ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » අට්ඨක නිපාතය » (6) 1. ගෝතමී වර්ගය

8.1.6.1. ගොතමී සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවත්ථු සමීපයෙහි නිග්‍රොධාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි මහාපජාපතීගොතමී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාය, එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියා. එකත්පසෙක සිට ගත් මහාපජාපතී ගොතමී භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළා ය:

වහන්ස, මාගම තථාගත ප්‍ර‍විදිත වූ ධර්මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැවැයි.

ගෞතමිය, කම් නැත. තථාගත ප්‍ර‍විදිත වූ ධර්මවිනයෙහි ගිහි ගෙන් නික්ම මාගමගේ අනගාරිය පැවිද්ද තොපට රිසි නො වේව යි.

දෙවන වටත් මහාප්‍රජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළා ය: වහන්ස, තථාගත ප්‍ර‍විදිත වූ ධර්මවිනයෙහි මාගම ගිහිගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත පැවිද්ද ලබන්නේ නම් මැනැවැ යි.

ගෞතමිය, කම් නැත. තථාගත ප්‍ර‍විදිත වූ ධර්ම විනයෙහි ගිහි ගෙන් නික්ම මාගම්හුගේ අනගාරිය පැවිද්ද තොපට රිසි නො වේවා යි.

තෙවන වටත් මහාපජාපතී ගොතමී භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළා ය: වහන්ස, මාගම තථාගත ප්‍ර‍විදිත ධර්මවිනයෙහි අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැවැයි.

ගොතමිය, කම් නැත. තථාගත ප්‍ර‍විදිත වූ ධර්මවිනයෙහි මාගමගේ අනගාරිය පැවිද්ද රිසි නො වේව යි.

ඉක්බිති මහාප්‍ර‍ජාපතී ගොතමී භාග්‍යවතුන් වහන්සේ මාගමට තථාගත ප්‍රවිදිත ධර්මවිනයෙහි අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේකැ යි දුක් ඇත්තී නො සතුටු සිතැත්තී කඳුළු පිරි මුහුණැත්තී හඬන්නී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට බැහැර ගියා ය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කපිලවත්ථුවෙහි කැමති තාක් කල් වැස වෙසාලිය බලා චාරිකාවට පිටත්ව වැඩි සේක. අනුපිළිවෙළින් සැරිසරන සේක් වෛශාලියට වැදගත් සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වෙසාලියෙහි මහාවනයෙහි වූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක.

එකල්හි මහාපජාපතී ගෝතමී කෙස් බහවා කසාවත් හැඳ බොහෝ සැහැදුන් හා සමග වෙසාලිය බලා පිටත් වූ, අනුපිළිවෙළින් වෙසාලියෙහි මහාවනයෙහි කූටාගාරශාලාවට එළඹියා ය.

ඉක්බිති මහාපජාපතී ගොතමී ඉදිමුණු පයින් රජස් වැකි සිරුරින් යුතුව දුක් ඇත්තී දොම්නස් ඇත්තී කඳුළු පිරි මුහුණැත්තී හඬන්නී බිහි දොර කොටුවෙහි සිටියා ය. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඉදිමුණු පයින් රජස් වැකි සිරුරින් දුක් ඇති දොම්නසින් යුත් කඳුළු පිරි මුහුණැතිව හඬනා බිහි දොර කොටුවෙහි සිටි මහා ප්‍ර‍ජාපතී ගොතමිය දුටහ. දැක මහාපජාපතී ගොතමියට තෙල කරුණ කීහ:

ගොතමිය, කවර හෙයින් තෙපි ඉදිමුණු පයින් හා රජස් වැකි සිරුරින් යුක්ත වුවා දුක් ඇත්තී දොම්නස් ඇත්තී කඳුළු පිරි මුහුණැත්තී හඬන්නී බිහිදොර කොටුවෙහි සිටිය වු ද?

වහන්ස ආනන්දයෙනි, එසේ මැයි; භාග්‍යවතුන් වහන්සේ තථාගත ප්‍ර‍විදිත වු ශාසනයෙහි මාගම්ට ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේකැ යි.

ගෞතමිය, එසේ වී නම් තථාගත ප්‍ර‍විදිත ධර්මවිනයෙහි මාගමක්හට ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද භගවතුන් අතින් මම් යම් තාක් යදිම් ද, ඒතාක් මෙහි ම වෙව.

ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:

“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගමට තථාගත ප්‍ර‍විදිත ශාසනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේකැයි තෙල මහාපජාපතී ගෝතමී තොමෝ ඉදිමුණු පයින් රජස් වැකි සිරුරින් යුතුව දුක් ඇත්තී දොම්නස් ඇත්තී කදුළුපිරි මුහුණැත්තී හඬන්නී බිහිදොර කොටුවෙහි සිටියා ය.

වහන්ස, මාගම තථාගතප්‍ර‍විදිත ශාසනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබනු නම් මැනැවි.”

ආනන්‍දය, කම් නැත. මාගමට තථාගතප්‍ර‍විදිත ශාසනයෙහි ගිහි ගෙන් නික්ම අනගාරිය පැවිද්ද තට රිසි නො වේව යි.

දෙවනු වටදු ... තෙවන වටදු ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, මාගම තථාගතයන් වහන්සේ විසින් පහදා ප්‍ර‍කාශ කරන ලද ධර්මවිනයෙහි (ශාසනයෙහි) ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැවි” යි.

ආනන්‍දය, කම් නැත; මාගමට තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද තට නහමක් රුස්නේව යි.

එසඳ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට තෙල සිත විය: භාග්‍යවතුන් වහන්සේ මාගමහට තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේක. මම් අන් අයුරෙකිනුදු තථාගත ප්‍ර‍විදිත ධර්මවිනයෙහි මාගමහට ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද බුදුන් යදනෙම් මනා මැනු.

ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ. වහන්ස, මාගම තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්දට පැමිණ සොවත්පල හෝ සෙදගැමි පල හෝ අනගැමිපල හෝ රහත්පල හෝ පසක් කරන්නට භව්‍ය වේ දැයි?

ආනන්‍දය, මාගම තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්දට පැමිණ සොවත්පල හෝ සෙදගැමි පල හෝ අනගැමි පල හෝ රහත්පල හා පසක් කරන්නට භව්‍ය වෙයි.

ඉදින් වහන්ස, මාගම තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණ සොවත්පල හා ... රහත්පල හා පසක් කරන්නට භව්‍ය වේ නම්, වහන්ස, මහාප්‍ර‍ජාපතී ගොතමී භගවත්නට බොහෝ වහල් වුව, සුළුමවු ය, අත් පා වැඩූ ය, පෝෂණය කළා ය. මෑණියන් කලුරිය කරත් ම භගවත්නට කිරි පෙවූ ය.

වහන්ස, මාගම තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැව.

ආනන්‍දය, ඉදින් මහාප්‍ර‍ජාපතී ගොතමී අෂ්ට ගුරුධර්මයන් පිළි ගන්නී නම් ඇයට එම උපසම්පදා වේවා යි.

1. “උපසපන් සියක්වස් ඇති මෙහෙණ විසිනුදු එදින උපසපන් මහණක්හට අභිවාදන, ප්‍ර‍ත්‍යුත්‍ථාන, අඤ්ජලිකර්ම, සාමීචිකර්ම කළ යුතු ය. මෙ දහමත් සකසා ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නොයික්ම විය යුතු.

2. මෙහෙණ විසින් ඔවා දෙන මහණක්හු නැති ආවාසයෙහි වස් නො එළැඹිය යුතු. මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නොයික්ම විය යුතු.

3. අඩමසක් පාසා මෙහෙණ විසින් බික් සඟන කෙරෙන් පෙහෙවස් පිළිවිසුම ය, ඔවා පිණිස එළැඹුම් ය යන දහම්හු දෙදෙන කැමති විය යුතුවහ. මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නො ඉක්ම විය යුතු.

4. වස් වුසූ මෙහෙණ විසින් උභතො සඞ්ඝයා කෙරෙහි දැකීමෙන්, ඇසීමෙන්, පරිසඞ්කායෙන් යන තුන් තැනෙකින් පැවරිය යුතු ය. මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නො ඉක්ම විය යුතු.

5. ගරු ඇවැත් අවන් මෙහෙණ විසින් උභතොසඞ්ඝයා කෙරෙහි පක්ෂමානත් පිරිය යුතු ය. මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නො ඉක්ම විය යුතු.

6. දෙවසක් දහම් සයෙක හික්මුණු ශික්ෂා ඇති සික්ඛමානාව විසින් උභතොසඞ්ඝයා කෙරෙහි උපසම්පත් සෙවිය යුතු. මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නොයික්ම විය යුතු.

7. කිසි කරුණෙකිනුදු මෙහෙණ මහණ විසින් ආක්‍රොෂ පරික්‍රොෂ නොකට යුතු. මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නොයික්ම විය යුතු.

8. ආනන්‍දය, අද පටන් කොට මහණුන් කෙරෙහි මෙහෙණන්ගේ (අවවාදානුශාසන ධර්ම කථා සඞ්ඛ්‍යාත) වචනපථය වැසිණ. මහණුන්ගේ වචනපථය මෙහෙණන් කෙරෙහි නො වැසිණ. මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නොයික්ම විය යුතු.

ආනන්‍දය, ඉදින් මහාපජාපතී ගොතමී මේ අෂ්ට ගුරු ධර්මය පිළිගන්නී නම් ඇයට උපසම්පත් එයම වේවයි.

ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භගවතුන් හමුයෙහි මේ අෂ්ට ගුරුධර්මයන් ඉගෙන මහාපජාපතී ගොතමිය වෙත එළඹියහ. එළඹ මහාපජාපතී ගෝතමියට තෙල කීහ:

ගොතමිය, ඉදින් තෙපි අෂ්ටගුරුධර්මයන් පිළිගන්නවු නම් තොපට උපසපුව එ ම වෙයි.

උපසපන් සියක් වස් ඇති මෙහෙණ විසින් එදින උපසපන් මහණහට අභිවාදන ප්‍ර‍ත්‍යුත්‍ථාන, අඤ්ජලිකර්ම සාමීචිකර්ම කළ යුතු ය. මෙ දහම ද සකස් කොට, ගුරු කොට, බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නො ඉක්මිවියයුතු ... අද පටන් මෙහෙණන්ගේ වචනපථය මහණුන් කෙරෙහි වැසිණි. මහණුන් ගේ වචනපථය මෙහෙණන් කෙරෙහි නො වැසිණි, මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවි හිමියෙන් නොයික්ම විය යුතු ය.

ගොතමිය, ඉදින් තෙපි මේ අෂ්ට ගුරු ධර්මයන් පිළිගන්නවු නම් තොපට උපසපුව එ ම වන්නේ ය.

වහන්ස, ආනන්‍දයෙනි, යම් සේ තුරුණු වූ යොවුන් බවට පත් සැරසුම් සැහැවි කොට ඇති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හිස් සැනැහුයේ උපුල් මල්දමක් වේව යි සමන්මල්දමක් වේව යි යොහොඹුමල්දමක් වේවයි ලැබගෙන දෙ අතින් පිළිගෙන උත්තමාඞ්ගය වූ සිරස්හි පිහිටුවන්නේ වේ ද, වහන්ස, එපරිදි ම මම් දිවිහිමියෙන් නොඉක්මවිය යුතු මෙ අෂ්ට ගුරු ධර්මයන් පිළිගනිමි.

ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:

වහන්ස, මහාප්‍ර‍ජාපතී ගොතමිය විසින් දිවිහිමියෙන් නො ඉක්මිය යුතු අෂ්ටගුරු ධර්මයෝ පිළිගන්නා ලදහ යි.

ආනන්‍දය, ඉදින් මාගම තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො ලැබූ නම්, ආනන්‍දය සස්න චිරස්ථිතික විය. (අධිගම) සද්ධර්මය වර්‍ෂසහස්‍ර‍යක් ම සිටුනේ ය. ආනන්‍දය, යම් හෙයකින් මාගම තථාගතප්‍ර‍විදිත ධර්මවිනයෙහි ගිහිගෙන් නික්ම සස්නට වැදගත්තී ද, ආනන්‍දය, දැන් බ්‍ර‍හ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වේ. ආනන්‍දය, දැන් (අධිගම) සද්ධර්මය පස්වාසියක් ම සිටුනේ ය.

ආනන්‍දය, යම් පරිදි බොහෝ ස්ත්‍රීන් ඇති අල්පපුරුෂයන් ඇති යම් කිසි කුලයෝ වෙත් නම් ඒ කුලයෝ කුම්භත්ථෙනක (කුඹුයෙහි පහන් දල්වා ඒ එළියෙන් ගෙයි බඩු සොයා සොරකම් කරන) සොරුන් විසින් පහසුයෙන් නැසිය හැකි වෙත් ද, ආනන්‍දය, එපරිදි ම යම් ධර්ම විනයෙක් මාගම ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබා ද, ඒ බ්‍ර‍හ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වෙයි.

ආනන්‍දය, යම් පරිදි සම්පන්න ශාලික්ෂේත්‍ර‍යක (පණුවන් විදීමෙන් හටගන්නා) සෙතට්ඨිකා නම් ශෂ්‍යරොග ජාතියෙක් උපදනේ ද, එසේ ඇතිවත් ම ඒ ශාලික්ෂෙත්‍ර‍ය චිරස්ථිතික නො වේ ද, ආනන්‍දය, එපරිදි ම යම් ධර්මවිනයෙක් මාගම ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබා ද, ඒ බ්‍ර‍හ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වෙයි.

ආනන්‍දය, යම් පරිදි සමෘද්ධ වූ උක්කෙතෙක (උක් ගස තුළ රතුවන) මඤේජට්ඨකා නම් ඉක්ෂු රෝගයෙක් උපදනේ ද, එසේ වත්ම ඒ ඉක්ෂු ක්ෂේත්‍ර‍ය චිරස්ථිතික නො වේ ද, ආනන්‍දය, එපරිදි ම යම් ධර්මවිනයෙක මාගම ගිහි ගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබා නම් ඒ බ්‍ර‍හ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වෙයි.

ආනන්‍දය, යම් පරිදි පුරුෂයෙක් මහත් තඩාගයක්හුගේ නියර (දිය නො බැස යනු පිණිස කැල ම), බඳනේ වේ ද, ආනන්‍දය, එ පරිදි ම මා විසින් කැල ම මෙහෙණනට දිවිහිමියෙන් නො ඉක්මවිය යුතු අෂ්ට ගුරුධර්මයෝ පණවන ලදහ යි.