ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (8) 3. ආනන්‌ද වර්ගය

3.2.3.4.

3.2.3.4. නිගණ්‌ඨ සූත්‍රය*

(වෙසාලිනිදානං :)

[වෙසාලිනිදානයි]

24. එකං සමයං ආයස්මා ආනන්‍දො වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො අභයො ච ලිච්ඡවි පණ්ඩිතකුමාරකො ච ලිච්ඡවි යෙනායස්මා ආනන්‍දො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්‍වා ආයස්මන්තං ආනන්‍දං අභිවාදෙත්‍වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො අභයො ලිච්ඡවි ආයස්මන්තං ආනන්‍දං එතදවොච :

24. එක් කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ විශාලා මහනුවර මහාවනයෙහි කූටාගාරශාලායෙහි (කැණි දී නැගූ කුළාරපහයෙහි) වැඩ වෙසෙති. එක්බිති අභය ලිච්ඡවී හා පණ්ඩිතකුමාර ලිච්ඡවී හා දෙදෙන ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් අභය ලිච්ඡවී ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට තෙල කීය.

නිගණ්ඨො භන්තෙ, නාතපුත්තො1 සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානාති : චරතො ච මෙ තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිතන්ති. සො පුරාණානං කම්මානං තපසා ව්යන්තීභාවං පඤ්ඤාපෙති, නවානං කම්මානං අකරණා සෙතුඝාතං. ඉති කම්මක්ඛයා දුක්ඛක්ඛයො, දුක්ඛක්ඛයා වෙදනාක්ඛයො, වෙදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සති. එවමෙතිස්සා සන්දිට්ඨිකාය නිජ්ජරාවිසුද්ධියා සමතික්කමො හොති.

වහන්ස, නිගණ්ඨනාතපුත්‍ර ‘ඇවිදුනා වූත් සිටුනා වූත් නිදන්නා වූත් නිදිවරන්නා වූත් මට නරතුරු ඥානදර්‍ශනය එළඹ සිටිති’යි සර්‍වඥ යැයි සර්‍වදර්ශී යැ යි නිඃශේෂඥානයක් පිළින කෙරෙයි. හේ පුරාණකර්‍මයන්ගේ තපසින් විගතාන්තභාවය පණවයි. නවකර්‍මයන්ගේ නොකිරීමෙන් සෙතුඝාතය පණවයි. මෙසේ කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් සර්‍වදුඃඛය නිර්ජිර්‍ණ වෙයි. මෙසේ තෙල සාන්දෘෂ්ටිකනිර්ජරාවිශුද්ධියෙන් භවසමතික්‍රමණය වේය යි කියා යි.

ඉධ භන්තෙ, භගවා කිමාහාති.

වහන්ස, මෙහි ලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරණ සේක් ද?

තිස්සො ඛො ඉමා අභය, නිජ්ජරාවිසුද්ධියො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්මදක්ඛාතා සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං2 සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බාණස්ස සච්ඡිකිරියාය.

අභයයෙනි, සත්ත්‍වයන්ගේ විශුද්ධිය සඳහා ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය සඳහා දුඃඛදෞර්‍මනස්‍යයන්ගේ අස්තඞ්ගමය සඳහා මාර්‍ගයාගේ අධිගමය සඳහා නිර්‍වාණයාගේ ප්‍ර‍ත්‍යක්‍ෂ කරණය සඳහා අනාවරණඥානයෙන් සියල්ල දන්නා වූ සමන්තචක්‍ෂුසින් සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුදධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ තුන් වැදෑරුම් නිර්ජරා විශුද්ධීහු මොනොවට වදාරණ ලදහ.

කතමා තිස්සො : ඉධ අභය, භික්ඛු සීලවා හොති –පෙ– සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. සො නවඤ්ච කම්මං න කරොති. පුරාණඤ්ච කම්මං ඵුස්ස ඵුස්ස ව්යන්තීකරොති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනයිකා3 පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහීති.

කවර තුන් දෙනෙක යත්: අභයෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි. ... මොනොවට ගෙණ ශික්‍ෂාපදයෙහි හික්මෙයි. හේ නූතන වූත් කර්‍ම නො කෙරෙයි. පුරාණ වූත් කර්‍ම පුනපුනා විපාක ස්පර්‍ශ කොට විගතානත කෙරෙයි. (තෙල) අකාලික වූ ‘එව, බලව’ යන විධියට යෝග්‍ය වූ උපනයනාර්‍හ වූ නුවණැතියන් විසින් තමා කෙරෙහි එළවා වෙදිතව්‍ය වූ සාන්දෘෂ්ටික නිර්ජරා විශුද්ධිය යි.

ස ඛො සො අභය, භික්ඛු එවං සීලසම්පන්නො විවිච්චෙව කාමෙහි –පෙ– චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො නවඤ්ච කම්මං න කරොති, පුරාණඤ්ච කම්මං ඵුස්ස ඵුස්ස ව්යන්තී කරොති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනයිකා1 පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහීති.

අභයෙනි, ඒ මහණ මෙ පරිදි සිල් ඇතියේ කාමයන් කෙරෙන් වෙන් ව ම ... චතුර්‍තථධ්‍යානයට සමවැද වෙසෙයි. හේ නූතන වූත් කර්‍ම නො කෙරෙයි. පුරාණ වූත් කර්‍ම විපාක විසින් පුනපුනා ස්පර්‍ශ කොට විගතාන්ත කෙරෙයි. (තෙල) අකාලික වූ ‘එව, බලව’ යන විධියට යෝග්‍ය වූ උපනයනාර්‍හ වූ නුවණැතියන් විසින් තමා කෙරෙහි එළවා වෙදිතව්‍ය වූ සාන්දෘෂ්ටික නිර්ජරා විශුද්ධිය යි.

සො අභය භික්ඛු එවං සීලසම්පන්නො එවං සමාධිසම්පන්නො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. සො නවඤ්ච කම්මං න කරොති, පුරාණඤ්ච කම්මං ඵුස්ස ඵුස්ස ව්යන්තීකරොති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනයිකා1 පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහීති.

අභයයෙනි, ඒ මහණ මෙපරිදි සිල් ඇතියේ මෙපරිදි සමාධි ඇතියේ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චෙතොවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ගෙණ උපයා වෙසෙයි. හේ නූතන වූත් කර්‍ම නොකෙරෙයි. පුරාණ වූත් කර්‍ම ස්පර්‍ශ කොට කොට විගතාන්ත කෙරෙයි. (තෙල) අකාලික වූ ‘එව, බලව’ යන විධියට යෝග්‍ය වූ උපනයනාර්‍හ වූ නුවණැතියන් විසින් තමා කෙරෙහි එළවා වෙදිතව්‍ය වූ සාන්දෘෂ්ටික නිර්ජරා විශුද්ධිය යි.

ඉමා ඛො අභය, තිස්සො නිජ්ජරා විසුද්ධියො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්මදක්ඛාතා සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං2 සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්‍ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියායාති.

අභයයෙනි, සත්ත්‍වයන්ගේ විශුද්ධිය සඳහා ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය සඳහා දුඃඛදෞර්‍මනස්‍යයන් හතයට යනු සඳහා අර්හත්ත්‍වමාර්‍ගයාගේ අධිගමය සඳහා නිර්‍වාණයාගේ ප්‍රත්‍යක්‍ෂකරණය සඳහා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ තුන් වැදෑරුම් නිර්ජරාවිශුද්ධීහු මොනොවට වදාරණ ලදහ.

එවං වුත්තෙ පණ්ඩිතකුමාරො ලිච්ඡවි අභයං ලිච්ඡවිං එතදවොච :

මෙසේ වදාළ කල්හි පණ්ඩිතකුමාර ලිච්ඡ්වී අභය ලිච්ඡ්වීහට තෙල කීය:

කිං පන ත්වං සම්ම අභය, ආයස්මතො ආනන්දස්ස සුභාසිතං සුභාසිතතො නාබ්භනුමොදසීති.

යහළු අභයයෙනි, කිම, තො ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගේ සුභාෂිතය සුභාෂිත විසින් නො අනුමෙවුනෙහි ද?

ක්‍යාහං සම්ම3 ආයස්මතො ආනන්‍දස්ස සුභාසිතං සුභාසිතතො නාබ්භනුමොදිස්සාමි. මුද්ධාපි තස්ස විපතෙය්‍ය යො ආයස්මතො ආනන්‍දස්ස සුභාසිතං සුභාසිතතො නාබ්භනුමොදෙය්‍යාති.

යහළුව, කිමෙක, මම ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගේ සුභාෂිතය සුභාෂිත විසින් නො අනුමෙවුනෙම් වෙම් ද, යමෙක් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ගේ සුභාෂිතය සුභාෂිත විසින් නොඅනුමෙවුනේ වේ නම් ඔහුගේ හිසත් ඇදහෙන්නේ ය.