ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » අපදාන පාලි - භික්ඛූ අපදාන 2 » 54. කච්‌චායන වර්ගය

532. වක්කලිත්‍ථෙරාවදානය

5689. මෙයින් සියක් දහස්වන කපෙහි ලෝකනායක වූ අලාමක වූ නම් ඇති අපමණ ගුණ ඇති නමින් පදුමුත්තර වූ බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ සේක.

5690. උන්වහන්සේ පියුමකට බඳු මුහුණ ඇතියහ. පියුමක් සේ නිමල මනා සිවි ඇතියහ. ජලය හා (නො ගැටෙන) පියුම් මෙන් ලොකය හා නො ම ගැටෙන්නාහ.

5691. වීරයහ. පියුම්පෙති බඳු ඇස් ඇතියහ. පියුමක් මෙන් කාන්තයහ. උතුම් පියුම් සුවඳ බඳු සුවඳ ඇතියහ. එබැවින් උන්වහන්සේ පදුමුත්තර නම් වනසේක.

5692-5693. ලෝකජ්‍යෙෂ්ඨ වූ මාන රහිත වූ අන්ධයනට ඇසක් වැනි වූ ශාන්ත වේශ ඇති ගුණනිධාන වූ කුළුණු නැණ සයුරෙක් වූ බඹ අසුර සුරන් විසින් පුදන ලද දෙවියන් සහිත මිනිසුන් විසින් පිරිවරණ ලද අතිඋත්තම වූ ඒ මහාවීර වූ බුදුරජානෝ කිසියම් දිනෙක ජනමධ්‍යයෙහි-

5694. සුවඳවත් මුවින් මියුරු වූ හඬින් සියලු පිරිස් රඳවමින් සියසව්වකු (මෙසේ) වැණූ සේක:

5695. “පිහිටි සැදැහැ ඇති මනා නුවණැති මා දැකුමෙහි ලොල් වූ මේ වක්කලී භික්ෂුනම බඳු අන් භික්ෂුනමක් නැත” කියා යී.

5696. එකල්හි මම හංසවතී නගරයෙහි බ්‍රාහ්මණපුත්‍රයෙක් ව (බුදුරජුන්ගේ) ඒ වචනය අසා ඒ තනතුර රුචි කෙළෙමි.

5697. එකල්හි ශ්‍රාවකසඞ්ඝයා සහිත ඒ නිර්‍මල බුදුරජුන් පවරා සතියක් (බොජුන්) වළඳවා (චීවර) වස්ත්‍රයෙන් හැඳවීමි.

5698. උන්වහන්සේගේ අනන්ත වූ ගුණසයුරෙහි සිරසින් ගෙව ගිළුනෙම් ප්‍රීතියෙන් සම්පූර්‍ණ වූයෙම් මේ වදන් කීමි:

5699. “මුනින් වහන්ස, මෙයින් සත්වැනි දිනයෙහි යම් ඒ භික්ෂුනමක් සැදැහැතියනට අග්‍රය යි මුබ වහන්සේ විසින් පසස්නා ලද ද, මම ද එබන්දෙක් වෙමි” යි (කියා යි).

5700. මෙසේ කී කල්හි මහාවීර වූ අනාවරණඥානදර්‍ශන ඇති බුදුරජහු පිරිස්හි මෙ ම වචනය වදාළහ:

5701. “රන්වන් පුනනූලක් දැරූ සිරුරු ඇති ජනයාගේ නෙත් සිත් ගන්නා වූ, කසාවත් හඳනා වූ මේ මානවකයා බලවු.

5702. මෙතෙම මතුකාලයෙහි ගෞතම බුදුරජුන්ගේ සද්ධාධිමුත්ත (බලවත් සැදෑ ඇති) යනට අග්‍ර වූ ශ්‍රාවකයා වන්නේ ය.

5703. දෙවි වූයේ හෝ මිනිස් වූයේ හෝ සියලු තැවුලින් බැහැර වූයේ හැම භෝගසම්පත්තීන්ගෙන් ආඪ්‍ය ව සුවපත් වූයේ සසර සැරිසරන්නේ ය.

5704. මෙයින් සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදනා වූ නමින් ගෞතම වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.

5705. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත වූවාක් වැනි වූ ඖරස වූ නමින් වක්කලී නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.”

5706. මම ඒ කර්‍ම විශේෂය හේතුකොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හෙතු කොට ගෙණ ද මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.

5707. මම සියලු තන්හි සුව ඇත්තෙම් කුදුමහත් භවයෙහි සැරිසරනෙම් සැවැත් නුවර එක්තරා කුලයක උපන්නෙම් වෙමි.

5708-5709. වෙඬරු මෙන් සිවුමැලි වූ අසෝකදළු මෙන් මොලොක් වූ ලදරු උඩුකුරු ව හෝනා මා පිසාචියක් බියෙන් තැතිගැන්විය. දුක්පත් සිත් ඇති දෙමාපියෝ “නාථයන් වහන්ස, මුබවහන්සේට මුන් දෙමු. නායකයන් වහන්ස, පිහිට වනු මැනැවැ”යි මහර්ෂි වූ බුදුරජුන්ගේ පාමුල මා හොවා ලූහ.

5710. එකල්හි බිය පත් වූවනට පිහිට වූ ඒ බුදුරජ තෙම ජාලාඞ්ගුලි ඇති සක්ලකුණුයුත් මෘදුකොමලහස්තයෙන් මා පිළිගත්තේ ය.

5711. මම එතැන් පටන් අරක්ඛෙය්‍ය වූ (කිසිවකු විසින් නො රැකිය යුතු) ඒ බුදුහු විසින් රැකුණෙම් සියලු පසමිතුරන්ගෙන් මිදුනෙම් සුවයෙන් වැඩුනෙමි.

5712. මොහොතකුදු බුදුරජුන්ගෙන් වෙන් වූයෙම් උකටලී වෙමි. උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට වන්මි.

5713. මම සියලු පාරමිතාබලයෙන් හටගත්තා වූ උතුම් වූ ලක්ෂ්මියට (-සම්පත්තියට) වාසස්ථාන වූ සියලු ශුභ (-වර්‍ණඝණ්ඨාන) යන්ගෙන් ගැවසී ගත් (බුදුරජුන්ගේ) රූපය (දැක්මෙහි) තෘප්ත (සෑහීමට පත්) නො වූයෙම් ආසා කෙරෙමි.

5714. එකල්හි බුද්ධරූපයෙහි ඇලුනු මා දැක “වක්කලිය, කම් නැත. බාලයන් තුටුවන්නා වූ රූපයෙහි කිම ඇලෙහි දැ”යි කෙලෙස් දිනූ බුදුරජානන් වහන්සේ මට අවවාද කළසේක.

5715. යමෙක් සදහම් දන්නේ වේ ද, ඒ පණ්ඩිත තෙමේ මා දකී. සදහම් නො දක්නේ මා දක්නේ නමුදු නො දක්නේ ම ය.

5716. රූ කය අපමණ වූ දොස් ඇත්තකි. විෂවෘක්ෂයකට බඳු උපමා ඇත්තකි. සියලු රොගයනට නිවාසස්ථානයකි. හුදු දුඃඛපිණ්ඩයකි.

5717. එබැවින් රූපයෙහි කලකිරී ස්කන්ධයන්ගේ උදය-ව්‍යයය (-ඇතිවීම - නැතිවීම) බලව. එයින් සියලු කෙලෙසුන්ගේ අන්තයට සුවසේ පැමිණෙන්නෙහි ය.

5718. හිතෛෂි වූ ඒ ලෝකනායකයන් වහන්සේ විසින් මෙසේ අනුශාසනා කරණ ලද මම ගිජුකුළුපව්වට නැගී ගිරිකඳුරෙහි බුද්ධරූප දර්‍ශන වියොගයෙන් (මැරෙන්නට) සිතමි.

5719-5720. ඒ පස්මරුන් දිනූ බුදුරජානන්වහන්සේ කඳුබෑවුමෙහි සිටියහු ‘වක්කලී’ය යි මට ඇමතූසේක. මම ඒ වචනය අසා තුටු වූයෙම් නොයෙක් සියගණන් පුරිස්පමණින් ගැඹුරු වූ පර්‍වත ප්‍රපාතයට පැන්නෙමි. එකල්හි බුද්ධානුභාවයෙන් සුවසේ ම පොළොවෙහි පිහිටියෙම් වෙමි.

5721. (බුදුරජ තෙම) නැවතත් ස්කන්ධයන්ගේ උදය - ව්‍යය පිළිබඳ දහම් දෙසී ය. මම එදහම් දැන රහත්බවට පැමිණියෙමි.

5722. එකල්හි මරණාන්තය වූ නිවනට පැමිණි මහා ප්‍රාඥයන් වහන්සේ ශ්‍රද්ධාධිමුක්තික (බලවත් සැදැහැ ඇති) යනට මා අග්‍ර කොට ඉමහත් පිරිස් මැද පණවා වදාළ සේක.

5723. එකල්හි මෙයින් සියක්දහස් වන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හෙතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

5724. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5725. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණිම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5726. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමොක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

මෙසෙයින් ආයුෂ්මත් වක්කලිස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

වක්කලී ස්ථවිරාවදානය දෙවැනියි.