ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » අපදාන පාලි - භික්ඛූ අපදාන 1 » 1. බුද්‌ධාපදානය » ථෙරාපදානං

10. ආනන්ද ස්ථවිරාවදානය

653. පදුමුත්තර බුදුරජ තෙම අරම් දොරින් නික්ම අමාවැසි වස්වන්නේ මහාජනයා සන්හිඳවී ය. (=නිවණට පැමිණවී ය.)

654. ෂඩභිඥා ඇත්තා වූ ද මහාඍද්ධි ඇත්තා වූ ද ලක්‍ෂයක් ඒ ක්‍ෂීණාශ්‍රවයෝ අත හැර නො යන්නා වූ සෙවණැල්ල මෙන් සර්‍වඥයන් වහන්සේ පිරිවරත්.

655. (මම) උතුම් සේසත (මාගේ මස්තකයෙහි දරන්නේ) ඇතුපිට හුන්නෙම් වෙමි. මනොඥ වූ රූමත් බුදුරජානන් වහන්සේ දැක මට ප්‍රීතිය උපන්නේ ය.

656. ඇතු පිටින් බැස නරශ්‍රෙෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. මාගේ රුවන්මුවා ඡත්‍රය බුද්ධශ්‍රෙෂ්ඨයන් වහන්සේට දැරීමි.

657. පදුමුත්තර මහර්ෂි (බුදුරජ) තෙම මාගේ අදහස දැන (තමන් වහන්සේගේ) ඒ කථාව නවතා මේ ගාථාවන් වදාළේ ය:

658. ‘‘ඒ යමෙක් ස්වර්‍ණලඬ්කාරයන්ගෙන් සරසනලද ඡත්‍රයක් දැරී ද ඔහු (පිළිබඳ ව) ප්‍රකාශ කරන්නෙමි. පවසන්නා වූ මාගේ (ඒ වචනය) අසවු.

659. මේ පුරුෂ තෙම මෙයින් (චුත ව) ගොස් තුෂිතයෙහි වසන්නේ ය. දිව්‍යාප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ සම්පත් අනුභව කරන්නේ ය.

660. සූතිස්වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. (ඉන් චුත ව) සිවුරඟ සෙනඟට අධිපති ව එකසියඅටවරක් (පෘථිවීශ්වර ව) පොළොවෙහි වාසය කරන්නේ ය.

661. අටපණස්වරක් සක්විතිරජ වන්නේ ය. පෘථිවියෙහි මහත් වූ ප්‍රදෙශරාජ්‍යය ද කරවන්නේ ය.

662. කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ ගොත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.

663. ශාක්‍යකුලයට ධජයක් වැනි වූ මහාවීර වූ බුදුරජානන් වහන්සේගේ ඥාති වූ (මෙතෙම) ආනන්ද නම් උපස්ථායකයා වන්නේ ය.

664. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති ප්‍රඥාවත් වූ බහුශ්‍රැතභාවයෙහි දක්‍ෂ වූ නිහතමාන පැවැතුම ඇති තදබැවින් තොර ත්‍රිපිටකධාරියෙක් වන්නේ ය.

665. වීර්‍ය්‍යය කිරීමෙහි මෙහෙයනලද සිත් ඇති හෙතෙම උපශාන්ත වූයේ උපධි රහිත වූයේ සියලු ආශ්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.’’.

666. (යම් සේ) අරණෙහි උපතින් සැටවස් ඉක්ම ගිය ත්‍රිමද ගලිත වූ මාතඬ්ගහස්තිකුලයෙහි උපන්නා වූ මහත් දළ ඇති රාජවාහන වූ ඇත්තු වෙත් ද,–

667. (එසේ ම) පණ්ඩිත වූ ද මහා ඍද්ධිමත් වූ ද නොයෙක් ලක්‍ෂගණන් රහත් නාගයෝ වෙත් නම්, ඒ සියල්ලෝ බුද්ධනාගයන් වහන්සේට ලං කොට තැබීමෙහි දී (සම) නො වෙත්.

668. පෙරයම්හි ද මැදියම්හි ද පැසුළුයමහි ද නමස්කාර කරන්නෙමි. පහන් සිත් ඇත්තෙම් තුටු වූයෙම් බුද්ධශ්‍රෙෂ්ඨයන් වහන්සේ වෙත එළඹ සිටියෙමි.

669. කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූයෙම් පැණවත් වූයෙම් මනා දැනුම් ඇත්තෙමි සිහියෙන් යුතු වූයෙම් ශෛක්‍ෂභූමියෙහි දක්‍ෂ වූයෙම් සෝවාන් පලයට පැමිණියෙම් වෙමි.

670. මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර යම් කර්‍මයක් (කොට යමක්) ප්‍රාර්‍ත්‍ථනා කෙළෙම් නම්, මම ඒ පදවියට පැමිණියෙම් සසුනෙහි නිශ්වල ව සිටියෙම් වෙමි.

671, 672, 673, කෙලෙස් දවනලදී –පෙ– බුදුරජානන් වහන්සේගේ අනුශාසනය කරණලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක් යී.

දසවැනි වූ ආනන්‍දස්ථවිරාවදානය යි.