ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » බුද්ධවංස පාළි » 8. පදුම බුද්ධවංශය

8. පදුම බුද්ධවංශය

1. ඒ අනොමදස්සී බුදුන්ට මෑතභාගයෙහි නමින් ‘පදුම’ නම් වූ අසම වූ අප්‍රතිපුද්ගල වූ ද්විපදොත්තම සම්බුදු කෙනෙක් වූහ.

2. ඒ බුදුන්ගේ ද ශීලය අසම යැ සමාධිය ද අනන්ත යැ උතුම් වූ (අසාධාරණ) ඥානය ද අප්‍රමෙය යැ අර්හත්ඵලවිමුත්තිය ද අනුපම වේ.

3. අතුල්‍ය වූ තෙජස් ඇති ඒ පදුම බුදුන්ගේ ද දම්සක් පැවැත්මෙහි මහත් වූ මොහඳුරු වනසන අභිසමයයෝ තිදෙනෙක් වූහ.

4. ධීර වූ සම්බුදුහු ප්‍රථමාභිසමයයෙහි කෙළසියක් සත්නට සත්‍යාවබොධය කළහ. ද්විතීයාභිසමයයෙහි අනූකෙළක් සත්නට සත්‍යාවබොධය කළහ.

5. යම් කලෙක පදුම බුදුහු ස්වකීය පුතණුවන්ට ඔවා දුන්සේක් ද එකල්හි අසූකෙළක් සත්නට තෘතීයාභිසමය වී.

6. මහර්ෂි වූ පදුම බුදුන්ට තුන් ශ්‍රාවක සන්නිපාත කෙනෙක් වූහ. කෙළසුවහසක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වී.

7. කෙළින්සිවුරු (කඨින) අතුරන සමයෙහි කෙළින්සිවුරක් උපන් කල්හි දම්සෙනෙවි සාල තෙරුන් පිණිස මහණහු සිවුර මැසූහ.

8. එකල්හි ඒ විගත රාගාදි මල ඇති ෂඩ්භිඥා ඇති මහත් සෘද්ධි ඇති අපරාජිත වූ තුන් ලක්ෂයක් මහණහු රැස්වූහ.

9. යළි මෑතභාගයෙහි ඒ නරශ්‍රෙෂ්ඨ වූ බුදුහු මහවනයෙහි වාසයට පැමිණියහ. එකල්හි දෙලක්ෂයක් රහතුන්ගේ සමාගමය වී.

10. එසමයෙහි මම් මෘගාධිපති සිංහරාජයෙක් වූයෙමි. මහවෙනෙහි නිරොධසමාපත්තියට සමවන් බුදුන් දුටුයෙමි.

11. (උන් වහන්සේගේ) පාසඟළ මුදුනින් වැඳ ඒ බුදුන් පැදකුණු කොට තුන් යලක් සිංහනාද කොට සතියක් මුළුල්ලෙහි උවටැන් කෙළෙමි.

12. තථාගතයන් වහන්සේ සත්දින උතුම් සමවතින් නැඟී (මෙහි පැමිණෙත්වයි) සිතින් සිතා නද

කොටියක් භික්ෂූන් රැස්කළහ.

13. එකල්හිදු ඒ මහත්වීර්‍ය්‍ය ඇති සම්බුදුහු ඒ භික්ෂූන් මධ්‍යයෙහි ‘මේ තෙමේ මෙයින් අප්‍රමෙය වූ කල්පයෙහි බුදු වන්නේ යැ’යි ප්‍රකාශ කළසේක.

14. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–

15. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.

16. ඒ පස්මරුන් දිනූ මහසත් නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතුබෝරුක් වෙත එළැඹෙයි.

17. ඉක්බිති ඒ මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඬ පැදකුණු කොට ඇසතුබෝරුක්මුල්හි හිඳ බුදු වන්නේ යැ.

18. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ’ පිතෘ තෙම ශුද්ධොදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.

19. කොලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.

20. බෙමා යැ උත්පලවර්‍ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ බුදුන්ගේ බොධිය ඇසැතු යයි කියනු ලැබෙයි.

21. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අගඋවටු වන්නාහ උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අගඋවට වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.

22. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඞ්කුරයෙකැ’යි දෙවිමිනිස්සු සතුටු වූවාහු–

23. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.

24. ඉදින් මේ ලොකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.

25. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්ථය වැරැදැ යටැ තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–

26. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.

27. මම් ඒ බුදුනුදුගේ බස් අසා තුෂ්ට වූයෙම් සංවෙගයට පැමිණි සිතැත්තෙම් දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි.

28. මහර්ෂි වූ පදුම බුදුන්ට චම්පක නම් නගරය විය අසම නම් ක්ෂත්‍රිය තෙම පිතෘ විය මව් තොමෝ අසමා නම් වූ.

29. උන් වහන්සේ දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. උත්තර යැ වසුත්තර යැ යසුත්තර යැ යි උතුම් තුන් පහයෙක් වී.

30. මොනොවට සරසනලද තෙවිසිදහසක් පරිවාරස්ත්‍රීහු වූහ. ඒ මෙහෙසි තොමෝ උත්තරා නම් වූ පුත්‍ර තෙම රම්‍ය නම් වී.

31. පස්මරුන් දිනූ බුදුහු සතර පෙරනිමිති දැක රථයානයෙකින් මහබිනික්මන් කළහ. පුරා අට මසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.

32. මහත්වීර්‍ය්‍ය ඇති පදුම නම් බුදුහු මහබඹහු විසින් අයදනාලදහු උතුම් වූ ධනඤ්ජය නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.

33. පදුම බුදුන්ට සාල යැ උපසාල යැ යි අගසවු දෙදෙනෙක් වූහ. වරුණ නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.

34. රාධා යැ සුරාධා යැ යි අග්‍රශ්‍රාවිකා දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවතුන්ගේ බොධිය ‘මහාසොණ’ යැ යි කියනු ලැබෙයි.

35. භිය්‍ය යැ අසම යැ යි අගඋවටුවෝ දෙදෙනෙක් වූහ. රුචි යැ නන්‍දරාමා යැ යි අගඋවට දෙනමක් වූහ.

36. ඒ පදුම බුදුහු අටපනස්රියන් උස් වූහ. උන් වහන්සේගේ යම වූ කැලුම් හැම දෙස නික්ම යෙයි.

37. සඳකැල්ම හිරුකැල්ම රුවන්ගිනි මිණිකැල්ම යන එහැම කැලුම්හු උතුම් වූ බුදුන්ගේ කැලුම් පැමිණ නටුවාහු වෙති.

38. එකල්හි හවුරුදු ලක්ෂයක් ආයු පැනෙයි, උන් වහන්සේ එතාක් සිටුනාහු බොහෝ ජනසමූහයා තරණය කරවූහ.

39. පැසුණු ඉඳුරන් ඇති සත්ත්‍වයන් නිඃශෙෂයෙන් අවබොධ කරවා සෙස්සනට අනුශාසනා කොට ශ්‍රාවකයන් සහිත උන්වහන්සේ පිරිනිවියහ.

40. සර්පයෙක් දිරූ සැව සෙයින් වෘක්ෂයෙක් පුරාණපත්‍රයක් සෙයින් හැම සංස්කාරයන් හැරපියා ඒ බුදුහු ගින්නක් සෙයින් පිරිනිවියහ.

41. ජිනවර වූ පදුම බුදුහු ධර්‍මාරාමයෙහි පිරිනිවියහ. ඒ ඒ පෙදෙස්හි ධාතූහු පතළහ.

අටවැනි වූ පදුම බුද්ධවංශ යි.