(197) 1. (ප්‍රාණවධාදි පංචවිධ වෛරයෙන්) වෛරි වූ මනුෂ්‍යයන් අතුරෙහි (දුශ්චරිතවෛර නැතියෙන්) අවෛරි වූ අපි, මනුෂ්‍යයන් දුශ්චරිත වෛරයෙන් වෛරි වැ පවත්නා කල්හි අවෛරි ව වසමෝ ද, එසේ වූ අපි එකාන්තයෙන් ඉතා සුව සේ ජීවත් වමු.
(198) 2. ආශ්චර්යයෙකි! අපි ක්ලෙශාතුරයන් අතුරෙහි අනාතුර වන්නමෝ ඉතා සුවසේ ජීවත් වමු . (මෙසේ) මිනිසුන් ක්ලෙශාතුර වන කල්හි අපි එයින් ආතුර නොවී වසමු.
(199) 3. ආශ්චර්යයෙකි! අපි පස්කම් සෙවීමෙහි උත්සුක මිනිසුන් අතුරෙහි එහි අනුත්සුක වන්නමෝ ඉතා සුවසේ ජීවත් වමු. (මෙසේ) මිනිසුන් පස්කම් සෙවිමෙහි උත්සුක වන කල්හි අපි එහි අනුත්සුක ව වසමු.
(200) 4. ආශ්චර්යයෙකි! යම් බඳු අපට රාගාදි කිසි පළිබොධයෙක් නැද්ද, එබඳු වූ අප ඉතා සුව සේ ජීවත් වමු. ආභාස්වර බ්‍රහ්මයන් මෙන් ප්‍රීතිය ම ආහාර කොට ඇත්තෝ වම්හ.
(201) 5. මෙරමා දනන්නේ (හෙවත් දූකෙළීම් ආදියෙන් අනුන් පරදවන්නේ), වෛර උපදවයි. (වෛරීන් ඇති කෙරෙයි). අනුන් විසින් දිනන ලදුයේ දුක සේ වසයි. කෙලෙස් සංහිඳුනු ක්ෂීණාස්‍රව තෙම දිනුම් පැරදුම් දුරලා සුව සේ වසයි.
(202) 6. රාගය හා සම ගින්නෙක් නැත. ද්වෙශය හා සම අපරාධයෙක් නැත. පඤ්චස්කන්ධ දුඃඛය හා සම දුකෙක් නැත. නිර්වාණ සැපයට වැඩි තරම් සුවයෙක් නැත.
(203) 7. රෝගයෝ සාදුක පරම කොට ඇත්තාහ. දුඃඛයෝ තාක් සංස්කාරයන් (පංචස්කන්ධයන්) පරම කොට ඇත්තාහ. මේ දෙකරුණ තත් වූ පරිදි දැන (නුවණැත්තෝ නිවන් පසක් කරති.) නිවණ උතුම් වූ සුවය යි.
(204) 8. සියලු ලාභයෝ තාක් නීරොග බව පරම කොටැත්තාහ. (රෝගිහු ලත් ලාභයෝ ලාභ නම් නො වෙත් නු යි නිරොග බව උත්තම ලාභ නම් වෙයි.) ධනය සතුට පරම කොටැත්තේ ය. (යම් ධනයෙක් තමා විසින් ලබන ලද නම්, යම් ධනයෙක් තමා සතු නම්, එයින් ම සතුටු වන බව සෙසු ධනයට වඩා උතුම් ධනයෙක) නෑයෝ නම් විශ්වාසය පරමකොටැත්තෝ ය. (මාපියෝ ද යමකු හා විශ්වාසය නැත්නම් හෙ තෙම නො නෑ ම ය. යමෙක් වනාහි නොනෑ වුව ද විශ්වාස වී නම් හේ උතුම් නෑ ය.) සුවය නිවන පරම කොටැත්තේ ය (නිවන් හා සම සුවයෙක් නැත. එ බැවින් නිවන උතුම් ම සුවය යි.)
(205) 9. කායචිත්තවිවේකයෙන් උපන් (සුව සොම්නසැ යි කියන ලද) රසය ද, ක්ලෙශව්‍යුපශම යැ යි කියන ලද නිවනේ රසය ද බී, (දුඃඛසත්‍යය පිරිසි ඳ දැනීම් ආදිය කෙරෙමින් නිවන අරමුණු වශයෙන් ප්‍රත්‍යක්‍ෂ කරමින් අනුභව කොට නවලොකොත්තර ධර්ම වශයෙන් උපන් ප්‍රීතිරසය බොන්නාවු රහත් මහණ තෙම (මේ උභය රසපානයෙන් රාගදරථාදීන් නැති හෙයින්) පීඩා රහිත ද වන්නේ ය. පව් නැත්තෙක් ද වන්නේ ය.
(206) 10. බුද්ධාදි ආර්යයන් (මසැසින් ද නුවණැසින් ද) දැක්ම යහපති. (හුදෙක් දැක්ම පමණක් නොව) ඔවුන් හා එක් තැන විසීම ද (ඔවුන් වැඳ පුදා ගැන්ම ද වතාවත් කැරුම ද) හැම කල්හිම සුව ය. (දෙලෝ වැඩ නොදන්නා) අනුවණයන් නොදැක්මෙන් සතතයෙන් ම සත්ත්ව තෙම සුඛිත වන්නේ ය.
(207) 11. එසේ ම ය. බාලයන් හා එක් ව හැවිදිනා සුලු වූයේ දික් කලක් ශෝක කෙරෙයි. (බාලයන් හා යහළු වූයේ නොකටයුත්තෙහි යෙදුනේ වරද කොට මෙ ලොවැ දඬුවමට ද පර ලොව නිරා දුක් ආදියට ද පැමිණ) බොහෝ කලක් සොස්නේ ය. බාලයන් හා එක් වැ විසීම කඩු ගත් අත් ඇති පසමිතුරෙකු හා සමග වාසයක් මෙන් හැම කල්හි ම දුක්ය. නුවණැත්තේ වනාහි ප්‍රිය නෑයන්ගේ සමාගමයක් මෙන් සුව වූ සහවාසය ඇත්තේ ය.
(208) 12. එහෙයින්, ධෘතිසම්පන්නයා ද, ලොවී ලොවුතුරා ප්‍රඥායෙන් යුක්ත නුවණැත්තා ද, ආගමාධිගමසම්පන්න බහුශ්‍රැතයා ද, (රහත්පලයට පමුණුවන ප්‍රතිපත්තිධුරය උසුලන බැවින්) ධුරවහන ශීලයා ද (ශීලව්‍රත ධුතාංගව්‍රත වලින් යුත්) ව්‍රතසම්පන්නයා ද, කෙලෙසුන් කෙරෙන් දුරු වූ ආර්යයා ද යන සුන්දර ප්‍රඥා ඇති එබඳු වූ ඒ සත්පුරුෂයා නිර්මල ආකාශපථය සෙවුනා සඳුහු මෙන් සෙවුනේ ය.