ත්‍රිපිටකය » අභිධර්ම පිටකය » පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය » නිර්දේශ

1. ඒකක නිර්දේශය

1. කවර පුද්ගලයෙක් සමයවිමුක්ත වේ ද යත්: මේ (සත්ත්ව) ලෝකයෙහි එක් පුද්ගලයෙක් කලින් කලැ සමයෙන් සමයෙහි අෂ්ටවිමෝක්‍ෂයන් (රූපාරූප අෂ්ටසමාපත්තීන්) (නාම) කයින් ස්පර්ශ කොට වෙසෙයි, ඔහු විසින් ප්‍රඥායෙන් දැක ඇතැම් ආස්‍රව කෙනෙක් ක්ෂය කරන ලද්දාහු (විදර්ශනා ප්‍රඥායෙන් සංස්කාරයන් ද මාර්ගප්‍රඥායෙන් චතුස්සත්‍යධර්මයන් ද දැක යි සේ යි) මේ පුද්ගල තෙමේ සමයවිමුක්ත යැ යි කියනු ලැබේ.

2. කවර පුද්ගලයෙක් අසමය විමුක්ත වේ ද යත්: මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් කලින් කල සමයෙන් සමයෙහි අෂ්ටවිමෝක්ෂයන් කයින් ස්පර්ශ කොට නො මැ වෙසෙයි, එතෙකුදු වත් ඔහු විසින් ප්‍රඥායෙන් දැක ආස්‍රවයෝ ක්ෂය කරන ලද්දාහු වෙත්. මේ පුද්ගල අසමයවිමුක්ත යැ යි කියනු ලැබේ. සියලුම ආර්‍ය්‍ය පුද්ගලයෝ ලෝකෝත්තර විමෝක්ෂයෙහි අසමයවිමුක්තයෝ යි.

3. කවර පුද්ගලයෙක් කොප්‍යධර්ම වේ ද යත්: මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසහගත (රූපාවචර) වූ හෝ අරූපසහගත (අරූපාවචර) වූ හෝ සමාපත්තීන් ලඛන සුලු වෙයි, එතෙකුදු වත් හෙතෙම කැමැති සේ ලබන්නේ නො වෙයි, නිදුකින් ලබන්නේ නො වෙයි, මහත් සේ ලබන්නේ නො වෙයි, කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේ ද, (ඉන්) නැඟෙන්නේ ද නො වෙයි, යම් ප්‍රමාදයකට පැමිණ ඒ පුඟුල්හුගේ ඒ සමාපත්තීහු නැසෙන්නාහු නම් තෙල කරුණ විද්‍යමාන වෙයි, මේ පුද්ගල කොප්‍යධර්ම යැයි කියනු ලැබේ.

4. කවර පුද්ගලයෙක් අකෝප්‍යධර්ම වේ ද යත්: මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබනසුලු යැ, තවද හෙතෙමේ කැමැති සේ ලබන සුලු යැ, නිදුකින් ලබනසුලු යැ, මහත්සේ ලබනසුලු යි. කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේ ද (ඉන්) නැඟෙන්නේ ද වෙයි. යම් පමාවකට පැමිණ ඒ පුද්ගලයාගේ ඒ සමාපත්තීහු නැසෙන්නාහු නම් තෙල කරුණ නැත, එයට ඉඩ නැත්තේ යැ. මේ පුද්ගල අකෝප්‍ය ධර්ම යැ යි කියනු ලැබේ. සියලු මැ ආර්‍ය්‍ය පුද්ගලයෝ ආර්‍ය්‍යවිමෝක්ෂයෙහි අකෝප්‍යධර්මයෝ යි.

5. කවර පුද්ගලයෙක් පරිහාණධර්ම වේ ද යත්: මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබනසුලු වෙයි, එතෙකුදු වත් හෙතෙම කැමැති සේ ලබන්නේ නො වෙයි, නිදුකින් ලබන්නේ නො වෙයි, විපුල වැ ලබන්නේ නො වෙයි. කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේත් (ඉන්) නැඟෙන්නේත් නො වේ. යම් බඳු පමාවකට පැමිණ ඒ පුද්ගල ඒ සමාපත්තීන්ගෙන් පිරිහෙන්නේ නම් තෙල කරුණ විද්‍යමාන වේ. මේ පුද්ගල පරිහාණධර්ම යැ යි කියනු ලැබේ.

6. කවර පුද්ගලයෙක් අපරිහාණධර්ම නම් වේ ද යත්: මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබනසුලු යැ, තවද හෙතෙම කැමැති සේ ලබන සුලු වෙයි, නිදුකින් ලබනසුලු යැ. මහත් සේ ලබන සුලු යැ, කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේත් ඉන් නැඟෙන්නේත් වෙයි. යම් පමාවකට පැමිණ ඒ පුද්ගල ඒ සමාපත්තීන් කෙරෙන් පිරිහෙන්නේ නම් තෙල කරුණු නැත. එයට ඉඩ නැත, මේ පුද්ගල අපරිහාණ ධර්මය යි කියනු ලැබේ. සියලු මැ ආර්‍ය්‍යපුද්ගලයෝ ආර්‍ය්‍යවිමෝක්ෂයෙහි අපරිහාණ ධර්ම ඇත්තෝ යි.

7. කවර පුද්ගලයෙක් චේතනාභව්‍ය වේ ද යත්: මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබන සුලු වෙයි, එතෙකුදු වත් හෙතෙම කැමති සේ ලබන්නේ නො වෙයි. නිදුකින් ලබන්නේ නො වෙයි, මහත්සේ ලබන්නේ නො වේ, කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේත් ඉන් නැඟෙන්නේත් වෙයි. ඉදින් සමවදනේ නම් ඒ සමාපත්තීන් කෙරෙන් නො පිරිහෙයි,

ඉදින් නො සමවදනේ නම් ඒ සමාපත්තීන් කෙරෙන් පිරිහෙයි. මේ පුද්ගල චේතනාභව්‍ය යැ යි කියනු ලැබේ.

8. කවර පුද්ගලයෙක් අනුරක්ෂණාභව්‍ය වේ ද යත්: මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබනසුලු වෙයි, එතෙකුදු වත් හෙතෙම කැමැති සේ ලබන්නේ නො වෙයි, නිදුකින් ලබන්නේ නො වෙයි, විපුල වැ ලබන්නේ නො වේ, කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේත් ඉන් නැඟෙන්නේත් නොවේ. ඉදින් රක්නේ නම් ඒ සමාපත්තීන් කෙරෙන් නො පිරිහෙයි, ඉදින් නො රක්නේ නම් ඒ සමාපත්තීන් කෙරෙන් පිරිහෙයි. මේ පුද්ගල අනුරක්ෂණාභව්‍ය යැ යි කියනු ලැබේ.

9. කවර පුද්ගලයෙක් පෘථග්ජන වේ ද යත්: යම් පුද්ගලයකුගේ සංයෝජනයෝ තිදෙනෙක් ප්‍රහීණ නො වූවාහු ද, ඒ සංයෝජනධර්මයන්ගේ ප්‍රහාණය පිණිස නො පිළිපන්නේත් වේ ද, මේ පුද්ගල පෘථග්ජන යි කියනු ලැබේ.

10. කවර පුද්ගලයෙක් ගොත්‍රභූ වේ ද යත්: යම් ධර්මකෙනකුන්ට සමනන්තරව ආර්‍ය්‍යමාර්ගයාගේ පහළ වීම වේ ද, ඒ ධර්මයන්ගෙන් යුක්ත වූ මේ පුද්ගල ගොත්‍රභූ යි කියනු ලැබේ.

11 - 12. කවර පුද්ගලයෙක් භයොපරත වේ ද යත්: සප්ත ශෛක්ෂයෝ ද, යම් පෘථග්ජන සිල්වත් කෙනෙක් වෙත් නම් ඔහු ද භයොපරතයෝ යැ. අර්හත් තෙමේ අභයොපරත වූයේ යි.

13. කවර පුද්ගලයෙක් අභව්‍යාගමන වේ ද යත්: යම් ඒ පුද්ගල කෙනෙක් කර්මාවරණයෙන් යුක්ත වූවාහු ක්ලෙශාවරණයෙන් යුක්ත වූවාහු විපාකාවරණයෙන් යුක්ත වූවාහු ශ්‍රද්ධා රහිත වූවාහු කර්තුකම්‍යතා කුශලච්ඡන්ද රහිත වූවාහු භවාඩ්ග (ත්‍රිහේතුක ප්‍රතිසන්ධි) ප්‍රඥා රහිත වූවාහු, ජඩ වූවාහු කුශලධර්මයන්හි මාර්ග නියාමයට බැස ගන්නට අභව්‍ය වූවාහු ද මේ පුද්ගලයෝ අභව්‍යාගමනයෝ යි කියනු ලැබෙත්.

14. කවර පුද්ගලයෙක් භව්‍යාගමන වේ ද යත්: යම් ඒ පුද්ගල කෙනෙක් කර්මාවරණයෙන් යුක්ත නොවූවාහු, ක්ලේශාවරණයෙන් යුක්ත නො වූවාහු, විපාකාවරණයෙන් යුක්ත නො වූවාහු, ශ්‍රද්ධා ඇත්තාහු, කර්තුකම්‍යතා කුශලච්ඡන්ද ඇත්තාහු, ප්‍රඥා ඇත්තාහු කුශලධර්මයන්හි මාර්ගනියාමයට බැස ගන්නට භව්‍ය (සුදුසු) වූවාහු ද, මේ පුද්ගලයෝ භව්‍යාගමනයෝ යි කියනු ලැබෙත්.

15 - 16. කවර පුද්ගලයෙක් නියත වේ ද යත්: ආනන්තර්‍ය්‍ය කර්ම සමඞ්ගී පුද්ගලයෝ පස් දෙනා ද නියත මිථ්‍යාදෘෂ්ටික වූ යම් කෙනෙක් වෙත් නම් ඔහු ද, ආර්‍ය්‍ය පුද්ගලයෝ අටදෙනා ද නියතයෝ යැ, අවශේෂ පුද්ගලයෝ අනියතයෝ යි.

17 - 18. කවර පුද්ගලයෙක් ප්‍රතිපන්නක වේ ද යත්: මාර්ග සමඞ්ගී පුද්ගලයෝ සතර දෙන ප්‍රතිපන්නකයෝ යැ, ඵලසමඞ්ගී පුද්ගලයෝ සතර දෙන ඵලයෙහි සිටියෝ යි.

19. කවර පුද්ගලයෙක් සමසීසී වේ ද යත්: යම් පුද්ගලයක්හුගේ පෙර පසු නො වැ ආස්‍රවක්ෂයත් ජීවිතක්ෂයත් වේ ද, මේ පුද්ගල සමසීසී යැ යි කියනු ලැබේ.

20. කවර පුද්ගලයෙක් ස්ථිතකල්පී වේ ද යත්: මේ පුද්ගලයාත් සෝවාන් ඵලය පසක් කරන්නට පිළිපන්නේ වේ නම් කල්පය තමාත් දැවෙන වේලාව වේ නම් යම්තාක් මේ පුද්ගල සෝවාන්ඵලය සාක්ෂාත් නො කෙරෙයි ද, ඒ තාක් කල්පය තෙමේ නො දැවේ මැ යි. මේ පුද්ගල ස්ථිතකල්පී යැ යි කියනු ලැබේ. මාර්ගස්ථ වූ සියලු මැ පුද්ගලයෝ ස්ථිතකල්පීහු යි.

21 - 22. කවර පුද්ගලයෙක් ‘ආර්‍ය්‍ය’ වේ ද යත්: අෂ්ටාර්‍ය්‍ය පුද්ගලයෝ ආර්‍ය්‍යයෝ යැ, සෙසු පුද්ගලයෝ අනාර්‍ය්‍යයෝ යි.

23 - 25. කවර පුද්ගලයෙක් ‘ශෛක්ෂ’ වේ ද යත්: මාර්ගස්ථ පුද්ගලයෝ සතර දෙනා යැ, ඵලස්ථ පුද්ගලයෝ තිදෙනා යැ යන මොහු ශෛක්ෂයෝ යැ, අර්හත් තෙමේ අශෛක්ෂ යැ, සෙසු පුද්ගලයෝ ශෛක්ෂත් අශෛක්ෂත් නො වූවෝ යි.

26. කවර පුද්ගලයෙක් තේවිජ්ජ වේ ද යත්: ත්‍රිවිද්‍යායෙන් යුක්ත වූ පුද්ගල තේවිජ්ජ නම් වෙයි.

27. කවර පුද්ගලයෙක් ‘ජළභිඤ්ඤ’ වේ ද යත්: සවැදෑරුම් අභිඥායෙන් යුක්ත වූ පුද්ගල ‘ඡළභිඤ්ඤ’ නම් වෙයි.

28. කවර පුද්ගලයෙක් ‘සම්මාසම්බුද්ධ’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්මයන්හි සත්‍යයන් තෙමේ අවබෝධ කොට ගනියි, යළි එහි සර්වඥ බවට පැමිණෙයි, (දශ) බලඥානයෙහි ද වශීභාවයට පැමිණෙයි. මේ පුද්ගල ‘සම්මාසම්බුද්ධ’ යැයි කියනු ලැබේ.

29. කවර පුද්ගලයෙක් ‘පච්චේකසම්බුද්ධ’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්මයන්හි සත්‍යයන් තෙමේ අවබෝධ කොට ගනි. එතෙකුදුවත් එහි සර්වඥභාවයට නො පැමිණෙයි. (දශ) බලඥානයෙහි වශීභාවයට ද නො පැමිණෙයි. මේ පුද්ගල ‘පව්චේකසම්බුද්ධ’ යැයි කියනු ලැබේ.

30. කවර පුද්ගලයෙක් ‘උභතෝභාග විමුක්ත’ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් අෂ්ටවිමොක්ෂයන් (නාම) කයින් ස්පර්ශ කොට වාස කරයි. (විදර්ශනා - මාර්ග) ප්‍රඥායෙන් දැක මොහුගේ ආස්‍රවයෝ ක්ෂය වූවාහු ද වෙත්. මේ පුද්ගල ‘උභතෝභාගවිමුක්ත’ යැයි කියනු ලැබේ.

31. කවර පුද්ගලයෙක් ‘ප්‍රඥාවිමුක්ත’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් අෂ්ටවිමොක්ෂයන් කයින් ස්පර්ශ කොට නො මැ වසයි, ප්‍රඥායෙන් දැක මොහුගේ ආස්‍රවයෝ ක්ෂය වූවාහු ද වෙත්. මේ පුද්ගල ‘ප්‍රඥාවිමුක්ත’ යැ යි කියනු ලැබේ.

32. කවර පුද්ගලයෙක් ‘කායසාක්ෂි’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් අෂ්ටවිමොක්ෂයන් කයින් ස්පර්ශ කොට වාස කරයි. යළි ප්‍රඥායෙන් දක මොහුගේ ඇතැම් ආස්‍රවයෝ ක්ෂය වූවාහු වෙත්. මේ පුද්ගල තෙමේ ‘කාය සාක්ෂි’ යි කියනු ලැබේ.

33. කවර පුද්ගලයෙක් ‘දෘෂ්ටප්‍රාප්ත’ වේ ද යත්: මේ ලොවැ එක් පුද්ගලයෙක් මේ (උපාදානස්කන්ධපඤ්චකය) දුකැ යි ඇති සැටියෙන් දනියි, මේ (තෘෂ්ණාව) දුඃඛසමුදය යැ යි ඇති සැටියෙන් දනියි, මේ (තෘෂ්ණා නිරොධය) දුඃඛනිරෝධය යැ යි ඇති සැටියෙන් දනි, මේ (ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගය) දුක් නැති කරන පිළිවෙතැ යි ඇති සැටියෙන් දනියි. තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද (චතුස්සත්‍ය) ධර්මයෝ ද මොහු විසින් නුවණින් මොනවට දක්නා ලද්දාහු හසළාහු වෙති, තව ද නුවණින් දැක මොහුගේ ඇතැම් ආස්‍රවයෝ ක්ෂය වූවාහු වෙත්. මේ පුද්ගල ‘දෘෂ්ටප්‍රාප්ත’ යි කියනු ලැබේ.

34. කවර පුද්ගලයෙක් ‘ශ්‍රද්ධාවිමුක්ත’ වේ ද යත්: මෙ ලොවැ එක් පුද්ගලයෙක් මේ දූකැයි ඇති සැටියෙන් දනියි, මේ දුක් ඇති වීමේ හේතු යැයි ඇති සැටියෙන් දනියි, මේ දුක් නැති වී මැ යි ඇති සැටියෙන් දනියි, මේ දුක් නැති කිරීමේ පිළිවෙතැ යි ඇති සැටියෙන් දනියි, තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද ධර්මයෝ ද මොහු විසින් නුවණින් මොනවට දක්නා ලද්දාහු හසළාහු වෙති, නුවණින් දැක මොහුගේ ඇතැම් ආස්‍රවයෝ ක්ෂය වූවාහු ද වෙත්. එහෙත් දෘෂ්ටප්‍රාප්තයා හට බඳු නො වේ. මේ පුද්ගල ‘ශ්‍රද්ධාවිමුක්ත’ යි කියනු ලැබේ.

35. කවර පුද්ගලයෙක් ‘ධර්මානුසාරී’ වේ ද යත්: සෝතාපත්ති ඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන් යම් පුද්ගලයකහුගේ ප්‍රඥෙන්ද්‍රිය බලවත් වේ ද, ප්‍රඥාව එළවන සුලු ප්‍රඥා පූර්වඞ්ගම වූ ආයතමාර්ගය වඩා ද මේ පුද්ගල ‘ධර්මානුසාරී’ යැ යි කියනු ලැබේ. සෝවන් ඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන් පුද්ගල ‘ධර්මානුසාරී’ වෙයි. ඵලයෙහි සිටීයේ දෘෂ්ටප්‍රාප්ත යි.

36. කවර පුද්ගලයෙක් ‘ශ්‍රද්ධානුසාරී’ වේ ද යත්: සෝතාපත්තිඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන් යම් පුද්ගලයක්හුගේ ශ්‍රද්ධෙන්ද්‍රියය බලවත් වේ ද ශ්‍රද්ධාව එළවන සුලු වූ ශ්‍රද්ධාපූර්වඞ්ගම වූ ආර්‍ය්‍යමාර්ගය වඩා ද මේ පුද්ගල තෙමේ ‘ශ්‍රද්ධානුසාරී’ යැ යි කියනු ලැබේ. සෝවාන්ඵල පසක් කරනු පිණිස පිළිපන් පුද්ගල තෙමේ ‘ශ්‍රද්ධානුසාරී’ වෙයි, එලයෙහි සිටියේ ‘ශ්‍රද්ධාවිමුක්ත’ යි.

37. කවර පුද්ගලයෙක් ‘සත්තක්ඛත්තුපරම’ වේ ද යත්: මෙලෙව්හි එක් පුද්ගලයෙක් සංයෝජනත්‍රයක්හුගේ ක්‍ෂයවීමෙන් අපායගමන රහිත වූයේ මාර්ගනියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ සෝතාපන්න වේ ද හෙතෙම සත් වරක් දෙව්ලොව ද මිනිස් ලොව ද (ප්‍රතිසන්ධි වශයෙන්) දිවැ-සැරිසරා දුක් කෙළවර කරයි. මේ පුද්ගල ‘සත්තක්ඛත්තු පරම’ යැ කියනු ලැබේ.

38. කවර පුද්ගලයෙක් ‘කොලංකොල’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් සංයෝජනත්‍රයක්හුගේ ක්ෂය වීමෙන් අපායගමන රහිත වූයේ මාර්ගනියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ සෝතාපන්න වේ ද, හෙතෙම භව දෙකක් හෝ තුනක් දිවැ සැරිසරා දුක් කෙළවර කරයි. මේ පුද්ගල ‘කොලංකොල’ යි කියනු ලැබේ.

39. කවර පුද්ගලයෙක් ‘ඒකබීජී’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් සංයෝජනත්‍රයක් ක්ෂය වීමෙන් අපායගමන රහිත වූයේ මාර්ගනියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ සෝතාපන්න වේ ද, හෙතෙම එක් මැ මිනිස් භවයක් උපදවා දුක් කෙළවර කරයි. මේ පුද්ගල ‘ඒකබිජී’ යි කියනු ලැබේ.

40. කවර පුද්ගලයෙක් ‘සකදාගාමී’ වේ ද යත්: මේ ලොවැ එක් පුද්ගලයෙක් සංයෝජන තුනක් ක්ෂය වීමෙන් රාග ද්වේෂ මෝහයන් තුනීවීමෙන් සකෘදාගාමී වෙයි. එක් වරක් මැ මෙලොවට අවුත් දුක් කෙළවර කරයි. මේ පුද්ගල ‘සකෘදාගාමී’ යි කියනු ලැබේ.

41. කවර පුද්ගලයෙක් ‘අනාගාමී’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පස්වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන් ක්ෂය වීමෙන් ඕපපාතික වෙයි. එ (ශුද්ධාවාස) ලොවින් පෙරළා නො එන සුලු වූයේ එහි පිරිනිවෙන සුලු වෙයි. මේ පුද්ගල ‘අනාගාමී’ යි කියනු ලැබේ.

42. කවර පුද්ගලයෙක් ‘අන්තරාපරිනිබ්බායී’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පස්වැදෑරුම් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය වීමෙන් ඕපපාතික වෙයි. ඒ (ශුද්ධාවාස) ලොවින් පෙරළා නො එන සුලු වූයේ එහි පිරිනිවෙන සුලු වේ. හෙතෙම උපන් අනතුරු වැ හෝ නො පැමිණි මැද විය ඇති ව හෝ මත්තෙහි වූ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස ආර්‍ය්‍යමාර්ගය උපදවයි. මේ පුද්ගල ‘අන්තරාපරිනිබ්බායී’ යි කියනු ලැබේ.

43. කවර පුද්ගලයෙක් ‘උපහව්චපරිනිබ්බායී’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පස්වැදෑරුම් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය වීමෙන් ඕපපාතික වෙයි, එලොවින් පෙරළා නො එන සුලු ස්වභාව ඇත්තේ එහි පිරිනිවෙන සුලු වේ. හෙතෙම මධ්‍ය ආයුඃප්‍රමාණය ඉක්ම හෝ කාලක්‍රියාවට ආසන්න ව හෝ මත්තෙහි වූ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස ආර්‍ය්‍යමාර්ගය උපදවයි. මේ පුද්ගල ‘උපහච්චපරිනිබ්බායී’ යි කියනු ලැබේ.

44. කවර පුද්ගලයෙක් ‘අසංඛාරපරිනිබ්බායී’ වේ ද යත්: මෙලොවැ කිසි පුද්ගලයෙක් පස්වැදෑරුම් වූ ඔරම්භාගීය සංයෝජනයන් ක්ෂය වීමෙන් ‘ඕපපාතික’ වෙයි, එලොවින් පෙරළා නො එනසුලු ස්වභාව ඇත්තේ එහි පිරිනිවෙන සුලු වේ. හෙතෙම මත්තෙහි වූ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස නිදුකින් ආර්‍ය්‍යමාර්ගය උපදවයි. මේපුද්ගල ‘අසංඛාර පරිනිබ්බායී’ යි කියනු ලැබේ.

45. කවර පුද්ගලයෙක් ‘සසංඛාරපරිනිබ්බායී’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පස්වැදෑරුම් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය වීමෙන් ඕපපාතික වෙයි, එලොවින් පෙරළා නො එන සුලු ස්වභාව ඇත්තේ එහි පිරිනිවෙන සුලු වේ. හෙතෙම මත්තෙහි වූ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස දුකින් ආර්‍ය්‍යමාර්ගය උපදවයි. මේ පුද්ගල ‘සසඞ්ඛාර පරිනිබ්බායි’ යි කියනු ලැබේ.

46. කවර පුද්ගලයෙක් ‘උද්ධංසොත අකනිට්ඨගාමී’ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් පස්වැදෑරුම් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය වීමෙන් ඕපපාතික වෙයි. එලොවින් පෙරළා නො එන සුලු ස්වභාව ඇත්තේ එහි පිරිනිවෙන සුලු වේ. හෙතෙම අවිහයෙන් ච්‍යුත වූයේ අතප්පයට යයි. අතප්පයෙන් ච්‍යුත වූයේ සුදස්සයට යයි. සුදස්සයෙන් ච්‍යුත වූයේ සුදස්සියට යයි. සුදස්සියෙන් ච්‍යුත වූයේ අකනිටාවට යේ. අකනිටායෙහි දී මත්තෙහි වූ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස ආර්‍ය්‍යමාර්ගය උපදවයි. මේ පුද්ගල ‘උද්ධංසොත අකනිට්ඨගාමී’ යි කියනු ලැබේ.

47. සංයෝජනත්‍රයක්හුගේ ප්‍රහාණය පිණිස පිළිපන් පුද්ගල සෝවන්ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන්නේ වෙයි. යම් පුද්ගලයක්හුගේ සංයෝජනයෝ තිදෙනෙක් ප්‍රහීණ වූවාහු ද, මේ පුද්ගල ‘සෝතාපන්න’ යි කියනු ලැබෙයි.

48. කාමරාග – ව්‍යාපාදයන්ගේ තුනී බව පිණිස පිළිපන් පුද්ගල තෙමේ ‘සකෘදාගාමී ඵලය’ සාක්ෂාත් කරනු පිණිස පිළිපන්නේ ය. යම් පුද්ගලයක්හුගේ කාමරාග - ව්‍යාපාදයෝ තුනී වූවාහු ද, මේ පුද්ගල ‘සකෘදාගාමී’ යි කියනු ලැබෙයි.

49. කාමරාග – ව්‍යාපාදයන්ගේ නිරවශේෂ ප්‍රහාණය පිණිස පිළිපන් පුද්ගල ‘අනාගාමී ඵලය’ සාක්ෂාත් කරනු පිණිස පිළිපන්නේ වෙයි. යම් පුද්ගලයක්හුගේ කාමරාග - ව්‍යාපාදයෝ නිරවශේෂයෙන් ප්‍රහීණ වූවාහු ද, මේ පුද්ගල ‘අනාගාමී’ යි කියනු ලැබෙයි.

50. රූපරාග යැ, අරූපරාග යැ, මාන යැ, උද්ධච්ච යැ, අවිජ්ජා යැ යන මොවුන්ගේ නිරවශේෂ ප්‍රහාණය පිණිස පිළිපන් පුද්ගල අර්හත් ඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන්නේ වෙයි. යම් පුද්ගලයක්හුගේ රූපරාග යැ, අරූපරාග යැ, මාන යැ, උද්ධච්ච යැ. අවිජ්ජා යැ යන මොහු නිරවශේෂයෙන් ප්‍රහීණ වූවාහු ද, මේ පුද්ගල ‘අර්හත්’ යි කියනු ලැබේ.

ඒකක නිර්දේශය නිමියේ යි.