3175. ඉක්බිති වක්ත්‍ර නම් අසුරයා මැඩ පැවැත් වූ ජයප්‍රාප්ත ව දෙවියන්ගේ පිතෘස්ථානයෙහි වැජඹෙන්නා වූ මහත් අනුභාව ඇති ශක්‍ර තෙම සුධර්මා නම් දිව්‍ය සභායෙහි පරීක්‍ෂා කොට දැන අලම්බුසා නම් දිව්‍ය කන්‍යාවට මෙය කීයේ ය.
3176. පුරුෂයන් කෙලෙස් මිශ්‍රණයෙන් මිශ්‍ර කරන හෙයින් මිශ්‍රා නම් වූ සෘෂීන් පොලොබවා ලීමෙහි දක්ෂ අලම්බුසාවනි, ශක්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ ඉසිසිංග තාපසයා පොලොබවීටම තිට යාච්ඤා කෙරෙත්, එහි යව.
3177. එම්බා අලම්බුසාව, ව්‍රත රක්නා බ්‍රහ්මචාරි වූ ඒ ඉසිසිංග තාපසයා ගුණයන්ගෙන් වැඩි සිටියේ නිවන්හි ඇලුණේ ය. මොහු අපගේ විෂය ඉක්මවා යන්නට පෙර ඔහුගේ දෙව්ලොව යන මාර්ගයන් ආවරණය කරව.
3178. දිව්‍යරාජයාණෙනි, කිම නුඹ වහන්සේ මේ දෙව්ලොව සෘෂීන් පොලොබවීම පිණිස මාම දක්නෙහි ද? තවත් අප්සරාවෝ ඇත්තාහු නො වෙද්දැ යි අලම්බුසාව ප්‍රශ්න කළා ය.
3179. ශොක රහිත වූ නන්දන වනයෙහි මා වැනි අප්සරාවෝද මට වඩා උතුම් අප්සරාවෝ ද ඇත්තාහ. ඔවුනට මේ ගමන් වාරය වේවා. ඔවුහු ද තවුසා පොලොබවීමට යෙත්වා.
3180. එකාන්තයෙන් ම තෝ ඇත්තක් කියව. ශොක රහිත නන්දන වනයෙහි තී හා සමාන වූ ද තිට වඩා උතුම් වූ ද තවත් අප්සරාවෝ ඇත්තාහ.
3181. සියලු අංගයන්ගෙන් හොබනා වූ අලම්බුසාවනි, පුරුෂයකු වෙත ගියා වූ ඒ අප්සරාවරු තී යම් යම්බඳු පාරිචර්‍ය්‍යයක් දන්නී නම්, එය නොදන්නාහ.
3182. යහපත් තැනැත්තිය, තෝ ම යව. තී ස්ත්‍රීන් අතුරෙන් උතුම් වන්නී ය. තිගේ ම වර්ණයෙන් ද රූප සම්පත්තියෙන් ද ඒ තාපසයා වසඟයට පමුණුවා ගන්නෙහි ය.
3183. දෙව්රජහු පිටත්කර යවන ලද මම නො යන්නෙම් නො වෙමි. එහෙත් මේ තව්සාට ළංවන්නට බිය වෙමි. ඒ තාපස තෙම උග්‍ර තෙජස් ඇත්තේ ය.
3184. ඍෂීන් පොලොබවීමට ගිය බොහෝ දෙන මොහයෙන් සංසාරයට බැසගත්තාහු නිරයට පැමිණියහ. ඒ නිසා ලොමුදහ ගනිත්.
3185. පුරුෂයන් කැමතිවන ශරීර වර්ණයක් ඇති පුරුෂයන් ක්ලෙශයෙන් මිශ්‍ර කරන්නා වූ අලම්බුසා නම් ඒ අප්සරාව මෙසේ කියා ඉසිසිංග තවුසා ක්ලෙශයන්ගෙන් මිශ්‍ර කරන්නට ගියා ය.
3186. ඕ තොමෝ ද ඉසිසිංග තාපසයා විසින් රක්නා ලද රත් කරව් ගසින් ගැවසීගත්තා වූ හාත්පස යොදුනක් පමණ වූ ඒ වනයට වැද.
3187. පෙර බත්කාලයෙහි ඉර උදාවන්නා වූ උදෑසන ම අමදිමින් ගිනිහල් ගෙහි සිටියා වූ ඉසිසිංග තාපසයන් වෙතට එළැඹියා ය.
3188. විසිතුරු වස්ත්‍රාභරණයෙන් සැරැසුණු අමුණන ලද මිණිකොඬොල් ඇති තී විදුලියක සේ ද ඔසධී තරුව සේ ද බබළන්නෙහි ය. තෝ කවර තැනැත්තියක් ද?
3189. සුර්‍ය්‍ය රශ්මිය වැනි වර්ණ ඇති, රත්සඳුන් සුවඳැති තෝ මනා වට වූ ඌරුයුග්ම ඇත්තී ය. මහා මායා ඇත්තී ය. ළදරුවයස් ඇත්තී ය. මනොඥ දැකුම් ඇත්තී ය.
3190. තෝ සිහින් වූ ඉඟටියක් ඇත්තී ය. සියුමැලි ය. නිර්මල ය. තීගේ පාදයෝ මනාව පිහිටියෝ ය. ගමන්කරන්නා වූ තෝ ඉතා කමනීය ය. මාගේ සිත ඇද ගන්නී ම ය.
3191. තීගේ කලවා යුවළ පිළිවෙළින් මහත් ය. ඇත් හොඬයක් බඳු උපමා ඇත්තේ ය. තීගේ ඉතා විශාල වූ උකුල රන් පෝරුවක් මෙනි.
3192. මනාව පිහිටියා වූ තීගේ නාභිය උපුල් කර්ණිකාවක් බඳු ය. කළු අඳුනෙන් පිරීගියාක් මෙන් දුරට දක්නා ලැබේ.
3193, තීගේ පයොධර යුවළ ළෙහි හටගත් නැටි රහිත ව මනාව පැන නැගුණා වූ කිරි රඳා පවත්නා වූ මලානික නො වූ සමවට කුඩා ලබු ගෙඩියක් දෙකට කපා තැබුවාක් මෙනි.
3194. දික් වූ මිහිඟු බෙරයකට සමාන බැබැළීම් ඇති තීගේ ග්‍රීවය ඒණි මුවකුගේ බඳු ය. මනහර දෙතොල් දිවට බඳු පැහැයෙන් යුතුව.
3195. නිදොස් හනුමස් කෙළවර හටගත්තා වූ උඩුදත් හා යටී දත් දැහැටිවලින් පිරිමදින ලද්දාහු ඉතා දකුම්කලු ය.
3196. කළුපැහැ මුල ඇති රතුපැහැ අග ඇති ඔලිඳ ඇට බඳු තීගේ ඇස් දික් වූයේත් මහත් වූයේත් ඉතා දැකුම්කලු ය.
3197. ඉතා දික් නොවූ මැනැවින් මට කරන ලද්දා වූ රන්පණායෙන් පීරන ලද තීගේ හිසෙහි වූ කෙස් සඳුන් සුවඳ ඇත්තේ ය.
3198. යම් තාක් සීසාන්නාහු ගෙරින් රක්නාහු ද, වෙළඳුන්ගේ යම් ස්වභාවයක් වේ ද සංයම ඇත්තා වූ තපස් රක්නා ඍෂිවරුන්ගේත් යම් පරාක්‍රමයකුත් වේ ද.
3199. මේ පොළෝ මඩුල්ලෙහි තොපට සමයකු නො දැක්කෙමි. නුඹ කවරෙක් ද? කාගේ පුත්‍රයෙක් ද? අපි තොප කෙසේ දනිමු ද?
3200. කාශ්‍යප ගොත්‍ර ඇති තාපසයාණෙනි, මෙසේ නුඹගේ සිත පැවැති කල්හි ප්‍රශ්න කිරීමට කල් නො වෙයි. නුඹට වැඩෙක් ම වේවා. මිත්‍ර තාපසය, අපි දෙදෙනා අපගේ ආශ්‍රමයෙහි අභිරමණය කරන්නෙමු. එව නුඹ වැළදැ ගන්නෙමි යි නුඹ පස්කම් සුව විඳින්නවුන් අතුරෙන් දක්ෂයෙක් වව යි අලම්බුසාව කීවා ය.
3201. පුරුෂයන් කැමැති වන්නා වූ ශරීර වර්ණයක් ඇත්තා වූ පුරුෂයන් ක්ලෙශයන් හා මිශ්‍ර කරන්නා වූ අලම්බුසා නම් ඒ අප්සරාව ඉසිසිංග තාපසයා ක්ලෙශයෙන් මිශ්‍ර කරනු කැමැත්තී මෙසේ කියා ගියා ය.
3202. තාපස තෙමේ ද සෙමින් යන ගමන අත්හැර වේගයෙන් නික්ම ගොස් ඇය වෙතට පැමිණියේ උතුම් කෙස් වැටිය ගෙන පිරිමැද්දේ ය.
3203. ඉතා ශොභමාන වූ කල්‍යාණ දර්ශන ඇති ඕ තොමෝ පෙරළා නැවතී තවුසා වැළඳගත්තී ය. එසේ වැළඳගැනීමෙන් බ්‍රහ්මචර්‍ය්‍යයෙන් චුත වූ කල්හි ශක්‍රයා යම්සේ සිතී ද, එය සිදු වූයේ ය. එකල්හි අලම්බුසා තොමෝ ද සතුටු කරන ලද්දී ය.
3204. අලම්බුසා තොමෝ නන්දන වනයෙහි වසන්නා වූ ශක්‍රයා වෙත සිතින් පැමිණියා ය. දෙවියන්ට උතුම් වූ ශක්‍ර තෙම ඇයගේ සිතුවිල්ල දැන-
3205. ශක්‍ර තෙමේ ද, පිරිවර සහිත වූ මත්තෙහි වසන ලද ඇතිරිලි පනසක් ඇති කොඳු පලස් දහසක් අතුරන ලද්දා වූ ස්වර්ණමය පර්‍ය්‍යංකයක් එවී ය.
3206. ශොභන වූ අලම්බුසා තොමෝ ඒ මේ ඉසිසිංග තවුස්හු පුරා තුන්වර්ෂයක් ඒ පලඟෙහි ලා ළෙහි හොවා දැරුවා ය.
3207. පහවූ මත් වීම් ඇති ඒ බ්‍රාහ්මණ තෙමේ තෙවසකින් පිබිද ගිනිහල් ගෙය සමීපයෙහි නිල්වන්ව වැඩී ගිය ගස් දුටුවේ ය.
3208. තාපස තෙම කොවුලන් විසින් පවත්වන ලද නාද ඇති නවපත්‍රයෙන් සැදුම් ලත් පිපීගිය ඒ වනය හාත්පස බලා අඬමින් කඳුළු වගුරවන්නට පටන් ගත්තේ ය.
3209. යාග නො කෙළෙමි. මන්ත්‍ර ජප නො කෙළෙමි. හොමාග්නිය නසන ලදි. පරිචර්‍ය්‍යායෙන් කවරෙක් නම් මාගේ සිත මෙයින් පෙර පෙළඹවී ද? කියා තවුස් තෙම කෑ ගසා ඇඬුවේ ය.
3210. අරණ්‍යයෙහි වසන්නා වූ මා විසින් ශ්‍රමණ තෙජසින් රැස් කරන ලද්දා වූ මහාසාගරයෙහි නොයෙක් රුවනින් පිරීගිය නැවක් මෙන් වූ මාගේ ධ්‍යාන ගුණය යමෙක් පැහැර ගත්තේ නම් හේ කවරෙක් දැ යි තාපස තෙම මුරගා කී ය.
3211. පින්වත් තාපසය, ශක්‍ර දිව්‍ය රාජයා පරිචර්‍ය්‍යාව පිණිස මෙහෙයන ලද මම මාගේ සිතින් නුඹගේ සිත මැඩ පැවැත්වීමි. එය නුඹ වහන්සේ ප්‍රමාදයෙන් අවබොධ නො කළහ.
3212. මාගේ පිය වූ කාශ්‍යප තෙම මට මේ වචන කීයේ ය. මාණවකය, ලියතඹර මල් වැනි ස්ත්‍රීහු වෙත්. ඔවුන් දැනගනුව’ යි කීයේ ය.
3213. අනුකම්පා ඇත්තකු සේ මට මාගේ පිය වූ කාශ්‍යප තෙම අවවාද දෙනුයේ, මාණවකය, ළයෙහි මස්ගඩු දෙකක් ඇති ස්ත්‍රීන් දැන ගනුව. ඒ ස්ත්‍රීහු තමන් වසඟයට පැමිණියවුන් නසති යි දැනගනුව යි මෙසේ කීයේ ය.
3214. වයොවෘද්ධ වූ ඒ පියාගේ අනුශාසනය මම නො පිළිපැද්දෙමි. මනුෂ්‍යයන් විරහිත වනයෙහි ඒ මම අද එකලා වැ වැලපෙමි යි තවුසා කීයේ ය.
3215. ඒ මම එසේ කරන්නෙමි. මාගේ ජීවිතයට නින්දා වේවා, නොහොත් මාගේ ජීවිතයෙන් ඇති ඵලය කුමක් ද? නැවත හෝ එබන්දෙක් වන්නෙමි. (නැතිව ගිය ධ්‍යාන ලබා ගන්නෙමි) නො එසේ නම් මාගේ මරණය හෝ වන්නේ යැ යි තාපසයා නැවතත් අධිෂ්ඨාන කර ගත්තේ ය.
3216. ඒ ඉසිසිංග තාපසයා නැවත මනාව වඩන ලද තෙජසත් වීර්‍ය්‍යයත් උත්සාහයත් දැන අලම්බුසාව ඉසිසිංග තාපසයාගේ පාළඟ හිසින් වැටී දෙපා වැඳ කමා කරවා ගත්තා ය.
3217. මහාවීරයන් වහන්ස, මට නො කිපෙනු මැන. මහර්ෂිය, මට නො කිපෙනු මැන. පිරිවර ඇත්තා වූ තාවතිංස දෙවියනට මා විසින් මහත් වැඩක් කරන ලදි. එකල්හි මුළු දෙව්පුරය නුඹ වහන්සේ විසින් වෙසෙසින් කම්පා කරන ලද්දේ ය.
3218. තව්තිසා වැසි යම් දෙවි කෙනෙක් වේ නම් ඔහු ද දෙව්ලෝ වැස්සන්ට අධිපති වූ ශක්‍රයාත් යන මොහු සුවපත් වෙත්වා සොඳුර තී ද සුවපත් වව. කන්‍යාවෙනි සුවසේ යව.
3219. අලම්බුසාව උන් වහන්සේගේ පා අල්ලා වැඳ ප්‍රදක්ෂිණා කොට ඇඳිලි බැඳ එතනින් බැහැර වූවා ය.
3920. පිරිවර සහිත වූ මත්තෙහි වසනලද ඇතිරිලි පනසක් ඇති කොඳුපලස් දහසක් අසුරන ලද්දා වූ ඇගේ ස්වර්ණමය යම් පර්‍ය්‍යංකයක් වී ද එම පර්‍ය්‍යංකයට ම නැඟ දෙවියන් වෙත ඕ ගියා ය.
3221. බබළන්නා වූ උල්කාව යම්සේ ද, විදුලිය යම්සේ ද, එසේ එන්නා වූ ඇය දැක ප්‍රීතිමත් වූ සතුටු සිත් ඇති ශක්‍ර තෙමේ වරයක් දුන්නේ ය.
3222. සියලු භූතයන්ට අධිපති වූ ශක්‍ර දෙවෙන්ද්‍රය, ඉදින් තෙපි මට වරයක් දෙවු නම් සෘෂින් පෙළඹවීමට නො යන්නෙමි යන තෙල වරය ඉල්ලමි යි අලම්බුසාව කීවා ය.
අලම්බුසා ජාතක යි.