ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » සුත්ත නිපාතය » 3. මහා වර්ගය

3 - 12 ද්‌වයතානුපස්‌සනාසුත්‌තං

3 - 12 ද්‌වයතානුපස්‌සනා සූත්‍රය

එවං මෙ සුතං – එකං සමයං භගවා සාවත්‌ථියං විහරති පුබ්‌බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ පන්‌නරසෙ පුණ්‌ණාය පුණ්‌ණමාය රත්‌තියා භික්‌ඛුසඞ්‌ඝපරිවුතො අබ්‌භොකාසෙ නිසින්‌නො හොති. අථ ඛො භගවා තුණ්‌හීභූතං තුණ්‌හීභූතං භික්‌ඛුසඞ්‌ඝං අනුවිලොකෙත්‌වා භික්‌ඛූ ආමන්‌තෙසි –

මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පූර්‍වාරාම නම් මිගාරමාතුපාසාදයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සඳපිරුණු පුණුරැසි පොහෝලත් එදවස රාත්‍රියෙහි බික්සඟුන් විසින් පිරිවරණ ලද්දාහු අබවස්හි වැඩහුන්සේක. එසඳ භාග්‍යවතුන් වහන්සේ අතිශයින් තුෂ්ණිම්භූත වූ භික්ෂුසඞ්ඝයා අනුවිලොකන කොට මහණුන් ඇමැතූහ:

‘‘‘යෙ තෙ, භික්‌ඛවෙ, කුසලා ධම්‌මා අරියා නිය්‍යානිකා සම්‌බොධගාමිනො, තෙසං වො, භික්‌ඛවෙ, කුසලානං ධම්‌මානං අරියානං නිය්‍යානිකානං සම්‌බොධගාමීනං කා උපනිසා සවනායා’ති ඉති චෙ, භික්‌ඛවෙ, පුච්‌ඡිතාරො අස්‌සු, තෙ එවමස්‌සු වචනීයා – ‘යාවදෙව ද්‌වයතානං ධම්‌මානං යථාභූතං ඤාණායා’ති.

මහණෙනි, අනවද්‍ය වූ ආර්‍ය්‍යවූ නිර්යාණයට හිතවැ වැටෙන (අර්හත්‍ව සඞ්ඛ්‍යාත) සම්බොධිය එළවනසුලු යම් (සප්තත්‍රිංශද්බෝධිපාක්ෂික නොහොත් පර්‍ය්‍යාප්ති සඞ්ඛ්‍යාත) ධර්ම කෙනෙක් වෙත් ද, අනවද්‍ය වූ ආර්‍ය්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ සම්බෝධියට පමුණුවනසුලු එ ධර්මය අසනු තොපට කවර ප්‍රයෝජනයෙක් ඇද්දැ’යි (කුමට තෙපි ඒ දහම් අසවු දැ යි) මහණෙනි, මෙසේ පුළුවුස්නාහු වෙත් නම්, ඔහු මෙසේ (ප්‍ර‍ත්ත්‍යුත්තරමුඛයෙන්) කියැයුතු වන්නාහ: (ලෞකික-ලෝකෝත්තර විසින්) ද්විවිධ කොට දක්වනලද ධර්මයන්ගේ ම යථාභූත (අවිපරීත) ඥානය සඳහා”යි.

කිඤ්‌ච ද්‌වයතං වදෙථ?

කවරක් නම් ද්වයත යි කියවු ද යත්:

‘‘ඉදං දුක්‌ඛං, අයං දුක්‌ඛසමුදයොති අයමෙකානුපස්‌සනා. අයං දුක්‌ඛනිරොධො, අයං දුක්‌ඛනිරොධගාමිනී පටිපදාති, අයං දුතියානුපස්‌සනා. එවං සම්‌මා ද්‌වයතානුපස්‌සිනො ඛො, භික්‌ඛවෙ, භික්‌ඛුනො අප්‌පමත්‌තස්‌ස ආතාපිනො පහිතත්‌තස්‌ස විහරතො ද්‌වින්‌නං ඵලානං අඤ්‌ඤතරං ඵලං පාටිකඞ්‌ඛං – දිට්‌ඨෙව ධම්‌මෙ අඤ්‌ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’’ති. ඉදමවොච භගවා. ඉදං වත්‌වාන සුගතො අථාපරං එතදවොච සත්‌ථා –

මෙ පඤ්චස්කන්‍ධය දුක යැ, මේ අෂ්ටශතතෘෂ්ණාවීචරිතය දුංඛසමුදය යැ යන මෙ එක් අනුපස්සනායෙකැ. මෙ දුඃඛනිරෝධය යැ, මෙ දුඃඛ නිරෝධගාමිනීපටිපදා යැ යන මෙ දෙවන අනුපස්සනා යි. මහණෙනි, මෙසේ මනා කොට ද්වයධර්මයන් පුනපුනා දක්නා සුලු අප්‍ර‍මත්ත වූ කෙලෙස්තවන වැර ඇති කාය ජීවිත දෙක්හි නිරපේක්ෂක වැ වාසකරණ භික්ෂුහු විසින් ඉහාත්මයෙහි ම අර්හත්වයහෝ (පුනර්භව වශයෙන් ගතයුතු) ස්කන්‍ධශේෂයක් ඇතිවත් ම අනාගාමිභාවය හෝ යැ යන ද්විධඵලයන්ගෙන් අන්‍යතර ඵලයෙක් කැමැතිවිය යුතු ය යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගත වු ශාස්තෘන් වහන්සේ මෙය වදාරා යලිත් අන්‍ය වූ තෙල ගාථා ද වදාළසේක:

727.
‘‘යෙ දුක්‌ඛං නප්‌පජානන්‌ති, අථො දුක්‌ඛස්‌ස සම්‌භවං;
යත්‌ථ ච සබ්‌බසො දුක්‌ඛං, අසෙසං උපරුජ්‌ඣති;
තඤ්‌ච මග්‌ගං න ජානන්‌ති, දුක්‌ඛූපසමගාමිනං.

727. යම් මහණ කෙනෙක් පඤ්චස්කන්‍ධදුඃඛය නො දනිත් ද, වැලිත් එ දුඃඛයාගේ සමුදයත් නොදනිත් ද, යම් නිර්‍වාණයෙක්හි සර්‍වප්‍ර‍කාරයෙන් නිරවශේෂ කොට දුඃඛ නිරෝධය වේ නම් එ නිවන හා දුඃඛොපශමයට යන එ මාර්‍ගයත් නො දනිත් ද,

728.
‘‘චෙතොවිමුත්‌තිහීනා තෙ, අථො පඤ්‌ඤාවිමුත්‌තියා;
අභබ්‌බා තෙ අන්‌තකිරියාය, තෙ වෙ ජාතිජරූපගා.

728. (අර්හත්වඵලසමාධිසඞ්ඛ්‍යාත) චෙතොවිමුක්තියෙන් පිරිහුනු වැලි ප්‍ර‍ඥාවිමුක්තියෙනුදු හීන වූ ඔහු දුක් කෙළවර කිරීමට අභව්‍යවෙති, ඒකාන්තයෙන් ඔහු ජාතියට හා ජරාවට පැමිණියාහුය. (ජාතිජරායෙන් නො මිදුනාහු වෙතී සේ යි)

729.
‘‘යෙ ච දුක්‌ඛං පජානන්‌ති, අථො දුක්‌ඛස්‌ස සම්‌භවං;
යත්‌ථ ච සබ්‌බසො දුක්‌ඛං, අසෙසං උපරුජ්‌ඣති;
තඤ්‌ච මග්‌ගං පජානන්‌ති, දුක්‌ඛූපසමගාමිනං.

729. යම් මහණ කෙනෙකුන් පඤ්චස්කන්‍ධදුඃඛය තත්වූ පරිදි දනිත් ද වැලි එ දුඃඛයාගේ සමුදයත් දනිත් ද, යම් නිවනෙක්හි සර්‍වප්‍ර‍කාරයෙන් අශෙෂ කොට දුඃඛය නිරොධයට යේ නම් එය ද, දුඃඛව්‍යුපශමයට යන එ මාර්‍ගසත්‍යයත් තත්වු පරිදි දනිත් ද,

730.
‘‘චෙතොවිමුත්‌තිසම්‌පන්‌නා, අථො පඤ්‌ඤාවිමුත්‌තියා;
භබ්‌බා තෙ අන්‌තකිරියාය, න තෙ ජාතිජරූපගා’’ති.

730. (අර්හත්වඵලසමාධි) චිත්තවිමුක්තියෙන් සමන්වාගත වූ ද, වැලි (අර්හත්වඵල) ප්‍ර‍ඥාවිමුක්තියෙන් සමන්වාගත වූ ද ඔහු වර්තදුඃඛය කෙළවර කරණු සඳහා භව්‍ය වෙති, ඔහු ඒකාන්තයෙන් ජාතිජරාවට නො යන්නාහු වෙතැ’යි.

‘‘‘සියා අඤ්‌ඤෙනපි පරියායෙන සම්‌මා ද්‌වයතානුපස්‌සනා’ති, ඉති චෙ, භික්‌ඛවෙ, පුච්‌ඡිතාරො අස්‌සු; ‘සියා’තිස්‌සු වචනීයා. කථඤ්‌ච සියා? යං කිඤ්‌චි දුක්‌ඛං සම්‌භොති සබ්‌බං උපධිපච්‌චයාති, අයමෙකානුපස්‌සනා. උපධීනං ත්‌වෙව අසෙසවිරාගනිරොධා නත්‌ථි දුක්‌ඛස්‌ස සම්‌භවොති, අයං දුතියානුපස්‌සනා. එවං සම්‌මා…පෙ.… අථාපරං එතදවොච සත්‌ථා

ඉදින් මහණෙනි, “අන්‍ය පර්‍ය්‍යායෙකිනුදු සම්‍යග්ද්වයතානුදර්‍ශනායෙක් වන්නේ දැ”යි මෙසෙයින් පුළුවුස්නාහු වෙත් නම්, ‘වන්නේ’යි කියැයුතු වෙත්, කිසෙයින් වේය යත්: යම් කිසි වර්තදුඃඛයෙක් උපදනේ නම්, එ හැම දුක (සාස්‍ර‍වකර්මසඞ්ඛ්‍යාත) උපධිප්‍ර‍ත්‍යයෙන් වේ යන මෙ එක් අනුදර්‍ශනායෙක, එ උපධීන්ගේ ම අශෙෂවිරාගනිරෝධයෙන් වර්තදුඃඛයාගේ සම්භවයෙක් නැතැ’යි යන මේ ද්විතීයානුදර්‍ශනා වෙයි, මෙසෙයින් සම්‍යග්ද්වයතානුදර්‍ශනා වේ යයි. වැලි ශාස්තෘන් වහන්සේ අන්‍ය වූ ද තෙල ගාථා වදාළහ:

731.
‘‘උපධිනිදානා පභවන්‌ති දුක්‌ඛා,
යෙ කෙචි ලොකස්‌මිමනෙකරූපා;
යො වෙ අවිද්‌වා උපධිං කරොති,
පුනප්‌පුනං දුක්‌ඛමුපෙති මන්‌දො;
තස්‌මා පජානං උපධිං න කයිරා,
දුක්‌ඛස්‌ස ජාතිප්‌පභවානුපස්‌සී’’ති.

731. ලොවැ අනෙකස්වරූප වූ යම් දුඃඛයෝ වෙත් නම්, ඔහු සාස්‍ර‍වකර්ම සඞ්ඛ්‍යාත උපධිනිදානයෙන් උපදනාහ. යම් අවිද්‍යාගතයෙක් එකැතින් සාස්‍ර‍වකර්ම කෙරේ නම්, එ මන්‍දප්‍රාඥ පුනපුනා සසරදුකට මැ එයි. එහෙයින් සම්‍යක්ප්‍ර‍ඥායෙන් දන්නේ වර්තදුඃඛය ජාතිප්‍ර‍භව යයි දක්නේ සාස්‍ර‍වකර්ම නො කරන්නේ ය යි.

‘‘‘සියා අඤ්‌ඤෙනපි පරියායෙන සම්‌මා ද්‌වයතානුපස්‌සනා’ති, ඉති චෙ, භික්‌ඛවෙ, පුච්‌ඡිතාරො අස්‌සු; ‘සියා’තිස්‌සු වචනීයා. කථඤ්‌ච සියා? යං කිඤ්‌චි දුක්‌ඛං සම්‌භොති සබ්‌බං අවිජ්‌ජාපච්‌චයාති, අයමෙකානුපස්‌සනා. අවිජ්‌ජාය ත්‌වෙව අසෙසවිරාගනිරොධා නත්‌ථි දුක්‌ඛස්‌ස සම්‌භවොති, අයං දුතියානුපස්‌සනා. එවං සම්‌මා…පෙ.… අථාපරං එතදවොච සත්‌ථා –

ඉදින් මහණෙනි, “අන්‍යවූත් පර්‍ය්‍යායෙකින් සම්‍යග්ද්වයතානුදර්‍ශනා වේ දැ”යි මෙසේ තොප පුළුවුස්නාහු වෙත් නම්, ‘වන්නේය’යි කියැ යුතු වෙත්. කෙසෙයින් වන්නේයැ යත්: යම් මැ කිසි වර්තදුඃඛයෙක් උපදනේ නම්, එ හැම (භවගාමී කර්මසම්භාරය පිලිබැඳි) අවිද්‍යාප්‍ර‍ත්‍යයෙනැයි යන මෙ එක් අනුපස්සනායෙක. අවිද්‍යාවගේ මැ අශෙවිරාගනිරෝධයෙන් වර්තදුඃඛයාගේ සම්භවයෙක් නැතැයි යන මේ ද්වීතීය වූ අනුපස්සනා යි. මෙසේ සම්‍යග්ද්වයතානුදර්‍ශනා වේ .... වැලි ශාස්තෘහු අනෙකුදු තෙලගාථා වදාළහ:

732.
‘‘ජාතිමරණසංසාරං, යෙ වජන්‌ති පුනප්‌පුනං;
ඉත්‌ථභාවඤ්‌ඤථාභාවං, අවිජ්‌ජායෙව සා ගති.

732. යම් කෙනෙක් (ස්කන්‍ධනිර්වෘති නම් වූ) ජාතියට ද ස්කන්‍ධභේද නම් වූ මරණයට ද ස්කන්‍ධපරිපාටි නම් වූ සංසාරයට ද පුනපුනා යෙත් නම්, මෙ මනුෂ්‍යභාවයට හා අවශේෂ නිකායභාවයට ද යෙත් නම්, ඒ අවිද්‍යාවගේ ම ප්‍ර‍ත්‍යයභාවය යි.

733.
‘‘අවිජ්‌ජා හායං මහාමොහො, යෙනිදං සංසිතං චිරං;
විජ්‌ජාගතා ච යෙ සත්‌තා, න තෙ ගච්‌ඡන්‌ති [නාගච්‌ඡන්‌ති (සී. පී.)] පුනබ්‌භව’’න්‌ති.

733. යම් මෝහයක් කරණකොටගෙණ මෙ වර්තදුඃඛය බොහෝ කලක් වළඳනා ලද, මෙ මෝහය මැ අවිද්‍යා යි. අර්හත්වමාර්ගවිද්‍යායෙන් යම් සත්ත්ව කෙනෙක් කෙලෙස් විනිවිද ගියාහු නම්, ඔහු පුනර්භවයට නො එත්.

‘‘සියා අඤ්‌ඤෙනපි…පෙ.… කථඤ්‌ච සියා? යං කිඤ්‌චි දුක්‌ඛං සම්‌භොති සබ්‌බං සඞ්‌ඛාරපච්‌චයාති, අයමෙකානුපස්‌සනා. සඞ්‌ඛාරානං ත්‌වෙව අසෙසවිරාගනිරොධා නත්‌ථි දුක්‌ඛස්‌ස සම්‌භවොති, අයං දුතියානුපස්‌සනා. එවං සම්‌මා…පෙ.… අථාපරං එතදවොච සත්‌ථා –

අන්‍ය වූ ද පර්‍ය්‍යායෙකින් .... වන්නේ දැ?යි ... කෙසේ වන්නේ ය යත්: යම් කිසි වර්තදුඃඛයෙක් උපදනේ නම්, එ හැම දුක් ත්‍රිවිධාභිසංස්කාරප්‍රත්‍යයෙන් වෙයි යන මෙ එක් අනුදර්‍ශනායෙක. සංස්කාරයන්ගේ ම අශෙෂවිරාගනිරෝධයෙන් වර්තදුඃඛයාගේ සම්භවයෙක් නැත යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනා කොට ... වැලි අන්‍ය වූත් තෙල ගාථා ශාස්තෘහු වදාළහ.

734.
‘‘යං කිඤ්‌චි දුක්‌ඛං සම්‌භොති, සබ්‌බං සඞ්‌ඛාරපච්‌චයා;
සඞ්‌ඛාරානං නිරොධෙන, නත්‌ථි දුක්‌ඛස්‌ස සම්‌භවො.

734. යම් කිසි සසර දුකෙක් උපදනේ නම්, එ හැම දුක් සංස්කාරප්‍ර‍ත්‍යයෙන් වේ. සංස්කාරයන්ගේ නිරෝධහේතුයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැතැ යි.

735.
‘‘එතමාදීනවං ඤත්‌වා, දුක්‌ඛං සඞ්‌ඛාරපච්‌චයා;
සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්‌ඤානං උපරොධනා;
එවං දුක්‌ඛක්‌ඛයො හොති, එතං ඤත්‌වා යථාතථං.

735. සංස්කාරප්‍රත්‍යයෙන් වර්තදුඃඛ වෙයි යන තෙල ආදීනව දැන මාර්‍ගඥානයෙන් සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙන් ද මාර්‍ගඥානයෙන් ම කාමසඥාදීන්ගේ උපරෝධනයෙන් ද මෙසේ දුඃඛක්ෂය වේ යයි තෙල දුඃඛක්ෂය අවිපරිත කොට දැන,

736.
‘‘සම්‌මද්‌දසා වෙදගුනො, සම්‌මදඤ්‌ඤාය පණ්‌ඩිතා;
අභිභුය්‍ය මාරසංයොගං, න ගච්‌ඡන්‌ති [නාගච්‌ඡන්‌ති (සී. පී.)] පුනබ්‌භව’’න්‌ති.

736. සම්‍යග්දර්‍ශන ඇති අර්හත්වමාර්‍ගඥානවෙදයට පත් පණ්ඩිතයෝ මනාකොට දැන (ත්‍රෛභූමකවර්ත්ත සඞ්ඛ්‍යාත) මාරසංයෝගය මැඩැ පුනර්භවයට නො එත්.

‘‘සියා අඤ්‌ඤෙනපි…පෙ.… කථඤ්‌ච සියා? යං කිඤ්‌චි දුක්‌ඛං සම්‌භොති සබ්‌බං විඤ්‌ඤාණපච්‌චයාති, අයමෙකානුපස්‌සනා. විඤ්‌ඤාණස්‌ස ත්‌වෙව අසෙසවිරාගනිරොධා නත්‌ථි දුක්‌ඛස්‌ස සම්‌භවොති, අයං දුතියානුපස්‌සනා. එවං සම්‌මා…පෙ.… අථාපරං එතදවොච සත්‌ථා –

අන්‍යපර්‍ය්‍යායෙකිනුදු වේ දැ?යි ... කිසෙයින් වේය යත්: යම් කිසි දුඃඛයෙක් උපදනේ නම්, එ හැම දුක් (කර්මසහජාතාභිසංස්කාර) විඥානප්‍ර‍ත්‍යයෙන් වෙයි යන මෙ එක් අනුපස්සනායෙක. විඥානයාගේ මැ අශෙෂවිරාගනිරෝධයෙන් වර්තදුඃඛයාගේ සම්භවයෙක් නැතැයි මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනා කොට ... වැලි ශාස්තෘහු අන්‍යවූත් තෙල ගාථා වදාළහ.

737.
‘‘යං කිඤ්‌චි දුක්‌ඛං සම්‌භොති, සබ්‌බං විඤ්‌ඤාණපච්‌චයා;
විඤ්‌ඤාණස්‌ස නිරොධෙන, නත්‌ථි දුක්‌ඛස්‌ස සම්‌භවො.

737. යම් කිසි සසර දුකෙක් උපදනේ නම් එ හැම දුක් අභිසංස්කාරවිඥානප්‍ර‍ත්‍යයෙනි. අභිසංස්කාරවිඥානයාගේ නිරෝධහේතුයෙන් ම වර්තදුඃඛයාගේ සම්භවයක් නැත.

738.
‘‘එතමාදීනවං ඤත්‌වා, දුක්‌ඛං විඤ්‌ඤාණපච්‌චයා;
විඤ්‌ඤාණූපසමා භික්‌ඛු, නිච්‌ඡාතො පරිනිබ්‌බුතො’’ති.

738. සසර දුක විඥානප්‍ර‍ත්‍යයෙන් වෙයි යන තෙල කරුණ ආදීනව යි දැන අභිසංස්කාරවිඥානයාගේ ව්‍යපශමයෙන් තෘෂ්ණා රහිත මහණ ක්ලේශපරිනිර්‍වාණයෙන් පිරිනිවියේ යි.

‘‘සියා අඤ්‌ඤෙනපි…පෙ.… කථඤ්‌ච සියා? යං කිඤ්‌චි දුක්‌ඛං සම්‌භොති සබ්‌බං ඵස්‌සපච්‌චයාති, අයමෙකානුපස්‌සනා. ඵස්‌සස්‌ස ත්‌වෙව අසෙසවිරාගනිරොධා නත්‌ථි දුක්‌ඛස්‌ස සම්‌භවොති, අයං දුතියානුපස්‌සනා. එවං සම්‌මා…පෙ.… අථාපරං එතදවොච සත්‌ථා –

අන්‍ය පර්‍ය්‍යායෙකිනුදු වේදැ?යි ... කෙසේ වන්නේදැ’යි යම් කිසි දුකෙක් උපදනේ නම් එහැම දුක් අභිසංස්කාරවිඥානසම්ප්‍ර‍යුක්තස්පර්‍ශප්‍ර‍ත්‍යයෙන් වෙයි යන මෙ එක් අනුපස්සනායෙක. ස්පර්‍ශයාගේ මැ අශෙෂවිරාගනිරෝධහෙතුයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැත යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනාකොට ... ශාස්තෘහු වැලි අනෙකුදු තෙල ගාථා වදාළහ:

739.
‘‘තෙසං ඵස්‌සපරෙතානං, භවසොතානුසාරිනං;
කුම්‌මග්‌ගපටිපන්‌නානං, ආරා සංයොජනක්‌ඛයො.

739. ස්පර්‍ශයෙන් මැඩීගිය, තෘෂ්ණසඞ්ඛ්‍යාත භවස්‍රොතස (තෘෂ්ණාව) අනුව යන සුලු කුමගට පිළිපන් ඔවුනට සංයොජනයක්ෂය දුරෙහි වේ.

740.
‘‘යෙ ච ඵස්‌සං පරිඤ්‌ඤාය, අඤ්‌ඤායුපසමෙ [පඤ්‌ඤාය උපසමෙ (ස්‍යා.)] රතා;
තෙ වෙ ඵස්‌සාභිසමයා, නිච්‌ඡාතා පරිනිබ්‌බුතා’’ති.

740. යම් කෙනෙකුන්ගේ ස්පර්‍ශය ත්‍රිවිධපරිඥා විසින් පිරිසිඳ දැන අර්හත්මාර්‍ගඥානයෙන් පිළිවිද දැන ඵලසමාපත්ති විසින් නිර්‍වාණව්‍යපශමයෙහි ඇලුනාහු නම් ස්පර්‍ශාභිසමයහෙතුයෙන් ඔහු එකැතියෙන් තෘෂ්ණා රහිත වූවාහු කෙලෙස් පිරිනිවන් පිරිනිවුනාහු යයි.

‘‘සියා අඤ්‌ඤෙනපි…පෙ.… කථඤ්‌ච සියා? යං කිඤ්‌චි දුක්‌ඛං සම්‌භොති සබ්‌බං වෙදනාපච්‌චයාති, අයමෙකානුපස්‌සනා. වෙදනානං ත්‌වෙව අසෙසවිරාගනිරොධා නත්‌ථි දුක්‌ඛස්‌ස සම්‌භවොති, අයං දුතියානුපස්‌සනා. එවං සම්‌මා…පෙ.… අථාපරං එතදවොච සත්‌ථා –

අන්‍යපර්‍ය්‍යායෙකිනුදු වන්නේය ... කෙසේ වන්නේ ය යත්: යම් මැ කිසි පඤ්චස්කන්‍ධදුඃඛයෙක් උපදනේ නම්, එ හැම දුක් කර්මසම්ප්‍ර‍යුක්ත වෙදනාප්‍ර‍ත්‍යයෙන් වන්නේ ය යන මෙ එක් අනුපස්සනායෙක. කර්මසම්ප්‍ර‍යුක්ත වෙදනාවන්ගේ ම අශෙෂවිරාගනිරෝධහේතුයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැතැයි යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මැනැවින් .... ඉක්බිති ශාස්තෘහු අන්‍යවූත් තෙල ගාථා වදාළහ.

741.
‘‘සුඛං වා යදි වා දුක්‌ඛං, අදුක්‌ඛමසුඛං සහ;
අජ්‌ඣත්‌තඤ්‌ච බහිද්‌ධා ච, යං කිඤ්‌චි අත්‌ථි වෙදිතං.

741. සුඛ වූ හෝ වැලිත් දුඃඛ වූ හෝ අදුඃඛාසුඛ වූ හෝ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි යම් මැ කිසි වෙදයිතයෙක් ඇත් නම්,

742.
‘‘එතං දුක්‌ඛන්‌ති ඤත්‌වාන, මොසධම්‌මං පලොකිනං [පලොකිතං (සී.)];
ඵුස්‌ස ඵුස්‌ස වයං පස්‌සං, එවං තත්‌ථ විජානති [විරජ්‌ජති (ක. සී.)];
වෙදනානං ඛයා භික්‌ඛු, නිච්‌ඡාතො පරිනිබ්‌බුතො’’ති.

742. නස්නා සැහැවි ඇති, ජාතිමරණයෙන් බිඳෙනසුලු මෙ හැමවෙදයිතයෙක් ම දුඃඛකාරණ යයි දැන, උදව්‍යයඥානයෙන් ස්පර්‍ශ කෙරෙමින්, අන්තයෙහි භඞ්ගානුදර්‍ශනයෙන් ව්‍යය දක්මින් මෙසේ එ වෙදයිතය දුකැයි දන්නේ ද, එ මහණ මාර්‍ගඥානයෙන් කර්මසම්ප්‍ර‍යුක්ත වෙදනාවන්ගේ ක්ෂයයෙන් තෘෂ්ණා නැත්තේ පිරිනිවුනේ වේ යයි.

‘‘සියා අඤ්‌ඤෙනපි…පෙ.… කථඤ්‌ච සියා? යං කිඤ්‌චි දුක්‌ඛං සම්‌භොති සබ්‌බං තණ්‌හාපච්‌චයාති, අයමෙකානුපස්‌සනා. තණ්‌හාය ත්‌වෙව අසෙසවිරාගනිරොධා නත්‌ථි දුක්‌ඛස්‌ස සම්‌භවොති, අයං දුතියානුපස්‌සනා. එවං සම්‌මා…පෙ.… අථාපරං එතදවොච සත්‌ථා –

තවත් පර්‍ය්‍යායෙකින් ... කෙසේ වන්නේ ය යත්: යම් මැ කිසි දුකෙක් සම්භූත වේ නම්, එ හැම දුක කර්මසම්භාරතෘෂ්ණාප්‍ර‍ත්‍යයෙන් වෙයි යන මෙ එක් අනුපස්සනායෙක. එ තෘෂ්ණාවගේ මැ අශෙෂවිරාගනිරෝධයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැතැ”යි යන මෙ දෙවන අනුපස්සනා යි. .... ඉක්බිති ශාස්තෘහු අන්‍ය වූත් තෙල ගාථා වදාළහ:

743.
‘‘තණ්‌හාදුතියො පුරිසො, දීඝමද්‌ධාන සංසරං;
ඉත්‌ථභාවඤ්‌ඤථාභාවං, සංසාරං නාතිවත්‌තති.

743. තෘෂ්ණා දෙවැනි කොට ඇති පුරුෂ දිගුකල් ව්‍යූති-උත්පත්ති විසින් සැරිසරන්නේ ඉහාත්මභාව දෙකින් යුත් (ස්කන්‍ධපරිපාටි සඞ්ඛ්‍යාත) සංසාරය ඉක්මැ නො යෙයි.

744.
‘‘එතමාදීනවං ඤත්‌වා, තණ්‌හං [තණ්‌හා (බහූසු) ඉතිවුත්‌තකෙ 15 පස්‌සිතබ්‌බං] දුක්‌ඛස්‌ස සම්‌භවං;
වීතතණ්‌හො අනාදානො, සතො භික්‌ඛු පරිබ්‌බජෙ’’ති.

744. තෘෂ්ණාව වර්තදුඃඛයාගේ සම්භවයට කාරණ යයි තෙල තෘෂ්ණාවගේ ආදීනව දැන විගත වූ තෘෂ්ණා ඇතියේ ආදාන නැතියේ ස්මෘතිමත් මහණ නික්ම යන්නේ යයි.

) ‘‘සියා අඤ්‌ඤෙනපි…පෙ.… කථඤ්‌ච සියා? යං කිඤ්‌චි දුක්‌ඛං සම්‌භොති සබ්‌බං උපාදානපච්‌චයාති, අයමෙකානුපස්‌සනා. උපාදානානං [උපාදානස්‌ස (ස්‍යා. ක.)] ත්‌වෙව අසෙසවිරාගනිරොධා නත්‌ථි දුක්‌ඛස්‌ස සම්‌භවොති, අයං දුතියානුපස්‌සනා. එවං සම්‌මා…පෙ.… අථාපරං එතදවොච සත්‌ථා –

තවත් පර්‍ය්‍යායෙකින් වන්නේ යයි ... කෙසේ වන්නේය යත්: යම් මැ කිසි වර්තදුඃඛයෙක් සම්භූත වේ නම්, එහැම කර්මසම්භාරඋපාදානප්‍ර‍ත්‍යයයෙන් වෙයි යන මෙ එක් අනුපස්සනායෙක, උපාදානයන්ගේ මැ නිරවශේෂවිරාගනිරෝධයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැතැ”යි යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මැනවින් ...ඉක්බිති ශාස්තෘහු අන්‍යවූත් තෙල ගාථා වදාළහ.

745.
‘‘උපාදානපච්‌චයා භවො, භූතො දුක්‌ඛං නිගච්‌ඡති;
ජාතස්‌ස මරණං හොති, එසො දුක්‌ඛස්‌ස සම්‌භවො.

745. උපාදානප්‍ර‍ත්‍යයයෙන් විපාකභව වෙයි, සම්භූත වූයේ වර්තදුඃඛයට පැමිණෙයි, ජාතයාහට මරණ වෙයි, තෙල භවය දුඃඛයාගේ සම්භවකාරණ වේ.

746.
‘‘තස්‌මා උපාදානක්‌ඛයා, සම්‌මදඤ්‌ඤාය පණ්‌ඩිතා;
ජාතික්‌ඛයං අභිඤ්‌ඤාය, න ගච්‌ඡන්‌ති පුනබ්‌භව’’න්‌ති.

746. එහෙයින් උපාදානයන්ගේ ක්ෂයයෙන් අනිත්‍යාදී විසින් මනා කොට දැන (නිර්‍වාණසඞ්ඛ්‍යාත) ජාතික්ෂය විශිෂ්ටඥානයෙන් දැන, පුනර්භවයට නො එත් යි.

‘‘සියා අඤ්‌ඤෙනපි…පෙ.… කථඤ්‌ච සියා? යං කිඤ්‌චි දුක්‌ඛං සම්‌භොති සබ්‌බං ආරම්‌භපච්‌චයාති, අයමෙකානුපස්‌සනා. ආරම්‌භානං ත්‌වෙව අසෙසවිරාගනිරොධා නත්‌ථි දුක්‌ඛස්‌ස සම්‌භවොති, අයං දුතියානුපස්‌සනා. එවං සම්‌මා…පෙ.… අථාපරං එතදවොච සත්‌ථා –

අන්‍යවූත් පර්‍ය්‍යයෙකින් වන්නේ ය. ... කිසෙයින් වේය යත්: යම් මැ කිසි දුකෙක් උපදනේ නම්, ඒ හැම කර්මසම්ප්‍ර‍යුක්තවීර්‍ය්‍යප්‍ර‍ත්‍යයයෙන් වේ යන මෙ එක් අනුපස්සනායෙක, ආරම්භසඞ්ඛ්‍යාත වීර්‍ය්‍යයාගේ ම නිරවශේෂ විරාග නිරෝධයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැතැයි යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මොනොවට ... ඉක්බිති ශාස්තෘහු අන්‍යවූත් තෙල ගාථා වදාළහ:

747.
‘‘යං කිඤ්‌චි දුක්‌ඛං සම්‌භොති, සබ්‌බං ආරම්‌භපච්‌චයා;
ආරම්‌භානං නිරොධෙන, නත්‌ථි දුක්‌ඛස්‌ස සම්‌භවො.

747. යම් මැ කිසි වර්තදුඃඛයෙක් උපදනේ නම්, එ හැම දුක් ආරම්භප්‍ර‍ත්‍යයෙන් වෙයි, ආරම්භප්‍ර‍ත්‍යයන්ගේ ම නිරෝධයෙන් එ වර්තදුඃඛයාගේ සම්භවයෙක් නැති.

748.
‘‘එතමාදීනවං ඤත්‌වා, දුක්‌ඛං ආරම්‌භපච්‌චයා;
සබ්‌බාරම්‌භං පටිනිස්‌සජ්‌ජ, අනාරම්‌භෙ විමුත්‌තිනො.

748. ආරම්භප්‍ර‍ත්‍යයයෙන් උපදනා තෙල දුක ආදීනව යි දැන හැම ආරම්භයන් හැරපියා (නිර්‍වාණසඞ්ඛ්‍යාත) අනාරම්භයෙහි මුක්තවූ,

749.
‘‘උච්‌ඡින්‌නභවතණ්‌හස්‌ස, සන්‌තචිත්‌තස්‌ස භික්‌ඛුනො;
වික්‌ඛීණො [විතිණ්‌ණො (සී.)] ජාතිසංසාරො, නත්‌ථි තස්‌ස පුනබ්‌භවො’’ති.

749. මගනැණින් උසුන් කළ භවතෘෂ්ණා ඇති කෙලෙස් සන්හිඳුමෙන් සන්හුන් සිත් ඇති ඒ මහණහට පුනර්භව නැත. ජාතිසඞ්ඛ්‍යාත සංසාරය කෙළේ යි.

‘‘සියා අඤ්‌ඤෙනපි…පෙ.… කථඤ්‌ච සියා? යං කිඤ්‌චි දුක්‌ඛං සම්‌භොති සබ්‌බං ආහාරපච්‌චයාති, අයමෙකානුපස්‌සනා. ආහාරානං ත්‌වෙව අසෙසවිරාගනිරොධා නත්‌ථි දුක්‌ඛස්‌ස සම්‌භවොති, අයං දුතියානුපස්‌සනා. එවං සම්‌මා…පෙ.… අථාපරං එතදවොච සත්‌ථා –

අන්‍ය පර්‍ය්‍යයෙකිනුදු වන්නේය ... කෙසේ වන්නේය යත්: යම් මැ කිසි දුකෙක් උපදනේ නම්, එ හැම කර්මසම්ප්‍ර‍යුක්ත ආහාරප්‍ර‍ත්‍යයයෙන් වෙයි යන මෙ එක් අනුපස්සනායෙක, ආහාරයන්ගේ ම අශේෂ විරාග නිරෝධයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැත යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනාකොට ... එක්බිති ශාස්තෘහු අන්‍යවූත් තෙල ගාථා වදාළහ:

750.
‘‘යං කිඤ්‌චි දුක්‌ඛං සම්‌භොති, සබ්‌බං ආහාරපච්‌චයා;
ආහාරානං නිරොධෙන, නත්‌ථි දුක්‌ඛස්‌ස සම්‌භවො.

750. යම් මැ කිසි දුඃඛයෙක් සම්භුත වේ නම්, එ හැම ආහාරප්‍ර‍ත්‍යයයෙන් වෙයි, ආහාරයන්ගේ නිරෝධයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැත.

751.
‘‘එතමාදීනවං ඤත්‌වා, දුක්‌ඛං ආහාරපච්‌චයා;
සබ්‌බාහාරං පරිඤ්‌ඤාය, සබ්‌බාහාරමනිස්‌සිතො.

751. ආහාරප්‍ර‍ත්‍යයයෙන් දුඃඛය වේ යන තෙල කරුණ ආදීනව යි දැන හැම ආහාරය පිරිසිඳ දැන සර්‍වහාර තෘෂ්ණා විසින් ඇසිරි නො කෙළේ වෙයි.

752.
‘‘ආරොග්‍යං සම්‌මදඤ්‌ඤාය, ආසවානං පරික්‌ඛයා;
සඞ්‌ඛාය සෙවී ධම්‌මට්‌ඨො, සඞ්‌ඛ්‍යං [සඞ්‌ඛං (සී. පී.)] නොපෙති වෙදගූ’’ති.

752. (නිර්‍වාණසඞ්ඛ්‍යාත) ආරෝග්‍යය මනාකාට දැන ආස්‍ර‍වයන්ගේ පරීක්ෂයයෙන් සිවුපස ප්‍ර‍ත්‍යවෙක්ෂා කොට සෙවුනේ සිවුසස්දහම්හි පිහිටියේ සිවුමගනැණට පැමිණියේ දෙව මනුෂ්‍යාදි සඞ්ඛ්‍යාවට නො යේ යයි.

‘‘සියා අඤ්‌ඤෙනපි…පෙ.… කථඤ්‌ච සියා? යං කිඤ්‌චි දුක්‌ඛං සම්‌භොති සබ්‌බං ඉඤ්‌ජිතපච්‌චයාති, අයමෙකානුපස්‌සනා. ඉඤ්‌ජිතානං ත්‌වෙව අසෙසවිරාගනිරොධා නත්‌ථි දුක්‌ඛස්‌ස සම්‌භවොති, අයං දුතියානුපස්‌සනා. එවං සම්‌මා…පෙ.… අථාපරං එතදවොච සත්‌ථා –

අනෙකුදු පර්‍ය්‍යායෙකින් වන්නේ ය ... කෙසේ වන්නේය යත්: යම් මැ කිසි දුකෙක් සම්භූත වේ නම්, එ හැම දුක (තණ්හා මාන දිට්ඨි කම්ම කිලෙස) ඉඤ්ජිතයන්ගේ ප්‍ර‍ත්‍යයයෙන් වේය යන මෙ එක් අනුපස්සනායෙක. ඉඤ්ජිතයන්ගේ මැ අශේෂවිරාගනිරෝධයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැත යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනා කොට ... එක්බිති ශාස්තෘහු අනෙකුදු තෙල ගාථා වදාළහ:

753.
‘‘යං කිඤ්‌චි දුක්‌ඛං සම්‌භොති, සබ්‌බං ඉඤ්‌ජිතපච්‌චයා;
ඉඤ්‌ජිතානං නිරොධෙන, නත්‌ථි දුක්‌ඛස්‌ස සම්‌භවො.

753. යම් මැ කිසි දුකෙක් පාළ වේ නම්, එ හැම දුක ඉඤ්ජිතප්‍ර‍ත්‍යයෙන් වෙයි. ඉඤ්ජිතයන්ගේ මැ නිරෝධයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැති.

754.
‘‘එතමාදීනවං ඤත්‌වා, දුක්‌ඛං ඉඤ්‌ජිතපච්‌චයා;
තස්‌මා හි එජං වොස්‌සජ්‌ජ, සඞ්‌ඛාරෙ උපරුන්‌ධිය;
අනෙජො අනුපාදානො, සතො භික්‌ඛු පරිබ්‌බජෙ’’ති.

754. වර්තදුඃඛය ඉඤ්ජිතප්‍ර‍ත්‍යයයෙන් වේ යන තෙල කරුණ ආදීනව යි දැන එහෙයින් මැ තෘෂ්ණාසඞ්ඛ්‍යාත එජාව හැරපියා කර්ම, කර්මසම්ප්‍ර‍යුක්ත සංස්කාරයනුදු නිරුද්ධ කොට එජා රහිත වූයේ උපාදාන නැතියේ මහණ ස්මෘතිමත් ව නික්මැයේ යයි.

‘‘සියා අඤ්‌ඤෙනපි…පෙ.… කථඤ්‌ච සියා? නිස්‌සිතස්‌ස චලිතං හොතීති, අයමෙකානුපස්‌සනා. අනිස්‌සිතො න චලතීති, අයං දුතියානුපස්‌සනා. එවං සම්‌මා…පෙ.… අථාපරං එතදවොච සත්‌ථා –

අනෙකුදු පර්‍ය්‍යායෙකින් වන්නේය ... කෙසේ වන්නේ ය යත්: තෘෂ්ණාමානදෂ්ටි විසින් ස්කන්‍ධයන් ඇසිරි කළහුට භයචලන වෙයි යන මෙ එක් අනුපස්සනායෙක, එහෙයින් ස්කන්‍ධයන් ඇසිරි නො කෙළේ නො සැලේ යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනාකොට ... ඉක්බිති ශාස්තෘහු අනෙකුදු තෙල ගාථා වදාළහ:

755.
‘‘අනිස්‌සිතො න චලති, නිස්‌සිතො ච උපාදියං;
ඉත්‌ථභාවඤ්‌ඤථාභාවං, සංසාරං නාතිවත්‌තති.

755. අනිශ්‍රිතවූයේ නො සැලේ. නිශ්‍රිත ම උපාදාන විසින් ස්කන්‍ධයන් ගන්නේ ඉහාත්මභාව, අන්‍යථාභාව සඞ්ඛ්‍යාත සංසාරය ඉක්මැ නො වැටෙයි.

756.
‘‘එතමාදීනවං ඤත්‌වා, නිස්‌සයෙසු මහබ්‌භයං;
අනිස්‌සිතො අනුපාදානො, සතො භික්‌ඛු පරිබ්‌බජෙ’’ති.

756. නිඃශ්‍ර‍යන්හි මහත් භව වේ යන තෙල ආදීනවය දැන අනිශ්‍රිත වූයේ උපාදාන නැතියේ මහණ සිහි ඇතියේ නික්මැ යේ යි.

‘‘සියා අඤ්‌ඤෙනපි…පෙ.… කථඤ්‌ච සියා? රූපෙහි, භික්‌ඛවෙ, අරූපා [ආරුප්‌පා (සී. පී.)] සන්‌තතරාති, අයමෙකානුපස්‌සනා. අරූපෙහි නිරොධො සන්‌තතරොති, අයං දුතියානුපස්‌සනා. එවං සම්‌මා…පෙ.… අථාපරං එතදවොච සත්‌ථා –

අන්පර්යායෙකිනුදු වන්නේ ය ... කෙසේ වන්නේ ය යත්: මහණෙනි, රූපභව කෙරෙන් නොහොත් රූපසමාපත්ති කෙරෙන් අරූපභවයෝ නොහොත් අරූසමාපත්තිහු ශාන්තතර වෙති යන මෙ එක් අනුපස්සනායෙක, අරූපසමාපත්ති කෙරෙන් නිරෝධය (නිර්‍වාණය) ශාන්තතර වේ ය යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනාකොට ... ඉක්බිති ශාස්තෘහු අන්‍යවූත් තෙල ගාථා වදාළහ:

757.
‘‘යෙ ච රූපූපගා සත්‌තා, යෙ ච අරූපට්‌ඨායිනො [ආරුප්‌පවාසිනො (සී. පී.)];
නිරොධං අප්‌පජානන්‌තා, ආගන්‌තාරො පුනබ්‌භවං.

757. යම් මැ රූපොපග සත්ත්වයෝත් යම් මැ අරූපභවවාසී සත්ත්වයෝත් වෙත් නම් නිර්‍වාණසඞ්ඛ්‍යාත නිරෝධය නොදන්නාහු පුනර්භවයට එනසුලු වෙත්.

758.
‘‘යෙ ච රූපෙ පරිඤ්‌ඤාය, අරූපෙසු අසණ්‌ඨිතා [සුසණ්‌ඨිතා (සී. ස්‍යා. පී.)];
නිරොධෙ යෙ විමුච්‌චන්‌ති, තෙ ජනා මච්‌චුහායිනො’’ති.

758. යම් කෙනෙක් රූපභවයන් පිරිසිඳ දැන අරූපසමාපත්තීන්හි මොනොවට පිහිටියාහු ද, යම් කෙනෙක් නිරෝධයෙහිදු මුක්තවෙත් ද, එ ජනයෝ ත්‍රිවිධමාරයන් හැරයන්නාහු වෙති. යි.

‘‘සියා අඤ්‌ඤෙනපි…පෙ.… කථඤ්‌ච සියා? යං, භික්‌ඛවෙ, සදෙවකස්‌ස ලොකස්‌ස සමාරකස්‌ස සබ්‍රහ්‌මකස්‌ස සස්‌සමණබ්‍රාහ්‌මණියා පජාය සදෙවමනුස්‌සාය ඉදං සච්‌චන්‌ති උපනිජ්‌ඣායිතං තදමරියානං එතං මුසාති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය සුදිට්‌ඨං, අයමෙකානුපස්‌සනා. යං, භික්‌ඛවෙ, සදෙවකස්‌ස…පෙ.… සදෙවමනුස්‌සාය ඉදං මුසාති උපනිජ්‌ඣායිතං, තදමරියානං එතං සච්‌චන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය සුදිට්‌ඨං, අයං දුතියානුපස්‌සනා. එවං සම්‌මා…පෙ.… අථාපරං එතදවොච සත්‌ථා –

අන්‍යපර්‍ය්‍යායෙකිනුදු ... කෙසේ වන්නේය යත්: මහණෙනි, යම් නාම රූපයෙක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකය විසින් ශ්‍ර‍මණ බ්‍රාහ්මණයන් බඹුන් සහිත ප්‍ර‍ජාව විසින් (ධ්‍රැව ශුභ සුඛ ආත්ම වශයෙන්) “මෙ සත්‍යය”යි දක්නාලද නම්, එ නාමරූපය බුද්ධාදී ආර්‍ය්‍යයන් විසින් ‘තෙල මෘෂායෙකැ ’යි සම්‍යක් ප්‍ර‍ඥාවෙන් යථාභූත කොට දක්නා ලද ය යන මෙ එක් අනුපස්සනායෙක. මහණෙනි, යම් නිර්‍වාණයක් සදෙවක .. දෙවිමිනිසුන් ඇතුළු ප්‍ර‍ජාව විසින් “තෙල මෘෂායෙකැ ”යි දක්නාලද නම්, එ නිවණ ආර්‍ය්‍යයන් විසින් “තෙල නිවණ සත්‍යය“යි යථාභූත කොට සම්‍යක්ප්‍ර‍ඥායෙන් මොනොවට දක්නා ලද ය යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනා කොට ... ඉක්බිති ශාස්තෘහු තෙල අනෙක් ගාථා ද වදාළහ:

759.
‘‘අනත්‌තනි අත්‌තමානිං [අත්‌තමානී (ස්‍යා.), අත්‌තමානං (පී. ක.)], පස්‌ස ලොකං සදෙවකං;
නිවිට්‌ඨං නාමරූපස්‌මිං, ඉදං සච්‌චන්‌ති මඤ්‌ඤති.

759. අනාත්ම වූ නාමරූපයෙහි තෘෂ්ණාදි විසින් බැසගත් සදෙවක ලෝකයා ආත්ම යන මාන ඇති (එහි) බලව ධ්‍රැව ශුභාදි විසින් දක්මින් මෙ සත්‍යය යි හඟනේ ය.

760.
‘‘යෙන යෙන හි මඤ්‌ඤන්‌ති, තතො තං හොති අඤ්‌ඤථා;
තඤ්‌හි තස්‌ස මුසා හොති, මොසධම්‌මඤ්‌හි ඉත්‌තරං.

760. (රූප වේදනායෙහි) යම් යම් මැ අයුරෙකින් පෘතග්ජනයෝ තෘෂ්ණාදි විසින් හඟනාහු ද, ඒ නාමරූපය ඒ හැඟි අයුරෙන් අන්පරිදි වෙයි, ඔහුගේ ඒ මඤ්ඤිතය මෘෂා මැ වෙයි. ඉත්වර වූ ඒ නාමරූපය නස්නා සැහැවි ඇති හෙයිනි.

761.
‘‘අමොසධම්‌මං නිබ්‌බානං, තදරියා සච්‌චතො විදූ;
තෙ වෙ සච්‌චාභිසමයා, නිච්‌ඡාතා පරිනිබ්‌බුතා’’ති.

761. ආර්‍ය්‍යයෝ නො නස්නා සැහැවි ඇති ඒ නිවණ සත්‍යවිසින් දත්හ, සත්‍යාවබෝධයෙන් ඒ අරීහු ඒකාන්තයෙන් තෘෂ්ණා රහිත වූවාහු පිරිනිවියාහු වෙති යි.

‘‘‘සියා අඤ්‌ඤෙනපි පරියායෙන සම්‌මා ද්‌වයතානුපස්‌සනා’ති, ඉති චෙ, භික්‌ඛවෙ, පුච්‌ඡිතාරො අස්‌සු; ‘සියා’තිස්‌සු වචනීයා. කථඤ්‌ච සියා? යං, භික්‌ඛවෙ, සදෙවකස්‌ස ලොකස්‌ස සමාරකස්‌ස සබ්‍රහ්‌මකස්‌ස සස්‌සමණබ්‍රාහ්‌මණියා පජාය සදෙවමනුස්‌සාය ඉදං සුඛන්‌ති උපනිජ්‌ඣායිතං, තදමරියානං එතං දුක්‌ඛන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය සුදිට්‌ඨං, අයමෙකානුපස්‌සනා. යං, භික්‌ඛවෙ, සදෙවකස්‌ස…පෙ.… සදෙවමනුස්‌සාය ඉදං දුක්‌ඛන්‌ති උපනිජ්‌ඣායිතං තදමරියානං එතං සුඛන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය සුදිට්‌ඨං, අයං දුතියානුපස්‌සනා.

මහණෙනි, අන් පර්‍ය්‍යායෙකිනුදු මනාකොට ද්වයතනානුපස්සනාව වන්නේ දැ යි මෙසේ පුළුවුස්නාහු වෙත් නම්, වන්නේ ය යි ඔහුට කිවයුතු වේ. කෙසේ වන්නේ ය යත්: මහණෙනි, යම් මැ සවැදෑරුම් ඉෂ්ටාලම්බනයක් සදෙවක ... දෙවිමිනිසුන් සහිත ප්‍ර‍ජාව විසින් මෙ සුඛයෙකැයි දක්නාලද නම්, එ ආර්‍ය්‍යයන් විසින් තෙල දුකැයි තත්වූ පරිදි සම්‍යක්ප්‍ර‍ඥායෙන් මොනොවට දක්නාලද ය යන මෙ එක් අනුපස්සනායෙක. මහණෙනි, යම් මැ නිර්‍වාණයක් සදෙවක වූ .... දෙවිමිනිසුන් සහිත ප්‍ර‍ජාව විසින් මෙ දුකැයි දක්නාලද ය යන මෙ දෙවන අනුපස්සානා යි.

එවං සම්‌මා ද්‌වයතානුපස්‌සිනො ඛො, භික්‌ඛවෙ, භික්‌ඛුනො අප්‌පමත්‌තස්‌ස ආතාපිනො පහිතත්‌තස්‌ස විහරතො ද්‌වින්‌නං ඵලානං අඤ්‌ඤතරං ඵලං පාටිකඞ්‌ඛං – දිට්‌ඨෙව ධම්‌මෙ අඤ්‌ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතාති. ඉදමවොච භගවා. ඉදං වත්‌වාන සුගතො අථාපරං එතදවොච සත්‌ථා –

මහණෙනි, මෙසෙයින් මොනොවට ද්වයතානුදර්ශී වැ අප්‍ර‍මත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ, ප්‍ර‍හිතාත්ම වැ වසන මහණහට ඉහාත්මභාවයෙහි මැ අර්හත්වය හෝ උපාදිශේෂය ඇතිවත් මැ අනාගාමිත්වය හෝ යි උබයශ්‍රාමණ්‍ය ඵලයන් අතුරෙන් අන්‍යතර ඵලයෙක් කැමැතිවිය යුතු, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාල සේක සුගත වු ශාස්තෘන් වහන්සේ මෙය වදාරා ඉක්බිති තෙල ගාථා වදාළහ:

762.
‘‘රූපා සද්‌දා රසා ගන්‌ධා, ඵස්‌සා ධම්‌මා ච කෙවලා;
ඉට්‌ඨා කන්‌තා මනාපා ච, යාවතත්‌ථීති වුච්‌චති.

762. ඉෂ්ටවූත් ප්‍රියවූත් මනවඩන්නාවූත් රූපයෝ ය ශබ්දයෝ ය රසයෝ ය ගන්‍ධයෝ ය ස්ප්‍ර‍ෂ්ටව්‍යයෝ ය ධර්මාලම්බනයෝ ය යන යම්තාක් අනවශේෂ අරමුණු ඇතැයි කියනු ලැබේ ද,

763.
‘‘සදෙවකස්‌ස ලොකස්‌ස, එතෙ වො සුඛසම්‌මතා;
යත්‌ථ චෙතෙ නිරුජ්‌ඣන්‌ති, තං නෙසං දුක්‌ඛසම්‌මතං.

763. සදේවක ලෝකයා විසින් තෙල ආලම්බනයෝ සුඛහ යි සම්මත වෙත්. යම් මැ නිර්‍වාණයෙක්හි තෙල ආලම්බනයෝ නිරුද්ධ වෙත් නම්, එ නිර්‍වාණය ඔවුන් විසින් දුකැයි සම්මත වේ.

764.
‘‘සුඛන්‌ති දිට්‌ඨමරියෙහි, සක්‌කායස්‌සුපරොධනං;
පච්‌චනීකමිදං හොති, සබ්‌බලොකෙන පස්‌සතං.

764. සත්කාය සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයා ගේ නිරෝධය (නිර්‍වාණය) සුබ ය යි ආර්‍ය්‍යයන් විසින් දක්නා ලදී, නුවණින් දක්නවුන්ගේ මේ දර්‍ශනය සියලු ලෝකයා හා ප්‍ර‍ත්‍යනීක (පිළිලොම්) වෙයි.

765.
‘‘යං පරෙ සුඛතො ආහු, තදරියා ආහු දුක්‌ඛතො;
යං පරෙ දුක්‌ඛතො ආහු, තදරියා සුඛතො විදූ.

765. අනාර්‍ය්‍ය පෘතග්ජනයෝ යම් වස්තුකාමයක් සුඛවශයෙන් කීහු නම්, එ වස්තුකාමය ආර්‍ය්‍යයෝ දුක් විසින් දෙසූහ. යම් නිර්‍වාණයක් අන්‍යපෘතග්ජනයෝ දුක් විසින් කීහු නම්, ආර්‍ය්‍යයෝ එ නිවන සුඛ විසින් දත්හ.

766.
‘‘පස්‌ස ධම්‌මං දුරාජානං, සම්‌පමූළ්‌හෙත්‌ථවිද්‌දසු [සම්‌පමූළ්‌හෙත්‌ථ අවිද්‌දසු (සී. පී.), සම්‌මූළ්‌හෙත්‌ථ අවිද්‌දසු (?)];
නිවුතානං තමො හොති, අන්‌ධකාරො අපස්‌සතං.

766. ශ්‍රාවකයෙනි, දුර්විඥෙය වූ නිර්‍වාණධර්මය නැනැසින් දකිවු. එ නිවන්හි අඥයෝ සම්ප්‍ර‍මූඪ වෙත්. කුමක් හෙයිනැ යත්: අවිද්‍යායෙන් වැලැඳුනු ඇතිසැටිය නොදන්නවුන්ට අන්‍ධකාර වූ තෙමස වෙයි.

767.
‘‘සතඤ්‌ච විවටං හොති, ආලොකො පස්‌සතාමිව;
සන්‌තිකෙ න විජානන්‌ති, මග්‌ගා ධම්‌මස්‌ස කොවිදා.

767. ප්‍ර‍ඥාදර්‍ශනයෙන් දක්නාවූ සත්පුරුෂයනට ආලෝක සෙයින් නිර්‍වාණය විවෘත වෙයි. (තචපඤ්චකය හෝ ස්කන්‍ධයන් හෝ පිරිසිඳ දත යුතුවන හෙයින්) තමා හමුයෙහි වූ ද නිර්‍වාණය මාර්‍ගාමාර්‍ගධර්මයෙහි අකොවිද වූ මෘගභූත ජනයෝ නො දන්නාහ.

768.
‘‘භවරාගපරෙතෙහි, භවසොතානුසාරිභි;
මාරධෙය්‍යානුපන්‌නෙහි, නායං ධම්‌මො සුසම්‌බුධො.

769.
‘‘කො නු අඤ්‌ඤත්‍රමරියෙහි, පදං සම්‌බුද්‌ධුමරහති;
යං පදං සම්‌මදඤ්‌ඤාය, පරිනිබ්‌බන්‌ති අනාසවා’’ති.

768-769. භවරාගයෙන් මඬනා ලද, භවස්‍රොතස අනුව යන්නවුන් විසින් මෙ නිර්‍වාණධර්මය සුවසේ අවබෝධ කටහැකි නො වේ. යම් නිර්‍වාණපදයක් මාර්‍ගඥානයෙන් දැන අනාස්‍රව වූවාහු පිරිනිවෙත් නම් එ නිවන් පිය දැනගන්නට ත්‍රෛභූමික වර්තයට නොපැමිණි ආර්‍ය්‍යයන්මුත් අන් කවරෙක් සමත් වේ ද යි.

ඉදමවොච භගවා. අත්‌තමනා තෙ භික්‌ඛූ භගවතො භාසිතං අභිනන්‌දුන්‌ති. ඉමස්‌මිං ච [ඉමස්‌මිං ඛො (සී.)] පන වෙය්‍යාකරණස්‌මිං භඤ්‌ඤමානෙ සට්‌ඨිමත්‌තානං භික්‌ඛූනං අනුපාදාය ආසවෙහි චිත්‌තානි විමුච්‌චිංසූති.

භාග්‍යවතුන් වහන්සේ මෙ ද්වයතානුපස්සනා සූත්‍ර‍ය වදාළ සේක. සතුටු සිත් ඇති එ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ: වැලි මෙ වෙය්‍යාකරණය දෙසනු ලබත් ම සැටක් පමණ මහණුන්ගේ සිත් උපාදාන විසින් නො ගෙණ ආස්‍ර‍වයන්ගෙන් මිදුනාහ යි.

ද්‌වයතානුපස්‌සනාසුත්‌තං නිට්‌ඨිතං.

ද්වයතානුපස්සනා සූත්‍ර‍ය නිමි.