396. සාවත්ථියං-
396. සැවැත්නුවර-
තත්‍ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි: ආවුසො භික්ඛවොති. ආවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
එහි දී ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’යි භික්ෂූන් ඇමතූහ. ඒ භික්ෂුහු ‘ඇවැත්නි’යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙය වදාළහ.
ඉධ මය්හං ආවුසො, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “අත්ථි නු ඛො තං කිඤ්චි ලොකස්මිං යස්ස මෙ විපරිනාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා”ති.
ඇවැත්නි, මෙහි එකලා ව විවෙකී ව හුන් මට “යම්බඳු මට විපරිණාම අන්‍යථාභාවයෙන් (=යමක් පෙරෙළීම වෙනස් වීම නිසා) සෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාසයෝ උපදනාහු නම් එබඳු කිසිවක් ලොව ඇද්දෝ” යි මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය.
තස්ස මය්හං ආවුසො, එතදහොසි: “නත්ථි ඛො තං කිඤ්චි ලොකස්මිං යස්ස මෙ විපරිනාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා”ති.
ඇවැත්නි, ඒ මට “යම්බඳු මට විපරිණාම - අන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාසයෝ උපදනාහු නම් එබඳු කිසිවක් ලොව නැතැ” යි මෙ සිත විය.
එවං වුත්තෙ ආයස්මා ආනන්‍දො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “සත්‍ථුපි ඛො තෙ ආවුසො, සාරිපුත්ත විපරිනාමඤ්ඤථාභාවා නූප්පජ්ජෙය්‍යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා”ති.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ඳ තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ශාස්තෲන් වහන්සේගේ ද විපරිණාම අන්‍යථාභාවයෙන් ඔබ වහන්සේට සෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාසයෝ නූපදනාහු දැ”යි මෙය කීහ.
සත්ථුපි ඛො මෙ ආවුසො, විපරිණාමඤ්ඤථාභාවා නූප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. අපි ච මෙ එවමස්ස: මහෙසක්ඛො වත භො සත්තො අන්තරහිතො මහිද්ධිකො මහානුභාවො. සචෙ හි භගවා චිරං දීඝමද්ධානං තිට්ඨෙය්ය, තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති.
ඇවැත්නි, ශාස්තෲන් වහන්සේගේ ද විපරිණාම අන්‍යථාභාවයෙන් මට සෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාසයෝ නූපදනාහු ය. වැලිදු මට “පින්වත්නි, ඒකාන්තයෙන් මහේශාක්‍ය වු මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති සත්වයෙක් අතුරුදන් වූයේ ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ බොහෝ දිගුකලක් සිටුනා සේක් නම් එය බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස සුව පිණිස වන්නේ ය යි මෙසේ සිතෙන්නේ ය
තථා හි පනායස්මතො සාරිපුත්තස්ස දීඝරත්තං අහිඞ්කාරමමිංකාරමානානුසයා සුසමූහතා. තස්මා ආයස්මතො සාරිපුත්තස්ස සත්ථුපි විපරිණාමඤ්ඤථාභාවා නූප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති.
ඒ එසේ මැයි: ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ විසින් දිගු කලෙක අභිංකාරමමිඞ්කාරමානානුසයෝ මැනවින් උපුටා හරිණ ලදහ. එහෙයින් ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේට ශාස්තෲන් වහන්සේගේ ද විපරිණාම අන්‍යථාභාවයෙන් සෝක පරිදෙව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහ යි.