ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ථෙරීගාථා පාළි » 16. මහා නිපාතය

1. සුමෙධා ථෙරීගාථා

447. මන්තාවතී නගරයෙහි කොඤ්ච නම් රජුගේ අගමෙහෙසිය කුස උපන් සුමේධා නම් දියැණිකෙනෙක් වූ යැ, ඕ ශාස්තෘශාසනකර වූ (ආර්ය්‍යයන් විසින්) සසුන්හි පහදවන ලද්දී යැ.

448. සිල්වත් වූ විසිතුරු ධර්මකථා ඇති බහුශ්‍රැත වූ බුදුසසුන්හි හික්මුණු සුමේධා මවුපියන් කරා එළැඹ ‘(ඔබ) දෙදෙන අසත්වා’යි මෙසේ කියා:

449. මම නිවනෙහි ඇලුම් ඇති වෙමි, දෙව්ලොවැ වූ ද භවගතය අශාශ්වත යැ, මානුසික කාම කියනු කිමැ, (ඔහු) තුච්ඡයෝ යැ අල්පාස්වාදයෝ යැ බොහෝ උවදුරු ඇත්තාහ.

450. බාලයෝ යම් කාමයෙක්හි මුසපත් වූවාහු ද ඒ කාමයෝ කටුකයෝ යැ ආශිර්විෂ සදෘශයහ, ඒ බාලයෝ නිරයෙහි පිහිටියාහු බොහෝ කලක් දුඃඛිත වැ (තුමූ මැ) පෙළෙත්.

451. පව්කම් ඇති පාපබුද්ධි ඇති ඔහු හැම කල්හි කයින් වචසින් මනසින් ද අසංවෘත වූවාහු නිරයෙහි ඉපිද ශොක කෙරෙත්.

452. දුෂ්ප්‍රාඥ වූ (ආත්මහිතයෙහි) චේතනා රහිත වූ ඒ බාලයෝ දුඃඛසමුදයෙහි (-තෘෂ්ණානිමිත්ත) සංසාරයෙහි ඇවුරුණාහු (සිව්සස්දහම්) දෙසන කල්හි අරුත් නො දන්නාහු ආර්ය්‍යසත්‍යයන් අවබෝධ නො කෙරෙත්.

453. මෑණියනි, යම් කෙනෙක් භවය පතත් ද දෙවියන් කෙරෙහි උපත රිසියෙන් ද බුද්ධශ්‍රේෂ්ඨයන් විසින් දෙසන ලද සියුසස් නො දන්නා වූ ඔහු මැ ඉතා බොහෝ වෙත්.

454. සියලු භවය අනිත්‍ය කල්හි දෙවියන් කෙරෙහි උපත ද අශාශ්වත යැ, (එසේ කල්හිදු) බාලයෝ පුනපුනා ඉපදීම පිළිබඳ වැ නො ද තැතිගනිත්. (සංවෙගයට නො පැමිණෙත්)

455. (නිරය තිරිසන් ප්‍රෙත අසුර යන මොහු) සතර විනිපාතයෝ යැ, (දෙව් මිනිස් යන) දෙ ගතීහු ද දුකසේ ලැබෙත්. විනිපාතගතයනට නිරයෙහි පැවිද්ද නො ද ඇති.

456. දසබලයන් වහන්සේගේ ශාසනයෙහි පැවිදිවන්නට තොප දෙ දෙන මට අවසර දුන මැනව, ජාතිමරණයන්ගේ ප්‍රහාණය පිණිස (අන්කිසයෙකැ) අල්පොත්සුක වැ වෑයම් කරමි.

457. කායකලි වූ අසාර වූ භවය අභිනන්දනා කිරීමෙන් කවර ප්‍රයොජන ද, භවතෘෂ්ණාවගේ නිරෝධහේතුයෙන් (නිරොධය පිණිස) පැවිදි වෙමි, මට අවසර දුන මැනවි.

458. (නිරයොත්පත්ති ආදී අටවැදෑරුම්) අක්ෂණය දුරලනලද, බුද්ධොත්පාද සඞ්ඛ්‍යාත නවවැනි ක්ෂණය ලබනලද, සිව්පිරිසිදු සිල් ද සසුන්බඹසර ද යාවජ්ජීවයෙන් නො කෙලෙසමි.

459. සුමේධා මවුපියනට මෙසේ කියා: (ඉදින් පැවිදි නො ලබම් නම්) ගිහි වැසිව අහර නො මැ ගනිමි, මරණවශයට පැමිණියම් ම වෙමි’යි.

460. ඇයගේ මව දුක්පත් වැ හඬයි, පියා ද සර්වප්‍රකාරයෙන් කඳුළු පිරුණු මුහුණු ඇති වැ පහතෙලෙහි බිම වැටී හුන් සුමේධා (ගිහි බවට) රිසි කරවන්නට වෑයම් කරයි:

461. දරුව, නැඟීසිටුව, ශෝක කිරීමෙන් කිම? (තෙපි) වාරණවතියෙහි රජුට දෙනලද්දාව, අණීකදත්ත රජ අභිරූප යැ, තෙපි ඒ රජුට දෙන ලද්දාව.

462. අණීකදත්ත රජුට භාර්ය්‍යාව වූ අගමෙහෙසී වෙහි. දරුව, සිල් ද බඹසර ද පැවිද්ද ද දුෂ්කර වේ.

463. (අණීකදත්තගේ) රාජ්‍යයෙහි (තොපගේ) ආඥා වැටෙයි, ධනය ද පතිකුලයෙහි ඉසුරු බව ද භොග සුව (යන සියල්ල) තොප සතු වෙයි, තෙපි තරුණ වුව, කම්සුව වළඳව, දරුව තොපගේ පතිවරය වේවා.

464. ඉක්බිති සුමේධා ඔවුනට කියයි: මෙබඳු සම්පත් නහමක් වේවා, භවය අසාර යැ, මාගේ පැවිද්ද හෝ මරණය හෝ වන්නේ ය, පතිවරය නො ද වන්නේ ය.

465. අපවිත්‍ර වූ විහිදෙන විස්‍රගන්ධ ඇති (අවීතරාගයනට) බිය එළවන කුණපයක් වූ නිරතුරු වැගිරෙන අසුචියෙන් පිරුණු සම්පිහිවාවක් බඳු මේ කුණුකය කුමක් හෙයින් අභිනිවෙශ කෙරෙම් ද, (තෘෂ්ණාදි විසින් ගනිම් ද,)

466. අතිශයින් පිළිකුල් වූ මසින් හා ලෙයින් හා තැවරුණු ඒ කය දැනැසිටි මම කුමක් හෙයින් (අභිනිවෙශ කෙරෙම් ද) කෘමිකුලයනට වාස වූ ළිහිණිනට බත් වූ මේ කලෙවරය කවර කරුණෙකින් (රුස්වා) දෙනු ලැබේ ද?

467. නොබෝ කලෙකින් පහවූ විඥානය ඇති මේ කය පිළිකුල් කරන නෑයන් විසින් (නිරර්ත්ථක) දරකඩක් සෙයින් හැරදමන ලදුයේ සොහොනට ගෙනයනු ලැබේ.

468. අන් බලු සිවල් ආදීනට ගොදුරු වූ සිරුර සොහොනෙහි හැරදමා ස්වකීය මවුපියෝ පවා (මිනිය පසුපස ආම්හ’යි) පිළිකුල් කෙරෙමින් ස්නානය කෙරෙති, සාධාරණ ජනතාව වැලිත් කියනු ම කිම?

469. ඇටනහරින් බැඳුණු කෙළ කඳුළු මල මූයෙන් පිරුණු කුණුකයක් වූ නිසරු කලෙවරයෙහි (අන්ධ බාලයෝ තෘෂ්ණාදි විසින්) අභිනිවෙශ කළාහු වෙත්.

470. යමෙක් ඒ කය වෙන් කොට ඒ ශරීරයාගේ ඇතුලත බැහැරකරන්නේ ද සිය මව පවා දුගඳ නො ඉවසමින් පිළිකුල් කරන්නී ය.

471. ස්කන්ධ ධාතු ආයතන යන සංඛතය (ප්‍රත්‍යයොත්පන්නය) ජාතිමූලක දුකෙකැයි නුවණින් විමසන මම කුමක් හෙයින් විවාහය කැමති වෙම් ද?

472. ඉදින් මෙසේ වට්ට දුක්ඛයාගේ ගෙවීම වේ නම්, දවසක් පාසා අලුත් අලුත් වූ තුන්සියක් අඩයටි පහර ඇත ද, හවුරුදු සියයකුදු (යථොක්ත) අවි පහර ලැබෙනුයේ උතුම් වේ.

473. යමෙක් මෙසේ ශාස්තෲන් වහන්සේගේ වචනය දැනගෙන ද (ජාතිමරණාදි) වධය පිළින කෙරේ ද, පුන පුනා ජාත්‍යාදීන් වෙහෙසනු ලබන ඔවුනට සසර දික් වන්නේ ය.

474. දෙව්ලොව ද මිනිස්ලොව ද තිරිසන්යොන්හි ද අසුරනිකායෙහි ද ප්‍රෙතවිෂයෙහි ද නිරයෙහි ද අපරිමිත වූ පීඩාවෝ දක්නා ලැබෙත්.

475. නිරයෙහි (උපන්නහුට පඤ්චවිධ බන්ධනාදි වූ) ද තිරශ්චීනාදි විනිපාතයනට ගියහු (කසාදීන්) පෙළනුලබන්නහුට ද බොහෝ වධයෝ වෙති, දෙවියන් කෙරෙහි දු ත්‍රාණයෙක් නැත නිවන්සුවයට වඩා උතුම් සුවයෙක් නැති.

476. යම් කෙනෙක් දසබලයන්ගේ ප්‍රවචනයෙහි යෙදුණාහු ජාති මරණයන්ගේ ප්‍රහාණය පිණිස (අන් කටයුත්තෙහි) අලපොත්සුක වැ වෑයම් කෙරෙත් ද ඔහු නිවනට පැමිණියාහු වෙත්.

477. පියාණෙනි, අද මැ අභිනෂ්ක්‍රමණය කෙරෙමි, නිසරු වූ භෝගයන්ගෙන් කවර ප්‍රයෝජන ද? මා විසින් බලුවමනයක් බඳු කාමයෝ නිර්විඝ්නයහ (හරනා ලදහ) තාලවාස්තුවක් මෙන් කරනලදහ.

478. ඕ තොමෝ ද පියරජුට මෙසේ කියයි, ඕ යම් රජක්හට දෙන ලදු ද වාරණවතියෙහි ඒ අණීකදත්ත රජ ද විවාමඟුල් එළඹ සිටි කාලයෙහි පැමිණියේ ය.

479. එකල්හි සුමෙධා නිල්වන් හැසුණු මුදු කෙස් කලබ කඩුවෙන් සිඳ (තමා වසන) පහයෙහි දොර වසා (කෙසයෙහි පටික්කූලමනසිකාර කොට) පළමුවන දැහැන් සමවනි.

480. ඕ තොමෝ ද එහි සමවත් සමවන, අණීකදත්ත ද නුවරට පැමිණියේ ය, සුමෙධා පහයෙහි මැ සිට (ධ්‍යානපාදක කොට) අනිත්‍යසංඥා මොනොවට වඩයි.

481. ඕ තොමෝ ද අනිත්‍ය මෙනෙහි කරයි, අණීකදත්ත ද රන්මිණිබරණින් සැරසූ සිරුරු ඇති වැ වහා පහයට නැංගේ ය, (හේ) කළ ඇඳිලි ඇති වැ සුමෙධාවට යාච්ඥා කරයි.

482. රාජ්‍යයෙහි ආධිපත්‍යය ද ධනය ද ඉසුරු බව ද භොග සුඛ (යන සියල්ල) තොප සතු වෙයි, තෙපි තරුණ වවු, කාමභෝගයන් වළද වවු, ලොවැ කාමසුඛයෝ දුර්ලභ වෙත්.

483. රාජ්‍ය තොපට පරිත්‍යාග කරන ලද, භොගයන් වළඳව, දන් දෙව, නහමක් දොම්නස් වව, තොපගේ මවුපිය දෙදෙන දුකට පැමිණියාහ.

484. සුමෙධා ඔහුට මෙසේ කියයි, මම් කාමයන්ගෙන් ප්‍රයොජන නැතියකිම් වෙමි, පහව ගිය මොහ ඇති වෙමි, (තෙපි) කාමයන්හි නහමක් සතුටු වෙව, කාමයන්හි ආදීනව බලව.

485. සතර මහදිවට අධිපති වූ කාමභොගීන් කෙරෙන් අග්‍ර වූ මන්ධාතු නම් සක්විති රජෙක් වී හේ කාමයෙන් නො තිත් වැ කලුරිය කෙළේ, ඔහුගේ ද (කාමයන්හි) ආශාව නො පිරිණ.

486. මේඝය හාත්පසින් දසදිගැ සත්රුවන් වැසි වස්නේ නමුදු (මන්ධාතු රජුට සෙයින්) කාමයන් පිළිබඳ තෘප්තියෙක් නො ද ඇති, මනුෂ්‍යයෝ අතෘප්ත ව මැ මැරෙත්.

487. කාමයෝ කඩුව හා මස්ලොඹුව හා බඳු උපමා ඇත්තාහ, කාමයෝ සර්පශීර්ෂ බඳු උපමා ඇත්තාහ, උල්කොපම වැ අනුදහනය කෙරෙති, අස්ථිකඞ්කාල සදෘශයහ.

488. කාමයෝ අනිත්‍යයෝ යැ අධ්‍රැවයෝ යැ බොහෝ දුක් ඇත්තාහ, ගරල බන්දහ, දවසක් මුළුල්ලෙහි තැවුණු යගුළක් මෙන් දුකට මූලයහ, ද්‍රැමඵල සදෘශයහ.

489. කාමයෝ වෘක්ෂඵලොපමයහ, මාංශපෙශි බන්දහ, දුක් උපදවනු වහ, ස්වප්නොපම වැ වඤ්චා කරනුවහ, කාමයෝ පිරුළු කොට ගත් දෑ බන්දහ.

490. කාමයෝ සැත්හුල් බන්දහ, රුජාකර යැ ගඬක් වැන්නහ, දුකට මුල් හෙයින් අඝ යැ, මරණයට පමුණුවනුයෙන් නීඝ යැ, ගිනිඅඟුරුවළක් වැන්නහ, දුකට මුලැ, බිය එළවනු යැ, වධකයකු වැන්නහ.

491. මෙසේ කාමයෝ බොහෝ දුක් ඇත්තාහයි කියන ලදහ, (සගට මොකට) අන්තරායකරයහ, තෙපි යවු. ආත්මිය යයි භවයෙහි මාගේ විශ්වාසයෙක් නැති.

492. තම හිස ගිනිගෙන දැවෙන කල්හි අනෙකෙක් මට කුමක් කරන්නේ ද, ජරාමරණ දෙක ලුහුබඳනා කල්හි එය නැසීම පිණිස වෑයම් කළ යුතු යැ.

493. මම දොර විවර කොට මවුපියන් ද අණීකදත්ත ද දැක බිමැ හිඳ හඬනුවනට මෙසේ කීමි.

494. අවිදිතාග්‍ර වූ සසරැ පියාගේ මරණයෙහි ද සහෝදරයාගේ වධයෙහි ද තමාගේ වධයෙහි ද පුනපුනා හඬන බාලයනට සසර දික් වේ.

495. (මාතෘමරණාදි ශෝකයෙන් හැඬූ) කඳුළු ද (ළදරු කලැ පී) කිරි ද (සතුරන් විසින් කෙටුවහුගේ සිරිරින් ගුළු) ලෙහ ද සසර අවිදිතාග්‍ර හෙයින් එය (කෙසා මහත් දැයි) සිහි කරන සසර සැරිසරන සත්ත්වයන්ගේ අස්ථිරාශිය ද සිහිකර.

496. (බුදුවරයන් විසින්) සියුසයුර උපමා කොට එළවන ලද (ඇසින් හුණු) කඳුළු (තනෙන් පී) කිරි (සිරිරින් ගුළු) ලේ යන මෙහි පමණ සිහිකර, එක් කපෙක අස්ථීන්ගේ රාශිය වෛපුල්‍ය පර්වතසම කොට සිහිකර.

497. ජම්බුදීප සඞ්ඛ්‍යාත පෘථිවිය ඩෙබරැට පමණින් ගුළි කොට මේ මාගේ මව යැ මේ මවගේ මව යැ යනාදී එක් එක් ගුළිය වෙන් කරන්නේ නම්) ඩෙබරැට සා ගුළි මාතාමහීන් කෙරෙහි මැ නො පොහොනාහ, (අවිදිතාග්‍ර වූ සසරැ සැරිසරන සත්ත්වයාට සසර දිගබව දක්වනු සඳහා) උපමා විසින් එළවූ කරුණ සිහිකර.

498. ලොවැ සියලු තෘණ කාෂ්ට ශාඛා පලාස (සතරඟුල් පමණින් කැබලි කොට එක් එක් කඩ මේ මාගේ පියා යැ මේ පියාගේ පියා යැ යනාදීන් වෙන් කරන්නේ නම්) ඒ සතරඟුල් කඩ පීතෘපීතෲන් කෙරෙහි මැ නො පොහොනේ යැ, සසර අවිදිතාග්‍ර භාවයෙහි උපමා විසින් එළවන ලද කරුණ සිහිකර.

499. මිනිසත් බැව් ලැබීමෙහි ඖපම්‍ය වූ (අවරුදු සියයකට වරක් උඩ එන) කණකැස්බා සිහිකර, පෙරදිග මුහුදෙහි ලූ (අපර භාගයෙන් බටහිර උතුරු දකුණු මුහුදෙහි) වාතවේගයෙන් බමණ වියසිදුර ද (සියවසෙකින් උඩ එන) ඒ කණකැස්බාගේ (වියසිදුරෙහි) ඇමුනුණු හිස ද සිහිකර.

500. පෙණපිඬකට බඳු උපමා ඇති නීසර වූ කායකලිහුගේ (-කිලිටි සිරුර පිළිබඳ) රූපය සිහිකර, අනිත්‍ය වූ ස්කන්ධයන් බල, නිරයෙහි බොහෝ දුක් සිහිකර.

501. පුනපුනා ඒ ඒ ජාතියෙහි සොහොන්බිම වඩන (සත්ත්වයන්) සිහිකර, කිඹුල්බිය (-උදරපෝෂණය පිණිස නො කටයුතු කරන බව) ද සිහිකර, දුක්ඛාදි සිව්සස් (තතුසේ) සිහිකර.

502. බුදුන් වදාළ සදහම් අමා (නොහොත් අමෘතය) විද්‍යාමාන කල්හි පඤ්චකාමගුණ සෙවීමෙන් (නොහොත් පස්කුළු පීමෙන්) තොපට කවර ප්‍රයොජන ද, සියලු මැ කාමරතීහු පඤ්චකටුකයට වඩා අතිශයින් කටුකයෝ යි.

503. සදහම්අමා ඇතිකල්හි යම් කාමකෙනෙක් පරිදාහ සහිත වෙත් නම්, ඒ කාමයන්ගෙන් තොපට කවර ප්‍රයෝජන ද, සියලු මැ කාමරතීහු (එකොළොස්ගින්නෙන්) ජ්වලිතයෝ යැ, ක්වථිතයෝ යැ, කම්පිත වූවාහු තැවුණාහු ද වෙත්.

504. සතුරන් රහිත නෛෂ්ක්‍රම්‍යය ඇතිකල්හි යම් කාමකෙනෙක් බොහෝ සතුරන් ඇත්තාහු ද ඒ කාමයන්ගෙන් තොපට කවර ප්‍රයොජන ද කාමයෝ රජ ගිනි සොර දිය අප්‍රියයන් හා සාධාරණයහ, බොහෝ සතුරන් ඇත්තාහ.

505. මොක්ෂය විද්‍යාමාන කල්හි යම් කාමකෙනකුන් විෂයෙහි මරණාදී වධය හා සිරබැඳුම් ආදි බන්ධන වේ ද, තොපට ඒ කාමයන්ගෙන් කවර ප්‍රයොජන ද, යම්හෙයෙකින් කාමයෝ ලාමක වෙත් ද (කාමීහු) වධබන්ධන දුක් විඳිත් ද එහෙයිනි.

506. දැල්වෙන තණහුල අතින් ගන්නහු දවයි, හරනහු නො මැ දවා, එසේ මැ ය, කාමයෝ උල්කොපම වෙති. යම් කෙනෙක් ඒ කාමයන් නො පියත් ද, ඒ සත්ත්වයන් දවත් මැ යි.

507. අල්ප වූ කාමසුඛය හෙතු කොට මහත් වූ ලොකොත්තර සුඛය නහමක් දුරුකර, බිලිය ගිලැ මසකු මෙන් පසුව නහමක් වැනැසෙව.

508. ඒකාන්තයෙන් කාමවිෂයෙහි ඉඳුරන් දමනය කරව. බලුදමින් බඳනාලද ශුනකයකු සෙයින් (තෙපි කාමබන්ධනයෙන්) බඳනාලද්දහු යැ, සයින් පෙළුණු සැඬොල්හු ශුනකයකු (ලැබ යම්සේ නසත් ද) කාමයෝ තොප එසේ කරන්නාහ.

509. කාමයන්හි යෙදුණු තෙපි අපරිමිත වූ කායික දුක් ද බොහෝ චෛතසික වූ දොම්නස් ද විඳින්නහු ය, එහෙයින් අනිත්‍ය වූ කාමයන් දුරුකරව.

510. යම් කාම කෙනකුන් ඇති කල්හි සියලු භවාදියෙහි සියලු ජාතීහු ජරාමරණව්‍යාධීන් විසින් ගන්නා (මඩනා) ලද්දාහු ද එහෙයින් අජර වූ නිවන ඇතිකල්හි තොපට කාමයන්ගෙන් කවර ප්‍රයොජන ද?

511. මේ නිවන ජරා රහිත යැ, මෙය මරණ රහිත යැ, මෙය අජරාමර බවට කාරණ යැ, ශෝක රහිත යැ, සපත්තධර්ම රහිත යැ, ක්ලෙශසම්බාධ රහිත යැ, දුශ්චරිතකිලුටු රහිත යැ, නිර්භය යැ, තැවුල් රහිත යි.

512. මේ අමාමහනිවන බොහෝ බුද්ධාදි ආර්ය්‍යන් විසින් ප්‍රත්‍යක්ෂ කරනලද, දැනුදු යමෙක් (ශාස්තෲන් විසින් දෙන ලද උපායෙහි සිට) නුවණින් යොග කෙරේ ද (ඔහු විසින්) පැමිණිය හැකි වෙයි, උත්සාහ නො කරනුවහු විසින් ලැබිය නොහැකි වේ.

513. සංස්කාරප්‍රවෘත්තියෙහි අභිරතිය නොලබන සුමෙධා මෙසේ කියයි, යළි අණීකදත්ත රජුට හඟවමින් සුමෙධා (කඩුවෙන් කැපූ) තම කෙස් වැටිය බිමැ හෙළු.

514. ඒ අණීකදත්තරජ නැඟීසිට ඇඳිලි බැඳ ඇගේ පියරජුට යාච්ඥා කෙළේ: සුමෙධා පැවිදිවන්නට හරිනු මැන, (ඕ) අවිපරිත වූ විමොක්ෂසත්‍යය දක්නී වේවා.

515. මවුපියන් විසින් හරනා ලද ශොකභයින් බියපත් වූ ඕ පැවිදි වූ යැ, ශික්ෂමාණ වූ ඇය විසින් ෂඩභිඥාවෝ පසක් කරන ලදහ, අග්‍රඵල වූ අර්හත්ත්වය පසක් කරන ලදි.

516. රාජපුත්‍රී වූ සුමේධාවට ඒ ක්ලෙශපරිනිර්වාණ වූ නිවන ආශ්චර්ය්‍ය අද්භූත වී, පශ්චිම වූ ස්කන්ධපරිනිර්වාණ කාලයෙහි ස්වකීය පූර්වනිවාසචරිතය යම්සේ ප්‍රකාශ කළා ද ඒ එසේ දතයුතු.

517. කොණාගමන භාග්‍යවතුන් වහන්සේ ලොවැ පහළ වූ කලැ අභිනවයෙන් පිහිටුවනලද සඞ්ඝාරාමයෙහි (ධනඤ්ජානී යැ ඛේමා යැ මම යැ යන) තුන්යෙහෙළි වැ උපන් අපි විහාරදානය දුනුම්හ.

518. (ඒ විහාරදානයාගේ අනුහසින්) දසවර ද සියවර ද දහස්වර ද දසදහස්වර ද දෙවියන් කෙරෙහි උපනුම්හ, මිනිසුන් කෙරෙහි උපන් වාර කියනු මැ කිම.

519. දෙවියන් කෙරෙහි උපන් කලැ මහත් ඍද්ධි ඇති වූම්හ, මිනිසුන් කෙරෙහි උපන් කලැ කියනුම කිම, මම සප්තවිධ රතනයෙන් යුත් සක්විතිරජුට මෙහෙසි වූ ස්ත්‍රීරත්නය වීමි.

520. (යථොක්ත දෙව්මිනිස්සුව ලැබීමට) කොණාගමන බුදුන් කලැ (දෙනලද විහාරදානයෙහි) ඒ අනුසස හෙතු විය. එය ප්‍රභව විය, එය මුල් විය, මේ ශාස්තෘශාසනයෙහි ඒ මැ නිධ්‍යානක්ෂාන්තිය විය, ශාසනයෙහි ඒ ප්‍රථම සමාගමය විය, දහම්හි ඇලුණු සුමෙධාවගේ ඒ නිර්වාණ පදප්‍රාප්තිය වී.

521. යම් කෙනෙක් (මා විසින් පූර්ව ආත්මභාවයෙහි හා දැනුදු යම්සේ කරනලද නම්) එපරිදි කෙරෙත් ද, (ඥෙයපර්ය්‍යාන්ත ඥාන ඇති බැවින්) පරිපූර්ණ ප්‍රඥා ඇති බුදුන්ගේ වචනය හදහත් ද, ඔහු (ත්‍රෛභූමක සංස්කාර සඞ්ඛ්‍යාත) භවගතයෙහි (විදර්ශනා ප්‍රඥායෙන්) නිර්වෙදයට පැමිණෙති (-කලකිරෙති) නිර්වෙදයට පැමිණ (සියලු භවගතයෙන්) මිදෙත් යයි.

මෙසේ සුමෙධා ස්ථවිරීන් වහන්සේ ගාථාවන් ප්‍රකාශ කළාහ’යි.

සුමෙධා ථෙරීගාථා යි.