ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » අපදාන පාලි - භික්ඛූ අපදාන 1 » 1. බුද්‌ධාපදානය » ථෙරාපදානං

1. ශාරීපුත්‍ර ස්ථවිරාවදානය

යලි ස්ථවිරාවදානය අසවු.

ශාරීපුත්‍ර‍ස්ථවිරාවදානය

140. හිමවතට නුදුරෙහි ‘ලම්බක‘ නම් පර්‍වතයකි. එහි මට අසපුවක් කරණ ලදී පර්‍ණශාලාවක් (=පන්සලක්) ද මැනවින් මවන ලදි.

141. නො ගැඹුරු ඉවුරු ඈති මනා වූ කුඩා තොටුපළවල් ඇති මනොඥ වූ සුදෝසුදුවැලිතලාවන්ගෙන් ගැවසීගත් කුඩා ගඟක් මාගේ අසපුවට නුදුරෙහි වි ය.

142. බොරළු රහිත වූ ගැඹුරු ඉවුරු නැති මිහිරි ජලයෙන් යුත් දුර්‍ගන්ධ විරහිත වූ කුඩා ගඟ එහි මාගේ අසපුව හොබවමින් ගලා බසී.

143. කිඹුල්ලු ද මෝරු ද ගැටකිඹුල්ලු ද කැසුබුවෝ ද එහි වූ මාගේ අසපුව හොබවමින් ගඟෙහි හැසිරෙත්.

144. පෙටියෝ ද ලූල්ලු ද වලයෝ ද මොද්දු ද රෙහෙරු ද මගුරෝ ද (යන මත්ස්‍යයෝ) පෙරළෙමින් මාගේ අසපුව හොබවත්.

145. එ ම ගඟ දෙපසෙහි (හැම කල්හි) මල් පිපුනා වූ ද පල ගත්තා වූ ද වෘක්‍ෂයෝ දෙතෙරෙහි නැමුනාහු මාගේ අසපුව හොබවත්.

146. අඹ සල් මදට පළොල් නික යන මේ වෘක්‍ෂයෝ පිපීගිය මල් ඇත්තාහු මාගේ අසපුවෙහි හාත්පස දිව්‍යමය සුවඳ පතුරුවත්.

147. පිපුනු මල් ඇති සපු සලල කොළොම් නා දොඹ වැටකේ යන මේ වෘක්‍ෂයෝ ද මාගේ අසපුව හාත්පස දිව්‍යමය සුවඳ වහනය කරත්.

148. මාගේ අසපුවෙහි යොහොඹු වැල් ද හෝපලු රුක් ද භගිනිමාලා නම් වෘක්‍ෂයෝ ද මල් පිපී ගියාහු ය. එසේ ම රුකඟුණු රත්කරවු යන වෘක්‍ෂයෝ ද සුපුෂ්පිත වූවාහු ය.

149. වැටකේ කඳල ගොධුක බෝලිද්ද යන මොහු ද මාගේ අසපුව හොබවමින් දිවසුවඳ හමවත්.

150. කිණිහිරි ය සිහින් මිදි ය පියා ය කුඹුක් ය යන බොහෝ වෘක්‍ෂයෝ මාගේ අසපුව හොබවමින් දිවසුවඳ හමවත්.

151. දොඹ ය ගල්දොඹ ය කොබෝලීල ය යන වෘක්‍ෂයෝ සුපුෂ්පිත වූවාහු මාගේ අසපුව හොබවමින් දිවසුවඳ වහනය කරත්,

152. ඇසල ය කෙළිඳ ය කොළොම් ය මුහුනමල් ය යන බොහෝ වෘක්‍ෂයෝ මාගේ අසපුව හොබවමින් දිවසුවඳ හමවත්.

153. ආළක ය ඉසිමුග්ග (වනමුං) ය කෙසෙල් ය ලප්නාරං ය යන මේ ගස් සුවඳ දියෙන් වැඩුනාහු ඵල දරත්.

154. (අසපුව අසල වූ) තඩාගයෙහි හැමකල්හි ඇතැම් පද්මයෝ පිපෙත්. ඇතැම් කෙසරපද්මයෝ හටගණත්. ඇතැම් පිපුනු පද්මයෝ ගිලිහුනු පත් හා කෙසරු ඇත්තෝ වෙත්.

155. පද්මයෝ කැකුළු ව හට ගණිත්, නෙළුඹුඅල (මඩ අතුරින් ඇත්දළ මෙන්) වැඩී යෙත්. පත්‍ර ගැවසුනු ‘සිඬ්ඝාටක*‘ නම් පැළෑටි හැමකල්හි එ ම විලෙහි බබලත්.

156. විල අසල පිරීගිය නයිත ය, ආම්‍රගන්‍ධි ය, උස් වූ බඳුවද ය යන මේ ගස්හු හැම කල්හි දිවසුවඳ හමවත්.

157. පෙටියෝ ය, ලූල්ලු ය, වලයෝ ය, මොද්දු ය, රෙහෙරු ය, අඟුලුවෝ ය, මගුරෝ ය යන මත්ස්‍යයෝ ද හැම කල්හි තඩාගයෙහි වසත්,

158. කිඹුලෝ ය, සුංසුමාරයෝ ය, තන්තිගාහයෝ ය, රක්ඛසයෝ ය, ඔගුහයෝ ය, අජගරයෝ ය යන මොවුහු හැම කල්හි මෙම තඩාගයෙහි වසත්,

159. පරෙවියෝ ය, රවිහංසයෝ ය, සක්වාලිහිණියෝ ය, නදීචරයෝ ය, කොකිලයෝ ය, ගිරවු ය, සැළලිහිණියෝ ය යන මේ පක්ෂීහු ඒ පිල ඇසුරෙන් ජීවත් වෙති.

160. වලිකුකුළෝ ය, රන්වන් කකුළුවෝ ය, පියුම් වෙනෙහි විල්ලිහිණියෝ ය, කිරල්ලු ය, ගිරාමලිත්තෝ ය යන මේ පක්‍ෂීහු එම විල ඇසුරෙන් ජීවත් වෙති.

161. හංසයෝ ය, කොස්වා ලිහිණයෝ ය. මොනරු ය, කොවුලෝ ය, කුකුළෝ ය, හුණපුපුලෝ ය, ජීවඤ්ජීවයෝ ය යන මේ පක්‍ෂීහු එම විල ඇසුරු කොට ජීවත් වෙති.

162. බකමුහුණෝ ය, පොට්ඨසීසයෝ ය, කබරුස්සෝ ය, උකුස්සෝ ය, මහාකාලයෝ ය යන බොහෝ පක්ෂීහු එම විල ඇසුර කොට ජීවත් වෙති.

163. තිත්මුවෝ ය, වල්ඌරෝ ය, වෘකයෝ ය, සිවල්ලු ය, රේරුමුවෝ ය, සුග්ගපොතයෝ ය යන බොහෝ මෘගයෝ එම පිල ඇසුරු කොට ජීවත් වෙති.

164. සිංහයෝ ය, ව්‍යාඝ්‍රයෝ ය, දිවියෝ ය, වලස්සු ය, කර බානා වලස්සු ය, තෙතැනකින් මද වැහෙන ඇත්තු ය යන මොහු ඒ විල ඇසුරු කොට වෙසෙත්.

165. කිඳුරෝ ද, වඳුරෝ ද, තවද වනයෙහි කර්‍මාන්තයන්හි යෙදුනෝ ද, දාසයෝ ද, වැද්දෝ ද එම විල ඇසුරු කොට වෙසෙත්.

166. තිඹිරි ය, පියල් ය, මීගස් ය, ඇද්දෙමට ය යන මේ වෘක්‍ෂයෝ මාගේ අසපුවට නුදුරෙහි නිරතුරු ව ඵල දරත්.

167. මිහිරි ඵලයන්ගෙන් යුත් කොසුම්භ ය, සලල ය, බක්මී ය යන මේ වෘක්‍ෂයෝ මාගේ අසපුවට නුදුරු තන්හි නිරතුරු ව ම ඵල දරත්.

168. අරළු ය, නෙල්ලි ය, අඹ ය, ජම්බු ය, බුළු ය, ඩෙබර ය, බදුලු ය, බෙලි ය යන මෙකී වෘක්‍ෂයෝ ඵල දරති.

169. ආලු ය, කලම්බ ය, බීළාලී (කිරිබදු) ය, තක්කල ය, ජීවක ය, සුතක ය යන බොහෝ අලවර්‍ගයෝ මාගේ අසපුවෙහි වෙති.

170. අසපුවට නුදුරෙහි මැනවින් මැවූ පිරිසිදු සිසිල් දියඇති මනා තොටින් යුත් මනහර වූ තඩාගයෝ වූහ.

171. සුදුනෙළුම් රතුනෙළුම් හා උපුල් මලින් අනාකුල වූ තඩාගයන්ගෙන් දිවසුවඳ හමයි.

172. මෙසේ සුපුෂ්පිත වූ ඵල දැරුවා වූ සර්‍වාඞ්ගසම්පූර්‍ණ වනයෙහි මැනවින් කරණලද රම්‍ය වූ ආශ්‍රමයෙහි මම එකල්හි වෙසෙමි.

173. සිල්වත් වූ ව්‍රතසම්පන්න වූ ධ්‍යාන කරණසුලු වූ හැමකල්හි ධ්‍යානයෙහි ඇලුනා වූ පඤ්චාභිඥා බලයට පැමිණියා වූ 'සුරුචි' නම් තවුසෙක් වීමි.

174. සූවිසි දහසක් ශිෂ්‍යයෝ මට උවටැන් කළාහු ය. මේ සියලු ශිෂ්‍යයෝ ජාතිමත් කීර්‍තතිමත් බ්‍රාහ්මණයෝ වූහ.

175. නිඝණ්ඩු කෙටුභ සහිත අඞ්ගලක්‍ෂණ ශාස්ත්‍රයෙහි ද, ඉතිහාසයෙහි ද, වෙදත්‍රයයෙහි ද, ස්වකීය බ්‍රාහ්මණධර්‍මයෙහි ද, පරතෙරට ගියාහු වෙදපදපාඨකයෝ වූහ. එසේ ම ව්‍යාකරණයෙහි ද දක්‍ෂයෝ වූහ.

176. උල්කාපාත භූමිචලනාදිය පිළිබඳ වැඩ අවැඩ දැනගන්නා උත්පාතශාස්ත්‍රයෙහි ද, ශුභාගුභ නිමිති දැනගන්නා ශාස්ත්‍රයෙහි ද, ස්ත්‍රී පුරුෂයන්ගේ හා මහා පුරුෂයන් ගේ ලකුණු දන්නා ශාස්ත්‍රයෙහි ද දක්‍ෂ වූවාහු ය. එසේ ම පෘථිවිය පිළිබඳ වූ ද අහස පිළිබඳ වූ ද ශාස්ත්‍රයන්හි මාගේ ශිෂ්‍යයෝ දක්‍ෂයෝ වූහ.

177. අල්පෙච්ඡ වූ අල්පාහාර වූ ලොල්බව නො මැති මුහුකුරා ගිය නුවණැති ඔහු ලාභ අලාභ දෙකින් ම එක සේ සතුටු වූවාහු හැම කල්හි මා පිරිවරත්.

178. ධ්‍යාන වඩන්නා වූ ධාන්‍යායෙහි ඇලුනා වූ ධෛර්‍ය්‍යසම්පන්න වූ ශාන්ත වූ එකඟ වූ සිත් ඇති අකිඤ්චනභාවය (පළිබොධ විරහිත බව) කැමැති වන්නා වූ ඒ තවුසෝ හැම කල්හි මා පිරිවරත්.

179. පඤ්චාභිඥාවන්හි පරතෙරට පත් පරම්පරානුගත ගොචරයෙහි ඇලුනාවූ අහසින් යාම ඊම් කරන්නා වූ ස්ථිරගති ඇති එම තවුසෝ හැමකල්හි මා පිරිවරත්.

180. සදොර සංවරණය කරගත් තෘෂ්ණාවෙන් තොර සුරැකි ඉඳුරන් ඇති ගිහියන් සමග නො ගැටෙන ධෛර්‍ය්‍යවත් ඒ මාගේ ශිෂ්‍යයෝ ලං විය නො හැක්කෝ වෙත්.

181. දුරාසද වූ ඒ මාගේ ශිෂ්‍යයෝ පලඟ බැඳීමෙන් ද, හිඳීමෙන් ද, සිටීමෙන් හා සක්මන් කිරීමෙන් ද රාත්‍රිය ගෙවත්.

182. ලං විය නොහැක්කා වූ මාගේ ඒ ශිෂ්‍යයෝ ඇලිය යුතු දෙයෙහි නො ඇලෙත්. ගැටිය යුතු දෙයෙහි නො ගැටෙත්. මුළා විය යුතු දෙයෙහි මුළා නො වෙත්.

183. ඉදුහබල ආදියෙන් කිසිවෙකු විසිනුත් ලං විය නො හැක්කා වූ මාගේ ශිෂ්‍යයෝ නිරතුරු ව ම විකුර්‍වණඍද්ධිය විමසමින් පවතිත්. පෘථිවිය ද කම්පා කෙරෙත්.

184. ඒ මාගේ ශිෂ්‍යයෝ ඉදින් ක්‍රීඩා කරන්නාහු නම්, ධ්‍යානක්‍රීඩාව ම කෙරෙත්. දුරාසද වූ ඔහු මහ දඹ රුකෙන් ගෙඩි ගෙණෙත්.

185. ලං විය නොහැක්කා වූ ඔවුනතුරෙන් ඇතැම් කෙනෙක් ප්‍රත්‍යය සෙවීම පිණිස අපරගොයානයට යෙත්. ඇතැම් කෙනෙක් පූර්‍වවිදෙහයට ද ඇතැම් කෙනෙක් උතුරුකුරුදිවයිනට ද යෙත්.

186. අහසින් යන්නා වූ මාගේ ශිෂ්‍යයෝ පළමු කොට (පිරිකර) කද යවති. ඔහු පසු ව යෙත්, සූවිසිදහසක් වූ ඔවුන් විසින් අහස්තලය වසන ලද්දේ වේ.

187. ඔවුනතුරෙන් ඇතැම් කෙනෙක් (ඵලාඵලපත්‍රාදිය) ගින්නෙන් පිස කති. ඇතැම්හු නො පිසා අමුවෙන් ම කති. ඇතැම්හු දත්වලින් ම පොතු ගලවා කති. කිසිකෙනෙක් ගලින් කොටාගෙණ කත්. ඇතැම්හු ස්වයංපතිත ඵලාහාරයෙන් ජීවත් වෙති.

188. ලං විය නො හැක්කා වූ මාගේ ශිෂ්‍යයෝ ශුද්ධිය කැමැති වන්නාහු දියෙන් තමා තෙමීම කරන්නාහු උදැහැන ද සවස ද දියෙහි ගිලෙති.

189. දුරසද වූ මාගේ ශිෂ්‍යයෝ දික් වූ කිසිලි ලොම් හා නිය ඇත්තාහු මල බැඳුනු දත් ඇත්තාහු දූලි වැකුනු හිස් ඇත්තාහු සීලසුගන්‍ධයෙන් සුගන්‍ධවත් වූහ.

190. එකල්හි උග්‍රතපස් ඇති ජටාධර වූ තවුසෝ උදෑසන ම රැස් ව (ඔවුනට ලැබුනු) කුදුමහත් ලාභයන් ගැණ කථා කොට අහසෙහි යෙති.

191. එසේ යන්නා වූ මොවුන්ගේ (වැහැරි සිවුරුවලින් හටගත්) මහා ශබ්ද පවතී. අඳුන් දිවිසම්හඬින් දෙවියෝ සොම්නස් වූවාහු වෙති.

192. අහසෙහි හැසිරෙන්නා වූ එම ඍෂීහු දිසානුදිසාවන්ට ගමන් කෙරෙති. ස්වකීය ශරීරබලයෙන් හා ධ්‍යානබලයෙන් යුත් ඔහු යම් යම් තැනකට යනු කැමැත්තාහු නම්, ඒ ඒ තැනට ම යෙති.

193 මේ සියලු තන්හි කැමැති සේ හැසිරෙණ මොහු හැම දෙන ම පෘථිවී කම්පනයෙහි සමත් වූවෝ ද අහසෙහි හැසිරීමෙහි දක්‍ෂ වූවෝ ද උග්‍ර තේජස් ඇත්තාහු ද අභිභවනය කළ නො හැක්කාහු ද සයුර මෙන් අනුන් විසින් නො කැළඹිය හැක්කෝ ද වෙති.

194. ගුණයන් කරණ කොට ගෙණ ලං විය නො හැක්කා වූ මාගේ ශිෂ්‍ය වූ ඇතැම්හු සිටීම ය සක්මන් කිරීම ය යන ඉරියවු දෙකින් යුක්තයෝ ය. ඇතැම්හු හිඳීම්ඉරියවු පමණක් ඇත්තෝ ය. එසේ ම ඇතැම්හු ස්වයං පතිත ඵල අනුභව කරන්නෝ වෙති.

195. මොහු සව්සතුනට හිතවත් වූවාහු මෛත්‍රී විහරණ ඇත්තාහු ය. සියල්ලෝ ම තමා හුවා නො දක්වන්නෝ ය. කිසිවෙකු හෙළා දක්නෝ ද නො වෙති.

196. සිහරජකු මෙන් නීර්භීත වූවෝ ඇත්රජකු මෙන් බලවත් වූවෝ ව්‍යාඝ්‍රයකු මෙන් ලං විය නො හැක්කෝ මාගේ සමීපයට පැමිණෙත්.

197. විද්‍යාධරයෝ ද, දේවතාවෝ ද, නාග ගන්‍ධර්‍ව රාක්‍ෂස කුම්භාණ්ඩ අසුර ගුරුළු යන මොහු ද ඒ විල ඇසුරෙන් වෙසෙති.

198. ජටා හා තවුස්පිරිකරකත්හි බර උසුලන්නා වූ අඳුන්දිවිසම් පොරවා ගත් ආකාශචාරී වූ සියලු ම ඍෂිහු ඒ විල ඇසුරෙන් වෙසෙති.

199. හැමකල්හි මනා පැවැතුම් ඇති ඔහු ඔවුනොවුනට ගෞරව සහිත වූවාහු ය. සුවිසිදහසක් වූ ඔවුන්ගේ කිඹිසිලි ශබ්දයකුදු නැත.

200. පියවරින් පියවර තබන්නාහු නිශ්ශබ්දව මනා සංවරයෙන් යුත් ව සියල්ලෝ ම මා වෙත එළඹ හිස නමා වඳිත්.

201. ශාන්ත වූ තපොගුණ ඇති ඒ සිසුන් විසින් පිරිවරණ ලද මම ඒ අසපුවෙහි ධ්‍යාන කරණ සුලු ව ධ්‍යානයෙහි ඇලුනෙම් වෙසෙමි.

202. ඍෂීන්ගේ සිල්සුවඳින් ද මල්සුවඳින් ද යන මේ උභය සුගන්ධයෙන් හා ගස්වල පල සුවඳින් ද අසපුව සුවඳවත් වේ.

203. රෑ දාවල් නො දනිමි. මාගේ සිත්හි කුසල් දහම්හි නො ඇලීමක් නැත. සිය සිසුනට අවවාද කරන්නා වූ මම වැඩියක් ම ප්‍රීතිය ලබමි.

204. පිපෙන්නා වූ මල්වල ද පැසෙන්නා වූ ගෙඩිවල ද දිව්‍යමය වූ සුගන්ධයෝ මාගේ අසපුව හොබවමින් හමත්.

205. එකල්හි මම සමාධියෙන් නැගිට කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ සප්‍රාඥ වූයේ තවුස්පිරිකරකද ගෙණ වනයට පිවිසියෙමි.

206. උත්පාතශාස්ත්‍රයෙහි ද ස්වපනශාස්ත්‍රයෙහිද ලක්‍ෂණශාස්ත්‍රයෙහි ද මැනවින් හික්මුනේ දඹදිව පවත්නා මන්ත්‍රපද ද දරමි.

207. ලොකජ්‍යෙෂ්ඨ වූ ද නරශ්‍රෙෂ්ඨ වූ ද සියල්ල දන්නා වූ අනවමදර්‍ශශී භාග්‍යවතුන් වහන්සේ විවෙක සැප කැමති සේක් හිමවතට එළඹි සේක.

208. පුරුෂොත්තම වූ ශ්‍රෙෂ්ඨ වූ කාරුණික වූ බුදුරජානන් වහන්සේ හිමවතට පිවිස පලඟ බැඳ වැඩහුන් සේක.

209. දිලියෙන මහනෙල්මලක් මෙන් ද ආලොකවත් ගින්නක් මෙන් ද මනහර ප්‍රභා සහිත වූ බුදුරජානන් වහන්සේ එහි දී දිටිමි.

210. දිලියෙන පහන් රුකක් මෙන් ද, අහසෙහි විදුලිය මෙන් ද මනා ව පිපී ගිය සල්රුකක් මෙන් ද බුදුරජානන් වහන්සේ දිටිමි.

211. මේ ‘‘අග” සඞ්ඛ්‍යාත පව් නැති මහාවීර වූ දුක් කෙළවර කරන්නා වූ බුදුරජානන් වහන්සේ ය. මේ දර්‍ශනය ලැබ සියල්ලෝ දුකින් මිදෙත්.

212. මම දෙවියනට දෙවි වූ උන්වහන්සේ දැක ‘‘බුදු කෙනෙක් දෝ! බුදු කෙනෙක් නොවෙත් දෝ’’ යි ලක්‍ෂණ පරීක්‍ෂා කෙළෙමි. ‘‘ඒකාන්තයෙන් පසැස් ඇති උතුමෙකැ’’යි දකිමි.

213. උතුම් ශ්‍රී පාදයෙහි දහසක් දැවි ඇති චක්‍ර ලක්‍ෂණයෝ පෙණෙත්. උන්වහන්සේගේ මහාපුරුෂලක්‍ෂණ දැක තථාගත බැව්හි නිශ්චයට පැමිණියෙමි.

214. එකල්හි මම මුස්න ගෙණ හැමද මල් ගෙණවුත් බුද්ධශ්‍රෙෂ්ඨයන් වහන්සේ පිදීමි.

215. චතුරොඝයන් තරණය කළා වූ ආශ්‍රව රහිත වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ පුදා අඳුන්දිවිසම එකස් කොට ලොකනායක වූ තථාගතයන් වහන්සේට නමස්කාර කෙළෙමි.

216. ආශ්‍රව රහිත වූ බුදුරජානන් වහන්සේ සම ඤාණයකින් යුක්ත ව වැඩවිසූ සේක් නම්, ඒ ඤාණය කියන්නෙමි. කියන්නා වූ මාගේ ඒ වචනය අසවු.

217. අමිතෝදය වූ හෙවත් අපමණ වූ දියුණුව ඇති බුදුරජානන් වහන්ස, මේ ලොකවාසී සත්‍වයා නඟාලුව මැනව. ඔවුහු ඔබවහන්සේගේ දර්‍ශනය නිසා සැකය නැමැති සැඩපහර තරණය කෙරෙත්.

218. ඔබවහන්සේ ලොකයාට ශාස්තෘ වනසේක. උතුම්බැවින් ජයකොඩිය ද වනසේක. (ප්‍රකටාර්‍ත්‍ථයෙන්) ධ්වජය ද වනසේක. (යාග) ස්තම්භය ද වනසේක. උතුම් වූ පිහිට ද වනසේක. මොහඳුර නසන ප්‍රදීපය ද වනසේක. දෙපා ඇතියනට උතුම් ද වනසේක.

219. සමුදු‍රෙහි ජලය නැළියකින් හෝ මිනුමට හැකි වුව ද ඔබ වහන්සේගේ සර්‍වඥතාඥානය මිනුමට නො හැක්කේ මැයි.

220. පොළොව තරාදිතටුවක තබා දරනු හැකි වුව ද ඔබවහන්සේගේ සර්‍වඥතාඥානය දරන්නට නො හැක්කේ මැ යි.

221. අහස රැහැනකින් හෝ අඟලෙන් හෝ මිනිය හැකි වුව ද ඔබවහන්සේගේ සර්‍වඥතාඥානය පමණ කරණු නො හැක්කේ මැයි.

222. බුද්ධඥානය තෙම මහසමුදුරෙහි අපමණ වූ ජලය ද, අපමණ වූ මහ පොළොව ද, ඉක්මවා යයි. බුදු නැණ හා සම කරන්නට උපමාවශයෙන් (කිසිවක්) නො යෙදේ.

223. පසැස් ඇතියානන් වහන්ස, දෙවියන් සහිත ලොකයෙහි යම් පමණ සත්‍වකෙනෙකුන් පිළිබඳ ව සිත පවතී නම් එපමණ වූ මේ සත්‍ව සමූහයා ඔබ වහන්සේගේ නුවණ නමැති දැලෙහි ඇතුළට පිවිසියාහු වෙති.

224. සර්‍වඥයන් වහන්ස, ඔබ වහන්සේ යම් නුවණක් කරණ කොට ගෙණ හුදු උතුම් වූ සම්‍යක්සම්බොධියට පැමිණියාහු ද එම ඤාණය කරණ කොට ගෙණ අන්‍ය තීර්‍ත්‍ථකයන් මඩින්නෙහි ය.

225. ඒ ‘සුරුචි” නම් තවුස් තෙමේ** මෙම ගථාවන්ගෙන් (උන්වහන්සේට) ස්තුති කොට පොළොවෙහි අඳුන්දිවිසම එලා හිඳ ගත්තේ ය.

226. මේරූ පර්‍වතරාජයා මහසමුදුරෙහි යොදුන් අසූසාරදහසක් ඇතුළට බැසගත්තේ එපමණ ම (යොදුන් අසූසාරදහසක්) සමුදුරෙන් උඩට නැග ඇත්තේ ය යි කියනු ලැබේ.

227. දිගුපුළුලිනුදු එපමණ ම උඩට නැගුනු මේරුපර්‍වතය කෙළලක්‍ෂ ගණනින් අණුභෙදයෙන් සුණු කරණ ලද්දේ–

228. (එම අණු) ලක් (=අලගු) තබන කල්හි දු ක්‍ෂය වීමට පැමිණියයි. ඔබ වහන්සේගේ සර්‍වඥතාඥානය ප්‍රමාණ කරන්නට නො හැක්කේ මැ යි.

229. යමෙක් සියුම් ඇස් (=සිදුරු) ඇති දැලකින් දිය වට කරන්නේ ද, එවිට ජලයෙහි යම් කිසි ප්‍රාණි කෙනෙක් වෙත් නම්, (ඔහු) එම දැල තුළට වදින්නාහු ය.

230. මහාවීරයන් වහන්ස, එසේ ම යම් කිසි පෘථග්ජන තීර්ථක කෙනෙක් දෙසැට මිසදිටු නමැති දැලට පිවිසියාහු දෘෂ්ටිපරාමර්‍ශනයෙන් මුළා වූවාහු වෙද්ද.

231. ආවරණයක් නැති ව දක්නාසුලු වූ පිරිසිදු නූවණින් තෙල තීර්‍ත්‍ථකයෝ ඔබ වහන්සේගේ නුවණ දැල තුළට පිවිස්වන ලදහ. ඔවුහු ඔබ නැණ නො ඉක්මවත්.

232. පස්මරුන් දිනූ මහා යශස් ඈති අනවමදර්ශී නම් භාග්‍යවතුන් වහන්සේ එසමයෙහි සමාධියෙන් නැගිට දිශාවලොකනය කළසේක.

233–234. අනවමදර්ශී නම් බුදුරජානන් වහන්සේගේ නිසභ නම ශ්‍රාවක තෙමේ සන්සිඳුනු සිත් ඇති (අටලෝ දහම්හි නො සැලෙන) තාදිගුණ යුත් ශුද්ධ වූ ෂඩභිඥා ඇති ධ්‍යාන කරණ සුලු වූ ලක්‍ෂගණන් රහතුන් විසින් පිරිවරණ ලදුයේ බුදුරජානන් වහන්සේගේ සිත දැන ඒ ලොකනායකයන් වහන්සේ වෙත එළඹියේ ය.

235. එහි අහසෙහි සිටියා වූ උන්වහන්සේලා (බුදුරජානන් වහන්සේ) ප්‍රදක්ෂිණා කළාහු ය. බදැඳිලි ඇති ව නමදිමින් සර්‍වඥයන් වහන්සේ වෙතට බැස්සාහු ය.

236. ලොකශ්ජ්‍යෙෂ්ඨ වූ නරශ්‍රෙෂ්ඨ වූ පස්මරුන් දිනුවා වූ අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසංඝයා අතර වැඩහිඳ සිනා පහළ කළසේක.

237. මහර්ෂි වූ සර්‍වඥයන් වහන්සේගේ 'වරුණ' නම් උපස්ථායක තෙමේ සිවුර එකස් කොට ගෙණ ලොකනායක වූ බුදුරජානන් වහන්සේ ගෙන් මෙසේ විචාළේ ය:

238. ‘භාග්‍යවතුන් වහන්ස, ශාස්තෘ වූ ඔබ වහන්සේගේ සිනා පහළ කිරීමට හේතුව කුමක් ද? ඒ සර්‍වඥ බුදුවරයෝ කරුණු රහිත ව සිනා පහළ නො කරති.’

239. ලොකශ්ජ්‍යෙෂ්ඨ වූ නරශ්‍රෙෂ්ඨ වූ අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ සංඝයා මැද හිඳ මෙ ම ගාථාව වදාළසේක:-

240. ‘යම් තවුසෙක් තෙම මා මලින් පිදී ද, මාගේ (සර්‍වඥතා) ඥානයට නැවත නැවත ස්තුති කෙළේ ද, ඒ තවුසා (කවරෙක් දැයි) මම තොපට පැහැදිලි කරන්නෙමි. පවසන්නා වූ මාගේ වචනය අසවු.’

241. බුදුරජානන් වහන්සේගේ වචනය දැන සියලු දෙවියෝ එක් වූහ. සද්ධර්‍මය අසනු කැමැත්තා වූ ඔහු බුදුරජානන් වහන්සේ වෙත එළඹියාහු ය.

242. දසදහස්සක්වළ මහර්ධි ඇති යම් දෙවතාවෝ වෙත් ද, ඔහු සද්ධර්‍මය අසනු කැමැත්තාහු බුදුරජානන් වහන්සේ වෙත එළඹියාහු ය.

243. ඇත්, අස්, රිය, පාබළ යන සිවුරඟ සෙනග නිතර මොහු පිරිවරාගන්නාහු ය. බුද්ධපූජාවෙහි මේ ඵලය යි.

244. සැට දහසක් තුර්‍ය්‍යයෝ ද අලඬ්කාර, කළ භෙරීහු ද, මොහුට නිතර (වැයීමෙන්) උවටැන් කරන්නාහු ය. මෙය බුද්ධපූජාවෙහි ඵලය යි.

245–246. මැනවින් අලඩ්කාර කරණලද විසිතුරු අබරණ ඇත්තා වූ එල්බනලද මිණිකොඬොල් ඇත්තා වූ දිග ඇසිපිහාටු ඇත්තා වූ සිනා සහිත වූ මනා වූ ශරීරාවයව ඇති සිහින් කටිප්‍රදෙශ ඇති සොළොස් දහසක් ස්ත්‍රීහු නිරතුරු ව ම මොහු පිරිවරන්නාහු ය. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.

247. කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව්ලෙව්හි සිත් අලවා වසන්නේ ය. දහස්වරක් රටෙහි සක්විති රජවන්නේ ය.

248. ශක්‍රදේවෙන්ද්‍ර ව දහස්වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. (කරන්නා වූ) මහත් වූ ප්‍රදෙශරාජ්‍යය ගණන් විසින් අපමණ ය.

249. අන්තිම (රහත් වන) භවය පැමිණිකල්හි මිනිසත්බවට පැමිණෙන්නේ ය. “සාරී” නම් බැමිණියගේ කුසින් දරන්නී ය.

250. මේ තැනැත්තේ මවගේ නාමගොත්‍රයෙන් ප්‍රකට වන්නේ ය. නාමයෙන් ශාරීපුත්‍ර නම් වූ තීක්‍ෂණප්‍රඥා ඇත්තෙක් වන්නේ ය.

251. අසුකෙළක් (ධනය) හැරදමා අකිඤ්චන (=ධනය නැත්තෙක්) ව පැවිදි වන්නේ ය. මොක්‍ෂපදය සොයමින් මේ පෘථිවියෙහි හැසිරෙන්නේ ය.

252. මෙයින් ඒකාසඞ්ඛ්‍ය කල්පලක්‍ෂයක් මතුයෙහි "ඔක්කාක” කුලයෙහි උපදින ගොත්‍රයෙන් “ගෞතම” නම් වූ ශාස්තෲන් වහන්සේ ලොකයෙහි පහළ වන සේක.

253. උන්වහන්සේගේ ධර්‍මය දායාද්‍යයකොට ඇති ඖරස බුද්ධපුත්‍ර වූ ධර්‍මයෙන් ම මවාලූවාක් වැනි වූ නමින් ශාරීපුත්‍ර නම් වූ අග්‍රශ්‍රාවකයෙක් වන්නේ ය.

254. හිමවතින් පටන් ගත් මේ ‘භාගීරථී” ගඞ්ගා තොමෝ මහ සමුදුර පුරවමින් සයුරට පැමිණෙන්නී ය.

255. එසේ ම මේ ශාරීපුත්‍රතෙමේ ස්වකීය (කුලපරම්පරාවෙහි පවත්නා වූ) ත්‍රිවෙදයෙහි විශාරද වූයේ ප්‍රඥාවෙන් ශ්‍රාවකපාරමීඥානයෙහි තෙරට ගොස් (සියලු) සත්‍ත්‍වයන් සන්තර්‍පණය කරන්නේ ය.

256. හිමාලපර්‍වතයෙහි පටන් මහා ජලස්කන්‍ධය දරන්නා වූ සයුර තෙක් මේ අතරෙහි යම් පමණ වැලිරැසක් ඇද්ද, එ ද ගණන් වසයෙන් අසඞ්ඛ්‍ය වේ.

251. ඒ වැලිරැස ද සම්පූර්‍ණයෙන් ගිණිමෙන් මෙ පමණ ය යි ප්‍ර‍මාණ කරන්නට හැකි වන්නේ නුමුදු ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ ප්‍රඥාවෙහි කෙළවරක් නො වන්නේ ය.

258. අලගු තබන කල්හි දු ගඞ්ගා නම් නදියෙහි වැලි අවසන් වන්නේ ය. ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ප්‍රඥාවෙහි කෙළවරක් නො වන්නේ මැ යි.

259. මහසයුරෙහි රළ ගණන් වශයෙන් මෙපමණයයි සඞ්ඛ්‍යා කළ හැකි නො වේ. එසේ ම ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ ප්‍රඥාවෙහි කෙළවරක් නො වන්නේ ය.

260. ශාක්‍යකුල ශ්‍රෙෂ්ඨ වූ ගෞතම සම්මා සම්බුදුරජාණනන් වහන්සේ සතුටු කොට ප්‍රඥාවෙන් ශ්‍රාවක පාරමීඥානයෙහි තෙරට ගොස් අග්‍රශ්‍රාවක යෙක් වන්නේ ය.

261. තාදිගුණ ඇති (=අටලෝ දහම්හි නො සැලෙන) (සර්‍වඥ වූ) ශාක්‍යපුත්‍රයන් වහන්සේ විසින් පවත්වනලද ධර්‍මචක්‍රය දහමවැසි වස්වමින් මැනවින් ඒ අනු ව පවත්වන්නේ ය.

262. ශාක්‍යකුලශ්‍රෙෂ්ඨ වූ ගෞතමබුදුරජානන් වහන්සේ මේ සියල්ල වෙසෙසින් නුවණින් දැන භික්‍ෂුසංඝයා මධ්‍යයෙහි හිඳ අග්‍රස්ථානයෙහි තබන්නේ ය.

263. “අනවමදර්ශී“ බුදුරජානන් වහන්සේගේ සමීපයෙහි මා විසින් පුණ්‍යකර්‍මයක් මැනවින් කරණ ලදි. ආශ්චර්‍ය්‍යයෙකි. ‘යම් ඒ අනවමදර්ශී නම් බුදුවරයෙක් වී ද, උන්වහන්සේ විෂයයෙහි එකී පුණ්‍යසම්භාරය කොට සකලගුණසමූහයෙහි පරතෙරට ගියේ වෙමි.

264. අපමණ කලක් මුළුල්ලෙහි මා විසින් කරණ ලද කුශලකර්‍ම ඵලය මේ පශ්විමාත්මභාවයෙහි දී දැක්වී ය. දක්‍ෂ දුනුවායෙකු විදි හීයෙහි වෙගය මෙන් සුමිදුනෙමි. මම කෙලෙස් දැවීමි.

265. හෙතුප්‍රත්‍යයයන්ගෙන් සකස් නො වූ නිශ්චල වූ නිර්‍වාණපදය සොයන්නෙම් සියලු තීර්‍ත්‍ථකයන් පරීක්‍ෂා කරන්නෙම් එකල්හි මම භවයෙහි සැරිසැරිමි.

266. ලෙඩකින් පෙළෙන්නා වූ පුරුෂයෙක් තෙම ලෙඩින් මිදීම පිණිස ඖෂධයක් සොයන්නේ යම්සේ සියලු වනය පරීක්‍ෂා කරන්නේ ද,

267. (එසේ) අසංස්කෘත වූ අමෘතපදය වූ නිර්‍වාණය සොයන්නා වූ මම අවිච්ජින්න ව (=නො කඩ කොට පිළිවෙළින්) පන්සියයක් අත්බැව්හි සෘෂි ප්‍රවුජ්‍යාවෙන් පැවිදි වීමි.

268. මම තවුස් දළමඩුලුබරින් බර වූයෙම් අඳුන්දිවිසමින් කළ උතුරුසළු පොරවන්නෙම් අභිඥාවන්ගේ පරතෙරට පැමිණ බඹලොවට ගියෙමි.

269. බුදුසසුනෙහි හැර ඉන් පිට සසුනක ශුද්ධියක් නැත. බුද්ධිමත් වූ කිසියම් සත්ත්‍වකෙනෙක් වෙත් නම් ඔහු සර්‍වඥශාසනයෙහි දී පිරිසුදු වෙති.

270, එය (=ඒ පිරිසිදු වීම) ම විසින් කරණ ලද්දක් ම ය (=මගේ අත්දැකීමක් ම ය). ‘මෙය මෙසේ විය. මෙසේ වී ය’ යි කියන ආරංචියක් නො වේ. මම නිවණ සොයන්නෙම් වැරැදි තීර්‍ත්‍ථයන්හි හැසුරුනෙමි.

271. යම් සේ හර කැමැත්තා වූ පුරුෂයෙක් තෙම කෙසෙල්ගසක් කපා පළන්නේ ද, හෙතෙම එහි හරයක් නො ලබන්නේ ය. ඒ කෙසෙල්ගස හරයෙන් හිස් වූවක් ම ය.

272. එසේ ම ලෝකයෙහි තීර්‍ත්‍ථකයෝ ද නානාදෘෂ්ටි ගත් බොහෝ දෙන ද නිවණින් හිස් වූවෝ ම වෙති. හරයෙන් හිස් වූ කෙසෙල්ගස මෙනි.

273. අන්තිමජාතියෙහි මම බ්‍රාහ්මණකුලයෙහි උපන්නෙක් වීමි. මහත් වූ භොගස්කන්‍ධය හැර අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි.

(පළමුවැනි බණවර යි.)

274. වෙද හදාරන්නා වූ මන්ත්‍රධර වූ ත්‍රිවෙදයෙහි පරතෙරට ගිය සඤ්ජය නම් බමුණෙක් වි ය. මම ඔහුගේ සමීපයෙහි වසමි.

275. මහාවීරයන් වහන්ස, “අස්සජි’’ නම් බ්‍රාහ්මණ තෙම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වි ය. එකල්හි ලං විය නො හැක්කා වූ උග්‍ර වූ තෙජස් ඇති උන්වහන්සේ පිඬු පිණිස හැසිරෙණ සේක.

276. මැනවින් පිපි පියුමක් වැනි වූ අතිශ්‍රෙෂ්ඨ වූ සන්සුන් සිත් ඇති සප්‍රාඥ වූ මෞන ධර්‍මවිෂයයෙහි එකඟ සිත් ඇති ඒ අස්සජි ස්ථවිරයන් වහන්සේ දුටුවෙමි.

277. මනා ව දැමුනා වූ පිරිසිදු සිත් ඇති ශ්‍රෙෂ්ඨ වූ උත්තම වූ වීර වූ උන්වහන්සේ දැක හෙතෙම රහත් කෙනෙක් වන්නේ ය යි මට සිතක් උපන.

278. දුටුවන් පහදවන්නේ ඉරියවු පවත්වයි. මනා රූ ඇත්තේ ය. සංවරණය කළ ඉඳුරන් ඇත්තේ ය. උතුම් දමනයෙන් දැමුනේ ය. නිවන් දක්නාසුලු වූවෙක් වන්නේ ය.

279. මම සතුටු සිත් ඇති උන්වහන්සේගෙන් (තමන් වහන්සේ පැමිණ සිටින) උතුම් ඵලය ගැන විචාරන්නෙම් නම් ඉතා යෙහෙකි. මා විසින් විචාරණ ලද හෙතෙම එය කියන්නේ ය. එකල්හි මම නැවත විචාරමි.

280. මම අමෘතපදය ගැණ විචාරන්නට අවසරයක් බලමින් පිඩු පිණිස හැසිරෙන්නා වූ උන්වහන්සේ පසුපස ගියෙමි.

281. මම වීථිය තුළට පැමිණ උන්වහන්සේ වෙත එළඹ ‘වීරයන් වහන්ස, ඔබ වහන්සේ කිනම් ගොත්‍ර ඇති සේක් ද? නිදුකානන් වහන්ස, කවරෙකුගේ ශිෂ්‍යයෙක් වන සේක්දැ’ යී විචාළෙමි.

282. මා විසින් විචාරණලද උන්වහන්සේ කෙශරසිංහයකු මෙන් නිර්භීත ව මෙසේ ප්‍රකාශ කළ සේක:- බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ සේකි. ඇවැත්නි, මම උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් වෙමි.'

283. ‘අනුජාත (බුද්ධ) පුත්‍රයානෙනි, මහා සශස් ඇත්තානෙනි, මහා වීරයානෙනි, ඔබගේ ඒ බුදුරජානන් වහන්සේගේ ශාසනධර්‍මය කෙබඳු ද? පින්වත, මට යහපත් ලෙස ශාසනය පවසනු මැනව.'

284. මාවිසින් විචාරණලද හෙතෙමේ ගැඹුරු වූ සියුම් වූ තෘෂ්ණා නැමැති හුල නැති කරන්නා වූ සියලු දුක් දුරු කරන්නා වූ අමෘත පද සඞ්ඛ්‍යාත ධර්‍මය මෙසේ පැවැසී ය:-

285. ‘‘හෙතුප්‍රභව වූ හෙවත් හේතූන් නිසා ඇති වන්නා වූ යම් ඵලධර්‍ම කෙනෙක් ඇත් නම්, එ ම (එල) ධර්‍මයන්ගේ හෙතුධර්‍ම ද, තථාගතයන් වහන්සේ වදාළසේක. (එසේ ම උන්වහන්සේ) එකී හෙතුධර්‍මයන්ගේ වැළැක්ම (=නිරොධය) ද (හෙතු නිරොධයෙන් ඇති වන්නාවූ ඵලනිරොධය ද) වදාළසේක. මහාශ්‍රමණ වූ බුදුරජානන් වහන්සේ මෙබඳු කථා ඇති සේක’’.

286. ඒ මම ප්‍රශ්නය (මෙසේ) විසඳු කල්හි ප්‍රථමඵලයට හෙවත් සෝවාන්ඵලයට පත් වීමි. එම බුද්ධානුශාසනය අසා කෙලෙස් රජස් රහිත වූ නිර්‍මල වූවෙක් වීමි.

287. (අස්සජි) තෙරුන්ගේ වචනය අසා උත්තම වූ ධර්‍මය (ආර්‍ය්‍ය මාර්‍ගඥානයෙන්) දැක බැසගන්නාලද බුදුසසුන් ඇත්තෙම් මෙ ම ගාථාව කීමි:–

288. ‘‘ඉදින් මෙපමණක් වුවත් ධර්‍මය මෙය මැ යි. ඔබ නිර්‍වාණ පදය ප්‍රතීවෙද කෙළෙහි ය. බොහෝ වූ කල්ප නහුත ගණනක් අප විසින් නො දක්නාලදු ව ඉක්මගිය ඒ නිර්‍වාණපදය ඔබ වහන්සේ ප්‍රතිවෙධ කළ සේක.

289. ඒ මම ධර්‍මය සොයන්නෙම් කුතීර්‍ත්‍ථයන්හි හැසුරුණෙමි. සෙවිය යුතු ඒ අර්‍ත්‍ථය ම විසින් ලබන ලදී. මට පමා නො වන්නට කාලය වේ.”

290. මම අස්සජි තෙරුන් විසින් සතුටු කරණ ලද්දෙම් වෙමි. මම නිශ්චල වූ අමෘතපදයට (=සෝවාන් ඵලයට) පැමිණ මිත්‍රයා (=කොලිත) සොයමින් අසපුවට ගියෙමි.

291. මනා ව හික්මුනා වූ මාගේ මිත්‍ර තෙමේ දුර දී ම සන්හුන් ඉරියවු වලින් යුතු වූ මා දැක මෙ ම වචනය කී ය:

292. ‘‘ඔබ පහන් වූ මුහුණ හා නෙත් ඇත්තේ ය. මුනිභාවය ම පෙණේ. කිම, අමෘතය (=නිවණ) අවබෝධ කෙළේ ද? අච්‍යුත සඞ්ඛ්‍යාත නිර්‍වාණ පදය අවබොධ කෙළේ ද?

293. බ්‍රාහ්මණය, උත්තම දමථයෙන් (තෙමසක් හෙණ්ඩු ආදියෙන්) හික්මවනලද ඇතකු මෙන් පහන් පැහැයට සුදුසු ව එන්නේ ය. (ඔබ) සන්සිඳුනේ ද?”

294. ‘‘ශොකය නැමැති හුල දුරු කරන්නා වූ (ඇද දමන්නා වූ) අමෘතය (නිවණ) මා විසින් අවබොධ කර ගන්නාලදී. ඔබ ද එය අවබොධ කර ගන්න. අපි බුදුරජානන් වහන්සේ සමීපයට යමු’’.

295. හික්මුනා වූ ඒ මාගේ යහළු තෙමේ මැනවැයි පිළිවදන් දී අතින් අත ගෙණ ඔබවහන්සේගේ සමීපයට පැමිණියේ ය.”

296. ශාක්‍යපුත්‍රයානන් වහන්ස, ඔබවහන්සේගේ සමීපයෙහි (අපි) දෙදෙන ම පැවිදි වන්නෙමු. ඔබවහන්සේගේ අවවාදය ලැබ ආශ්‍රව රහිත ව වසමු.

297. කොලිතතෙමේ සෘද්ධියෙන් ශ්‍රෙෂ්ඨ ය. මම ප්‍රඥාවේ පරතෙරට ගියෙමි. දෙදෙන ම එක් ව සසුන හොබවමු.

298. කෙළවරට නො පත් බලාපොරොත්තු ඇත්තෙම කුතීර්‍ත්‍ථයන්හි හෙවත් නො යා යුතු මගෙහි හැසුරුණෙමි. ඔබවහන්සේ දැකීම නිසා මාගේ බලාපොරොත්තුව සම්පූර්‍ණ වි ය.

299. පොළොවෙහි පිහිටා වෘක්‍ෂයෝ (සුදුසු) කාලයෙහි පිපෙත්. දිව සුවඳ හමත්. සියලු ප්‍රාණීන් සතුටු කරත්.

300. මහාවීරයන් වහන්ස, ශාක්‍යපුත්‍රයන් වහන්ස, මහා යශස් ඇත්තානන් වහන්ස, එසේ ම ඔබ වහන්සේගේ සසුනෙහි පිහිටා (රහත්මඟ නුවණින්) පිපෙන්නට (සුදුසු) කාලය සොයමි.

301. භවසංසාරයෙන් මුදවන්නා වූ විමුක්තිය නැමැති පුෂ්පය සොයන්නෙම් දැන් එම විමුක්තිපුෂ්පලාභයෙන් සියලු සත්ත්‍වයන් සතුටු කරමි.

302. පසැස් ඇත්තානන් වහන්ස, බුද්ධක්‍ෂෙත්‍රය යම් පමණ වේ නම්, ඒ සියලු තන්හි (කෝටිලක්‍ෂයක් සක්වළ) සම්මා සම්බුදුරජානන් වහන්සේ හැර ප්‍රඥාවෙන් ඔබවහන්සේගේ පුත්‍රයාට (=ශාරීපුත්‍රයන්ට) සමාන කෙනෙක් නැත.

303. ඔහුගේ ශිෂ්‍යයෝ ද සුවිනීතයෝ ය. පිරිස ද මැනවින් හික්මුනේ ය. උතුම් ශික්‍ෂාවෙහි දමනය වූවෝ හැම කල්හි ඔහු ඒ ශාරිපුත්‍රයන් පිරිවරත්.

304. ධ්‍යාන කරණ සුලු වූ ධ්‍යානයෙහි ඇලුනාවූ ධෛර්‍ය්‍යවත් වූ ශාන්ත සිත් ඇති සන්සුන් වූ නැණවත් මෞන නම් වූ නුවණින් යුත් භික්‍ෂූහු හැම කල්හි ඔහු පිරිවරත්.

305. අල්පෙච්ඡ වූ ප්‍රාඥ වූ ධෛර්‍ය්‍යවත් වූ ස්වල්පාහාර ගන්නා වූ ලොල් නො වූ ලාභ අලාභ දෙකෙහි සම ව සතුටු වන්නා වූ භික්‍ෂූහු ඔහු පිරිවරත්.

306. අරණෙහි වසන්නා වූ (=ආරණ්‍යක) ධූතාඞ්ගධාරී වූ ධ්‍යාන කරන්නා වූ රූක්‍ෂචීවරධාරී (=ගොරෝසු සිවුරු දරන්නා) වූ විවෙකයෙහි ඇලුනා වූ ධෛර්‍ය්‍යවත් වූ (භික්‍ෂූහු) හැමකල්හි ඔහු පිරිවරත්.

307. සිවුමගට පැමිණියෝ ද රහත් පෙලෙහි සිටියෝ ද යට තුන් පෙලෙන් යුතු වූවෝ ද යන මේ ආර්‍ය්‍ය භික්‍ෂූහු අටදෙන නිවණ බලාපොරොත්තුවෙන් හැම කල්හි ඔහු පිරිවරත්.

308. යම්, පිරිසිදු වූ සොතාපත්තිමාර්‍ගඵලයට පැමිණියෝ ද සකෘදාගාමීහු ද අනාගාමීහු ද රහත්හු ද වෙත් නම්, ඔහු හැම කල්හි ඔහු පිරිවරත්.

309. (සතර) සතිපට්ඨානයන්හි දක්‍ෂ වූ ද (සප්ත) බොධ්‍යඞ්ග භාවනාවෙහි ඇලුනාවූ ද, බොහෝ වූ ඒ සියලු ශ්‍රාවකයෝ හැමකල්හි ඔහු පිරිවරත්.

310. (සතර වැදෑරුම්) සෘද්ධිපාදයන්හි දක්‍ෂවූවෝ ද, සමාධි භාවනාවෙහි ඇළුනෝ ද (සතර) සම්‍යක් ප්‍රධානයෙහි යෙදුනෝ ද ඔහු හැමකල්හි පිරිවරත්.

311. ත්‍රිවිද්‍යා ඇත්තෝ ද ෂඩහිඥා ඇත්තෝ ද සෘද්ධියෙන් හා ප්‍ර‍ඥාවෙන් පරතෙරට ගියෝ ද ඔහු හැම කල්හි පිරිවරත්.

312. මහාවීර වූ බුදුරජානන් වහන්ස, මැනවින් හික්මුනා වූ ලං විය නො හැක්කා වූ උග්‍ර වූ තෙජස් ඇති ඒ මෙබඳු වූ ඔබවහන්සේගේ ශිෂ්‍යයෝ ඔහු හැමකල්හි පිරිවරත්.

313. සංයත වූ කෙලෙස් තවන ගුණ ඇති එම ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලද්දා වූ ද හෙතෙම බිය රහිත සිහරදකු මෙන් ද චන්‍ද්‍රයා මෙන් ද බබලන්නේ ය.

314. වෘක්‍ෂයෝ පොළොවෙහි පිහිටා වැඩෙත්. මහත්බවට ද පැමිණෙත්. ඒ වෘක්‍ෂයෝ ඵල ද දක්වත් (=ඵල දරත්).

315. (එසේම) ශාක්‍යපුත්‍රයන් වහන්ස, මහා යශස් ඇත්තානන් වහන්ස, ඔබවහන්සේ පොළොව සමාන වනසේක. ඔබවහන්සේගේ සසුනෙහි පිහිටා ඒ උතුමෝ අමෘතඵලය (නිවණ) ලබත්.

316-317. සින්‍ධු ය, සරස්වතී ය, චන්‍ද්‍රභාගී ය, ගඞ්ගා ය, යමුනා ය, සරභූ ය, මහී ය, යන මේ ගඞ්ගාවෝ වෙත් ද, ගලා බස්නා වූ මේ ගඞ්ගාවන්ගේ ජලය සාගරය පිළිගණී. (සයුරට වැටීමෙන් පසු සින්‍ධු ජලය ගඞ්ගා ජලය යන) පළමු නම් අත්හරියි. සාගරය ලෙස ම ප්‍රකට වේ.

318. එසේ ම මේ කුල සතරට අයත් වූවෝ ඔබවහන්සේගේ සමීපයෙහි පැවිදි ව පළමු නම හරිත්: බුද්ධපුත්‍රයෝ ය යි ප්‍රකට වෙත්.

319. යම් සේ අහසෙහි ගමන් කරන්නා වූ නිර්‍මල වූ චන්‍ද්‍රයා සියලු තාරකාසමූහය ස්වකීයප්‍රභාවෙන් මැඩ ලෝකයෙහි අතිශයින් බබලා ද,

320. එසේ ම මහාවීරයන් වහන්ස, ඔබවහන්සේ දෙවිමිනිසුන් විසින් පිරිවරණ ලද සේක් මේ සියලු දෙන ඉක්මවා හැම කල්හි ඔබවහන්සේ ම බබලනසේක.

321. ගැඹුරු දියෙහි නැගුනු රළහු වෙරළ නො ඉක්මවත්. ඒ සියලු ම රළහු වෙරළෙහි හැපෙත්. කැඩී ගිය ඒ රළහු (වෙරළෙහි ම) විසිරී යත්.

322. එසේ ම ලොකයෙහි තීර්‍ත්‍ථකයෝ ද නොයෙක් ලබ්ධි ඇති තීර්‍ත්‍ථක වූ බොහෝ දෙනා ද ධර්‍මය දෙසනු කැමැත්තාහු ඒ බුදුරජානන් වහන්සේ නො ඉක්මවත්.

323. පසැස් ඇත්තානන් වහන්ස, ඉදින් (යමෙක් ඒ ඒ ලබ්ධි ගෙණ විරුද්ධවාදයෙන් වාද කිරීමට) ඔබ කරා පැමිණෙත් ද, ඔහු ඔබවහන්සේ සමීපයට පැමිණ සුණු විසුණු වෙත්.

324. දියෙහි හටගත් කුමුදු ද මඳාලා නම් ජලජපුෂ්ප ද අනිකුත් බොහෝ ජලජපුෂ්පයෝ ද යම් සේ දියෙන් ද මඩින් ද තැවරී පවතිත් ද,

325. එසේ ම ලොකයෙහි උපන්නා වූ බොහෝ සත්ත්‍වයෝ මඩෙහි කුමුදු මෙන් රාගද්වෙෂයන්ගෙන් පීඩිත වූවෝ වැඩෙත්.

326. යම් සේ ජලයෙහි හටගන්නා වූ පියුම දිය මැද වැඩේ ද, එය දියෙන් නො ම තැවරෙයි. පියුම පිරිසිදු මැයි.

327. එසේ ම ලොව පහළ වූ මහාවීර වූ බුදුරජානන් වහන්ස, ඔබවහන්සේ පියුමක් මෙන් ලෝකයා හා නො තැවරෙණසේක.

338. යම් සේ ජලජපුෂ්පයෝ බක්මාසයෙහි බෙහෙවින් පිපෙත් ද ඒ මාසය නො ඉක්මවත් ද, (ඒ මස) මල් පිපීමට සුදුසු කාලය වේ.

329. එසේ ම ශාක්‍යපුත්‍රයානන් වහන්ස, ඔබවහන්සේ පුබුදු වූ සේක. ඔබවහන්සේගේ ශිෂ්‍යයෝ (අර්‍හත්ඵලඥානයෙන්) පුබුදු වූවාහු ය. යම් සේ ජලජ වූ පියුම් පිපෙන කාලය නො ඉක්මවා ද, එසේ ම ඔහු අවවාදානුශාසනය නො ඉක්මවත්.

330. (යම් සේ) මැනවින් පිපුනා වූ ශාලවෘක්‍ෂරාජයා දිවසුවඳ වහනය කෙරේ ද, අනික් සල්රුක් විසින් පිරිවරණ ලද ශාලවෘක්‍ෂරාජයා ම හොබනේ වේ ද,

331. එසේ ම මහාවීරයන් වහන්ස, ඔබ (වහන්සේ) බුදුනැණින් පුබුදු වූ සේක. භික්‍ෂුසංඝයා විසින් පිරිවරණ ලද සේක් ශාලවෘක්‍ෂරාජයකු මෙන් ශොභමාන සේක.

332. යම් සේ හිමවත්පර්‍වතය හැම සතුනට (අවශ්‍ය) ඖෂධ ඇත්තේ වේ ද, නාගයනට ද අසුරයනට ද දෙවතාවනට ද වාසස්ථාන වේ ද,

333. එසේ ම මහාවීරයන් වහන්ස, ඔබ ප්‍රාණින්ගේ සසර ලෙඩ නැසීමට (අවශ්‍ය) ඖෂධය වනසේක. ත්‍රිවිද්‍යා ඇත්තෝ ද, ෂඩභිඥා ඇත්තෝ ද, සෘද්ධියෙන් පරතෙරට ගියෝ ද ඔබවහන්සේ ඇසුරු කෙරෙත්.

334 මහාවීරයන් වහන්ස, කාරුණික වූ ඔබ වහන්සේ විසින් අනුශාසනා කරණලද ඔහු ධර්‍මරතියෙන් ඇලෙති. (එසේ ඇලී) ඔබ වහන්සේගේ සසුනෙහි වෙසෙත්.

335. යම් සේ කෙශරසිංහයෙක් ගුහාවෙන් නික්ම සිවුදිග බලා තෙවරක් සිංහනාද කෙරේ ද,

336. කෙශර සිංහයාගේ ගර්‍ජනයෙන් සියලු සිවුපාවෝ තැති ගණිත්. ඒ එසේ ම ය. ජාතිමත් වූ සිංහ තෙමේ හැම කල්හි සිවුපාවුන් තැති ගන්වයි.

337. මහාවීරයන් වහන්ස, (එසේ) ගර්‍ජනා කරන්නා වූ ඔබවහන්සේගේ නාදය පෘථිවිය කම්පා කරයි. ඉන් අවබොධයට සුදුස්සෝ ධර්‍මය අවබොධ කෙරෙත්. මාරපාක්‍ෂිකයෝ තැති ගණත්.

338. මහාමුනීන් වහන්ස, නාද කරන්නා වූ (=දහම් දෙසන) ඔබවහන්සේගේ නාදයෙන් සියලු තීර්‍ත්‍ථකයෝ තැති ගණිත්. (ඒ තීර්‍ත්‍ථකයෝ) කවුඩුරැළක් මෙන් තැති ගන්නාහු කෙශරසිංහයා කෙරෙන් පලායන සිවුපාවුන් මෙනි.

339. යම් කිසි ගණප්‍රධාන කෙනෙක් ලෙව්හි ශාස්තෘ ය යි කියනු ලැබෙත් ද, ඔහු පිරිසට පරම්පරාගත වූ ධර්‍මය දෙශනා කෙරෙත්.

340. මහාවීරයන් වහන්ස, ඔබවහන්සේ සත්ත්‍වයනට එසේ පරම්පරාගත ධර්‍ම දෙශනා නො කරණ සේක හුදෙක් බොධිපාක්‍ෂික වූ සත්‍යයන් තමන්වහන්සේ ම අවබොධ කොට ගෙණ,-

341. (සත්ත්‍වයන්ගේ) අධ්‍යාශයයන් හෙවත් චරියාවන් ද ථාමගත වූ කෙලෙස් ද දැන (ශ්‍රද්ධාදි) ඉන්ද්‍රියයන්ගේ බලදුබලබව ද (ධර්‍මාවබොධයට) භව්‍ය අභව්‍ය (=සමත් අසමත්) පුඟුලන් ද දැන (සර්‍වඥයන් වහන්ස, ඔබ වහන්සේ) මහා මෙඝයක් (=සිවුදිගට ම වසින්නා වූ මහ වැසිවලාවක්) මෙන් ධර්‍මදෙශනා නමැති සිංහනාදයෙන් ගර්‍ජනා කරණසේක.

342–343. නානාලබ්ධීන්ට ගැති ව වසන්නා වූ සක්වළගල කෙළවර කොට පිරී හුන් පිරිස වන්නී ය. සැක දුරු කිරීම පිණස ඒ සියලු දෙනාගේ සිත් (මේ මේ ය යි) දැන, (සුදුසු) උපමා කීමෙහි සමත් බුදුරජානන් වහන්ස, (ඔබවහන්සේ) එක ම ප්‍රශ්නයක් (විසඳා) කියමින් ම (සක්වළගැබ පුරා සිටි) ප්‍රාණීන්ගේ සැක සිඳින සේක.

344. උපතිස්ස නමැති සැරියුත්මහතෙරුන් වැනියන්ගෙන් මේ පොළොව පිරී තිබේ නම්, ඒ සියල්ලෝ ම බදැඳිලි ඇත්තාහු ලොකනායක වූ බුදුරදුන් ගුණ කියන්නාහ.

345. ඔහු කපක් මුළුල්ලෙහි ද නානාප්‍රකාර ලෙස ගුණ කියන්නාහු නමුදු, එම ගුණ පමණ කරන්නට නො හැක්කාහු ය. තථාගතවරයෝ අපමණ ගුණ ඇත්තෝ ය.

346. ස්වකීයශක්තිය පරිදි මා විසින් බුදුරජානන් වහන්සේ වර්‍ණනා කරණ ලදහ. කල්පකෝටි සඞ්ඛ්‍යාත කාලයක් මුළුල්ලෙහි ගුණ කීර්‍තනය කරන්නාහු නමුත් මෙසේ ම කීර්තනය කෙරෙත්.

347. ඉදින් මනා ව හික්මුනා වූ කිසියම් දෙවියෙක් හෝ මිනිසෙක් හෝ (එ ම ගුණ) මනින්නට සිතන්නේ නම්, හෙතෙම වෙහෙසට ම පැමිණෙන්නේ ය.

348. මහායශස් ඇත්තානන් වහන්ස, ශාක්‍යපුත්‍රයානන් වහන්ස, (මම) ඔබවහන්සේගේ සසුනෙහි පිහිටා ප්‍රඥාවෙන් පරතෙරට ගොස් අංශ්‍රව රහිත ව වෙසෙමි.

349. තීර්‍ත්‍ථකයන් මඩිමි. බුදුසසුන පවත්වමි. අද ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ ශාසනයෙහි ධර්‍මසෙනාපති වෙමි.

350. ම විසින් අපමණ කලක් මුළුල්ලෙහි කරණලද කර්‍මය මෙහි දී ඵලය දැක්වී ය. මැනවින් විද හරණා ලද ඊපහරක් මෙන් ඒ කර්‍මඵලය මාගේ කෙලෙස් දැවී ය.

351. යම්කිසි මිනිසෙක් තෙම හැම කල්හි හිසින් බරක් දරන්නේ නම්, (එම) බර කරණකොට ගෙණ දුකින් පෙළුනෙක් වන්නේ ය. එසේ ම බරින් බරට පත් වූවෙක් ද වෙයි.

352. මම (රාග – දොස – මොහ යන) ත්‍රිවිධාග්නියෙන් දැවෙමින් සසරෙහි හැසුරුණෙමි. මහමෙර ඔසොවා ගත්තකු මෙන් භවය නමැති බරින් බර වූයෙම් වෙමි.

353. මා විසින් මාගේ (ඒ භව) භාරය බහා තබන ලදී. සියලු (නව) භවයෝ විධවංසනය කරණ ලදහ. ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ ශාසනයෙහි සියලු කටයුතු කරණලදී.

354. සම්පූර්‍ණ බුද්ධ‍ක්‍ෂෙත්‍රයෙහි බුදුරජානන් වහන්සේ හැර මම ප්‍රඥාවෙන් අග්‍ර වෙමි. මට සමානයෙක් නො පෙණේ.

355. සමාධියෙහි අතිශයින් දක්‍ෂ වෙමි. ඍද්ධියෙහි පරතෙරට ගියෙම් වෙමි. මම අද කැමැති වන්නෙම් නම්, සෘද්ධිමය රූප දහසක් මවන්නෙමි.

356. අනුපූර්‍වවිහාර පිළිබඳ වසඟබව ඇති සර්‍වඥයෝ මට සසුන වදාළහ. මාගේ සැතපීම නිරොධය (=නිරොධසමාපත්තියට සමවැදීම) යි.

357. මාගේ දිවැස පිරිසිදු ය. මම සමාධියෙහි දක්‍ෂ වෙමි. සම්‍යක් ප්‍රදහනයෙහි යෙදුනෙම් බොධ්‍යඞ්ගභාවනාවෙහි ඇලුනෙම් ද වෙමි.

358. ශ්‍රාවකයකු විසින් ලැබියයුතු සියල්ල මා විසින් ලබන ලදී. බුදුරජානන් වහන්සේ හැර මට සමාන වූවෙක් විද්‍යාමාන නො වේ.

359. සමාපත්තික්‍රමයන්හි දක්‍ෂ වූයෙම් (ලෞකික) ධ්‍යානයන්ට ද (ලොකොත්තර වූ) විමොක්‍ෂයන්ට ද ශීඝ්‍ර ව සමවදිනෙම් බොධ්‍යඞ්ග භාවනාවෙහි ඇලුනෙම් ශ්‍රාවකගුණයන්ගේ පරතෙරට ගියෙම් වෙමි.

360. පෝෂිත වූ හෝ පවිත්‍ර වූ ශ්‍රාවක ගුණයෙන් ද බුද්ධියෙන් ද බුද්ධ ගෞරවයෙන් වූ ශ්‍රද්ධාවෙන් ද යුත් මාගේ සිත හැමකල්හි සබ්‍රම්සරුන් කෙරෙහි යෙදුනේ ය.

361. උදුරා හළ විෂ (දළ) ඇති සර්‍පයකු මෙන් ද, සිඳුනු අං ඇති ගවයකු මෙන් ද, බැහැර කළ (ගොත්‍රමදාදි) මානදර්‍ප ඇත්තෙම් සංඝයා වෙත ආදරබහුමානයෙන් එළඹෙමි.

362. ඉදින් මාගේ ප්‍රඥාතොමෝ මූර්තිමත් වන්නී නම්, මහපොළොව ඊට සම නො වන්නී ය. අනවමදර්ශී බුදුරජානන් වහන්සේගේ නුවණට පැසසීමේ ඵලයයි මේ.

363. තාදිගුණ ඇති ගෞතම බුදුරජානන් වහන්සේ විසින් පවත්වන ලද ධර්‍මචක්‍රය මම මැනැවින් ඒ අනු ව පවත්වමි. (අනවමදර්ශී බුදුරජානන් වහන්සේගේ) නුවණට පැසසීමේ මේ ඵලය යි.

364. කිසි කලෙකත් පවිටෙක් කුසීතයෙක් පසුබට වීර්‍ය්‍ය ඇත්තෙක් අල්පශ්‍රැතයෙක් ආචාර විරහිතයෙක් මාගේ ආශ්‍රයට නො පැමිණේවා.

365. බහුශ්‍රැත වූ ද, නුවණැති වූ ද, සිවුපිරිසුදුසිල්හි මැනැවින් හික්මුනා වූ ද චිත්තසමථයෙහි යෙදුනා වූ ද පුද්ගලයා මාගේ හිස මත පවා සිටීවා.

366. මෙහි රැස් වූ යම් පමණ කෙනෙක් වෙත් නම්, පින්වත්නි, තෙපි අල්පෙච්ඡයෝ ද, ලද දෙයින් සතුටු වන්නෝ ද, ධ්‍යාන ඇත්තෝ ද, ධ්‍යානයෙහි ඇලුනෝ ද වවු යන (මේ වචනය) තොපට කියමි.

367. මම යම්කෙනකුන් පළමුකොට දැක කෙලෙස්රජස් නැති නිර්‍මල වූවෙක් වීම් ද, ඒ ධෛර්‍ය්‍යවත් වූ මාගේ ආචාර්‍ය්‍යතෙමේ අස්සජි නම් ශ්‍රාවකයන් වහන්සේ ය.

368. මම උන්වහන්සේගේ බලයෙන් අද ධර්‍මසෙනාපති වීමි. සියලු ගුණයන්හි පරතෙරට පැමිණියෙම් ආශ්‍රව රහිත ව වෙසෙමි.

369. යම් අස්සජි නම් ශ්‍රාවකයෙක් තෙම මාගේ ආචාර්‍ය්‍ය වී ද, උන්වහන්සේ සම දිසාවක වෙසෙත් නම්, මම එ දෙසට හිස හරවා නිදම්.

370. ශාක්‍යසිංහ වූ ගෞතම බුදුරජානන් වහන්සේ මාගේ (කුශල) කර්‍මය පූර්‍වෙනිවාසානුස්මaතිඥානයෙන් සිහි කොට භික්‍ෂුසංඝයා මැද හිඳ මා අග්‍රශ්‍රාවකස්ථානයෙහි තැබූසේක.

371. මා විසින් ක්ලෙශයෝ දවන ලද්දාහු ය. සියලු භවයෝ සමූහනනය (=විනාශ) කරණ ලද්දාහු ය. හස්තිරාජයකු මෙන් බැඳුම් සිඳ ආශ්‍රව රහිත ව වෙසෙමි.

372. බුද්ධශ්‍රෙෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීම යහපත් වි ය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලද්දාහු ය. බුදුරජානන් වහන්සේගේ අනුසාසනය කරණලදී.

373. මේ සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමොක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන ද කරණලදී.

මේ අයුරින් ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දෙශනා කළසේකි.

පළමුවැනි වූ ශාරිපුත්‍ර‍ස්ථවිරාවදානය යි.

* 'සිඞ්ඝාටක' යනු කෙකටියගසට නමක් සේ පාළිනිඝණ්ඩුවෙහි දක්වන ලදී සංස්කෘතයෙහි ‘ශෘඞ්ගාටක’ යන්න පාළියෙහිදී මෙසේ වෙනස් වූ සේ සිතිය හැකි ය ‘ශෘඞ්ගාටක’ යනු කොහිල ගසැ’ යි මේ රටේ වෙදවරු සලකති. දඹදිව දිය මතු පිට පාවෙමින් වැවෙන, අල සහිත පැළෑටි ජාතියක් ‘සිංගඩා’ නමින් හැඳින් වේ. ‘ශෘඞ්ගාටක’ යන්නෙන් ගැණෙන්නේ ද එම වර්‍ගය යි හඟිමු. ගොකටු ගසට නම් වූ ‘සිඞ්ඝාට’ ශබ්දයක් ද පාළියෙහි තිබේ.

** සෙසු අටුවාවන්හි සරද තවුස්යයි දක්වා ඇත.