1. පීඨං තෙ සොවණ‍්ණමයං උළාරං මනොජවං ගච‍්ඡති යෙන කාමං, අලඞ‍්කතෙ මාල්‍යධරෙ සුවත්‍ථෙ ඔභාසසි විජ‍්ජුරිවබ‍්භකූටං.
1. අලංකෘත වූ දිවසළු හැදගත් දිවමලින් බර වූ සැරැසුණු සිරුරු ඇති එම්බා දෙව්දුව, තීගේ රුවන්මුවා උදාර වූ පීඨය මනසට බදු වේගයෙන් රිසි සේ යයි. තෝ විදුලිය වැළදගත් සැදෑ වලාකුළක් මෙන් බබළව.
2. කෙන තෙ තාදිසො වණ‍්ණො කෙන තෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
2. කවර හේතුවකින් තිට එබඳු පැහැසටහනෙක් වීද? කවර පිනෙකින් මෙහි තීගේ සුචරිත ඵලය සමෘද්ධ වේද? මනවඩන යම් කිසි සම්පත්තීහු වෙත් නම් කවර පිනෙකින් තිට ඒ භොගයෝ පහල වෙත් ද?
3. පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති.
3. මහත් අනුභාව ඇති දෙව්දුව, තී පුළුවූස්මි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද? තීගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
4. සා දෙවතා අත‍්තමනා මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා, පඤ‍්හං පුට‍්ඨා වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලං.
4. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි පුළුවුස්නා ලද්දී මෙසේ ප්‍රකාශ කළා:
5. අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා අබ‍්භාගතානාසනකං අදාසිං, අභිවාදයිං අඤ‍්ජලිකං අකාසිං යථානුභාවඤ‍්ච අදාසි දානං.
5. (වහන්ස) මිනිස්ලොව මිනිසක් වූ මම් ආගන්තුක වැ පැමිණි පැවිදි කෙනෙකුට අසුනක් දුනුමු. අභිවාදනය ද කළමු. අඤ්ජලිකර්ම ද කළමු, ශක්ති පරිදි දන් දුන්මු.
6. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
6. ඒ පිනින් මට එබඳු වර්ණසම්පත් වෙයි. ඒ පිනින් මට මෙහි සම්පත් සමෘද්ධ වෙයි. මනවඩන යම් භොග කෙනෙක් වෙත් නම් ඒ භොගයෝ උපදිත්.
7. අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව මනුස‍්සභූතා යමකාසි පුඤ‍්ඤං, තෙනම‍්හි එවං ජලිතානුභාවා වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතීති.
7. මහත් අනුභාව ඇති යතිවරයන් වහන්ස, මම මිනිස් වැ ඉපිද යම් පිනක් කෙළෙමි නම් එය ඔබට කියමි. ඒ පිනින් මෙසේ දිලියෙන අනුභාව ඇති වීමි. මාගේ වර්ණය ද සියලු දිගුන් බබුළුවා යි.
පඨමපීඨවිමානං.
පළමු වැනි පීඨවිමාන යි.