ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » සුත්ත නිපාතය » 4. අට්‌ඨක වර්ගය

4 - 1 කාමසුත්‌තං

4 - 1 කාම සූත්‍රය

770.
කාමං කාමයමානස්‌ස, තස්‌ස චෙ තං සමිජ්‌ඣති;
අද්‌ධා පීතිමනො හොති, ලද්‌ධා මච්‌චො යදිච්‌ඡති.

770. (ත්‍රෛභූමකධර්ම නම් වූ) වස්තුකාමය කැමැති වන එ පුද්ගලහට ඉදින් තෙල කාමය සමෘද්ධ වේ නම් එකල්හි ඒ සත්ත්‍ව තෙම යමක් කැමැති වේ නම් එ වස්තුව ලැබ ඒකාන්තයෙන් තුටු සිත් ඇතියේ වෙයි.

771.
තස්‌ස චෙ කාමයානස්‌ස [කාමයමානස්‌ස (ක.)], ඡන්‌දජාතස්‌ස ජන්‌තුනො;
තෙ කාමා පරිහායන්‌ති, සල්‌ලවිද්‌ධොව රුප්‌පති.

771. කාමවස්තු කැමැති වන, උපන් තෘෂ්ණා ඇති එ පුද්ගලයාගේ එ කාමයෝ ඉදින්, පිරිහෙත් නම් (එ කල්හි) හෙතෙම විෂපීත ශල්‍යයෙකින් විදුනා ලද්දකු සෙයින් පෙළෙයි.

772.
යො කාමෙ පරිවජ්‌ජෙති, සප්‌පස්‌සෙව පදා සිරො;
සොමං [සො ඉමං (සී. පී.)] විසත්‌තිකං ලොකෙ, සතො සමතිවත්‌තති.

772. යමෙක් වස්තුකාම ක්ලේශකාමයන් එහි ඡන්දරාගය විෂ්කම්භණ වශයෙන් හෝ සමුච්ඡෙද වශයෙන් හෝ තමාගේ පයින් සර්පයෙකුගේ හිස මෙන් දුරු කෙරේ නම් ඒ මහණ ලොව් හි විසත්තිකා නම් මේ තෘෂ්ණාව ස්මෘතිමත් ව ඉක්මවයි.

773.
ඛෙත්‌තං වත්‌ථුං හිරඤ්‌ඤං වා, ගවස්‌සං [ගවාස්‌සං (සී. ස්‍යා. පී.)] දාසපොරිසං;
ථියො බන්‌ධූ පුථු කාමෙ, යො නරො අනුගිජ්‌ඣති.

773. යම් මිනිසෙක් හැල් කෙත් ආදිය ගෙවතු ආදිය හෝ අමුරන් හෝ ගෙරින් හා අසුන් හෝ දස් කම්කරු පුරුෂයන් හෝ මාගමුන් හෝ නෑ සබඳුන් හෝ අන් බොහෝ කාමයන් පුන පුනා පතා නම්,

774.
අබලා නං බලීයන්‌ති, මද්‌දන්‌තෙනං පරිස්‌සයා;
තතො නං දුක්‌ඛමන්‌වෙති, නාවං භින්‌නමිවොදකං.

774. අබල නම් වූ ක්ලේශයෝ එ පුඟුල්හු මැඩලති. යළි ප්‍ර‍කට වූ හා අප්‍ර‍කට වූ උපද්‍ර‍වයෝ එ කාමගිද්ධයා මඩනාහ. එ හෙතුයෙන්, බුන් නැවකට ජලය වදනා සෙයින් ජාත්‍යාදි දුඃඛය ඔහු නුහුබදනේ ය.

775.
තස්‌මා ජන්‌තු සදා සතො, කාමානි පරිවජ්‌ජයෙ;
තෙ පහාය තරෙ ඔඝං, නාවං සිත්‌වාව [සිඤ්‌චිත්‌වා (සී.)] පාරගූති.

775. එහෙයින් මිනිසා හැම සඳ (කායගතාසති ආදි භාවනායෙන්) ස්මෘතිමත් වූයේ වස්තුකාම ක්ලේශකාමයන් දුරු කරන්නේ ය. එ කාමයන් හැරපියා බුන් නැව දිය ඉසපියා පරතෙර යනුවකු සෙයින් චතුරොඝ තරණය කරන්නේයි.

කාමසුත්‌තං නිට්‌ඨිතං.

කාම සූත්‍ර‍ය නිමි.