2202. එකල්හි තව්තිසා වැසි දෙවියන් අතර මහත් ඝොෂයක් විය. (කෙසේ ද? යත්:) “බුදුරජානන් වහන්සේ ලොකයෙහි පිරිනිවන් පානා සේක. අපිදු (මේ තාක් ම) රාග සහිතයෝ වමු” (කියා යි).
2203. සංවෙගයට පත් ශොක නමැති උල් ඇනුනු ඒ (දෙවියන් අතුරෙන්) මම චිත්ත බලයෙන් දැඩි වූයෙම් බුදුරජුන් සමීපයට ගියෙමි.
2204. මවන ලද සියුම් වූ මදාරා (මල්) ගෙණ පිරිනිවන් පාන වේලෙහි බුදුරජුන්හට පිදීමි.
2205. එකල්හි සියලු දෙවියෝ ද අප්සරාවෝ ද මාගේ පිණ අනුමෝදන් වූහ. (ඒ හේතුවෙන්) මම කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක් නො දනිමි.
2206. මෙයින් සැටදහස්වන කපෙහි මහත් බල ඇති මහාමල්ලජන නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
2207. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකචරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
එකචරියස්ථවිරාවදානය නවවැනි යි.