ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ථෙරගාථා පාළි » 5. පඤ්චක නිපාතය

5.1.8. වක්කලී ස්ථවිරගාථා

350. මහණ ගොචර රහිත රූක්ෂ වූ මහවෙනෙහි වසන තෝ වාතරොගයෙන් අවසඟ බවට පමුණුවනලද්දෙහි කෙසේ වසන්නෙහි ද?

351. මහත් වූ ප්‍රීතිසුඛයෙන් ශරීරය පතුරුවමින් ප්‍රත්‍යරූක්ෂය පවා මැඩලමින් මහවෙනෙහි වෙසෙමි.

352. සතරසීවටන් ද පඤ්චෙන්ද්‍රියයන් ද පඤ්චබලයන් ද වඩමින් සප්ත‍බොධ්‍යඞ්ගයන් ද වඩමින් වෙනෙහි වෙසෙමි.

353. පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තෙම් නිවනට මෙහෙයූ සිතැත්තෙම් නිරතුරු දෘඪපරාක්‍රම ඇත්තෙම් එක් වැ වසන සමග වූ සබ්‍රම්සරුන් දැක (කල්‍යාණමිත්‍රසම්පත්තින්) වෙනෙහි වෙසෙමි.

354. අග්‍ර වූ දාන්ත වූ සමාහිත වූ සම්බුද්ධයන් සිහි කෙරෙමින් රෑදාවල් නො මැලි වූයෙම් වෙනෙහි වෙසෙමි.

මෙසෙයින් ආයුෂ්මත් වක්කලී ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.

වක්කලී ස්ථවිරගාථා යි.