4416. එකල්හි මම මාර්‍ගොපකරණ ද ගෙණ ගමකට ගියෙමි. පිරී ගිය නදිය දැක සඞ්ඝාරාමයකට එළඹියෙමි.
4417. ආරණ්‍යක වූ ද, ධුතාඞ්ගධාරී වූ ද, ධ්‍යාන කරන්නා වූ ද, රූක්‍ෂචීවර දරන්නා වූ ද, විවෙකයෙහි ඇළුණු ඒ ප්‍රාඥයෝ සඞ්ඝාරාමයෙහි වෙසෙත්.
4418. මැනවින් කෙලෙසුන්ගෙන් මිදුනා වූ තාදීගුණ ඇති ඔවුන්ගේ ගමනාගමනය වැළකුනේ ය. (දිය පිරීමෙන්) ඇවිරුනු ගඟ ඇති බැවින් ඔහු පිඬු පිණිස නො යෙත්.
4419. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ප්‍රීතිමත් වූයෙම් බඳැඳිලි ඇත්තෙම් මාගේ සහල් ගෙණ කැඳ දනක් දුනිමි.
4420. මම පහන් සිතැත්තෙම් සියතින් ම පස් නමකට කැඳ දන් දී ස්වකීය කුශලකර්‍මය කරණ කොට ගෙණ පහන් වූයෙමි. (මරණින් මතු) තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
4421. මට තව්තිසා දෙව්ලොවෙහි මිණිමුවා විමනක් පහළ විය. ඒ උතුම් විමනෙහි දිව්‍යස්ත්‍රීසමූහයා සහිතව සතුටු වෙමි.
4422. තෙතිස් වරක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කරවීමි. තිස්වරක් චක්‍රවර්තී ව මහාරාජ්‍යය කරවීමි.
4423. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණනින් ගිණිය නො හේ. මම දෙව්ලොව ද මිනිස්ලොව ද යසස් අනුභව කොට -
4424. පශ්චිම භවය පැමිණි කල්හි අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි. මම හිස කෙහෙ බෑ කෙණෙහි සියල්ල අවබොධ කෙළෙමි.
4425. සිරුර ඛය - වය වශයෙන් මෙනෙහි කරන්නෙම් සිකපද ගැණීමට පෙරාතුව ම රහත්බවට පැමිණියෙමි.
4426. මා විසින් උතුම් දනක් මැනවින් දෙන ලදී. වෙළෙඳාමක් මොනවට යොදන ලදී. කැඳ දන කරණකොට ගෙණ ම අචලපදය වූ නිවනට පැමිණියෙම් වෙමි.
4427. උපන්නා වූ ශෝකයක් හෝ පරිදේවයක් (=වැලපීමක්) හෝ ව්‍යාධියක් හෝ ක්ලාන්තයක් හෝ චිත්තසන්තාපයක් නො දනිමි. කැඳ දනෙහි මේ විපාක යි.
4428. නිරුත්තර පුණ්‍යක්‍ෂෙත්‍ර වූ සඞ්ඝයාට කැඳ දන් දී අනුසස් පසක් ලබමි. කැඳ දන මැනවින් දෙන ලදි. ආශ්චර්‍ය්‍යයෙකි.
4429. මාගේ ලෙඩ නැති බව, රූමත් බව, වහා දහම් පිළිවිදුනා බව, ආහාරපාන (සුලභ ව) ලබන බව හා පස්වැනි අනුසස දීර්‍ඝායුෂ්ක බව ද වෙයි.
4430. යමෙක් සතුට උපදවමින් සඞ්ඝයා කෙරෙහි කැඳ දෙන්නේ නම් ඒ නැණවත් තෙමේ මේ අනුසස් පස ලබන්නේ ය.
4431. එකල්හි මෙයින් කප්තිස්දහසකට පෙර යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කැඳ දනෙහි මේ විපාක යි.
4432. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4433. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් වීය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4434. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ට විමොක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් යාගුදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි
යාගුදායක ස්ථවිරාවදානය අටවැනි යි.