ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » චරියාපිටක පාළි » 1. දාන පාරමිතාව

1. අකීර්ති චර්‍ය්‍යාව

1. සාරා සඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයක් තුළ (අප මහ බෝසතුන්ගේ) යම් චරියාවක් වූ නම් ඒ සියල්ල සම්‍යක් සම්බොධිය හෙවත් සර්වඥතාඥානය මුහුකුරු වනු විය.

2. ඉකුත්වූ (සාරාසඞ්ඛ්‍ය කල්පලක්ෂ සඞ්ඛ්‍යාත) කල්පයෙහි කුදු මහත් භවයෙහි පුරුදු කරන ලද දානාදි ප්‍රතිපත්තිය හැර පියා මේ භද්‍රකල්පයෙහි චරිතය කියමි. (ශාරීපුත්‍රය) මාගේ වචනය අසව,

3. යම් කලෙක මම අකිත්ති නම් තවුස් ව ඉපිද ජනසඤ්චාර රහිත වූ කරගසින් ගහන වූ මහවනයෙහි පිවිස වාසය කෙළෙම් ද,

4. එකල මාගේ තවුස් තෙදින් තැවුණු සක්දෙව් රජතෙම බමුණු වෙස් ධරමින් පිඬු පිණිස මා වෙත එළඹ සිටියේ ය.

5. පවනින් අඹළ තෙල් ලුණු නැති (පිසූ) කරකොළ මාගේ දොර සිටියහු දැක භාජනයෙන් ගෙන (තමහට ඉතිරි නොකොට) ඔහට දිනිමි.

6. මම් සක්දෙව් රජහට කරකොළ දී භාජනය යටිකුරු කොට තබා නැවත (එදවස) අහර නොසොයා පන්සලට පිවිසියෙමි.

7. දෙවන තෙවන දවස්හි දු හේ මා වෙත එළැඹියේ ය. මම් මසුරු බැවින් නො සැලුණෙම් ලොභයෙන් නොලැගුණෙම් එසෙයින් මැ දිනිමි.

8. ඒ දානහෙතුයෙන් මාගේ ශරීරයෙහි විරූප බවෙක් නැති. දන්දීමෙන් ඇති වූ ප්‍රීති සුඛයෙන් හා අභිරතියෙන් එ තුන් දවස ඉක්මවීමි.

9. ඉදින් යම් හෙයෙකින් (ගුණයෙන්) උතුම් වූ දක්ෂිණාර්හ කෙනකුන් ලබම් නම් මසකුදු දෙමසකුදු නො සැලෙනුයෙම් නො පසුබස්නෙම් උතුම් වූ දානය දෙමි.

10. එ සක්දෙව් රජුට දන් දෙනුයෙම් යස පිරිවර සම්පත් හෝ (වක්‍රවර්ති සම්පත් ආදි වූ) ලාභයක් හෝ නො පැතීමි. වැළි, බුදුබව පතනුයෙම් ඒ දානමය පින්කම් කෙළෙමි යි.

පළමුවන අකීර්ති චර්‍ය්‍යාව යි.