35. සියලු සතුන් කෙරෙහි (කාය, වාක්, මනස්) දණ්ඩය හැරැපියා ඒ සතුන් කෙරෙන් අන්‍යතර එකකුදු නොපෙළනුයේ පුතකුදු නො පතන්නේ යැ. ‘යහළුවකු පතන්නේ යැ’ යනු කොයින් ලැබේ ද, කගවෙහෙණ හඟක් බඳු වූයේ එකලා වැ හැසිරෙන්නේ යැ.
36. හටගත් (දර්ශනාදී) සංසර්ග ඇතියහුට බලවත් ස්නේහයෝ උපදනාහ. මේ (ශෝකාදි) දුක ස්නේහ පරම්පරානුගත වැ උපදනේ යැ. ස්නේහයෙන් උපන් ආදීනව දකිමින් කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ යැ.
37. සුහෘද්මිත්‍රයන්ට අනුකම්පා කෙරෙමින් පිළිබඳ සිතැති තැනැත්තේ (ත්‍රිවි) අර්ථය නසාලයි. සන්ථවයෙහි ඇති තෙල බිය දක්මින් කගවෙහෙණහඟ බඳු වූයේ එකලා වැ හැසිරෙන්නේ යැ.
38. පුතුන් කෙරෙහි ද අඹුවන් කෙරෙහි ද යම් අපේක්ෂායෙක් ඇද්ද, ඒ (හුණ ළැහැබෙක්හි) හිවීගිය මහ හුණගසක් වැන්න. මම් එහි නො ලැගෙන හුණකිළිලක් සෙයින් කගමුවහඟ බඳු වී එකලා වැ හැසිරෙන්නේ යැ.
39. යම් පරිදි වෙනෙහි තිත්මුවා නො බැඳුනේ ගොදුරු පිණිස රිසියෙන් තැනෙක යේ ද එපරිදි නුවණැති මිනිසා ස්වෛරීභාවය පතනුයේ කගවෙහෙණහඟක් බඳු වූයේ එකලා වැ හැසිරෙන්නේ යැ.
40. යහළුවන් මැද වසනුවහට (දිවාශයන සඞ්ඛ්‍යාත) වාසයෙහි දු (මහාඋපස්ථාන සඞ්ඛ්‍යාත) ස්ථානයෙහි දු ගමනයෙහි දු චාරිකායෙහිදු (මේ අසව, මේ දෙව ආදී) ඇමතීම් ඇත. (කාමීන් විසින්) නො ඉස්නා පැවිද්ද ද ස්වෛරීභාවය ද පතනුයෙම් කගවෙහෙණහඟක් බඳු වූයෙම් එකලා වැ හැසිරෙන්නෙමි.
41. යහළුවන් මැද ක්‍රීඩා හා පඤ්චකාමගුණරතිය හා වෙයි. දරුවන් කෙරෙහි විපුල ප්‍රේමය වෙයි. (එයින් හටගන්නා) විප්‍රයෝග දුඃඛය වෙසෙසින් පිළිකුල් කරනුයෙම්. කගවෙහෙණහඟක් බඳු වූයෙම් එකලා වැ හැසිරෙන්නෙමි.
42. ඉතරීතර (කුදුමහත්) ප්‍රත්‍යයයෙන් සතුටු වනුයේ සතර බඹවිහරණයෙන් පතළ සිවුදිග ඇතියේ ප්‍රතිඝ රහිත වූයේ ද වෙයි. උවදුරු සහනුයේ තැතිගැනුම් නැත්තේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යැ.
43. ඇතැම් පැවිද්දෝ ද යළි ගිහිගේ වැසි ගෘහස්ථයෝ ද සඞ්ග්‍රහ කිරීමට දුෂ්කර වෙති. පරපුත්‍රයන් කෙරෙහි අල්පොත්සුක වැ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යැ.
44. ගිලිහුණු පත්‍ර ඇති කොබෝලීල රුකක් සෙයින් (කෙහෙරවුළු ඈ) ගිහීව්‍යඤ්ජනයන් බැහැර කොට මාර්ගවීර්යය ඇත්තේ ගිහී (කාම) බන්‍ධනයන් (මාර්ගඥානයෙන්) සිඳපියා කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යැ.
45. ඉදින් (කිසුණු පිරියම් ආදියෙහි නිපුණ වූ සාධු (අර්පණඋපචාර) විහරණ ඇති ප්‍රාඥ වූ සමග හැසිරෙන සහායයකු ලබන්නේ නම් හැම උවදුරු මැඬලා එයින් තුටු වැ සිහි ඇති වැ හැසිරෙන්නේ යැ.
46. ඉදින් නිපුණ වූ සාධුවිහාර ඇති වූ ප්‍රාඥ වූ සමග හැසිරෙන සහායයකු නොලබා නම් දිනූරට හැරපියා එකලා වැ රජක්හු සෙයින් බාලයා හැරපියා කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යැ.
47. ඒකාන්තයෙන් සහාය සම්පත් පසසම්හ. ශ්‍රේෂ්ඨ වූ සමවූ සහාය යෝ සෙවියයුත්තාහ. නිරවද්‍ය භෝජන (ආජීව) ඇත්තේ තුලුන් නො ලැබැ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යැ.
48. තරහල් පුතක්හු විසින් මැනැවින් නිමවනලද දිලියෙනසුලු රන්වලය දෙක අත්හි ගැටෙනු දැක කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ යැ.
49. මෙසෙයින් (ගණවාස ඇතිකල) මට දෙවැන්නකු සමග වාගභිලාප (දෙතිස් කථා) වන්නේ යැ. (ඔහු කෙරෙහි) ඇලීම හෝ වන්නේ යැ. ආයතිභවයෙහි තෙල බිය දක්මින් කගවෙහෙණහඟක් බඳු වැ එකලා වැ හැසිරෙන්නෙමි.
50. විසිතුරු වූ මියුරු වූ (අඳබල් පුහුදුනන් ගේ) සිත් අලවන (වස්තු ක්ලේශ) කාමයෝ විවිධස්වරූපයෙන් සිත් අලළති. කාමගුණයෙහි ආදීනව දැක කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙම්.
51. තෙල (ආගන්තුක ව්‍යසනහේතුවූ) ඊතිය ද ගණ්ඩය ද උපද්‍රවය ද රෝගය ද (ඇතුළත පෙළන) ශල්‍යය ද භය ද කාමයට නමෙකි. කාමගුණයෙහි තෙල ආදීනව දැක කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ සරනෙම්.
52. සිහිලස ද උණුසුම ද සා පවස් ද වා අවු මැසි මදුරුවන් ද යන තෙල හැම මැඩැගෙණ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙම්.
53. ඇත්මුළ හැරැපියා අරන්හි සිත්සේ වෙසෙන, මොනොවට වැඩුනු කඳ ඇති, පද්මකූල සම්භූත වූ, (වීර්‍ය්‍ය ජව බලාදියෙන්) මහත් වූ ඇත් රජක්හු සෙයින් හටගත් අශෛක්ෂ ශීලස්කන්‍ධාදිය ඇතියෙම් පද්මසදෘශ බෝධ්‍යඞ්ග ඇතියෙම් (හෝ ආර්‍ය්‍යජාති ඇතියෙම්) උදාර වූ ශීල සමාධි ප්‍රඥා ඇතියෙම් ගණයා හැරපියා අරනෙහි සිත්සේ වාස කරනුයෙම් කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙම්.
54. යමෙක් යම් කරුණෙකින් සාමයිකවිමුක්තිය (ලෞකික සමාපත්ති) අධිගම කෙරේ නම් ගණසඞ්ගණිකායෙහි ඇලුනහුට ඒ අස්ථානය යන ආදිත්‍ය බන්‍ධූහු (පසේ බුදුන්) ගේ වචනය අසා කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ සරනෙම්.
55. දෘෂ්ටිවිශූකයන් (සතිකායදෘෂ්ටිය හෝ දෙසැට මිස දිටු) ශ්‍රෝතආපත්තිමාර්‍ගසඞ්ඛ්‍යාත දර්‍ශනයෙන් ඉක්මවූයෙම් (සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත) නියාමයට පැමිණයෙම් පිළිලදශෙෂමාර්‍ග ඇතියෙම් උපන් ප්‍රත්‍යකබෝධ ඥාන ඇතියෙම් වෙමි. එහෙයින් අනෙකක්හු විසින් සත්‍යාවබෝධයට නො පැමිණවියයුතුවූයෙම් කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නෙමි.
56. (රසතෘෂ්ණායෙහි) ලොල් නො වූයෙම්, කුහක නො වූයෙම් (මියුරුරස බුදිනු කැමැති) පවස් නැතියෙම්, මකු නො වූයෙම්, නසාලූ රාගාදි කෙලෙස් කසට හා මෝහ ඇතියෙම්. සවුලොව්හි තෘෂ්ණා නැති වැ කගමුවහඟක් සෙයින් එකලා ව හැසිරෙන්නෙමි.
57. අනර්ථ එළවන කායදුශ්චරිතාදී විෂමයෙහි බැසගත් පාපමිත්‍රයන් දුරලන්නේ ය. මිසදිටුහි ලැගුනු පස්කම්ගුණෙහි වුටුහු සිත් ඇතියහු නො සෙවුනේ ය. කගවෙහෙණ හඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
58. බහුශ්‍රැත වූ ධර්මධර වූ උදාර වු ප්‍රතිභාන ඇති, මිත්‍රයකු භජනය කරන්නේ ය. (ආත්මාර්‍ථාදී) අර්‍ථයන් දැනැ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
59. ලොව්හි කායිකවාචසික ක්‍රීඩා ද පඤ්චකාමගුණික රතිය ද වස්තුකාමසුඛය ද (සාර විසින්) නො ගැණ එය අපේක්‍ෂා නො කරන්නේ විභූෂණකරෙනයෙන් දුරුවූයේ සත්‍යවචන කියන සුලු වූයේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
60. අඹුදරුවන් ද මාපියන් ද ධනය ද ධාන්‍ය ද බන්‍ධුසමූහයද යන කාමයන් ස්වකීය අවධිවශයෙන් හැරපියා කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
61. “තෙල පඤ්චකාමගුණය සඞ්ගයෙකි, මෙහි සෞඛ්‍යය අල්ප යැ, අල්පාස්වාද ඇත්තේ ය. මෙහි දුක් බොහෝ ය. තෙල බිලියෙකැ” යි දැනැ නුවණැතියේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
62. දියෙහි දැල බිඳගෙණ ගිය මසෙකු සෙයින් සංයොජනයන් පලා දැවුනු තැනට පෙරලා නො එන ගින්නක් සෙයින් (කෙලෙසුන් කරා) නැවැත නො එනුයේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
63. යට බලා හෙලූ ඇස් ඇතියේ නො ද පාද ලොල වූයේ ගෝපානය කළ ඉඳුරන් ඇතියේ රක්නා ලද මනස ඇතියේ, කෙලෙසුන් විසින් නො තෙත් වූයේ, (කෙලෙස ගින්නෙන්) නො දැවුනේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
64. (කෙස්රවුළු ඈ) ගිහීව්‍යඤ්ජනයන් හැරපියා සැදුම්ලත් පත්‍ර ඇති පරසතු රුකක්සෙයින් හැඳපෙරවූ කහවත් ඇතියේ අබිනික්මන් කොට කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
65. රසයෙහි ගිජුබව නො කරණුයේ රසවිසාහි ලොග් නො වූයේ, අනෙකක්හු නො පුස්නාසුලුයේ, ගෙපිළිවෙලින් පිඬුසිඟා වඩනුයේ (කෙලෙස් විසින්) කුගයෙහි නොලැගි සිත් ඇතියේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
66. චිත්තයට ආවරණ වූ පඤ්චනීවරණයන් හැරපියා (අභිධ්‍යාදි) හැම උපක්ලේශයන් විවසුන්-මගින් දුරු කොට (දෘෂ්ටිනිඃශ්‍රයෙන්) අඃනිශ්‍රිත වූයේ (ත්‍රෛධාතුකවූ) ස්නේහදොෂය සිඳපියා, කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
67. කායික වූ සුඛය ද දුඃඛය ද පිටු දැක පළමු මැ චෛතසික සොම්නස්, දොම්නස් ද හැරපියා චතුර්ථධ්‍යාන උපේක්ෂාව ද (පඤ්ච නීවරණයෙන්) විශුද්ධ වූ චිත්තශමථය ද ලැබ, කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
68. පරමාර්‍ථ (නිර්‍වාණ) යට පැමිණීම සඳහා රුකුළු වැර ඇතියේ නො හැකුළුනු සිත් ඇතියේ ප්‍රධන්වීර්‍ය්‍ය ඇතියේ ස්ථිර වූ ඥානබලයට පැමිණියේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
69. (කායවිවේක සඞ්ඛ්‍යාත) පිළිසලන ද (චිත්තවිවේක සඞ්ඛ්‍යාත) ධ්‍යානය ද නො හරනුයේ, නිරතුරු (විදර්‍ශනොපග වූ) පඤ්චස්කන්ධාදී ධර්මයන්හි අනුධර්මචාරී වූයේ, භවත්‍රයෙහි ආදීනව දන්නේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
70. තෘෂ්ණාක්ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණය පතනුයේ නො පමා වූයේ කෙළතොලු නො වූයේ ආගමධර වූයේ, ස්මෘතිමත් වූයේ (ධර්මොපපරීක්ෂායෙන්) පරිඥාත ධර්ම ඇතියේ, අරිමගින නියාමයට පැමිණියේ සම්‍යක්ප්‍රන්වීර්‍ය්‍ය ඇතියේ, කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
71. ශබ්දයෙහි කේශරසිංහයකු සෙයින් (අනිත්‍යාදියෙහි) ත්‍රස්ත නො වනුයේ දැලෙහි වාතය සෙයින් ( ස්කන්‍ධාධාත්‍වායතනාදියෙහි ) නො ලැගෙනුයේ ජලය හා මුසු නොවන පියුමක් සෙයින් සර්‍වභවභොගලොභයෙන් නො තැවැරෙනුයේ කගවෙහෙණ හඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
72. මෘගරාජන් වූ කේශරසිංහ තෙම දළ බල කොට ඇතියේ යම්සේ ලා හෙලා හැසිරේ ද (කායබලයෙන්) තේජසින් සතුරන් අභිබවා හැසිරේ ද එසෙයින් වනයෙහි දුරැසෙනසුන් සෙවුනේ ය. කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
73. (හිතසුඛොපනයනකාමතා සඞ්ඛ්‍යාත) මෛත්‍රිය ද (සුඛදුඃඛාධ්‍යුපෙක්ෂණතා සඞ්ඛ්‍යාත) උපේක්ෂාව ද (අහිතදුඃඛාපනයනකාමතා සඞ්ඛ්‍යාත) කරුණාව ද (හිතසුඛාවිප්‍රයොගකම්‍යතා සඞ්ඛ්‍යාත) මුදිතාව ද යන චතුර්විධ විමුක්තිය යුක්තප්‍රාප්ත කාලයෙහි සෙවුනේ හැම සත්ත්‍වලෝකයා හා අවිරුද්ධ වෙමින් කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
74. රාගය ද ද්වේෂය ද මෝහය ද ප්‍රහීණ කොට දශසංයෝජනයන් ප්‍රදාලනය කොට (ච්‍යුතිචිත්තපරිභෙද සඞ්ඛ්‍යාත) ජීවිතක්‍ෂයෙහි ත්‍රස්ත නො වනුයේ කගවෙහෙණ හඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
75. අර්ථය කරුණු කොට ගෙන ඇත්තාහු භජනය කෙරෙති. සේවනය ද කෙරෙති. (අර්ථප්‍රතිලාභ කාරණයෙන්) නිෂ්කාරණ වූ ආර්‍ය්‍යමිත්‍රයෝ දුලබ වෙති. ආත්මාර්ථයෙහි ප්‍රඥා ඇති මනුෂ්‍යයෝ අපවිත්‍රවූ කායකර්මාදියෙන් යුක්ත වෙති. එහෙයින් කගවෙහෙණ හඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ යි.
ඛග්‌ගවිසාණසුත්‌තං නිට්‌ඨිතං.
ඛග්ගවිසාණ සූත්‍රය නිමි.