ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » පටිසම්භිදාමග්ගප්පකරණ » මහා වර්ගය » 2. දිට්ඨිකථා

2 - 15, 16. භව - විභව දෘෂ්ටි

(ශාශ්වතසංඥා හෙයින් නිර්‍වාණයෙන් සිත) හැකිළීමෙහි අභිනිවෙශය භවදෘෂ්ටි නම. (උච්ඡෙදසංඥා හෙයින් නිරොධගාමිනීප්‍ර‍තිපදායෙහි) අතිධාවනයෙහි අභිනිවෙශය විභවදෘෂ්ටි නමි. ආස්වාදදෘෂ්ටියෙහි පන්තිස් අයුරෙකින් අභිනිවෙශය වෙයි. (එහි) භවදෘෂ්ටීහු කෙතෙක් ද, විභවදෘෂ්ටීහු කෙතෙක් ද, ආත්මානුදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවෙශය වෙයි. (එහි) භවදෘෂ්ටීහු කෙතෙක් ද, විභවදෘෂ්ටීහු කෙතෙක් ද, ලොකවාදප්‍ර‍තිසංයුක්තදෘෂ්ටියෙහි අටඅයුරෙකින් අභිනිවෙශය වෙයි. (එහි) භවදෘෂ්ටීහු කෙතෙක් ද, විභව දෘෂ්ටීහු කෙතෙක් ද යත්:

ආස්වාදදෘෂ්ටියෙහි පන්තිස් අයුරින් අභිනිවෙශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. ආත්මානුදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවෙශය වෙයි. (එහි) භවදෘෂ්ටි පසළොසෙක, විභවදෘෂ්ටි පසෙකි. මිථ්‍යාදෘෂ්ටියෙහි දසඅයුරෙකින් අභිනිවෙශය වෙයි. එ හැම විභවදෘෂ්ටීහු වෙති සත්කායදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවෙශය වෙයි. (එහි) භවදෘෂ්ටි පසළොසෙක, විභවදෘෂ්ටි පසෙකි. සත්කායවස්තුකශාශ්වතදෘෂ්ටියෙහි පසළොස්අයුරෙකින් අභිනිවෙශය වෙයි. එ හැම භවදෘෂ්ටි වෙයි. සත්කායවස්තුකඋච්ඡෙදදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවෙශය වෙයි. එහැම විභවදෘෂ්ටීහු වෙති.

“ලොකය ශාශ්වත යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවෙශය වෙයි. එහැම භවදෘෂ්ටීහු යැ. “ලොකය අශාශ්වත යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවෙශය වෙයි. එහැම විභව දෘෂ්ටීහු යැ. “ලොකය අන්ත ඇත්තේ යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරින් අභිනිවෙශය භවදෘෂ්ටී හු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. “ලොකය අන්ත නැත්තේ යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරින් අභිනිවෙශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. “හෙ මැ ජීව යැ හෙ මැ ශරීර යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවෙශය වෙයි. එහැම විභවදෘෂ්ටීහු යැ. “ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවෙශය වෙයි. එහැම භවදෘෂ්ටීහු යැ. “සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන වෙයි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවෙශය වෙයි. එහැම භවදෘෂ්ටීහු යැ. “සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වෙයි“ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවෙශය වෙයි. එහැම විභවදෘෂ්ටීහු යැ. “‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි වන්නේත් නො වන්නේත් වෙයි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස් අයුරින් අභිනිවෙශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. “සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වෙයි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරින් අභිනිවෙශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහු යැ.

පූර්‍වාන්තානුදෘෂ්ටියෙහි අටළොස් අයුරින් අභිනිවෙශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටිහු ද වන්නාහ. අපරාන්තානුදෘෂ්ටියෙහි සියුසාලිස් අයුරින් අභිනිවෙශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටිහු ද වන්නාහ. සංයොජනිකදෘෂ්ටියෙහි අටළොස් අයුරින් අභිනිවෙශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටිහු ද වන්නාහ. “මම” යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අටළොස් අයුරින් අභිනිවෙශය වෙයි. එ හැම විභවදෘෂ්ටිහු යැ. “මාගේ යැ”යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අටළොස් අයුරෙකින් අභිනිවෙශය වෙයි. එ හැම භවදෘෂ්ටිහු යැ ආත්මවාද ප්‍ර‍තිසංයුක්තදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවෙශය වෙයි. (එහි) භවදෘෂ්ටි පසළොසෙක. විභවදෘෂ්ටි පසෙකි. ලොකවාදප්‍ර‍තිසංයුක්තදෘෂ්ටියෙහි අට අයුරින් අභිනිවෙශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහු ය.

එහැම දෘෂ්ටිහු ආස්වාද දෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු ආත්මානුදෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු මිථ්‍යාදෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු සත්කායදෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු අන්තග්‍රාහිකදෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු සංයොජනික දෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු ආත්මවාදප්‍ර‍තිසංයුක්ත දෘෂ්ටි වෙත්.

“තාර්කිකයෝ තුමූ භවදෘෂ්ටිය ද, විභවදෘෂ්ටිය ද යන මෙ දෙක ඇසුරු කළාහු වෙති. යම් කරුණෙකින් මේ ලෝවැසි තෙම යම් නිරොධ සුඛයෙක්හි විපරීතසංඥා ඇත්තේ ද, ඔවුනට ඒ නිරොධයෙහි ඥානයෙක් නැද්ද එහෙයිනි.”

“මහණෙනි, ද්විවිධ දෘෂ්ටිගතයන් විසින් සමුදාචාරයට පත් දෙවිමිනිස්සු ඇතැම් කෙනෙක් ඔලීයන (ශාශ්වත සංඥා හෙයින් නිර්‍වාණයෙන් හැකිළීම) කෙරෙති. ඇතැම් කෙනෙක් (උච්ඡේද හෙයින් නිරොධගාමිනීප්‍ර‍තිපදායෙහි) අතිධාවන කෙරෙත්. නුවණැස් ඇත්තාහු මැ දකිත්.

මහණෙනි, කිසෙයින් ඇතැම් කෙනෙක් ඔලීයන කෙරෙති යත් මහණෙනි, දෙවිමිනිස්සු භවය අභිරමණස්ථානය කොට ඇත්තාහු යැ. භවයෙහි ඇලුණාහු යැ, භවයෙන් සතුටු වූවාහු යැ. භවනිරොධය පිණිස දහම් දෙසනු ලබන කල්හි ඔවුන්ගේ සිත (ධර්‍මදෙශනාවට හෝ භව නිරොධයට) නො පිවිසෙයි. නො පහදී. නො පිහිටයි. අධිමුක්ත නො වේ. මහණෙනි, මෙසෙයින් ඇතැම් කෙනෙක් ඔලීයන කෙරෙත්.

මහණෙනි, කිසෙයින් ඇතැම් කෙනෙක් අතිධාවන කෙරෙති යත්: තවද අතැම් කෙනෙක් භවයෙන් මැ පෙළෙනු ලබන්නාහු ලජ්ජාවට පැමිණෙන්නාහු ජුගුප්සාවට පැමිණෙන්නාහු උච්ඡෙදයට සතුටු වෙත්. භවත්නි, යම් තැනක පටන් මේ ආත්මය කාබුන් මරණින් මත්තෙහි සිඳේ ද වැනැසේ ද මරණින් මත්තෙහි විද්‍යාමාන නො වේ ද තෙල (සිඳිම) ශාන්ත යැ තෙල ප්‍ර‍ණීත යැ තෙල යථාස්වාභාවය ල’යි. මහණෙනි, මෙසෙයින් ඇතැම් කෙනෙක් අතිධාවන කෙරෙත්.

මහණෙනි, කිසෙයින් ඇස් අත්තාහු මැ දකිති යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙම භූතය (හෙතුයෙන් උපන් ස්කන්‍ධපඤ්චක සඞ්ඛ්‍යාත දුඃඛය) භූත (දුඃඛ) වශයෙන් දකී. භූතය භූතවශයෙන් දැක භූතයාගේ නිර්‍වෙදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස පිළිපන්නේ වේ. මහණෙනි, මෙසෙයින් ඇස් ඇත්තාහු මැ දකිත්.

“යමෙක් භූතය භූතවශයෙන් දැක භූතයාගේ ඉක්මවීම (නිරොධය) ද දැක භවතෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙන් යථාස්වභාව වූ නිරොධයෙහි අධිමුක්ත වේ ද, (1)

ඒ අර්‍හත් තෙමේ එකාන්තයෙන් භූත සඞ්ඛ්‍යාත දුඃඛය පිරිසිඳ දත්තේ කුදුමහත් භවයෙහි පහවූ තෘෂ්ණා ඇත්තේ භූත සඞ්ඛ්‍යාත වර්‍තත දුඃඛයාගේ සිඳීමෙන් පුනර්භවයට නො පැමිණේ’ යයි. (2)

පුද්ගලයෝ තිදෙනෙක් විරූපභාවයට ගිය දෘෂ්ටි ඇත්තාහු යැ පුද්ගලයෝ තිදෙනෙක් සුන්දරභාවයට ගිය දෘෂ්ටි ඇත්තාහු යැ.

කවර පුද්ගලයෝ තිදෙනෙක් විරූපභාවයට ගිය දෘෂ්ටි ඇත්තාහු ද යත්: තීර්‍ත්‍ථක යැ තීර්‍ත්‍ථකශ්‍රාවක යැ යමෙකුත් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ නම් හේ යැ. මොහු විරූපභාවයට ගිය දෘෂ්ටි ඇති තුන් පුඟුලෝ යි.

කවර පුද්ගලයෝ තිදෙනෙක් සුන්දරභාවයට ගිය දෘෂ්ටි ඇත්තාහු ද යත්: තථාගත යැ තථාගතශ්‍රාවක යැ යමෙකුත් සම්‍යග්දෘෂ්ටි ඇත්තේ නම් හේ යැ. මොහු සුන්දරභාවයට ගිය දෘෂ්ටි ඇති තුන් පුඟුලෝ යි.

යම් මිනිසෙක් කිපෙනසුලු ද බද්ධවෛර ඇත්තේ ද ලාමක වූ මකුගුණ ඇත්තේ ද විරූපභාවයට ගිය දෘෂ්ටි ඇත්තේ ද කළ වරද වසනසුලු ද ඔහු ‘වසල’ යයි දන්නේ යැ. (1)

(යමෙක්) නො කිපෙනසුලු ද බද්ධවෛර නැත්තේ ද (ඥානදර්‍ශනවිශුද්ධියෙන්) විශුද්ධ වූයේ ද, (මාර්‍ගඵල සඞ්ඛ්‍යාත) ශුද්ධභාවයට ගියේ ද සුන්දරභාවයට ගිය දෘෂ්ටි ඇත්තේ ද ප්‍ර‍ඥා ඇත්තේ ද ඔහු ‘ආර්‍ය්‍ය’ යයි දන්නේ ය’යි. (2)

විපන්නදෘෂ්ටීහු තිදෙනෙක, සම්පන්නදෘෂ්ටීහු තිදෙනෙකි.

තුන් විපන්නදෘෂ්ටීහු කවරහ යත්: ‘තෙල මාගේ යැ’ යනු විපන්නදෘෂ්ටි යැ “තෙල මම වෙමි” යනු විපන්නදෘෂ්ටි යැ “තෙල මාගේ ආත්ම යැ” යනු විපන්නදෘෂ්ටි යි. මොහු තුන් විපන්නදෘෂ්ටීහු වෙත්.

තුන් සම්පන්නදෘෂ්ටීහු කවරහ යත්: “තෙල මාගේ නො වෙයි” යනු සම්පන්නදෘෂ්ටි යැ, “තෙල මම නො වෙමි” යනු සම්පන්නදෘෂ්ටි යැ. “තෙල මාගේ ආත්මය නො වෙයි” යනු සම්පන්නදෘෂ්ටි යි. මොහු තුන් සම්පන්නදෘෂ්ටීහු වෙත්.

“තෙල මාගේ යැ” යනු කවර දෘෂ්ටි ද, දෘෂ්ටීහු කෙතෙක් ද, ඒ දෘෂ්ටීහු කවර අන්තයෙකින් අනුගෘහීත වූවාහු ද, “තෙල මම වෙමි” යනු කවර දෘෂ්ටි ද, දෘෂ්ටීහු කෙතෙක් ද, ඒ දෘෂ්ටීහු කවර අන්තයෙකින් අනුගෘහීත වූවාහු ද, “තෙල මාගේ ආත්ම යැ” යනු කවර දෘෂ්ටි ද, දෘෂ්ටීහු කෙතෙක් ද, ඒ දෘෂ්ටීහු කවර අන්තයෙකින් අනුගෘහිත වූවාහු ද යත්:

“තෙල මාගේ යැ” යනු පූර්‍වාන්තානුදෘෂ්ටි යැ දෘෂ්ටි අටළොසෙකි. ඒ දෘෂ්ටීහු පූර්‍වාන්තයෙන් අනුගෘහිතයහ. “තෙල මම වෙමි” යනු අපරාන්තානුදෘෂ්ටි යැ. දෘෂ්ටි සියුසාලිසෙකි. ඒ දෘෂ්ටීහු අපරාන්තයෙන් අනුගෘහිතයහ. “තෙල මාගේ ආත්ම යැ” යනු විංශද්වස්තුක ආත්මානුදෘෂ්ටි යැ. විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යැ, සත්කායදෘෂ්ටිය ප්‍ර‍මුඛ කොට ඇති දෘෂ්ටිගත දෙසැටෙකි. ඒ දෘෂ්ටීහු පූර්‍වාන්තාපරාන්තයෙන් අනුගෘහීත වෙත්.

මහණෙනි, යම් කිසි කෙනෙක් මා කෙරෙහි (‘භාග්‍යවත්හු සම්‍යක්සම්බුද්ධයහ’යි) මාර්‍ගඥානවශයෙන් නිෂ්ඨාවට ගියාහු ද ඒ සියල්ලෝ දෘෂ්ටිසම්පන්නයෝ යි. එ දෘෂ්ටිසම්පන්නයන් අතුරින් පස්දෙනකුන්හට මේ කාමධාතුයෙහි නිෂ්ඨා (පරිනිර්‍වාණය) වෙයි. පස්දෙනෙකුන්හට මේ කාමභවය හැරපියා නිෂ්ඨා වෙයි.

කවර පස්දෙනෙකුන්හට මෙහි නිෂ්ඨා වේ ද යත්: සත්තක්ඛත්තුපරමහට යැ කොලංකොලහට යැ ඒකබීජහට යැ සකෘදගාමීහට යැ යමෙකුත් මේ අත්බැව්හි මැ අර්‍හත් වේ ද ඔබට යැ යන මේ පස්දෙනාහට මෙහි නිෂ්ඨා වේ.

කවර පස්දෙනකුන්හට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨා වේ ද යත්: අන්තරාපරිනිබ්බායීහට යැ උපහච්චපරිනිබ්බායීහට යැ අසඞ්කාරපරිනිබ්බායීහට යැ සසඞ්කාරපරිනිබ්බායීහට යැ උද්ධංසොත අකනිට්ඨාගාමීහට යැ යන මේ පස්දෙනාහට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨාව වේ.

මහණෙනි, යම් කිසි කෙනෙක් මා කෙරෙහි නිෂ්ඨාවට ගියාහු ද එහැම දෙන දෘෂ්ටියෙන් සුන්‍දර බවට ගියාහු යැ. ඒ දෘෂ්ටියෙන් සුන්‍දර බවට ගියවුන් අතුරින් මොවුන් පස්දෙනහට ඉධනිෂ්ඨා යැ මොවුන් පස්දෙනහට ඉධවිහාය නිත්මා යි.

මහණෙනි, යම් කිසි කෙනෙක් මා කෙරෙහි අචල ප්‍ර‍සාදයෙන් ප්‍ර‍සන්නයෝ වෙත් ද, එහැම දෙන ආර්‍ය්‍යමාර්‍ගශ්‍රොතසට පැමිණියාහු යැ. ඒ ආර්‍ය්‍යමාර්‍ගශ්‍රොතසට පැමිණියවුන් අතුරින් පස්දෙනකුන්හට මේ කාමධාතුයෙහි නිෂ්ඨා වෙයි. පස් දෙනකුන්හට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨා වෙයි.

කවර පස් දෙනකුන්හට මේ කාමධාතුයෙහි නිෂ්ඨා වෙයි යත්: සත්තක්ඛත්තුපරමහට යැ. කොලංකොලහට යැ එකබීජිහට යැ සකෘදගාමීහට යැ යමෙකුත් මේ අත්බැව්හි මැ අර්‍හත් වේ ද ඔබට යැ යන මොවුන් පස්දෙනහට මේ කාමධාතුයෙහි නිෂ්ඨා වේ.

කවර පස්දෙනකුන්හට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨා වෙයි යත්: අන්තරාපරිනිබ්බායීහට යැ උපහච්චපරිනිබ්බායීහට යැ අසඞ්කාරපරිනිබ්බායීහට යැ සසඞ්කාරපරිනිබ්බායීහට යැ උද්ධංසොතඅකනිට්ඨගාමීහට යැ යන මොවුන් පස්දෙනහට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨාව වේ.

මහණෙනි, යම් කිසි කෙනෙක් මා කෙරෙහි අචල ප්‍ර‍සාදයෙන් ප්‍ර‍සන්නයෝ වෙත් ද එහැම දෙන ආර්‍ය්‍යමාර්‍ගශ්‍රොත්‍රසට පැමිණියාහු වෙති. ඒ ආර්‍ය්‍යමාර්‍ගශ්‍රොත්‍රසට පැමිණියවුන් අතුරෙන් මොවුන් පස්දෙනහට මේ කාමධාතුයෙහි නිෂ්ඨා වෙයි. මොවුන් පස්දෙනහට මේ කාමධාතුව හැරපියා නිෂ්ටා වේ යයි.