ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » ඡක්ක නිපාතය » 3. අනුත්‌තරිය වර්ගය

6.1.3.1. සාමගාමක සූත්‍රය

21. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි සාමගාමකයෙහි පොක්ඛරණියා නම් වෙහෙරැ වැඩ වසන සේක.

එකල්හි අන්‍යතර දෙවියෙක් රාත්‍රි මධ්‍යමයාමයෙහි මනොහර ඡවිවර්‍ණ ඇතියේ සියලු පොක්ඛරණියා වෙහෙර බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකෙළේය:

“වහන්ස, මෙ තුන් දහම් කෙනෙක් භික්ෂුහුගේ පරිහානිය සඳහා වැටෙත්. කවර තුන් දහම් කෙනෙක යත්:

කර්‍මාරාමතාය, භාෂ්‍යාරාමතාය, නිද්‍රාරාමතා යි. වහන්ස, මෙ තුන් දහම්හු භික්ෂුහුගේ පරිහානිය සඳහා වැටෙති”යි.

එ දෙවි මෙය කීය. භාග්‍යවතුන් වහන්සේ සමසිත් වූසේක. ඉක්බිති එ දෙවි “මා බස භාග්‍යවතුන් වහන්සේ අනුදත්සේක් වනැ”යි භාග්‍යවතුන් වහන්සේ වැඳ ප්‍රදක්ෂිණා කොට එතන්හි ම අතුරුදන් ව ගියේ ය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ රෑ ඇවෑමෙන් භික්ෂුන් ඇමතූසේක. මහණෙනි, මෙ රෑ හි ඉකුත් පළමු යම ඇතිවත් ම අන්‍යතර දෙවියෙක් මනොහර ඡවීවර්‍ණ ඇතියේ, සියලු පොක්ඛරණියා වෙහෙර එකලු කොට මා කරා එළැඹියේ ය. එළැඹ සකස් කොට මා වැඳ එකත්පස්හි සිටියේ ය. එකත්පස්හි සිටි ඒ දෙවි මට තෙල කී ය:

“වහන්ස, මෙ තුන් කරුණෙක් භික්ෂුහුගේ පරිහානියට වැටෙයි. කවර තුණෙක යත්: කර්‍මාරාමතා ය, භාෂ්‍යාරාමතා ය, නිද්‍රාරාමතා යි. වහන්ස, මෙ දහම් තුණ භික්ෂුහුගේ පිරිහීමට වැටේය යි.

මහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා පැදකුණු කොට එහි ම අතුරුදන්වී.

මහණෙනි, යම්බඳු තොප කුශලධර්‍මයන්ගෙන් පිරිහීමට වැටෙන්නවුන් දෙවියෝ පවා දනිත් නම්, එ තොපට අලාභ ය, එ තොපට නො මනා ලැබුමෙකී.

මහණෙනි, අනෙකුදු පරිහානිය ධර්‍ම තුණක් දෙසමි. එ අසවු මනා කොට මෙනෙහි කරවු. කියන්නෙමි යි. ‘එසේ ය වහන්සැ’යි එ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

මහණෙනි, පරිහානීය ධර්‍ම තුන්දෙන කවරහ යත්: සඞ්ගණිකාරාමතා ය, දොවචස්සතා ය, පාපමිත්තතා යි.

මහණෙනි, මෙ පරිහානීය ධර්‍ම තුණ යි.

මහණෙනි, යම් මැ කෙනෙක් අතීතකාලයෙහි කුශලධර්‍මයෙන් පිරිහුණුහු නම්, එ හැම මෙ සකරුණෙන් ම කුශලධර්‍මයෙන් පිරිහුණහ. මහණෙනි, යම් මැ කෙනෙක් අනාගතකාලයෙහි කුශලධර්‍මයෙන් පිරිහෙත් නම්, එ හැම මෙ මැ සකරුණු හෙයින් කුශලධර්‍මයෙන් පිරිහෙත්. මහණෙනි, මෙ කල්හි යම් මැ කෙනෙක් කුශලධර්‍මයෙන් පිරිහෙත් නම්, එ හැම දෙන මෙ කරුණු සයෙන් මැ කුශලධර්‍මයෙන් පිරිහෙත් ය යි.