5476. (වරුණ නා රජ) සත්පුරුෂ වූ යමෙක් කිපියයුත්තහු කෙරෙහි නො කිපේ ද කිසිකලෙකත් කෝප නො කරන්නේ ද යමෙක් කිපියේ නමුදු කෝපය පහළ නො කෙරේ ද, ඒකාන්තයෙන් ඒ මනුෂ්‍යා ශ්‍රමණයෙකැ යි ලොවැ පඬිවරු කියති.
5477. (ගුරුළු රජ) මඳ අහර ඇති යමෙක් සාගිනි ඉවසා ද, ඉන්ද්‍රය දමනයෙන් හා තවුස් ගුණෙන් යුතුවූයේ පමණ දැන ආහාර පාන වළඳා ද, සාගින්න හේතුකොට පාපක්‍රියා නො කෙරේ ද ඒ මිනිසා ඒකාන්තයෙන් ශ්‍රමණයෙකැ යි ලොවැ පඬිවරු කියති.
5478. (සක්දෙවු රජ) යමෙක් කායික වාචසික ක්‍රීඩා ද දිව්‍ය කාමසුඛයෙහි ඇල්ම ද හැරපියා ස්වල්ප වූ හෝ බොරු නො කියා කාය මණ්ඩනයෙන් හා මෛථුනයෙන් වැළකුණේ ද, ඒකාන්තයෙන් ඒ මනුෂ්‍යයා ශ්‍රමණයෙකැ යි ලොවැ පඬිවරු කියති.
5479. (ධනඤ්ජය රජ) තමන් සන්තක ලෝභ කටයුතු සියලු වස්තූන් හැරදමා ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව සිත එකඟ කොටැ ගත් මමත්වය නැති කර ගත් ඒ පුද්ගලයා ඒකාන්තයෙන් ශ්‍රමණයෙකැ යි ලෙව්හි පඬිවරු කියති.
5480. අලාමක නුවණැති, කළමනා දෙය කරන (තොප) විචාරමි. අප කී ගාථාවන් නිසා උපන් විවාදයෙක් ඇත. අපේ සැකය දැන් පසිඳුව. තොප නිසා අද (අපි) සියල්ලෝ සැක රහිත වෙමු. (සිවුදෙනම විධුර පණ්ඩිතයන් පුළුවුත්හ.)
5481. (කී දෙයෙහි) අරුත් දක්නට සමත් යම් පණ්ඩිත කෙනෙක් වෙද්ද ඔහු ඒ විවාදය නුවණින් විමසා යථා කාලයෙහි පවසති. රජතුමනි, නො කී ගාථාවන්ගේ අර්‍ථය දක්ෂතා ඇත්තෝ වුවත් කෙසේ පමුණුවත් ද? (ඉදිරිපත් කෙරෙත් ද?)
5482. නාගරාජයා කෙසේ කියා ද? වෙනතෙය්‍ය නමැති ගුරුළා කෙසේ කියා ද? ශක්‍රයා කුමක් කියා ද? කුරුරට වාසීන්ගේ ධනඤ්ජය රජ කෙසේ කියා දැයි (විධුර පණ්ඩිත ඔවුන් විචාළේය.)
5483. ඒකාන්තයෙන් ඉවසීම උතුම්ය යි නාගරාජයා කිය යි. වෙනතෙය්‍ය නමැති ගුරුළා ස්වල්ප ආහාරය (ගැනීම) උතුම්ය යි කිය යි. පස්කම් සැපතෙහි ආශාව දුරු කිරීම උතුම්ය යි ශක්‍රයා කිය යි. කුරුරට වැස්සන්ගේ රජතෙම පළිබොධ රහිත බව උතුම්ය යි කිය යි.
5484. (විධුර පණ්ඩිත) මේ සියල්ල සුභාෂිත යැ. දුබැසි කිසිත් මෙහි නැති. චක්‍රනාභියෙහි අර ලෙසින් මේ ගුණදම් යමකු කෙරෙහි පිහිටා තිබේ ද, ඉවසීම ආදි (මේ) ගුණදම් සතරින් හෙබි පුද්ගලයා ඒකාන්තයෙන් ශ්‍රමණය යි ලොවැ (පඬිවරු) කියතියි කීය.
5485. ඔබ ශ්‍රෙෂ්ඨ වෙති, ඔබට වඩා උත්තමයෙක් නැති හෙයින් අනුත්තර වෙති. ඔබ ධර්‍මය රක්නාහ, ධර්‍මය දන්නාහ, මහා ප්‍රාඥය හ. සියනැණින් අපගේ පැනය මැනැවින් වටහා ගෙන අපගේ සැක පසිඳලූහ. ඇත්දළ කැටයම්, කරු කියතෙන් ඇත්දළය යම්සේ කපා ද එසේ අපේ සැක, විමති සිඳ දැමූහ.
5486. ප්‍රාඥය, නිලුපුල් පැහැයට සමාන වූ පවිත්‍ර වූ මහඟු වූ ධූමවර්ණ වූ මේ වස්ත්‍රය, ඔබගේ පැන විසඳුමෙන් තුටුපත් මම් ධර්‍මපූජා පිණිස ඔබට දෙමි.
5487. ප්‍රාඥය, විකශිත පද්මයක් වැනි කෙසුරු සහිත රත්න සහස්‍රයකින් යුක්ත වූ රන් මාලය දහම් පඬුරු විසින් පැන විසඳුමෙන් තුටුපත් මම ඔබට දෙමි.
5488. ප්‍රාඥය, මාගේ ගෙළැ පැළැඳි පැහැ විහිදෙන මනහර මේ මිණි දහම් පඬුරු වශයෙන්, මම පැන විසඳුමෙන් තුටුපත් වූයෙම් ඔබට දෙමි.
5489. පැන විසඳුමෙන් තුටුපත් මම දෙනුන් දහසක් ද වෘෂභයකු ද ඇතකු ද ආජානිය අශ්වයන් යෙදූ මේ රිය දසය ද ගම්වර සොළොසක් ද ඔබට දෙමි.
5490. (නාරජ) විමලාවෙනි, තිගේ සිරුර පඬුවන් ය, කෘශ ය, දුබල ය, පෙර තිබූ රූසිරි (දැන්) නැත. තිට කවර ශරීර වෙදනාවක් පවතී දැ යි මට කියව.
5491. මිනිසුන් අතරේ (වෙසෙන) ස්ත්‍රීන්ට දොළ දුක් ඉපැදීම ස්වභාවයෙකි. නාරජතුමනි, දැහැමින් (බලාත්කාරයෙන් තොරව) ගෙනා විධුරපඬිතුමාගේ හදවත පතමියි (ඕ කීවාය.)
5492. (නා රජ) දොළ විසින් චන්ද්‍රයා ප්‍රාර්‍ථනා කරහි සූර්‍ය්‍යයා ප්‍රාර්‍ථනා කරහි නොහොත් පවන ප්‍රාර්‍ථනා කරහි. විධුරගේ දර්ශනය පවා දුර්ලභ වන කල්හි කවරෙක් විධුර මෙහි ගෙන එන්නේ ද?
5493. (ඉරන්දති) පියාණෙනි, තෙපි කුමට සිතිවිලි සිතන්නවු ද? තොප වහන්සේගේ මුව අතින් මැඩලූ පියුමක් වැන්න. ඊශ්වරයාණෙනි, කුමට දොම්නස්සැහැවි ඇතියවු ද? සතුරන් ගේ තාපනයෙන් තෙපි නහමක් ශොක කරව.
5494. (නාරජ) ඉරන්දතිය, තීගේ මව විධුරගේ හදමස පතයි. විධුරගේ දර්ශනය පවා දුර්ලභ යි. කවරෙක් විධුර මෙහි ගෙන එන්නේ ද?
5495. යමෙක් විධුර මෙහි ගෙන එන්නේ නම් එබඳු ස්වාමියකු සොයව යි කී පියාගේ වචනය අසා ඕ තොමෝ රාත්‍රියෙහි (රජගෙන්) නික්මැ ක්ලෙශයෙන් ආර්ද්‍ර වැ (ස්වාමියකු සොයා) හැසුරුණා යැ.
5496. කවර නම් ගඳඹෙක් රකුසෙක් නාගයෙක් කිඳුරෙක් මිනිසෙක් (ඔවුනතර) සියලු කාමසම්පත් දෙන කවර නම් පණ්ඩිතයෙක් (මාගේ මවගේ මනදොළ සපුරා) දීර්ඝ කාලයක් මට ස්වාමි වන්නේ ද?
5497. ප්‍රශස්ත නයන ඇත්තිය, සැනැහෙව. තීගේ ස්වාමි වෙමි. හර්තෘ වන්නෙමි. මට එබඳු (විධුරගේ හදමස් ගෙනෙනු සමත්) ප්‍රඥායෙක් ඇති. සැනැහෙව, මට භාර්‍ය්‍යා වව.
5498. ඉක්බිති ඉරන්දතී තොමෝ පූර්වභවය අනුවගිය සිතින් යුතු වැ ඔහට මෙසේ කීවා යැ. එව, මාගේ පියා වෙත යම්හ. තෙල පිය තෙමේ මැ තොපට මෙ කරුණ කියන්නේ යැ.
5499. අලංකෘත වූවා හැඳගත් මනාවස්ත්‍ර ඇති පැළැඳි මාලා ඇති ගැල්වූ සඳුන්කල්ල ඇති ඉරන්දතී (පූර්ණක) යක්ෂයා අතින් ගෙන පියා වෙත පැමිණියා.
5500. (පූර්ණක) නාරජතුමනි, මාගේ වචනය අසනු මැනැවි. දූකුමරියට අනුරූප සුංවත් (දායද්‍ය) පිළිගනු මැනැවි. මම ඉරන්දතිය පතමි. තෙපි ඇය හා මාගේ සහභාවය කරව.
5501. ඇත්තු සියයෙක, අශ්වයෝ සියයෙක, වෙළඹුන් යෙදූ රථ සියයෙක, නන්රුවනින් පිරිපුන් බඩුගැල් සියයෙකි. නාරජුනි, එහැම පිළිගනු මැනැවැ. ඉරන්දතී දියණියන් දෙව,
5502. (යක් සෙනෙවිය,) යම්තාක් නෑයන් ද මිතුරන් ද සුහද ජනයා ද අමතම් ද ඒ තාක් බලව. නො අමතා කළ කර්‍මයක් වේ නම් ඒ පසුතවායයි (නාරජ කී.)
5503. ඉක්බිති ඒ වරුණ නාරජ නිවෙස්නට පිවිසැ භාර්‍ය්‍යාව අමතා මෙවදන් කී:
5504. මේ ඒ ප්‍රසිද්ධ පූර්ණක යක්ෂ තෙම මාගෙන් ඉරන්දතිය ඉල්වයි. බොහෝ වූ ධනලාභයෙන් ඔහට මාගේ ප්‍රිය වූ දියණිය දෙම්හ.
5505. (විමලා) ධනසම්පතින් අපගේ ඉරන්දතී නො ලැබිය හැක්ක. ඉදින් පණ්ඩිතයන්ගේ හදමස දැහැමින් ලැබැ මෙහි ගෙන එන්නේ නම් තෙල ධනයෙන් කුමරි ලැබියහෙයි. මත්තෙහි අන් ධනයක් නො පතම්හ.
5506. ඉක්බිති ඒ වරුණ නාරජ නිවෙසින් නික්මැ අවුත් පූර්ණක අමතා මෙවදන් කී:
5507. ධනසම්පතින් අපගේ ඉරන්දතී නො ලැබියහෙයි. ඉදින් පණ්ඩිතයන්ගේ හදමස දැහැමින් ලැබැ මෙහි ගෙන එන්නෙහි නම් තෙල ධනයෙන් කුමරි ලැබියහෙයි. මත්තෙහි අන් ධනයක් නො පතම්හ.
5508. (පූර්ණක) ලෝකයෙහි යමකු පණ්ඩිත යැ යි කෙනෙක් කියත් ද යළි ඔහු මැ බාලයෙකැ යි අන් කෙනෙක් කියති. මෙහිලා විවාද කෙරෙති. මට කියව, නාරජුනි, තෙපි කවර නම් පණ්ඩිතයකු ගෙනැ කියවු ද?
5509. ඉදින් තොප විසින් ධනඤ්ජය කොරව්‍ය රජුගේ විධුර නම් පණ්ඩිතයෙක් අසනලද වේ ද, එ පණ්ඩිතයා දැහැමින් ලැබැ ගෙනෙව. තොපට ඉරන්දතී පාදපරිචාරිකා වේවා.
5510. වරුණ නාරජුගේ මෙ වදන් අසා ප්‍රමුදිත වූ පූර්ණක යක්ෂ හුනස්නෙන් නැඟී, එහිම සිට, සැරසූ ආජානීය අසකු ගෙනෙවයි සේවකයකුට අණ කෙළේය.
5511. මනෝමය අශ්වයාට ස්වර්ණමය කන් ඇත. රක්ත මාණික්‍යමය කුර ඇත. ජාම්බොනද රනින් නිම වූ උරසැත්මාලා (පපුවැස්ම) ඇත.
5512. අලංකෘත වූයේ මනහරසේ සැරහූ කෙස් රවුළු ඇති පූර්ණක යක්ෂයා දේවවාහවහ නමැති අසු අරා අහසින් ගියේය.
5513. කාමවේගයෙන් ගිජු වූ ඒ පූර්ණකයා ඉරන්දතී නාමෙනෙවිය පතමින්, භූතාධිපති වූ පරිවාර සම්පත් ඇති වෛශ්‍රවණ වෙත ගොස් මෙසේ කීය:
5514. රනින් නිමහම් කළ නගරයෙහි මැදුරු භෝගවතී, වාසා, හිරඤ්ඤවතී යන නම් ඇත්තේය යි කියනු ලැබේ. දරණයෙන් යුතු නාරජුගේ නගරයෙහි (මෙසේ) නිමහම් කරන ලද්දේය.
5515. ඔටුගෙලසේ දිගැති, රක්තමාණික්‍යයෙන් හා මසාරගල්ල නමැති මාණික්‍යයෙන් කළ අටලු (වේදිකා) ඇත්තේය. මෙම නාගභවනයෙහි මිණිමුවා ප්‍රාසාදයෝ රන්මුවා උළින් වසන ලද්දෝය.
5516-17. අඹ මදට දඹ රුක්අත්තන මිදෙල්ල වැටකේ පියල් එරහැඳි මීඅඹ එරබදු සපු නා යොහොඹු කොබලිල යන මේ රුක්හු මල් පල ගත්තාහු අතුපතරින් ගැවසුනාහු නාගමන්දිරය අලංකාර කෙරෙති.
5518. ඔපපාතිකව උපන් මහත් ඍධි ඇති වරුණ නාරද යම් තැනෙක වෙසේ ද (එතැන) මෙම නාග භවනයෙහි නිතර පිපුණ රන්මුවා මල් ඇති, ඉඳුනිල්මිණිමුවා ඉඳිගස් බොහෝ යැ.
5519. රුවන් රැසක් වැනි (බබළන) ශරීර ඇති, (මදපවනින් ලෙලෙන) කළුවැල් දල්ලක් මෙන් නැඟී සිටි, කොසඹපල බඳු තනපුඩු ඇති දර්ශනී වූ ඔහුගේ තරුණ බිරිඳ විමලා නමැත්තීය.
5520. ඕ ලතුදිය වන් රත්පැහැ (අතුල්පතුල්) සිවි ඇත්තීය. නිවාතස්ථානයෙක් පිපීගිය මල් ඇති කිණිහිරිරුකක් වැන්න. දිව්‍යභවනයෙහි හැසිරෙන දෙවඟනක් වැන්න. ඝන වලාපටලයකින් නික්මුණු විදුලියක් වැන්න.
5521. සුන්දර සිනා ඇති ඕ දොළ ඇත්තී, විධුර පණ්ඩිතයන්ගේ හදවත පතන්නීය. ඉසුරාණෙනි, එය මම ඔවුනට දෙමි. එම හේතුවෙන් ඔවුහු ඉරන්දතිය මට පාවා දෙන්නාහ.
5522. ඒ පූර්ණක යක්ෂසෙනාධිපති තෙම, යකුන්ගේ අධිපති වූ පරිවාරසම්පත් ඇති කුවේර නම් වූ වෙසවුණු රජු අමතා අවසර ගෙන එහි මැ සිටියේ සරසන ලද ආජානීය අසකු මෙතැනට ම ගෙනෙවයි සේවකයකු ඇණැ වී.
5523. අසුගේ සවන් රනින් ද, කුර රතුකැටින් ද, පපුවැස්ම ජාම්බොනද ස්වර්ණයෙන් ද කරන ලද්දේය.
5524. අලංකෘත වූයේ මනහර ලෙසින් සැරසූ කෙහෙ රවුළු ඇති පූර්ණක යක්ෂ දේවවාහවහ නම් අසු පිටැ නැඟැ අහසින් ගියේය.
5525. හෙතෙම ආහාරපාන බහුල, ශක්‍රයාගේ මසක්කසාර පුරය සදෘශ වු සතුරන්ට ළංවිය නොහෙන අතිශය රම්‍ය වූ අඟුරජුගේ රජගහපුරයට පැමිණියේය.
5526. මොනර කොස්ලිහිණි සමූහයා විසින් ඝොෂිත වූ, අන්‍ය පක්ෂීන් විසින් හඬනඟන ලද, පක්ෂි සමූහයා විසින් සෙවුනා ලද නොයෙක් සකුණන් විසින් කරනලද නාද ඇති සුන්දර අඞ්ගන ඇති මල් විසුළ හිමවත් පව්ව බඳු,
5527. කිඳුරන් නිරතුරු හැසිරෙන වෙපුල්ල පර්වතයට ඒ පූර්ණක නැගේය. උදාර වූ මිණිරුවන සොයන්නේ පර්වතකූට මධ්‍යයෙහි එය දුටුවේය.
5528. පැහැ විහිදෙන්නා වූ මහඟු වූ රිසි සම්පත් දෙන්නාවූ (පරිවාර) මාණික්‍යයන් නිසා අධික දීප්තියෙන් යුක්ත වූ යසස් ඇත්තාවූ අහසේ බැබළෙන විදුලියක් වන් (ඒ) මිණිරුවන දැක,
5529. මහත් අනුභාව ඇති (සිතූ පැතූ සම්පත් දෙන බැවින්) මනෝහර නම් වූ මහාර්ඝ ඒ වෛදූර්ය මාණික්‍යය (හේ) ගත්තේය. අලාමක පැහැති පූර්ණක යක්ෂ තෙමේ (එය ගෙන) ආජානීය අසු අරා අහසින් ගියේය.
5530. ඒ යක්ෂතෙම ඉඳිපත් නුවරට පැමිණියේය. අසු පිටින් බැසැ කුරුරජුනගේ සභාවට පැමිණියේය. (ඒ) සභාවෙහි රැස්ව සිටි එක්සියක් රජුන් (දූකෙළියට) නො බියව කැඳවී.
5531. මෙහි සිටින රජුන්ගෙන් කවරෙක් උතුම් මිණිරුවන දිනා ද? අපි කවරක්හු උතුම් ධනයෙන් දිනමෝ ද? කවර නම් උතුම් රුවනක් දිනමෝ ද? කවරෙක් හෝ උතුම් ධනයෙන් අප දිනා ද?
5532. (ධනඤ්ජය රජ) තොපගේ ජාතභූමිය කවර රටෙක ද? තොපගේ මේ කථාව කුරුරට වැසියකුගේ මෙන් නො වේ. (තොපගේ) සිරුරු පැහැයෙන් අප හැම අභිභවනය කෙරෙහි. තොපගේ නම ද නෑයන් ද මට කියව.
5533. (පූර්ණක) මහරජ මම කච්චායන නමැති මාණවක වෙමි. අනූන නමින් (සෙස්සෝ) මා අමතති. අඟුරටෙහි මාගේ නෑයෝ ද බන්ධූහු ද වෙසෙති. දේවයෙනි දූකෙළි පිණිස මෙහි පැමිණියෙම් වෙමි.
5534. (රජ) අක්ෂධූර්තයෙක් තා දිනමින් යම් වස්තූන් ගෙන යා නම් කිම එබඳු රත්නයෝ මාණවකහට ඇද් ද? රජහට බොහෝ රත්න ඇත. තෙපි දිළිඳුව කෙසේ නම් ඒ රජුන් (දූකෙළියට) කැඳවහු ද?
5535. (පූර්ණක) මේ මාගේ ‘මනොහර’ නම් මාණික්‍යය ධන සම්පත් ගෙනෙන උතුම් මිණිරුවනෙකි. මේ ආජානීයයා ද සතුරන් තවන අස්රුවනෙකි. අක්ෂධූර්තයෙක් මා දිනා තෙල රුවන් ගෙන යන්නේ යැ.
5536. (රජ) තරුණය, මේ එක මැණික කුමක් කරන්නේ ද? මේ එක ආජානීය අශ්වයා කුමක් කරන්නේ ද? රජහට බොහෝ මිණිරුවන් ඇත. වාතවේග ඇති ආජානීය අශ්වයෝ අනල්ප යැ.
දොහළ කාණ්ඩ යි.
5537. (පූර්ණක) නරදේවයනි තෙපි මාගේ මේ මිණි රුවන බලව. මෙහි ස්ත්‍රීන්ගේ රූප ද පුරුෂයන්ගේ රූප ද ඇත.
5538. මුවන්ගේ රූප ද පක්ෂීන්ගේ රූප ද පැනෙයි. නාගයන් ද ගුරුළන් ද මැණිකෙහි නිමැවුණු (පැණෙන) අසිරි බලව.
5539. මිණිරුවනෙහි නිමැවුණු හස්ති සේනා, රථ සේනා, අශ්ව සේනා, ධජ වලින් යුත් (සැදුම් ලත්) පාබළ සේනා යන චතුරඞ්ගිනී සේනා බලව.
5540. ඇතරුවන්, අසරුවන්, රියැදුරන්, පාබළ සෙබළුන් යන සේනා සමූහය මැණිකෙහි නිමැවුණු අසිරි බලව.
5541. උස්වූ පදනම් ඇති බොහෝ පවුරු හා තොරණ ඇති පුරය ද සිවුමංසල හා ළගන්නා භූමිභාග ද මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
5542. ඉන්ද්‍රඛීලය ද දිය අගල ද නුවර දොර කවුළු ද අටලු ද දොරකොටු ද මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
5543-44. තොරණ‘ගෙහි (තොරණ මුදුනැ) හංසයන් කොස් ළිහිණින් මොනරුන් සක්වාළිහිණින් ඇටිකුකුළන් කළුකොවුලන් විසිතුරු පියාපත් ඇති කොවුලන් හා ජීවංජීවක පක්ෂීන් යන බොහෝ පක්ෂීන්ගේ (රූ සටහන්) ඇත. නොයෙක් වර්ගයනට අයත් පක්ෂීන් ගැවසී ගත් අයුරු මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
5545. මැනැවින් ගොඩ නැගූ පවුරු ඇති අසිරිමත් වූ ලොමුදහගන්නා වූ නඟන ලද ධජ ඇති මනස්කාන්ත වූ රන්වැලි අතුළ නගරය බලව.
5546. (ඒ නගරයෙහි) කොටස් විසින් බෙදූ ආපන ශාලා ද නිවාස ද ගෙබිම් ද ගෘහසන්ධි ද කුදුමහත් වීථි ද බලව.
5547. සුරාසැල් ද සුරාසොඬුන් ද අඞ්ගානි ද මුළුතැන් ගෙවල් ද වෙසඟනන් ද ගණිකාවන් ද යන මොවුන් මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
5548. මල්කරුවන් රජකයන් විලවුන් වෙළෙන්ඳන් රෙදි වෙළෙඳුන් රන්කරුවන් මැණික්කරුවන් යන මොවුන් මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
5549. බත් පිසන්නවුන් ද මාළු පිසන්නවුන් ද නළුවන් හා ගායකයන් ද අත්තල ගසන්නන් හා කළබෙර වයන්නන් ද මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
5550. මහබෙර මිහිඟුබෙර සක් ගැටබෙර පනාබෙර ද සියලු තූර්ය විශෙෂ ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5551. කුළුතාළම් ද, වීණා ද, නැටුම් ගැයුම් හා තූර්‍ය්‍යවාදන ද, තූර්‍ය්‍යවාදන ප්‍රතිරාව ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5552. කරනම් ගසන්නෝ යැ, මුට්ඨිමල්ලවයෝ යැ, ඉන්ද්‍රජාලිකයෝ ය, නගරය හොබවන ස්ත්‍රී පුරුෂයෝ යැ යන මොවුන් ද සොහොන් ගොව්වන් හා කරනෑවැමියන් මැණිකෙහි නිර්මිත ඇසිරිය බලව.
5553. ස්ත්‍රී පුරුෂයන්ගෙන් ගැවසුණා වූ මැසි පිට මැසි බඳින ලද කෙළිබිම් ද වෙයි. එහැම මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5554. මුෂ්ටිමල්ලයන්ගේ රඟමඬලෙහි අධිකව අත්පොළසන් දෙන්නන් ද, ජයග්‍රාහකයන් ද, පරාජිතයන් ද මැණිකෙහි නිර්මිත අයුරු බැලුව මැනැවි.
5555. බලව, පර්වත පාමුලැ සිංහයෝ ද ව්‍යාඝ්‍රයෝ ද ඌරෝ ද වලස්සු ද වෘකයෝ ද කළුහිසැති වලස්සු ද බොහෝ වෙසෙති.
5556. කගවේණෝ ගවරු මීමෝ රෝහිත මුවෝ රූරුමුවෝ ඒනිමුවෝ ඌරෝ ගෝන්නු යන මෘගයෝ ද,
5557. කෙසෙල් මුවෝ ද, (තවත්) ඉතා විසිතුරු මෘගයෝ (ජාතිහු) ද වලබළල්ලු ද සාවෝ ද මීමින්නෝ ද මෙහි වෙති. නොයෙක් මෘගසමූහයාගෙන් ගැවසුණුසේ මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5558. මැනැවින් (සකස්කළ) තොටුපළ ඇති රන්වන් වැලි අතුළ මත්ස්‍ය සමූහයාගෙන් ගැවසීගත් පිවිතුරු ජලය ඇති ගංගාවෝ ගලා බසිත්.
5559. (ගඟෙහි) කිඹුල්ලු යැ මෝරු යැ ශිශුමාර යැ කැස්බෝ යැ පෙටියෝ ය ලූල්ලු යැ වලයෝ යැ මොද මස්සු යැ රේමස්සු ය යන මේ සත්ත්වයෝ ද ඇත.
5560. නානා වෘක්ෂ රාශියෙන් යුක්ත, නානාවිධ පක්ෂිගණයා ඇති, වෛඩූර්‍ය්‍ය පාෂාණයන්හි හැපී හඬ නගන ගංගාවෝ (මෙහි) ඇතියහ. එ හැම මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5561. මෙහි (මාණික්‍යයෙහි) මනා ලෙස බෙදුණු සිව් දිගුන් ඇති, නොයෙක් පක්ෂි සමූහයා ගැවසීගත්, නොයෙක් මත්ස්‍ය වර්ගයා ද වෙසෙන තඩාගයෝ ද වෙත්. එය බලව.
5562. හාත්පස්හි ජලයෙන් වට වූ සාගරය කුණ්ඩලාභරණ කොට ඇති වනරොදින් යුතු මිහිතලය මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5563. පෙරදිග පූර්වවිදෙහය ද පැසුළුදිග අපරගෝයානය ද, (උතුරු දිගෙහි) උතුරුකුරු දිවයින ද, (දකුණෙහි) දඹදිව ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5564. සතර දිසා ආලෝක කරන මහමෙර සිසාරා යන සඳ ද හිරු ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5565. මහමෙර ද, හිමාලය ද, සයුර ද මහත් අනුභාව ඇති සතරවරම් දෙවිරජවරුන් ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5566. ආරාම ද වනලැහැබ් ද ගල්තලා ද කිඳුරන් ගැවසුන සිත් ගන්නා පර්වත ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5567. ඵාරුසක චිත්‍රලතා මිස්සක නන්දන යන වනයන් (උයන්) ද, විජයොත්පහය ද මාණික්‍යයෙහි නිර්මිතව ඇති අයුරු බලව.
5568. සුධර්‍මා නමැති දෙව් සබය ද තව්තිසා දෙව්ලොව ද (මල්) පිපුණු පරසතු රුක ද එරාවණ ඇතු ද මාණික්‍යයෙහි නිර්මිතව ඇති අයුරු බලව.
5569. අහසින් මතු වූ විදුලිය වැනි දෙවඟනන් බලව. නන්දන වනයෙහි හැසිරෙන දෙවඟනන් මාණික්‍යයෙහි නිර්මිතව පෙණෙන අයුරු බලව.
5570. දිව්‍යපුත්‍රයන් පොළඹවන දිව්‍යාංගනාවන් බලව. හැසිරෙන දෙව්පුතුන් මැණිකෙහි නිර්මිතව පෙණෙන අයුරු බලව.
5571. වෙරළුමිණි මුවා පුවරු අතුළ දීප්තිමත් පැහැයෙන් යුක්ත වූ දහසකට අධික දිව්‍යප්‍රාසාද මාණික්‍යයෙහි නිර්මිත අයුරු බලව.
5572. තව්තිසා යාම තුසිත නිර්මාණරති පරනිර්මිත වසවර්ති යන දෙව්ලෝහි දෙවියන් මාණික්‍යයෙහි මැවී ඇති අයුරු බැලුව මැනැවැ.
5573. අතිශයින් පවිත්‍ර ප්‍රසන්න ජලය ඇති හෙල්මැල්ලෙන් හා පියුම් උපුලින් ගැවැසි පොකුණු බැලුව මැනැවි.
5574. මාණික්‍යයෙහි සුදුහිරි දසයක් ද සිත්ගන්නා නිල්හිරි දසයක් ද, පිඟුවන්හිරි සයක් හා පසළොසක් ද, කසාවන්හිරි තුදුසක් ද වෙයි.
5575. රන්පැහැ හිරි විස්සක් ද රිදීපැහැ හිරි විස්සක් ද රත් ඉඳුගොව්වන් පැහැ බඳු හිරි තිසක් ද මාණික්‍යයෙහි ඇත.
5576. මාණික්‍යයෙහි කළු හිරි දසයක් හා සයක් ද මදටිය පැහැ හිරි විසිපහක් ද වේ. කළුපැහැ හා මදටියපැහැහිරි බඳුවදමලින් හා නිලුපුලින් මුසු වැගියෙන් විචිත්‍රිත ය.
5577. දෙපා ඇතියනට උතුම් රජතුමනි, මේ හැම අංගයන්ගෙන් හෙබි රැස් ඇති පැහැ විහිදෙන පරදුව බලව. (දූකෙළියෙහි යමෙක් දිනා ද ඔහුට අයත් වන්නේ ය.)
මණිකාණ්ඩ යි.
5578. පූර්ණක ක්‍රීඩා ශාලාව සාදා අවසන් ය. දාදුකෙළින තැනට එන්නේ මැනැවැ. මෙවැනි මාණික්‍යයක් ඔබට නැත. ක්‍රීඩාවෙහි යෙදෙන අපි සැහැසි ලෙස නොව දැහැමි ලෙස දිනන්නමු. දිනුවහුට කල් නොයවා ධනය දෙනු යෙහේ.
5579. සුප්‍රකට පඤ්චාල රජ ද, සූරසේන රජ ද, මච්ඡ රජ ද, කේකක දනව්වේ රජු සමග මදුරට රජ ද යන තුලුහු අපේ මේ සටන අසඨ වැ බලත්වා! සභායෙහි කිසි සාක්ෂ්‍යයක් නො කරන්නේ නො වේ. (හැමදෙනා දකිති යි සේ යි.)
5580. කුරුරට වැසියන්ගේ රජතුමා ද පූර්ණක යක්ෂයා ද දාදු ක්‍රීඩායෙන් මත් වැ ක්‍රීඩාශාලාවට පිවිසියහ. රජ තෙම සූවිසි අයස්ථාන සොයමින් පරාජය (වන පිළ) තෝරා ගත්තේ ය. යක්ෂ තෙම දිනුම් පිළ තෝර ගත්තේ ය.
5581. ඔව්හු දෙදෙන ක්‍රීඩා ශාලාවෙහි දූකෙළි කෙළියහ. රජුන් සමීපයෙහිත් මිතුරන් මැද්දෙහිත් නරවීර වූ ශ්‍රෙෂ්ඨ වූ රජු පරදවා යක්ෂයා දිනුවේ ය. එහි සූදුවෙහි මම දිනිමි යි ඉමහත් ඝෝෂයක් විය. (නාදය පැතුරුණේ ය.)
5582. (පූර්ණක) රජතුමනි, ජය හෝ පරාජය හෝ ව්‍යායාම කරනුවන් අතුරෙන් එක්තරයකුට වෙයි. නිරිඳුනි, උත්තම ධනයෙන් පිරිහී ගියහු. මා විසින් තෙපි දිනන ලදුව. වහා මට දිනුම දෙව.
5583. (රජ) ඇත්තු ද ගවයෝ ද අශ්වයෝ ද මිණිකොඬොල් ද, පොළොවෙහි මා සතු යම් රත්නසමූහයක් වේ ද කාත්‍යායනය, ඒ ධනය අතුරෙන් උතුම් ධනයක් ගනුව. ගෙන රිසි දිසාවෙකින් යව.
5584. (පූර්ණක) ඇත්තු ද ගවයෝ ද අශ්වයෝ ද මිණිකොඬොල් ද, මේ පොළොවෙහි තොප සතු රුවන් රැසක් වේ ද, ඒ ධනයෙන් විධුර නමැති ඇමති තෙම ඉතා උතුමි. හේ මා විසින් දිනන ලද. ඔහු මට පරදු කොට දෙව.
5585. (රජ) හේ මාගේ පණ ද පිහිට ද ගතිය ද ප්‍රතිෂ්ඨාස්ථානයද ආරක්ෂාස්ථානය ද ඉතා උත්තම ප්‍රතිෂ්ඨාස්ථානය ද වෙයි. හේ මාගේ ධනයට සම කළ නො හැක්ක. තෙල, විධුර ඇමති මාගේ පණ හා සම වෙයි.
5586. (පූර්ණක) මාගේ ද තොපගේ ද විවාදය බොහෝ කල් පවත්නේ ය. එහෙයින් ඔබ වෙත ගොස් විචාරමු. තෙල තැනත්තේ ම මේ කරුණු අපට ප්‍රකාශ කෙරේවා! හේ යමක් කියා ද එය අප දෙදෙනාට ප්‍රමාණ වේවා!
5587. (රජ) මාණවකය, එකාන්තයෙන් තොප කියන්නේ සත්‍යයෙක. සැහැසි නො වෙයි. ඔහු වෙත ගොස් අසමු. ඔහුගේ ප්‍රකාශයෙන් අපි දෙදෙනා තුටු වෙමු.
5588. (පූර්ණක) කුරු රටෙහි (සත්‍ය) ධර්‍මයෙහි පිහිටි විධුර නමැති ඇමැතියෙක් ඇතැ යි දෙවියෝ කියති. එය සත්‍යයක් ද? (ඔබ) රජුගේ දාසයෙක් ද? නැතහොත් නෑයෙක් ද? ලොවෙහි විධුර යන ප්‍රඥප්තිය කවරකු වී ද?
5589. (විධුර පණ්ඩිත) සමහරු ගෙයිදා මිඬිය කුසැ උපන් දාසයෝ ද වෙති. සමහරු මිල දී ගත් දාසයෝ වෙති. සමහරු (තුමූ ම) දාසබවට පත් වූවාහු වෙති. සමහරු බිය නිසා දාසබවට පත් වූවෝ වෙති. මිනිසුන් අතර දාසයෝ සතර කොටසක් ම වෙත්.
5590. ඒකාන්තයෙන් මම ද දාසයෝනියකින් උපන්මි. වැඩ ද රජහට යැ, අවැඩ ද රජහට යැ, දුරුරට ද ගොස් මම දේවයන්ට දාස වෙමි. මාණවකය, රජ තෙම මා දැහැමින් තොපට දෙන්නේ යැ.
5591. (පූර්ණක) අද මාගේ මේ දෙවැනි දිනීම ය, පුළුවුස්නා ලද ඇමැති තෙම මෙම පැනය විසඳී ය. රජතුමා එකත්නෙන් අධර්‍ම ස්වභාව ඇත්තේ ය. විධුර පඬිතුමන්ගේ සුභාෂිතය මට නො අනුදන්නෙහි ය.
5592. (රජ) මම දාසයෙක් වෙමි, නෑයෙක් නො වෙමි යි මෙලෙස අපගේ පැනය විසඳුවේ නම්, මාණවකය, ධන අතුරෙන් උතුම් ම ධනය වූ මොහු ගෙන, කැමති දිසාවකින් යවයි කීය.
ද්‍යුතකාණ්ඩ යි.
5593. (රජ) විධුර පණ්ඩිතයනි, සිය නිවෙසෙහි වෙසෙන ගිහියාට (තම) ආරක්ෂාව කෙසේ වන්නේ ද? (චතුර්විධ) සංග්‍රහය කෙසේ වේ ද?
5594. කෙසේ නිදුක් වේ ද? කෙසේ සත්‍යවාදී වේ ද? කෙසේ මෙලොවින් පරලොව ගොස් ශොක නො කෙරේ ද?
5595. දම්සෙබෙහි ඤාණගති ඇති, ධෛර්ය ඇති, විපුල ප්‍රඥා ඇති, සූක්ෂම අර්‍ථ දන්නා නුවණ ඇති හැම දහම් පිරිසිඳ දන්නා නුවණ ඇති විධුර පඬිතෙමේ රජුහට මෙය කී ය:
5596. අනුන් අයත් බිරියන් හා වැරැදි හැසිරීම නො කටයුතු. රසවත් අහර තනිව රස නො විඳියයුතු. ඥාන වර්ධනයට හේතු නොවන ලෝකයාත ශාස්ත්‍රය නො සෙවියයුතු.
5597. සිල්වත් වීම ය වත්සපන් වීම ය කුසල්දහම්හි අප්‍රමාද වීම ය තියුණු නුවණැති වීම ය යටත් පැවැත්ම ය මසුරු නො වීම ය සුවච බව ය මිහිරි කථාව ය මොලොක් බව ය (යන මේ ගති) ඇත්තෙක් වන්නේ ය.
5598. මිතුරනට සංග්‍රහ කරන්නේ දුගී මගී ආදීන්ට බෙදා දී වළඳනුයේ කටයුතු සංවිධාන කරනුයේ හැම කල්හි මහණ බමුණන් ආහාරපානයෙන් සතුටු කරන්නේ යැ.
5599. දහම් කැමැතිවීම ය දැනීම දියුණු කිරීම සඳහා මහණ බමුණන්ගෙන් පිළිවිසීම (ප්‍රශ්න කිරීම) සිල්වතුන් හා උගතුන් ගෞරව පූර්වකව ඇසුරු කිරීම ය (යන මේ කටයුතු) කරන්නේ ය.
5600. සිය නිවසෙහි වෙසෙන ගිහියාගේ ආරක්ෂා සහිත පැවැත්ම මෙසේ යැ. ඔහුගේ චතුර්විධ සංග්‍රහය ද මෙසේ වන්නේ ය.
5601. සත්‍යවාදී මාණවක තෙම මෙසේ (පිළිපැදීම නිසා) ව්‍යාබාධ රහිත වන්නේ ය. මෙලොවින් පරලොවට ගොස් පරලොව දී ශෝක නො කරන්නේ යි.
ගෘහවාස ප්‍රශ්න යි.
5602. ස්වාමියා විසින් තෙපි මට දෙනලද්දාහු යැ. එව දැන් යමු. මාගේ ම අභිවෘද්ධිය පතා පිළිපදින්න (ක්‍රියා කරන්න). මෙය සනාතන ධර්‍මයෙකි. (පෙර සිට පවත්නා නැණවතුන්ගේ ස්වභාවය යි.)
5603. මාණවකය, තා විසින් මම ලබන ලදිමි යි දනිමි. ස්වාමීහු විසින් මම තොපට දෙන ලද්දෙමි. දරුවන්ට අනුශාසනා පිණිස යම් පමණ කල් යේ ද එ පමණ (කල්) තුන් දිනක් අපගේ නිවසේ වසමු.
5604. තොප කියන ලෙස සියල්ල මට සිදුවේවා. තුන් දවසක් ගෙදර වසමු. පින්වත් තෙමේ, අද ගෘහයේ අනුශාසනා කෙරේවා. තොප ගිය පසු දරුවන්ට සෙත් ලැබෙන්නේ යම් ලෙසකින් නම් එසේ අනුශාසනා කෙරේවා.
5605. මහාභොග ඇති යක්ෂ තෙම යහපතැයි කියා විධුර පඬිතුමා සමග පිටත් වී. උසස් පැවතුම් ඇති යක්ෂතෙමේ ඇතුන් ද අසුන් ද හැසිරෙන අන්තඃපුරයට පිවිසියේ ය.
5606. කොඤ්චය, මයූරය, පියකේතය යන නම් ඇති තුන් ප්‍රාසාදයෝ වෙති. ඒ පහයන් අතරෙන් අතිශය මනෝහර වූ ද බොහෝ ආහාරපාන ඇත්තා වූ ද ශක්‍රයාගේ භවන වැනි වූ ද තමා වෙසෙන පහයට එළැඹියේ ය.
5607. එහි දෙව්ලෝහි දෙවඟනන් මෙන් සරසන ලද ස්ත්‍රීහු උතුම් වූ නෘත්‍ය ගීත වාද්‍යයෙන් ඔවුනොවුන්ට ස්පර්ධා කෙරෙති.
5608. දහම්රක්නා බෝසත් තෙම එදවසැ යක්ෂයා මාගමුන් හා ආහාරපානයෙන් ද සමග කොට ස්වකීය අර්‍ත්‍ථය මැ මෙනෙහි කරමින් භාර්‍ය්‍යාව වෙත එළඹියේ ය.
5609. සඳුන් ගඳ කලල් තවර කළ ජාම්බොනද ස්වර්ණ සදෘග ශරීර ඇත්තා වූ බිරිඳ අමතා, පින්වතිය, එව. මාගේ කීම අහන්න. තඹපැහැති නෙත් ඇත්තිය, මාගේ දරුවන් කැඳවයි කීය.
5610. අනුජ්ජා තොමෝ හිමිහු බස් අසා, නිලුපුල්වන් නෙත් ඇති චෙතාවෙනි, ආභරණවලින් විභූෂිත මාගේ දරුවන් කැඳවන්නැ යි තඹපැහැති නිය හා මනා ඇස් ඇති යෙහෙළියට කීවා ය.
5611. මහබෝසතාණන් වහන්සේ තමා වෙත පැමිණි දරුවන්ගේ හිස සිඹැ (දරුවෙනි) රජතුමා විසින් මේ මාණවකයාට මම දෙන ලද්දෙමි යි කීහ.
5612. ඔහුට අයිති මම, අද මා සතු සැප ඇත්තෙක් වූයෙමි. එහෙත් පසුව ඔහුට යටත් වෙමි. හේ මා රැගෙන කැමැති මගෙකින් යන්නට පළමු (තොපට) අනුශාසනා කරන්නට ආවෙමි. (තොපගේ) ආරක්ෂාව නො සලසා කෙසේ මම යන්නෙම් ද?
5613. ජනයා පාලනය කරන, බොහෝ සම්පත් ඇති කුරුරට රජ, පෙර සිදුවූ කෙබඳු පැරණි දේ තෙපි දන්නහු ද? පියා තොපට කවර අනුශාසනාවක් කෙළේදැ යි තොප පුළුවුස්නේ නම් මෙසේ මා දුන් අවවාද කියවු.
5614. තෙපි සියල්ලෝ මා හා සම අසුන් ගනිත්වා යි රජ තොපට කීවේ නම්, රජකුලයෙහි කවරෙක් රජු හා සමානාසනික වේදැ යි රජුට ඇඳිලිබැඳ කියවු. දේවයන් වහන්ස, මෙලෙස නො කියන්නේ මනා ය. මෙය (රජතුමා හා සමව අසුන් ගැනුම) අපේ පාරම්පරික චාරිත්‍රය නො වෙයි. දේවයන් වහන්ස, සිංහ රාජයකු, නීච ජාතියෙහි වූ සිවලකු හා සමව අසුන් ගැනුම කෙසේ වන්නේ දැ යි.
පෙක්ඛන කාණ්ඩ යි.
5615. නො සැඟවුණ (පැහැදිලි) සිතුවිලි ඇති විධුර පඬිතුමා මිතුරන්ට, ඇමැතියන්ට, නෑයන්ට සහ සුහදයන්ට (හිතවතුන්ට) මෙය කීය:
5616. ආර්‍ය්‍යයෙනි, එවු එපරිද්දෙන් රජකුලයට පත් පුරුෂයා යම්සේ සම්පතට පැමිණේ ද, මා කියන රාජපරිචර්යාව (රජමැදුරේ සේවය) මා සමීපයේ සිට අසවු.
5617. අප්‍රකට තැනැත්තා ද අදක්ෂ තැනැත්තා ද අඥාන තැනැත්තා ද මුළා වූ සිහි ඇති තැනැත්තා ද රජ මැදුරට පැමිණ කිසි කලෙක යශස් නො ලබයි.
5618. යම් කලෙක රජතුමා සේවකයාගේ ආචාර සම්පත්තිය ඥාන සම්පත්තිය හා පවිත්‍රතාව වටහා ගනී ද, එකලැ ඔහු විශ්වාස කරයි. සඟවාලියයුතු රහස පවා නො සඟවා කියයි.
5619. යම්සේ මැනැවින් ධරනලද ඔසවාලූ තුලාව (තරාදිය) සමදණ්ඩ වැ සිටී ද එසේ මැ රාජ නියෝග ලද සේවකයා නො සැලේ ද හෙතෙම රජකුලෙහි වසන්නේ යැ (රජගෙහි සේවාවට නිසිවෙයි.)
5620. යම්සේ මැනවින් ධරන ලද ඔසවාලූ තුලාව සමදණ්ඩ වැ සිටී ද, එසෙයින් සියලු රාජකාර්‍ය්‍යය කරන හේ රජකුලෙහි වසන්නේ ය.
5621. නුවණැත්තේ රාජකාර්‍ය්‍යයෙහි දවලහි හෝ රාත්‍රියෙහි හෝ මෙහෙයන ලදුයේ නො සැලේ නම් හේ රජගෙහි වසන්නේ ය.
5622. නුවණැත්තේ රාජකෘත්‍යයෙහි යෙදුනේ දහවල් හෝ රාත්‍රියෙහි හෝ සියල්ල සම්පාදනය කරන්නේ ද හේ රජගෙහි වසන්නේ ය.
5623. රජතුමා සඳහා යම් මාර්ගයක් මනාව පිළියෙළ කරන ලද ද ඒ මාර්ගයෙන් යව යි (රජතුමා විසින් කියන ලද ද) ඒ මගෙහි නො යන්නේ ය.
5624. රජතුමාට සමාන ලෙස පස්කම් සැප කිසිවිටෙක නො විඳින්නේ ය. හැම තන්හි එයට වඩා අඩුතරමින් කම්සැප විඳින්නේ ය. හේ රජගෙහි වසන්නේ ය.
5625. රජතුමාට සමාන අයුරින් වස්ත්‍ර නො ඇඳීම, මල්මාලා නො දැරීම සහ විලෙවුන් නො ගැල්වීම ද කරන්නේ ය. ඉරියව් පැවැත්වීම හා ශබ්ද කිරීම ද රජතුමාට සමාන නොවන ලෙසින් අනිත් ආකාරයකින් කරන්නේ ය. හේ රජගෙහි වසන්නේ ය.
5626. රජතුමා ඇමතියන් හා භාර්‍ය්‍යාවන් පිරිවරා (යම් විටෙක) ක්‍රීඩා කරන්නේ ද එවිට ඥානසම්පන්න ඇමැති රජතුමාගේ බිරියන් විශ්වාස නො කරන්නේ ය. (ඔවුන් හා විශ්වාසයට නො යන්නේ ය.)
5627. අහංකාර රහිත ව චපල පැවැතුම් නැත්තෙක් ව මුහුකුරා ගිය ප්‍රඥා ඇත්තෙක් ව සංවෘත ෂඩින්ද්‍රිය ඇත්තෙක් ව රජගෙහි වසන්නේ ය.
5628. රජතුමාගේ බිරියන් හා ක්‍රීඩා නො කරන්නේ ය. රහසිගත ව (ඔවුන් හා) සාකච්ඡා නො කරන්නේ ය. ඔහුගේ (රජතුමාගේ) භාණ්ඩාගාරයෙන් ධනය හොරකම් නො කරන්නේ ය. ඒ පුද්ගල තෙම රජගෙහි වසන්නේ ය. (රජුගේ සමීපවාසයට සුදුස්සෙක් වන්නේ ය.)
5629. අධික නිද්‍රොපගතයෙක් නො වන්නේ ය. මත්වීම පිණිස සුරා නො බොන්නේ ය. ඔහුගේ අභය ස්ථානයන්හි (අභයභූමිවලැ) වෙසෙන මුවන් නො මරන්නේ ය. හේ රජගෙහි වසන්නේ ය.
5630. මම කාර්මිකයෙක් වෙමි යි රජතුමාගේ පුටුවට, ඇඳට, සිංහාසනයට, ඇතු පිටට, රථයට නො නඟින්නේ ය. හේ රජගෙහි වසන්නේ ය.
5631. නැණවත් සේවකයා රජතුමාට දුර තැනක හෝ ඉතා සමීප තැනක හෝ නො සිට රජතුමා කරන දෙය බලමින් සිය ස්වාමියාට පෙනෙන තැන සිටිනේ ය.
5632. රජ එකැතින් ම මිතුරෙක් නො වේ. රජතුමා තමාට සමාන ද නො වේ. ඇසට වැටුණ වීනන්ඩුව ඇසේ පියවි ගතිය වහා හරනා සේ රජවරු වහා කිපෙති.
5633. රජතුමා විසින් මම පුදන ලද්දේ වෙමි යි සිතා නැණවත් පණ්ඩිත මනුෂ්‍යයා (සේවකයා) පිරිස්මැදට ගිය රජතුමාට පරුෂ බසින් කතා නො කරන්නේ ය.
5634. ලද දොර ඇත්තේ (දොරටුපාලයකු වූයේ) නමුදු අවසර ලබා ම පිවිසෙන්නේ ය. රජුන් විශ්වාස නො කරන්නේ ය. ගින්න සමීපයේ (සිටින කලෙක) මෙන් සිහියෙන් සිටින්නේ ය.
5635. රජතුමා සිය පුතාට හෝ සිය සහෝදරයාට හෝ ගම් වලින් හෝ නියම්ගම්වලින් හෝ ජනපදවලින් හෝ කිසිවක් දෙමි යි සේවකයන් සමග කියා ද එකලැ සේවකයා තුෂ්ණීම්භූත ව මධ්‍යස්ථ වන්නේ ය. ගුණාගුණ (හොඳ නරක) නො කියන්නේ ය.
5636. ඇත්, අස්, රිය, පාබල යන සිවුරඟ සේනාවන්හි කාර්යයන් හා ඔවුන්ගේ හැසිරීම් අනුව රජතුමා වේතන වැඩිකරයි නම් සේවකයා ඔවුන්ගේ ලාභයට අන්තරාය නො කරන්නේ ය.
5637. යම් සේවකයෙක් නැණවත් ද දුන්නක් සේ සිහින් වූ උදර ඇත්තේ ද නො මේරු උණගසක් සේ චලනය වේ ද රජතුමාට විරුද්ධ පැවැතුම් නැත්තේ ද හේ රජගෙහි වසන්නේ ය.
5638. (යමෙක්) දුන්නක් සේ සිහින් වූ උදර ඇත්තේ ද (දිව ඇතත්) දිව නැත්තකු සෙයින් මාළුවකු මෙන් වූයේ අල්ප වූ කථා ඇත්තේ ද ස්වල්ප වශයෙන් බුදින සුලු වේ ද දක්ෂ ද ශූර ද හේ රජගෙහි වසන්නේ ය.
5639. යමෙක් (සිය) තෙද පිරිහීයාම දකිමින් ස්ත්‍රීන් කරා යළි යළිත් නො යන්නේය එසේ යන නුවණ පිරිහුණු පුද්ගලයා කාශස්වාසයනට ද කාය පීඩාවට ද කය දුබලවීමට ද පත් වේ.
5640. රජුන් සමීපයේ සිට පමණට වඩා කතා නො කරන්නේ ය. හැමකල නිහඬ නො වන්නේ ය. සුදුසු වේලාවෙහි නො විසිරුණ ප්‍රමාණවත් කතා කරන්නේ ය.
5641. නො කිපෙන සුලු වූ අන්‍යයන් හා නො ගැටෙන්නා වූ සත්‍ය වූ සියුම් වූ ප්‍රියශූන්‍ය නො වූ කතා ඇත්තෙක් වන්නේ ය. හිස් වචන නො කියන්නේ ය. හේ රාජභවනයෙහි වසන්නේ ය.
5642. (යමෙක්) මවුපියන් පෝෂණය කරන්නේ ද කුලදෙටුවන් පුදන්නේ ද හිරි ඔතප් ඇත්තේ ද හෙතෙම රජගෙහි වසන්නේ ය.
5643. (යමෙක්) ආචාරසම්පන්න වූයේ ද ශිල්ප ඇත්තේ ද හික්මවාගත් ඉඳුරන් ඇත්තේ ද සිය ජීවිතය ගුණවත් කරගත්තේ ද නො සැලෙන ස්වභාව ඇත්තේ ද මාන රහිත ද අප්‍රමාද ව (නුමුළා සිහි ඇති ව) ක්‍රියා කරනුයේ ද පිරිසුදු වූයේ ද උවටැන් කිරීමට දක්ෂවූයේ ද හේ රජගෙහි වසන්නේ ය.
5644. (යමෙක්) වැඩිහිටියන් කෙරේ යටහත් පැවතුම් ඇත්තේ ද සාදර සගෞරව වූයේ ද සුවච පැවැතුම් ඇත්තේ ද මොළොක් වදන් ඇත්තේ ද හේ රජගෙහි වසන්නේ ය.
5645. රහස් සෙවීමට අන් රජුන් විසින් එවන ලද ජනයා දුරින් දුරු කරන්නේ ය. තමාගේ රජු ම ස්වාමියා ලෙස සලකන්නේ ය. අන් රජකු සමීපයෙහි නො වසන්නේ ය.
5646. (යමෙක්) සිල්වත් වූ බහුශ්‍රැත වූ මහණ බමුණන් මැනැවින් ඇසුරු කරනුයේ ද හේ රජගෙහි වසන්නේ ය.
5647. (යමෙක්) සිල්වත් වූ බහුශ්‍රැත වූ මහණ බමුණන් (පෙහෙවස් සමාදන් වී) අනුව වසනුයේ ද හේ රජගෙහි වසන්නේ ය.
5648. (යමෙක්) සිල්වත් වූ බහුශ්‍රැත වූ මහණ බමුණන් ආහාරපාන දීමෙන් සන්තර්පණය කෙරේ ද හේ රජගෙහි වසන්නේ ය.
5649. සිල්වත් වූ බහුශ්‍රැත වූ පණ්ඩිත වූ මහණ බමුණන් වෙත පැමිණ සිය අභිවෘද්ධිය අපෙක්ෂාවෙන් ඇසුරු කරන්නේ ය.
5650. පෙරසිට මහණ බමුණන්ට දුන් දන නො පිරිහෙළන්නේ ය. දෙන කලැ එතැනට පැමිණි යාචකයන් දැකැ (ඔවුනට දෙන දීමනා) කිසිවක් නො වළක්වන්නේ ය.
5651. යමෙක් වීමංසක ප්‍රඥාවෙන් යුක්ත ද බුද්ධි සම්පන්න ද කාර්‍ය්‍යයන් සංවිධානය කිරීමේ බුහුටි වේ ද දන් දීම සිල්රැකීම ආදියට යොග්‍ය කාලය දන්නේ ද සී සෑම වැපිරීම ආදිය සඳහා යෝග්‍ය කාලය දන්නේ ද හේ රජගෙහි වසන්නේ ය.
5652. නොපමා වූ බුද්ධිමත් වූ යමෙක් තම කටයුතු කිරීමේ උත්සාහ ඇත්තේ ද කාර්‍ය්‍ය සංවිධානයේ මනා දක්ෂ බව ඇත්තේ ද හෙතෙම රජගෙහි වසන්නේ ය.
5653. (යමෙක්) කලවිටට ශාලාවට ගවශාලාවට හා කුඹුරට නිතර යන්නේ ය. මනින ලද (ප්‍රමාණය දැන) ධාන්‍ය අටුවල තැන්පත් කරන්නේ ය. ගෘහයේ (ප්‍රයෝජනය සඳහා) මැන (පමණට) පිසන්නේ ය.
5654. සීලයන්හි නො පිහිටි සිය පුතකු හෝ සොහොයුරකු හෝ අධිපති තැන්හි (අධිපති තනතුරකැ) නො තබන්නේ ය. අඥාන වූ ඔවුහු අඞ්ග සමාන (සොහොවුරු) නොවෙති. ගුණ සිරුර රහිත වන බැවින් ඔවුහු මළවුන් වැන්න. (කැඳවීමක් නැති ව) අවුදින් හුන්නවුන්ට රෙදි කඩක් හා ආහාර පමණක් දෙවන්නේ ය.
5655. දක්ෂවූ ද උත්සාහවත් වූ ද මනාව සීලයන්හි පිහිටියා වූ දාසයන් කම්කරුවන් හා පණිවිඩකරුවන් ද ආධිපත්‍යයෙහි පිහිටු වන්නේ ය.
5656. යමෙක් සිල්වත් ද ලෝභ රහිත ද රහසිගත වත් ප්‍රකට වත් රජතුමාට හිතවත්වේ ද හේ රජගෙහි වසන්නේ ය.
5657. යමෙක් රජතුමාගේ කැමැත්ත දන්නේ ද රජතුමාගේ චිත්තාරාධනය කෙරේ ද රජතුමාට විරුද්ධ නො වූ පැවැතුම් ඇත්තේ ද හේ රජගෙහි වසන්නේ ය.
5658. (යමෙක් රජතුමාගේ) ඇඟ උලා නාවනුයේ ද යටිකුරු කළ හිස ඇතිව (බිම බලාගෙන) පා සෝදනුයේ ද, පහර ලදුවත් නො කිපේ ද, හේ රජගෙහි වසන්නේ ය.
5659. අභිවෘද්ධිය තකා වතුර කළය දැක ඇඳිලි බැඳීම ද කවුඩකු දැක ප්‍රදක්ෂිණාව ද කෙරේ නම් කැමැති හැම දෙය දෙන්නා වූ ඥානවත් ශ්‍රෙෂ්ඨ රජතුමා දුටු විට කියනු කිම? (ඒකාන්තයෙන් හරසර දැක්විය යුත්තේම ය.)
5660. යමෙක් සයනාසන වස්ත්‍ර යානා සහ වාසස්ථාන දෙන්නේ ද සත්ත්‍වයන්ට මේඝය මෙන් සම්පත් නමැති මහවැසි වස්වන රජතුමාට අභිවාදන කටයුතු.
5661. ආර්‍ය්‍යයෙනි, මා විසින් රාජවසතිය (රාජසේවකයන්ගේ පැවැත්ම) මෙසේ කියන ලදී. මෙ පරිදි යම් මිනිසෙක් රජු සතුටු කෙරේ නම් හෙතෙම ස්වාමීන්ගෙන් සැලැකිලි ලබන්නේ ය යි (විධුර පඬිතුමා අනුශාසනා කෙළේ ය.)
රාජවසතිකාණ්ඩ යි.
5662. විධුර පඬිතුමා මෙසේ ඤාතිසමූහයාට අනුශාසනා කොට මිතුරන් පිරිවරා රජතුමා වෙත පැමිණියේ ය.
5663. විධුර පඬිතුමා හිසින් රජතුමාගේ පා වැඳ ඔහු පැදකුණු කොට ඇඳිලි බැඳගෙන රජුට (මෙසේ) කීය:
5664. රජතුමාණෙනි, මේ මාණවකයා ඔහුගේ කැමැත්ත අනුව ක්‍රියා කිරීමට මා ගෙන යයි. (මගේ) නෑයන්ට යහපත පිණිස මෙය කියන්නෙමි. එය අසන්නේ මැනැවි.
5665. මාගේ දරුවන් බැලුව මැනැව. මාගේ නිවෙසෙහි (ඔබ විසින් හෝ අන් රජුන් විසින් හෝ දෙන ලද) අන්‍ය වූ යම් ධනයක් වේ නම් එයද බැලුව මැනැව. මා ගිය පසු මගේ නෑසියෝ යම්සේ නො පිරිහෙත් ද (එසේ කරන්නේ මැනැවි.)
5666. යම්සේ පොළොව පැකිලී ගියේ පොළොවෙහිම පිහිටන්නේ ද මාගේ මේ පැකිලීමත් එසේ ය. මාගේ මෙම වරද දකිමි.
5667. උතුම් වූ මහාප්‍රාඥය, ඔබට යා නො හැකි ය. මට මෙසේ සිත් වේ. කාත්‍යායන වූ මාණවකයා මෙහි තළා මරා මෙහි නවතිනු යනු මට රිසි වේ. තෙපි නො යව.
5668. (රජතුමනි), අධර්‍මයෙහි (පාපයෙහි) හිත නො යොදන්න. අභිවෘද්ධිය ගෙන දෙන දෙයෙහිත් පුණ්‍යක්‍රියාවන්හිත් යෙදෙන්න. යම් කර්මයක් කොට පසුව අපායට හේ ද එවැනි ලාමක වූ පාපක්‍රියාවට නින්දා වේවා.
5669. මෙ යුක්තිය නො වේ. යළි කටයුතුදෑ ද නො වේ. රජතුමනි, ස්වාමි දාසයාගේ අධිපති ය. (ස්වාමියා විසින් සේවකයා) නසන්ටත් දවන්ටත් පෝෂණය කරන්ටත් සුදුසු ය. මාණවකයා කෙරෙහි මට කෝපයෙක් නැත. මම (ඔහු හා) යමි.
5670. ඒ (විධුර පණ්ඩිත) තෙම දෙටු පුතණුවන් වැළැඳගෙන චිත්තපීඩාව දුරුකොට කඳුළුපිරි නෙතින් යුතු ව මහපායට පිවිසියේ ය.
5671. විධුර පඬිතුමාගේ නිවෙසෙහි දරුවෝ ද බිරියෝ ද සුළඟින් මඩනා ලද කම්පිත වූ සල්වනයෙක සල්ගස් මෙන් තන්හි තන්හි වැටී සිටිත්.
5672. විධුර පඬිතුමාගේ නිවෙසෙහි දහසක් භාර්‍ය්‍යා වූ ස්ත්‍රීහු ද සත්සියයක් දාසීහු ද හිස අත් බැඳගෙන හැඬූහ.
5673. විධුර පඬිතුමාගේ නිවාසයෙහි අන්තඃපුර ස්ත්‍රීහු ද කුමාරයෝ ද වෛශ්‍යයෝ ද බමුණෝ ද හිස අත් බැඳගෙන හැඬූහ.
5674. විධුර පඬිතුමාගේ නිවාසයෙහි ඇතරුවෝ ද අසරුවෝ ද රථිකයෝ ද පාබලසේනාවෝ ද හිස අත් බැඳ හැඬූහ.
5675. විධුර පඬිතුමාගේ නිවෙසෙහි රැස් වූ දනව්වැස්සෝ ද නියම්ගම් වැස්සෝ ද හිස අත් බැඳ හැඬූහ.
5676. (විධුර පඬිතුමාගේ නිවාසයෙහි) භාර්‍ය්‍යා වූ දහසක් ස්ත්‍රීහු ද සත්සියයක් දාසීහු ද කවර හෙයින් අප හැර යන්නෙහි දැ යි හිස අත් බැඳ හැඬූහ.
5677. (විධුර පඬිතුමාගේ නිවාසයෙහි) අතැවුර වැස්සෝ ද කුමරුවෝ ද වෛශ්‍යයෝ ද බමුණෝ ද කවර හෙයින් අප හැර යන්නෙහි දැ යි හිස අත් බැඳ හැඬූහ.
5678. ඇතරුවෝ, අසරුවෝ, රථිකයෝ ද පාබලසේනාවෝ ද කවර හෙයින් අප හැර යන්නෙහි දැ යි හිස අත් බැඳ හැඬූහ.
5679. රැස් වූ දනව්වැස්සෝ ද නියම්ගම් වැස්සෝ ද කුමක් හෙයින් අප හැර යන්නෙහි දැ යි හිස අත් බැඳ හැඬූහ.
5680. පණ්ඩිත තෙම ගෘහයන්හි කළමනා කාර්‍ය්‍යයන් කොට මිත්‍රාමාත්‍යයන් දාසයන් අඹුදරුවන් නෑයන් සහ සිය ජනතාවට අනුශාසනා කොට.
5681. වැඩ පිළියෙළ කොට ගෙහි ඇති ධනය ද නිධාන ද ණයට දුන් ධනය ද පවසා පූර්ණකයාට මෙය කීය:
5682. මාගේ නිවසෙහි ඔබ තෙදිනක් විසූහු. මාගේ ගෘහයන්හි කළමනා වැඩ මා විසින් කරන ලද. අඹුදරුවනට අනුශාසනා කරන ලදී. කච්චානය දැන් තොපගේ අදහස් පරිදි ක්‍රියා කරමු.
5683. ප්‍රිය තෙනැත්ත, ඉදින් තොප විසින් දරුවන්ට බිරියන්ට සහ සේවකයන්ට අනුශාසනා කරන ලද නම් දැන් වහා එව. ඉදිරියෙහි (ඇති) ගමන් මග ද ඉතා දිග ය.
5684. මේ ආජානීය අසුගේ වලිගය බිය රහිතව අල්ලා ගන්න. මෙය තොපගේ මිනිස්ලොව අවසාන දර්ශනය වෙයි.
5685. යමක් නිසා දුගතියට යේ නම් කය වචනය හිත යන තිදොරින් මා කළ එබඳු වරදක් නැත. (එහෙයින්) ඒ මම කුමට බිය වෙම් ද?
5686. ඒ අශ්වරාජ තෙම විධුර පඬිතුමන් උසුලමින් අහසින් ගමන් කෙළේ ය. අතුවල හා ගල්වල නො ගැටෙමින් කාළාගිරි පර්වතයට ඉක්මණින් පැමිණියේ ය.
5687. යකෙක් බමුණු වෙසින් අවුත් විධුර පඬිතුමා රැගෙන යයි කියමින් බිරියන් වන දහසක් ස්ත්‍රීහු ද, සත්සියයක් දාසීහු ද හිස අත්බැඳ හැඬූහ.
5688. යකෙක් බමුණු වෙසින් අවුත් විධුර පඬිතුමා රැගෙන යයි කියමින් ගම් නියම්ගම් ජනපද වැස්සෝ හිස අත්බැඳ හැඬූහ.
5689. ඒ විධුර පඬිතුමා කොහි ගියේ දැයි කියමින් බිරියන් වන දහසක් ස්ත්‍රීහු ද සත්සියයක් දාසියෝ ද හිස අත්බැඳ හැඬූහ.
5690. ඒ විධුර පඬිතුමා කොහි ගියේ දැයි කියමින් ගම් නියම්ගම් දනවු වැස්සෝ හිස අත් බැඳගෙන හැඬූහ.
5691. ඉදින් ඒ පඬිතුමා සත්රැයෙකින් නො එන්නේ නම්, අපි සියලු දෙන ගින්නට පනින්නෙමු. අපේ ජීවත්වීමෙන් ප්‍රයෝජනයක් නැත.
5692. (විධුර පඬිතුමා) පඬිවරයෙක, වීමංසායෙන් (විමසන නුවණින්) යුක්තයෙක, ව්‍යක්තයෙක, කටයුතු නො කටයුතු කීමට දත්තෙක, ස්ථානොචිත ප්‍රඥාවෙන් යුක්තයෙක, එහෙයින් බිය නො වන්න. (පණ්ඩිත තෙම) වහා (එම) ග්‍රහණයෙන් මිදෙන්නේ ය. යළි මෙහි එන්නේ ය.
අන්තරපෙය්‍යාලය.
5693. හෙතෙම (පූර්ණකයා) එහි (කාලාගිරි පර්වතයට) ගොස් සිතනුයේ ඔහට උස් පහත් සිතිවිලි උපන. මොහුගේ (විධුර පඬිතුමාගේ) ජීවිතයෙන් කිසිත් පලක් නො වේ. මොහු මරා හදවත ගන්නෙමි.
5694. කාතියාන දුෂ්ට සිත් ඇත්තේ එහි (පර්වතමස්තකයෙන් පාදයට) ගොස් පර්වත අතුරෙහි සිට ඇතුළට පිවිස (මුදුනට නැඟී බෝසතුන් හෙළා) විවෘත ප්‍රදේශයෙහි දී හිස යටිකුරුකොට නඟා ගත්තේ ය.
5695. කුරුරට වාසීන්ගේ ශ්‍රෙෂ්ඨ ඇමැතිතුමා මහබිය දනවන ලොමු ඩැහැගැනුම් ඇති කරවන, යා නො හැකි නිරය වැනි මහා ප්‍රපාතයෙකැ එල්ලෙමින් (සිටැ) නො බියව පූර්ණක යක්ෂයාට මෙලෙස කීය:
5696. රූපයෙන් තෙපි දෙවියකුට සමාන වව. එසේවුව ද අනාර්‍ය්‍ය පැවතුම් ඇත්තහුය. තොපට සංයමයක් නැත. එහෙත් සංයම ඇත්තකු වැනි ය. තෙපි රුදුරු සැහැසිකම් කරව. මඳකුදු කුශලයක් තොප සිතැ නැත.
5697. යම් කරුණෙකින් මා ප්‍රපාතයෙහි හෙළනු කැමැත්තහු ද මගේ මරණයෙන් තොපට කවර ප්‍රයෝජනයෙක් ද? අද තොපගේ පෙනුම අමනුෂ්‍යයකුට සමාන ය. තෙපි කවර (නම්) යක්ෂ වවුදැයි මට කියව.
5698. ඉදින්, තොප විසින් පූර්ණක නම් යක්ෂයා අසන ලද්දේ ද? හේ කුවෙර රජුගේ ඇමැති වෙයි. පෘථිවිය දරා සිටින (උසුලා සිටින) වරුණ නාරජ තෙම ආරොහ පරිණාහ සම්පන්න කායයෙන් මහත් වූයේ යැ, පවිත්‍ර යැ, ශරීරවර්ණයෙන් හා කායබලයෙන් යුක්ත යැ.
5699. ප්‍රාඥය, මම ඒ නාගරාජයාගේ අනුජාත දුව කැමැත්තෙමි. ඕ ඉරන්දති නාග කන්‍යාවයි. සුන්දර මැද පෙදෙස සහිත ඒ ප්‍රියාව හේතුකොට (බලාපොරොත්තුවෙන්) තොපට හිංසා කරන්නට සිතුවෙමි.
5700. යක්ෂය, තෙපි නහමක් මුළාවව. බොහෝ දෙන (සිතිවිලි) වරදවා ගැනීම නිසා නැසුනාහ. සුන්දර මධ්‍ය ප්‍රදේශ ඇති තොපගේ ප්‍රියාවට මාගේ මරණයෙන් කවර වැඩෙක් ද? ඒ සියල්ල අසමු.
5701. මහානුභාවසම්පන්න මහා උරගයාගේ දුව (ලබනු) කැමැත්තේ නෑයන්ට මම බැළයෙමි. මා පහසුවෙන්ම කාමාශක්ත කටහැක්කේ ය යි දැනගත් මයිල් තෙමේ ඇය ඉල්ලන මට මෙලෙස කීය:
5702. ඉදින් තෙපි පඬිතුමාගේ හදවත දැහැමිව ලබා මෙහි ගෙන එන්නහු නම් සුන්දර සිරුරැති, මනා නෙත් සඟළක් ඇති, සඳුන් අලෙව් දුන් සිරුර ඇති, අතිශය විශ්මයාවහ ඉරන්දතිය තොපට දෙන්නෙමු. මෙම තුටුපඬුරෙන් ඉරන්දතිය ලද හැකි ය. මෙයින් වැඩි අන් ධනයක් නො පතමු.
5703. පඬිතුමනි, මම මෙලෙස මුළාවූයෙම් නො වෙමි. පඬිතුමනි අසන්නේ මැනැවි. අයුතු ලෙස මා ගත් කිසිත් නැත. දැහැමින් ලබන ඔබගේ හදවත නිසා නාගයෝ ඉරන්දතිය මට දෙති.
5704. එහෙයින් මම තොපට වධ කරන්නට යෙදුනෙමි. තොපගේ මරණයෙන් මට මෙසේ ප්‍රයෝජන ඇත. තොප මේ ප්‍රපාතයේ හෙළා මරා හදවත උපුටා ගන්නෙමි.
5705. කාතියානය, ඉදින් මාගේ හදවතින් තොපට කිසෙක් ඇත්නම් මා වහා නඟා ගනුව. යම් මේ සාධුනර ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ හැම අද තොපට ප්‍රකාශ කෙරෙමි.
5706. ඒ පූර්ණක තෙම කුරුරට වැසියන්ගේ ශ්‍රෙෂ්ඨ වූ කර්තව්‍යකාරකයා වහා පර්වත මස්තකයෙහි පිහිටුවා අස්වැසි වැ හුන්නහු දැකැ අලාමක නුවණැති කර්තව්යකාරක (විධුර පණ්ඩිත) ගෙන් මෙසේ පිළිවිසි.
5707. මා විසින් තෙපි ප්‍රපාතයෙන් නඟන ලද්දාහු යැ. අද තොපගේ හදවතින් මට කටයුතු ඇත. යම් මේ සාධුනර ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ හැම අද මට ප්‍රකාශ කරව.
5708. තොප විසින් මා ප්‍රපාතයෙන් නඟන ලද්දෙමි. ඉදින්, මාගේ හදවතින් තොපට කටයුත්තෙක් වේ ද, මේ යම්කිසි සාධුනර ධර්‍මකෙනෙක් ඇද්ද, ඒ හැම අද තොපට ප්‍රකාශ කෙරෙමි.
5709. මාණවකය, ‘යාතානුයායී’ (යනුවා අනුව යන්නේ) ද වව. අද්දපාණී දහනය (නෙත් අල්ලදැවීම) ද හැරැපියව. කිසි කලෙකත් මිතුරන් කෙරෙහි නහමක් ද්‍රෝහි ද වව. අසතීන්ගේ වශයට ද නහමක් යව.
5710. කිසෙයින් ‘යාතානුයායී’ වේ ද? හෙතෙම කිසෙයින් ‘අද්දපාණි දහන’ කෙරේ ද? ‘අසති’ නම් කවරැ? ‘මිත්‍රද්‍රෝහි’ නම් කවරෙ යැ? තෙල කරුණ විචාරන ලද්දහු මට කියව.
5711. යමෙක් එක්වැ නොවිසූවිරුවකු නො ද දුටුවිරූවකු අසුන් පමණිනුදු පවරා නම් පුරුෂ තෙම ඔහට හිතයක් කරන්නේ මැ යැ. පණ්ඩිතයෝ ඒ පුද්ගලයා ‘යාතානුයායි’ යයි කීහු.
5712. යමෙක් යමකුගේ නිවෙසේ එක් රැයකුදු වසන්නේ ද යම් තැනෙකැ ආහාරපාන ලබන්නේ ද, ඔහුට සිතිනුදු පව් කමක් නො සිතන්නේ ය. මිත්‍රද්‍රෝහී තෙම (දානයෙන්) තෙත් වූ අත්ල දවයි.
5713. (යමෙක්) යම් රුක් සෙවනක හිඳුනේ හෝ සයනය කරන්නේ හෝ වේ ද (හේ) එම රුකෙහි අත්තකුදු නො බිඳින්නේ ය. මිත්‍රද්‍රෝහිකම ලාමක ය.
5714. ඉදින් පුරුෂයෙක් (මම් මැ ඇයට ප්‍රිය වෙමි. තෙල තැනැත්තී අනුන් නො පතා යැ යන) මනා සිතින් යුතු වැ ධනයෙන් පිරුණු මේ පොළොව ද ස්ත්‍රියට දෙන්නේ ද ඕ (අතිචාරයට) අවකාශ ලැබැ ඔහු ද ඉක්මවා අන් පුරුෂයන් සිතන්නී යැ. ඒ අසද්ධර්‍ම සමන්වාගත ස්ත්‍රීන් වශයට නො යන්නේ ය.
5715. මෙසේ ‘යාතානුයායී’ වෙයි. යළි මෙසේ ‘අද්දපාණි දහන’ වෙයි. ඕ ‘අසති’ නම් වෙයි. හෙ ‘මිත්‍රද්‍රෝහි’ නම් වේ. යක්ෂය, ඒ තෙපි ධාර්මික වව. අධර්‍මය හැරපියව.
සාධුනරධම්ම කාණ්ඩ යි.
5716. ශ්‍රෙෂ්ඨ ප්‍රාඥය, තොපගේ නිවෙසේ මම තුන් දවසක් විසීමි. ආහාරපානයෙන් උවටැන් කරන ලදිමි. (තෙපි) මාගේ මිතුරු වව. මම තොප මුදා හරිමි. ඒකාන්තයෙන් ගෙට යව.
5717. නාගකුලයේ කටයුත්ත පිරිහේවා. නාග කන්‍යාවගෙන් මට ප්‍රයෝජනයක් නො වේවා. නුවණැත්ත, තෙපි සිය සුබැසි වදනින් මා විසින් අද ප්‍රාණවධයෙන් මුදන ලද්දහුය.
5718. එසේ නම් යක්ෂය, තෙපි මා ද එහි ගෙන යව. තොපගේ මයිලණුන්වගේ කාර්‍ය්‍යය මා කෙරෙහි පවරව. අපිදු නො දුටු විරූ නාගවිමානයත් නාරජුත් දකිමු.
5719. මිනිසාට යමක් අහිත වන්නේ නම් ප්‍රාඥතෙම එය දක්නට නිසි නො වේ. එසේ ඇති කල්හි කවර හේතුවක් නිසා සතුරුගමට යාමට තෙපි කැමැත්තහු ද?
5720. ඒකාන්තයෙන් මම ද මෙය දනිමි. එය බැලීමට ප්‍රාඥතෙම නිසි නො වේ. කිසි තැනෙකැ මා කළ පාපයක් ද නැත. එහෙයින් මරණයට පැමිණීමට මම සැක නැත්තෙමි.
5721. එසේ නම් කර්‍තව්‍යකාරය, මා හා සමග එව. නලිනී රාජධානියේ වෛශ්‍රවණ රජුමෙන් යම් තැනෙක නාරජ නෘත්‍යගීතයෙන් යුතුවැ හිඳීද ඒ මහත් අනුභාව ඇති නාවිමන දකුව.
5722. නාමෙනෙවි සමූහයා විසින් දිවරැය නිරතුරු කළ ක්‍රීඩා ඇති බොහෝ මල්දම් ඇති නන්කුසුමෙන් වැසුණු එ විමන අහසෙහි විදුලිය මෙන් බබළයි.
5723. ආහාරපානයෙන් ද, නෘත්‍ය ගීත හා වාදනයෙන් ද, යුත් ඒ විමානය ඇඳුම්පැළදුම්වලින් සැරසීගත් කන්‍යාවන්ගෙන් පරිපූර්ණ වූයේ ඉතා ශෝභන වෙයි.
5724. ඒ පූර්ණක යක්ෂ තෙම කුරුරට වාසීන්ගේ ශ්‍රෙෂ්ඨ කර්‍තව්‍යකාරකයා පිටුපස අස්නේ හිඳුවාපී ය. හේ අලාමක නුවණැති කර්තව්යකාරක විධුර පඬිතුමා ගෙන නාරජුගේ භවනයට පැමිණවී.
5725. අතුල්‍යානුභාව ඇති එතැනට පත් විධුර පණ්ඩිත පූර්ණකයාගේ පිටුපසැ සිටියේය. සමඟිය බලන නාරජ පළමුව බෑනා හා කතා කෙළේ ය.
5726. යම් හෙයෙකින් තෙපි විධුර පණ්ඩිතයන්ගේ හදවත සොයමින් මිනිස් ලොවට ගියහු ද, කිම මනදොළ සමෘඬ කොට ගෙන, අලාමක ප්‍රඥා ඇති පඬිතුමා ගෙන මෙහි අවුද?
5727. තෙපි යමක්හු කැමැත්තහු ද හෙ මෙහි ආ මෙ පුරුෂ මැයි. ධම්මපාල වූ (හෙතෙම) දැහැමින් මා විසින් ලබන ලද. ඉදිරියේ කතාකරන ඔහු බලනු මැනැවි. සත්පුරුෂ සංගමය ඒකාන්තයෙන් සුඛයෙකි.
කාළාගිරි කාණ්ඩය.
5728. මනුෂ්‍ය තෙම නුදුටු විරූ දැය දැක විෂ්මිතවැ (මෙන්) මරණ බියෙන් පීඩිතව නො වඳිනේ යි. මේ කරුණ ප්‍රාඥයන්ට නො වේ.
5729. නාරදුනි, මම විෂ්මිත නො වෙමි. මරණ බියෙන් පෙළුනෙම් ද නො වෙමි. වධයට පැමිණියේ නො වඳින්නේය. වධයට පැමිණියහු ලවා නො වඳවන්නේය.
5730. මිනිසා යමකු නසන්නට කැමැත්තේ නම් (වධ්‍ය වූ) හෙතෙම කෙසේ නම් වඳිනේ ද? කෙසේ නම් ඔහු ලවා වඳවනේ හෝ වේ ද? ඒ ක්‍රියා යුතු නො වෙයි.
5731. පඬිතුමනි, තෙපි යම්සේ කියවු ද! මෙය එසේය. තෙපි සත්‍යයක් කියව. වධයට පැමිණියේ නො වඳින්නේ ය. වධයට පැමිණියහු ලවා හෝ නො වඳවන්නේය.
5732. මනුෂ්‍යයෙක් යමෙකු නසන්නට කැමැත්තේ නම් (වධාර්හයා) වඳින්නේ කෙසේද? ඔහු ලවා වන්දවා ගන්නේ කෙසේද? ඒකාන්තයෙන් ඒ ක්‍රියාව යුතු නො වේ.
5733. නාරදුනි, තාවකාලික ඔබගේ මේ විමානය නාග ඍඬිය නාග තේජස කායික හා චෛතසික බල නාලොවැ උපත (යන මේවා) බොහෝ කල් පවත්නාසේ සිතා පව්කම් නො කරව. මේ විමන තෙපි කෙසේ ලැබුහු දැ යි විතාරමි.
5734. මේ විමන හේතු රහිත ව ලබනලද ද? නැතහොත් ඍතු විපර්යාසයක් නිසා හටගැනුණේ ද? එසේත් නො වේ නම් තමා ම සාදන ලද්දක්ද? නැතහොත් දේවදින්නද? තොප මේ විමන ලද අයුරු මට කියව.
5735. පඬිතුමනි, මේ විමන මා විසින් අහේතුක ව ලබන ලද නො වේ. ඍතු විපර්යාසයෙන් උපන්නේද නො වෙයි. තමා ම කරන ලද හෝ දෙවියන් විසින් දෙන ලද්දේ හෝ නො වේ. මා කළ ලාමක නො වන පුණ්‍යකර්ම බලයෙන් ලබන ලද්දේ වෙයි.
5736. නාරදුනි, පෙර භවයෙහි කවර ව්‍රතයක් පුරුදු කෙළේද? කිනම් බ්‍රහ්මචර්යයක් පුරුදු කෙළේද? මෙය කවර කර්මයක විපාකයක්ද? නාග ඍඬිය, නාග තේජස, කායික හා චෛතසික බලය හා නාලොව උපත ද මේ මහා විමානය ද කෙසේ ලද්දේද?
5737. පඬිතුමනි, පෙරැ මිනිස් ලොව දී මම ද මාගේ බිරිඳ ද යන අපි දෙදෙනා ශ්‍රද්ධා ඇති දානපතීහු වීමු. මාගේ නිවෙස එකල පැන්හලක් වැන්න. අප විසින් මහණ බමුණෝ ද සන්තර්පණය කරන ලද්දෝය.
5738. මල් සුවඳවිලවුන් පහන් දැල්වීමට අවශ්‍ය දෑ ඇඳ පුටු නිවාස වස්ත්‍ර සහ ආහාරපාන එහිදී (මනුෂ්‍යලෝකයේ දී) සකස් කොට පිදීමු.
5739. පඬිතුමනි, එය මගේ ව්‍රතසමාදානය යි. එය මගේ බඹසර යි. මනාසේ පුහුණු කළ කුශල කර්මයන් නිසා නාග ඍඬිය නාගතේජස නාගබලය කායික චෛතසික වීර්යය නාලොව උපත සහ මාගේ මහා විමානය ද යන මේවා ලත්මි.
5740. ඉදින් මේ විමන තොප විසින් මෙසේ ලබන ලද වී නම් පුණ්‍යකර්මයන්ගේ ඵලවිපාක දනුව. එහෙයින් යළිදු විමන්හි වාස කරන සේ අප්‍රමාදව කුශලක්‍රියාවන්හි හැසිරෙව.
5741. පඬිතුමනි, යම් කෙනකුන්ට ආහාරපාන දෙමු නම් එබඳු (ගැනීමට සුදුසු) මහණ බමුණෝ නාලොව නැතියහ. අපි යළිදු යම්සේ මේ විමනේ වසමෝ නම්, තෙල කරුණ විචාළ තෙපි මට කියව.
5742. නාරදුනි, තොපට මෙහි උපන් පුත්‍රයෝ ද බිරියෝ ද සේවකයෝ ද ඇතියහ. තෙපි ඔවුන් කෙරෙහි වචනයෙන් ද ක්‍රියාවෙන් ද නිරතුරු ද්වෙෂ නො කරව.
5743. නාගය, තෙපි වචනයෙන් හා කර්මයෙන් (ක්‍රියායෙන්) මෙත් සිත රකිමින් දිවිහිමියෙන් මෙහි සිට මින් ච්‍යුතවැ දෙව්ලොවට යව.
5744. පඬිතුමනි, තෙපි යමකුට ඇමැති වූහු ද ඒ ශ්‍රෙෂ්ඨ රජ තෙම තොපගෙන් වෙන්ව ඒකාන්තයෙන් ශෝක කෙරෙයි. දුකට පත් දැඩි ගිලන් පුරුෂයා ද තොප හා එක් වැ සුව ලබන්නේය.
5745. නාරදුනි, ඒකාන්තයෙන් පුරුදු කළ උතුම් සත්පුරුෂයන්ගේ ස්වභාවයක් කියව. මෙවැනි විපත් පැමිණි සඳෙහි මාවැනි පැණවතුන්ගේ වෙනස පෙනේ.
5746. පඬිතුමනි, පූර්ණකයා තොප මුදල් වියදමකින් තොරව ලබා ගත්තේද? දූකෙළි කෙළ දිනා ගත්තේ ද? මෙතෙමේ පඬිතුමා දැහැමින් ලද බව කියයි. තෙපි මොහු අතට කෙසේ පත්වූවහු ද?
5747. මට අධිපති යම් රජෙක් වී ද, මෙතෙම දූකෙළියෙහි දී ඔහු පැරදවීය. පැරදි රජ තෙම මොහුට මා දුන්නේ ය. ඒ හේතුවෙන් අසාහසික ව දැහැමි ව ලබන ලදිමි.
5748. මහා නාගරාජයා පඬිතුමාගේ බස් අසා තුටුපහටු වැ අලාමක ප්‍රඥා ඇති ඔහුගේ අත අල්ලා ගෙන බිරිඳ සමීපයට ගියේය.
5749. විමලාවෙනි, යම් හෙයෙකින් (තොප ගත) පඬු පැහැ වී ද, ආහාර අරුචි වී ද, මෙවැනි ගුණවැණුම් ඇතියකු කිසිතැනෙක නැත. මේ ඒ අඳුරු දුරලන විධුර පඬිතුමා වේ.
5750. යමකුගේ හදවතින් තොපට ප්‍රයෝජන ඇත්තේ ද ඒ ප්‍රභාකර පඬිතුමා මේ පැමිණියේය. ඔහුගේ කතා අසව. යළි මොහු දැකුම දුලබ වේ.
5751. විමලා නම් නාගකන්‍යාව මහපැණැති ඔහු දැක උපන් සොම්නස් ඇතිව දසනඛසමොධානයෙන් යුතුව කුරුරට වාසීන්ගේ උතුම් පඬිතුමාට මෙසේ කීය.
5752. මනුෂ්‍ය වූ තෙපි නුදුටු විරූ නාග භවනය දැක විෂ්මිත වැ මරණ බියෙන් පීඩිතවැ නො වඳියි. මේ කරුණ ප්‍රාඥයනට සුදුසු නො වේ.
5753. නාමෙණෙවියනි, මම විෂ්මිත වූයෙම් නො වෙමි. මරණ බියෙන් පීඩිතයෙම් නො වෙමි. වධයට පැමිණියේ නො වඳින්නේ ය. වධයට පැමිණියාහු ලවා නො වඳවන්නේය.
5754. මනුෂ්‍යයෙක් යමකු නසනු කැමැත්තේ නම් (එකල්හි) ඔහුට වඳින්නේ කෙසේද? ඔහු ලවා වන්දවා ගන්නේ කෙසේද? ඒකාන්තයෙන් මේ ක්‍රියා යුතු නො වෙයි.
5755. පඬිතුමනි, තෙපි යම්සේ කියවු ද, මෙය මෙසේය. තෙපි සත්‍යයක් කියහු. වධයට පැමිණියේ නො වඳින්නේය. වධයට පැමිණියහු ලවා හෝ නො වඳවන්නේය.
5756. මනුෂ්‍යයෙක් කෙනකු නසන්නට කැමැත්තේ නම් (වධාර්හයා) වඳින්නේ කෙසේද? ඔහු ලවා වන්දවාගන්නේ කෙසේද? ඒකාන්තයෙන් ඒ ක්‍රියා යුතු නො වෙයි.
5757. නාමෙණෙවියනි, තාවකාලික ඔබගේ මේ විමානය නාගඍඬිය නාගතේජස කායික හා චෛතසික බල නාලොවැ උපත (යන මේවා) බොහෝ කල් පවත්නා සේ සිතා පව්කම් නො කරන්න. මේ විමන කෙසේ ලබනලදදැ යි විතාරමි.
5758. නාමෙණෙවියනි, මේ විමන හේතු රහිතව ලද්දක් ද? නැතහොත් ඍතු විපර්යාසයක් නිසා හටගැනුණක් ද? එසේත් නො වේ නම් තමාම සාදන ලද්දක් ද? නැතහොත් දේවදින්න ද? ඔබ ලද විමන, ලද හේතුව මට කියන්න.
5759. (පඬිතුමනි,) මේ විමන මා විසින් අහේතුක ව ලැබූවක් නො වෙයි, ඍතු විපර්යාසයක් නිසා ලද්දේ ද නො වෙයි, තමා ම සාදා ගන්නාලද ද නො වෙයි, දෙවියන් විසින් දෙන ලද්දේ ද නො වේ. මා කළ ලාමක නො වන පුණ්‍යකර්ම බලයෙන් ලබන ලද්දේ වෙයි.
5760. නාමෙණෙවියනි, පෙර භවයෙහි කවර ව්‍රතයක් පුරුදු කරන ලද ද? කිනම් බ්‍රහ්මචර්යයක් පුරන ලද ද? මෙය මොනොවට පුරුදු කළ කවර කර්මයක විපාකයෙක් ද? නාගඍද්ධිය, නාග තෙජස, කායික හා චෛතසික බලය ද නාලොව උපත ද මේ මහා විමානය ද කෙසේ ලද්දේ ද?
5761. පඬිතුමනි, පෙරැ මිනිස් ලොව දී මම ද මාගේ ස්වාමිපුරුෂ ද යන අපි දෙදෙන ශ්‍රද්ධා ඇති දානපතීහු වීමු. මාගේ නිවෙස එකල පැන්හලක් වැන්න, අපි මහණ බමුණන් සන්තර්පණය කෙළෙමු.
5762. මල්දම් සුවඳවිලවුන් පහන් දැල්වීමට අවශ්‍ය දෑ ඇඳ පුටු නිවාස වස්ත්‍ර හා ආහාරපාන එහි දී (මනුෂ්‍යලෝකයේ දී) සකස් කොට පිදීමු.
5763. පඬිතුමනි, එය මාගේ ව්‍රතසමාදානය යි. එය මාගේ බඹසර යි. මනාසේ පුහුණු කළ කුශල කර්මයන් නිසා නාග ඍඬිය නාගතේජස නාගබලය කායික චෛතසික වීර්යය නාලොව උපත හා මාගේ මහාවිමානය යන මේවා ලබන ලදි.
5764. මෙසේ මේ විමන ලද තොප පුණ්‍ය කර්මයන්ගේ ඵලවිපාක දන්නහු ය. ඔබ නැවත මෙම විමනෙහි වසන්නහු නම්, අප්‍රමාද ව කුශලක්‍රියාවන්හි හැසිරෙන්නහුයි බෝසතාණන් වහන්සේ කීහ.
5765. පඬිතුමනි, යම් කෙනකුන්ට ආහාරපාන දෙමු නම්, එබඳු (ගැනීමට සුදුසු) මහණ බමුණෝ නාලොව නැත්තාහ. අපි යළි මේ විමනෙහි වසමු ද එබඳු අයුරක් මේ කරුණ විචාරණ මට කියනු මැනවි.
5766. නාමෙණෙවියනි, ඔබට මෙහි උපන් පුත්‍රයෝ ද ස්වාමිපුරුෂයා ද සේවකයෝ ද ඇතියහ. ඔවුන් කෙරෙහි වචනයෙන් ද ක්‍රියායෙන් ද ද්වෙෂ නො කරන්න.
5767. නාමෙණෙවිය, තෙපි වචනයෙන් හා කර්මයෙන් (ක්‍රියායෙන්) මෙත් සිත් රකිමින් දිව්හිමියෙන් මෙහි (මේ විමනේ) සිට මෙයින් ච්‍යුත වැ දෙව්ලොවට යන්නහු ය.
5768. පඬිතුමනි, ඔබ යමකුට ඇමැති වී ද ඒ ශ්‍රෙෂ්ඨ රජ තෙම ඔබෙන් වෙන් ව (වෙන්වීම නිසා) ඒකාන්තයෙන් ශෝක කෙරෙයි. දුකට පැමිණියේ නමුදු දැඩි ගිලන් පුරුෂ තෙමේ ඔබ හා එක් වැ සැප ලබන්නේ ය.
5769. නාමෙණෙවියනි, ඒකාන්තයෙන් පුරුදු කළ උතුම් සත්පුරුෂයන්ගේ ස්වභාවයක් කියව. මෙවැනි විපත් පැමිණි සඳ මා වැනි පැනවතුන්ගේ වෙනස පෙනේ.
5770. පඬිතුමනි, පූර්ණකයා ඔබ මුදල් වියදමකින් තොරව ලබා ගත්තේ ද? දූකෙළියෙන් දිනා ගත්තේ දැයි කියව, මෙතෙමේ, (ඔබ) දැහැමින් ලද බව කියයි. ඔබ මොහු අතට පත්වූයේ කෙසේ ද?
5771. මට අධිපති යම් රජෙක් එහි (කුරුරට) වී ද, මෙ තෙම දූකෙළියෙහි දී ඔහු පැරැද විය. පැරදුණ රජ තෙම මොහුට මා දුන්නේ ය. අසාහසික ව දැහැමින් (ඔහු විසින්) ලද්දේ වෙමි.
5772. වරුණ නාගරාජයා යම් මැ ප්‍රශ්නයක් විධුර පඬිතුමාගෙන් ඇසී ද, (ඉරන්දති) නාග කන්‍යාව ද එම ප්‍රශ්නය විධුර පඬිතුමාගෙන් ඇසුවා ය.
5773. පුළුවුස්නා ලද පණ්ඩිත තෙම වරුණ නාරද යම්සේ සතුටු කෙළේ ද එසේ ම නාගකන්‍යාව ද සතුටු කෙළේ ය.
5774. පණ්ඩිත තෙම, නාරජු හා නාමෙණෙවිය යන දෙදෙන ම සතුටු සිතැති බව දැන බිය රහිත වූයේ ලොමුදහගැනීම නැති ව වරුණ නාරජුට මෙලෙස කී ය:
5775. නාරජතුමනි, මිත්‍රද්‍රෝහි ක්‍රියාවක් කරමි යි නහමක් පැකිළෙව. ඒ මම වෙමි. හදවතින් හෝ මසින් හෝ යමකින් තොපට ප්‍රයෝජන ඇද්ද මේ සිරුර ඒ කිස කෙරෙයි. තොපගේ සිතැඟි පරිදි මම ක්‍රියා කරන්නෙමි.
5776. පණ්ඩිතයන්ගේ ප්‍රඥාව මැ හදවත යි. ඒ අපි තොපගේ ප්‍රඥාවෙන් තුටුපහටු වූම්හ. දැන් පූර්ණක ද බිරිය ලබයි. හෙතෙම, අද ම තොප කුරුරට වාසීන් වෙතට පමුණුවාවා!
5777. පූර්ණක යක්ෂ තෙමේ ඉරන්දතිය ලදින් ඔද වැඩුණු සිතැත්තේ කුරුරටවාසීන්ගේ ශ්‍රෙෂ්ඨ ඇමැතිහට මෙසේ කීය:
5778. පඬිතුමනි, තෙපි මා හා බිරිඳ සමඟි කළහු ය. මමත් තොපට කළමනා දැයක් කරමි. පඬිතුමනි, තොපට මේ මාණික්‍ය රත්නය දෙමි. අද ම තොප ඉඳිපත් නුවරට පමුණුවමි.
5779. කාත්‍යායන ය, තොපගේ ප්‍රිය භාර්‍ය්‍යාව හා සමග තෙල ප්‍රියසංවාස සංවේතන මෛත්‍රිය අනෙකකු විසින් නොදිනිය හැකි වේවා තොප සතුට ම ධනය කොට ඇත්තෙක් වැ සොම්නස් සිතැත්තේ ප්‍රීතිමත් වැ වෙසේවා! මිණිරුවන දී මා ඉඳිපත් නුවරට පමුණුවව.
5780. පූර්ණක යක්ෂයා කුරුරට වාසීන්ගේ ඇමැති විධුරපඬි ඉදිරි අසුනෙහි හිඳුවා ගත්තේ ය. අලාමක ප්‍රඥා ඇති විධුර පඬිතුමා රැගෙන ඉඳිපත් නගරයට පැමිණවී.
5781. මිනිසාගේ සිත යම්සේ වහා ගමන් කරන්නේ ද එයට වඩා වේගයෙන් මනොමය සෛන්ධවයාගේ ගමන සිදුවිය. පූර්ණකතෙමේ කුරුරට වැස්සන්ගේ ඇමැති ඉඳිපත් නුවරට පැමිණවී.
5782. පඬිතුමනි, තෙල ඉඳිපත් නගරය පෙනේ. සිත්කලු අඹ උයන්හි කොටස් ද පෙනේ. මම ද බිරිය හා එක් වීමි. තෙපිදු සිය නිවෙසට පැමිණියහු.
5783. පූර්ණක යක්ෂයා කුරුරට ඇමැතිවරයා ධර්‍මසභායෙහි බස්වා අලාමක පෙණුමැති හේ ආජානේය අසු පිට නැගී අහසින් ගියේ ය.
5784. රජ තෙම පඬිතුමා දැකැ ඉතා ප්‍රමුදිත වැ (අස්නෙන්) නැගීසිට බුහුමන් පෙරදැරිව පිළිගෙන, අකම්පිත වූයේ ධම්සභා මධ්‍යයෙහි සැරැසූ ධර්‍මාසනයෙහි (තමා) අබිමුවෙහි (රජතුමාට මූණලා) හිඳුවී ය.
5785. රියැදුරු සැරහූ රිය (යුතු තැනට) පමුණුවන්නා සේ, තෙපි අප යහපත් කටයුත්තෙහි පමුණුවන්නහු, කුරුරට වාසීහු තොපගේ දැකුමෙන් ප්‍රීත වෙති. විතාරණ මේ කරුණ මට කියනු මැනැවි. ඒ මාණවකයාගෙන් තොපගේ මිදීම සිදුවූයේ කෙසේ ද?
5786. රජතුමනි, යමකුට මාණවකයා යයි කීවේ ද හේ මිනිසෙක් නො වේ. නරවිරුවාණෙනි, ඔබ පූර්ණක නමැති යකා (ගැන) අසා තිබේ ද හේ කුවේර රජුගේ ඇමැතියා යි.
5787. භූමින්ධර නාග භවනයෙහි වසන වරුණ නාගරාජයා විශාල ය, පවිත්‍ර ය, පැහැපත් ය, බලවත් ය. ඔහුගේ අනුජාන දූහිතෘ වූ ඉරන්දති නමැති නාගකන්‍යාව (ලබන්නට) පූර්ණක කැමැති විය.
5788. මනා මැද පෙදෙස ඇති ඒ ප්‍රියාව බලාපොරොත්තුවෙන් හේ මා මරන්නට වෑයම් කෙළේ ය. හේ බිරිඳ හා සමහන් විය. නාරදුගේ අනුමැතිය ලැබැ මම ද ආයෙමි. මා මේ මැණික ලද්දේ ය. (රජ රටවැසියන්ට මෙසේ කියයි:)
5789. රජ මැදුර අබියස හටගත් රුකක් මා විසින් සීනෙන් දකිනලද ය. එම රුකැ නුවණ නමැති කඳ ඇත. සීලය නමැති අතු ඇත. උභයලෝකාර්‍ථ සිඬිය ගෙන දෙන ඒ ප්‍රඥා නමැති රුක පස්ගෝරස නමැති ඵල දරන්නේ ය. ඇතුන් හා අසුන් ගවයන්ගෙන් යුක්ත ය.
5790. මහජනයා නැටුම් ගැයුම් වැයුම් (ඈ පුද විසින්) පවත්වද්දී එක්තරා පුරුෂයෙක් (මහාජනයා පලවාහැර) මේ ගස කපා ගෙන ගියේ ය. ඒ නැණ රුක අප වෙත යළි ආයේය. තෙපි මේ රුකට පුද සත්කාර කරව්.
5791. යම්කිසි කෙනෙක් මාගේ උපකාර ලැබ සතුටු වෙත් ද අද ඒ සියල්ලෝ ම සිය සතුට පහළ කෙරෙත්වා! මේ රුකට මහත් පූජා සත්කාර කොට බුහුමන් කරවු.
5792. මාගේ රාජ්‍යයෙහි බන්ධනගත යම් සත්ත්ව කෙනෙක් වෙත් ද ඒ සියල්ලෝ බන්ධනයෙන් මුදත්වා! යම්සේ මේ පඬිතුමා මිදුණේ ද, එසේ හැම සත්හු ද බැඳුම්වලින් මුදනු ලබත්වා!
5793. මේ මාසය මුළුල්ලෙහි නඟුල් (කුඹුරෙන් ගොඩ ගෙන) තැන්පත් කොට තබත්වා! බමුණෝ මස්රසැති ව බත බුදිත්වා! මත්පැන් බොන්නෝ පානාගාරයෙහි සිට පිරී උතුරායන ඔඩම් වලින් රිසිසේ මත්පැන් බොත්වා!
5794. මහමඟැ අසල සිටින වෙසඟනෝ නිතර සළෙලුන් කැඳවත්වා! යම්සේ මහජනයා ඔවුනොවුන් නො පෙළත් ද එසේ දැඩි ආරක්ෂා සංවිධාන කෙරෙත්වා! මෙ අයුරින් මේ රුකට ගරුබුහුමන් කරවු.
5795. ඇතොවුර ස්ත්‍රීහු ද කුමාරවරු ද වෛශ්‍යයෝ ද බමුණෝ ද බොහෝ ආහාරපාන පඬිතුමාට යැවූහ.
5796. ඇතරුවෝ යැ අසරුවෝ යැ රථිකයෝ යැ පාබල සේනා යැ යන මොහු පඬිතුමාට බොහෝ ආහාරපාන යැවූහ.
5797. රැස් වූ දනවුවැස්සෝ ද නියම්ගම්වැස්සෝ ද පඬිතුමාට ආහාරපාන යැවූහ.
5798. පැමිණි පඬිතුමා දැක බොහෝ දෙන සතුටු වූහ. පඬිතුමා යළි පැමිණි කල්හි පිළී හිසැ සිසාරා ඔකඳ වූහු.
අටවන විධුරපණ්ඩිත ජාතක යි.