ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ථෙරගාථා පාළි » 12. ද්වාදස නිපාතය

12.1.1. සීලව ස්ථවිරගාථා

608. මේ සසුන්හි ශීලය මැ පුහුණු කළ මැනවැ, මෙලොව මොනවට පුහුණු කළ, සේවනය කළ ශීලය සියලු සම්පත් එළවා ද එහෙයිනි.

609. ප්‍රශංසාව ද සන්තොෂ ලාභය ද පරලෙව්හි ස්වර්ගයෙහි මොදනය ද යන ත්‍රිවිධසුඛයන් කැමති වන්නා වූ නුවණැත්තේ සිල් රැක්ක මැනැවි.

610. සිල් ඇත්තේ මැ සංවරය කරණ කොට ගෙන බොහෝ මිතුරන් ලබයි. දුශ්ශීල තෙමේ වැළිත් ලාමක ක්‍රියා කරන්නේ මිතුරන් කෙරෙන් පහ වේ.

611. දුශ්ශීල පුරුෂ තෙම ගර්හාවත් අපකීර්තියත් ලබයි. සිල්වත් පුරුෂ තෙම හැම කල්හි ගුණකථනයත් කීර්තියත් ප්‍රශංසාවත් ලබයි.

612. ශීලය (කුශලධර්මයන්ට) මූලයත් ප්‍රතිෂ්ඨාත් වෙයි. කල්‍යාණධර්මයන්ට ද මවකි. සියලු ධර්මයන්ට ප්‍රමුඛ යැ. එහෙයින් සිල් පිරිසිදු කරන්නේ යි.

613. ශීලය චිත්තයා ගේ වෙරල (සීමාව) ත් සංවරයත් සන්තොෂකාරණයත් සියලු බුදුවරුන්ගේ තීර්ත්ථයත් වෙයි. එහෙයින් සිල් පිරිසුදු කරන්නේ යි.

614. ශීලය අසදෘශ බලයෙකි, ශීලය උතුම් ආයුධයෙකි, ශීලය ශ්‍රේෂ්ඨ ආභරණයෙකි, ශීලය අද්භූත කවචයෙකි (සන්නාහයෙකි).

615. ශීලය මහබල ඇති හෙයකි. යමෙකින් දසනුදස හමා නම් එ ශීලය අනුත්තරගන්ධයෙකි. ඒ ශීලය ශ්‍රේෂ්ඨ විලෙපනයෙකි.

616. යමෙකින් දසනුදසහි යේ නම් ඒ ශීලය අග්‍ර වූ බත්පළාවකි (බත්මුළෙකි) ඒ ශීලය උතුම් වූ මාර්ගෝපකරණයෙකි. ඒ ශීලය ශ්‍රේෂ්ඨ වූ යානයෙකි.

617. නපුරුසිත් ඇත්තේ මේලෙව්හි මැ නින්දා ලබයි, පරලෙව්හි අපායෙහි ද නින්දා ලබයි, ශීලයෙහි නො පිහිටි බාල තෙමේ සියලු තැන්හි දොම්නස් ඇත්තේ වේ.

618. මනා සිත් ඇත්තේ මේලෙව්හි මැ කීර්තිය ලබයි. පරලෙව්හි ස්වර්ගයෙහි ද කීර්තිය ලබයි. ශීලයෙහි මොනවට පිහිටි නුවණැත්තේ හැමතැන්හි සොම්නස් වේ.

619. මෙ සසුන්හි ශීලය මැ අග්‍ර යැ, එතෙකුදු වුවත් නුවණැත්තේ උතුමි. මිනිසුන් අතුරෙහි දු දෙවියන් අතුරෙහි දු ශීල ප්‍රඥා - දෙකින් ජය වේ.

මෙසේ ආයුෂ්මත් සීලව ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.

සීලව ස්ථවිරගාථා යි.