ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » සුත්ත නිපාතය » 1. උරග වර්ගය

1 - 3 ඛග්‌ගවිසාණසුත්‌තං

1 - 3 ඛග්‌ගවිසාණ සූත්‍රය

35.
සබ්‌බෙසු භූතෙසු නිධාය දණ්‌ඩං,
අවිහෙඨයං අඤ්‌ඤතරම්‌පි තෙසං;
න පුත්‌තමිච්‌ඡෙය්‍ය කුතො සහායං,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

35. සියලු සතුන් කෙරෙහි (කාය, වාක්, මනස්) දණ්ඩය හැරැපියා ඒ සතුන් කෙරෙන් අන්‍යතර එකකුදු නොපෙළනුයේ පුතකුදු නො පතන්නේ යැ. ‘යහළුවකු පතන්නේ යැ’ යනු කොයින් ලැබේ ද, කගවෙහෙණ හඟක් බඳු වූයේ එකලා වැ හැසිරෙන්නේ යැ.

36.
සංසග්‌ගජාතස්‌ස භවන්‌ති ස්‌නෙහා,
ස්‌නෙහන්‌වයං දුක්‌ඛමිදං පහොති;
ආදීනවං ස්‌නෙහජං පෙක්‌ඛමානො,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

36. හටගත් (දර්ශනාදී) සංසර්ග ඇතියහුට බලවත් ස්නේහයෝ උපදනාහ. මේ (ශෝකාදි) දුක ස්නේහ පරම්පරානුගත වැ උපදනේ යැ. ස්නේහයෙන් උපන් ආදීනව දකිමින් කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ යැ.

37.
මිත්‌තෙ සුහජ්‌ජෙ අනුකම්‌පමානො,
හාපෙති අත්‌ථං පටිබද්‌ධචිත්‌තො;
එතං භයං සන්‌ථවෙ [සන්‌ධවෙ (ක.)] පෙක්‌ඛමානො,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

37. සුහෘද්මිත්‍රයන්ට අනුකම්පා කෙරෙමින් පිළිබඳ සිතැති තැනැත්තේ (ත්‍රිවි) අර්ථය නසාලයි. සන්ථවයෙහි ඇති තෙල බිය දක්මින් කගවෙහෙණහඟ බඳු වූයේ එකලා වැ හැසිරෙන්නේ යැ.

38.
වංසො විසාලොව යථා විසත්‌තො,
පුත්‌තෙසු දාරෙසු ච යා අපෙක්‌ඛා;
වංසක්‌කළීරොව [වංසකළීරොව (සී.), වංසාකළීරොව (ස්‍යා. කං. පී.), වංසෙකළීරොව (නිද්‌දෙස)] සජ්‌ජමානො,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

38. පුතුන් කෙරෙහි ද අඹුවන් කෙරෙහි ද යම් අපේක්ෂායෙක් ඇද්ද, ඒ (හුණ ළැහැබෙක්හි) හිවීගිය මහ හුණගසක් වැන්න. මම් එහි නො ලැගෙන හුණකිළිලක් සෙයින් කගමුවහඟ බඳු වී එකලා වැ හැසිරෙන්නේ යැ.

39.
මිගො අරඤ්‌ඤම්‌හි යථා අබද්‌ධො [අබන්‌ධො (ස්‍යා. කං.)],
යෙනිච්‌ඡකං ගච්‌ඡති ගොචරාය;
විඤ්‌ඤූ නරො සෙරිතං පෙක්‌ඛමානො,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

39. යම් පරිදි වෙනෙහි තිත්මුවා නො බැඳුනේ ගොදුරු පිණිස රිසියෙන් තැනෙක යේ ද එපරිදි නුවණැති මිනිසා ස්වෛරීභාවය පතනුයේ කගවෙහෙණහඟක් බඳු වූයේ එකලා වැ හැසිරෙන්නේ යැ.

40.
ආමන්‌තනා හොති සහායමජ්‌ඣෙ,
වාසෙ ඨානෙ ගමනෙ චාරිකාය;
අනභිජ්‌ඣිතං සෙරිතං පෙක්‌ඛමානො,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

40. යහළුවන් මැද වසනුවහට (දිවාශයන සඞ්ඛ්‍යාත) වාසයෙහි දු (මහාඋපස්ථාන සඞ්ඛ්‍යාත) ස්ථානයෙහි දු ගමනයෙහි දු චාරිකායෙහිදු (මේ අසව, මේ දෙව ආදී) ඇමතීම් ඇත. (කාමීන් විසින්) නො ඉස්නා පැවිද්ද ද ස්වෛරීභාවය ද පතනුයෙම් කගවෙහෙණහඟක් බඳු වූයෙම් එකලා වැ හැසිරෙන්නෙමි.

41.
ඛිඩ්‌ඩා රතී හොති සහායමජ්‌ඣෙ,
පුත්‌තෙසු ච විපුලං හොති පෙමං;
පියවිප්‌පයොගං විජිගුච්‌ඡමානො,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

41. යහළුවන් මැද ක්‍රීඩා හා පඤ්චකාමගුණරතිය හා වෙයි. දරුවන් කෙරෙහි විපුල ප්‍රේමය වෙයි. (එයින් හටගන්නා) විප්‍රයෝග දුඃඛය වෙසෙසින් පිළිකුල් කරනුයෙම්. කගවෙහෙණහඟක් බඳු වූයෙම් එකලා වැ හැසිරෙන්නෙමි.

42.
චාතුද්‌දිසො අප්‌පටිඝො ච හොති,
සන්‌තුස්‌සමානො ඉතරීතරෙන;
පරිස්‌සයානං සහිතා අඡම්‌භී,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

42. ඉතරීතර (කුදුමහත්) ප්‍ර‍ත්‍යයයෙන් සතුටු වනුයේ සතර බඹවිහරණයෙන් පතළ සිවුදිග ඇතියේ ප්‍ර‍තිඝ රහිත වූයේ ද වෙයි. උවදුරු සහනුයේ තැතිගැනුම් නැත්තේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යැ.

43.
දුස්‌සඞ්‌ගහා පබ්‌බජිතාපි එකෙ,
අථො ගහට්‌ඨා ඝරමාවසන්‌තා;
අප්‌පොස්‌සුක්‌කො පරපුත්‌තෙසු හුත්‌වා,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

43. ඇතැම් පැවිද්දෝ ද යළි ගිහිගේ වැසි ගෘහස්ථයෝ ද සඞ්ග්‍ර‍හ කිරීමට දුෂ්කර වෙති. පරපුත්‍ර‍යන් කෙරෙහි අල්පොත්සුක වැ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යැ.

44.
ඔරොපයිත්‌වා ගිහිබ්‍යඤ්‌ජනානි [ගිහිව්‍යඤ්‌ජනානි (ස්‍යා. කං. පී.)],
සඤ්‌ඡින්‌නපත්‌තො [සංසීනපත්‌තො (සී.)] යථා කොවිළාරො;
ඡෙත්‌වාන වීරො ගිහිබන්‌ධනානි,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

44. ගිලිහුණු පත්‍ර‍ ඇති කොබෝලීල රුකක් සෙයින් (කෙහෙරවුළු ඈ) ගිහීව්‍යඤ්ජනයන් බැහැර කොට මාර්ගවීර්යය ඇත්තේ ගිහී (කාම) බන්‍ධනයන් (මාර්ගඥානයෙන්) සිඳපියා කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යැ.

45.
සචෙ ලභෙථ නිපකං සහායං,
සද්‌ධිං චරං සාධුවිහාරිධීරං;
අභිභුය්‍ය සබ්‌බානි පරිස්‌සයානි,
චරෙය්‍ය තෙනත්‌තමනො සතීමා.

45. ඉදින් (කිසුණු පිරියම් ආදියෙහි නිපුණ වූ සාධු (අර්පණඋපචාර) විහරණ ඇති ප්‍රාඥ වූ සමග හැසිරෙන සහායයකු ලබන්නේ නම් හැම උවදුරු මැඬලා එයින් තුටු වැ සිහි ඇති වැ හැසිරෙන්නේ යැ.

46.
නො චෙ ලභෙථ නිපකං සහායං,
සද්‌ධිං චරං සාධුවිහාරිධීරං;
රාජාව රට්‌ඨං විජිතං පහාය,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

46. ඉදින් නිපුණ වූ සාධුවිහාර ඇති වූ ප්‍රාඥ වූ සමග හැසිරෙන සහායයකු නොලබා නම් දිනූරට හැරපියා එකලා වැ රජක්හු සෙයින් බාලයා හැරපියා කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යැ.

47.
අද්‌ධා පසංසාම සහායසම්‌පදං,
සෙට්‌ඨා සමා සෙවිතබ්‌බා සහායා;
එතෙ අලද්‌ධා අනවජ්‌ජභොජී,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

47. ඒකාන්තයෙන් සහාය සම්පත් පසසම්හ. ශ්‍රේෂ්ඨ වූ සමවූ සහාය යෝ සෙවියයුත්තාහ. නිරවද්‍ය භෝජන (ආජීව) ඇත්තේ තුලුන් නො ලැබැ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යැ.

48.
දිස්‌වා සුවණ්‌ණස්‌ස පභස්‌සරානි,
කම්‌මාරපුත්‌තෙන සුනිට්‌ඨිතානි;
සඞ්‌ඝට්‌ටමානානි දුවෙ භුජස්‌මිං,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

48. තරහල් පුතක්හු විසින් මැනැවින් නිමවනලද දිලියෙනසුලු රන්වලය දෙක අත්හි ගැටෙනු දැක කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ යැ.

49.
එවං දුතියෙන [දුතියෙන (සබ්‌බත්‌ථ)] සහා මමස්‌ස,
වාචාභිලාපො අභිසජ්‌ජනා වා;
එතං භයං ආයතිං පෙක්‌ඛමානො,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

49. මෙසෙයින් (ගණවාස ඇතිකල) මට දෙවැන්නකු සමග වාගභිලාප (දෙතිස් කථා) වන්නේ යැ. (ඔහු කෙරෙහි) ඇලීම හෝ වන්නේ යැ. ආයතිභවයෙහි තෙල බිය දක්මින් කගවෙහෙණහඟක් බඳු වැ එකලා වැ හැසිරෙන්නෙමි.

50.
කාමා හි චිත්‍රා මධුරා මනොරමා,
විරූපරූපෙන මථෙන්‌ති චිත්‌තං;
ආදීනවං කාමගුණෙසු දිස්‌වා,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

50. විසිතුරු වූ මියුරු වූ (අඳබල් පුහුදුනන් ගේ) සිත් අලවන (වස්තු ක්ලේශ) කාමයෝ විවිධස්වරූපයෙන් සිත් අලළති. කාමගුණයෙහි ආදීනව දැක කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙම්.

51.
ඊතී ච ගණ්‌ඩො ච උපද්‌දවො ච,
රොගො ච සල්‌ලඤ්‌ච භයඤ්‌ච මෙතං;
එතං භයං කාමගුණෙසු දිස්‌වා,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

51. තෙල (ආගන්තුක ව්‍යසනහේතුවූ) ඊතිය ද ගණ්ඩය ද උපද්‍රවය ද රෝගය ද (ඇතුළත පෙළන) ශල්‍යය ද භය ද කාමයට නමෙකි. කාමගුණයෙහි තෙල ආදීනව දැක කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ සරනෙම්.

52.
සීතඤ්‌ච උණ්‌හඤ්‌ච ඛුදං පිපාසං,
වාතාතපෙ ඩංසසරීසපෙ [ඩංසසිරිංසපෙ (සී. ස්‍යා. කං. පී.)] ච;
සබ්‌බානිපෙතානි අභිසම්‌භවිත්‌වා,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

52. සිහිලස ද උණුසුම ද සා පවස් ද වා අවු මැසි මදුරුවන් ද යන තෙල හැම මැඩැගෙණ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙම්.

53.
නාගොව යූථානි විවජ්‌ජයිත්‌වා,
සඤ්‌ජාතඛන්‌ධො පදුමී උළාරො;
යථාභිරන්‌තං විහරං [විහරෙ (සී. පී. නිද්‌දෙස)] අරඤ්‌ඤෙ,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

53. ඇත්මුළ හැරැපියා අරන්හි සිත්සේ වෙසෙන, මොනොවට වැඩුනු කඳ ඇති, පද්මකූල සම්භූත වූ, (වීර්‍ය්‍ය ජව බලාදියෙන්) මහත් වූ ඇත් රජක්හු සෙයින් හටගත් අශෛක්ෂ ශීලස්කන්‍ධාදිය ඇතියෙම් පද්මසදෘශ බෝධ්‍යඞ්ග ඇතියෙම් (හෝ ආර්‍ය්‍යජාති ඇතියෙම්) උදාර වූ ශීල සමාධි ප්‍ර‍ඥා ඇතියෙම් ගණයා හැරපියා අරනෙහි සිත්සේ වාස කරනුයෙම් කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙම්.

54.
අට්‌ඨානතං සඞ්‌ගණිකාරතස්‌ස,
යං ඵස්‌සයෙ [ඵුස්‌සයෙ (ස්‍යා.)] සාමයිකං විමුත්‌තිං;
ආදිච්‌චබන්‌ධුස්‌ස වචො නිසම්‌ම,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

54. යමෙක් යම් කරුණෙකින් සාමයිකවිමුක්තිය (ලෞකික සමාපත්ති) අධිගම කෙරේ නම් ගණසඞ්ගණිකායෙහි ඇලුනහුට ඒ අස්ථානය යන ආදිත්‍ය බන්‍ධූහු (පසේ බුදුන්) ගේ වචනය අසා කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ සරනෙම්.

55.
දිට්‌ඨීවිසූකානි උපාතිවත්‌තො,
පත්‌තො නියාමං පටිලද්‌ධමග්‌ගො;
උප්‌පන්‌නඤාණොම්‌හි අනඤ්‌ඤනෙය්‍යො,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

55. දෘෂ්ටිවිශූකයන් (සතිකායදෘෂ්ටිය හෝ දෙසැට මිස දිටු) ශ්‍රෝතආපත්තිමාර්‍ගසඞ්ඛ්‍යාත දර්‍ශනයෙන් ඉක්මවූයෙම් (සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත) නියාමයට පැමිණයෙම් පිළිලදශෙෂමාර්‍ග ඇතියෙම් උපන් ප්‍ර‍ත්‍යකබෝධ ඥාන ඇතියෙම් වෙමි. එහෙයින් අනෙකක්හු විසින් සත්‍යාවබෝධයට නො පැමිණවියයුතුවූයෙම් කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නෙමි.

56.
නිල්‌ලොලුපො නික්‌කුහො නිප්‌පිපාසො,
නිම්‌මක්‌ඛො නිද්‌ධන්‌තකසාවමොහො;
නිරාසයො [නිරාසාසො (ක.)] සබ්‌බලොකෙ භවිත්‌වා,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

56. (රසතෘෂ්ණායෙහි) ලොල් නො වූයෙම්, කුහක නො වූයෙම් (මියුරුරස බුදිනු කැමැති) පවස් නැතියෙම්, මකු නො වූයෙම්, නසාලූ රාගාදි කෙලෙස් කසට හා මෝහ ඇතියෙම්. සවුලොව්හි තෘෂ්ණා නැති වැ කගමුවහඟක් සෙයින් එකලා ව හැසිරෙන්නෙමි.

57.
පාපං සහායං පරිවජ්‌ජයෙථ,
අනත්‌ථදස්‌සිං විසමෙ නිවිට්‌ඨං;
සයං න සෙවෙ පසුතං පමත්‌තං,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

57. අනර්ථ එළවන කායදුශ්චරිතාදී විෂමයෙහි බැසගත් පාපමිත්‍රයන් දුරලන්නේ ය. මිසදිටුහි ලැගුනු පස්කම්ගුණෙහි වුටුහු සිත් ඇතියහු නො සෙවුනේ ය. කගවෙහෙණ හඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.

58.
බහුස්‌සුතං ධම්‌මධරං භජෙථ,
මිත්‌තං උළාරං පටිභානවන්‌තං;
අඤ්‌ඤාය අත්‌ථානි විනෙය්‍ය කඞ්‌ඛං,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

58. බහුශ්‍රැත වූ ධර්මධර වූ උදාර වු ප්‍ර‍තිභාන ඇති, මිත්‍ර‍යකු භජනය කරන්නේ ය. (ආත්මාර්‍ථාදී) අර්‍ථයන් දැනැ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.

59.
ඛිඩ්‌ඩං රතිං කාමසුඛඤ්‌ච ලොකෙ,
අනලඞ්‌කරිත්‌වා අනපෙක්‌ඛමානො;
විභූසනට්‌ඨානා විරතො සච්‌චවාදී,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

59. ලොව්හි කායිකවාචසික ක්‍රීඩා ද පඤ්චකාමගුණික රතිය ද වස්තුකාමසුඛය ද (සාර විසින්) නො ගැණ එය අපේක්‍ෂා නො කරන්නේ විභූෂණකරෙනයෙන් දුරුවූයේ සත්‍යවචන කියන සුලු වූයේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.

60.
පුත්‌තඤ්‌ච දාරං පිතරඤ්‌ච මාතරං,
ධනානි ධඤ්‌ඤානි ච බන්‌ධවානි [බන්‌ධවානි ච (පී.)];
හිත්‌වාන කාමානි යථොධිකානි,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

60. අඹුදරුවන් ද මාපියන් ද ධනය ද ධාන්‍ය ද බන්‍ධුසමූහයද යන කාමයන් ස්වකීය අවධිවශයෙන් හැරපියා කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.

61.
සඞ්‌ගො එසො පරිත්‌තමෙත්‌ථ සොඛ්‍යං,
අප්‌පස්‌සාදො දුක්‌ඛමෙත්‌ථ භිය්‍යො;
ගළො එසො ඉති ඤත්‌වා මුතීමා [මතීමා (ස්‍යා. ක.)],
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

61. “තෙල පඤ්චකාමගුණය සඞ්ගයෙකි, මෙහි සෞඛ්‍යය අල්ප යැ, අල්පාස්වාද ඇත්තේ ය. මෙහි දුක් බොහෝ ය. තෙල බිලියෙකැ” යි දැනැ නුවණැතියේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.

62.
සන්‌දාලයිත්‌වාන [පදාලයිත්‌වාන (ක.)] සංයොජනානි,
ජාලංව භෙත්‌වා සලිලම්‌බුචාරී;
අග්‌ගීව දඩ්‌ඪං අනිවත්‌තමානො,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

62. දියෙහි දැල බිඳගෙණ ගිය මසෙකු සෙයින් සංයොජනයන් පලා දැවුනු තැනට පෙරලා නො එන ගින්නක් සෙයින් (කෙලෙසුන් කරා) නැවැත නො එනුයේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.

63.
ඔක්‌ඛිත්‌තචක්‌ඛූ න ච පාදලොලො,
ගුත්‌තින්‌ද්‍රියො රක්‌ඛිතමානසානො;
අනවස්‌සුතො අපරිඩය්‌හමානො,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

63. යට බලා හෙලූ ඇස් ඇතියේ නො ද පාද ලොල වූයේ ගෝපානය කළ ඉඳුරන් ඇතියේ රක්නා ලද මනස ඇතියේ, කෙලෙසුන් විසින් නො තෙත් වූයේ, (කෙලෙස ගින්නෙන්) නො දැවුනේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.

64.
ඔහාරයිත්‌වා ගිහිබ්‍යඤ්‌ජනානි,
සඤ්‌ඡන්‌නපත්‌තො [සඤ්‌ඡින්‌නපත්‌තො (ස්‍යා. පී.), පච්‌ඡින්‌නපත්‌තො (ක.)] යථා පාරිඡත්‌තො;
කාසායවත්‌ථො අභිනික්‌ඛමිත්‌වා,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

64. (කෙස්රවුළු ඈ) ගිහීව්‍යඤ්ජනයන් හැරපියා සැදුම්ලත් පත්‍ර‍ ඇති පරසතු රුකක්සෙයින් හැඳපෙරවූ කහවත් ඇතියේ අබිනික්මන් කොට කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.

65.
රසෙසු ගෙධං අකරං අලොලො,
අනඤ්‌ඤපොසී සපදානචාරී;
කුලෙ කුලෙ අප්‌පටිබද්‌ධචිත්‌තො [අප්‌පටිබන්‌ධචිත්‌තො (ක.)],
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

65. රසයෙහි ගිජුබව නො කරණුයේ රසවිසාහි ලොග් නො වූයේ, අනෙකක්හු නො පුස්නාසුලුයේ, ගෙපිළිවෙලින් පිඬුසිඟා වඩනුයේ (කෙලෙස් විසින්) කුගයෙහි නොලැගි සිත් ඇතියේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.

66.
පහාය පඤ්‌චාවරණානි චෙතසො,
උපක්‌කිලෙසෙ බ්‍යපනුජ්‌ජ සබ්‌බෙ;
අනිස්‌සිතො ඡෙත්‌ව [ඡෙත්‌වා (ස්‍යා. පී. ක.)] සිනෙහදොසං [ස්‌නෙහදොසං (ක.)],
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

66. චිත්තයට ආවරණ වූ පඤ්චනීවරණයන් හැරපියා (අභිධ්‍යාදි) හැම උපක්ලේශයන් විවසුන්-මගින් දුරු කොට (දෘෂ්ටිනිඃශ්‍රයෙන්) අඃනිශ්‍රිත වූයේ (ත්‍රෛධාතුකවූ) ස්නේහදොෂය සිඳපියා, කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.

67.
විපිට්‌ඨිකත්‌වාන සුඛං දුඛඤ්‌ච,
පුබ්‌බෙව ච සොමනස්‌සදොමනස්‌සං;
ලද්‌ධානුපෙක්‌ඛං සමථං විසුද්‌ධං,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

67. කායික වූ සුඛය ද දුඃඛය ද පිටු දැක පළමු මැ චෛතසික සොම්නස්, දොම්නස් ද හැරපියා චතුර්ථධ්‍යාන උපේක්ෂාව ද (පඤ්ච නීවරණයෙන්) විශුද්ධ වූ චිත්තශමථය ද ලැබ, කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.

68.
ආරද්‌ධවීරියො පරමත්‌ථපත්‌තියා,
අලීනචිත්‌තො අකුසීතවුත්‌ති;
දළ්‌හනික්‌කමො ථාමබලූපපන්‌නො,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

68. පරමාර්‍ථ (නිර්‍වාණ) යට පැමිණීම සඳහා රුකුළු වැර ඇතියේ නො හැකුළුනු සිත් ඇතියේ ප්‍ර‍ධන්වීර්‍ය්‍ය ඇතියේ ස්ථිර වූ ඥානබලයට පැමිණියේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.

69.
පටිසල්‌ලානං ඣානමරිඤ්‌චමානො,
ධම්‌මෙසු නිච්‌චං අනුධම්‌මචාරී;
ආදීනවං සම්‌මසිතා භවෙසු,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

69. (කායවිවේක සඞ්ඛ්‍යාත) පිළිසලන ද (චිත්තවිවේක සඞ්ඛ්‍යාත) ධ්‍යානය ද නො හරනුයේ, නිරතුරු (විදර්‍ශනොපග වූ) පඤ්චස්කන්ධාදී ධර්මයන්හි අනුධර්මචාරී වූයේ, භවත්‍රයෙහි ආදීනව දන්නේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.

70.
තණ්‌හක්‌ඛයං පත්‌ථයමප්‌පමත්‌තො,
අනෙළමූගො [අනෙලමූගො (ස්‍යා. පී. ක.)] සුතවා සතීමා;
සඞ්‌ඛාතධම්‌මො නියතො පධානවා,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

70. තෘෂ්ණාක්ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණය පතනුයේ නො පමා වූයේ කෙළතොලු නො වූයේ ආගමධර වූයේ, ස්මෘතිමත් වූයේ (ධර්මොපපරීක්ෂායෙන්) පරිඥාත ධර්ම ඇතියේ, අරිමගින නියාමයට පැමිණියේ සම්‍යක්ප්‍ර‍න්වීර්‍ය්‍ය ඇතියේ, කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.

71.
සීහොව සද්‌දෙසු අසන්‌තසන්‌තො,
වාතොව ජාලම්‌හි අසජ්‌ජමානො;
පදුමංව තොයෙන අලිප්‌පමානො [අලිම්‌පමානො (සී. ස්‍යා. ක.)],
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

71. ශබ්දයෙහි කේශරසිංහයකු සෙයින් (අනිත්‍යාදියෙහි) ත්‍රස්ත නො වනුයේ දැලෙහි වාතය සෙයින් ( ස්කන්‍ධාධාත්‍වායතනාදියෙහි ) නො ලැගෙනුයේ ජලය හා මුසු නොවන පියුමක් සෙයින් සර්‍වභවභොගලොභයෙන් නො තැවැරෙනුයේ කගවෙහෙණ හඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.

72.
සීහො යථා දාඨබලී පසය්‌හ,
රාජා මිගානං අභිභුය්‍ය චාරී;
සෙවෙථ පන්‌තානි සෙනාසනානි,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

72. මෘගරාජන් වූ කේශරසිංහ තෙම දළ බල කොට ඇතියේ යම්සේ ලා හෙලා හැසිරේ ද (කායබලයෙන්) තේජසින් සතුරන් අභිබවා හැසිරේ ද එසෙයින් වනයෙහි දුරැසෙනසුන් සෙවුනේ ය. කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.

73.
මෙත්‌තං උපෙක්‌ඛං කරුණං විමුත්‌තිං,
ආසෙවමානො මුදිතඤ්‌ච කාලෙ;
සබ්‌බෙන ලොකෙන අවිරුජ්‌ඣමානො,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

73. (හිතසුඛොපනයනකාමතා සඞ්ඛ්‍යාත) මෛත්‍රිය ද (සුඛදුඃඛාධ්‍යුපෙක්ෂණතා සඞ්ඛ්‍යාත) උපේක්ෂාව ද (අහිතදුඃඛාපනයනකාමතා සඞ්ඛ්‍යාත) කරුණාව ද (හිතසුඛාවිප්‍රයොගකම්‍යතා සඞ්ඛ්‍යාත) මුදිතාව ද යන චතුර්විධ විමුක්තිය යුක්තප්‍රාප්ත කාලයෙහි සෙවුනේ හැම සත්ත්‍වලෝකයා හා අවිරුද්ධ වෙමින් කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.

74.
රාගඤ්‌ච දොසඤ්‌ච පහාය මොහං,
සන්‌දාලයිත්‌වාන සංයොජනානි;
අසන්‌තසං ජීවිතසඞ්‌ඛයම්‌හි,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

74. රාගය ද ද්වේෂය ද මෝහය ද ප්‍රහීණ කොට දශසංයෝජනයන් ප්‍රදාලනය කොට (ච්‍යුතිචිත්තපරිභෙද සඞ්ඛ්‍යාත) ජීවිතක්‍ෂයෙහි ත්‍රස්ත නො වනුයේ කගවෙහෙණ හඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.

75.
භජන්‌ති සෙවන්‌ති ච කාරණත්‌ථා,
නික්‌කාරණා දුල්‌ලභා අජ්‌ජ මිත්‌තා;
අත්‌තට්‌ඨපඤ්‌ඤා අසුචී මනුස්‌සා,
එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.

75. අර්ථය කරුණු කොට ගෙන ඇත්තාහු භජනය කෙරෙති. සේවනය ද කෙරෙති. (අර්ථප්‍රතිලාභ කාරණයෙන්) නිෂ්කාරණ වූ ආර්‍ය්‍යමිත්‍රයෝ දුලබ වෙති. ආත්මාර්ථයෙහි ප්‍රඥා ඇති මනුෂ්‍යයෝ අපවිත්‍ර‍වූ කායකර්මාදියෙන් යුක්ත වෙති. එහෙයින් කගවෙහෙණ හඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ යි.

ඛග්‌ගවිසාණසුත්‌තං නිට්‌ඨිතං.

ඛග්ගවිසාණ සූත්‍ර‍ය නිමි.