1. එවං මෙ7 සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
1. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජෙතවන නම් වූ අනේපිඬුසිටුගේ ආරාමයෙහි වැඩවාසය කරන සේක. භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතු සේක. ඒ භික්ෂූහු වහන්සැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සුහ. භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය වදාළ සේක.
2. සබ‍්බාසවසංවරපරියායං වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි,8 තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
2. මහණෙනි, තොපට සියලු ආශ්‍රවයන්ගේ සංවරකාරණය (අනුප්පාද හේතුව) දෙශනා කරන්නෙමි. එය අසව. මනා කොට මෙනෙහි කරව. දෙසමි යි වදාළ සේක. “එසේ ය වහන්සැ” යි ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක:
3. ජානතො අහං භික්ඛවෙ පස්සතො ආසවානං ඛයං වදාමි, නො අජානතො, නො අපස්සතො. කිඤ්ච භික්ඛවෙ ජානතො කිං9 පස්සතො ආසවානං ඛයො හොති?10 යොනිසො ච මනසිකාරං11 අයොනිසො ච මනසිකාරං. අයොනිසො භික්ඛවෙ මනසිකරොතො අනුප්පන්නා චෙව ආසවා උප්පජ්ජන්ති, උප්පන්නා ච ආසවා පවඩ්ඪන්ති. යොනිසො12 ච ඛො භික්ඛවෙ මනසිකරොතො අනුප්පන්නා චෙව ආසවා න උප්පජ්ජන්ති, උප්පන්නා ච ආසවා පහීයන්ති.13
3. මහණෙනි, මම (නුවණින්) දන්නහුට දක්නහුට ආස්‍රවයන්ගේ ක්‍ෂය කිරීම කියමි. නො දන්නහුට නො දක්නහුට නො කියමි. යලි දු මහණෙනි, කුමක් දන්නහුට කුමක් දක්නහුට ආස්‍රව ක්‍ෂය වේ ද? යොනිසොමනසිකාරය ද අයොනිසොමනසිකාරය ද (දන්නහුට දක්නහුට ආස්‍රව ක්‍ෂය) වේ. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නහුට නුපන්නා වූ ද ආස්‍රවයෝ උපදිති. උපන්නාවූ ද ආස්‍රවයෝ වැඩෙති. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නුපන්නා වූ ද ආස්‍රවයෝ නුපදිති. උපන්නා වූ ද ආස්‍රවයෝ ප්‍රහීණ වෙති.
4. අත්ථි භික්ඛවෙ ආසවා දස්සනා පහාතබ්බා, අත්ථි ආසවා සංවරා පහාතබ්බා, අත්ථි ආසවා පටිසෙවනා පහාතබ්බා, අත්ථි ආසවා අධිවාසනා පහාතබ්බා, අත්ථි ආසවා පරිවජ්ජනා පහාතබ්බා, අත්ථි ආසවා විනොදනා පහාතබ්බා, අත්ථි ආසවා භාවනා පහාතබ්බා.
4. මහණෙනි, සෝවන්මගනුවණින් පහ කළ යුතු ආස්‍රව ඇත. ස්මෘතිසඞ්ඛ්‍යාත සංවරයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ඥානසංවරසඞ්ඛ්‍යාත ප්‍රත්‍යවෙක්ෂාප්‍රතිසෙවනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ක්ෂාන්තිසංවරසඞ්ඛ්‍යාත අධිවාසනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ශීලසංවරසඞ්ඛ්‍යාත පරිවර්ජනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. වීර්යසංවරසඞ්ඛ්‍යාත විනොදනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. උපරිමාර්ගත්‍රය හා සම්ප්‍රයුක්ත බොධ්‍යඞ්ගයන්ගේ භාවනාවෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.
5. කතමෙ ච භික්ඛවෙ ආසවා දස්සනා පහාතබ්බා? ඉධ භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො මනසිකරණීයෙ ධම්මෙ නප්පජානාති, අමනසිකරණීයෙ ධම්මෙ නප්පජානාති. සො මනසිකරණීයෙ ධම්මෙ අප්පජානන්තො අමනසිකරණීයෙ ධම්මෙ අප්පජානන්තො යෙ ධම්මා න මනසිකරණීයා තෙ ධම්මෙ මනසි කරොති, යෙ ධම්මා මනසිකරණීයා තෙ ධම්මෙ න මනසි කරොති.
5. මහණෙනි, සෝවාන්මග නුවණින් පහ කළ යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ ලොකයෙහි බුද්ධාදී ආර්යයන් නො දක්නා වූ ආර්යධර්මයෙහි අදක්‍ෂ වූ ආර්යධර්මයෙහි නො හික්මුණාවූ, බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ මෙනෙහි කළ යුතු ධර්මයන් නො දනී. මෙනෙහි නො කළ යුතු ධර්මයන් නො දනී. මෙනෙහි කළ යුතු ධර්මයන් නො දන්නා නො මෙනෙහි කළ යුතු ධර්මයන් නො දන්නා හෙ තෙමේ යම් ධර්ම කෙනෙක් නො මෙනෙහි කළ යුත්තාහු නම්, ඒ ධර්මයන් මෙනෙහි කෙරෙයි. යම් ධර්ම කෙනෙක් මෙනෙහි කළ යුත්තාහු නම්, ඒ ධර්මයන් මෙනෙහි නො කෙරෙයි.
6. කතමෙ ච භික්ඛවෙ ධම්මා න මනසිකරණීයා යෙ ධම්මෙ මනසි කරොති? යස්ස භික්ඛවෙ ධම්මෙ මනසි කරොතො අනුප්පන්නො වා කාමාසවො උප්පජ්ජති, උප්පන්නො වා කාමාසවො පවඩ්ඪති, අනුප්පන්නො වා භවාසවො උප්පජ්ජති, උප්පන්නො වා භවාසවො පවඩ්ඪති, අනුප්පන්නො වා අවිජ්ජාසවො උප්පජ්ජති, උප්පන්නො වා අවිජ්ජාසවො පවඩ්ඪති. ඉමෙ ධම්මා න මනසිකරණීයා යෙ ධම්මෙ මනසි කරොති.
6. මහණෙනි, යම් ධර්ම කෙනෙකුන් මෙනෙහි කෙරේ නම්, මෙනෙහි නො කළ යුතු ඒ ධර්මයෝ කවරහ? යත්: මහණෙනි, යම් ධර්මකෙනෙකුන් මෙනෙහි කරන්නහුට නූපන් කාමාස්‍රවය හෝ උපදී ද, උපන් කාමාස්‍රවය හෝ වැඩේ ද, නූපන් භවාස්‍රවය හෝ උපදී ද, උපන් භවාස්‍රවය හෝ වැඩේ ද, නූපන් අවිද්‍යාස්‍රවය හෝ උපදී ද, උපන් අවිද්‍යාස්‍රවය හෝ වැඩේ ද, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කෙරේ නම්, මොහු ඒ මෙනෙහි නො කළ යුතු ධර්මයෝ යි.
7. කතමෙ ච භික්ඛවෙ ධම්මා මනසිකරණීයා යෙ ධම්මෙ න මනසි කරොති? යස්ස භික්ඛවෙ ධම්මෙ මනසි කරොතො අනුප්පන්නො වා කාමාසවො න උප්පජ්ජති, උප්පන්නො වා කාමාසවො පහීයති1; අනුප්පන්නො වා භවාසවො න උප්පජ්ජති, උප්පන්නො වා භවාසවො පහීයති; අනුප්පන්නො වා අවිජ්ජාසවො න උප්පජ්ජති, උප්පන්නො වා අවිජ්ජාසවො පහීයති. ඉමෙ ධම්මා මනසිකරණීයා යෙ ධම්මෙ න මනසි කරොති.
7. මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කළ යුතු ඒ ධර්මයෝ කවරහ? යත්: මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කරන්නහුට නූපන් කාමාස්‍රවය හෝ නූපදී ද, උපන් කාමාස්‍රවය හෝ ප්‍රහීණ වේ ද, නූපන් භවාස්‍රවය හෝ නූපදී ද, උපන් භවාස්‍රවය හෝ ප්‍රහීණ වේ ද, නූපන් අවිද්‍යාස්‍රවය හෝ නූපදී ද, උපන් අවිද්‍යාස්‍රවය හෝ ප්‍රහීණ වේ ද, යම් ධර්ම කෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මොහු ඒ මෙනෙහි කළ යුතු ධර්මයෝ යි.
8. තස්ස අමනසිකරණීයානං ධම්මානං මනසිකාරා මනසිකරණීයානං ධම්මානං අමනසිකාරා අනුප්පන්නා චෙව ආසවා උප්පජ්ජන්ති උප්පන්නා ච ආසවා පවඩ්ඪන්ති.
8. මෙනෙහි නො කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් නො මෙනෙහි කිරීමෙන් ඔහුට නූපන්නා වූ ද, ආස්‍රවයෝ උපදිති. උපන්නා වූ ද ආස්‍රවයෝ වැඩෙති.
9. සො එවං අයොනිසො මනසි කරොති: අහොසිං නු ඛො අහං අතීතමද්ධානං, න නු ඛො අහොසිං අතීතමද්ධානං, කින්නු ඛො අහොසිං අතීතමද්ධානං, කථන්නු ඛො අහොසිං අතීතමද්ධානං, කිං හුත්වා කිං අහොසිං නු ඛො අහං අතීතමද්ධානං. භවිස්සාමි නු ඛො අහං අනාගතමද්ධානං, න නු ඛො භවිස්සාමි අනාගතමද්ධානං, කින්නු ඛො භවිස්සාමි අනාගතමද්ධානං, කථන්නු ඛො භවිස්සාමි අනාගතමද්ධානං, කිං හුත්වා කිං භවිස්සාමි නු ඛො අහං අනාගතමද්ධානන්ති.1 එතරහි වා පච්චුප්පන්නං2 අද්ධානං අජ්ඣත්තං කථංකථී හොති: අහං නු ඛොස්මි, නො නු ඛොස්මි, කින්නු ඛොස්මි, කථං නු ඛොස්මි, අයං නු ඛො සත්තො කුතො ආගතො; සො කුහිං ගාමී භවිස්සතීති.
9. හෙ තෙමේ මෙසේ නුනුවණින් මෙනෙහි කරයි: මම අතීත කාලයෙහි වූයෙම් දෝ හෝ, අතීත කාලයෙහි නුවූයෙම් දෝ හෝ, අතීත කාලයෙහි (ජාත්‍යාදි විසින්) කවරෙක් වූයෙම් දෝ හෝ, අතීත කාලයෙහි (සටහන් විසින්) කෙසේ වූයෙම් දෝ හෝ, මම අතීත කාලයෙහි කවරෙක් ව සිට කවරෙක් වූයෙම් දෝ හෝ, මම අනාගත කාලයෙහි වෙම් දෝ හෝ, අනාගත කාලයෙහි නො වෙම් දෝ හෝ, අනාගත කාලයෙහි කවරෙක් වෙම් දෝ හෝ, අනාගත කාලයෙහි කෙසේ වෙම් දෝ හෝ, මම අනාගත කාලයෙහි කවරෙක් වැ සිට කවරෙක් වෙම් දෝ හෝයි. දැන් වර්තමානයෙහි ද තම කෙරෙහි සැක ඇත්තේ වෙයි: මම වෙම් දෝ හෝ, මම නො වෙම් දෝ හෝ, කවරෙක් වෙම් දෝ හෝ, කෙසේ වෙම් දෝ හෝ, මේ සත්ත්වතෙම කොයින් ආයේ දෝ හෝ, හේ කොයි යන්නේ දෝ හෝ යි.
10. තස්ස එවං අයොනිසො මනසිකරොතො ඡන්නං දිට්ඨීනං අඤ්ඤතරා දිට්ඨි උප්පජ්ජති: අත්ථි මෙ අත්තාති වාස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති, නත්ථි මෙ අත්තාති වාස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති, අත්තනාව අත්තානං සඤ්ජානාමීති වාස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති, අත්තනාව අනත්තානං සඤ්ජානාමීති වාස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති, අනත්තනාව අත්තානං සඤ්ජානාමීති වාස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති. අථ වා පනස්ස එවං දිට්ඨි හොති: යො3 මෙ අයං අත්තා වදො වෙදෙෙය්යා4 තත්ර තත්ර කල්යාණපාපකානං කම්මානං විපාකං පටිසංවෙදෙති, සො ඛො පන මෙ අයං අත්තා නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො සස්සතිසමං තථෙව ඨස්සතීති. ඉදං වුච්චති භික්ඛවෙ දිට්ඨිගතං දිට්ඨිගහනං5 දිට්ඨිකන්තාරො6 දිට්ඨිවිසූකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසංයොජනං. දිට්ඨිසංයොජනසංයුත්තො භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො න පරිමුච්චති ජාතියා ජරාමරණෙන7 සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි;8 න පරිමුච්චති දුක්ඛස්මාති වදාමි.
10. මෙසේ නුනුවණින් මෙනෙහි කරණ ඔහුට සවැදෑරුම් දෘෂ්ටීන් අතුරෙන් එක්තරා දෘෂ්ටියෙක් උපදී: මාගේ ආත්මය ඇතැයි සත්‍යවශයෙන් ස්ථීරවශයෙන් ඔහුට (ශාශ්වත) දෘෂ්ටිය උපදී. මාගේ ආත්මය නැතැයි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට (උච්ඡේද) දෘෂ්ටිය උපදී. (සංඥාස්කන්ධසඞක්‍යාත) මම් ම (තදන්‍යස්කන්ධසඞක්‍යාත) ආත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. (සංඥාස්කන්ධසඞක්‍යාත) මම් ම (තදන්‍යස්කන්ධසඞක්‍යාත) අනාත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. අනාත්ම වූ (සංඥාසඞක්‍යාත) මම් ම (තදන්‍යස්කන්ධසඞක්‍යාත) ආත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. යලි දු ඔහුට මෙබඳු දෘෂ්ටියක් වෙයි: මාගේ යම් මේ ආත්මයක් බණනුයේ (වාක්කර්ම කරන්නේ) සුවදුක් විඳ ගනුයේ ඒ ඒ තැන කුශලාකුශලකර්මවිපාකය විඳී ද, මා සතු ඒ මේ ආත්මය වනාහි නිත්‍ය ය. තහවුරු ය. සාර්වකාලිකය. නො පෙරෙළන ස්වභාව ඇත්තේ ය. ශාශ්වතිකයන් මෙන් නො වෙනස් ව සිටින්නේ ය යි කියා යි. මහණෙනි, මෙය දෘෂ්ටිගත යයි ද, දෘෂ්ටිගහන ය යි ද, දෘෂ්ටිකාන්තාර ය යි ද, (සම්දිටු විනිවිදිනා හෙයින්) දෘෂ්ටිවිශුක ය යි ද, දෘෂ්ටිසංයෝජන ය යි ද කියනු ලැබේ. මහණෙනි, දෘෂ්ටිසංයෝජනයෙන් සංයුක්ත වූ අශ්‍රැතවත් පෘතග්ජන තෙම ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශොකයෙන්, වැලපීමෙන්, කායිකදුකින්, මානසිකදුකින්, දැඩි ආයාසයෙන් නො මිදේ. සියලු සසර දුකින් නො මිදේ ය යි කියමි.
11. සුතවා ච ඛො භික්ඛවෙ අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො මනසිකරණීයෙ ධම්මෙ පජානාති, අමනසිකරණීයෙ ධම්මෙ පජානාති. සො මනසිකරණීයෙ ධම්මෙ පජානන්තො අමනසිකරණීයෙ ධම්මෙ පජානන්තො යෙ ධම්මා න මනසිකරණීයා තෙ ධම්මෙ න මනසි කරොති, යෙ ධම්මා මනසිකරණීයා තෙ ධම්මෙ මනසි කරොති.
11. මහණෙනි, ආර්යයන් දක්නාසුලු, ආර්යධර්මයෙහි දක්ෂ, ආර්යධර්මයෙහි මොනවට හික්මුණු, සත්පුරුෂයන් දක්නා සුලු, සත්පුරුෂධර්මයෙහි දක්ෂ, සත්පුරුෂධර්මයෙහි මොනවට හික්මුණු ශ්‍රැතවත් (ආගමාධිගමසම්පන්න) ආර්යශ්‍රාවක තෙමේ මෙනෙහි කළ යුතු ධර්ම දනී. මෙනෙහි නො කළ යුතු ධර්ම දනී. හෙ තෙමේ මෙනෙහි කළ යුතු ධර්ම දන්නේ මෙනෙහි නො කළ යුතු ධර්ම දන්නේ යම් ධර්ම මෙනෙහි නො කළ යුතු නම්, ඒ ධර්ම මෙනෙහි නො කරයි. යම් ධර්ම මෙනෙහි කළ යුතු නම්, ඒ ධර්ම මෙනෙහි කරයි.
12. කතමෙ ච භික්ඛවෙ ධම්මා න මනසිකරණීයා, යෙ ධම්මෙ න මනසි කරොති? යස්ස භික්ඛවෙ ධම්මෙ මනසි කරොතො අනුප්පන්නො වා කාමාසවො උප්පජ්ජති, උප්පන්නො වා කාමාසවො පවඩ්ඪති. අනුප්පන්නො වා භවාසවො1 -පෙ- අවිජ්ජාසවො උප්පජ්ජති, උප්පන්නො වා අවිජ්ජාසවො පවඩ්ඪති. ඉමෙ ධම්මා න මනසිකරණීයා යෙ ධම්මෙ න මනසි කරොති.
12. මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි නො කළ යුතු වූ ඒ ධර්මයෝ කවරහ? යත්: මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කරන ඔහුට නූපන්නා වූත් කාමාස්‍රවය උපදී ද, උපන්නා වූත් කාමාස්‍රවය වැඩේ ද, නූපන්නාවුත් භවාස්‍රවය උපදී ද, උපන්නා වුත් භවාස්‍රවය වැඩේ ද, නූපන්නාවුත් අවිද්‍යාස්‍රවය උපදී ද, උපන්නා වූත් අවිද්‍යාස්‍රවය වැඩේ ද, මොහු වනාහි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි නො කළ යුතු වූ ඒ ධර්මයෝ යි.
13. කතමෙ ච භික්ඛවෙ ධම්මා මනසිකරණීයා යෙ ධම්මෙ මනසි කරොති? යස්ස භික්ඛවෙ ධම්මෙ මනසි කරොතො අනුප්පන්නො වා කාමාසවො න උප්පජ්ජති, උප්පන්නො වා කාමාසවො පහීයති, අනුප්පන්නො වා භවාසවො2 -පෙ- අවිජ්ජාසවො න උප්පජ්ජති, උප්පන්නො වා අවිජ්ජාසවො පහීයති. ඉමෙ ධම්මා මනසිකරණීයා යෙ ධම්මෙ මනසි කරොති.
13. මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කෙරේ නම්, මෙනෙහි කළ යුතු වූ ඒ ධර්මයෝ කවරහ? යත්: මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කරන ඔහුට නූපන්නා වූත් කාමාස්‍රවය නො උපදී ද, උපන්නා වූත් කාමාස්‍රවය ප්‍රහීණ වේ ද, නූපන්නා වූත් භවාස්‍රවය නො උපදී ද, උපන්නා වූත් භවාස්‍රවය ප්‍රහීණ වේ ද, නූපන්නා වූත් අවිද්‍යාස්‍රවය නො උපදී ද, උපන්නා වූත් අවිද්‍යාස්‍රවය ප්‍රහීණ වේ ද, මොහු වනාහි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මයෝ යි.
14. තස්ස අමනසිකරණීයානං ධම්මානං අමනසිකාරා මනසිකරණීයානං ධම්මානං මනසිකාරා අනුප්පන්නා චෙව ආසවා න උප්පජ්ජන්ති, උප්පන්නා ච ආසවා පහීයන්ති. සො ඉදං දුක්ඛන්ති යොනිසො මනසි කරොති, අයං දුක්ඛසමුදයොති යොනිසො මනසි කරොති, අයං දුක්ඛනිරොධොති යොනිසො මනසි කරොති, අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යොනිසො මනසි කරොති. තස්ස එවං යොනිසො මනසිකරොතො තීණි සංයොජනානි පහීයන්ති: සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො3. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා දස්සනා පහාතබ්බා.
14. ඔහුට මෙනෙහි නො කළ යුතු ධර්මයන් මෙනෙහි නො කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නූපන් ආස්‍රවයෝත් නූපදිත්, උපන් ආස්‍රවයෝත් ප්‍රහීණ වෙත්. හේ මේ දුකැයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛසමුදය යි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛනිරොධය යි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛනිරොධගාමිනීපටිපදාය යි නුවණින් මෙනෙහි කරයි. මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙත. මහණෙනි, මොහු දර්ශනයෙන් (සෝවන් මඟින්) ප්‍රහීණ කළ යුතු ආස්‍රවයෝ යි කියනු ලැබෙත්.
15. කතමෙ ච භික්ඛවෙ ආසවා සංවරා පහාතබ්බා? ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො චක්ඛුන්ද්රියසංවරසංවුතො විහරති. යං4 හිස්ස භික්ඛවෙ චක්ඛුන්ද්රියසංවරං අසංවුතස්ස විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, චක්ඛුන්ද්රියසංවරසංවුතස්ස විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. පටිසඞ්ඛා යොනිසො සොතින්ද්රියසංවරසංවුතො විහරති -පෙ- ඝානින්ද්රියසංවරසංවුතො විහරති -පෙ- ජිව්හින්ද්රියසංවරසංවුතො විහරති -පෙ- කායින්ද්රියසංවරසංවුතො විහරති -පෙ- පටිසඞ්ඛා යොනිසො මනින්ද්රියසංවරසංවුතො විහරති. යං හිස්ස භික්ඛවෙ මනින්ද්රියසංවරං අසංවුතස්ස විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, මනින්ද්රියසංවරසංවුතස්ස විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. යං හිස්ස භික්ඛවෙ සංවරං අසංවුතස්ස විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, සංවරසංවුතස්ස විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා සංවරා පහාතබ්බා.
15. මහණෙනි, සංවරයෙන් ප්‍රහීණ කළ යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ නුවණින් සලකා චක්ෂුන්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද, මහණෙනි, චක්ෂුන්ද්‍රිය සංවරයෙන් සංවෘත නො වී වසන්නහුට පීඩා කර වූ යම් (ක්ලේශ විපාක) පරිදාහ කෙනෙක් උපදිත් නම්, චක්ෂුන්ද්‍රිය සංවර සංවෘත ව වසන ඔහුට මෙසේ ඒ පීඩාකර පරිදාහයෝ නො වෙත්. නුවණින් සලකා ශෝතෙන්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද… නුවණින් සලකා ඝ්‍රාණෙන්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද… ජිව්හෙන්ද්‍රියසංවරයෙන්… කායෙන්ද්‍රිය සංවරයෙන්… මනින්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද, මහණෙනි, මනින්ද්‍රිය සංවරයෙන් සංවෘත නො වී වසන්නහුට පීඩාකර වූ යම් පරිදාහ කෙනෙක් උපදිත් නම්, මනින්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසෙන ඔහුට මෙසේ ඒ පීඩාකර පරිදාහයෝ නො වෙත්. මහණෙනි, යම් හෙයෙකින් සංවරයක් නැතිව වාසය කරන්නා වූ ඔහුට වෙහෙස හෝ දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, සංවරයෙන් යුක්ත ව වාසය කරන්නා වූ ඔහුට මෙසේ ඒ වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ සතිසංවරයෙන් පහ කළ යුත්තෝ ය යි කියනු ලැබෙත්.
16. කතමෙ ච භික්ඛවෙ ආසවා පටිසෙවනා පහාතබ්බා? ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො චීවරං පටිසෙවති: යාවදෙව සීතස්ස පටිඝාතාය උණ්හස්ස පටිඝාතාය ඩංසමකසවාතාතපසිරීංසපසම්ඵස්සානං1 පටිඝාතාය යාවදෙව හිරිකොපීනපටිච්ඡාදනත්ථං. පටිසඞ්ඛා යොනිසො පිණ්ඩපාතං පටිසෙවති: නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා2 බ්රහ්මචරියානුග්ගහාය. ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්රා ච මෙ භවිස්සති, අනවජ්ජතා ච ඵාසුවිහාරො චාති.3 පටිසඞ්ඛා යොනිසො සෙනාසනං පටිසෙවති, යාවදෙව සීතස්ස පටිඝාතාය උණ්හස්ස පටිඝාතාය ඩංසමකසවාතාතපසිරීංසපසම්ඵස්සානං පටිඝාතාය යාවදෙව උතුපරිස්සයවිනොදනං4 පටිසල්ලානාරාමත්ථං. පටිසඞ්ඛා යොනිසො ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පටිසෙවති: යාවදෙව උප්පන්නානං වෙය්යාබාධිකානං වෙදනානං පටිඝාතාය අබ්යාපජ්ඣපරමතාය.5 යං හිස්ස භික්ඛවෙ අපටිසෙවතො6 උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා. පටිසෙවතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා පටිසෙවනා පහාතබ්බා.
16. මහණෙනි, ප්‍රත්‍යවෙක්ෂාඥානයෙන් පහ කළ යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා හුදෙක් ශීත නැති කිරීම පිණිස, උෂ්ණ නැති කිරීම පිණිස, මැසි මදුරු සුළං අවු සපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස, ලජ්ජාස්ථාන වසා ගැන්ම පිණිස පමණක් සිවුරු පරිභොග කෙරෙ යි. නුවණින් සලකා පිණ්ඩපාතය වළඳයි. (එය) ක්‍රීඩා පිණිස නො වේ ම ය. පුරුෂ මදය වැදීම පිණිස නො වේ ම ය. සැරසීම පිණිස නො වේ ම ය. අලංකාර පිණිස නො වේ ම ය. හුදෙක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස ම ය. යැපීම පිණිස ම ය. බඩගිනි වැළැක්වීම පිණිස ම ය. බ්‍රහ්මචර්යාව රැකීමට අනුබලයක් සඳහා ම ය. මෙසේ පැරණි බඩගිනි වෙදනාවන් නැති කරන්නෙමි. අලුත් වෙදනා ද නූපදවන්නෙමි. එයින් මාගේ ජීවිතය පැවැත්ම ද වන්නේ ය. නිවැරදි බව ද වන්නේ ය. සැප විහරණය ද වන්නේ යි (සලකා පිණ්ඩපාතය වළඳයි). හුදෙක් ශීත නැති කිරීම පිණිස, උෂ්ණය නැති කිරීම පිණිස, මැසි මදුරු සුළං අවු සපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස, ඍතුපීඩා නැති කිරීම පිණිස විවෙකයෙහි ඇලීම් පිණිස පමණක් ය යි නුවණින් සලකා සෙනසුන සෙවනය කරයි. හුදෙක් උපන්නා වූ නොයෙක් ආබාධයන්ගේ වෙදනා නැති කිරීම පිණිස, රොග දුක් නැති ව සිටීම පිණිස පමණක් සෙවනය කරමි යි නුවණින් සලකා ගිලන්පස බෙහෙත් ආදිය සෙවනය කරයි. මහණෙනි, යම් හෙයෙකින් ප්‍රත්‍යවෙක්ෂා නො කරන්නා වූ ඔහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, ප්‍රත්‍යවෙක්ෂා කරන්නාට මෙසේ ඒ දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ ප්‍රත්‍යවෙක්ෂාවෙන් පහ කළ යුත්තෝය යි කියනු ලැබෙත්.
17. කතමෙ ච භික්ඛවෙ ආසවා අධිවාසනා පහාතබ්බා? ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො ඛමො හොති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරීංසපසම්ඵස්සානං, දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං7 ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකො8 හොති. යං හිස්ස භික්ඛවෙ අනධිවාසයතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, අධිවාසයතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා අධිවාසනා පහාතබ්බා.
17. මහණෙනි, අධිවාසනායෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා ශීත ඉවසන සුල්ලෙක් වෙයි. උණුසුම ද, බඩගින්න ද, පවස ද, මැසි, මදුරු, සුළං, අවු, සපුන්ගේ ස්පර්ශ ද, නපුරු කොට කියූ, නපුරු ලෙස පැමිණි වචන ද ඉවසන සුල්ලෙක් වෙයි. උපන් ශාරීරික වූ, තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ දිවි පැහැර ගන්නා වූ වෙදනා ඉවසන සුල්ලෙක් වෙයි. යම් හෙයෙකින් නො ඉවසන්නා වූ ඔහුට වෙහෙසකර දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ ඉවසන්නා වූ ඔහුට වෙහෙසකර දැවිලි සහිත ආස්‍රවයෝ නූපදිත්. මහණෙනි, මේ අධිවාසනායෙන් පහ කළ යුතු ආස්‍රවයෝ යි කියනු ලැබෙත්.
18. කතමෙ ච භික්ඛවෙ ආසවා පරිවජ්ජනා පහාතබ්බා? ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො චණ්ඩං හත්ථිං පරිවජ්ජෙති. චණ්ඩං අස්සං පරිවජ්ජෙති. චණ්ඩං ගොණං පරිවජ්ජෙති. චණ්ඩං කුක්කුරං පරිවජ්ජෙති, අහිං ඛාණුං කණ්ටකාධානං9 සොබ්භං පපාතං චන්දනිකං ඔළිගල්ලං. යථාරූපෙ අනාසනෙ නිසින්නං යථාරූපෙ අගොචරෙ චරන්තං යථාරූපෙ පාපකෙ මිත්තෙ භජන්තං විඤ්ඤෑ සබ්රහ්මචාරී පාපකෙසු ඨානෙසු ඔකප්පෙය්යුං, සො තඤ්ච අනාසනං තඤ්ච අගොචරං තෙ ච පාපකෙ මිත්තෙ පටිසඞ්ඛා යොනිසො පරිවජ්ජෙති. යං හිස්ස භික්ඛවෙ අපරිවජ්ජයතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා. පරිවජ්ජයතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා පරිවජ්ජනා පහාතබ්බා.
18. මහණෙනි, දුරු කිරීමෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා නපුරු ඇතු දුරු කෙරෙ යි. නපුරු අසු දුරු කෙරෙ යි. නපුරු ගොනු දුරු කෙරෙ යි. නපුරු බලු දුරු කෙරෙයි. සපු, කණු, කටුලැහැබ, හෙබ, පවයින්, ගවරවළ, මොළඟ දුරු කෙරෙයි. යම් බඳු නුසුදුසු අස්නෙහි හුන්නහු, යම්බඳු නුසුදුසු තන්හි හැසිරෙන්නහු, යම්බඳු පවිටු මිත්‍රයන් සෙවනය කරන්නහු නුවණැත්තා වූ සබ්‍රම්සරහු ලාමක තන්හි ලා සලකන්නාහු ද, ඒ තෙමේ ඒ නො අසුන ද ඒ අගොචාරය ද ඒ පාපමිත්‍රයන් ද නුවණින් සලකා දුරු කෙරෙ යි. මහණෙනි, යම් හෙයෙකින් එබඳු දේ දුරු නො කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ එබඳු දේ දුරු කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ දුරු කිරීමෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.
19. කතමෙ ච භික්ඛවෙ ආසවා විනොදනා පහාතබ්බා? ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති, පජහති, විනොදෙති, බ්යන්තීකරොති,1 අනභාවං ගමෙති; උප්පන්නං ව්යාපාදවිතක්කං2 -පෙ- උප්පන්නං විහිංසාවිතක්කං -පෙ- උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති, පජහති, විනොදෙති, බ්යන්තීකරොති, අනභාවං ගමෙති. යං හිස්ස භික්ඛවෙ අවිනොදයතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, විනොදයතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා විනොදනා පහාතබ්බා.
19. මහණෙනි, විනොදනයෙන් (දෝෂ සැලකීම් සහිත වීර්යයෙන්) පහ කළ යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ ලොකයෙහි මහණ තෙමේ නුවණින් සලකා උපන් කාමවිතර්කය සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි. නැවත නො ඉපදීමට පමුණුව යි. උපන්නා වූ ව්‍යාපාදවිතර්ක සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි, නැවත නො ඉපදීමට පමුණුවයි. උපන්නා වූ විහිංසා විතර්කය...උපනුපන් ලාමක අකුශල ධර්මයන් සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි, නැවත නො ඉපදීමට පමුණුවයි. මහණෙනි, යම් හෙයකින් එබඳු දේ දුරු නො කරන්නා වූ ඔහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ එබඳු දේ දුරු කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ විනොදනයෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.
20. කතමෙ ච භික්ඛවෙ ආසවා භාවනා පහාතබ්බා? ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං.3 පටිසඞ්ඛා යොනිසො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- විරියසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙක්ඛා4 සම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. යං හිස්ස භික්ඛවෙ අභාවයතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, භාවයතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා භාවනා පහාතබ්බා.
20. මහණෙනි, භාවනාවෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවණට නැඹුරු සතිසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… නුවණින් සලකා ධම්මවිචය සම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… විරියසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… පීතිසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… පස්සද්ධි සම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… සමාධිසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරොධය ඇසුරු කළ නිවණට නැඹුරු උපෙක්ඛා සම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි. මහණෙනි, යම් හෙයෙකින් බොජ්‌ඣඞ්‌ග නො වඩන්නාට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මහණෙනි, මෙසේ ඒ බොජ්‌ඣඞ්‌ග වඩන්නා වූ ඔහුට ඒ වෙහෙස දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ භාවනාවෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.
21. යතො5 ච භික්ඛවෙ භික්ඛුනො යෙ ආසවා දස්සනා පහාතබ්බා තෙ දස්සනා පහීනා හොන්ති. යෙ ආසවා සංවරා පහාතබ්බා තෙ සංවරා පහීනා හොන්ති. යෙ ආසවා පටිසෙවනා පහාතබ්බා තෙ පටිසෙවනා පහීනා හොන්ති. යෙ ආසවා අධිවාසනා පහාතබ්බා තෙ අධිවාසනා පහීනා හොන්ති. යෙ ආසවා පරිවජ්ජනා පහාතබ්බා තෙ පරිවජ්ජනා පහීනා හොන්ති. යෙ ආසවා විනොදනා පහාතබ්බා තෙ විනොදනා පහීනා හොන්ති. යෙ ආසවා භාවනා පහාතබ්බා තෙ භාවනා පහීනා හොන්ති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු සබ්බාසවසංවරසංවුතො විහරති, අච්ඡෙච්ඡි තණ්හං, වාවත්තයි සංයොජනං, සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සාති.
21. මහණෙනි, යම් කලෙක භික්ෂුහුගේ යම් ආස්‍රව කෙනෙක් සෝවන් මගින් පැහිය යුත්තාහු ද, ඒ ආස්‍රවයෝ සෝවන් මගින් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් සංවරයෙන් පැහිය යුත්තාහු ද, ඔහු සංවරයෙන් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් ප්‍රත්‍යවෙක්ෂාවෙන් පැහිය යුත්තාහු ද, ඔහු ප්‍රත්‍යවෙක්ෂාවෙන් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් සිත තබා නො ගැනීමෙන් පැහිය යුත්තාහු ද, ඔහු සිත තබා නො ගැනීමෙන් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් දුරු කිරීමෙන් පැහිය යුත්තාහු ද, ඒ ආස්‍රවයෝ දුරු කිරීමෙන් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් විනොදනයෙන් පැහිය යුත්තාහු ද, ඒ ආස්‍රවයෝ විනොදනයෙන් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් භාවනාවෙන් පැහිය යුත්තාහු ද, ඒ ආස්‍රවයෝ භාවනාවෙන් පැහුණාහු වෙත්. මහණෙනි, මේ මහණ තෙමේ සියලු ආස්‍රවයන්ගෙන් සංවෘතව වෙසේ ය යි ද, තෘෂ්ණාව සින්දේ යයි ද, සංයොජනය උපුටා හළේ යයි ද, මානප්‍රහාණයෙන් දුක් කෙළවර කළේ යයි ද කියනු ලැබේ.
22. ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
22. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.
සබ්බාසවසුත්තං දුතියං.
සබ්බාසව සුත්‍රය දෙවැනි යි.