ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ජාතක පාළි 1 » 8. අට්‌ඨක නිපාතය

(426) 10. දීපි ජාතකය

1234. මයිලණුවෙනි, කෙසේ ද? ඉවැසිය හැකි ද? සුවසේ දිවි පැවැත්විය හැකි ද? අද ඔබගේ සුවය මව විචාළා ය. අපි ද තොපට සැප කැමැත්තමෝ වම්හ.

1235. එළිය, මාගේ නඟුට - පාගා බලාත්කාර කොට අදම ‘මයිලණුවෙනි’යි අමතා මිදීගත හැක්කැ යි හඟිහි ද?

1236. පෙරදිගට මුහුණ ලා හුන්නෙහි ය. මම මුඛ වහන්සේගේ ඉදිරියෙන් ආයෙමි. තොපගේ නඟුට පසු පසැ වේ. එය කෙසේ මම මඩනෙම් ද?

1237. සාගර සහිත පර්වත සහිත සතර මහ දිවයින් යම් තාක් ද ඒතාක් මගේ වලග (පැතිර ගියේ) වේ. එය තෝ කෙසේ නම් නොම මැඩැ හරනෙහි ද?

1238. දුෂ්ටයාගේ වලග දිගය යන මේ කථාව මාපියෝ ද සොහොයුරෝ ද මට කැලැ මැ කීහ. (වලග ඇක්මෙන නිසා) ඒ මම අහසින් ආවෙමි.

1239. එළිස්සිය, අහසෙහි එන තී දැක මුවසමූහය පැන ගියා ය. මගේ ගොදුර තී විසින් නසන ලදී.

1240. මෙසේ කියා වලප්නා එළිස්සියගේ ගෙල ලෝහිතපායී දිවි තෙම ඩැගැගෙන ඉරාලී ය. දුෂ්ටයා කෙරෙහි සුභාෂිත බිණුමක් නැත. (දුෂ්ටයා සමග මිහිරි කථාවෙන් බිණුමෙන් පලෙක් නො වේ.)

1241. දුෂ්ටයාට නීතියෙක් නැත. ස්වභාවයෙන් පිහිටි උතුම් ගතියෙක් නැත. හොඳ කථාවෙක් නැත. දුෂ්ටයා කෙරේ පරාක්‍රමය යොදන්නේ ය. දුෂ්ටයා ද සත්පුරුෂයන් හා නො ඇලේ.

10. දීපි ජාතක යි.