ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » අට්ඨක නිපාතය » 2. මහා වර්ගය

8.1.2.2. සීහසෙනාපති සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් පුර මහවෙනෙහි කූටාගාර ශාලාවේ වසන සේක. එ සමයෙහි ප්‍ර‍සිද්ධ ප්‍ර‍සිද්ධ බොහෝ ලිච්ඡවීහු සන්ථාගාර ශාලාවෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ වනති, ධර්‍මයාගේ ගුණ වනති, සඞ්ඝයාගේ ගුණ වනත්.

එ සමයෙහි නුවට සවු සිංහ සේනාපති එ පිරිස්හි හුන්නේ වෙයි. එ කල්හි සිංහ සේනාපතිහට තෙල සිත විය: “නිසැකින් ම ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්ධ වන්නාහ. එහෙයින් ම මේ ප්‍ර‍සිද්ධ ප්‍ර‍සිද්ධ වූ ලිච්ඡවීහු සන්ථාගාරයෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ වනත්, ධර්‍මයාගේ ගුණ වනත්, සඞ්ඝයාගේ ගුණ වනත්. මම ඒ භාග්‍යවතුන් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් දක්නා පිණිස එළඹෙම් නම් මනා මැනු”යි.

ඉක්බිති සිංහසේනාපති නුවට නාතපුත් වෙත එළඹියේ ය. එළඹ නිගණ්ඨනාත පුත්තහට මෙය කීය: “වහන්ස, මම මහණ ගොයුම්හු දක්නා පිණිස එළඹෙනු කැමැත්තෙමි”යි.

සීහය, තෝ ක්‍රියවාද ඇත්තෙහි ම කවර හෙයෙකින් අක්‍රියවාද ඇති මහණ ගොයුම්හු දක්නා පිණිස එළඹෙනුයෙහි ද? සීහය, අක්‍රියවාද ඇත්තේ ම මහණ ගොයුම් අක්‍රියාව පිණිස දම් දෙසන්නේ ය. එයින් සව්වන් හික්ම වන්නේ ද වෙයි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ දැක්ම පිණිස සිංහ සේනාපතිහුගේ යම් ගමන සඳහා කරන පියෝ වී නම්, එය සන්හින.

දෙවන වට දු බොහෝ ප්‍ර‍සිද්ධ ප්‍ර‍සිද්ධ වූ ලිච්ඡවීහු සන්ථාගාරයෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ වනත්, ධර්‍මයාගේ ගුණ වනත්, සඞ්ඝයාගේ ගුණ වනත්.

දෙවන වටදු සිංහ සේනාපති හට තෙල සිත විය: නිසැකින් ම භාග්‍යවතුන් වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්ධ වන්නාහ. එහෙයින් ම මේ බොහෝ ප්‍ර‍සිද්ධ ප්‍ර‍සිද්ධ ලිච්ඡවීහු සන්ථාගාරයෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ වනත්, ධර්‍මයාගේ ගුණ වනත්, සඞ්ඝයාගේ ගුණ වනත්. මම ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් දක්නා පිණිස එළඹෙම් නම් මනා මැනු යි.

ඉක්බිති සිංහසේනාපති තෙම නුවට නාතපුත්ත වෙත එළඹියේ ය. එළඹ නුවට නාතපුත්තහට තෙල සැල කෙළේය: “වහන්ස, මම මහණ ගොයුම්හු දක්නා පිණිස එළඹෙනු කැමැත්තෙමි”යි.

සීහය, තෝ කිරියවාද ඇතියෙහි ම අකිරියවාද ඇති මහණ ගොයුම් දක්නට කවර හෙයින් එළඹෙන්නෙහි ද? සීහය, මහණ ගොයුම් වනාහි අකිරියවාද ඇත්තේ ම අක්‍රිය පිණිස දහම් දෙසන්නේ ය, එයින් සව්වන් හික්ම වන්නේ ද වෙයි.

දෙවනවට ද සිංහසේනාපතිහුගේ භාග්‍යවත්හු දැකීම පිණිස යම් බඳු ගමන සඳහා කරන පියොවෙක් වි නම්, එය සන්හින.

තෙවනවටත් අතිප්‍ර‍සිද්ධ ලිච්ඡවීහු සන්ථාගාරයෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ බණත්, දහම්හුගේ ගුණ බණත්, සඟුන් ගුණ බණත්, තෙවනවටත් සිංහසේනාපතිහට තෙල සිත විය.

නිසැකින් ම ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්ධ වන්නාහ. එ හෙයින් ම මේ ප්‍ර‍සිද්ධ ප්‍ර‍සිද්ධ ලිච්ඡවීහු සන්ථාගාරයෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ බණත්, දහම් ගුණ බණත්, සඟුන් ගුණ බණත්. කළ ආපුච්ඡා ඇතියාහු වෙත්වයි, කළ ආපුච්ඡා නැතියාහු වෙත්වයි මේ නුවටහු මට කුමක් නම් කරත් ද? මම නුවටුන් ආච්ඡා නො කොටම ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් දක්නා පිණිස එළඹෙන්නෙම් නම් මනා මැනු යි.

එකල්හි සිංහසේනාපති තෙම පන්සියක් පමණැති රියෙන් දෙවෙන් දාවල් භාග්‍යවතුන් දක්නට විසල්පුරින් නික්ම ගියේ ය. යානයට බිම යම්තාක් ද එතෙක් යානයෙන් ගොස් යානයෙන් බැස පා ගමනෙහි යෙදුනේ ම ආරාමයට පිවිසියේ ය. ඉක්බිති සිංහසේනාපති භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් සිංහසේනාපති භාග්‍යවතුන් වහන්සට තෙල කීය:

වහන්ස, ‘අක්‍රියවාද ඇති මහණ ගොයුම් අක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් ම සව්වන් හික්මවන්නේ ය’ යන තෙල කරුණ මා විසින් අසන ලද. වහන්ස, යම් බඳු අක්‍රියවාද ඇති මහණ ගොයුම් අක්‍රියාවට දහම් දෙසන්නේ ය: එයින් ම සව්වන් හික්මවන්නේ යයි මෙසේ කියත් නම් වහන්ස, කිම ඔහු භගවත්හට කියුවා කියනු වෙත් ද? භගවත්හට අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කෙරෙත් ද? (භාග්‍යවතුන් වහන්සේගේ) ධර්‍මයට අනුකාරණයක් කියත් ද? කිසි සහධාර්මික වූ වාදානුවාදයෙකුත් ගැරහිය යුතු කරුණට නො ඒ ද? වහන්ස, අපි වනාහි භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛාන (අභූතයෙන් කියනු කැමැත්තමෝ නො වම්හ) නො කරනු කැමැත්තම්හ’යි.

1. සීහය, ‘මහණ ගොයුම් අක්‍රියවාද ඇතියේ අක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් ම සව්වන් හික්මවන්නේ’ යි යම් අයුරෙකින් මොනොවට කියනුයෙක් මා ගෙන කියන්නේ නම් ඒ කරුණ ඇත.

2. සීහය, ‘මහණ ගොයුම් ක්‍රියවාද ඇත්තේ ක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වන් ද හික්ම වන්නේ ය’යි යම් අයුරෙකින් මොනොවට කියන්නෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.

3. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම උච්ඡෙදවාද ඇත්තේ උච්ඡෙදය පිණිස දහම් දෙසන්නේ ය, එයින් ශ්‍රාවකයන් ද හික්ම වන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.

4. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම ජුගුප්සා කරන සුලු වූයේ ජුගුප්සාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු ද හික්ම වන්නේය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.

5. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම වෙනයික වූයේ විනය පිණිස දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.

6. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම තපස්වී වූයේ තපස්වීතාවට දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.

7. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම අපගර්‍භ වූයේ අපගර්‍භතාවට දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්ම වන්නේය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.

8. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම ආශ්වාසක වූයේ ආශ්වාසය පිණිස දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්ම වන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.

1. සීහය. ‘ශ්‍ර‍මණ ගෞතම අක්‍රියවාද ඇත්තේ අක්‍රියවාදයට දහම් දෙසන්නේය, එයින් එයින් සව්වනුදු හික්ම වන්නේ ය’යි මොනොවට කියන්නෙක් යම් කරුණෙකින් මට කියන්නේ නම් ඒ කරුණ කවර යත්: සීහය, මම වනාහි කාය දුශ්චරිතයාගේ වාග් දුශ්චරිතයාගේ මනො දුශ්චරිතයාගේ අක්‍රියාව කියන්නෙමි, නන් වැදෑරුම් වූ ලාමක අකුශල ධර්මයන්ගේ අක්‍රියාව කියන්නෙමි. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම අක්‍රියවාද ඇත්තේ අක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේය’යි මොනොවට කියන්නෙක් යම් කරුණෙකින් මට කියන්නේ නම් මේ එ කරුණ යි.

2. සීහය, ‘ශ්‍රමණ ගෞතම තෙම ක්‍රියාවාද ඇත්තේ ක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියන්නේ නම් ඒ කරුණ කවර යත්: සීහය, මම් වනාහි කාය සුචරිතයාගේ වාක් සුචරිතයාගේ මනස් සුචරිතයාගේ ක්‍රියාව කියමි, නන් වැදැරුම් කුසල්දහමුන්ගේ ක්‍රියාව කියමි. සීහය. ‘ශ්‍ර‍මණ ගෞතම ක්‍රියාවාද ඇත්තේ ක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් මේ එ කරුණ යි.

3. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම උච්ඡේද වාද ඇත්තේ උච්ඡේදයට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් ඒ කරුණ කවර යත්: සීහය මම වනාහි රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ උච්ඡේදය කියන්නෙමි, අනේක විහිත වූ ලාමක අකුශල ධර්‍මයන්ගේ උච්ඡේදය කියන්නෙමි. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම තෙම උච්ඡේද වාද ඇතියේ උච්ඡේදය පිණිස දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයේ මට කියන්නේ නම් මේ එ කරුණයි.

4. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම තෙම ජුගුප්සා කරන සුලු වූයේ ජුගුප්සා කරන සුලු බවට ධර්‍මය දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් ඒ කරුණ කවර යත්: සීහය, මම වනාහි කාය දුශ්චරිතයට වාග් දුශ්චරිතයට ම මනො දුශ්චරිතයට ජුගුප්සා කරමි, අනේක විහිත වු ලාමක අකුශල ධර්‍මයනට සමවැදුමට ජුගුප්සා කරමි. සීහය, ‘ශ්‍රමණ ගෞතම තෙමේ ජුගුප්සා කරන සුලු වූයේ ජුගුප්සා කරන සුලු බවට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් මේ එ කරුණ වෙයි.

5. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම තෙමේ වෙනයික වූයේ විනය පිණිස දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියා නම් ඒ කරුණ කවර යත්: සීහය, මම වනාහි රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ විනය පිණිස දහම් දෙසමි, අනේකවිධ වූ ලාමක අකුශල ධර්‍මයන්ගේ විනය පිණිස දහම් දෙසමි. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම තෙමේ වෙනයික වූයේ විනය පිණිස දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියා නම් මේ එ කරුණ වෙයි.

6. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම තපස්වී වූයේ තපස්වී භාවයට ධර්‍මය දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්ම වන්නේ ය’යි යම් කරුණෙකින් මට කියන්නේ නම් ඒ කරුණ කවර යත්: සීහය, මම් කාය දුශ්චරිතය වාග් දුශ්චරිතය මනෝ දුශ්චරිතය යන ලාමක අකුශල ධර්‍ම තපනීය යි කියමි. සීහය, යමකුගේ තපනීය ලාමක අකුශල ධර්‍මයෝ ප්‍ර‍හීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලාවස්තුකෘත වූවාහු අනභාවකෘත වූවාහු මතුයෙහි නූපදනා සැහැවි ඇත්තාහු වෙත් නම්, මම ඔහු තපස්වී යයි කියමි. සීහය, තථාගතයන්හට වනාහි තපනීය වූ ලාමක අකුශල ධර්‍මයෝ ප්‍ර‍හීණයහ, උච්ඡින්න මූලයහ, තාලාවස්තුකෘතයහ, අනභාවකෘතයහ, මතුයෙහි නූපදනා සැහැවි ඇතියහ. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම තෙමේ තපස්වී වූයේ තපස්වී භාවයට දහම් දෙසන්නේ ය. එයින් සව්වනුදු ම හික්ම වන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියා නම්, මේ එ කරුණ වෙයි.

7. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම අපගර්‍භ වූයේ අපගර්‍හතාව පිණිස දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු ම හික්ම වන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියා නම්, මේ එ කරුණ කවර යත්: සීහය, යමක්හුගේ මතුයෙහි මාතෘගර්‍භශය්‍යාව පුනර්‍හවාහිනිර්‍වෘත්තිය ප්‍ර‍හීණ ද, උච්ඡින්නමූල ද, තාලාවස්තුකෘත ද, අනභාවකෘත ද, මතුයෙහි නූපදනා සැහැවි ඇත්තී ද, මම ඔහු අපගර්භය යි කියමි. සීහය, තථාගතයන්ගේ මතුයෙහි ගර්‍භශය්‍යාව පුනර්භවාහිනිර්වෘත්තිය ප්‍ර‍හීණ ය, උච්ඡින්නමූල ය, තාලාවස්තුකෘත ය, අනභාවකෘත ය, මතුයෙහි නූපදනා සුලු ය. සීහය, ශ්‍ර‍මණ ගෞතම තෙමේ අපගර්‍භ වූයේ අපගර්‍හතාව පිණිස දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් මේ එ කරුණ යි.

8. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම ආශ්වාසකවූයේ ආශ්වාසය සඳහා දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් ඒ කරුණ කවර යත්: සීහය, මම් වනාහි (චතුමාර්‍ග - ඵල සඞ්ඛ්‍යාත) උත්තම ආශ්වාසයෙන් ආශ්වාසක වූයෙම් ආශ්වාසය පිණිස දහම් දෙසමි, එයින් සව්වනුදු හික්මවමි. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම ආශ්වාසක වූයේ ආශ්වාසය පිණිස දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියා නම් මේ එ කරුණ යි.

මෙසේ වදාළ කල්හි සිංහසේනාපති භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: ‘වහන්ස, ඉතා කාන්තය, වහන්ස, ඉතා කාන්ත ය ... වහන්ස, අද පටන් දිවි හිම් කොට සරණ ගිය උවසකු කොට භාග්‍යවතුන් වහන්සේ මා දරන සේක්වා’යි.

සීහය, අනුචින්තනය කොට (සිතා පිරික්සා) කටයුතු කරව, තා බඳු ප්‍ර‍සිද්ධ මනුෂ්‍යයනට අනුචින්තන ක්‍රියාව ම මනා වෙයි.

වහන්ස, මෙ කරුණෙනුත් මම භාග්‍යවතුන් වහන්සේට බෙහෙවින් සතුටු සිතැත්තෙම් ඇලුනෙම් වෙමි. යම් කරුණෙකින් භාග්‍යවතුන් වහන්සේ ‘සීහය, අනුචින්තන ක්‍රියා කරව, අනුචින්තන ක්‍රියාව ම තොප බඳු ප්‍ර‍සිද්ධ මනුෂ්‍යයනට මනා වේ ය’යි මට මෙසේ වදාළ සේක් නම් එහෙයිනි.

වහන්ස, මා බඳු සව්වකු ලැබ අන්තොටුවෝ හැම විසල්පුර ‘සිංහ සේනාපති අපගේ සවු බවට පැමිණියේ ය’යි කෙහෙලි නගන්නාහ. වැලිත් භාග්‍යවතුන් වහන්සේ ‘සීහය, අනුචින්තන ක්‍රියා කරව, තොප බඳු ප්‍ර‍සිද්ධ මනුෂ්‍යයනට අනුචින්තන ක්‍රියාව ම මනා වන්නේ ය’යි මට මෙසේ වදාරන සේක. වහන්ස, තෙල මම දෙවනවට ද භාග්‍යවතුන් වහන්සේත් ධර්‍මයත් බික්සඟුනුත් සරණ යෙමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් මා දිවිහිම් කොට සරණ ගිය උවසු කොට දරන සේක්ව යී.

සීහය, යම් හෙයකින් තාගේ නිවෙස බොහෝ කල් පටන් නුවටුනට (පිළියෙළකළ) උදපානයක් (ළිඳක්) බඳු වී ද (එහෙයින්) එළඹුණු ඔවුනට පිඬු දිය යුතු කොට හඟුවයි.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම්බඳු මට ‘සීහය, යම් හෙයෙකින් දිගු කලෙක පටන් තාගේ නිවෙස අන්තොටුවනට පිළියෙළ කළ ළිඳක් බඳු වීද, එහෙයින් වෙත පැමිණි උනට පිඬුවා දිය යුතු කොට හඟුව’යි මෙසේ වදාරන සේක් නම්, මෙ කරුණින් ද මම් භාග්‍යවතුන් වහන්සේට බෙහෙවින් සතුටු සිතැතියෙම් ඇලුනෙම් වෙමි.

වහන්ස, ‘මහණ ගොයුම් මෙසේ කියති’යි යන තෙල කරුණ මා විසින් අසන ලදී. ‘මාහට ම දන් දියයුතු වෙය. අන්හට දන් දියයුතු නො වෙයි. මාගේ සව්වනට ම දන් දියයුතු වෙයි, අන්සව්වනට දන් දියයුතු නො වේ. මාහට දෙන ලද්ද ම මහත් ඵල වෙයි, අන්හට දෙන ලද්ද මහත්ඵල නො වෙයි. මාගේ සව්වනට ම දුන් දෑ මහත් ඵල වෙයි, අන් සව්වනට දුන් දෑ මහත් ඵල නො වෙයි’ කියායි. වැලි දු භාග්‍යවතුන් වහන්සේ මා නුවටුන් කෙරෙහිදු දීමෙහි සමාදන් කරවන්නාහ. වැලිදු වහන්ස, මෙ කරුණෙහි ලා අපි කල් දන්නමු. වහන්ස, තෙල මම තෙවනවටත් භාග්‍යවතුන් වහන්සේත් දහමත් බික්සඟනත් සරණ කොට යෙමි. වහන්ස, අද පටන් භාග්‍යවතුන් වහන්සේ මා දිවිහිමියෙන් සරණ ගිය උවසු කොට ධරන සේක්වයි.

ඉක්බිති සිංහ සේනාපතිහට භාග්‍යවතුන් වහන්සේ අනුපිළවෙළ කථාව වදාළ සේක. එනම්: දානකථාය, සීලකථාය, සග්ගකථාය, කාමයන්ගේ අයුණු හා ලමු බව හා සකිලිටිය හා පැවිද්දෙහි අනුසස් ද පැවසූ සේක.

යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ සිංහ සේනාපති අරෝග සිත් ඇතියහු, මෘදු චිත්ත වූවහු නීවරණින් තොර සිත් ඇතියහු ඔදපත් සිතැතියහු පහන් සිතැතියහු දත් සේක් ද, එවිට දුඃඛ, සමුදය, නිරෝධ, මාර්‍ග යන බුදුවරුන්ගේ යම් සාමුක්කංසික ධම්මදේසනායෙක් (තමා විසින් ම දත් අන්‍යයනට අසාධාරණ දහම් දෙසුමෙක්) වේ නම් එය පාළ කළ සේක. යම් පරිදි ඉවත්කළ කළුලප ඇති සුදු වතක් මොනොවට රදන් පිළිගන්නේ ද, එපරිදිම සිංහ සේනාපතිහට එම අස්නෙහි පහවූ රාගාදී රජස් ඇති පහවූ රාගාදි මල ඇති යම්කිසි සමුදය ස්වභාවයෙක් ඇත්නම්, එ හැම නිරුද්ධවන සුලු යැයි (ස්‍රොතාපත්ති මාර්‍ග සඞ්ඛ්‍යාත ) ධර්‍ම චක්සුස උපන.

ඉක්බිති සිංහ සේනාපති දුටු (අරිසස්) දම් ඇතියේ (සෝවාන් මඟ පල නමැති) පත්දම් ඇතියේ පසක් කළ (නිවන්) දම් ඇතියේ බැසගත් දහම් ඇතියේ තරණය කළ විචිකිත්සා ඇතියේ පහවූ කථඞ්කථා ඇතියේ වෙසරද බවට පැමිණියේ (ශාස්තෘ ශාසනයෙහි) පරප්‍ර‍ත්‍යය රහිත වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කෙළේය:

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟුන් සමඟ සෙට දවස් පිණිස මාගේ බත ඉවසා වදාරන සේක්වයි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසු සේක.

ඉක්බිති සිංහ සේනාපති භාග්‍යවත්හුගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟි භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.

ඉක්බිති සිංහ සේනාපති ‘එම්බා පුරුෂය, යව, ප්‍ර‍වෘත්ත මාංශයක් දනුව’යි අන්‍යතර පුරුෂයකු ඇමතී ය. ඉන්පසු සිංහසේනාපති එ රෑ ඇවෑමෙන් සිය නිවෙස්හි ප්‍ර‍ණීත වූ කෑ යුතු බුදිය යුතු දෑ පිළියෙළ කරවා භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, බතට කල් වේ වයි. බත් (සපයා) නිමැවිණැයි’ කල් දැන්වී ය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන සිංහ සේනාපතිහුගේ නිවෙසට වැඩි සේක, වැඩ බික්සඟුන් සමඟ පැනවු අස්නෙහි වැඩ හුන්හ.

එකල්හි බොහෝ නුවටෝ විසල්පුර විථියෙන් වීථියෙහි සිවුමංසලින් සිවුමංසල දෙයත් බැඳ ‘අද සිංහ සේනාපතීහු විසින් මහසිරුරැති සිවුපාවකු මරා මහණ ගොයුම්හට බතක් කරන ලදී. මහණ ගොයුම් උදෙසා කළ ප්‍ර‍තීත්‍යකර්‍ම (කර්‍මස්පර්‍ශය ඇති නොහොත් තමා පිණිස කළ නොහොත් නිමිත්තකර්‍ම) වූ එ මස දන්නේ ම වළඳ කෙරේය යි හඬගා කියත්.

එකල්හි අන්‍යතර පුරුෂයෙක් සිංහ සේනාපතීහු යම් තැනෙක ද, එහි එළැඹියේ ය, වෙත අවුත් කන්මුල්හි කොඳුරා සැල කෙළේ: ‘වහන්ස, තෙල කරුණ දන්නහු ද? තෙල බොහෝ නුවටහු විසල් පුර වීථීයෙන් වීථියෙහි සිවුමංසලින් සිවුමංසලෙහි දෙයත් බැඳ අද සිංහ සේනාපතීහු විසින් තර සිවුපාවකු මරා මහණ ගොයුම්හට බතක් කරන ලදී, මහණ ගොයුම් දන්නේ ම උදෙසා කළ ප්‍ර‍තීත්‍යකර්‍ම වූ එ මස දන්නේ ම වළඳ කරනේය යි හඬ නගා කියති” යි.

“ආර්‍ය්‍යය, ඉන් කම් නැත, බොහෝ කලක් ම ඒ ආයුෂ්මත්හු බුදුන්ට අයුණු කැමැත්තාහුය, දහමට අයුණු කැමැතියහ, සඟනට අයුණු කැමැතියහ. තෙල ආයුෂ්මත්හු ඒ භාග්‍යවතුන් අසත්‍ය වූ තුච්ඡ වූ මුසා වූ අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කරන්නාහු (අයුණු කියුම්හි) නිමාවට ද නො යන්නාහ, අපිදු ජීවිත හේතුයෙන් දැන දැන සතකු දිවි තොර නොකරම්හි”යි.

ඉක්බිති සීහ සේනාපති බුදුපාමොක් බික්සඟුන් පිණි වු කෑ යුතුයෙන් හා බුදිය යුතුයෙන් සියතින් සතපාලී ය, පවරාලී ය. ඉක්බිති සීහ සේනාපති වැළඳූ පාත්‍රයෙන් ඉවතගත් ඇති, භාග්‍යවතුන් වහන්සේගේ එකත්පසෙක හින. එකත්පසෙක හුන් සිහ සේනාපතීහු භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා පහන් කරවා හුනස්නෙන් නැඟී වැඩි සේකි.