1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
1. මා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජෙතවන නම් වූ, අනේවඩු මහසිටාණන්ගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යී භික්‍ෂූන් ඇමැතුසේක. වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
2. වීමංසකෙන භික්ඛවෙ භික්ඛුනා පරස්ස චෙතොපරියායං අජානන්තෙන තථාගතෙ සමන්නෙසනා කාතබ්බා ‘සම්මාසම්බුද්ධො වා නො වා’ ඉති විඤ්ඤාණායාති.
2. මහණෙනි, මෙරමාගේ සිත්නියර (සරාගාදි විභාග විසින් පවත්නා ආකාර පරිච්ඡෙදය) නොදන්නා වීමංසක (විමසන) මහණ විසින් ‘සම්‍යක් සම්බුද්ධ වේ ද හෝ නො වේ ද හෝ’ යි දනු සඳහා තථාගතයන් කෙරෙහි සමන්‍වෙෂන (පිරියෙස්ලි) කළයුතු වෙයි.
“භගවංමූලකා නො භන්තෙ ධම්මා භගවංනෙත්තිකා භගවංපටිසරණා. සාධු වත භන්තෙ භගවන්තං යෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති.”1
“වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ විනෙතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බැස සිටුනාහ. වහන්ස තෙල භාෂිතයාගේ අර්ථ භාග්‍යවතුන් වහන්සේට ම වැටහේ නම් මනා මැනු. භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අසා භික්ෂුහු ධරන්නාහ”යි.
තෙන හි භික්ඛවෙ සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
මහණෙනි, එකරුණින් අසව. මනාකොට මෙනෙහි කරව. කියමියි. ‘වහන්ස එසේ ය’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
3. වීමංසකෙන භික්ඛවෙ භික්ඛුනා පරස්ස චෙතොපරියායං අජානන්තෙන ද්වීසු ධම්මෙසු තථාගතො සමන්නෙසිතබ්බො: චක්ඛුසොතවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු –
3. මහණෙනි, මෙරමාගේ සිත්හසර නොදන්නා වීමංසක මහණ විසින් දෙදහමෙක්හි ලා තථාගතයන් වහන්සේ පර්යෙෂණ කළයුතු වෙති: චක්‍ෂුර්විඥෙය (කායසමාචාර), ශ්‍රොත්‍ර විඥෙය (වාක්සමාචාර) ධර්‍මද්වයෙහිය.
යෙ සඞ්කිලිට්ඨා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, සංවිජ්ජන්ති වා තෙ තථාගතස්ස නො වා’ති. තමෙනං සමන්නෙසමානො එවං ජානාති: යෙ සඞ්කිලිට්ඨා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, න තෙ තථාගතස්ස සංවිජ්ජන්තී’ති. (1)
චක්‍ෂුර්විඥෙය වූ ශ්‍රොත විඥෙය වූ ක්ලෙශසම්ප්‍රයුක්ත යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට වෙත් ද හෝ නො වෙත් ද හෝයි. තෙල තථාගතයන් වහන්සේ පර්යෙෂණ කරන වීමංසක මහණ මෙසෙයින් දන්නේය: “චක්‍ෂුඃශ්‍රොත්‍රවිඥෙය වූ ක්ලෙශසම්ප්‍රයුක්ත යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට (නැති හෙයින් ම) නැත” කියායි (1)
යතො නං සමන්නෙසමානො එවං ජානාති: යෙ සඞ්කිලිට්ඨා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, න තෙ තථාගතස්ස සංවිජ්ජන්තීති. තතො නං උත්තරිං සමන්නෙසති: යෙ වීතිමිස්සා2 චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, සංවිජ්ජන්ති වා තෙ තථාගතස්ස නො වා’ති. තමෙනං සමන්නෙසමානො එවං ජානාති: යෙ වීතිමිස්සා2 චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, න තෙ තථාගතස්ස සංවිජ්ජන්තී ති. (2)
“චක්‍ෂුඃ ශ්‍රොත්‍රවිඥෙය වූ ක්ලෙශසම්ප්‍රයුක්ත යම් ධර්‍මකෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට නැතැ”යි යම් අවධියෙක ඔබ පර්යෙෂණ කරනුයේ මෙසේ දන්නේ වේ ද, ඔබ ඉන් මතුදු සමන්‍වෙෂණ කෙරෙයි. කෙසේ ය: (කලෙක කෘෂ්ණයහ, කලෙක ශුක්ලයහ යි මෙසේ) ව්‍යතිමිශ්‍ර වූ චක්‍ෂුඃ ශ්‍රොත්‍රවිඥෙය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට වෙද්ද හෝ නො වෙද්ද හෝ යි ඔබ සොයනුයේ මෙසේ දන්නේ ය: ව්‍යතිමිශ්‍රවූ චක්‍ෂුඃශ්‍රොත්‍රවිඥෙය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට නැත කියා යි. (2)
යතො නං සමන්නෙසමානො එවං ජානාති: යෙ වීතිමිස්සා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, න තෙ තථාගතස්ස සංවිජ්ජන්තීති. තතො නං උත්තරිං සමන්නෙසති: යෙ වොදාතා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, සංවිජ්ජන්ති වා තෙ තථාගතස්ස නො වාති. තමෙනං සමන්නෙසමානො එවං ජානාති: යෙ වොදාතා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, සංවිජ්ජන්ති තෙ තථාගතස්සාති. (3)
යම් අවස්ථාවක ඔබ සොයනුයේ “ව්‍යතිමිශ්‍ර වූ චක්‍ෂුඃශ්‍රොත්‍ර විඥෙය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට නැතැ”යි මෙසේ දන්නේ වේ ද, ඉන්මතුදු ඔබ සොයන්නේ ය. කෙසේ ය: “පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රොත්‍රවිඥෙය වූ යම් ධර්‍මකෙනෙක් ඇද්ද’ ඔහු තථාගතයන් වහන්සේට වෙද්ද හෝ නො වෙද්ද හෝ කියා යි. ඔබ සොයාබලනුයේ පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රොත්‍රවිඥෙය වූ යම් ධර්‍මකෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට ඇතැයි මෙසේ දන්නේ ය. (3)
යතො නං සමන්නෙසමානො එවං ජානාති: යෙ වොදාතා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, සංවිජ්ජන්ති තෙ තථාගතස්සාති. තතො නං උත්තරිං සමන්නෙසති: දීඝරත්තං සමාපන්නො අයමායස්මා1 ඉමං කුසලං ධම්මං, උදාහු ඉත්තරසමාපන්නොති. තමෙනං සමන්නෙසමානො එවං ජානාති: දීඝරත්තං සමාපන්නො අයමායස්මා ඉමං කුසලං ධම්මං, නායමායස්මා ඉත්තරසමාපන්නොති. (4)
යම් අවස්ථායෙක ඔබ සොයනුයේ “පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රොත්‍ර විඥෙය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට ඇතැ” යි මෙසේ දන්නේ වේ ද, ඉන් මතු දු ඔබ සොයන්නේය. කෙසේ ය: “මේ ආයුෂ්මත් (තථාගත තෙම) දීර්‍ඝරාත්‍රයෙහි (බොහෝ කලෙක) සිට මේ කුසලදහමට (ආජිවාෂ්ටමක ශීලයට) සමවන්නේ වේ ද නොහොත් ස්වල්ප කලෙක (ඊයේ පෙරදා) සිට සමවන්නේ වේ ද කියා යි. ඔබ සොයනුයේ “මේ ආයුෂ්මත් දීර්ඝ රාත්‍රයෙහි සිට මේ කුසල් දහමට සමවන්නේ ය. මේ ආයුෂ්මත් මඳකලෙක සිට සමවන්නේ නො වේය” යි මෙසේ දන්නේ ය. (4)
යතො නං සමන්නෙසමානො එවං ජානාති: දීඝරත්තං සමාපන්නො අයමායස්මා ඉමං කුසලං ධම්මං, නායමායස්මා ඉත්තරසමාපන්නොති. තතො නං උත්තරිං සමන්නෙසති: ඤත්තජ්ඣාපන්නො2 අයමායස්මා භික්ඛු යසම්පත්තො,3 සංවිජ්ජන්තස්ස ඉධෙකච්චෙ ආදීනවාති.
යම් අවස්ථායෙක ඔබ ගවෙෂණ කරනුයේ “මේ ආයුෂ්මත් දීර්‍ඝරාත්‍රයෙහි සිට මේ කුසල්දහමට සමවන්නේ ය. මේ ආයුෂ්මත් මඳකලෙක සිට සමවන්නේ නො වේය”යි මෙසේ දන්නේ වේ ද, ඉන් මතුදු ඔබ ගවෙෂණ කෙරෙයි. කෙසේය: “මේ ආයුෂ්මත් භික්‍ෂු (තථාගත) තෙම ප්‍රකටභාවයට පැමිණියේ, පිරිවරසැපත් ලදුයේ වේ ද, (ඒහේතුවින්) ඔහට මෙහි (මානාතිමානාදී) කිසි ආදීනව ඇද්ද,” කියා යි.
“න තාව භික්ඛවෙ භික්ඛුනො ඉධෙකච්චෙ ආදීනවා සංවිජ්ජන්ති යාව න ඤත්තජ්ඣාපන්නො2 හොති යසම්පත්තො3. යතො ච ඛො භික්ඛවෙ භික්ඛු ඤත්තජ්ඣාපන්නො හොති යසම්පත්තො, අථස්ස ඉධෙකච්චෙ ආදීනවා සංවිජ්ජන්ති.”
“මහණෙනි, යම්තාක් ප්‍රකටභාවයට පැමිණියේ, පරිවාර සම්පත් ලදුයේ නො වේ ද, ඒතාක් මහණහට මෙහි (මානාතිමානාදි) ඇතැම් ආදීනවයෝ නො වෙති. මහණෙනි, යම් අවධියෙක සිට මහණ අභිඥාතභාවයට පැමිණියේ, පරිවාර සම්පත් ලදුයේ වේ ද, එක්බිති ඔහට මෙහි ඇතැම් ආදීනවයෝ ඇති වෙති.”
තමෙනං සමන්නෙසමානො එවං ජානාති. ඤත්තජ්ඣාපන්නො2 අයමායස්මා භික්ඛු යසම්පත්තො,3 නාස්ස ඉධෙකච්චෙ ආදීනවා සංවිජ්ජන්තී’ති. (5)
ඔබ (මේ කරුණෙහි ලා) ගවෙෂණ කරනුයේ “මේ ආයුෂ්මත් භික්‍ෂු ප්‍රනීත භාවයට පැමිණියේ, පිරිවරසැපත් ඇතියේ වෙයි. ඔහට මෙහි කිසිදු ආදීනව නැතැ”යි මෙසේ දන්නේ ය. (5)
යතො නං සමන්නෙසමානො එවං ජානාති: ඤත්තජ්ඣාපන්නො අයමායස්මා භික්ඛු යසම්පත්තො, නාස්ස ඉධෙකච්චෙ ආදීනවා සංවිජ්ජන්තීති තතො නං උත්තරිං සමන්නෙසති: අභයූපරතො අයමායස්මා නායමායස්මා භයූපරතො, වීතරාගත්තා කාමෙ න සෙවති ඛයා රාගස්සාති. තමෙනං සමන්නෙසමානො එවං ජානාති: අභයූපරතො අයමායස්මා, නායමායස්මා භයූපරතො, වීතරාගත්තා කාමෙ න සෙවති ඛයා රාගස්සාති. (6)
යම් අවධියෙක ඔබ ගවෙෂණ කරනුයේ, “මේ ආයුෂ්මත් භික්‍ෂූ වනාහි ප්‍රසිද්ධියට පැමිණියේ, පරිවාරසම්පත් ඇතියේය (ඒ හෙතුයෙන්) ඔහට මෙහි ඇතැම් ආදීනවයෝ නැතැ”යි මෙසේ දන්නේ වේ ද, ඉන්මතු ද ඔබ ගවෙෂණ කෙරෙයි. කෙසේ ය: “මේ ආයුෂ්මත් අභයප්‍රාප්ත ව කාමයෙන් වැළැක්කේ වී ද, මේ ආයුෂ්මත් භයප්‍රාප්ත ව වැළැක්කේ නො වී ද, රාගක්‍ෂයහෙතුයෙන් වීතරාග බැවින් කාමයන් නො සෙවුනේ වේ ද, කියායි. ඔබ (මෙසේ) සොයනුයේ “මේ ආයුෂ්මත් අභයොපරත වේ. මේ ආයුෂ්මත් භයොපරත නො වේ. මේ ආයුෂ්මත් රාගක්‍ෂය හෙතුයෙන් වීතරාග බැවින් කාමයන් නො සෙවුනේය”යි මෙසේ දන්නේ ය. (6)
තඤ්චෙ භික්ඛවෙ භික්ඛුං පරෙ එවං පුච්ඡෙය්යුං: “කෙ පනායස්මතො ආකාරා කෙ අන්වයා යෙනායස්මා එවං වදෙති:1 අභයූපරතො අයමායස්මා නායමායස්මා භයූපරතො, වීතරාගත්තා කාමෙ න සෙවති ඛයා රාගස්සා”ති. සම්මා බ්යාකරමානො2 භික්ඛවෙ භික්ඛු එවං බ්යාකරෙය්ය:3 තථා හි පන අයමායස්මා සඞ්ඝෙ වා විහරන්තො එකො වා විහරන්තො, යෙ ච තත්ථ සුගතා, යෙ ච තත්ථ දුග්ගතා, යෙ ච තත්ථ ගණමනුසාසන්ති, යෙ ච ඉධෙකච්චෙ ආමිසෙසු සන්දිස්සන්ති, යෙ ච ඉධෙකච්චෙ ආමිසෙන අනුපලිත්තා, නායමායස්මා තං තෙන අවජානාති. සම්මුඛා ඛො පන මෙ තං භගවතො සුතං සම්මුඛා පටිග්ගහිතං: “අභයූපරතොහමස්මි, නාහමස්මි භයූපරතො, වීතරාගත්තා කාමෙ න සෙවාමි ඛයා රාගස්සා”ති.
මහණෙනි, “මේ ආයුෂ්මත් අභයොපරත වෙයි. මේ ආයුෂ්මත් භයොපරත නො වෙයි. මේ ආයුෂ්මත් රාගක්‍ෂය හෙතුයෙන් කාමයන් නොසෙවුනේ ය” යි භවත් යම්හෙයකින් මෙසේ බෙණේ ද, ඒ ආයුෂ්මත්හුගේ තදාකාරයෝ කවරහ, ඒ අනුබුද්ධීහු (ප්‍රමාණ) කවරහ”? යි සෙස්සෝ ඒ විචාරක මහණ අතින් මෙසේ පැන පිළිවිසිත් නම්, මහණෙනි, මනාකොට පිළිතුරු දෙන මහණ මෙසේ පසතුරු දෙන්නේය: එසේ මැය. මේ ආයුෂ්මත් සඟුන් මැද වාස කරන්නේ වේවයි, එකලාව වාස කරන්නේ වේවයි, එහි සුපිළිපන් යම් කෙනෙක් ඇද්ද, එහි දුපිළිපන් යම් කෙනෙක් ඇද්ද, එහි යම් කෙනෙක් (ගණබන්‍ධන බද්ධ ව) ගණානුශාසනා කෙරෙද්ද, මෙසස්නෙහි යම් කිසි කෙනෙක් ආමිසයෙහි පැනීයෙද්ද, මෙසස්නෙහි යම් කිසි කෙනෙක් ආමිසයෙන් අනුපලිප්ත වෙද්ද, මේ ආයුෂ්මත් ශාස්තෘ තෙමේ එබඳු මහණ ඒ ඒ කරුණින් හෙළා නො දක්නේ ය. “මම අභයොපරත යෙමි, මම භයොපරත නො වෙමි රාගක්‍ෂය හෙතුයෙන් වීතරාග වන බැවින් කාමයන් නො සෙවුනෙමි”යි තෙල කරුණ මා විසින් බුදුන් හමියෙහි අසන ලදී, හමියෙහි පිළිගන්නා ලදැ”යි කියා යි.
4. තත්ර භික්ඛවෙ තථාගතොව උත්තරිං පටිපුච්ඡිතබ්බො:
4. මහණෙනි, ග්‍රන්ථිවීමංසකය (සාධන විමසන්නා), මූලවීමංසකය (ශාස්තෘවරයාගෙන් ම අසා විමසන්නා) යන වීමංසකයන් අතුරෙහි මූලවීමංසකයා විසින් තථාගතයන් වහන්සේ ම මතුයෙහි පිළිවිසියයුතු වෙති:
“යෙ සඞ්කිලිට්ඨා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, සංවිජ්ජන්ති වා තෙ තථාගතස්ස නො වා”ති. බ්යාකරමානො භික්ඛවෙ තථාගතො එවං බ්යාකරෙය්ය: යෙ සඞ්කිලිට්ඨා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා න තෙ තථාගතස්ස සංවිජ්ජන්තීති. (1)
“ක්ලෙශසම්ප්‍රයුක්ත වූ චක්‍ෂුඃශ්‍රොත්‍රවිඥෙය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද හෝ නැද්ද හෝ”යි කියායි. මහණෙනි, එය ප්‍රකාශ කරන තථාගතයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කෙරති: “ක්ලෙශ සම්ප්‍රයුක්ත වූ චක්‍ෂුඃශ්‍රොත්‍රවිඥෙය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට නැත” කියායි. (1)
“යෙ වීතිමිස්සා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, සංවිජ්ජන්ති වා තෙ තථාගතස්ස නො වා’ති. බ්යාකරමානො භික්ඛවෙ තථාගතො එවං බ්යාකරෙය්ය: යෙ වීතිමිස්සා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා න තෙ තථාගතස්ස සංවිජ්ජන්තීති. (2)
“ව්‍යතිමිශ්‍ර වූ චක්‍ෂුඃශ්‍රොත්‍රවිඥෙය යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද හෝ නැද්ද හො ” යි (මූලවීමංසකයා විසින් තථාගතයන් වහන්සේ පිළිවිසියයුතු වෙති.) මහණෙනි, එය ප්‍රකාශ කරන තථාගතයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කෙරෙති: “ව්‍යතිමිශ්‍ර වූ චක්‍ෂුඃශ්‍රොත්‍රවිඥෙය යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට නැත” කියා යි. (2)
“යෙ වොදාතා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, සංවිජ්ජන්ති වා තෙ තථාගතස්ස නො වා”ති. බ්යාකරමානො භික්ඛවෙ තථාගතො එවං බ්යාකරෙය්ය: යෙ වොදාතා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, සංවිජ්ජන්ති තෙ තථාගතස්ස, එතපථොහමස්මි4 එතගොචරො, නො ච තෙන තම්මයොති. (3)
පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රොත්‍රවිඥෙය යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද හෝ නැද්ද හෝ”යි (පිළිවියයුතු වෙති.) මහණෙනි, එය ප්‍රකාශ කරන තථාගතයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කෙරෙති: “පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රොත්‍රවිඥෙය යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට ඇත. මම තෙල (පරිශුද්ධ ආජිවාෂ්ටමක ශීල ධර්‍මය) පථය කොට (විමසනුවන්ට ජානත මාර්ග කොට) ඇතියෙමි. තෙල ගොදුරු කොට (මා කෙරෙහි විෂය කොට) ඇතියෙමි. ඒ පරිශුද්ධ ශීලය නිසා තෘෂ්ණා සහිතයෙම් ද නො වෙමි.” (3)
5. එවං වාදිං ඛො භික්ඛවෙ සත්ථාරං අරහති සාවකො උපසඞ්කමිතුං ධම්මසවනාය. තස්ස සත්ථා ධම්මං දෙසෙති උත්තරුත්තරිං පණීතපණීතං කණ්හසුක්කසප්පටිභාගං. යථා යථා ඛො භික්ඛවෙ භික්ඛුනො සත්ථා ධම්මං දෙසෙති උත්තරුත්තරිං පණීතපණීතං කණ්හසුක්කසප්පටිභාගං, තථා තථා සො තස්මිං ධම්මෙ අභිඤ්ඤාය ඉධෙකච්චං ධම්මං ධම්මෙසු නිට්ඨං ගච්ඡති, සත්ථරි පසීදති: සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො සඞ්ඝොති.
5. මහණෙනි, ශ්‍රාවක තෙම එවංවාදී (මෙසේ බණන) ශාස්තෲන් වහන්සේ කරා ධර්‍මශ්‍රවණය සඳහා එළඹෙන්නට නිසි වෙයි. ශාස්තෲන් වහන්සේ ඔහට මතුමතුයෙහි (අර්ථවිශෙෂය වැඩිවැඩියෙන් පැහැදිලි වනසේ) ප්‍රණීත ප්‍රණීත කොට, පාපපුණ්‍යයන් ඔවුනොවුන් විපක්‍ෂ විපාක ඇති බැව් ද දක්වමින් දහම් දෙසත්. මහණෙනි, ශාස්තෲන් වහන්සේ මහණ හට යම් යම් පරිද්දෙකින් මතුමතුයෙහි ප්‍රණිතතර කොට කෘෂ්ණ ශුක්ල ධර්‍ම සප්‍රතිභාග කොට දක්වමින් දහම් දෙසන සේක් ද, ඒ මහණ ඒ ඒ පරිදි දෙසු ඒ දහමෙහි කිසි ධර්‍මයක් ප්‍රතිවෙධ වශයෙන් දැන (අභිඥාත වූ ඒ ප්‍රතිවෙධ ධර්‍මයන්) දෙශනාධර්‍මයෙහි (සත්‍යය පිළිබඳ) නිෂ්ඨාවට යෙයි: “භාග්‍යවත්හු සම්‍යක්සම්බුද්ධයහ”යි ශාස්තෲන් වහන්සේ කෙරෙහි පහදී. “භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, සඞ්ඝයා සුපිළිපන්හ”යි පහදී.
6. තඤ්ච භික්ඛවෙ භික්ඛුං පරෙ එවං පුච්ඡෙය්යුං: කෙ පනායස්මතො ආකාරා කෙ අන්වයා යෙනායස්මා එවං වදෙති: සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො සඞ්ඝො’ති. සම්මා බ්යාකරමානො භික්ඛවෙ භික්ඛු එවං බ්යාකරෙය්ය: ඉධාහං ආවුසො යෙන භගවා තෙනුපසඞ්කමිං ධම්මසවනාය. තස්ස මෙ භගවා ධම්මං දෙසෙති උත්තරුත්තරිං පණීතපණීතං කණ්හසුක්කසප්පටිභාගං. යථා යථා මෙ ආවුසො භගවා ධම්මං දෙසෙති උත්තරුත්තරිං පණීතපණීතං කණ්හසුක්කසප්පටිභාගං, තථා තථාහං තස්මිං ධම්මෙ අභිඤ්ඤාය ඉධෙකච්චං ධම්මං ධම්මෙසු නිට්ඨමගමං, සත්ථරි පසීදිං: සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො සඞ්ඝො’ති.
6. මහණෙනි, “භගවත්හු සම්‍යක්සම්බුද්ධයහ, භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, සඞ්ඝයා සුපිළිපන්හ යි යම් හෙයෙකින් ආයුෂ්මත් මෙසේ බෙණේ ද, ආයුෂ්මත්හුගේ එයට සාධනයෝ කවරයහ, එයට අනුබුද්ධීහු (ප්‍රමාණ) කවරහ?”යි පරනු ඒ මහණ මෙසේ පුළුවුසිත් නම්, මහණෙනි, මොනොවට ප්‍රකාශ කරන මහණ මෙසේ පවසන්නේය: “ඇවැත්නි, මම ධර්‍මශ්‍රවණය පිණිස භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියෙමි. භාග්‍යවතුන් වහන්සේ මට මතු මතුයෙහි ප්‍රණීතතර කොට ශුක්ල කෘෂ්ණ ධර්‍ම සප්‍රතිභාග කොට දහම් දෙසති. ඇවැත්නි, යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ මට මතු මතුයෙහි ප්‍රණීතතර කොට පව්පින් ප්‍රකිපක්‍ෂ විපාක ඇතියවුන් කොට දහම් දෙසත් ද එපරිදි මම ඒ දහම්හි කිසි දහමක් ප්‍රතිවෙධ විසින් දැන දෙශනා ධර්‍මයෙහි නිෂ්ඨාවට ගියෙමි: භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයහයි ඔබ කෙරෙහි පැහැදිණිමි. භාග්‍යවතුන් විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, (භාග්‍යවත්හුගේ ශ්‍රාවක) සඞ්ඝයා සුපිළිපන්හයි පැහැදිණිමි.
7. යස්ස කස්සචි භික්ඛවෙ ඉමෙහි ආකාරෙහි ඉමෙහි පදෙහි ඉමෙහි බ්යඤ්ජනෙහි තථාගතෙ සද්ධා නිවිට්ඨා හොති මූලජාතා පතිට්ඨිතා, අයං වුච්චති භික්ඛවෙ ආකාරවතී සද්ධා දස්සනමූලිකා දළ්හා, අසංහාරියා සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං.
7. මහණෙනි, යම්කිසිවක්හට මෙ අයුරින් මේ පෙදෙන් මේ ව්‍යාඤ්ජනයෙන් තථාගතයන් වහන්සේ කෙරෙහි සැදැහැ පිහිටියේ වේ ද, (ශ්‍රොතාපත්ති මාර්ගයෙන් හටගත්මුල් ඇති වේ ද,) මහණෙනි, මේ සකාරණ (ප්‍රතිවෙධ සහිත) ශ්‍රද්ධාව දර්ශන (ශ්‍රොතාපත්තිමාර්ග) මූලිකය, දෘඪය. මහණකු විසින් වේවයි, බමුණකූ විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොව අන් කිසිවකු විසින් වේවයි, හැරැලිය නො හෙයි.
එවං ඛො භික්ඛවෙ තථාගතෙ ධම්මසමන්නෙසනා හොති. එවඤ්ච පන තථාගතො ධම්මතාසුසමන්නිට්ඨො හොතීති.
මහණෙනි, මෙසේ තථාගතයන් කෙරෙහි ධම්මසමන්නෙසනා (ස්වභාව සමන්වෙෂණ) වෙයි. මෙසේ තථාගතයන් වහන්සේ ධර්‍මතායෙන් (ඇතිසැටියෙන්) සමන්නෙසනා කරනලද වෙති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මේ (බුද්ධසීහනාද නම් වන) සූත්‍රාන්තය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය මැනැවින් පිළිගත්හ.
වීමංසකසුත්තං සත්තමං.
වීමංසකසූත්‍රය සත්වැනියි.