි කොට) ධර්මායතනය දක්වා බාහිර යි. තුලුහු ද්වාදශා ආයතනයෝ යි.

මොවුන්ගේ පරිඥා කවර යැ: අනිත්‍ය යැ දුඃඛ යැ සංඥා යැ අනාත්ම යි. මෝ තුලුන්ගේ පරිඥා යි. තවද ඤාතපරිඤ්ඤා ද පහානපරිඤ්ඤා දැයි පරිඥා ද්විවිධ යැ: එහි ඤාත පරිඤ්ඤා නම් : අනිත්‍ය යැ දුඃඛ යැ සංඥා යැ අනාත්ම යි. මෝ ඥාත පරිඥා යි. පහාන පරිඤ්ඤා වැලිත් ඡන්දරාගප්‍රහාණ යැ. මෝ ප්‍රහාණපරිඥා යි.

එහි ආයතනාර්ථය කවරෙ යත්: කියනු ලැබෙයි. ආකරාර්ථය (උත්පත්තිස්ථාන භාවය) ආයතනාර්ථ යැ, සුවර්ණාකර රත්නාකර යම්සේ ද එමෙනි" යම්සේ ඒ දෙවැදෑරුම් ආකාරයන්ගෙන් ඒ ඒ වස්තු (?) උපදිත් ද එපරිද්දෙන් මේ ආයතනයන්ගෙන් චිත්ත වෙතසික දහම්හු ද කර්මක්ලෙශයෝ ද දුඃඛධර්මයෝ ද උපදිත්.

යළි කියයි, ආයදානාර්ථය ආයතනාර්ථ යැ. යම්සේ රජුට අය දීමෙන් (රාජ්‍යයෙහි) අය උපදී ද එපරිද්දෙන් ආයදානාර්ථය ආයතනාර්ථ යි.

6–4. ආර්‍ය්‍යසත්‍ය සතරෙකි : දුඃඛ යැ සමුදය යැ නිරොධ යැ මාර්ගය දැයි කියා යි. ඒ මෙසේ යැ: සැකෙවින් ස්කන්ධශරීරය ද දුඃඛසත්‍ය යැ, සැකෙවින් අවිද්‍යාව ද තෘෂ්ණාව ද සමුදයසත්‍ය යැ, සැකෙවින් විද්‍යා ද විමුක්ති ද නිරොධසත්‍ය යැ, සැකෙවින් ශමථය ද විදර්ශනා ද මාර්ගසත්‍යය යි.

6–5. එහි සත්තිස් බොධිපාක්ෂික ධර්මයෝ කවරහ යත්: සතර සතිපට්ඨාන (ආදි කොට) ආර්‍ය්‍යඅෂ්ටාංගිකමාර්ගය දක්වා ඇති තෙල දහම්හු සත්තිස් බෝපැකිදහම්හු යි. යම් දහම් කෙනෙක් අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ භාග්‍යවත් බුදුවරයන්ගේ ද පසේබුදුවරයන්ගේ ද ශ්‍රාවකයන්ගේ ද නිර්වාණය පිණිස පවත්නාහු ද ඔහු යි. ඒ මාර්ගය සතර සතිපට්ඨානයෝ යැ, කවර සතරදෙනෙක යත්: "මෙසස්නෙහි මහණ (ආශ්වාසප්‍රශ්වාසාදි) කයෙහි කය අනුව බලමින් වාස කෙරෙයි ... සතර සම්‍යක් ප්‍රධාන යැ, සතර ඍද්ධිපාද යැ, පඤ්චෙන්ද්‍රියයෝ යැ, පඤ්චබලයෝ යැ" (යනාදිය). එහි ඉන්ද්‍රියාර්ථ කවරෙ යැ: ඉන්ද්‍රියාර්ථය ඉන්ද්‍රියාර්ථ යැ, අධිපතිභාවාර්ථය ඉන්ද්‍රියාර්ථ යැ, ප්‍රසාදාර්ථය ඉන්ද්‍රියාර්ථ යැ (අසාධාරණං ...) ස්ථාම – ශක්ති අර්ථය බලාර්ථ යැ, උපාදායාර්ථය බලාර්ථ යැ, උපස්තම්භාර්ථය බලාර්ථ යි.

එහි සප්තබොධ්‍යංගයෝ කවරහ: සති සම්බොධ්‍යඞ්ගය (පටන්) උපෙක්ඛාසම් බොධ්‍යඞ්ගය දක්වා ඇත්තාහු යි. එහි අෂ්ටාඞ්ගික මාර්ගය කවරෙ යැ: සම්මාදිට්ඨිය, (පටන්) සම්මාසමාධිය දක්වා ඇත්තාහු යි.

එහි අෂ්ඨඞ්ගිකමග්ග යනු: ශිලස්කන්ධය ද සමාධිස්කන්ධය ද ප්‍රඥාස්කන්ධය ද යන ස්කන්ධ යි. එහි යම් සම්‍යග්වචනයෙක් යම් සම්‍යක්කර්මාන්තයෙක් යම් සම්‍යගාජීවයෙක් ඇද්ද මේ ශීලස්කන්ධ යැ, යම් සම්‍යග්ස්මෘතියක් යම් සම්‍යග්ව්‍යායාමයෙක් යම් සම්‍යක්සමාධියෙක් ඇද්ද මේ සමාධිස්කන්ධ යැ, යම් සම්‍යක්සංකල්පයෙක් යම් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද මේ ප්‍රඥාස්කන්ධ යි. මෙසේ ස්කන්ධය ත්‍රිවිධ ශික්ෂා වෙති. මෙසේ තුන් අයුරෙන් දසපද කෙනෙක් වෙති ...

6–6. එහි, යොගාවචර ශීලස්කන්ධයෙහි සිටියේ ද්වෙෂ අකුශලය නූපදවයි. ද්වෙෂානුශය සමුද්ඝාතනය කෙරෙයි. ද්වෙෂශල්‍යය උදුරයි, දුඃඛවෙදනාව පරිඥානය කෙරෙයි, කාමධාතුව ඉක්මවයි.

සමාධිස්කන්ධයෙහි සිටියේ ලොභ අකුශලය නූපදවයි, රාගානුශය සමූහනය කෙරෙයි. ලොභශල්‍යය උදුරයි. සුඛවෙදනාව දැනගනී, රූපධාතුව ඉක්මවයි.

ප්‍රඥාස්කන්ධයෙහි සිටියේ මොහ අකුශලය නූපදවයි, අවිද්‍යානුශය සමූහනය කෙරෙයි, මොහශල්‍යය ද දෘෂ්ටිශල්‍යය ද උදුරයි, අදුක්ඛමසුඛවෙදනාව පරිජානනය කෙරෙයි, අරූපධාතුව ඉක්මවයි.

මෙසේ ත්‍රිවිධ ස්කන්ධයෙන් තුන් අකුශලමූලයන් උපාදානය නො කෙරෙයි, චතුර්විධ ශල්‍යයන් උදුරයි, තුන් වෙදනා පරිජානනය කෙරෙයි, ත්‍රෛධාතුක භවය ඉක්මවයි.

6–7. එහි අවිද්‍යා කවර යත්: චතුරාර්‍ය්‍යසත්‍යය විෂයෙහි යම් නොදැනීමක් ඇද්ද යනාදිය විස්තරයෙන් දැක්වියයුතු. (යථාසො ?) ...

එහි විඤාණ කවරෙ යැ: සවැදෑරුම් කායයෝ යැ, වේදනා සඤ්ඤා චෙතනා ඵස්ස මනසිකාර යන මේ නාම යැ, එහි රූප කවරෙ යැ : සතර මහාභූතරූප යැ, සතර මහභූතයන් නිසා පවත්නා රූපයාගේ ප්‍රඥප්ති යැ යන පළමු කී නාමය ද මේ රූපය දැ යි එදෙක 'නාමරූප' යයි කියනු ලැබේ.

එහි ෂඩායතනය යනු: ෂඩ් ආධ්‍යාත්මික ආයතනයෝ යැ, ඇස ආධ්‍යාත්මික ආයතනයෙකැ, (ආදි කොට) මනආධ්‍යාත්මික ආයතනය දක්වා යි.

ඵස්ස යනු : චක්ඛුසම්ඵස්ස පටන් මනොසම්ඵස්ස දක්වා සැවැදෑරුම් ඵස්සකාය 'ඵස්ස' නම් වේ.

වෙදනා යනු : ෂඩ්වෙදනාකායයෝ යැ, මේ වෙදනා යි.

තණ්හා යනු : ෂට්තෘෂ්ණාකායයෝ යැ, මේ තෘෂ්ණා යි.

උපාදාන යනු : කාමූපාදාන යැ දිට්ඨි–උපාදාන යැ සීලබ්බතූපාදාන යැ අත්තවාද–උපාදාන යැ යන සතර උපාදානයෝ යැ. මේ උපාදාන යි.

භව යනු : කාමභාව යැ රූපභව යැ අරූපභව යැ යන තුන් භවයෝ යි.

එහි ජාති කවරැ : ස්කන්ධයන්ගේ ධාතූන්ගේ ආයතනයනගේ යම් පළමු උපතක් ඉපදීමක් මොනොවට ඉපදීමක් අවක්‍රාන්තියක් වෙසෙසින් ඉපදීමෙක් ස්කන්ධයන්ගේ පහළවීමෙක් ඇද්ද මේ ජාති නමු.

එහි ජරා කවරැ : ජරානම්, යම් ඒ (දත් ආදිය) කැඩුණු බවෙක් පැසුණු බවෙක් සම රැලිවැටුණු බවක් සතර මහාභූතයන්ගේ විවර්ණබවෙක් බිඳිමෙක් යම් දිරීමෙක් හීමෙක් පිරිහීමෙක් ආයුෂයාගේ හීමෙක් පිරිහීමෙක් ඉන්ද්‍රියයන්ගේ මිහිකිරීමෙක් උපනාහායෙක් පරිපාකයෙක් වේ ද මේ ජරා නමු.

එහි මරණ කවරෙ යත් : මරණය නම්, ඒ ඒ සත්ව නිකායෙහි ඒ ඒ සත්වයන්ගේ ච්‍යු‍ත වීමක් ච්‍යු‍ත වන බවක් මරණයක් කාලක්‍රියාවක් ස්කන්ධයන්ගේ බිඳීමෙක් රූපකය බහාතැබීමෙක් ජීවිතෙන්ද්‍රියයාගේ සිඳීමෙක් වේ ද මේ මරණ යැ. මෙසේ පළමු කී ජරාව ද මේ මරණය ද යන දෙක ජරාමරණ නම් වේ.

6–8. එහි ගනඅඳුරක් බදු අවිද්‍යාව යථාභූත ව නො දැනීම ලක්ෂණ කොට ඇත්තී ය, සංස්කාරයන්ට ආසන්නකාරණ වෙයි. සංස්කාරයෝ කර්මායූහන සංඛ්‍යාත අභිසංස්කරණය ලක්ෂණ කොට ඇත්තාහු ය. උපචය (ඉපදීම්) සංඛ්‍යාත පුනර්භවය හටගැනීම වැටහීම කොට ඇත්තාහුය. ඔහු කර්මවිඥානයට පදට්ඨාන යි. විඥානය රූපාදි වස්තූහුගේ විඥප්ති සහිතබව ලක්ෂණ කොට ඇත්තේ ය, එය නාමරූපයට පදට්ඨාන යි. නාමරූපය වෙදනාදි නොයෙක් ධර්මයන්ගේ සන්නිශ්‍රය ලක්ෂණ කොට ඇත්තේ ය, එය ෂඩායතනයට පදට්ඨාන යි. ෂඩායතනය චක්ෂුරාදි ඉන්ද්‍රියයන් නිශ්චය කිරීම ලක්ෂණ කොට ඇත්තේ ය. එය ස්පර්ශයට පදට්ඨාන යි. ඵස්සය චක්ඛු–රූපාදීන්ගේ එක්වීම ලක්ෂණ කොට ඇත්තේ යැ, ඒ ඵස්සය වෙදනාවට පදට්ඨාන යි. වෙදනාව චක්ඛුසම්ඵස්සාදිය විඳීම ලක්ෂණ කොට ඇත්තී යැ, ඒ වෙදනාව තණ්හාවට පදට්ඨාන යි. තෘෂ්ණාව රූපාදි අරමුණෙහි බැසැගෙන සිටීම ලක්ෂණ කොට ඇත්තී යැ, ඒ තණ්හාව උපාදානයට පදට්ඨාන යි. උපාදානය දැඩි ව ගැනීම ලක්ෂණ කොට ඇත්තේ යැ, එය භවයට පදට්ඨාන යි. භවය නානාගතියෙහි පමුණුවාලීම ලක්ෂණ කොට ඇත්තේ යැ, හේ ජාතියට පදට්ඨාන යි. ජාතිය ස්කන්ධයන්ගේ පහළවීම ලක්ෂණ කොට ඇත්තී යැ, මේ ජරාවට පදට්ඨාන යි. ජරාව (ඉන්ද්‍රියපරිපාකයට) පැමිණීම ලක්ෂණ කොට ඇත්තී යැ, ඕ මරණයට පදට්ඨාන යි. මරණය ආයු ගෙවීමෙන් ජිවිතෙන්ද්‍රිය සිඳීම ලක්ෂණ කොට ඇත්තේ යැ, එය දුකට පදට්ඨාන යි. දුක කය පෙළීම ලක්ෂණ කොට ඇත්තේ යැ, එය දොම්නසට පදට්ඨාන යි. දොම්නස සිත පෙළීම ලක්ෂණ කොට ඇත්තේ යැ, එය ශොකයට පදට්ඨාන යි. ශොකය ශොක කිරීම ලක්ෂණ කොට ඇත්තේ යැ, හේ පරිදෙව (වැලැපීමට) පදට්ඨාන යි. පරිදෙවය වචන නිකුත්කිරීම ලක්ෂණ කොට ඇත්තේ යැ, ඒ පරිදේවය උපායාසයට පදට්ඨාන යි. යම් ආයාස කෙනෙක් වෙත් ද ඔහු උපායාසයෝ යි.

6–9. නව පද කෙනෙක් වෙති, යම් තැනෙක සියලු අකුශලපක්ෂය සංග්‍රහයට එක්වීමට යේ ද ඒ කවර නව පදකෙනෙක් යත් : මූලක්ලේශයෝ දෙදෙනෙක, අකුශලමූලයෝ තිදෙනෙක, විපල්ලාසයෝ සතර දෙනෙකි.

එහි අවිද්‍යාව ද භවතෘෂ්ණාව ද යන දෙදෙන මූලක්ලේශයෝ යැ. ලොභය ද්වෙෂය මොහය ද යන තිදෙන අකුශල මූලයෝ යැ. අනිත්‍යයෙහි නිත්‍යයැ යන සංඥාවිපර්‍ය්‍යාස චිත්තවිපර්‍ය්‍යාස දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ද දුඃඛයෙහි සුඛ යැ යන සංඥා–චිත්ත–දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ද අනාත්මයෙහි ආත්ම යැ යන සංඥා–චිත්ත–දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ද අශුභයෙහි ශුභ යැ යන සඤ්ඤා විපල්ලාස චිත්තවිපල්ලාස දිට්ඨවිපල්ලාසය ද යන මොහු සතර විපල්ලාසයෝ යි.

6–10. එහි අවිද්‍යා නම් : චතුරාර්‍ය්‍යසත්‍යයෙහි යථාභූත වැ නො දැනීම යැ. මෝ අවිද්‍යා යි. භවතෘෂ්ණා නම් : භවයන්හි යම් රාගයෙක් දැඩි වූ රාගයෙක් ඊප්සාවක් මුසපත්වීමෙක් ප්‍රාර්ථනාවක් ඇලීමෙක් බැසැගෙන සිටීමෙක් නො හැරීමෙක් වේ ද මේ භවතෘෂ්ණා යි.

එහි ලොභඅකුශලමූලය කවරැ : ලොභ නම් : ඒ ඒ පර (මෙරමා අයත්) වස්තූන්හි පරද්‍රව්‍යයන්හි පරස්ථානයන්හි පරසම්පත්ති මෙරමා අයත්වූයෙහි යම් ලොභයෙක් ලොභාකාරයෙක් ඉච්ඡායෙක් මූර්ඡායෙක් ප්‍රාර්ථනායෙක් නන්දියෙක් බැසැගෙන සිටීමෙක් නො හැරීමෙක් වේ ද, මේ ලොභඅකුශලමූල යැ, තෙල කවරක්හුගේ මූලයැ යත් : කාය කර්ම වාක්කර්ම මනඃකර්ම වූ ලොභයෙන් උපන් අකුශලයාගේ ද සම්ප්‍රයුක්ත වූ චිත්ත චෛතසිකධර්මයන්ගේ ද මූල යි.

එහි ද්වෙෂ අකුශලමූලය කවරැ : සත්ත්වයන් කෙරෙහි යම් ආඝාතයෙක් නොඉවසීමෙක් නොසතුටෙක් ව්‍යාපාදයෙක් ප්‍රදොෂයෙක් අනර්ථ කැමැතිබවෙක් චිත්තයාගේ ප්‍රතිඝාතයෙක් වේ ද මේ ද්වෙෂඅකුශල මූල යැ. තෙල කවරක්හුගේ මූල යැ යත්: කායකර්ම වාක්කර්ම මනඃකර්ම වූ ද්වෙෂයෙන් උපන් අකුශලයාගේ ද සම්ප්‍රයුක්ත වූ චිත්තචෛත ධර්මයන්ගේ ද මූල යි.

එහි මොහඅකුශලමූලය කවරැ : චතුරාර්‍ය්‍යසත්‍යයෙහි යම් නොදැනිමෙක් නොදැන්මෙක් අනවබොධයෙක් නො විමසා ගැනීමෙක් අප්‍රතිවෙධයෙක් මොහයෙක් මුළාවන අයුරෙක් සම්මොහයෙක් සම්මොහාකාරයෙක් අවිද්‍යාවක් තමසෙක් අන්ධකාරයෙක් ආවරණයෙක් නීවරණයෙක් වැසීමෙක් හාත්පසින් වැසීමෙක් කුශලධර්මයන් බැහැර කොට යෑමෙක් වේ ද මේ මොහ අකුශලමූල යැ. තෙල කවරක්හුගේ මූල යැ යත්: කායකර්ම වාක්කර්ම මනඃකර්ම වූ මොහයෙන් උපන් අකුශලයාගේ ද තත්සම්ප්‍රයුක්ත වූ චිත්තචෛතසික ධර්මයන්ගේ ද මූල යි.

6–11. එහි විපර්‍ය්‍යාසයෝ දතයුත්තාහ, විපර්‍ය්‍යාසයන්ගේ වස්තු දතයුතු යැ, යමක් විපර්‍ය්‍යාස වන්නේ ද එය දතයුතු යි.

එහි එක් විපර්‍ය්‍යාසයෙක් වෙයි, තුන් විපර්‍ය්‍යාස කෙනෙක් ද වෙති, විපර්‍ය්‍යාස වස්තු සතරක් වෙත්.

එක විපර්‍ය්‍යාසය කවරෙ යත්: ප්‍රතිපක්ෂ වූ යමක් හේතු කොටගෙන අනිත්‍යයෙහි නිත්‍ය යැ දුකෙහි සුව යැ අනාත්මයෙහි ආත්ම යැ අශුභයෙහි ශුභ යැ යි විපර්‍ය්‍යස්ත ව ගනී ද මේ එක විපල්ලාස යැ.

සතර විපර්‍ය්‍යාසවස්තු කවරහ : කාය වෙදනා චිත්ත ධම්ම යන මේ සතර විපල්ලාස වස්තූහු වෙත්.

තුන් විපර්‍ය්‍යාසයෝ කවරහ : සඤ්ඤා චිත්ත දිට්ඨි ද යන මොහු තුන් විපර්‍ය්‍යාසයෝ යි.

එහි මනවඩන වස්තුයෙහි ඉන්ද්‍රියාර්ථයෙහි පැහැසටහනෙහි හෝ නිමිත්ත පිළිබඳව යම් දැඩිව ගැනීමෙක් වේ ද මේ සංඥාවිපර්‍ය්‍යාස යැ. එහි විපර්‍ය්‍යස්ත සිත් ඇත්තහුගේ වස්තු ඇති කල්හි යම් විඥප්තියක් වේ ද මේ චිත්තවිපර්‍ය්‍යාස යැ, එහි විපරිත සිත් ඇත්තහු ගේ ඒ රූපයෙහි ලා අශුභයෙහි ශුභ යැයි යම් ඉවසීමෙක් රුචියක් උපෙක්ෂණයක් නිශ්චයෙක් දෘෂ්ටියක් නිදර්ශනයෙක් සන්තීරණයෙක් වේ ද මේ දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි.

එහි වස්තුභෙදයෙන් කයෙහි දොළොස් විපර්‍ය්‍යාස කෙනෙක් වෙති: කයෙහි තුනෙක, වෙදනායෙහි තුනෙක, චිත්තයෙහි තුනෙක ධර්මයෙහි තුනෙකි. සංඥාවිපර්‍ය්‍යාසයෝ සතරදෙනෙක, චිත්තවිපර්‍ය්‍යාසයෝ සතරදෙනෙක, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ සතරදෙනෙකි. ආයතනයන්ගේ උපචය වශයෙන් චක්ෂුර්විඥානසංඥායෙන් යුක්ත වූවහුට රූපවිෂයෙහි දොළොස් විපර්‍ය්‍යාස කෙනෙක් වෙති. (යාව) මනොවිඥානසංඥාසමඬ්ගීහට ධර්මවිෂයෙහි දොළොස් විපර්‍ය්‍යාස කෙනෙක් වෙති. ෂඩ් ද්වාදශකයෝ සතර විපර්‍ය්‍යාසයෝ වෙත්. ආලම්බන නානාත්වයෙන් වැලිත් අපරිමිත සංඛ්‍යා ඇති සත්ත්වයන්ගේ හීනොත්කෘෂ්ට මධ්‍යමතායෙන් අපරිමිත සංඛ්‍යා ඇති විපර්‍ය්‍යාසයෝ වෙත්.

6–12. එහි පඤ්චස්කන්ධයෝ සතර ආත්මභාවවස්තු වෙති: යම් රූපස්කන්ධයෙක් වේ ද හේ කාය සංඛ්‍යාත ආත්මභාව වස්තු යැ, වෙදනාස්කන්ධය වෙදනා සංඛ්‍යාත ආත්ම භාවස්තු යැ, සංඥාස්කන්ධය ද සංස්කාරස්කන්ධය ද යන මොහු ධම්ම සංඛ්‍යාත ආත්ම භාවවස්තු යැ, විඥානස්කන්ධය චිත්ත සංඛ්‍යාත ආත්මභාව වස්තු යි. මෙසේ පඤ්ච ස්කන්ධයෝ සතර ආත්මභාව වස්තු වෙත්. ඔවුන් කෙරෙහි කායවස්තුයෙහි අශුභයෙහි ශුභ යැ' යන විපර්‍ය්‍යාසය වෙයි. මෙ පරිදි වෙදනා – චිත්ත – ධර්මවස්තූන්හි ද ආත්ම විපර්‍ය්‍යාසය වේ.

එහි සතර විපර්‍ය්‍යාස වස්තූන්ගේ සමුද්ඝාතනය පිණිස බුදුහු සතර සත්පට්ඨානයන් දෙසන සේක, පනවන සේක. කයෙහි කය අනුව බලමින් වාසයකරනුයේ අශුභයෙහි ශුභ යැ යන විපර්‍ය්‍යාසය නසයි. මෙසේ වෙදනා චිත්ත–ධර්මයන්හි දු විස්තර කළ යුතු යි.

6–13 එහි අන්ධකාරතමිස්‍ර වූ අවිද්‍යාව අප්‍රතිවෙධය ලක්ෂණ කොට ඇත්තී යැ. ඒ අවිද්‍යාවට විපර්‍ය්‍යාසයෝ ආසන්නකාරණය යැ. තෘෂ්ණාව බැසගෙන (ගිලගෙන) සිටීම ලක්ෂණ යැ ප්‍රියස්වභාව මධුරස්වභාව ඊට පදට්ඨාන යි. ලෝභය ආත්මාසය වඤ්චා කිරීම ලක්ෂණ යැ ඊට අදත්තාදානය පදට්ඨාන යි. ද්වෙෂය මෙහි විවාද කිරීම ලක්ෂණ යැ. ඊට ප්‍රාණවධය පදට්ඨාන යි. වස්තූන්ගේ වරදවාගැනීම ලක්ෂණ කොට ඇත්තේ යැ මොහය, ඊට මිථ්‍යාප්‍රතිපත්තිය පදට්ඨාන යි. නිත්‍යසංඥාව සංඛතධර්මයන්ගේ අවිනාශග්‍රහණය ලක්ෂණ යැ, ඊට සියලු සංස්කාරයෝ පදට්ඨාන යි. සුඛසංඥාව සාස්‍රව ස්පර්ශයන් දැඩිව ගැනීම ලක්ෂණය යැ, ඊට මමංකාරය පදට්ඨාන යි. ආත්මසංඥාව ධර්ම විෂයෙහි දැඩිව ගැනීම ලක්ෂණ යැ, ඊට අහංකාරය පදට්ඨාන යි. ශුභසංඥාව පැහැසටහන මොනවට ගැනීම ලක්ෂණ යැ, ඊට ඉන්ද්‍රියාසංවරය පදට්ඨාන යි. උද්දෙස කළ තෙල නවපදයන්ගෙන් සියලු අකුශල පක්ෂය නිර්දෙශ කරන ලද්දේ වෙයි. හෙද වනාහි බහුශ්‍රැත පුඟුලක්හු විසින් දැනගන්නට හැකි වෙයි. අල්පශ්‍රැතතයක්හු විසින් නො දත හැකි වෙයි. ප්‍රාඥයකු විසින් දත හැක්ක, දුෂ්ප්‍රාඥයකු විසින් නො දතහැක්ක. (යොගයෙහි) යෙදුණක්හු විසින් දතහැක්ක, නො යෙදුණහු විසින් නො දතහැකි වේ.

6–14. සියලු කුශලපක්ෂය සංග්‍රහයට එක්වීමට යන කුශල නවපද කෙනෙක් වෙති. කවර නවපද කෙනෙක යත් : සමථ විපස්සනා අලොභ අදොස අමොහ අනිච්චාසඤ්ඤා දුක්ඛසඤ්ඤා අනත්තසඤ්ඤා, අසුභසඤ්ඤා ද යන මොහු යි.

එහි සමථ කවරෙ යත් : චිත්තයාගේ යම් (අරමුණෙහි) සිටීමෙන් මොනොවට සිටීමෙක් බැසැගෙන සිටීමෙන් නැවැත්මෙක් පිහිටා සිටීමෙක් එළැඹ සිටීමෙක් සමාධියෙක් සමොධානයෙක් අවික්ෂෙපයෙක් අවිප්‍රතිසාරයෙක් සිතෙහි සන්හිඳීමෙක් සිතෙහි එකඟ බවෙක් වේ ද මේ සමථ යි.

එහි විපස්සනා කවර යත් : ස්කන්ධයන්හි හෝ ධාතූන්හි ආයතනයන්හි – නාමරූපයෙහි – පටිච්චසමුප්පාදයෙහි – පටිච්චසමුප්පන්නධර්මයන්හි – දුක්ඛසත්‍යයෙහි – සමුදයසත්‍යයෙහි – නිරොධසත්‍යයෙහි – මාර්ගසත්‍යයෙහි – කුශලාකුශලධර්මයන්හි – සාවද්‍යානවද්‍යධර්මයන්හි කෘෂ්ණශුක්ලධර්මයන්හි – සෙවිතව්‍යාසෙවිතව්‍යයෙහි හෝ යථාභූත ව යම් විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් වීමංසායෙක් පරිවීමංසායෙක් ගැනීමක් වෙසෙසින් ගැනීමක් හාත්පසින් ගැනීමක් සිතින් හාත්පසින් සිතීමක් තුලනයක් පරීක්ෂාවක්, ඥානයක් විද්‍යාවක් නුවණැසක් බුද්ධියක් මෙධායෙක් ප්‍රඥාවක් අවභාසයෙක් ආලොකයෙක් ආභායෙක්, ප්‍රහායෙක් ප්‍රඥාබඞ්ගයෙක් ප්‍රඥා නමැති හීයෙක් ධම්මව්වයසම්බොධ්‍යඞ්ගයෙක් සම්මාදිට්ඨියක් මාර්ගාඞ්ගයෙක් වේ ද මේ විපස්සනා යි.

කවර කරුණෙකින් 'මේ විපස්සනා' යී කියනු ලැබේ ද යත්: (අනිත්‍යාදි විසින්) විවිධාකාරයෙන් දකී නුයි එකරුණෙන් මේ 'විපස්සනා' යි කියනු ලැබේ. තවද මේ විදර්ශනාව දෙවැදෑරුම් වන්නීය: (ධම්මවිපස්සනාති ... ?)

මේ විදර්ශනාඥානයෙන් දෙපරිද්දෙකින් දකී : ශුභ–අශුභ, කෘෂ්ණ–ශුක්ල, සේවිතව්‍ය–අසෙවිතව්‍ය, කර්ම–විපාක, බන්ධන–විමොක්ෂ, ආචය–අපචය, ප්‍රවෘත්ති–නිවෘත්ති සංක්ලෙෂ–ව්‍යවදාන දැයි මෙසේ දෙපරිද්දෙකින් දකී නුයි 'විපස්සනා' යී කියනු ලැබේ. නොහොත් 'වි' යනු උපසර්ග යැ, (විවිධාකාරයෙන්) දැකීම යැ යන අර්ථ යි. එහෙයින් විපස්සනා' යී කියනු ලැබේ. මේ 'විපස්සනා' යි.

6–15. එහි සත්ත්වයන්ට රෝගයෝ දෙදෙනෙකි : අවිද්‍යාව ද භව–තෘෂ්ණාව ද යන මේ යි. මේ රොගයන් දෙදෙනාගේ නැසීම පිණිස භාග්‍යවතුන් විසින් සමථ යැ විපස්සනා යැ යි බෙහෙත් දෙකක් වදාරන ලද යැ, මේ බෙහෙත් දෙක සෙවනය කරනුයේ රාගවිරාග චෙතොවිමුත්තිය ද අවිජ්ජාවිරාගපඤ්ඤාවිමුක්තිය ද යන ආරොග්‍යතා දෙක ප්‍රත්‍යක්ෂ කෙරෙයි. එහි තෘෂ්ණාරොගයට සමථය බෙහෙතැ, රාගවිරාග චෙතොවිමුත්තිය ආරොග්‍ය යැ. අවිද්‍යාරොගයට විදර්ශනාව බෙහෙතැ, අවිද්‍යාවිරාග ප්‍රඥාවිමුක්තිය ආරොග්‍යය වේ.

එහෙයින් මැ බුදුහු ද වදාළහ : "නාමය ද රූපය ද යන ධර්මයෝ දෙදෙන දතයුත්තාහු යැ, අවිජ්ජා ද භවතණ්හා ද යන ධර්මයෝ දෙදෙන ප්‍රහීණ කළයුත්තාහ, සමථය ද විපස්සනා ද යන ධර්මයෝ දෙදෙන වැඩියැයුත්තාහ. විජ්ජා ද විමුත්ති ද යන ධර්මයෝ දෙදෙන පසක් කළයුත්තාහ"යි

එහි සමථය වඩනුයේ රූපය පිරිසිඳ දැනගනී, රූපය දැනගනුයේ තෘෂ්ණාව දුරු කෙරෙයි, තෘෂ්ණාව දුරැලනුයේ රාගවිරාගචෙතොවිමුත්තිය පසක් කෙරෙයි. විදර්ශනාව වඩනුයේ නාමය පිරිසිඳ දැනගනී, නාමය දැනගනුයේ අවිද්‍යාව දුරු කෙරෙයි, අවිද්‍යාව දුරු කරනුයේ අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුක්තිය පසක් කෙරෙයි.

යම් කලෙක භික්ෂුහු විසින් නාමය ද රූපය ද යන ධර්මයෝ දෙදෙන පරිඥාත වූවාහු වෙත් ද එකල්හි ඔහු විසින් අවිද්‍යාව ද භවතෘෂ්ණාව ද යන ධර්මයෝ දෙදෙන ප්‍රහීණ වූවාහු වෙති, සමථය ද විපස්සනාව ද යන ධර්මයෝ දෙදෙන වඩන ලද්දාහු වෙති. විද්‍යාව ද විමුක්තිය ද යන ධර්මයෝ දෙදෙන පසක් කරන ලද්දාහු වෙත්. මෙතෙකින් මහණ (සිවුමගින්) කළ කිස ඇතියේ වෙයි, මෝ සොපධිසෙසනිබ්බානධාතු යැ, ඔහුගේ ආයු ගෙවීමෙන් ජිවිතෙන්ද්‍රියයාගේ නිරොධයෙන් මේ පඤ්චස්කන්ධදුඃඛය ද නිරුද්ධ වෙයි. අන්‍යත් ස්කන්ධදුඃඛයකුදු නූපදී. එහි මේ ස්කන්ධයන්ගේ ද ධාතු ආයතනයන්ගේ ද යම් නිරොධයෙක් ව්‍යුපශමයෙක් වේ ද අන්‍ය ස්කන්ධ ධාතුආයතනයන්ගේ ද අප්‍රතිසන්ධිය නො පහළවීම වේ, මේ අනුපධිසෙසනිබ්බානධාතු යි.

6–16. එහි අලොභකුශල මූලය කවරැ : යම් ස්වභාව වූ අලොභයෙක් අලොභාකාරයෙක් අලුබ්ධ බවෙක් ආශා රහිත බවෙක් නො පැතීමෙක් නො කැමැත්තෙක් බැසැගෙනැ නො සිටීමෙක් වේ ද, මේ අලොභ සංඛ්‍යාත කුශලමූල යි. තෙල කවරක්හුගේ මූලය යැ යත්: කායකර්ම වාක්කර්ම මනඃකර්ම වූ අලොභයෙන් උපන් කුශලයාගේ ද තත්සම්ප්‍රයුක්ත වූ චිත්තචෛතසිකයන්ගේ ද මූල යැ. නොහොත් ආර්‍ය්‍යාඅෂ්ටාඬ්ගිකමාර්ගය කුශල යයි කියනු ලැබේ. ඒ අෂ්ටාඞ්ගික ආර්‍ය්‍යමාර්ගය මාර්ගාඞ්ග තිදෙනකුන්ගේ මූල යැ, කවර තිදෙනකුන්ගේ ද යත් : සම්මාසංකප්පය සම්මාවායාමය හා සම්මාසමාධිහුගේ ද යන මේ තිදෙනාගේ මූල යි. එහෙයින් කුශලමූල යයි කියනු ලැබේ.

එහි අදොසකුසලමූලය කවරැ : සත්වයන් කෙරෙහි හෝ සංස්කාරයන් කෙරෙහි හෝ යම් නො ගැටීමෙක් අප්‍රතිඝාතයෙක් අව්‍යාපන්නබවක් අව්‍යාපාදයෙක් අද්වෙෂයෙක් මෛත්‍රියක් මෛත්‍රි කරන අයුරෙක් වැඩ කැමැති බවෙක් හිත කැමැති බවෙක් චිත්තයාගේ ප්‍රසාදයෙක් වේ ද මේ අදොෂකුශමූල යැ, තෙල කවරක්හුගේ මූල යැ යත්: කායකර්ම වාක්කර්ම මනඃකර්ම වූ අදොෂයෙන් උපන් කුශලයාගේ ද තත්සම්ප්‍රයුක්ත වූ චිත්ත චෛතසිකධර්මයන්ගේ ද මූල යැ. නොහොත් තුන් මාර්ගාඞ්ග කෙනකුන්ගේ මූල යැ, කවර තිදෙනකුන්ගේ ද යත්: සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව යන මේ තුන් මාර්ගාඞ්ගයන්ගේ මූල යි. එහෙයින් කුශලමූල යයි කියනු ලැබේ.

එහි අමෝහ කුශලමූලය කවරැ : චතුරාර්‍ය්‍යසත්‍යයන්හි යථාභූත වූ යම් ඥානදර්ශනයෙක් අභිසමයෙක් මනා අවබොධයෙක් ප්‍රතිවෙධයෙක් අමොහයෙක් නොමුළාවන අයුරෙක් අසම්මොහයෙක් විද්‍යාවක් ප්‍රකාශයෙක් ආලොකයෙක් ශෛක්ෂයන්ගේ කුශලධර්මයන් පිළිබඳ අනාවරණයෙක් වේ ද, මේ අමොහ කුශලමූල යි. තෙල කවරක්හුගේ මූල යැ යත්: කායකර්ම වාග්කර්ම මනඃකර්ම වූ අමොහයෙන් උපන් කුශලයාගේ ද තත්සම්ප්‍රයුක්ත වූ චිත්තචෛතසික ධර්මයන්ගේ ද මූල යි. නොහොත් මාර්ගාංගයන් දෙදෙනකුන්ගේ මූල යැ; කවර දෙදෙනකුන්ගේ ද යත්: සම්මාදිට්ඨිය සම්මාසතිය යන මේ මාර්ගාඞ්ගයන් දෙදෙනාගේ මූල යි. එහෙයින් කුශලමූල යයි කියනු ලැබේ. මෙසේ තුන් කුශලමූලයන්ගේ අෂ්ටාඞ්ගිකමාර්ගය යෙදියැයුත්තේ යි.

6–17. එහි අනිත්‍යසංඥා කවර යත් : "සියලු සංස්කාරයෝ උත්පාදනය හා විනාශය ස්වභාව කොට ඇත්තාහ'යි යම් සංඥාවක් සංජානනාකාරයෙක් නිශ්චය කිරීමෙක් ගැනීමෙක් වේ ද මේ අනිත්‍යසංඥා යි. එහි නිෂ්‍යන්ද (ඵලය) කවරැ : අනිත්‍යසංඥාව වැඩූ කල්හි බහුලීකෘත කල්හි අටලෝදහම්හි සිත නො බැඳෙයි. නො සිටී නො පිහිටයි. උපෙක්ෂාව හෝ ප්‍රතිකූලභාවය හෝ පිහිටයි. මේ ඒ අනිත්‍ය සංඥාවගේ නිෂ්‍යන්ද යි.

එහි දුඃඛසංඥා කවර යත් : "සියලු සංස්කාරයෝ දුක් වූහ'යි යම් සංඥාවක් දන්නා අයුරක් නිශ්චය කිරීමෙන් දැඩිව ගැනීමෙක් වේ ද, මේ දුඃඛසංඥා'යි. එහි නිෂ්‍යන්ද කවරැ : දුඃඛසංඥාව භාවිත කල්හි බහුලීකෘත කල්හි අලසබැව්හි ප්‍රමාදයෙහි විස්මයෙහි ද සිත නො පිහිටයි, නො සිටී නො පිහිටයි. උපෙක්ෂාව හෝ ප්‍රතිකූලභාවය හෝ පිහිටයි. මේ ඒ දුඃඛසංඥාවගේ නිෂ්‍යන්ද යි.

එහි අනාත්මසංඥා කවරැ : 'සියලු ධර්මයෝ අනාත්මයෝ යයි යම් සංඥාවක් සඤ්ජනනා කාරයක් නිශ්චය කිරීමෙක් උද්ග්‍රාහකයෙක් වේ ද, මේ අනාත්මසංඥා යැ එහි නිෂ්‍යන්ද කවරෙ යැ: අනාත්මසංඥාව භාවිත කල්හි බහුලීකෘත කල්හි අහඞ්කාරය (මම යැ යන දෘෂ්ටිය) සිත අනුසන්ධාන නො කෙරෙයි. මාගේ යැ යන තෘෂ්ණාව නො පිහිටයි. උපෙක්ෂාව හෝ ප්‍රතිකූලතාව හෝ පිහිටයි. මේ ඒ අනාත්ම සංඥාවගේ නිෂ්‍යන්ද යි.

එහි අශුභසංඥා කවරැ : සත්වසංස්කාරයෝ අශුභ වූහයි යම් සංඥාවක් සඤ්ජානනා කාරයක් නිශ්චය කිරීමක් උද්ග්‍රාහයෙක් වේ ද, මේ අශුභසංඥා යැ. එහි නිෂ්‍යන් ද කවරෙ යැ: අශුභසංඥාව භාවිත බහුලීකෘත කල්හි ශුභාලම්බනයෙහි සිත නො බැඳෙයි. නො සිටී නො පිහිටයි, උපෙක්ෂාව හෝ ප්‍රතිකූලතාව හෝ බැසගෙන සිටී. මේ ඒ අශුභසංඥාවගේ නිෂ්‍යන්ද යි.

6–18. එහි පඤ්චස්කන්ධයන්ගේ (ත්‍රිවිධ පරිඥායෙන්) පරිඥානය භාග්‍යවතුන් විසින් දෙසන ලද්දේ ය. එහි යම් අශුභසංඥාවක් ඇද්ද එය රූපස්කන්ධයාගේ පරිඥානය පිණිස යැ, දුඃඛසංඥාව වෙදනා ස්කන්ධයාගේ පරිඥානය පිණිස යැ, අනාත්මසංඥාව සංඥාස්කන්ධයාගේ සංස්කාරස්කන්ධයාගේ ද පරිඥානය පිණිස යැ, අනිත්‍යසංඥාව විඥාන ස්කන්ධයාගේ පරිඥානය පිණිස යි.

එහි ශමථයෙන් තෘෂ්ණාව සමුද්ඝාතනය කෙරෙයි. විදර්ශනායෙන් අවිද්‍යාව නසයි. අද්වෙෂයෙන් ද්වෙෂය නසයි, අමොහයෙන් මොහය නසයි. අනිත්‍යසංඥායෙන් නිත්‍යසංඥාව සමුද්ඝාතනය කෙරෙයි. දුඃඛසංඥායෙන් සුඛසංඥාව නසයි. අනාත්ම සංඥාවෙන් ආත්මසංඥාව නසයි, අශුභසංඥායෙන් ශුභසංඥාව සමුද්ඝාතනය කෙරෙයි.

ශමථය අරමුණෙහි චිත්තයාගේ විසිරීම ප්‍රතිසංස්කරණය ලක්ෂණ කොට ඇත්තේ යැ, ඒ ශමථයට ධ්‍යානයෝ ආසන්න කාරණ වෙයි. විදර්ශනාව ස්කන්ධාදි සියලු ධර්ම (අනිත්‍යාදි විසින්) යථාභූතව ප්‍රතිවෙධ කිරීම ලක්ෂණ කොට ඇත්තී යැ. ඊට සියලු දතයුතු දැය පදට්ඨාන යි. අලොභය ප්‍රතිසංහරණ ලක්ෂණ යැ, ඒ අලොභයට අදින්නාදානයෙන් විරමණය ආසන්නකාරණ වෙයි. අදොසය අව්‍යාපාද ලක්ෂණ යැ, ඊට ප්‍රාණවධයෙන් වෙන්වීම පදට්ඨාන යි. අමොහය වස්තු විෂයෙහි නො ගැටීම ලක්ෂණ යැ, ඊට සම්‍යක් ප්‍රතිපත්තිය පදට්ඨාන යි. අනිත්‍යසංඥාව සංඛතධර්මයන්ගේ විනාශග්‍රහණය ලක්ෂණ යැ, ඊට උදයව්‍යය පදට්ඨාන යි. දුඃඛසංඥාව සාස්‍රවස්පර්ශය හැඳිනීම ලක්ෂණ කොට ඇත්තේ යැ, ඊට වෙදනාව පදට්ඨාන යි, අනාත්මසංඥාව සියලු ධර්මයන් නො ගැනීම ලක්ෂණ කොට ඇත්තී යැ, ඊට ධර්මසංඥාව පදට්ඨාන යි. අශුභසංඥාව විනීලක විපුබ්බක උද්ධුමාතක අශුභයන් ගැනීම ලක්ෂණ කොට ඇත්තී යැ, ඊට නිබ්බිදාව පදට්ඨාන යි. දක්වන ලද මේ නව පදයන් කෙරෙහි සියලු කුශලපක්ෂය දක්වන ලදුයේ වේ. හෙ ද බහුශ්‍රැතයක්හු විසින් දැනගන්නට හැකි වෙයි, අල්පශ්‍රැතයා විසින් නො දතහැකි වේ. ප්‍රාඥයකු විසින් දත හැකි වෙයි. දුෂ්ප්‍රාඥයා විසින් නො දත හෙයි, යොගයෙහි යෙදුණක්හු විසින් දතහෙයි. යොගයුක්ත නොවූවහු විසින් නො දතහැකි වේ.

එහි නිත්‍යසංඥායෙහි අධිමුක්ති ඇති ඔබිනොබ සිත මෙහෙයවන සිහි නො එළවන්නහුට අනිත්‍යසංඥාව නො වටහයි, පස්කම්ගුණයෙහි සුඛාස්වාදයෙහි ඇලුණු පැවැතුම් ඇති (ලොභාදි) අගතිය නො සිතන්නහුට දුඃඛසංඥා නො වටහයි. ස්කන්ධ ධාතු ආයතනයන්හි ආත්ම යයි. අධිමුක්ති ඇති නානාධාතු අනෙකධාතුවිනිර්භොගය නො සිතන්නහුට අනාත්මසංඥාව නො වටහයි. පැහැසටහන්හි ඇලුණහුට ද (කෙලෙස් විසින්) ශුභයෙහි ගිජු වූවහුට ද වෙසෙසින් පිළසන් වූ අශුභසංඥාව නො වටහයි.

6–19. ශ්‍රද්ධාව නො මකුබව ලක්ෂණ කොට ඇත්තීය, හැදැහීම වැටහීම කොට ඇත්තී යැ, සතර සොතාපත්තියඞ්ගයෝ ඒ ශ්‍රද්ධාවට ආසන්නකාරණ යි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද: "මහණෙනි, සන්ධින්ද්‍රිය කොහි දතයුතු යැ: කුශලධර්ම වූ සතර සොතපත්තියඬ්ගයන්හි දතයුතු" යැයි.

විරියින්ද්‍රිය සූරබව පිළිකෙව් නො කිරීම ලක්ෂණ කොට ඇත්තේ යැ, වීර්‍ය්‍යයාරම්භය වැටැහීම වෙයි. ඊට අතීත වූ සතර සම්‍යක් ප්‍රධානයෝ පදට්ඨාන යි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද : "මහණෙනි, විරියින්ද්‍රිය කොහි දතයුතු යැ: සතර සම්‍යක් ප්‍රධානයන්හි දතයුතු"යි.

සතිය සිහිකිරීම ලක්ෂණ කොට ඇත්තී යැ, මුළා නො වීම වැටැහෙනු වෙයි. ඒ ස්මෘතියට අතීත වූ සතර සතිපට්ඨානයෝ ආසන්නකාරණ වෙයි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද: "මහණෙනි සතින්ද්‍රිය කොහි දතයුතු යැ: සතර සතිපට්ඨානයන්හි දතයුතු'යි.

සමාධිය සිතෙහි එකඟබව ලක්ෂණ කොට ඇත්තේ යැ, අවික්ෂෙපය වැටැහෙනු වෙයි. ඊට සතර ධ්‍යානයෝ පදට්ඨාන යි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද : 'මහණෙනි, සමාධීන්ද්‍රිය කොහි දතයුතු යැ: සතර ධ්‍යානයන්හි ලා දතයුතු' යි.

ප්‍රඥාව විශිෂ්ට වූ දැනීම ලක්ෂණ කොට ඇත්තී යැ, භූතාර්ථසන්තීරණය වැටැහෙනු වෙයි, ඒ ප්‍රඥාවට සතර ආර්‍ය්‍යසත්‍යයෝ පදට්ඨාන යි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද : 'මහණෙනි, පඤ්ඤින්ද්‍රිය කොහි ලා දතයුතු යැ: හතර ආර්‍ය්‍යසත්‍යයන්හි ලා දතයුතු'යි.

6–20. සතර චක්‍ර කෙනෙක් වෙති: ප්‍රතිරූපදෙශයෙහි වාසය චක්‍රයෙක, සත්පුරුෂයන්ගේ උපනිශ්‍රය චක්‍රයෙක, ආත්මසම්‍යක්ප්‍රණිධානය චක්‍රයෙක, පූර්වකෘතපුණ්‍යතාව චක්‍රයෙකි. එහි ප්‍රතිරූපදෙශවාසය ආර්‍ය්‍යයන්ගේ ආශ්‍රය ලක්ෂණ කොට ඇත්තේ යැ හේ සත්පුරුෂයන්ගේ උපනිශ්‍රයට පදට්ඨාන යි. සත්පුරුෂොපනිශ්‍රය ආර්‍ය්‍යයන් හා එක්වැ විසීම ලක්ෂණ කොට ඇත්තේ යැ හේ ආත්මසම්‍යක්ප්‍රණීධානයට පදට්ඨාන යි. ආත්මසම්‍යක්ප්‍රණිධානය සම්‍යක්ප්‍රතිපත්ති ලක්ෂණ කොට ඇත්තේ යැ එය පුණ්‍යයන්ට පදට්ඨාන යි. පුණ්‍යය කුසල් දහම් රැස්කිරීම ලක්ෂණ කොට ඇත්තේ යැ එය සියලු සම්පත්තීන්ට පදට්ඨාන යි.

6–21. ශීලය මුල් කොට ඇති ධර්මයෝ එකොළොසෙකැ : සිල්වත්හට අවිප්‍රතිසාරය (නො මකුබව) වෙයි. ... ඉත්ථම්භාවය පිණිස කළ යුතු අනෙකෙක් නැතැයි දැනීම විමුත්තිඤාණදස්සන යි.

එහි සීලය (ප්‍රාණවධාදියෙන්) විරමණය ලක්ෂණ කොට ඇත්තේ යැ, එය අවිප්පටිසාරයට පදට්ඨාන යි.

අවිප්‍රතිසාරය අනාත්මානුවාදය ලක්ෂණ කොට ඇත්තේ යැ, එය ප්‍රාමොද්‍යයට පදට්ඨාන යි.

ප්‍රාමොද්‍යය (ඵරණප්‍රීතිය) අධික වූ ප්‍රමොදය ලක්ෂණ කොට ඇත්තේ යැ, එය ප්‍රිතියට පදට්ඨාන යි.

ප්‍රිතිය අත්තමන (සතුටු සිත් ඇති බව) ලක්ෂණ කොට අත්තී යැ, ඒ ප්‍රිතිය පස්සද්ධියට (කාය–චිත්තයන්ගේ සැහැල්ලුබවට) පදට්ඨාන යි.

පස්සද්ධිය කර්මක්ෂම බව ලක්ෂණ කොට ඇත්තී යැ, එය අර්පණ පුර්වභාග වූ සුඛයට පදට්ඨාන යි.

සුඛය අව්‍යාපාදය ලක්ෂණ කොට ඇත්තේ යැ, එය සමාධියට පදට්ඨාන යි.

සමාධිය අවික්ෂෙපය (සිත නො විසුරුණු බව) ලක්ෂණ කොට ඇත්තේ යැ, එය යථාභූත ඥානදර්ශනයට (තරුණ විදර්ශනාවට) පදට්ඨාන යි.

විදර්ශනාප්‍රඥාව අවිපරීතසන්තීරණය ලක්ෂණ කොට ඇත්තී යැ, එය නිර්වෙදයට (බලව විපස්සනාවට) පදට්ඨාන යි.

නිර්වෙදය ආලය නො කිරීම ලක්ෂණ කොට ඇත්තී යැ, එය විරාගයට පදට්ඨාන යි.

විරාගය අසංක්ලෙශ ලක්ෂණ යැ, එය විමුක්තියට පදට්ඨාන යි.

විමුක්තිය අකුශලධර්මයෙන් වෙන් වීම ලක්ෂණ කොට ඇත්තී යැ, එය විමුක්ත වූවහුගේ ව්‍යවදානයට පදට්ඨාන යි.

6–22. ආර්‍ය්‍යභූමි සතරෙකි, ශ්‍රාමණ්‍යඵලයෝ සතරදෙනෙකි. එහි යමෙක් යථාභූත වැ දැනැගනී ද මෝ දර්ශනභූමි යැ, සොතාපත්ති ඵලය ද වෙයි. හේ යථාභූත වැ අවබොධ කොට නිර්වෙදයට පැමිණෙයි, මෙය තනු වූ කාමරාගයට ද ව්‍යාපාදයට ද පදට්ඨාන යි. සකදාගාමිඵලය ද වෙයි. සිලුටු වැ විරාගයට පැමිණෙයි. මේ රාගවිරාග චෙතොවිමුත්ති යැ. අනාගාමී ඵලය ද වෙයි. යම් අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුක්තියක් වේ ද මේ කෘතභූමි යැ රහත් බව ද වේ.

සාමඤ්ඤඵලානි යනු වචනාර්ථ කවරෙ යැ: ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්ගය ශ්‍රාමණ්‍ය යැ, ඒ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්ගයාගේ තෙල ඵලයෝ නුයි ශ්‍රාමණ්‍යඵලයෝ යයි කියනු ලැබෙත්. කුමක් හෙයින්, බ්‍රහ්මඤ්ඤඵලයෝයයි කියනු ලැබෙත් ද යත්: ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්ගය බ්‍රහ්මඤ්ඤ යැ, ඒ බ්‍රහ්මඤ්ඤයාගේ තෙල ඵලයෝ නුයි බ්‍රහ්මඤ්ඤඵලයෝ යයි කියනු ලැබෙත්.

එහි කිසෙයින් සොතාපන්න වෙයි යත්: සත්‍යාවබොධය සමග ආර්‍ය්‍යශ්‍රාවකයාගේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයොජනයෝ ප්‍රහීණ වෙති. මේ තුන් සංයොජනයන්ගේ ප්‍රහාණයෙන් ක්ෂය වීමෙන් දුක් කෙළවර කිරීම දක්වා අවිනිපාත ස්වභාව වූ ආර්‍ය්‍යශ්‍රාවක වේ.

එහි සක්කායදිට්ඨි කවර යත් : අශ්‍රැතවත් බාල පුහුදුන් තෙමේ (යම්තාක්) ... ආර්‍ය්‍ය ධර්මයෙහි අදක්ෂ වේ ද, හේ රූපය ආත්ම විසින් දකී ... විඥානයෙහි ආත්මය ඇතැයි දකී. හේ මේ පඤ්ච ස්කන්ධයෙහි ආත්මග්‍රාහය ඇත්තේ හෝ ආත්මනියග්‍රාහය (ඇත්තේ) හෝ වෙයි. 'තෙලෙ මම් වෙමී' එක් (දෘෂ්ටියෙක) වශයෙහි පවත්නේ ප්‍රක්ෂිප්ත වූයේ ග්‍රාහ ඇත්තේ අනුශය වශයෙන් පවත්නේ අංගමංග ? යයි ගනී. එබඳු වූවහුගේ යම් කැමැත්තක් රුචියක් ප්‍රෙක්ෂණයෙක් ආකාර පරිචිතර්කයෙක් දෘෂ්ටිය ගෙන සිතීමෙක් ප්‍රසන්න බවක් වේ ද, මේ සක්කාය දිට්ඨි යයි කියනු ලැබේ.

එහි දෘෂ්ටිහු පස්දෙනෙක් උච්ඡෙදය භාජනය කෙරෙති, කවර පස්දෙනෙක යත් : රූපය ආත්ම විසින් දකී, (යනු පටන්) විඥානය ආත්ම යයි (දෘෂ්ටිවශයෙන්) දකී යන මේ පස උච්ඡෙදය භජනය කෙරෙත්. සෙසු පසළොස් (ආත්ම) දෘෂ්ටීහු ශාශ්වතය භජනය කෙරෙත්. මෙසේ සත්කායදෘෂ්ටිය ප්‍රහාණයෙන් දෙසැට දෘෂ්ටිගතයෝ ප්‍රහීණ වෙති. ප්‍රහීණ වීමෙන් (ආර්‍ය්‍යශ්‍රාවක) උච්ඡෙදයත් ශාශ්වතයත් භජනය නො කෙරෙයි. මෙසේ උච්ඡෙද ශාශ්වතප්‍රහාණයෙන් ආර්‍ය්‍යශ්‍රාවකහට කිසි දෘෂ්ටිගතයෙක් නො වෙයි. මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ශ්‍රැතවත් වෙයි. සියලු ශුක්ලපක්ෂය විස්තර කළයුතු ... 'ආර්‍ය්‍යධර්මයෙහි නිපුණ වූයේ රූපය අනාත්ම වශයෙන් දකී, (යනු පටන්) විඥානය ... (අනාත්ම වශයෙන් දකී යනු දක්වා) මෙසේ දක්නා වූ ඔහුට සත්කායදෘෂ්ටි නො වේ.

කිසෙයින් විචිකිච්ඡා නො වෙයි යත් : මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක බුදුන් කෙරෙහි සැක නො කෙරෙයි. විචිකිත්සා නො කෙරෙයි, අතිශයින් පහදී, "ඉතිපි සො භගවා ... "සියල්ල ද, දහම්හි සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි ... "තණ්හක්ඛයෙවිරාගො නිරොධො නිබ්බානං" යනු දක්වා සියල්ල ද (විස්තර කළයුතු යි.) මේ දෙවැනි ආකඞ්ඛීය ධර්මයෙන් (?) සමන්විත වෙයි. සඟුන් කෙරෙහි සැක නො කෙරෙයි ... දෙවියන්ගේ ද මිනිසුන්ගේ ද පූජාවට සුදුසු වෙයි (?) යනු දක්වා විස්තර යි. මේ තෙවැනි ආකඞ්ඛීය ධර්මයෙන් සමන්වාගත වේ.

"සියලු සංස්කාරයෝ දුක් වූහ"යි සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි, නිශ්චයට පැමිණෙයි, ප්‍රසාදයට පැමිණේ. 'තණ්හාව දුක්ඛසමුදය'යී සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි ... 'තෘෂ්ණානිරොධය දුක්ඛනිරොධය"යි සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි, ... ආර්‍ය්‍ය අෂ්ටාංගිකමාර්ගය දුක්ඛනිරොධගාමිනී පටිපදා"යී සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි, නිශ්චයට පැමිණෙයි, පහදී.

බුදුන් කෙරෙහි හෝ දහම්හි හෝ සඟුන් කෙරෙහි හෝ දුකෙහි හෝ සමුදයෙහි හෝ නිරොධයෙහි හෝ මාර්ගයෙහි හෝ සැක කිරීමක් විමතියක් විචිකිත්සාවක් ද්විධාපථයෙක් පසුබැසීමෙක් හාත්පසින් පසුබැසීමෙක් නොසිටීමෙක් නො පිහිටාසිටීමෙක් අනෙකාන්ත බවෙක් අනෛකාංසිකාකාරයෙක් වේ ද, ඒ සැකයෝ ඔහු විසින් ප්‍රහීණ කරන ලද්දාහු වෙති, බැහැර කරන ලද්දාහු උසුන් මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවයට ගියාහු මතුයෙහි නූපදනා සැහැවි ඇත්තාහු වෙත්.

එහි සීලබ්බතපරාමාසය දෙපරිදි වෙයි : සිල් ඇත්තහුගේ හෝ ශුද්ධි ඇත්තහුගේ හෝ යැ.

එහි සිල්ඇත්තහුගේ සීලබ්බතපරාමාසය කවරැ : මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දෙවාන්‍යතරයෙකිම් වෙමි, එහි පරෙවිපා ඇති අප්සරාවන් සමග ක්‍රීඩා කෙරෙමි, රමණය කෙරෙමි, සිත් අලවා වෙසෙමි එබඳු වූවහුගේ යම් කැමැත්තක් රුචියක් ඇලීමක් රාගයෙක් රාගපරිවර්තක දෘෂ්ටියක් දැක්වීමක් වේ ද මේ සිල් ඇත්තහුගේ ශීලව්‍රතපරාමර්ශ යි.

එහි ශුද්ධිඇත්තහුගේ සීලබ්බතපරාමාස කවරැ: මෙලොවැ කිසිවෙක් ශීලය පරාමර්ශ කෙරෙයි : ශිලයෙන් ශුද්ධවෙයි, ශීලයෙන් (සුවයට) පමුණුවයි, ශීලයෙන් මිදෙයි, සුව ඉක්මවයි, දුක් ඉක්මවයි, සුවදුක් ඉක්මවයි, උපරිමභාවයට පැමිණෙයි. ඒ ශීලව්‍රත දෙක පරාමාර්ශ කෙරෙයි: ඒ ශීලව්‍රත දෙකින් ශුද්ධ වෙති, මිදෙති, පමුණුවති, සුව ඉක්මවති, දුක් ඉක්මවති, සුවදුක් ඉක්මවති, (නිවනට) පැමිණෙත් යයි. (අවිසුචිකරං ... මෙහි සිට වාක්‍ය ය ව්‍යාකල යි.) එබඳු වූවහුගේ යම් කැමැත්තක් රුචියක් මුක්තියක් ප්‍රෙක්ෂණයෙක් ආකාරපරිවතර්කයෙක් දෘෂ්ටිය සිතීමෙක් දැකීමෙක් වේ ද, මේ විශුද්ධි ඇත්තහුගේ සීලබ්බතපරාමාස යි.

තෙල පරාමාසයෝ දෙදෙන ආර්‍ය්‍යශ්‍රාවකහට ප්‍රහීණ වූවාහු වෙති. "ආයතිං අනුප්පාද ධම්මා' (යනු දක්වා විස්තර කළයුතු යැ) ඒ ආර්‍ය්‍යශ්‍රාවක අඛණ්ඩ වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්වාගත වූයේ සිල්වත් වෙයි. "උපසමසංවත්තනිකෙහි" (යනු දක්වා විස්තර යි.) මේ තුන් සංයොජනයන්ගේ ප්‍රහාණයෙන් ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක සෝතාපත්ත වූයේ අවිනිපාත ස්වභාව ඇතියේ වේ, සියල්ල (විස්තර කළ යුතු යැ)

'සහ සච්චාහි සමයා' යනු වචනාර්ථ කවරෙ යැ: 'පරිඤ්ඤාභිසමය පහානාභිසමය සව්ජිකිරියාහිසමය භාවනාභිසමය යී අභිසමයයෝ සතරදෙනෙකි.

එහි ආර්‍ය්‍යශ්‍රාවක දුඃඛසත්‍යය පරිඥාප්‍රතිවෙධයෙන් ප්‍රතවෙධ කෙරෙයි, සමුදයසත්‍යය ප්‍රහාණ ප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ කෙරෙයි, නිරොධසත්‍යය සාක්ෂාත් ක්‍රියාභිසමයෙන් ප්‍රතිවෙධ කෙරෙයි, මාර්ගසත්‍යය භාවනාප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ කෙරෙයි.

කවර කරුණෙකින් දුක්ඛයාගේ පරිඤ්ඤාභිසමය (ප්‍රතිවෙධය) සමුදයාගේ පහානාභිසමය, නිරොධයාගේ සච්ඡිකිරියාභිසමය, මාර්ගයාගේ භාවනාභිසමය වෙයි යත්: සමථ විපස්සනා හේතුයෙනි, කිසෙයින් ප්‍රතිවෙධ කෙරෙයි යත්: අරමුණෙහි සිත උපනිබන්ධනය කොට පඤ්චස්කන්ධයන් දුක් වශයෙන් දකී. එහි යම් උපනිබන්ධයෙක් ඇද්ද මේ සමථ යැ. යම් පරියොගාහනයෙක් (විමසීමෙක්) ඇද්ද මේ විපස්සනා යි.

පඤ්චස්කන්ධයෝ දුක් වූහ'යි දක්නාහට පඤ්චස්කන්ධයෙහි යම් ආලයෙක් නිකාන්තියක් උපගමනයෙක් බැසැගෙන සිටීමෙක් ඊප්සාවක් මූර්ජාවක් ප්‍රණිධියක් ප්‍රාර්ථනාවක් ඇද්ද ඒ ප්‍රහීණ වෙයි. එහි පඤ්චස්කන්ධයෝ දුක්ඛ සත්‍ය යැ. එහි යම් ආලයෙක් නිකාන්තියක් උපගමනයෙක් අධ්‍යයවසානයෙක් ඉච්ඡාවක් මූර්ඡාවක් ප්‍රණිධියක් ප්‍රාර්ථනාවක් ඇද්ද මේ සමුදය සත්‍ය යැ, ඒ සමුදයයාගේ ප්‍රහාණයෙක් ඇද්ද මේ නිරොධසත්‍ය යැ. සමථයත් විපස්සනාවත් මාර්ගසත්‍ය යි. මෙසේ ඒ චතුරාර්‍ය්‍ය සත්‍යයන්ගේ සමකාලයෙහි ඒකක්ෂණයෙහි ඒකචිත්තයෙහි නො පෙරපසු වැ අවබොධය වෙයි. එයින් වදාළහ බුදුහු, "සත්‍යාවබොධය සමග ආර්‍ය්‍යශ්‍රාවකහට තුන් සංයොජනයෝ ප්‍රහීණ වෙත්" යයි.

එහි සමථවිපස්සනා යුගනද්ධ වැ පවත්නාහු එක්කලැ එක් කොණෙහි එක් සිතෙහි සතර කෘත්‍යයක් කෙරෙති : දුක පරිඥාභිසමයෙන් අවබොධ කෙරෙයි, ... මාර්ගය භාවනාහි සමයෙන් අවබොධ කෙරෙයි, (යනු දක්වා විස්තර කළයුතු.)

කවර කරුණෙකින් දුක පරිඥාභිසමය වේ ද ... මාර්ගය භාවනාභිසමය වේ ද යත් : මෙසේ දෘෂ්ටාන්ත වෙයි : යම්සේ නැව ජලයෙහි ගමන් කරන්නී සතර කෘත්‍යයක් කෙරේ ද: පරතෙරට පමුණුවයි, මෙතෙර හැරපියයි, බර ගෙනයයි, ස්‍රොතස් සිඳී. එපරිදි මැ සමථවිපස්සනා දෙක යුගනද්ධ වැ පවත්නාහු එක්විට එක් ඇසිල්ලෙහි එක්සිතෙහි කෘත්‍යය සතරක් සිදු කෙරෙති. දුක්ඛසත්‍යය පරිඥාභිසමයෙන් ප්‍රතිවෙධ කෙරෙයි ... මාර්ගසත්‍යය භාවනාභිසමයෙන් ප්‍රතිවෙධ කෙරෙයි.

යළි යම්සේ හිරු උදයට පැමිණෙනුයේ එක්විට පෙරපසු නො වැ කෘත්‍යය සතරක් කෙරෙයි : අඳුර නසයි, ආලොකය පහළ කෙරෙයි, රූප දක්වයි, සීතය නසයි. එපරිදි මැ සමථවිපස්සනා යුගනද්ධ වැ පවත්නාහු එක්විට ... යම්සේ පහන දැල්වෙනුයේ එක්විට නො පෙරපසු වැ කෘත්‍යය සතරක් කෙරේ ද: අඳුර දුරු කෙරෙයි, එළිය පහළ කෙරෙයි, රූප දක්වයි. තෙල් ගෙවාලයි. එපරිදි මැ සමථවිපස්සනා යුගනද්ධ වැ පවත්නාහු එක්විටැ ...

යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ස්‍රෝතාපන්න වේ ද, විරූපයෙහි නොවැටෙන සැහැවි ඇතියේ මාර්ගනියාමයෙන් නියත වූයේ ... දුක් කෙළෙවර කෙරෙයි. මේ දර්ශනභූමි යැ, ස්‍රෝතාපත්තිඵලය ද වේ.

සොවත් පෙලෙහි සිටියේ මතුයෙහි විදර්ශනා වඩනුයේ (ඒ සමථවිපස්සනා) යුගනද්ධ වැ පවත්නාහු කාමරාගව්‍යාපාදයන්ගේ බෙහෙවින් ප්‍රහාණය හෙතු කොටගෙන සකෘදාගාමී ආර්‍ය්‍යශ්‍රාවක වෙයි. පරිනිෂ්පන්න බැවින් (?) එක් මැ වරක් මෙලොවට, අවුත් දුක් කෙළවර කෙරෙයි. මේ තනු භූමි යැ, සකදාගාමී ඵලය ද වේ.

සෙදගැමිපෙලෙහි සිටියේ විදසුන් වඩනුයේ අනුශය සහිත වූ කාමරාගව්‍යාපාදයන් අනවශෙෂ කොට දුරු කෙරෙයි. කාමරාගව්‍යාදයන් අනවශෙෂ ප්‍රහීණ කල්හි පඤ්ච ඔරම්භාගිය සංයොජනයෝ ප්‍රහීණ වූවාහු වෙති: සක්කායදිට්ඨි සීලබ්බතපරාමාස විචිකිච්ඡා කාමච්ඡන්ද හා ව්‍යාපාද යන මොහු යි. මේ පඤ්චඔරම්භාගිය සංයොජනයන්ගේ ප්‍රහාණයෙන් අනාගාමී ආර්‍ය්‍යශ්‍රාවක වෙයි. එහි පිරිනිවෙනුයේ එ බඹලොවින් (පිළිසඳ විසින්) නො එනසැහැවි ඇතියේ වෙයි. මේ විතරාගභූමි යැ, අනාගාමිඵලය ද වේ.

අනගැමිපෙලෙහි සිටියේ මත්තෙහි විදසුන් වඩනුයේ පඤ්ච උද්ධම්භාගිය සංයොජනයන් දුරු කෙරෙයි: රූපරාග අරූපරාග මාන උද්ධච්ච හා අවිජ්ජා ද යන මොහු යි. මේ පඤ්ච උද්ධම්භාගිය සංයොජනයන්ගේ ප්‍රහාණයෙන් අර්හත් ආර්‍ය්‍යශ්‍රාවක වෙයි. වූසූ මහබඹසර ඇතියේ සිවුමඟින් කළ කිස ඇතියේ බහාතැබූ ස්කන්ධාදි භාරය ඇතියේ පැමිණි ස්වාර්ථ ඇතියේ ක්ෂය වූ භවසංයොජන ඇතියේ මොනොවට දැන විමුක්ත වූයේ වේ. මේ කෘත භූමි යැ, අර්හත්වඵලය ද වේ.

මේ සොපාදිසෙස නිබ්බානධාතු යැ. ඒ රහත්හුගේ ආයු ගෙවීමෙන් ජීවිතෙන්ද්‍රිය සිඳිමෙන් මේ පඤ්චස්කන්ධදුඃඛය ද නිරුද්ධ වෙයි. අනිත් ස්කන්ධදුඃඛයකුදු නූපදී. මේ පඤ්චස්කන්ධදුඃඛයාගේ යම් නිරොධයෙක් සන්හිඳීමෙක් වේ ද අනිත් දුකක්හුගේ ද පහළ නො වීමෙක් වේ ද මේ අනුපාදිසෙස නිබ්බානධාතු යි. මේ දෙවැදෑරුම් නිර්වාණ ධාතු යි. මෙසේ සත්‍යයෝ කියන ලද්දාහු යැ සත්‍යප්‍රතිවෙධය කියන ලද්දේ යැ, ක්ලෙශ ව්‍යවස්ථානය කියන ලද, ප්‍රහාණය කියන ලද, භූමිහු කියන ලද්දාහ, ඵලයෝ කියන ලද්දාහ, නිර්වාණධාතු කියන ලද්දාහ. මෙසේ මේ ධර්මයන් කී කල්හි සියලු බොධිය කියන ලද වේ. මෙහි යොග කටයුත්තේ යි.

6–23. එහි අනුපූර්වවිහාරසමාපත්තීහු කවරහ : සතර ධ්‍යානයෝ ද සතර අරූප සමාපත්තීහු ද නිරොධසමාපත්තිය ද යන මොහු යි.

එහි සතර ධ්‍යානයෝ කවරහ : "මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්වැ මැ" යනු විස්තර කළයුත්තාහු යැ, එහි සතර අරූපසමාපත්තීහු කවරහ: විරාගීහු ගේ (අරූපසමාපත්ති) කියැයුත්තාහු යැ, නිරොධසමාපත්තිය දක්වා විස්තර කළ යුත්තාහ. මොහු නව අනුපූර්වවිහාර සමාපත්තීහු යි.

එහි ප්‍රථමධ්‍යාන කවරෙ යැ: පස්අඟෙකින් වෙන් වූයේ පස්අඟෙකින් සමන්විත වූයේ යැ, කවර පස්අඟෙකින් විප්‍රයුක්ත ද යත් : පඤ්ච නීවරණයන්ගෙනි, එහි පඤ්ච නීවරණයෝ කවරහ: කාමච්ඡන්දය යනාදිය විස්තර කටයුතු.

එහි කාමච්ඡන්ද කවරෙ යත් : පස්කම්ගුණයෙහි මේ ඡන්දරාගයෙක් ප්‍රෙමයෙක් නිකාන්තියක් බැසැගෙන සිටීමෙක් ආසාවක් මුසපත්වීමෙක් පැතුමෙක් නො හැරීමෙක් අනුශයයෙක් පරියුට්ඨානයෙක් ඇද්ද මේ කාමච්ඡන්ද තෙමෙ නීවරණ යැ.

එහි ව්‍යාපාද කවරෙ යැ: සත්වයන් කෙරෙහි ද සංස්කාරයන් කෙරෙහි ද යම් ආඝාතයෙක් වේ ද. ... දොසයෙහි මෙන් විස්තර යි මේ ව්‍යාපාද තෙමේ නීවරණ යැ.

එහි මිද්ධ කවරෙ යැ: කයෙහි යම් තෙමරිබවක් ගුරුබවක් කර්මක්ෂම නොවන බවක් නික්ෂෙපයෙක් නිදීමක් සලබවක් සැලීමක් සැලෙන අයුරක් වේ ද මේ මිද්ධ යැ. එහි ථීන කවරෙ යත් : චිත්තයාගේ යම් තදබවක් තෙමරියක් ගුරුබවක් බරබවක් වේ ද මේ ථීන යැ. මේ ථීනය ද පළමු කී මිද්ධය ද ඒ දෙක ථීනමිද්ධනීවරණ යයි කියනු ලැබේ.

එහි උද්ධච්ච කවරෙ යැ: චිත්තයාගේ යම් නො සන්හිඳීමෙක් වේ ද මේ උද්ධච්ච යැ. එහි කුක්කුච්ච කවරෙ යැ : චිත්තයාගේ යම් හිරිනැසීමෙක් පැකිලීමෙක් වෙසෙසින් පැකිලීමෙක් සිත බිඳීමෙක් විපිළිසරෙක් වේ ද මේ කුක්කුච්ච යැ. මෙසේ මේ කුකුස ද පළමු කී උද්ධච්චය ද යන එ දෙක උද්ධච්චකුක්කුච්ච නීවරණ යයි කියනු ලැබේ.

එහි විචිකිච්ඡානීවරණ කවරෙ යැ : යමෙක් බුදුන් කෙරෙහි හෝ දහම්හි හෝ සඟුන් කෙරෙහි හෝ (සැක කෙරෙයි) ... මේ විචිකිච්ඡා නමු. තවද විචිකිච්ඡා පසෙකි : සමනන්තරායිකා දෙසන්තරායිකා සමාපත්‍යන්තරායිකා මග්ගන්තරායිකා සග්ගන්තරායිකා යයි, මේ පස් විචිකිච්ඡා යි. මෙහි වූ කලි සමවතට අන්තරායකර වූ (සමාපත්තන්තරායිකා) විචිකිච්ඡාව අදහස් කරන ලදු' මේ පඤ්චනීවරණයෝ යි.

එහි 'නීවරණානි' යනු වචනාර්ථ කවරෙ යැ: කොයින් වළකත් ද යත් : සර්වප්‍රකාරයෙන් කුශලපක්ෂයෙන් වළහත්. කෙසේ වළහත් ද යත්: කාමච්ඡන්ද තෙමේ අශුභයෙන් වළහයි, ව්‍යාපාද මෛත්‍රියෙන් වළහයි. ථීනය පස්සද්ධියෙන් වළහයි, මිද්ධය වීර්‍ය්‍යාරම්භයෙන් වළහයි, උද්ධච්චය සමථයෙන් වළහයි, කුක්කුච්චය අවිප්‍රතිසාරයෙන් වළහයි, විචිකිච්ඡාව ප්‍රඥායෙන් ප්‍රතීත්‍යසමුත්පාදයෙන් වළහයි.

අනිත් පරියායෙකි : කාමච්ඡන්දය අලොභකුශලමූලයෙන් වළහයි, ව්‍යාපාදය අදොස කුසලමූලයෙන් වළහයි, ථීනමිද්ධය සමාධියෙන් වළහයි, උද්ධච්චකුක්කුච්චය සතිපට්ඨානයන්ගෙන් වළහයි. විචිකිච්ඡාව අමොහකුසලමූලයෙන් වළහයි.

අනෙකුදු පරියායෙකි: දිව්‍යවිහාර යැ බ්‍රහ්මවිහාර යැ ආර්‍ය්‍යවිහාර යැයි විහරණයෝ තිදෙනෙකි. සතර ධ්‍යානයෝ දිව්‍යවිහාර යැ සතර අප්‍රාමාණ්‍යයෝ බ්‍රහ්මවිහාර යැ සත්තිස් බොධිපාක්ෂිකධර්මයෝ ආර්‍ය්‍යවිහාර යි. එහි කාමච්ඡන්දය ද උද්ධච්චය ද කුක්කුච්චය ද යන මොහු දිව්‍යවිහාරය වළහති, ව්‍යාපාදය බ්‍රහ්මවිහාරය වළහයි. ථීනමිද්ධය ද විචිකිච්ඡාව ද යන මොහු ආර්‍ය්‍යවිහාරය වළහත්.

අනෙකුදු පරියායෙකි : කාමච්ඡන්දය ද ව්‍යාපාදය ද උද්ධච්චකුක්කුච්චය ද යන මොහු සමථය වළහති, ථීනමිද්ධය ද විචිකිච්ඡාව ද යන මොහු විදර්ශනාව වළහත්. එහෙයින් නීවරණය යයි කියනු ලැබෙත්. ප්‍රථමධ්‍යානය මේ පඤ්ච අංගයන්ගෙන් විප්‍රයුක්ත වූයේ යි.

ප්‍රථමධ්‍යානය කවර පස්අඟෙකින් සම්ප්‍රයුක්ත වූයේ ද යත් : විතර්කවිචාරයන්ගෙන් ද ප්‍රිතියෙන් ද සුඛයෙන් ද චිත්තෛකාග්‍රතායෙන් ද යන පඤ්චාංගයෙනි. මේ පඤ්ච අංගයන්ගේ උත්පාද ප්‍රතිලාභයෙන් සමන්විත වූ සාක්ෂාත්ක්‍රියායෙන් ප්‍රථමධ්‍යානය ලබන ලදැයි කියනු ලැබේ. මේ පඤ්ච අංගයන් උපදවා වාසය කෙරේනුයි එයින් කියනු ලැබේ. 'ප්‍රථම ධ්‍යානය උපදවා දිව්‍යවිහාරයෙන් යුක්ත වැ වාසය කෙරේ යයි.

එහි ද්විතීයධ්‍යානය සතර අඟෙකින් සමන්විත වෙයි: ප්‍රීතියෙන් ද සුඛයෙන් ද චිත්තෛකාග්‍රතායෙන් අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදයෙනි. මේ සතර අංගයන් උපදවා සපයා වාස කෙරෙයි. එයින් කියනු ලැබෙයි. දෙවැනි ධ්‍යානය උපදවා වාස කෙරේ යයි.

එහි තෘතීයධ්‍යානය පස් අඟෙකින් සමන්විත වෙයි : ස්මෘතියෙන් සම්‍යග්ඥානයෙන් සුඛයෙන් චිත්තෛකාග්‍රතායෙන් උපෙක්ෂායෙන් යන මෙයිනි. මේ පඤ්ච අංගයන් උපදවා වාස කෙරෙයි. එයින් කියනු ලැබෙයි. තෙවැනි දැහැන උපදවා වාස කෙරේ යයි.

එහි චතුර්ථධ්‍යානය සතර අඟෙකින් සමන්විත යැ: උපෙක්ෂායෙන් ස්මෘතිපාරිශුද්ධියෙන් අදුක්ඛමසුඛවෙදනායෙන් චිත්තෛකාග්‍රතායෙන් ද යන සතරෙනි. චතුර්ථධ්‍යානය මේ සතර අංගයෙන් යුක්ත වූයේ යි. මෙසේ මේ සතර අංගයන්ගේ උත්පාද ප්‍රතිලාභයෙන් සමන්විත වූ සාක්ෂාත්ක්‍රියායෙන් චතුර්ධ්‍යානය ප්‍රතිලබ්ධ යයි කියනු ලැබේ. මේ සතර දැහැන් උපයා සපයා ඊට පැමිණ වාස කෙරෙයි. එයින් කියනු ලැබෙයි, 'දිව්‍යවිහාරයෙන් යුක්ත වැ වෙසේ යයි.

6–24. එහි අනිත්‍යාර්ථ කවරෙ යත්: පීඩනස්වභාවය අනිත්‍යාර්ථ යැ, ප්‍රහඬ්ගාර්ථය සම්ප්‍රාපනාර්ථය විවෙකාර්ථය අනිත්‍යාර්ථ යැ. මේ අනිත්‍යාර්ථ යි.

එහි දුඃඛාර්ථ කවරෙ යත් : පීඩනාර්ථය දුඃඛාර්ථ යැ සම්පීඩනාර්ථය සංවෙගාර්ථය ව්‍යාබාධනාර්ථය දුඃඛාර්ථ යි. මේ දුඃඛාර්ථ යි.

එහි ශුන්‍යතාර්ථ කවරෙ යත් : අනුපලිප්තාර්ථය ශුන්‍යතාර්ථ යැ අසම්භජනාර්ථය විගතාර්ථය විවර්තාර්ථය ශුන්‍යතාර්ථ යැ, මේ ශුන්‍යතාර්ථ යි.

එහි අනාත්මාර්ථ කවරෙ යත් : ඓශ්චර්‍ය්‍ය රහිතාර්ථය අනාත්මාර්ථ යැ වශයෙහි නො පවත්නා ස්වභාව, කැමැතිසේ නො කළහැකි බව, (පරිවිදාර්ථය?) අනාත්මාර්ථ යැ. මේ අනාත්මාර්ථ වේ යයි.