1933. කෝසිය ගොත්හි උපන් බමුණ, ඇල් කෙත සම්පූර්ණයෙන් පැසී තිබේ. කෙත ගිරවු කති. එය වළකන්නට නො හැක්කෙමි. එය ඔබට දන්වමි.
1934. එහි ගිරවුන් අතරැ අංගොපාංග සම්පූර්ණ බැවින් සර්ව සුන්දර වූ ගිරවෙක් වෙයි. හේ රිසි සේ ඇල් වී රස විඳැ වී කරල් රැගෙන යයි.
1935. ඒ පක්ෂියා බැඳෙන පරිදි පුඩු අටවා තබත්වා. ජීවග්‍රහයෙන් ම ඔහු අල්ලා මා සමීපයට ගෙනෙව.
1936. මේ පක්ෂීහු වී බිදැ පැන් බී ඉවත් වැ යති. හුදෙකලාව මම පුඩුවෙන් බැඳුනෙමි. මා කෙබඳු පාපයක් කරන ලද ද?
1937. ගිරා පෝතකය, සෙසු ගිරවුන්ගේ බඩට වඩා තොපගේ බඩ ඉතා මහත් යයි සිතමි. රිසි සේ ඇල් වී කා තුඩෙනු දු ගෙන යන්නෙහිය.
1938. ගිරවාණෙනී, එහි කොටුගුලක් පුරවන්නෙහි ද? නැතහොත් මා හා වෛරයක් පවතී ද? මිතුර, විතාරන මට කිය. ඇල් වී කොහි තැන්පත් කරන්නෙහි ද?
1939. කෝසිය බමුණ, තොප හා මාගේ වෛරයෙක් නැත. මට කොටුගුලෙකුත් නැත. ඉඹුල් රුකට පැමිණ ණයක් මුදමි. ණය ද දෙමි. එහි නිධානයක් ද නිදන් කරමි. (මෙය) මෙසේ දනුව.
1940. ගිරවාණෙනි, තොපගේ ණය දීම කෙබඳු ද? ණයෙන් මිදීම කෙබඳු ද? නිදන් කිරීම කෙබඳු ද? එකලැ තෙපි පුඩුවෙන් මිදෙන්නහුය.
1941. කෝසිය බමුණ, පියාපත් නො සෑදුණු මාගේ පුත්‍ර පැටවු සිටිති. මා විසින් පෝෂණය කරනු ලැබූ ඔවුහු යළිත් මා පුස්නාහ. එ හෙයින් ඔවුනට ණය දෙමි.
1942. මගේ මවුපියෝ වෘද්ධයහ. ජරාවෙන් යුක්තහ. යොවුන් බව පහව ගොස් ඇත. තුඩින් ගෙන ගොස් (ඇල් වී කරල්) ඔවුනට දී මම පෙර ගත් ණය මුදමි.
1943. එහි ඉතා දුබල නැසුණ පියාපත් ඇති තවත් පක්ෂීහු වෙසෙති. පින් සඳහා ඔවුනටත් දෙමි. එය අනුගාමික නිධානය යි නුවණැත්තෝ කියති.
1944, කෝසිය බමුණ, මාගේ ණය දීම මෙබඳු වේයි. මාගේ ණය මිදීම ද මෙබඳු වේ. කියන ලද නිදන් කිරීමත් මෙලෙස දැන ගනුව.
1945. පියාපත් ඇති මේ පක්ෂියා යහපත් ය. ඉතා දැහැමිය. ඇතැම් මිනිසුන් අතර ද මේ ගුණ දහම විද්‍යමාන නො වේ.
1946. සියලු නෑයන් සමග කැමැති පරිදි ඇල් වී අනුභව කරව. යළිදු (තොප) දකිමු. තොපගේ දැක්ම මට ප්‍රිය ය.
1947. කෝසිය බමුණ, තොපගේ නිවෙසෙහි කෑවෙමි. බීවෙමි. තොප කෙරෙහි ඇල්ම ද ඇති විය. බහා ලූ දඬු ඇත්තන්ට දන් දෙව. ජරපත් මවුපියන් පෝෂණය කරව.
1948. පක්ෂීන්ගෙන් උතුම් ගිරවා මම දුටුයෙම් ද ඒ මට ශ්‍රී කාන්තාව ඒකාන්තයෙන් පහළ වූවා ය. ගිරවාගේ සුභාෂිත අසා බොහෝ පින් කරමි.
1949. ඒ කොසිය බමුණා මුදිත වූයේ ප්‍රමුදිත වූයේ, කෑම බිම පිළියෙළ කොට පහන් සිතින් ආහාරපානයෙන් ශ්‍රමණබ්‍රාහ්මණයන් සතුටු කරවී ය.
1. සාලිකේදාර ජාතක යි.