ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 11. වලාහක සංයුක්තය » 1. වලාහක වර්ගය

11.1.57. වස්සවලාහක සුත්තං

11.1.57. වස්‌සවලාහක සූත්‍රය

606. සාවත්‍ථියං:

606. සැවැත්නුවර:

එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනෙකදා දෙවො වස්සතීති.

එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (නොකල්හි වන) වැසි වසී නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක්” දැයි.

සන්ති භික්ඛු, වස්සවලාහකා නාම දෙවා. තෙසං යදා එවං හොති: ‘යන්නූන මයං සකාය රතියා රමෙය්යාමාති’. තෙසං තං චෙතොපණිධිමන්වාය දෙවො වස්සති. අයං ඛො, භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනෙකදා දෙවො වස්සතීති.

මහණ, වස්සවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම්සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි. ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව නොකල් වැසි වසී. මහණ, යම් හෙයෙකින් එක්කලෙක නොකල් වැසි වසී නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.