එකල්හි ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මම ආරණ්‍ය - වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයන් සෙවුමට කැමතියෙමි යි.
උපාලි, ආරණ්‍ය - වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයෝ දුසඃහ වෙත්, සිත් ඇලැවිය නො හැකි වෙත්. ප්‍රවිවේකය දුෂ්කර වෙයි. අභිරමණය සූකර නො වෙයි, වනයෝ සමාධිය නො ලබන මහණහුගේ සිත එකී භාවය ඇතිවත් ම පැහැරගන්නාක් මෙන් මෙනි, උපාලි, යම් කෙනෙක් මෙසේ කියන්නාහු ද: “මම් සමාධිය නො ලබනුයෙම් අරණ්‍යයන් හි වනපෙත් හා ප්‍රාන්ත සෙනසුන් හා ඇසුරු කෙරෙමැ”යි (කියායි). ඔහු විසින් ගිලෙන්නේය හෝ ඉල්පෙන්නේය හෝ යන තෙල කැමති විය යුතු.
උපාලි, යම් සේ මහ දිය විලෙක් වේ නම්, එකල සත්රියන් වේ වයි, අටරියන් වේ වයි, හස්ති නාගයෙක් එයි නම්, ඔහට මෙබඳු සිතෙක් වන්නේ ය: මම මෙ දිය විලට බැස කණ්ණසන්‍ධොපික (කන් දෙවුන් කෙළි) නම් ක්‍රීඩා ද කෙළනෙම් පිට්ඨිසන්‍ධොකපික (පිටදෙවුන්) නම් ක්‍රීඩාව ද කෙළනෙම් නම් කණ්ණසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළැ පිට්ඨිසන්‍ධොකපික නම් ක්‍රීඩා ද කොට ස්නාන ද කොට පැන්පීම ද කොට ගොඩනැඟී කැමැති තැනෙක යෙම් නම් යෙහෙකැ”යි. හේ මහදිය විලට බැස කණ්ණසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළනේ ය, පිට්ඨිසන්‍ධොකපික නම් ක්‍රීඩා ද කෙළනේ ය. කණ්ණසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළැ පිට්ඨිසන්‍ධොකපික නම් ද ක්‍රීඩා ද කොට සනහා පැන් බී ගොඩනැඟී කැමැති තැනෙක යන්නේ ය. එ කවර හෙයින යත්: උපාලි, මහත් වූ ම ආත්මභාවයෙක් ගැඹරෙහි ප්‍රතිෂ්ඨා විදුනේය.
ඉක්බිති ශශකයෙක් වේව යි විඩාලයෙක් වේ වයි එන්නේය. ඔහට මෙ සිත වන්නේ ය. මම් කවරෙකිම්? ඇත් නා කවරෙක? මම් මෙ මහ දිය විලට බැස කණ්ණසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළනෙම්, පිට්ඨිසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළෙනම්, කණ්ණසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළැ පිට්ඨිසන්‍ධොපික නම් ක්‍රීඩා ද කෙළැ සනහා පැන් බී ගොඩනැඟී කැමැති තැනෙක යෙම් නම් මැනැවැ”යි. හේ දිය විලට වහා නොපස්විකා පනනේ ය.
‘ගිලෙනුයේ හෝ ඉල්පෙනුයේය’ යන තෙල ඔහු විසින් කැමැති විය යුතු. හෙ කවරහෙයින යත්: උපාලි, ලඝු වූ ශරීරාත්මභාවය ගැඹරෙහි ප්‍රතිෂ්ඨා නො විඳුනේ ම ය. උපාලි, එපරිද්දෙන් ම යමෙක් මෙසේ කියා නම්: “මම සමාධි නො ලබනුයෙම් අරන හා පෙත් හා ප්‍රාන්ත සෙනසුන් සෙවුනෙමි”යි ඔහු විසින් “ගිලෙයි හෝ ඉල්පෙයි හෝ” යන තෙල කැමැති විය යුතු.
උපාලි, ළදරු උඩුකුරුව හෝනා බොළඳ කුමරෙක් යම්සේ සිය මලමූයෙන් කෙළනේ නම්, උපාලි, ඒ කුමැයි හඟුව? මෙ හැම පිරිපුන් බාල ක්‍රීඩායෙක් නො වේ ද? වහන්ස, එසේය.
උපාලි, එ කුමර ම පසු කාලයෙහි විය පැමිණ ඉන්‍ද්‍රිය පරිපාකයට පැමිණ, වඞ්කක (කුඩා කෙළි නගුල් ) ය, ඝටිකා (කෙළිදඬු) ය, මොක්ඛචිකා (පිනුම් ගැසුම්) ය, චිඞ්ගුලක (හුළංපෙති) ය, පත්තාළහක (කොළ නැලිය) ය, කෙළිරියය, කුඩා කෙළි දුනුය, යන මෙබඳු කුමරුවන් ගේ යම් ඒ කෙළි බඩු වෙත් නම් එයින් කෙළනේ ය. උපාලි එ කුමැයි හඟුව, මෙ කෙළි, පළමු ක්‍රීඩාවට වඩා සිත්කලු හා ප්‍රණීතතර හා නොවේ ද? වහන්ස, එසේය.
උපාලි, එ කුමරු ම පසු කලෙක වැඩිවිය පත්ව ව ඉන්‍ද්‍රිය පරිපාකයට ගොස් පස්කම් ගුණෙන් සමර්පිත වූයේ සමග වූයේ ඉෂ්ට කාන්ත මනාප චක්ෂුර්විඥෙය වූ කාමොපසංහිත වූ රැඳැවිය යුතු රූපයන්ගෙන් පරිචරණ කරයි. ශ්‍රොතවිඥෙය ශබ්දයෙන්, ඝ්‍රාණවිඥෙය ගන්‍ධයෙන්, ජීහ්වාවිඥෙය රසයෙන්, කායවිඥෙය ඉෂ්ට කාන්ත මනාප ප්‍රියරූප කාමයට හිත වූ රජනීය වූ ස්ප්‍රෂ්ටව්‍යයෙන් පරිචරණය කරයි. උපාලි, එ කුමැයි හඟුව? මෙ ක්‍රීඩා පළමු ක්‍රීඩායෙන් වඩා උතුම් වූයේ ප්‍රණීතතර වූයේත් නො වේ ද?
වහන්ස එසේය.
උපාලි, මෙ ලොව්හි අර්හත්, සම්‍යක් සම්බුද්ධ, විද්‍යචරණ සම්පන්න, සුගත, ලෝකවිද්, අනුත්තර පුරුෂදම්‍යසාරථී, දෙව් මිනිස්නට ශෘස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ උපදනාහුය. උහු දෙවියන් සහිත, මරුන් සහිත බඹූන් සහිත, මහණ බමුණන් සහිත සත්ත්‍වයන් ඇති සාදෙව මානුෂ මෙ ලොව තුමූ විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට දන්වන්නාහ. උහු ආදි කල්‍යාණ වූ මධ්‍යයෙහි කල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ සාර්ථ වූ සව්‍යඤ්ජන වූ කෙවල පරිපූර්‍ණ වූ ධර්‍ම දේශනා කරත්. පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය පළට කරත්. එ ධර්‍මය ගෙහෙවියෙක් වේවයි, ගෙහෙවි පුතෙක් වේවයි, අන්‍යතර කුලයෙක උපන්නේ වේව යි අසන්නේ ය. හෙ එ දහම් අසා තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධා ප්‍රතිලාභයෙන් සමන්වාගත වූයේ මෙසේ ප්‍රත්‍යවේක්ෂා කරයි: ගෘහවාසය සම්බාධය, කෙලෙස් මගෙක පැවිද්ද අභ්‍යවකාශය වේ. ඒකාන්ත පරිපූර්‍ණ වූ ලියූ සකක් සෙයින් ඒකාන්තපරිශුද්ධ වූ මෙ බඹසර වස්නට ගිහිගෙයි වසනුවහු විසින් සූකර නො වෙයි. ඉඳින් මම් කෙහෙමස් බහා කහවත් පෙරෙව ගිහිගෙන් නික්ම පැවිද්දට වදනෙම් නම් යෙහෙකැයි. හේ පසු කල්හි අල්ප වූ හෝ භෝගස්කන්‍ධය හැරැදමා මහත් වූ හෝ භෝගස්කන්‍ධය හැරදමා අල්ප වූ හෝ ඥාතිපරිවර්‍තය හැරැදමා මහත් වූ හෝ ඥාතිපරිවර්‍තය හැරැදමා කේමස් බහා කහවත් පෙරැවැ ගිහි ගෙන් නික්ම පැවිද්දට වදනේ ය.
හෙ මෙසේ පැවිදි වූයේ ම භික්ෂූන්ගේ ශික්ෂා සාජීවයට පැමිණියේ පණිවා හැරැ පණිවායෙන් වැළැකියේ වෙයි. බහා තැබූ දඬු ඇතියේ බහා තැබූ සත් ඇතියේ ලදැතියේ දයාපන්න වූයේ සර්‍වප්‍රාණිභූතයනට හිතානුකම්පා ඇතියේ වෙසෙයි. අයිනාදන් හැරැදමා අයිනාදනින් වැළැකියේ වෙයි. දුන් දෑ ගන්නා සුළුයේ දුන් දෑ කැමැත්තේ නො සොර පිවිතුරු ආත්මයෙන් වාසය කරයි. අබ්‍රම්සර හැරැදමා බ්‍රම්සර ඇතියේ ආරාචාරී වූයේ ගැමිදම් වන මෙවුන්දමින් වැළැකියේ වෙයි. මුසවා හැරැදමා මුසවායෙන් වැළැකියේ සත්‍යය කියනසුළුයේ සත්‍යසන්‍ධ වූයේ තථධර්‍මයෙන් යුක්ත වූයේ හැදැහිය හැකි (කථා ඇතියේ ලෝකයාට අවිසංවාදක) වූයේ වෙයි. පිසුනු බස් හැරැදමා පිසුනු බසින් වැළැකියේ වෙයි.
මොවුන්ගේ භෙදය පිණිස මෙතැන්හි අසා අසොතන්හි නො කියනුයේ අසෝ තන්හි හෝ අසා අසුකයන්ගේ බිඳුම සඳහා මොවුනට නො කියන්නේ වෙයි. මෙසේ අසමගි වූවන් සමගි කරණුයේ සමගි වූවනට අනුබල දෙන්නේ සමගියෙහි ඇලුම් ඇත්තේ සමගියෙහි රැඳුනේ සමගියෙන් සතුටුවනුයේ සමගි කරණ සුළු බස් කියන්නේ වෙයි. පරොස් බස් හැරැදමා පරොස් බසින් වැළැකියේ වෙයි. නිදොස්, කණට සුව දෙන, පෙම් දනවන, සුවසේ ලගන්නා ගුණෙන් පිරිපුන්, බහුජනකාන්ත වූ බහුජනමනාප වූ යම් බසක් වේ නම් එබඳු බස් කියන්නේ වෙයි. සම්ප්‍රඵලාප හැර දමා සම්ප්‍රඵලාපයෙන් වැළැකියේ වෙයි. කාල වාදී වූයේ සැබෑ කියනුයේ දෘෂ්ට ධාර්මික - සාම්පරායික අර්‍ථයම කියන සුලුයේ නව ලොවුතුරු දහම් ම කියන සුලුයේ සංවර, පහාන විනය පිණිස බස් කියනුයේ නිධානවත් වදන් සුදුසු කල්හි සකරුණු කොට පර්‍ය්‍යන්තවත් කොට කියනුයේ වෙයි.
භූතගාම බීජගාම විකොපනයෙන් වැළැකියේ වෙයි. රාත්‍රිභොජනයෙන් දුරු වූයේ විකල් බොජුනෙන් වැළැකියේ ඒකභක්තික වෙයි. නැටුම් ගැයුම් විසුලු දස්නෙන් බොජුනෙන් වැළැකියේ වෙයි. මල් ගඳ විලෙවුන් දැරුම් උනුතැන් පිරවීම් සිරුරු සැරැහුම් යන කරුණින් වැළැකියේ වෙයි. උසස්නෙන් හා මහස්නෙන් වැළැකියේ වෙයි. රන් රිදී පිළි ගැනුමෙන් වැළැකියේ වෙයි. ආමක ධාන්‍ය පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. අමු මස් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. ස්ත්‍රීන් හා කුමාරිකාවන් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. දැසි දස් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. එළුතිරෙළු වන් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. කුකුළුන් හා හූරන් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. ස්ත්‍රීන් ගෙරි අසුන් වෙළඹුන් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. කෙත් වත් පිළිගැනුමෙන් වැළැකියේ වෙයි. දූතගමන ප්‍රහෙණගමනෙහි යෙදුමෙන් වැළැකියේ වෙයි. ක්‍රය වික්‍රයෙන් වැළැකියේ වෙයි. තුලා කූට, කංස කූට, මාන කූටයෙන් වැළැකියේ වෙයි. ලස්ගෙන හිමියන් අහිමියෙන් කිරීමය, වඤ්චනාය, මායායෝගය යන මෙදැයින් වැළැකියේ වෙයි. ඡෙදනය, මරණය බන්‍ධනය, මං පැහැරීමය, ගම් පැහැරීමය, සාහසික ක්‍රියාය යන මෙයින් වැළැකියේ වෙයි.
හේ කායපාරිහාරක චීවරයෙනුදු කුච්ඡිපාරිහාරික පිඬුවායෙනුදු සතුටු වෙයි. යම් ම දිගෙක යේ නම්, රැගෙන ම යෙයි. යම් පරිදි පක්ෂි ශකුනයෙක් යම් ම දිගෙක ඉගිල යේ නම් සපත්‍රහාරව ම ඉගිල යෙයි ද එසෙයින් මහණ කායපාරිහාරික චීවරයෙනුදු කුක්ෂිපාරිහාරික පිණ්ඩපාතයෙනුදු සතුටු වෙයි. යම් ම දිගෙක යේ නම් රැගෙන ම යෙයි. හේ මෙ ආර්‍ය්‍ය ශිලස්කන්‍ධයෙන් සමන්වාගත වූයේ අධ්‍යාත්මයෙහි අනවද්‍ය සුඛය විඳුනේය.
හේ චක්ෂුසින් රූපයක් දැක නිමිති නොගන්නා සුලු වෙයි. අනුව්‍යඤ්ජන නොගන්නා සුලු වෙයි. යම් හේතුයෙකින් චක්ෂුරීන්‍ද්‍රියය අසංවෘත කොට වසන තෙල මහණහු ලමු අකුසල් දම් වූ අභිධ්‍යා දෞම්නස්‍යයෝ නුහුබඳනාහු නම් එ සංවරය සඳහා පිළිපදනේය. චක්ෂුරීන්‍ද්‍රියය රක්නේ ය, චක්ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
ශොත්‍රයෙන් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධය ආඝ්‍රාණ කොට ... දිවින් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය පැහැස ... මනසින් ධර්‍මය දැන නිමිති නොගන්නා සුලු අනුව්‍යඤ්ජන නොගන්නා සුලු වෙයි. යම් හෙයකින් මනසින්‍ද්‍රිය ය අසංවෘත කොට වෙසෙන තෙල මහණහු ලමු පවු දහම් වන අභිධ්‍යා දෞර්‍මනස්‍යයෝ නුහුබඳනාහු ද, එ සංවරය සඳහා පිළිපදනේය. මනින්‍ද්‍රියය රක්නේ ය. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හේ මෙ ආර්‍ය්‍ය ඉන්‍ද්‍රිය සංවරයෙන් සමන්වාගත වූයේ අධ්‍යාත්මයෙහි අව්‍යාශෙක සුඛය විඳුනේ ය.
හේ ඉදිරි ගමනෙහි දු පෙරළා ගමනෙහි දු සම්ප්‍රජන්‍යකාරී වෙයි. ඉදිරි බැල්මෙහි දු පසු බැල්මෙහි දු සම්ප්‍රජන්‍යකාරී වෙයි. අත් පා හැකුළුම්හි දු විහිදුම්හි දු සම්ප්‍රජන්‍යකාරී වෙයි. සඟළ පා සිවුරු ධැරුම්හි සම්ප්‍රජන්‍යකාරී වෙයි. අශිතයෙහි දු, පීතයෙහි දු, ඛායිතයෙහු දු, සායිතයෙහි දු සම්ප්‍රජන්‍යකාරී වෙයි. උච්චාර - ප්‍රස්‍රාව කර්‍මයෙහි සම්ප්‍රජන්‍යකාරී වෙයි. ගමනෙහි දු, සිටුම්හි දු, හිඳුම්හි දු, හෙවීම්හි දු නිදිවැරුම්හි දු භාෂිතයෙහි දු තූෂ්ණීම්භාවයෙහි දු සම්ප්‍රජන්‍යකාරී වෙයි.
හේ මෙ ආර්‍ය්‍යශිලස්කන්‍ධයෙනු දු සමන්වාගත වූයේ මේ ආර්‍ය්‍ය ඉන්‍ද්‍රිය සංවරයෙනුදු සමන්වාගත වූයේ මේ ආර්‍ය්‍ය ස්මෘති සම්ප්‍රජන්‍යයෙනුදු සමන්වාගත වූයේ ජනසම්බාධා රහිත සෙනසුන් වන අරණ්‍යය, වෘක්ෂ මූලය, පර්‍වතය, කන්‍දරය, ගිරිගුහාය, ශමසානය, වනපෙතය, අබවසය, තණසෙවෙණිය බෙජෙයි. හේ අරණට ගියේ වේවයි රුක්මුලට ගියේ වේවයි ජනශූණ්‍යාගාරයට ගියේ වේවයි පලක් බැඳ කය ඉදු කොට තබා සිහිය පරිමුඛ කොට එළවා හිඳුනේය.
හේ පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත ලොව්හි අභිධ්‍යාව දුරු කොට පහව ගිය අභිධ්‍යා ඇති සිතින් වාසය කරණේය. අභිධ්‍යායෙන් සිත පිරිසුදු කෙරෙයි. ව්‍යාපාද ප්‍රද්වෙෂය දුරු කොට ව්‍යාපාදයට නො අවන් සිතින් සිතැතියේ සර්‍වප්‍රාණභූතයනට හිතානුකම්පා ඇතියේ වාසය කරයි. ව්‍යාපාද ප්‍රද්වේෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය දුරුකොට පහව ගිය ස්ත්‍යානමිද්ධ ඇතියේ ආලොක සංඥා ඇතියේ ස්මෘතිමත් වූයේ සම්‍යක් ප්‍රඥා ඇත්තේ ස්ත්‍යානමිද්ධයෙන් සිත පිරිසුදු කෙරෙයි. ඖද්ධත්‍ය කෞකෘත්‍යය දුරු කොට උද්ධත නො වූයේ අධ්‍යාත්මයෙහි ව්‍යුපශාන්ත චිත්ත ඇතියේ වාසය කරයි. ඖද්ධත්‍ය කෞකෘත්‍යයෙන් සිත පිරිසුදු කෙරෙයි. විචිකිත්සාව දුරු කොට තරණ කළ විචිකිත්සාව ඇතියේ කුශල ධර්‍මයන් විෂයයෙහි කථංකථි නොවූයේ විචිකිත්සායෙන් සිත පිරිසිදු කෙරෙයි.
හේ මේ චිත්තොපක්ලේශ වන ප්‍රඥාව දුර්‍වල කරණ පඤ්චනීවරණයන් දුරු කොට කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්ක සහිත විචාර සහිත විවෙකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. උපාලි, එ කුමැයි හඟිව් ද? මෙ විහාරය පළමු විහරණයට වඩා අභික්කන්තර වූයෙත් ප්‍රණීතතර වූයේත් නොවේ ද?
වහන්ස, එසේය.
උපාලි, මාගේ ශ්‍රාවකයෝ මෙ දහම ද තමා කෙරෙහි දක්මින් අරණු දු, වනපෙත් දු, දුරුසෙනසුනු දු සෙවුනාහ. එතෙකුදු වුව පිළිවෙලින් පැමිණි ස්වාර්ථ (අර්හත්‍ව) ය ඇත්තාහුව වාසය නො කරත් මැයි.
තවද, උපාලි, මහණ විතර්ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් - පෙ - ද්වීතීය ධ්‍යානයට එළඹ වාසය කරයි. උපාලි, ඒ කුමැයි හඟුව? මෙ විහාරය පළමු විහරණයට වඩා අභිකාන්තතරත් ප්‍රණීතතරත් නොවේ ද?
වහන්ස, එසේය.
උපාලි, මාගේ ශ්‍රාවකයෝ මෙ දහම දු තමා තුළ දක්මින් අරණු දු, වනපෙතු දු, දුරු සෙනසුන් ද සෙවුනාහ. එතෙකුදු වුව පිළිවෙලින් පත් ස්වාර්ථ ඇත්තාහු නොම වෙසෙත්.
තවද උපාලි, මහණ ප්‍රීතියෙනුදු විරාගයෙන් - පෙ - තෘතීයධ්‍යානයට එළඹ වෙසෙයි. උපාලි, එ කුමැයි හඟුව? මෙ විහාරය පළමු විහාරයනට වඩා අභිකාන්තතර හා ප්‍රණීතතර හා නො වේද?
වහන්ස, එසේය.
උපාලි, මෙ දහම ද මාගේ ශ්‍රාවකයෝ තමන් කෙරෙහි දක්නාහු අරණු දු, වනපෙතු දු, දුරු සෙනසුනු දු සෙවුනාහ. එතෙකුදු වුව පිළිවෙලින් පැමිණි ස්වාර්ථ ඇත්තාහු නො ම වෙසෙත්.
තවද උපාලි, මහණ සුඛප්‍රහාණයෙනුදු - පෙ - චතුර්ථධ්‍යානයට පැමිණ වෙසෙයි. උපාලි, ඒ කුමැයි හඟුව? මෙ විහාරය පළමු විහාරයනයට වඩා අභිකාන්තතරත් ප්‍රණීතතරත් නොවේ ද?
වහන්ස, එසේය.
උපාලි, මෙ දහම ද මාගේ සව්වෝ තමන් කෙරෙහි දක්නාහු අරණු දු, වනපෙතු දු, දුරු සෙනසුනු දු සෙව්නාහ. එතෙකුදු වුව පිළිවෙළින් පත් ස්වාර්ථ ඇත්තාහු නො වෙසෙත්.
තවද උපාලි, මහණ සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් මොනොවට ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍ව සංඥාවන්ගේ අමනසිකාරයෙන් කිසුණු ඉගුලු අහස අනතැ’යි ආකාසානඤ්චයතනයට එළඹ වෙසෙයි. උපාලි, එකුමැ යි හඟුව? මෙ විහාරය පළමු විහාරයනට වඩා අභිකාන්තතර හා ප්‍රණීතතර හා නො වේ ද?
වහන්ස එසේය.
උපාලි, මාගේ ශ්‍රාවකයෝ මෙ දහම ද තමන් කෙරෙහි දක්නා හු අරණ්‍යයනු දු, වනපෙතු දු, ප්‍රාන්තශයනාසනයනු දු සෙවුනාහ. එතෙකුදු වුව අනුප්‍රාප්ත ස්වාර්ථ ඇත්තාහු නො වෙසෙත්.
තවද උපාලි, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසනඤ්චායතනය සමතික්‍රම කොට ‘විඥානය අනන්තය’යි විඤ්ඤාණඤ්චයතනයට එළඹ වෙසෙයි. ... - පෙ -
සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චයතනය ඉක්ම ‘කිසිදු නැති’යි ආකිඤ්චඤ්ඤායතනයට එළඹ වෙසෙයි. ...
සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනයට ඉක්ම ‘තෙල ශාන්තය, තෙල ප්‍රණීතය’යි නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට එළඹ වෙසෙයි. උපාලි, එ කිමැයි හඟුව? මෙ විහාරය පළමු විහාරයනට වඩා අභිකාන්තතර හා ප්‍රණීතතර හා නො වේ දැයි!
වහන්ස, එසේය.
උපාලි, මාගේ සව්වෝ මෙ දහම ද තමන් කෙරෙහි දක්නාහු අරණු දු, වනපෙතු දු, දුරු සෙනසුනු දු සෙවුනාහ. එතෙකුදු වුව පිළිවෙළින් පත් රහත්ඵල ඇත්තාහු නො වෙසෙත් මැයි.
උපාලි, තවද මහණ සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය සමතික්‍රම කොට සංඥාවේදයිත නිරෝධයට එළඹ වෙසෙයි. ඔහු ප්‍රඥායෙන් දැක ඔහුගේ ආස්‍රවයෝ ද පරික්ෂීණ වෙත. උපාලි, ඒ කිමැයි හඟුව? මෙ විහාරය පළමු විහාරයනට වඩා අභිකාන්තතර හා ප්‍රණීතතර හා නොවේ ද?
වහන්ස, එසේය.
උපාලි, මාගේ ශ්‍රාවකයෝ මේ දහම ද තමන් තුළ දක්නාහු අරණ්‍යය ද වාන ප්‍රස්ථයන් ද ප්‍රාන්තශයනාසනයන් ද සෙවුනාහ. එතෙකුදු වුව අනුප්‍රාප්ත ස්වාර්ථ ඇත්තාහු නො වෙසෙත්.
උපාලි, එහෙයින් තෝ සඟුන් කෙරෙහි වසව, සඟුන් කෙරෙහි වසන තොපට පහසු වන්නේ ය යි.