ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ජාතක පාළි 1 » 13. තෙරසක නිපාතය

(483) 10. සරභමිග ජාතකය

1915. නැණවත් පුරුෂයා බලාපොරොත්තු (ඇත්තෙක්) වන්නේ ම ය. නො කලකිරෙන්නේය, මම යම් සේ කැමැති වීම් ද එසේ සිදු විය. මම තමා දකිමි.

1916. නැණවත් පුරුෂයා බලාපොරොත්තු (ඇත්තෙක්) වන්නේ ම ය. නො කලකිරෙන්නේ ය. දියෙන් ගොඩට පැමිණි මම තමා දකිමි.

1917. නැණවත් පුරුෂයා වැයම් කරන්නේ ම ය. නො කල කිරෙන්නේ ය. මම යම් සේ කැමැති වීම් ද එසේ සිදු විය. මම තමා දකිමි.

1918. නැණවත් පුරුෂයා වැයම් කරන්නේ ම ය. නො කල කිරෙන්නේ ය. දියෙන් ගොඩට පැමිණි මම තමා දකිමි.

1919. දුකට පැමිණියේ නමුදු නැණවත් පුරුෂයා සැපතට පැමිණීමේ රිස්ස නො සිඳින්නේ ය. නො සිතූ හිතාහිත ස්පර්ශයෝ සත්ත්‍වයා වෙත පැමිණෙති.

1920. නො සිතූ දැය සිදු වෙයි. සිතූ දැය නො සිදු වෙයි. ස්ත්‍රියකට හෝ පුරුෂයකුට සිතූ ලෙස වස්තුව නො ලැබේ.

1921. පෙරැ ඔබ යම් ගිරි දුර්ගයෙක සරභ මුවකු ලුහුබැඳ ගියෝ ද, කරුණා සිතැති උගේ වෑයම නිසා තෙපි ජීවත් වව.

1922. යම් සරභ මුවෙක් ගලෙන් උපක්‍රම යොදා, ගොඩ පැමිණිය නො හැකි නරාවළින් තොප ගොඩ ගත්තේ ද දුකට පත් වැ සිටි තොප මරු මුවෙන් මිදී ද, ධෛර්ය සම්පන්න සිතැති ඒ මුවාගේ ගුණ කීහු ය.

1923. බමුණ, තෙපි එදා එහි සිටියහු ද? නැතහොත් කිසිවෙක් එය තොපට කීවේ ද? (නැතහොත්) දුරු කළ කෙලෙස් ඇති සර්වඥ වූහු ද? තොපගේ නුවණ බලවත් පැවැතුම් ඇත්තේ ය.

1924. ජනපති තුමනි, මම එදා එහි නො වීමි. කිසිවෙකුත් මට එය නො කීය. (එහෙත්) මනා කොට කී ගාථා පදයන්ගේ අර්ථය නුවණැත්තෝ සොයති.

1925. අන්‍යයන්ගේ වෑයම නසන ඊතලය දුන්නෙහි බහාගෙන ඔබ සැක කරන්නේ කිම? ඊය විද වහා සරභයා නසත්වා. එය උතුම් පැණැති රජගේ ආහාර යි.

1926. බමුණ, මුවා ක්‍ෂත්‍රියයාගේ ආහාර යි. එය මම ද ඒකාන්තයෙන් දනිමි. පෙරැ කළගුණය පුදන්නෙම්, මම සරඟමුවා නො මරමි.

1927. දිශාධිපති රජතුමනි, මෙතෙම මුවෙක් නො වේ. මෙතෙම අසුරයා ය. නරදෙටුව, මොහු මරා ඔබ ශක්‍ර වන්නේ මනාය.

1928. රජතුමනි, මේ සරභයා මාගේ මිතුරා යයි (යන හැඟීම නිසා) නසන්නට සැක උපදවා ද (එහෙයින්) නරදෙටුව, අඹු දරුවන් සහිත තෙපි යමයාගේ වෙතරණී නම් නිරයට යන්නාහුය.

1929. බමුණ, මම ද දනවු වැසියෝ ද පුත්‍රයෝ ද භාර්යාවෝ ද මිතුරෝ ද යන හැමදෙන යමයාගේ වේතරණී නිරයට ඒකාන්තයෙන් යම්හ. (එහෙත්) යමෙක් මට පණ දුන්නේ ද හේ නො මැරිය යුතු ය.

1930. බමුණ, මේ මුවා මහවනයෙහි හුදෙකලා ව සිටි මට නරාවළෙන් ගොඩ එන්නට උපකාර කෙළේ ය. පෙරැ කළ ඒ උපකාර සිහි කරන්නෙම් දැන දැන ම ඔහු කෙසේ නසම් ද?

1931. මිතුරන් සතුටු කරන ඔබ බොහෝ කල් වෙසෙත්වා. (දශ)රාජ ධර්මයෙහි පිහිටා රාජ්‍යයානුශාසනා කෙරෙත්වා. ස්ත්‍රී සමූහයා පිරිවරා ගෙන වෙසෙන ශක්‍රයා මෙන් රටෙහි ප්‍රීතියෙන් වෙසෙත්වා.

1932. නො කිපෙන සතුටු සිතැති (ඔබ) අමුත්තන්ගේ යාචනයට සුදුසු වෙත්වා. හැකි පමණින් දීමත් බිදීමත් කොට නින්දා රහිත වැ සැපතින් අග්‍රස්ථානය වන දෙව්ලොවට පැමිණෙත්වා.

10. සරභමිග ජාතක යි.