577. මෙලොව්හි මනුෂ්‍යයන් ගේ ජීවිතය (මරණය හඟවන) නිමිති නැතියෙක. එහෙයින් මැ අඥාත යැ. සුඛ යාපනීය නොවෙයි. අල්පද වෙයි. එද දුකින් යුක්තය.
578. යම් උපක්‍රමයෙකින් උපන් සත්ත්‍වයෝ නොමියෙත් නම්, එබඳු උපක්‍රමයක් නැත, ජරාවට පැමිණ ද ( නො පැමිණ ද) මරණය වෙයි, ප්‍රාණීහු මෙබඳු සැහැවි ඇතියහ.
579. පරිපක්ව (ඉදුනු) ඵලයනට ප්‍රාතඃකාලයෙහි (අලුයම) පතනයෙන් වන බිය සෙයින් උපන් සත්නට නිරතුරු මරණින් බිය උපදනේ ය.
580. යම් සෙයෙකින් කුඹලු විසින් කරණ ලද මැටිමුවා බදුන් හැම බිඳුම් හිමි කොට ඇතියේ ද, මිනිසුන්ගේ ජීවිතයත් එබඳු වෙයි.
581. ලදරු කෙනෙක් වෙත්වයි මහලු කෙනෙක් වෙත්වයි යම් අඥාන කෙනෙක් වෙත්වයි පණ්ඩිත කෙනෙක් වෙත්වයි, උහු හැම මරවසට යෙති හැම මෘත්‍යුපරායණ වෙත්.
582. මරහු විසින් මඩනා ලද උන් පරලොව යත් මැ පියා සිය පුතු පරලොවින් නො රක්නේ ය. ඥාතීහු හෝ සිය නෑයන් නො රක්නාහ.
583. බලව, ඥාතීන් බලාසිටුත්මැ බොහෝ දෙන නන් දොඩත්මැ එකලා වූ මැ මර මිනිසුන් අතුරෙන් එකඑකා ගෝඝාතකයා සෙයින් ගෙණ යනු ලැබෙයි.
584. මෙසේ ලොව මෘත්‍යුහු විසිනුදු ජරාව විසිනුදු මැඩුනේ වෙයි. එහෙයින් ලෝකාස්වභාවය දැන ධීරයෝ නො සොවිති.
585. මවු කුසට පැමිණියා වූත් මියගියාවූත් යමකුගේ ගතාගතමාර්ගය නොදනුයෙහි නම්, උභයාන්තයන් නො දක්මින් නිරර්ථකව වලප්නෙහි.
586. ඉදින් වලප්නා තැනැත්තේ කිසි අර්ථයක් දරා නම් විචක්ෂණ තැනැත්තේ ද සම්මූඪ වැ තමා පෙළමින් තෙල මැ කරන්නේ ය.
587. රෝදනයෙන් හෝ ශෝකයෙන් හෝ චිත්තශාන්තිය නො ලබයි. ඔහට අධිකමාත්‍රායෙන් දුක් උපදනේ ය. සිරිරු ද වැනැසෙයි.
588. කෘශවූයේත් දුර්වර්ණවූයේත් වෙයි. තෙමේ තමා නසන්නේ ද වෙයි. ඒ පරිදේවනායෙන් මිය ගියාහු ද තමන් නො රක්නාහ. එ හෙයින් පරිදේවනා නිරර්ථක වෙයි.
589. ඥාතිව්‍යසනශෝක නොහරනා නරතෙම බෙහෙවින් දුකට පැමිණෙයි. කලුරිය කළහු අනුව සොවින්නේ ශෝකවශයට ම ගියේ වෙයි.
590. පරලොව ගමනට සැදි සිටුනා, කම්වූ පරිදි මියන, මාරවශයට පැමිණ සසලන, මෙලොව්හි අන්‍ය ප්‍රාණීන් ද බලව.
591. යම් මැ අයුරෙකින් සත්ත්‍වයෝ හඟිත් නම්, එය එයින් අන් පරිදි වෙයි. මෙබඳු විනාභාවයෙක් ඇත. ලෝකස්වාභාවය බලව.
592. ඉදින් මිනිස් තෙමේ සිය වසක් හෝ ඉන් වැඩියක් හෝ ජීවත් වේ නම්, නෑ ගණයාගෙන් (මරණ විසින්) වියෝ වේ මැයි. මෙලොව්හි දිවි මෙසේ දන්නේ ය.
593. එකරුණින් මැ රහත්හුගේ (සම්බුදුන්ගේ) මෙබඳු ධර්මදේශනා අසා පරිදේවනා හැරපියා කලුරිය කළ පරලොව ගියහුදැක තෙල ප්‍රේත මා විසින් යලි නොලද හැක්කේ”යි පරිදේවනා හැර පියන්නේ ය.
594. ගින්නෙන් ඇවිළගත් ගෙයක් දියෙන් යම් සෙයින් නිවන ලදුයේ ද එසෙයින් කෙලෙස් පිරිනිවි ධෘතිසම්පන්න ස්වාභාවික ප්‍රඥා ඇති (බහුශ්‍රැත ප්‍රඥායෙන්) පණ්ඩිත වූ චින්තාමය ප්‍රඥායෙන් දක්ෂවූ නරතෙම උපන් ශෝකය මාරුතය පුළුන් පෙදක් සෙයින් වහා පිඹ හරනේ ය.
595. තම හට සුව පතනුයේ තමාගේ පරිදේව යැ තෘෂ්ණා යැ, දොම්නස යැ යන ශල්‍යයන් උදුරා ලන්නේය.
596. උදුරා ලූ සෝහුල් ඇතියේ තෘෂ්ණාදෘෂ්ටි නිඃශ්‍රිත නොවූයේ චිත්තශාන්තියට පැමිණ සර්‍වශෝකයන් ඉක්මැවූයේ කෙලෙස් පිරිනිවියේ අශෝක වේ යයි.
සල්‌ලසුත්‌තං නිට්‌ඨිතං
සල්ල සූත්‍රය නිමි.